Monday, 29 September 2008

ක්‍රමය

මේක මේ අවකාශේ අපේ බෝ දාපු පින්තූරෙකට මම ලියපු එකක්....

ඕන නම් ගිහින් බලන්න කට්ටිය මේ එකම පින්තූරෙට දාපු කවි.




මා වටා
මා උපන් දා සිටම
වෙලී මා අඳුරු කර
කළුවරේ හිඳවූ
මට සිලිටි නැති
හතරැස් ක්‍රමය...

නුඹ තුලම
නුඹේ විලසින්ම
කවුලුවක් තැනුවෙමි

අඳුරේ සිට වුවද
දැන් මට හැකියි
නිදහසේ ඉම දකින්නට

අවැසි නම්
මට උවමනා විටෙක
නුඹ හැරදමා
සයුරේ පාවී
ක්ෂිතිජයෙන් එහා
මා කැමති අහසට
පනින්නටත්
හැකියි දැන් මට

© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28


෴


Sunday, 28 September 2008

මගේ පුනරුත්පත්තිය

මගේ පුනරුත්පත්තිය

ආදරය නම් විදුලිය
හදවත විනිවිද ගොස්
මා මිය ගියා

නැවත

ඇය තුල
පිලිසි‍ඳෙන්නට පෙර



© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28



෴

Saturday, 27 September 2008

නුගේගොඩ අං දිය

අද (2008-09-26) මම හවස 3ට විතර නුගේගොඩ බෝ ගහ ගාව හන්දියට ගියේ පරණ නුගේගොඩ හන්දිය පැත්තට යන බස් එකක් ගන්න. වෙනදට සීරුවට තමන්ගෙ වාරයෙදි හන්දිය හරහා ගමන් කරන වාහන රොත්තක්ම අද හන්දිය මැද විවිධ දිශා 6-7කට හැරිල පොදි ගැහිල තිබුණ. මෑතකදි නොදැකපු දසුනක් නිසා බලද්දියි තේරුණේ වර්ණ සංඥා පුවරු වැඩ නොකරන බව. කොහොමත් වෙනදට එහෙම නොවෙන වෙලාවලදි එතන පොලිස් නිලධාරියෙක් ඉන්නව වුණාට අද කවුරුත් නෑ. ඉතිං හැමෝම එක පාර හන්දියෙන් එපිටට යන්න වලි කනවා. කාටවත් යන්න බෑ. කවුරුවත් පස්සට ගිහින් අනිත් පැත්තක ‍ඉන්න කෙනෙක්ට ඉඩ දෙන්නෙ නෑ වගේම කාටවත් පස්සට ගන්නත් බෑ. මොකද පිටිපස්සෙ වාහනේ තියෙන්නෙ පස්ස ඉඹින්න ඔන්න මෙන්න. යන්තම් ඉදිරියෙ තියෙන වාහනේ අඟල් කීපයක් ඉදිරියට ගිය ගමන් කට්ටියම ඒ ගානටම තමන්ගෙ වාහනෙත් ඉදිරියට ගන්න නිසා ආයෙ පස්සට යන්න ඉඩක් නෑ. ඉතිං හැමෝම මැද හිරවෙලා.

කොහොම හරි ඔන්න තම තමන්ගෙ දක්ෂතාවය උඩ කට්ටිය හන්දිය පහු කරමින් හිටියා. යතුරු පැදි අයියල අස්සෙන්, හරහට දාල හැමෝටම වඩා ඉක්මනින් ගියා. මම ගොඩවුණ 163 බස් රියේ රියදුරු මහත්තයත් ලොකු යුද්ධයක් කරල හන්දිය පහුකලා. ඊට පස්සෙ එයා ඇරිය විදුලිය වගේ. මොකද එයාගෙ යාළුවෙක් පිටිපස්සෙන් එමින් හිටිය.

මට මේ යක්කු මොනව කරගත්තත් එකයි.

