කන්නංගර මාවතේ ඇවිත් හැමදාම ලිප්ටන් වටරවුමෙන් වාහනේ දානකොට දකින දැන්වීම් පුවරුවල වෙනසක් රාජරත්න මහත්තයට තේරෙන්න අරන් ටික දවසක්. ටිකක් කල්පනා කරල බැලුවමයි තේරුණේ ඒ හන්දියෙ තියෙන මහ විසාල ඇඳුම් කඩේ ඉස්සරහ අර සින්දු කියන කොල්ලො දෙන්නගෙ විසාල දැන්වීමක් ගහලය කියල. නිකංම නෙවෙයි, නාටු වුණාට ලස්සන බලු පැටියෙකුත් එක්ක. ඩ්‍රයිවර් ආරියපාලගෙන් ඕක ගැන ඇහුවට ඒ මනුස්සය දැනගෙන හිටපු දේකුත් නෑ. කාර්යාලෙට ගිහින් මේ ගැන හොයල බලන්න ඕන කියල රාජරත්න හිතාගත්තා.
ඔෆීසිය හැමදාම වගේ කාර්ය බහුලයි. ඒත් ප්‍රධාන විධායක නිලධාරිය විධියට සුපුරුදු අත්සන් ගැහිලි කීපයකට පස්සෙ රාජරත්නට ඉන්ටනෙට් එකේ එහෙ මෙහෙ කැරකෙන්න පැයක දෙකක සුපුරුදු අවස්ථාව ගන්න පුළුවන් වුණා. රැස්වීම් වුණත් හැමදාම නෑනේ.
ලොකු කොල්ල පිටරට ඉඳන් ලියන බ්ලොග් එක අහම්බෙන් ඇහැ ගැහිල රාජරත්න මහත්තයත් දැන් බ්ලොග් කියවිල්ලට ඇබ්බැහි වෙලා. සාමාන්‍යයෙන් මුලින්ම ගුගල් රීඩරේ ඇදගෙන ඒකට ආපු අප්ඩේට් බලන්නයි රාජරත්න පුරුදු වෙලා හිටියෙ. ඊට පස්සෙ පිළිවෙලින් එක එක සින්ඩිකේටරේ පලවෙන බ්ලොග් කියවන්නයි හොඳ ඒවා රීඩරේට දාගන්නයි තමයි දවසෙ පැයක් හමාරක් විතර වෙන් වුණේ.
ඒ වුණාට අද මුලින්ම බලන්න ගත්තෙ කොළඹ හතේ නෝනගෙ කඩේ ඉස්සරහ ගහල තිබුණ කටවුට් එක ගැන.
වැඩි අමාරුවක් නැතිව ගුණවර්ධන නෝනගෙ බලු සත්කාරය ගැන හොයාගන්න රාජරත්නට පුළුවන් වුණා. ඒක ඇත්තටම හොඳ වැඩක්... රාජරත්න හිතුවා. ඒත් ඉතිං කිසිම පිළිසරණක් නැති මිනිස්සු ඕන තරම් ඉද්දි බල්ලන්ට මොකටද මේ සත්කාරේ? රාජරත්න මහත්තයට පොඩියට ඉරිසියාවකුත් හිතුණා. පරම්පරාවෙන්ම උරුම වුණ ව්‍යාපාර ටික මේ තරම් දියණු වෙලා තිබුණත් තමන්ට බැරි වුණානෙ ඔහොම එකක්වත් පටංගන්න. යන තැනකටවත් වැඩක් වෙන්න!
රාජරත්න මහත්තයටත් ඕන වුණා තමන්ට තියෙන ධනස්කන්ධයෙන් ටිකක් වැය කරල ප්‍රජා සත්කාරයක් කරන්න.
ටික දවසකට පස්සෙ ආයෙමත් ඔය පස්සපැත්තෙ ගේට්ටුව ගැන බ්ලොග් ලියන චාමි කියන දරුපවුල්කාරයා ලියපු බ්ලොග් සටහනක් රාජරත්න මහත්තය දැක්ක. ඒක නිකං කැරකිල්ල හැදෙන විධියෙ සටහනක් වුණාට රාජරත්න මහත්තයට ඒක තේරුම්ගන්න තරම් ඔළුව කරකවගන්න වෙලාවක් තිබුණෙ නෑ එවෙලෙ.
