Thursday, 22 September 2011

චිත්‍රපටි පිස්සුව | Beware of Snakes!



කාලෙකින් අත නොතිය තිබුණ ලට්ට ලොට්ට ගොඩක් අවුස්සද්දි හම්බවුණ CD කීපයක් නිසා ලියන්න හිතුණ දෙයක් මේක. එක අතකින් ඉතිහාස කතාවක්. එක අතකින් මට චිත්‍රපටි පිස්සුව හැදුණ හැටි ගැන කතාවක්.

කතා කරන්න රටේ ප්‍රශ්ණනම් ඕන තරම් තියෙනවා. ඒත් හැමදාම ඒවම කතා කරලත් හරියන්නෙ නෑ. අනික බ්ලොග් එකට විවිධත්වයකුත් එපැයි.

මට හිතෙන්නෙ මට ඔය පිස්සුව ජාන වලින් ලැබුණ එකක්. අම්මගෙ පරම්පරාවමත් තාත්තගෙ පරම්පරාවමත් සැලකිය යුතු තරමින් චිත්‍රපටි බලපු සහ ඒ ගැන කතා කරපු අය. ඒ නිසා අම්මත් එක්ක පුංචි කාලෙ ඉඳන්ම ටීවී වල ගියපු චිත්‍රපටි බලන පුරුද්ද මට තිබුණා. ගොඩක් ඉස්සර අපට කොහෙත්ම බලන්න හිතෙන්නෙ නැති දෙමළ චිත්‍රපටි බලන්න අම්ම රෑ 10 වෙනකල් ඇහැරල ඉන්නව මට මතකයි. පස්සෙ කාලෙ මට මතකයි අපට ITN යන්තම් පේන්න ගත්තු දවස් වල පවා ‍නොයිස් අම්බාණක් එක්ක අපි යන්තම් සබ්ටයිටල් කියවගෙන හින්දි චිත්‍රපටි බැලුවා.

කොහොම හරි ඊට පස්සෙ මගේ අම්මගෙ ආදරණීය මලයා හෙවත් මගේ මාමණ්ඩි එයාගෙ ගෙදරට අරන් ආපු VCR ප්ලේයර් එක අර පිස්සුව තවත් වැඩි කරන්න දායක ‍වුණා. ඒ දවස් වල අපි මාසෙකට දෙතුන් වතාවක් එහෙට සෙට් වෙන්නෙ රුපියල් හැටක් දීල VCR ටේප් දෙකකුත් අරගෙන. ඒ කාලෙ ඔය ස්ටැලෝන්, ශ්වාසෙනගර් වගේ නළුවන්ගෙ චිත්‍රපටි හොඳට හිට්. මට මතකයි දවසක් අපේ බාප්ප කෙනෙක් කිව්වා "අද උඹල ෂෝ මුකුත් ගේන්න එපා.. මට ඉරේෂා හම්බවෙනව දවල්ට" කියල. අපිත් බලං හිටිය ඉරේෂා සිංහල ෂෝ එක බලන්න. බැලින්නම් ඒ ශ්වාසෙනගර්ගෙ Eraser චිත්‍රපටිය. :D කොහොමින් හරි ඒ දවස්වල සැලකිය යුතු තරමක් හින්දි චිත්‍රපටිත් ඕකෙ පිහිටෙන් තමයි බැලුවේ. මම හිතන්නෙ ඊට පස්සෙ උදාවුණ කාලෙදි හින්දි චිත්‍රපටි හොයාගෙන බලන පුරුද්ද මග ඇරුණ නිසා ඔය මාමගේ VCR එකෙන් බලපු හින්දි චිත්‍රපටි වලට තාමත් මම කැමතියි.

