Thursday, 19 February 2009

සතුට සත්තු වත්තේ....

අපි සතුට ලබනව විවිධ ක්‍රමවලින්.

සත්තු වත්තෙදිත් අපි ලබන්නෙ සතුටක්ද?

මෑතකදි මම මගේ ඥාතියෙක් (මෙතැන් පටන් ප්‍රියන්ත කියල ගමු) එක්ක කරපු කතාවක් මගේ කලින් බ්ලොග් සටහන ලියද්දි මතක් වුණා. ඔහු වතාවක් මගේ නුගේගොඩ කාර්යාලයට ආපු වෙලේක ඔහුගේ බිරිඳට සත්තු වත්ත බලන්න යන්න ඕන වුණා. ඔවුන්ගේ පදිංචිය ටිකක් ඈත නිසා කොළම එන්නෙ කලාතුරකින්. කොහොම වුණත් ප්‍රියන්ත මේ ගමනට කැමති වුණේ බොහොම අකමැත්තෙන්. ඔහුට සත්තු වත්තට යන්න කිසිම උවමනාවක් තිබුණෙ නෑ.

සත්තුවත්තෙදි අපි ලබන්නෙ කාලකණ්නි සතුටක්. ඔහු කිව්වා.

ඇත්තටම අපි නොදැනුවත්වම සත්තුවත්තෙදි ලබන දේ සතුට හෝ මොකක් වුණත් ඒක හරිම අසාධාරණ සතුටක් නෙවෙයිද? නිකමට හිතන්න අපි කූඩුවක ඉද්දි සත්තු වත්තෙ සත්තු අප දිහා බලමින් විහිළු කරමින් නිදැල්ලේ හැසිරුණොත්?

සමහර විට සත්තුන්ට කන්න බොන්න දෙනව නම් ඉන්න තැන කෘතිම පුංචි එකක් වුණාට කමක් නැද්ද දන්නෙ නෑ. මට
Madagaskar චිත්‍රපටිය මතක් වුණා. මේකෙ තියෙන සත්වෝද්‍යානයේ ඉන්න සිංහය මිනිස්සුන්ට පේන්න කෑගහල ෂේප් එකේ ඉන්න කෙනෙක්. තමන්ට වෙලාවට හම්බ වෙන මස් කුට්ටිය තමයි ඔහුගෙ එකම සිතිවිල්ල. ඉන්න පරිසරය ගැන ගානක් නෑ.

ඒ වුනාට ලංකාවෙ සත්වෝද්‍යාන වල නම් සත්තු ඉන්නෙ අතිශය සීමිත පරිසරයක. අපට වැඩිය ඇවිදින්න ඕන නෑ. ලේසියෙන් සත්තුන්ව බලල සතුටු වෙන්න පුළුවන්.

ඉතිං සතුටු වෙන්න....

9 comments:

  1. අය්යෝ සත්තු වත්ත ගැන නම් කියලා වැඩක් නෑ.. අසරණ සතුන් දැක්කාම හිතට හරිම දුකයි. මමත් මාස කීපයකට කලින් ගියා -හරිම කලකිරීමක් දැනුනෙ. මෙන්න මම දුටු දෙයක් : බලන්න

    ReplyDelete
  2. මිනිසා කියන සතා විදියට අපි හරිම කුහක ජරා අවලං තකතීරු වර්ගයක්!

    ReplyDelete
  3. නිදහස යන කාරනය ගැන මිනිස්සු වගේ අනෙකුත් සත්තු තකන්නේ නැහැ. සත්තු නිදහස වෙනුවෙන් පුපුරගෙන මැරෙන්නේ නැහැ. හරියට නඩත්තු කරන සත්තු වත්තක සත්තු කැලේක ඉන්නා සත්තුනට වඩා බොහෝම වරප්‍රසාද විදිනවා. ආහාර. කැලෙ ඉන්නා සත්තු සමහර වෙලාවට දවස් ගනනාවක් ආහාර නැතිව යනවා. කැලේ ඉන්නා බොහොමය්ක් සත්තුන්ට ලිංගිකව හැසෙනෙන්න අවස්තාවක් ලැබෙන්නෙ නැහැ. කැලෙ ඉන්නා සතෙක් පහසුවෙන් ස්බාවික හේතු නිසා මැරෙන්නෙ නැහැ. ඊට අමතරව බොහොමයක් සත්තු අපි හිතාගෙන ඉන්නා ආකාරයට නිදහසෙ කැලේ පුරා සැරි සරන්නේ නැහැ. ඒ හැමෝම තමන්ගෙ ඉඩක් ලකුනු කොරගෙන, ඒ තුල කොටු වෙලා ඉන්නේ. උදාහනයක් විදිහට, උගුස්සෝ, බලල්ලු, තමන්ගේ ආහරය ලැබිලා බඩ පිරිලනම් තියෙන්නේ, අවුරුද්දක් උනත් එක තැනක ලැගල ඉන්නවා. වදුරෝ වගේ සතුන්නම් කූඩු කොරන එක හොද නෑ තමයී. මොකෝ උන්දෙලා සමාජීය සත්තුනේ. ඒ හැරුනාම සත්තු වත්ත කියන්නේ ඔය කියනා තරම් කාල කන්නි තැනක් නොවෙයී.