ඊට පස්සෙ කාර්ය බහුල මාස කීපයක් ගෙවිල ගියේ අර කටවුට් එක ගැනවත්, බලු සත්කාරය ගැනවත් වෙන කිසිම සත්කාරයක් ගැනවත් මහන්සි වෙන්න රාජරත්න මහත්තයට ඉඩ නොදී. එක දිගට වැඩ ගොඩක් කරද්දි බ්ලොග් අස්සෙ කැරකෙන එකත් ටිකක් විතර මගඇරිලයි තිබුණෙ. හැමදාම පුරුද්දට බැලෙන One|Zero|Zero එක්ක ගොසිප් සයිට් ඇරුණම වෙන කිසිම එකක් කියවන්න වෙලාවක් තිබුණෙ නෑ.
ආයෙමත් ඔය සත්කාරෙ ගැන රාජරත්න මහත්තයට කල්පනා වුණේ One|Zero|Zero එකේ ගිය තවත් මල විකාර පෝස්ට් එකක් දැක්කම.
පාරෙ ඉන්න බල්ලොන්ට වඩා කොයි කරම් අහිංසකද හරියට කන්නවත් නැතිව පාරෙ ඉන්න හිඟන්නො? බල්ලො නම් කුණු බාල්දියක් හරි පෙරලගෙන කනව. හිඟන්නන්ට ඒ විධියටවත් කිසිම පිළිසරණක් නෑනෙ.
රාජරත්න මහත්තයට ආවෙ නියම අදහසක්. අළුතෙන් කැස්බෑවෙ පටන්ගන්න ඉන්න ඇළුමිනියම් බඩු ෆැක්ටරියෙ වැඩටත් මිනිස්සු ඕන වෙලා තියෙන එකේ පාරෙ ඉන්න හිඟන්නු කීප දෙනෙක්ටවත් සත්කාරයක් කරන්න පුළුවන්නම්....
රාජරත්න මහත්තය දවස් ගානක් මේ ගැන කල්පනා කලා. එයාට හිතුණෙම ඒක නියම අදහසක් කියල. ඒක හොඳ අදහසක් නොවෙන්න හේතුවක් රාජරත්න මහත්තයට හිතුණෙම නෑ. අන්තිමේ එයා කල්පනා කලා මේ ගැන කතා කරන්න හිඟන්නෙක් එක්කම.
සෙනසුරාදා වරුවෙන් ගෙදර යද්දි පිළියන්දල පහු කරපු ගමන් ටිකක් නිදහස් තැනක හිටපු හිඟන මනුස්සයෙක් රාජරත්න මහත්තය දැක්ක. අවුරුදු පනහක විතර පෙනුමක් එක්ක බැලූ බැල්මට අතපය හොඳට තිබුණ නිසා මේ මනුස්සය එක්ක කතා කරන එක හොඳයි කියල එයාට හිතුණ. වහාම ආරියපාලට කියල වාහනේ නවත්තගෙන රාජරත්න මහත්තය හිඟන මනුස්සය හිටපු පැත්තට ගියා.
"මේ උන්නැහේ..."
"ආ... මහත්තයෝ..."
හිඟන මනුස්සයගෙ මූණට එකපාරම දුකක් ආරූඪ වුණා. අත් දෙක රාජරත්න මහත්තය දිහාවට පාමින් ඒ මනුස්සය ඉස්සරහට ආව.
"උන්නැහේ මොකද කරන්නේ?"
"අර නෝන කෙනෙක් ගෙනත් දුන්න පාර්සලේ ලෙහාගෙන දැනුයි කාල ඉවර වුණේ මහත්තයෝ..."
තාමත් මනුස්සයගෙ අත ආයාචනා ස්වරූපයෙන් යමක් ඉල්ලන විලාසයෙන්...
"හා... මේ.... ලොකු උන්නැහේ රස්සාවක් හෙම කරන්න කැමති නෑ...?"
"අනේ ඉතිං අපිට කව්ද රස්සා දෙන්නේ... තිවුණ රස්සා වලටත් හෙණගහපු නිසානෙ මහත්තයෝ මේ අතපාන්නේ..."