ඔය කාලෙට සමගාමීව 96 ලෝක කුසලානෙද කොහෙද පෙන්නන්න ස්වර්ණවාහිනියත් අපට පේන්න ගත්තා. ඒකෙ නෙව චිත්‍රපටි ගියේ. අර ජාතික එකේ හැමදාම පතුරු ගහපු අභිමාන්, ආරාධනා වගේ එව්ව සේරම කැලේ ගියෙ ස්වර්ණවාහිනියෙන් අයිෂ්වර්යා රායිල, කාජල්ල, දේව්ගන්ල, අලි ඛාන්ල සාලෙටම ගෙනැල්ල අතෑරියට පස්සේ. අභිමාන්, ආරාධනා කියන්නෙ පට්ට ක්ලැසික් චිත්‍රපටි වුණාට ඒ දවස්වල ඒව එපා වෙන තරමට පෙන්නලා තිබුණ නිසා අවුරුද්දක්වත් පරණ නැති අළුත්ම චිත්‍රපටි ‍පෙන්නන්න ගත්තම අපට නත්තල්... නෑ.. අවුරුදු වගේ.

ඔය සේරම කොළොම්පුරේ ගමනින් කෙලවර වෙනව. 2001 ඉදන් අවුරුදු කීපයක් යනකල් චිත්‍රපටි බලන්න ලොකු අවස්ථා නොලැබුණ තරම්. ඒ දවස්වල නැවතිල හිටපු ඥාති ගෙදර රාත්‍රියට ටීවී එක බැලුවෙ නෑ කවුරුත්. ඒ නිසා ටීවී එකෙන් චිත්‍රපටි බැලිල්ලටත් සොරි වුණා. නමුත් අතරින් පතර ඒ කාලෙත් චිත්‍රපටියක් ටීවී එකේ බලාගන්න බැරි වුණේ නෑ. ඒ කාලෙ තිබුණ එකම විසඳුම වෙනත් මාර්ග වලට යොමු වෙන එක තමයි. ඒ නිසා නුගේගොඩ ක්විනලන් එකයි මෙට්රෝ එකයි තමයි රජ දහන වුණේ. ඔය කාලෙ චිත්‍රපටි හෝල් අස්සෙ අපූරු පුද්ගලයො හම්බ වෙලා තියෙනව වගේම මාර ආතල් සිදුවීම් වෙලා තියෙනවා. ඒවයින් ගොඩක් දැන් මතක නෑ. නැත්තං මතක් කරගන්න උවමනාවක් නෑ. මුල්ම දවස් වල වතාවක් ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න ක්වින්ලන් එකට ගියා. ඒ දවස්වල ඒක EAP අයගෙ නෙවෙයි. ඒ දවස්වල කිසිම පිරිසිදුකමක් නැති කසිකබල් හෝල් එකක් ඒක. (දැනුත් ලොකු වෙනසක් නෑ තමයි...) ඔය කියපු දවසෙ ඉංග්‍රීසි චිත්‍රපටිය තිබුණෙ පැය බාගයක් විතරයි. ඉන්ටවල් එකෙන් පස්සෙ ගියෙ වෙනම එකක්. ඒකෙ තිබුණෙ ඉස්කෝලෙ ටීචර්ගෙ නිරුවත බලන්න පොරකන ගැටව් ටිකක කතාවක්. ඒක නිලුත් නෑ කහත් නෑ රෝසත් නෑ වර්ගයේ එකක්. පස්සෙ ඒවගේ සිදුවීම් කීපයක්ම වුණා. කියන්න තරම් දෙයක් නැති. කොහොම හරි ඒ කාලය චිත්‍රපටි සම්බන්ධයෙන් කිසි වගතුවක් නැති කාලයක්.