මට කියන්න ඕන කලේ පාලනය ගැන. වෙනදට වර්ණ සංඥා පද්ධතියට අනුව සීරු මාරුවට යන උදවිය ඒව නැති වුණාම පුක කැඩිච්ච කඩි වගේ. තමන් විතරයි කියන හැඟීමෙන් යාගන්න දඟලනවා. ඒකට එයාලට වරදක් කියන්න බෑ. system failures වලදි usersල තමයි ෆිස්සු කෙලින්නේ. කොහොමත් ස්වභාවිකවම මිනිසා ප්‍රචණ්ඩකාරී සත්ත්වයෙක්නේ. එහෙම නොවුණ නම් මෙහෙම ලෝකය වෙනස් කරගෙන ඒක යම් විධියකට පාලනයකුත් කරගෙන ඉන්නෙ කෙහොමද? මිනිසාට ස්වභාවික සත්ත්වයන්ගෙන් අභියෝගයක් නැති හින්දම මිනිස්සු තමන්ගෙ දැනුම වෙනත් දේවල් වලට යෙදවීමේ ප්‍රතිඵලය තමයි මේ විධියට දියුණු(?) වීම. ඒ දියුණුව හරහා මිනිස්සුන්ට තව දුරටත් ප්‍රචණ්ඩකාරී වෙන්න ඕන වුණේ නැතත් වෙනම ආකාරයකට මේ ප්‍රචණ්ඩත්වය පැවතුණා සහ පවතිනවා අළු යට ගිණි පුපුරු වගේ.

කාලයක් යද්දි මේ ප්‍රචණ්ඩත්වය සහ බලය පිලිබඳ හැඟීම එක්ක විවිධ කණ්ඩායම් සහ පන්ති වලට සමජය බෙදීමත් එක්ක ඒක වෙනත් විධියකට සමථයක් කරන්න ආගම් සහ දර්ශණයන් බිහි වුණා. නොයෙක් පාලන ක්‍රම බිහි වුණා. ඒ හරහා මිනිස්සු පාලනය වුණා. යම් ක්‍රමයකට හැඩගැහිල ඉන්න පුරුදු වුණා. කාලයක් තිස්සේ මේක වෙමින් තියෙනවා තවමත්.

ඒත් ඒ නිසා කියන්න බෑ ඒ හුරු වුණ දේවල් අපි තුල මුල් බැහැල කියල. අවස්ථාවක් ආපු ගමන් අපි ආයෙත් අර වනචාරී පිරිසම තමයි නේද? මේක මාත් ඇතුලත්ව හැමෝටම පොදුයි. ඉස්කෝලෙ යන කාලෙ පන්තියෙ ගුරුවරයෙක් නැත්නම් පන්තියෙ එකම ගාලගෝට්ටියක්. ආයතනයේ ලොක්ක නැත්නම් සේවකයො ඉන්නෙ ගෙදර ඉන්නව වගේ. නුගේගොඩ හන්දියෙදිත් ඒක හොඳටම පැහැදිලි වුණා. අන්තිමේ බලද්දි අපි හැමෝම මේ සිස්ටම් එක ඇතුලෙ තියෙන සීමා වලට හිර වෙලා තමයි ඉන්නෙ. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ පාලනය කරල තියෙන හැඟීම් සේරම එලි බහිනව අවස්ථාවක් ආ ගමන්. ඒ වෙලාවට අපි ඉගෙන ගෙන තියෙන, පුරුදු වෙලා තියෙන, අවබෝධ කරන් ඉන්න කිසි දෙයක් මතකවත් නැති වෙයි.

ආගමික අදහස් අනුව නම් කියවෙන්නේ ඒ නිසා පසුව පසුතැවිලි වෙන්න වෙන බවයි. මොකද මේ හිරවුන හැඟීම් ඔස්සේ තමයි පාපයන් සිද්ධ වෙන්නේ. ඒ පාපය සිදුවෙන අවස්ථාවෙදි ඉගෙන ගත්තු කිසිම දෙයක් හිතේ නෑනේ. ඉතිං සිද්ධ වෙන දේ ගැන වැටහීමක් නෑ.

හික් හික් කතාව ඉවර කලේ කිසිම තේරුමක් නැති දෙයක් ගැන කියවල. කවුරු හරි අහයි ආගම් තේරුමක් නැතිවෙන්නෙ කොහොමද කියල. ආගම් වල නම් ‍‍තේරුමක් තියෙනව තමයි. ඒත් අද කවුද ආගම් වල කියන ඒව හරියට තේරුම් ගන්නේ....



෴