Tuesday, 7 June 2011
ඔළුව උඩ පොතක්!
ඔළුව උඩ පොතක් තියාගෙන හැමෝටම බැණ බැණ ඇවිදපු මිනිහෙක් හිටියා.
ඒ පොතේ තිබුණෙ ජීවත් වෙන විධියලු.
අවුරුදු ගාණකට කලින් කවුදෝ පඬිවරයෙක් ලියපු පොතක්ලු.
අර මිනිහට ඒක දෙමව්පිය උරුමයෙන් හමුවුණ එකක්... පුංචි කාලෙදිමයි මිනිහ ඒක ඔළුව උඩ තියාගත්තෙ. හරි හැටි දැණුමක් නැති කාලෙදිම ඒකෙ තියෙන දේවල් කියවල පුදුම වෙලා, වික්ෂිප්ත වෙලා, සලිත වෙලා, වෙලිල, මුකුලිත වෙලා, භක්තිමත් වෙලා අන්තිමේ මිනිහ ඒක එයාගෙ පරමාදර්ශය කරගෙන...
දැන් එයා හිතන්නෙ මිනිස්සු හැමෝම ඒක අනුව ඉන්න ඕන කියලයි.
මිනිහ පොත ඔළුව උඩ තියාගෙන හැම තැනම යනව. මිනිස්සු දිහා ඇස් දෙකින්, මොළයෙන් බලනව වෙනුවට මිනිහ අනිත් මිනිස්සු දිහා බැලුවෙම පොත අනුව! ඉතිං දකින හැම මනුස්සයගෙම මොකක් හරි අල්ල ගෙන මිනිහ වැරදි කියවනව.
පඬිවරයෙක් ලියපු පොතක් ළඟ තියෙන නිසා මිනිහට මුකුත් නොකියා ගොඩක් අය එහෙයි කිව්වා.
ඒත් කිසි දෙයක් කණටනම් ගත්තෙ නෑ කවුරුත්...
හැමෝම මිනිහ එද්දි පේන්න ඔළුව නැමුවට මිනිහ ගිය ගමන් දුන්නක් වගේ ඔළුව ඉස්සුවා.
ඒත් පොත ඔළුවෙ තියාගත්තු මිනිහ හිතාගෙන හිටියෙ තමන් මාර වීරයෙක් කියල...
මැරෙණකල්ම පොත තිබුණ මිනිහගෙ ඔළුව උඩ...
මිනිහ ඒක කවදාවත් හරියට කියෙව්වෙ නැද්ද මන්දා...
කොහොම වුණත් මිනිහගෙන් පස්සෙ ඒ පොත එයාගෙ දරුවෙක්ට උරුම වුණා.
දරුවත් ගත්තගමන් පොත තියාගත්තෙ එයාගෙ ඔළුව උඩ!
Sunday, 5 June 2011
කැත නළුවෙක් එක්ක දිග...... ටෙක් කතාවක්!
සුරින්දර් සේරම අතෑරල දාල හිටියත් චිත්‍රපටි බැලිල්ල නතර කලේ නෑ. හැමදාම රෑ එක දෙක වෙනකල් චිත්‍රපටියක් දෙකක් බලල මිස සුරින්දර්ට නිදාගන්න බැරි වුණා. රඟපාන්න තිබුණ සුළු අවස්ථාවත් නැත්තටම නැතිවෙලා නිසා චිත්‍රපටි වින්දනයෙන් උපරිම තෘප්තියක් ලබන්නයි ඔහුට උවමනා වුණේ.