ඔය අතරෙ මම කරමින් හිටපු රස්සාව වෙනස් වෙලා මම නුගේගොඩ පින්තූර කඩේ වැඩට යනව. එතන මම කියන මනුස්සයා මැකිල ආයෙමත් හැදුණ තැනක්. මම හිතන්නෙ මට හම්බවුණ ආකර්ශනීයම මිතුරන් බොහොමයක් මට හම්බවුණේ එතනදි. ඒ වගේම ඒ රැකියා ස්ථානය වක්‍රව චිත්‍රපටි ක්ෂේත්‍රයටත් සම්බන්ධ වුණ නිසා මට ක්ෂේත්‍රයේ ඉන්න අයත් අඳුණගන්න ලැබුණා. එයාලත් එක්ක කතා කරන්න වගේම චිත්‍රපටි ගැන දැනුම බෙදාගන්න එතන හොඳ ස්ථානයක් වුණා.

එතනදි මට හමුවුණ, මාත් ඇතුළුව කිහිප දෙනෙකුගේම රසය වෙනත්ම තැනකට ගෙනාපු කීප කීප දෙනෙක් හිටියා. එක්කෙනෙක් දැනටමත් කීප වතාවක්ම කතා කරල තියෙන ගනේගොඩ අයියා. අදටත් මම එයාව අදහන්නෙ නැති එක විතරයි. එයා රජයේ චිත්‍රපටි අංශයේ (GFU) හිටපු සංස්කරණ ශිල්පියෙක්. නෙගටිව් ෆිල්ම් තමයි එයා එඩිට් කරල තියෙන්නේ. ඒ දැණුමත්, එයා සතුව තිබුණ චිත්‍රපටි වින්දනය පිළිබඳ රසයත් ටිකෙන් ටික දැනටත් මාව වෙනස් කරනවා. දැනටත් චිත්‍රපටි සම්බන්ධයෙන් මට හොඳම සංවාදය තියෙන්නෙ එයත් එක්ක. හැබැයි දැන් දැන් සංවාදයක් නැතිවම අපි දෙන්න එකඟ වෙන තැන් ගොඩක් අපට තියෙනවා.

අනිත් කෙනා පාලිත අයියා. එයා ඉස්සර කිරුළපන චණ්ඩියෙක්ලු. බැන්දට පස්සෙ හැම චණ්ඩියටම වෙන වැඩේ වෙලා. එයත් හැම වර්ගයකම චිත්‍රපටි බලන හොඳ රසිකයෙක්. එයා තමයි ඒ දවස්වල අපේ නිල චිත්‍රපටි සැපයුම්කරු. එයා සතුව තිබුණා ලොකු චිත්‍රපටි එකතුවක්. ඒ කාලෙ DVD වත් ඒ තරම් ජනප්‍රිය නැති නිසා VCD තමයි ප්‍රධාන මාධ්‍යය. ඉතිං පින්තූර කඩේ බෝඩිමේ රාත්‍රි‍යට නවාතැන්ගන්න ගමන් අපි කළේ චිත්‍රපටි බලපු එක. සමහර වෙලාවට අභ්‍යවකාශගත වෙලා ;-)

පාලිත අයියට චිත්‍රපටි කුළියට දෙන කඩයක්ම හම්බ වෙලා තිබුණ කියලයි අපට අහන්න ලැබුණෙ. ඒ කියන්නෙ එයාගෙ යාළුවෙක් කරමින් හිටපු වීඩියෝ කඩයක් වහල ඒ තැටි සේරම පාලිත අයියට දුන්න බවක් අහන්න ලැබුණා. ඉතිං පාලිත අයිය කලේ තමන් ගාව නැති චිත්‍රපටි හොයමින් එකතු කරපු එක. ඒ දවස්වල එයාගෙ පඩියෙන් සැලකිය යුතු කොටසක් වෙන්වුණා VCD මිලට ගන්න.

ඔය අතරට ආපු අනිත් එක්කෙනා නලින්. එයා පාදුක්කෙ කොල්ලෙක්. අදටත් කොළඹ ආවොත් අනිවා සෙට් වෙන ඩයල් අතරෙ එකෙක්. ඌට තිබුණෙ කව්බෝයි පිස්සුව. මිනිහ තමයි මාවත් කව්බෝයි පිස්සෙක් කළේ. ඔය ක්ලින්ට් මහත්තය රඟපාපු චිත්‍රපටි, චාල්ස් ‍බ්‍රොන්සන් මහත්තයගෙ චිත්‍රපටි අභ්‍යවකාශගත වෙන ද්‍රව්‍යයත් එක්ක බොහොම නිවි සැනසිල්ලෙ ගලාගෙන යන චිත්‍රපටි නිසා ඒව සෑහෙන්න රස වින්දා අපි.