මනුස්සයගෙ අත්දෙක දිහා බලපු රාජරත්න මහත්තයගෙ අත ඉබේම සාක්කුවට ගියා. පර්ස් එකේ තිබුණ අඩුම කොලෙන් එකක් හිඟන්නගෙ අතට. ඒක තැඹිලි පාටට හිඟන්නගෙ අතේ ගුළි වුණා. මූණට ආපු සන්තෝසෙකුත් එක්ක.
"එහෙම නෙවෙයි... රස්සාවක් දුන්නොත් කරගෙන ඉන්න පුළුවන්ද?"
"රස්සාවක් කිව්වෙ මහත්තයො මොන වගේ එකක්ද?"
"දැන් ඔහේගෙ අතේ පයේ අමාරුවක් නෑනේ... ඇළුමිනියම් කපන මැෂින් හසුරුවන එක තමයි රස්සාව... අළුත් ඇළුමිනියම් වැඩපලක."
"එතකොට මහත්තයො පඩියකුත් දෙනවද?"
"නැත්තං මනුස්සයෝ රස්සාවක් දෙන්න කතා කරයිද? රුපියල් 15000ක් මාසෙට දෙනවා. නවතින්න තැනකුත් හම්බවෙයි."
මොන ප්‍රජා සත්කාරෙ වුණත් මිනිහෙක් වෙනුවෙන් දරන්න පුළුවන් ප්රයෝජ්ය වටිනාකම ගැන රාජරත්නට දැනුමක් තිබුණා.
"එතකොට කෑම බීම?"
"ඒව සපයගන්න නෙව පඩියක් දෙන්නේ? මොකද කියන්නේ...? ඔහේට එහෙම වැඩ කරන්න පුළුවන් නම් රස්සාව තියෙනවා."
"අනේ මහත්තයෝ...."
හිඟන මනුස්සයගෙ මුහුණට ආවෙ පුංචි හිනාවක්!
"ඔය කියන විධියට මහත්තයො මට දවසකට පඩිය එන්නෙ රුපියල් පන්සීයක් විතරනේ... මම බස් වලට නැගල, පාරෙ හිඟා කාලත් දවසකට රුපියල් අටසීයට වඩා හොයනව මහත්තයෝ... අනික කෑම? උදේට නම් ඔය පාන් කෑල්ලක් කඩෙන් ගත්තට දවල්ට හම්බවෙනව රෑටත් හරියන්න හොඳ බත් එකක් දෙකක් හැමදාම. එහෙමත් දවසකට තමයි කඩෙන් කෑම ගන්න වෙන්නේ..."
"ඒ කියන්නෙ ඔහේට මේ රස්සාව හොඳයි මම දෙන්න යන එකට වඩා...?"
"ඒකනේ මහත්තයෝ.... වැඩක් කියල කරන්න දේකුත් නෑ නෙව... කම්මැලිනං නිකං හිටියා... අපේ එව්වො එකෙක්වත් මහත්තයගෙ රස්සාවට එන එකක් නෑ..."
රාජරත්නට බඩ කපාගන්න හිතුණා...
ආපහු වාහනේට නැගල ගෙදරට යන ගමන් රාජරත්න කල්පනා කලේ බල්ලො වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මිනිස්සු වෙනුවෙන් කරන්න බැරිවීම ගැනයි. ඒත් සමහර විට පාරෙ ඉන්න බල්ලෙක්ගෙන් ඔය කතාවම ඇහුවොත් සමහර විට උගෙ උත්තරෙත් ඔයිට වෙනස් වෙන එකක් නැති වෙන්න තිබුණා. උනුත් හිතපු තැන ලැග්ගා... හිතපු දේ කෑවා... හිතුණු බැල්ලියෙක් එක්ක පෙම් කෙලියා... ඉඳල හිටල ගල්පාරක් කෑවට නිදහසේ හිටියා... දැන් කොහෙද එහෙම නිදහසක්? ගුණවර්ධන නෝන කරන්නෙ බලු අයිතීන් උල්ලංඝනය කරන ඕනම නැති වැඩක්. රාජරත්න එහෙම හිතුව...
හිතේ තිබුණ බර ටිකක් හෑල්ලු වුණා.