සුරින්දර් මුම්බායි නගරයේ නළුකම් හොයාගෙන ආවෙ බැංග්ලෝරයේ කරමින් හිටපු පරිගණක ඉන්ජිනේරු රස්සාව අතෑරලා. ඒ නළුවෙක් වෙන්න තිබුණ ආසාව හින්දමයි. ඒ ආයතනය ඔහුගෙ ඥාතියෙක්ගෙ වීම නිසා ආයෙ වතාවක් එතන රස්සාව ගන්න අමාරු නැති වග ඔහු දැනගෙන හිටියා. දන්න අඳුරණ යාළුවො එක්ක නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ගණනාවක් පස්සෙ අවුරුදු කීපයක්ම ඇවිද්දත් සුරින්දර්ගෙ රළු පෙනුම මොනම චරිතයකටවත් ගැලපුනේ නෑ. යාන්තම් අඬල දොඩල ලැබුණු සුළු චරිතයත් කරන්න බැරි වුණේ සුරින්දර්ට සිද්ධ වුණ හදිසි අනතුර නිසා. නොහිතපු වෙලාවක ලිස්සල වැටුණු වෙලේ මේස රෙද්ද පැටලිලා උණු වතුර පෝච්චිය බිමට වැටුණෙ උණු වතුර සුරින්දර්ගෙ කම්මුලේ තවරමින්. වතුර ගලාගෙන ගියේ කවදාවත් හොඳ කරන්න බැරි රුදුරු කැළලක් සුරින්දර්ගෙ දකුණු කම්මුලේ ඉතිරි කරමින්. සැත්කම් කීපයකින් පස්සෙ ආරෝග්‍ය ශාලාවේ ගෙවුණ සතී කීපය තුල සුරින්දර්ගෙ හිතේ ඉතිරි වෙලා තිබුණ නළුකම් බලාපොරොත්තු ටිකත් දියවෙල ගියා.
ඒ අවුරුදු එකහමාරකට කලින්. නොදැනුවත්වම තමන්ගෙ චිත්‍රපටි හීනය වෙනුවෙන් සුරින්දර් ජීවිතේ අවුරුදු කීපයක්ම වැය කරල තිබුණ.
ඔහුට යාන්තමින් අදහසක් පහල වුණේ හයවෙනි වතාවටත් ලගේ රහෝ මුන්නා භායි බලද්දි. සුරින්දර් ඒ චිත්‍රපටියට අතිශයින් ප්‍රිය කලත් ඔහුට කවදාවත් ඒ චිත්‍රපටිය තමන්ගෙ පෙම්වතියට පෙන්නගන්න බැරි වුණා. ඔහු චිත්‍රපටිය ගැන ගුණ උපරිමයෙන් වර්ණනා කලත් පෙම්වතිය ඒ කිසි දෙයක් කණකට ගත්තෙ නෑ. ඇයට තිබුණ එකම හේතුව වුණේ ඇය සන්ජේ දත්ට අකමැති වීම. ඒ නිසාම ඇය සන්ජේ රඟපාන කිසිම චිත්‍රපටියක් බැලුවෙ නෑ.
සුරින්දර් කල්පනා කලා...
ඇයි හැමදාම එකම අය රඟපාන චිත්‍රපටි බලන්නෙ? රඟපාන නළු නිලියො වෙනුවට අපට කැමති කෙනෙක්ව ආදේශ කරගන්න විධියක් නැද්ද?
ඔහු හිතුවා...
සුරින්දර්ගෙ අනාගතේම වෙනස් කරපු අදහස ඔහුට ආවෙ එතනදි.
ඔහු ආයෙම සියල්ල දමල ගහල බැංග්ලෝරයට ගියේ ඒ අදහස ක්‍රියාත්මක කරවන්න.
ඊට පස්සෙ ඔහු තමන්ගෙ අදහස ක්‍රියාත්මක කරවන්න පුළුවන් පද්ධතියක් සැලසුම් කලා.
දැනටත් චිත්‍රපටි වලදි යොදාගන්න motion capture ක්‍රමවේදයම සෑහෙන්න දියුණු කරන්නයි සුරින්දර් සැලසුම් කලේ. මේ ක්‍රමයෙදි නළුවෙක් අවශ්‍ය වුණේ අවශ්‍ය චලනයන් ලබාගන්න විතරයි. සියළුම රඟපෑම් සිදු කලේ ත්‍රිමාණ අංකිත අවකාශයක. ඒ දත්ත සියල්ල අවශ්‍ය පරිදි සංශෝධනය කරලා ගබඩා කලා. ඒ ඒ නළුවන් වෙනුවෙන් නිමැවුණ ත්‍රිමාන චරිත තමයි අවසාන රංගනයෙ හිටියෙ. ඒ ඒ අවස්ථා වලදි තිබුණ හැඩ ගැන්වීම්, හැඟීම් නිරූපනයන්, ඇඳුම්, ආලෝකය වගේ වෙනස් වෙන සාධකත් වෙනම ගබඩා වුණා. වෙනම tracks වල!