ඔය කාලෙ තමයි මටත් චිත්‍රපටි එකතු කිරීමේ පිස්සුව හැදෙන්නේ. ඒකට හේතුව පාලිත අයියගෙන් චිත්‍රපටියක් ඉල්ලගන්න තිබුණ අමාරුව. මොකද මිනිහ වැඩිය කැමති වුණේ නෑ ඒව බෙදාහදාගන්න. හේතුව චිත්‍රපටිවලට එයාගෙ ආදරේ වැඩිකම. අනික ගොඩක් අය ඉල්ලගෙන යන ඒව ආයෙ ගෙනත් නොදීම. නමුත් එයාගෙ විශ්වාසය දිනාගන්න එක අමාරු වුණේ නෑ. මමයි නලිනුයි ගනේගොඩයි තුන් දෙනත් ලාවට චිත්‍රපටි මිලට ගන්න පටන් ගත්තා. ඒ දවස්වල නුගේගොඩ අනුලා එක ගාව දැනටත් තියෙන කඩේ (පිරමිඩ්ද කොහෙද නම) අපේ ගෙදර වගේ. ඊට පස්සෙ නුගේගොඩ රංග පීඨෙ ගාව CD විමන, තව සුපර් මාකට් එක ඇතුලෙ චිත්‍රපටි කඩ පේලි ටික.. වගේ නුගේගොඩ අවට DVD විකුණපු තැන් අපේ වාසස්ථාන වුණා. අපි ඒ ගත්තුව පාලිත අයියත් එක්ක හුවමාරු කරගත්තා. ඒ වැඩේ හොඳට ගියා.

ඔය කාලෙම මට පුරුද්දක් තිබුණා පාගොඩ පාරෙ සමුද්‍රසිරියෙ තිබුණ චිත්‍රපටි කඩෙන් අයිඩෙන්ටිය තියල රුපියල් තිහට හතලිහට චිත්‍රපටි ගන්න. ‍ගොඩක් විට එතනින් අරන් චිත්‍රපටිය හොඳනම් තියාගන්නම කඩෙන් ගන්නව VCD චිත්‍රපටිය රුපියල් 120/-ට. ඒ දවස්වල CD එකක් 60 ගානෙ තමයි VCD තිබුණෙ. නැත්තං හිස් CD දෙකක් අරන් write කරනව.

ඒ අතරෙ තමයි කොහුවල පාරෙ චිත්‍රපටි කඩයක් දැම්මෙ. දැන් ඒකෙ කොටසක් තමයි අර මුස්ලිම් කෑම කඩේ. (ඔය dinemore එක ඉස්සරහම වගේ) ඉස්සර ඒක සම්පූර්ණයෙන්ම චිත්‍රපටි විතරයි තිබුණේ. ඒක කරේ පකිස්ථාන් ජාතිකයෙක්. අපි කඩේට කිව්වෙ පකිස්ථාන් කාරයගෙ කඩේ කියල. ඒකෙ හිටපු ලස්සන පකිස්ථාන් පෙනුමැති අක්කලා නිසාත්, එතන තිබුණ හොඳ collection එක නිසාත් කාලයක් යද්දි ඒක අපේ ප්‍රධාන VCD මිලට ගැනීමේ ස්ථානය වුණා.