    ReplyDelete
  4. ඔයා කියන දේ මට පැති කිහිපයකින් කියන්න පුළුවන්. බලන්න මිනිසා කියන සත්ව කොට්ඨාශය: ඔහු නිදහසේ නාමයෙන් අනෙකුන් මරයි, ආගමේ නාමයෙනුත් මරයි, ශරිරයේ පාටිනුත් මරයි, භාෂණයේ නාමයෙනුත් මරයි, ඒවායේ සම්යුක්ත ජාතිය නම් මානියාවකිනුත් මරයි. අවසානේ දේශපාලනය නමිනුත් මරයි. එසේ කරත් නො නවතින ඔහු දිගටම සතුන් මරයි, ඔවුන්ගේ වාස ස්ථානද විනාශ කරයි, විනාශ කර සාදන ගොඩනැගිල්ලෙන් ලොව වනසා ඒ භුමි වෙනුවෙන් ගැටුම් ඇති කරයි. සෑම් කියන දේ මම පිලි නො ගන්නේමි, ජිවය තියෙන සෑම දෙනෙක්ම නිදහසට ප්‍රිය කරයි, එය පිලි නො ගන්නේ නම් ඔහුව හෝ ඔබම කුඩුවක එසේ සීමා සහිත පරිසරයක කොටු වෙල ඉන්න බලන්න.

    ReplyDelete
  5. කාලෙකින් ගියේ නැහැ. හෙට අනිද්ද යන්න ඉන්නේ. මොනා කරන්නද? මන් හිතන්නේ පින්නවලද කොහේද හදන අලුත් සත්තුවතේ මිනිස්සු කූඩුවල සත්තු එලියේ

    ReplyDelete
  6. හම්බ කරන්න පුලුවන්නම් ඕනි ජරා වැඩක් කරන්න පුලුවන් එකේ මිනිහා කියන සත්වයට ඕක හරි සුළු දෙයක්.. මනුස්සය හැදෙන්නෙ කවදද එදාට ලෝකයම ලස්සන වෙයි... එක අතකට සෑම් කියන කතාවත් හරි... දැන් යන හැටියට ඉතුරු වෙන්නෙ සත්තුවත්තේ හැදෙන සතෙක් තමා... පරිසර අර්බුදයත් සැහෙන්න ඔඩු දුවලා....

    ReplyDelete
  7. @ බින්කු - ඔයා කියන දේ හරි තමයි. මිනිස්සු විධියට අද අපි මේ ගැන කතා කරන්නේ මිනිස්සුන්ගෙ ඒ ගතිය නිසා තමයි. බලය පිළිබඳ හැඟීමත් එක්ක මිනිස්සු තමන්ගෙ පැවැත්මට එරෙහි ඕනම දෙයක් විනාශ කරල පිළිතුරු හොයන සත්ත්ව කොට්ඨාශයක්.

    සෑම් වැරදි නෑ. ‍මොකද ඔයා හරි නිසා. මිනිස්සු මේ ඔයා කියන විධිය‍ට ඉවක් බවක් නැතිව පරිසරය විනාශ කරන නිසා සත්වෝද්‍යානයක් වඩා ආරක්ෂිත වෙන්න පුළුවන්. අනික නිදහස කියන්නෙ වචනයක්. ඒකට ති‍යෙන්නෙ අපි ගොනු කරන අදහසක්. සත්තුන්ට තියෙන්නෙ තමන්ගෙ ප්‍රාථමික අවශ්‍යතා පිළිබඳ උවමනාවක් විතරයි.

    @ ම - මම සෑහෙන්න කාලෙකට උඩචි විජය පත්තරේක කියෙව්ව ඒ වගේ සත්වෝද්‍යානයක් ගැන. ඒකෙදි සත්තු ඉන්නෙ එයාල ඉන්න පරිසරයේමයි. මිනිස්සු කූඩු වල නැගල ගිහින් තමයි බලන්න ඕන :D

    @ ආ - මනුස්සය හැදෙන්නෙ නෑ. මට හිතෙන විධියට මනුස්සයට දැන් වත් හැදෙන්න ඕන කියල හිතෙන්න නම් ‍ලොකු මිනිස් සංහාරයක් වගේ එකක් වෙන්න ඕන. නැත්නම් කවදාවත් හැදෙන්නෙ නම් නෑ. ;)

    ReplyDelete
  8. සත්තු වත්තේ ඉන්න සත්තු සහ නුූතන වැඩවසම් සමාජයේ මිනිසුන් අතර වැඩි වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ සති අන්ත නිවාඩු විතරයි. සත්තු වත්තේ සත්තුන්ට "වේල නොවරදවා" කන්න ලැබෙනවා. මිනිස්සු රස්සාවක් කරන්නෙත් මේ උවමනාවටමනේද...

    ReplyDelete
  9. එකඟයි. මටත් සත්ව උද්‍යානයකින් මිනිස්සු වින්දනයක් ලබන්නේ කොහොමද කියන එක ගැන හිතා ගන්න බෑ, ඒත් කුඩා දරුවන්ට එහෙම දැකලා නැති සත්තු පෙන්වන්න අම්මලා තාත්තලා එක්කගෙන යනවනේ. මට මතකයි අපිවත් එහෙම කුඩා කාලේ එක්කගෙන ගියා. පොඩි දරුවන්ටනම් එය අපූර්ව වින්දනයක් වෙන්න පුළුවන්. දැන් උස් මහත් වෙලා හැම දේ දිහාම නිරපේක්ශව බලන්න හදන එක අපි බොහෝ දෙනෙකුගේ ලක්ෂණයක්.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!