සුරින්දර් සැලසුම් කලේ ඔහුගේ ක්‍රමය චිත්‍රපටි ශාලාවලට පාවිච්චි කරන්න නෙවෙයි. ඔහු ඉලක්ක කලේ නිවාස සිනමා පද්ධති. ඔහු ගබඩා මාධ්‍යය විධියට පාවිච්චි කරන්න හිතුවෙ blue-ray තැටි හෝ HD-DVD තැටි. සිනමා ශාලාවලට චිත්‍රපටියෙ සාමාන්‍ය පිටපතක් සකස් වුණා.
සුරින්දර්ගෙ අදහස වුණේ ඕනෑම කෙනෙක්ව චිත්‍රපටියෙ නළුවෙක්ට ආදේශ කරගැනීමේ අවස්ථාවක් දෙන්නයි. චිත්‍රපටියෙ චරිත වල රඟපෑම් අංකිතව ගබඩා වෙලා තිබුණ නිසා වෙනත් ඕනම කෙනෙක්ගෙ මුහුණේ ත්‍රිමාණ සැකසුමක් චිත්‍රපටියෙ නළුවෙක්ගෙ මුහුණට ආදේශ කරගන්න පුළුවන් වුණා. උවමනා වුණේ කෙනෙක්ගෙ මුහුණෙ ත්‍රිමාණ අංකිත පිටපතක් විතරයි. ඒ පිටපත නිපදවගන්න මෘදුකාංගයක් ඔහුට ලේසියෙන් හදාගන්න පුළුවන් වුණා. අමතර දෙයක් විධියට අවශ්‍ය වුණේ පරිගණකයකට සවි කරපු කැමරාවක් විතරයි.
ඔහුම ඔහුගේ පද්ධතිය මුල් වතාවට පරීක්ෂා කලා.
තමන්ගෙ ලැප්ටොප් එක ඉදිරියේ ඔහු ඉඳගත්තා. ඒකෙ තිබුණ වෙබ් කැම් එකෙන් ඔහුගේ මුහුණේ ඉදිරිපස සහ පැති පෙනුමෙ පින්තූර ගත්තා. ඒ පින්තූර දෙක මෘදුකාංගයට ලබාදුන්නම මෘදුකාංගයෙන් ඔහුගෙ මුහුණෙ ත්‍රිමාණ ආකෘතියක් හැදුවා.
ඊට පස්සෙ ඔහු චිත්‍රපටියට චරිත ආදේශ කරන්න හදපු මෘදුකාංගය විවෘත කලා. ඒකෙ ඒ වෙද්දිත් පරීක්ෂණ සඳහා නිපදවුණ ඔහුගෙ චිත්‍රපටිය ප්‍රවේශනය කරල තිබුණා. ඔහුට තිබුණෙ ඒකෙ ඕනෑම චරිතයක් තෝරන්න. ඊට පස්සෙ ඔහු ඒ චරිතයේ පෙනුම වෙනුවට තමන්ගෙ ස්වරූපය ආදේශ කරගන්න කියල විධානයක් දුන්නා. එතනදි ඔහුගෙ ත්‍රිමාණ මුහුණු අනුරුව චිත්‍රපටියෙ චරිතයට ආදේශ වුණා. ඒ ඒ අවස්ථාව අනුව ගබඩා වෙලා තිබුණ රඟපෑම්, හැඟීම්, වෙස් ගැන්වීම් වගේ දේවල් චරිතයට එකතු වුණා.
කල යුතු වුණේ එපමණයි. චිත්‍රපටිය ධාවනයට අණ දුන්නට පස්සෙ ටික වෙලාවකින් සුරින්දර් චිත්‍රපටියේ රඟමින් හිටියා. සැබෑ නළුවෙක් වගේම.
චිත්‍රපටිය render වුණේ තථ්‍ය කාල හෙවත් real time ක්‍රමයට. පුංචි pre buffering ක්‍රමයකුත් තිබුණා. වානිජ වශයෙන් මේ ක්‍රමය හඳුන්වල දෙනකොට ඒ තාක්ෂණික දේවල් ගැන වැඩි අවධානයකින් සලකන්න සුරින්දර් හිතුවා. ඇත්තටම ඔහුට උවමනා වුණේ තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට මේ ක්‍රමයේ පහසුව සලසවන්න.