අනුන්ගෙන් හරි කුලියට හරි ගන්න චිත්‍රපටි ළඟ තියාගන්නත් ඔය වෙද්දි උවමනාව ඇති වෙනව. ඒ කියන්නෙ චිත්‍රපටි එකතු කිරීමේ පිස්සුව. ඒ නිසා ඊළඟට පටන්ගන්නෙ චිත්‍රපටි CD වලට burn කරල තියාගන්න එක. ඕකට මම සෑහෙන්න කාලයක් පාවිච්චි කළේ Maxell කියන CD වර්ගය. දැන් නම් ඒක වැඩිය දකින්නත් නෑ. නමුත් රුපියල් 30-40ක් වගේ ගාණකට ඒ දවස්වල ගන්න තිබුණ හොඳම එක ඒක. ඒවයෙ චිත්‍රපටි wright කරල, CD වල ලියන පෑනකින් A සහ B ලියල, පුංචි සිලි මල්ලකට ඒව දැම්මා. පින්තූර කඩේ පින්තූර ප්‍රින්ට් කරල අපතේ යන කොල වලින් මම ඒවට කවරත් හැදුව. ඔය මුලින්ම කියපු ලට්ට ලොට්ට අස්සෙ තිබුල හම්බ වුණේ එහෙම ඒව ටිකක් තමයි.

ගනේගොඩ අයිය DVD player එකක් ගන්නෙ ඒ කාලෙදි. 2005 - 2006 දි විතර. ඒ වෙද්දි VCD වල තිබුණ අන්තිම වෙද්දි හිර වෙන ගතිය නිසා ඒව එපා වෙලයි තිබුණෙ. ඉතිං වඩාත් හොඳ DVD නිසා VCD වලට තිත වැටුණා. ඊට පස්සෙ අපි හෙව්වෙ DVD. ඒවයෙත් චිත්‍රපටි 4-5 තියෙන collection DVD තමයි අපේ ප්‍රියතම. රුපියල් 200 - 250 වගේ ගාණකට Full quality චිත්‍රපටි 5ක්ම හම්බවෙන එක තරම් දෙයක් ඒ දවස්වල තිබුණෙ නෑ. ඒ දවස්වල තිබුණ හොඳම collection DVD වර්ග තමයි superbit සහ ultra entertainment කියන්නේ. ඒවයෙ තිබුණ collections සෑහෙන්න හොඳ තත්ත්වෙක තිබුණා. චිත්‍රපටිය DVD තත්ත්වයෙන්ම තිබුණා. අනික සම්පූර්ණ චිත්‍රපටියමත් අගදි පෙන්වන එක නමක්වත් අඩු නැතිව තිබුණා. කැමරා කොපි නෑ. සබ්ටයිටලුත් හොඳට වැඩ කලා. ඉතිං පුළුවන් තරම් ට්‍රයි ‍කලේ ඒවම ගන්න.

සැලකිය යුතු කාලයක් මම කලේ ඔය විධියට DVD කලෙක්ෂන් මාර්ගයෙන් චිත්‍රපටි බැලිල්ල. අපි අතරෙ හිටපු විවිධ රුචිකත්වයන් තිබුණ යාළුවො නිසා එක එක විධියෙ චිත්‍රපටි අපි අතරෙ එකතු වුණා.


---------------------------------------------------------------
මේ පිස්සුව හිතුවට වඩා කල් පැවතුන එකක් කියල තේරුණේ ලියන්න ගත්තම. මේක දැන් මාසයක් තිස්සෙ ලියනවා. ඒත් තාම ඉවර නෑ.

කොටස් වශයෙන් ලියන එක මම කැමති නැති වැඩක් වුණත් මේකෙ ඉතිරි කොටස හෙට තමයි දාන්න වෙන්නේ...