-----------------------------------------------------------------------------------------
රාජරත්ත මුදලාලිට ප්‍රජා සත්කාරයක් කිරීමට අවශ්‍යයි නම් බ්ලොග් අවකාශය වෙනුවෙන් යමක් නොකරන්නේ මන්ද? හොඳ සින්ඩියක් වෙනුවෙන් වියදම් නොකරන්නෙ මන්ද? යුධ අනාථයින් වෙනුවෙන්, රණ විරුවන් වෙනුවෙන් වියදම් නොකරන්නේ මන්ද? වැනි ඕන නැති ප්‍රශ්ණ නොඅසන්න.
කතාවේ හොඳම හරිය තියෙන්නේ අර ඉරක් ගැහුවට පස්සේ ලියපු ටිකේ.
ReplyDeleteමෙන්න හිඟන්නෙක්ට රුපියක් 5ක් දීලා අහගත්තු කතාවක්
ඒකනම් ඇත්ත මහන්සි වෙලා හම්බකරනවාට වැඩි යමක් ඔවුන් හිගා කාල හම්බ කරනවා..ඒකයි ඇත්ත.. මට දෙයක් මතක් උනත් අහන්න අහන්න එපා කියලා තියෙන නිසා අහන්නේ නෑ...
ReplyDeleteඇත්තම හිඟන්නො තමා, තුට්ටු දෙකට දරු පවුල් රකින්න, මහන්සිවෙලා වැඩ කරන මිනිස්සු. එතකොට වවපු දේත් කුණු කොල්ලෙට මුදලාලිලා හූරගන්න, දුප්පත් ගොවීන්. හිඟා කෑම කියන්නෙ පාතාල මාෆියාවක්, මං හිතන්නෙ මහාචාර්ය රත්නපාල ඔය ගැන පොතක් ලියලා තියනවා.
ReplyDeleteසමහර හිඟන්නොන්ට බැංකු ගිනුම් තියනවා. සමහරු පොඩි ගාණක් දුන්නොත් බැනලත් යනවා
නන්දසේන රත්නපාල මහත්තයාගේ හිඟන්නෝ ගැන ලියවුන පොත කියෙවුවද ? ඒ ගොල්ල පෝසත් මිනිස්සු. දන් දෙන්න ඕන දැන් කාලේ අමාරුවෙන් රස්සාවක් කරන පවුල ගැට ගහ ගන්න මිනිස්සුන්ටයි පොත් පත් ගන්නවත් සල්ලි නැති ළමයින්ටයි අනාත සත්තුනටයි කියල මන් හිතන්නේ.
ReplyDeleteළඟදි හිඟමනට වැටෙන්න නියමිත මිනිහෙක් විදියට මගේ අදහස් දැන්ම දැක්වීමේ හැකියාවක් නෑ.
ReplyDeleteඅතපය හොඳටම තියන එවුන් නම් හිඟා කන්න තියන කපටිකම හින්දා සහ තමන්ගේ දවසේ කුඩු සොට් එක එහෙම නැත්තම් අරක්කු කාල හොයාගැනීමේ බලා පොරොත්තුවෙන් නැත්තම් කම්මැලිකම හින්දා .
ReplyDeleteඔය ඇත්තටම වැඩක් පලක් කරගන්න බැරි මිනිසුන්ට නම් කීයක් හරි දෙන එක පිනක් වේවි ..
හෑ... මේකට මේ වෙනකල්ම උත්තර දෙන්න අමතක වෙලානේ... කස්ටියටම ඉස්තූතියි කියෙව්වට.
ReplyDeleteහිඟමන ගැන කියනවනම් මමත් කාලයක් ඒ රස්සාව කිරීමේ දැඩි උවමනාවකින් පෙලුණා... මේ ගෑණු ළමයෙක් ඇවිත් මගේ ඒ සුන්දර හීනය සුන්නද්දූලි කරල දැම්මා. ඔය වගේම රස්සාවක් තමයි හාමුදුරු රස්සාව. හැබැයි ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනව. හිඟනකම මෙහෙ විතරක් නෙවෙයි වෙන රටවලත් හොඳ ආදායම් මාර්ගයක්ද මන්දා. මතකයි ෂර්ලොක් හෝම්ස් කතාවකුත් තියෙනව රස්සාව අතෑරල හිඟාකන මිනිහෙක් ගැන...
අර ඔයාගෙ කමෙන්ට් එකේ නං තව හොඳ පෝස්ට් එකක්ම තියෙනවා වගේ. හාමුදුරු රස්සාව. දන්න කියන අත්දැකීම් එහෙම නැද්ද?
ReplyDelete