වසර ගානකට පස්සෙ සුරින්දර් සිනමාව සහ විද්‍යුත් චලන රෑප කලාව අළුත් මාවතකට යොමු කරපු නිර්මාණ ශිල්පියෙක් විධියට ඉහලම ගෞරවයට පාත්‍ර වුණා. තමන්ගෙ නිර්මාණයේ පේටන්ට් අයිතිය ලබාගෙන ඔහුම අදාල තැටි ධාවන යන්ත්‍ර නිපදවන්න පටන් ගත්තා. ඔහුම චිත්‍රපටි නිෂ්පාදකයෙක් වුණා. ඔහුම රඟපෑවා. ඔහුගේ අළුත් චරිත ආදේශන ක්‍රමය ඉක්මනින් මිනිස්සු වැළඳගත්තෙ හැමෝටම නළුවො වෙන්න උවමනාවක් තිබුණ හින්දා සහ ඒක බොත්තම් කීපයක් එබීමෙන් කරගන්න පුළුවන් දෙයක් වෙන තරමට සරල වෙලා තිබුණ නිසයි.
ඇත්තටම සුරින්දර්ගෙ සැලසුම සරල එකක් වුණා. ඔහුගේ වාණිජව නිපදවපු යන්ත්‍රය සාමාන්‍ය blue-ray හෝ HD-DVD ධාවන යන්ත්‍රයක් වගේමයි. ඒකෙ USB සම්බන්ධක කීපයක් තිබුණා. ඒ එක්කම ස්පර්ශ සංවේදී පුංචි වර්ණ තිරයකුත්. චිත්‍රපටිය තිබුණ තැටියෙ render කරපු චිත්‍රපටියෙ මුල් පිටපත වගේම චරිත හැර පසුබිම පමණක් render කරපු පිටපතකුත් තිබුණා. ඒ එක්කම රඟපෑම්, හැඟීම්, චරිත වල ලක්ෂණ, ආලෝකය වගේ වෙනස් වෙන සාධක අඩංගු ගොනු සහ ඒව එකිනෙක සම්බන්ධ කරන විධාන අඩංගු ගොනුත් තැටියෙ තිබුණා. මුල් අවස්ථා වලදි චරිත වෙනස් කරන්න අවස්ථාව ලැබුණෙ ප්‍රධාන චරිත සඳහා විතරයි.
චිත්‍රපටිය බලන මනුස්සයට උවමනා වුණේ අර USB සම්බන්ධකය හරහා කැමරාවක් හෝ flash drive එකක් යන්ත්‍රයට සම්බන්ධ කරලා තමන්ගෙ මුහුණෙ ඉදිරි සහ පැති පෙනුමෙ පින්තූර දෙකක් මෘදුකාංගය වෙත ලබා දෙන එකයි. ඊට පස්සෙ ඒ පින්තූර දෙක පාවිච්චි කරලා යන්ත්‍රය තුල තිබුණ මෘදුකාංග වලින් ස්වයංක්‍රීයව මුහුණේ ත්‍රිමාන අනුරුවක් නිර්මාණය වෙනවා. චිත්‍රපටියෙ අදාල චරිතයකට මේ මුහුණ සම්බන්ධ කලාට පස්සෙ pre rendering වලට තත්පර කීපයක් ඉන්න වෙනවා. ඊට පස්සෙ තමන්ම රඟපාන චිත්‍රපටියක් බලන්න ප්‍රේක්ෂකයට පුළුවන්.
ඊට පස්සෙ සුරින්දර්ට පුළුවන් වුණා නළුවෙක් වීමේ හීනය සැබෑ කරගන්න. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු ඔහුව හොයාගෙන ආවා. මූණෙ පැත්තක ලොකු කැලලක් තියෙන නළුවා විධියට සුරින්දර් ලෝකෙම ජනප්‍රිය වුණා.
Friday, 3 June 2011
ගොඩගම එලිමහන් පිරමීඩයේ චිත්‍ර ඇඳිල්ල!
මාතෘකාවෙන්ම වැඩේ අල වෙනව කියල තේරෙණව වුණත් ලියනව ඇර කරන්න දෙයක් නෑ.