4 comments:

  1. මමත් චිත්‍රපටි පිස්සෙක් තමයි. ඒ කාලේ අපේ ගෙදර VCR Player එකක් නැති නිසා කොහෙන් හරි අහම්බෙන් VCR එකක් හමු‍වුනොත් යන්ත්‍රයක් තියෙන යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ල බලනවම තමයි. තව දෙයක් තමයි 95/96 වගේ කාලේ වැලිගම චාන්දනී කියන සිනමා ශාලාවේ දෙවන පංතියේ ප්‍රවේශ පත්‍රයක් රු.10/= ක් කලා. ඉතින් පාසල් යන කාලේ ‍මේ වගේ සහනයක් දුන්න එකට තාමත් එම සිනමා ශාලාවට හා චිත්‍රපටි සංස්ථාවට ණය ගැතියි. හැබැයි ඒකෙන් අධ්‍යාපනයටනම් යම් බලපෑමක් ඇති කරා කියලා දැන් හිතෙනවා. ඒ කාලේ නම් ඕවා හිනේනේ නැහැනේ. කොහොමවුනත් මමත් දැන් සැලකිය යුතු හොලිවුඩ් චිත්‍රපටි රාශියක හිමිකරුවෙක් අන්තර්ජාලයට පින් සිද්දවෙන්න.තව දේවල් ගොඩක් මේ ගැන කියන්න තියෙනවා. ඒවා ඔක්කොම කියන්න ගියොත් මෙතන තව බ්ලොග් පෝස්ට් එකක් වේව...

    ReplyDelete
  2. 90 දශකයේ මුල් කාලයේදී මටත් ෆිල්ම් උමතුව තදින්ම වැළදිලා තිබුණා.ඒ උමතුව වැළදුන යාලුවෝ දෙන්නෙකුත් හිටියා අපි මුලින්ම කරන්නේ මහනුවර නගරයේ ඔරලෝසු කණුව ලග තියෙන කටවුට් ටික බලන එකයි.ඉන් පස්සේ හොඳයි කියල හිතන ෆිල්ම් එකක් බලන්න යනවා.අපි එදා ගිය සමහර ෆිල්ම් හෝල් දැන් නැහැසමහර ෆිල්ම් අදටත් මතකයි.deathwish ,prettywomen , deathcalm,kliffhanger , platoon , prayer for the dying ඔය වගේ නම් සිය ගණනක් කියන්න පුළුවන්.දැන් ජීවිතය වෙනස් වෙලා මගේ මිතුරෝ දෙන්නත් වසර ගණනකින් මුණ ගැහිලා නැහැ.එත් ඉතින් මගේ ෆිල්ම් බැලීමේ ආසාව අදටත් වෙනස් වෙලා නැහැ.වෙනසකට තියෙන්නේ එදා හෝල් එකේබැලුව ෆිල්ම් අද ගෙදර ඉදල බලන එකයි.කොහොම උනත් අතීතය හොඳයි කියලයි මට හිතෙන්නේ. ,

    ReplyDelete
  3. මමත් චිත්‍රපටි බලන්න මාර කට්ටක් කාල තියෙනවා.දැන් නම් ඉතින් නෙට් තියෙනවානෙ.පට ගාල ඩවුන් කලා බැලුවා....

    ReplyDelete
  4. මට මාර ආසාවක් තිබුනා ඩෙක් එකක් ගන්න .. පස්සේ ඩෙක් එක ගන්න යන දවසෙම දෙවියෙක් වාගේ ආපු මිනිහෙක් කීවා ඕවා ගන්න එපා ගන්න වීසීඩී ප්ලේයර් එකක් දැන් ඉස්සරහට වීඑච් එස් බහින කලාව කියලා ඉතින් මමත් ගත්තා වී සී ඩී ප්ලේයර් එකක්

    අම්මට සිරි මම ඊට පස්සේ බලාපු ෆිල්ම් ටික .සුපර් මෑන් වගේ වීර කතා තමයි මම බැලුවේ . පස්සේ ඇනිමෙසන් ඒවා බැලුවා ..

    අන්තිමේට පරිගණකය ගත්තාම මට ෆිල්ම් පිස්සුව නැත්තටම නැති වෙලා ගියා

    ඊට පස්සේ ආවේ ගේම් පිස්සුව !

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!