දන්නවනෙ ගනේගොඩ අයියව. එයා මේ බ්ලොග් එකේ රැඳිල ඉන්න චරිතයක්. මගේ ජීවිතේ ඇතුලෙත් හැමවෙලේම රැඳෙන කෙනෙක්. මෙයාගෙ ගෙදර සම්පූර්ණයෙන්ම හදල ඉවර වුණේ මෑතකදි. ඒ කියන්නෙ ආලින්දය විධියට පාවිච්චි කරන්න යොදාගන්න කොටස අළුතින් හැදුවෙ ගෙදර ඉතිරිය සම්පූර්ණ කරලා අවුරුදු 12කට විතර පස්සෙ. හේතුව කම්මැලිකම. එයයි නෝනයි විතරක් ඉද්දි මොකටද ඔය තරම් උජාරුවට ගෙවල් කියල තමයි ගේ නොහදාම හිටියේ.
මේ ආලින්දය කොටසෙ වැඩි යමක් නැති එකම තමයි ගතිය. දකුණු පැත්තෙ තියෙන කොටසෙ උස් බිත්තියක් නෑ. කොට බිත්තියත් එක්ක ඉඳගන්න, නිදාගන්න ඉඩකඩ සහිතව පූර්ණ පහසුකම් තියෙන සිමෙන්ති බංකු කොටසක් තමයි තියෙන්නේ. මේ බංකුවෙ හැඩය අර්ධ වෘත්තාකාරයි. අර්ධ වෘත්ත කොටසෙත් වෘත්ත හැඩය තියෙන්නෙ බාගෙක විතරයි. අනිත් ටික හරියට වෘත්ත චාපයක් කැපුව වගේ තනි බිත්තියකින් වැහිලයි තියෙන්නෙ.
මේක හදල තියෙනව දැක්ක ගමන් මම කිව්වෙ මේක එලිමහන් රංග පීඨයක් වගේ කියල. මොකද මැද තියෙන්නෙ ලොකු ඉඩක්. ඉඳගන්නත් හොඳ තැනක් තියෙනවා. බිත්ති දෙකකින් ඇරුණම අනිත් දෙපැත්තෙන්ම පරිසරයට විවෘතයි.
මෙහෙම හදන්න ඒ දවස්වලම පැලෑනක් තිබිල තියෙනව. මොකද දන්න කාලෙ ඉඳන් ගෙදර ඔය කියන අළුත් කොටසෙ අත්තිවාරම තිබුණෙත් ඔය හැඩේට තමයි. අවසානෙදි කියන්න වෙන්නෙ මේ විධියට මේක හදල තියෙන්නෙ තනිකර සෙට්වීමේ ආතල් එක උදෙසාමයි. ඊට අමතරව අර බංකුව උඩට වෙලා හුළං වැදි වැදී දුමක් එක්ක පොතක් කියවන එක, නැත්තං රස්නෙ දවසක හොඳට දිගෑදිලා දපන එක වගේ ආතල් වලටත් මේක කියාපු පොට් එක කියලයි ගනේ කියන්නේ.
මට සෙට් වුණේ අර තනි බිත්තියෙ චිත්‍රයක් අඳින්න. නිකං නෙවෙයි පිරමීඩ චිත්‍රයක්. අර ඔළුවට වෙස්මූණු දාගෙන අත් පය කොකා මාක් ගහගෙන ඉන්න පිරමීඩ චිත්‍ර. බිත්ති වල ඇඳිල්ල කලින් කරලම නැති වැඩක් වුණාට ගනේ ඉතිං කියන්නෙත් එහෙම වැඩක් විතරයි නිසා මගෙත් තෘප්තිය වෙනුවෙන් වැඩේ කරමු කියල සෙට් වුණා.
මුලින්ම කලේ ජංජාලෙ සැරිසරල අඳින්න තරම් නීට්, පැහැදිලි පින්තූරයක් හොයාගන්න එක. ඒක ඒ තරම් අමාරු වුණේ නෑ. අඩි 4x8 වගේ සයිස් එකකට කරමු කිව්ව නිසා මම ඒ පරිමාණයට අර හොයාගත්තු පින්තූරය එහෙ මෙහෙ කරල හැදුවා. ඊට පස්සෙ ඒකෙ අඟල් බාගෙ කොටු වලින් ග්‍රිඩ් එකක් දැම්මා. ඒ කිව්වෙ බිත්තියට ට්‍රේස් කරගන්න ලේසි වෙන්න පින්තූරෙ පුරා කොටු ගැහුවා. පස්සෙ ඒක ප්‍රින්ට් එකක් ගත්තා.
මේකත් අරන් ගිහින් අදාල පුද්ගලයට පෙන්නුවමයි මිනිහ ඔළුවෙ අතගහගත්තෙ.
"අම්මේ මචෝ මේක උඹ මේ තරම් සිරාවට ගත්තට මෙච්චර ඕන නෑ... අපි මෙන්න මුන් තුන්දෙනා විතරක් අඳිමු."
එහෙම කියලා පොර මට චිත්‍රයෙ කොටසක් පෙන්නුවා. ඊට පස්සෙ අඩි 4x8 ප්‍රමාණයට ඒ කොටස ආයෙත් ස්කේල් කරන්න වුණා.
චිත්‍රයෙ සේරම හදාගත්තට පස්සෙ දෙන්නත් එක්ක මනින ටේප් එකයි ඇළුමිනියම් මට්ටම් ලීයයි එහෙ මෙහෙ කරකවමින් බිත්ති කොටසෙ හරි මැදට වෙන්න අපට ඕන කොටු ටික ඇඳගත්තා. ඒක ඒ තරම් අමාරු වැඩක් වුණේ නෑ. දෙන්නම අති පණ්ඩිතයො වුණ නිසා දෙතුන්පාරක් අල වෙන්න ගිහින් තමයි ෂේප් කරගත්තෙ. :P
ඊට පස්සෙ මම පැන්සලක් අරන් අර කොලේ බලාගෙන ඒකෙ කොටුවෙන් කොටුව බිත්තියට කොපි කරමින් වැඩේ කරන්න පටන්ගත්තා. එතකොට තමයි වැඩේ බරපතලකම තේරුණේ. අර ගයිඩ් එකට ගත්තු කොලේ කොටු හැමතැනම. මුල් වර්ශන් එකේදි මම දාපු කොටු ටිකයි පස්සෙ ස්කේල් වෙනස් කරපු වතාවෙ පැන්සලෙන් ඇඳපු කොටු ටිකයි සේරම ටැපලෙනවා අඳින්න ගියාම. දෙතුන් වතාවක්ම වරද්දගත්තත් මකන කෑල්ලක බාගයක් ගෙවෙනකල් මකල ආයෙත් හරියට ඇඳගත්තා. කොහොමින් හරි අන්තිමේ ඇදක් නැතිව වැඩේ කෙරුණා.
ඊට සති දෙකකට පස්සෙ තමයි මම ආයෙත් ඒ පැත්තෙ යැවුණෙ හරියටම පහුගිය මැයි 30 වෙනිදා. එදා ගනේගොඩ අයියා පින්සල් දෙකක් එක්ක තීන්ත ටිකත් ලෑස්ති කරල තිබුණ. ඊට අමතරව එයා අර චිත්‍රවල ඉරි ඉතිරි කරල අනිත් වැඩක් නැති ඉරි සේරම බිත්තියේ පාට තීන්ත වලින් වහල තිබුණ. ඉතිං මම කෙලවරක ඉඳන් පටන්ගත්ත වැඩේ. අතරින්පතර දුමක් දෙකක් එහෙ මෙහෙ ගියා.
අන්තිමේ final, last අවසාන ප්‍රඩක්ට් එක විධියට කළු දාර සහිත පිරමීඩ චිත්‍ර සම්පූර්ණ වුණා. පාට කරන්නත් මුලින් අදහසක් තිබුණට පස්සෙ හිතුණා පාට කරනවට වඩා නිකංම තියෙන එක හොඳයි කියලා. මදි පාඩුවට මෝස්තරයක් දාමු කියලා ෆයිල් කවරෙකින් අච්චුවක් කපාගෙන බෝඩරෙකුත් ගැහුවා යටට වෙන්න. දැන් වැඩේ හරි. හොඳ නෑ වගේනම් ආයෙ ඒ පැත්තෙ ගිය දවසක මට වැඩ තියෙයි.
ඔන්න ඔහොම තමයි ගොඩගම එලිමහන් පිරමීඩයෙ චිත්‍ර ඇඳුණෙ. වැඩේ පොඩි අවුලක් මාට්ටු වුණා පස්සෙ. ඒක ඒ හැටි ගාණකුත් නෑ. ඇහැක්නං හොයාගන්ට! තව ඉතිං බිත්තිවල චිත්‍ර ඇඳිල්ල ගැන ලියන්න හිතාගෙන ඉන්නකොට මකුළු පැංචිත් ඒ ගැන ලියල තිබුණා. ඒකත් බලන්නකෝ.
Subscribe to:
Posts (Atom)






