Saturday, 30 April 2011

අවසානයට පෙර | විද්‍යා ප්‍රබන්ධයක්ද මන්දා...


හතරවෙනි වෙනි ලෝක යුද්ධයෙදි එතෙක් පැවතුණ හැම එකකදිම සහභාගි වුණාට වඩා රටවල් ඒකට සහභාගි වුණා. මධ්‍යම යුරෝපයේත් ලතින් ඇමරිකාවෙත් රටවල් කීපයක් ඇරුණම මුළු ලෝකෙම පැති කීපයකට බෙදිල එකිනෙකා මරාගත්ත.

ඒත් දැන් ඒක ඉවරයි. ඉතිරි වෙලා තිබුණ සම්පත් සහ ශ්‍රමය වැය කරල නැති වුණ ලෝකය ගොඩනගන්න උවමනා කරන සැලැස්මකයි ඊට පස්සෙ ලෝකය පැවතුණේ. ඒත් තවදුරටත් වලංගු නොවුණ දේශානුරාගය කියන හැඟීමට විදුලිය සැපයෙමින් ලෝකයේ තැනින් තැන පුංචි රටවල් අතර යුද්ධ ඇවිලුණා.

ආයෙත් ලෝකයම එක තැනකට ආවෙ ලෝකය පුරා රටවල් යා කරමින් නැවත ඉදිවෙමින් පැවතුණ සයිබර් ජාලය පුරා විසිරිලා ගිය ප්‍රවෘත්තියක් නිසා. පැය කීපයක් ඇතුලත ඒක මුළු ලෝකෙම විද්‍යුත් සහ මුද්‍රිත සන්නිවේදන මාර්ග වල එකම ප්‍රවෘත්තිය වුණා.

ඒක අයිතිකරුවෙක් නැති පණිවුඩයක්. නිකුත් වෙලා තිබුණෙ හ‍ඳෙන්...

ඒකෙ වැඩි විස්තරයක් තිබුණෙ නෑ.

ඉතාම ඉක්මනින් හඳ ලෝකයට අහිමි වෙන බවත් එක්ක ලෝකෙ හොඳම ගණිතඥයන්වත් අමාරුවෙ දාපු සමීකරණ කීපයක් විතරයි පණිවිඩය වුණේ.

මෙතුවක් කල් හඳ කියන්නෙ රාත්‍රියට විතරක් ඉඳල හිටල මතක් වුණ කවියොයි ආදරවන්ත‍යොයි මසුන් මරන්නොයි විතරක් ආදරය කරපු දෙයක් වුණාට ඒ මොහොතින් පස්සෙ කවුරුත් හිටියෙ හඳ දිහා බලාගෙන. හරියට ඒක නැති වෙයි වගේ.

ප්‍රවෘත්තිය විශ්ලේෂණය කරල ලෝකෙ හිටපු විද්වත්තු එක එක කතා කියන්න පටන් ගත්ත. ජ්‍යෝතිර්වේදියො විද්‍යුත් මාධ්‍ය වල තරු බවට පත්වෙලා හිටිය. කොහොම වුණත් උපකල්පන ඇරුණම කාටවත් හරියට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න පුළුවන් වුණේ නෑ. වඳවීමට ලක්වෙලා තිබුණ දෙවියන් ආයෙමත් ජනප්‍රිය වුණා. දූවිලි බැඳුණු පරණ පොත්වල එක එක පාඨ කොටස්වලට අළුත් තේරුම් ආවා. මෙතුවක් පිලිගන්න පුළුවන් සාක්ෂි නොතිබුණ පිටසක්වල ජීවය සහ බුද්ධිය ගැන එකපාරම ලොකු කතිකාවක් ඇති වුණා.

බොහොමයක් දෙනා විශ්වාස කලේ දෙවියන් තමන්ව අත්හැරපු බවයි. ඒකට හේතුව විධියට එකිනෙකා විනාශකරගැනීම දක්වා මිනිස්සු පිරිහීම කියන කාරණේ ලොකු තල්ලුවක් දුන්නා. නමුත් තවමත් අවස්ථාවක් ඉතිරි වෙලා තිබීම නිසා කවුරුත් දෙවියන් ගැන කිසි දෙයක් ස්ථිරව කිව්වෙ නෑ.

ලෝකෙම සුපිරි පරිගණක හ‍ඳෙන් ආපු සමීකරණ විසඳන්න ඔට්ටු වුණා. ඒ අතරෙ ඒව සයිබර් අවකාශයේ ප්‍රචලිත කරේ ඕනෙම කෙනෙක්ට විසඳන්න පුළුවන් විධියට. සමීකරණ කීපයේ තිබුණ විචල්‍යය ගණනාවක් එක එක දේවල් වලට සම්බන්ධ කරමින් අදාල මූල හොයාගන්න එක ලේසි වැඩක් වුණේ නෑ. ගණිතඥයො එක්ක දාර්ශණිකයො, ලේඛකයො වගේ ගණිතය නොදත් අයත් සමීකරණ වල විචල්‍යය බදාගෙන දඟලන්න අරන් තිබුණා.

පෘථිවියට හ‍ඳේ එකම පැත්ත පේන්නෙ ඇයි කියන ප්‍රශ්ණයට හැමදාම පිලිතුර වුණේ හ‍ඳේ භ්‍රමණ සහ පරිභ්‍රමණ වේග සමාන වීමයි කියන ප්‍රකාශය. ඒක එහෙමයි කියල පිලිගත්ත මිස ඒක එහෙම වෙන්නෙ ඇයි කියල හිතන්න කවුරුත් පෙළඹුනේ නෑ. හ‍ඳේ අනිත් පැත්ත ගවේශණය කරන්න බිහිවුණ අභ්‍යවකාශ ව්‍යාපෘති ගණනාවක් සැලසුම් වලට විතරක් සීමා වෙලා නතර වෙලා නොතිබුණා නම් හ‍ඳේ නොපෙණෙන පැත්ත හොඳින් විශ්ලේෂණය කරන්න තිබුණා. ඒත් ලෝක ආදායමෙන් හතරෙන් එකක්ම යුද්ධ වලට වියදම් වීමත් එක්ක අභ්‍යවකාශ ව්‍යාපෘති තිබුණෙ එකින් එක නවතින්න අරන්. ඒ එක්කම ලෝක ආර්ථික අර්බුද එක්ක පාලනය කරගන්න බැරිව වර්ධනය වුණ ජනගහනයට සැපයීම් කරන්න සැලකිය යුතු මුදලක් වියදම් වුණා.

පැවැත්ම වෙනුවෙන් භෞතිකය වෙනුවට කලාව, ආගම, දර්ශණය එක්ක පටු ලාභ වෙනුවෙන් මතු කරපු ස්වෝත්තමවාදී හැඟීම් රජ කරපු යුගයකදි අභ්‍යවකාශය වෙනුවෙන් කවුරුත් ආයෝජනය කලේ නෑ.

ඒත් අවසානයෙ එක රාත්‍රියකදි හිටිහැටියෙම හඳ පුංචි වෙන්න ගත්තා. ඒක ටිකෙන් ටික පෘථිවියෙන් ඉවතට ගියා. ගණන් බැලීම් අනුව ඒකෙ ඉලක්කය වුණේ ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය වුණත් සති කීපෙකට පස්සෙ ඒ ගැන හොයන්න ක‍වුරුත් උනන්දු වුණේ නෑ.

බොහොම ඉක්මනින් විද්‍යාඥයින් කීපදෙනෙක්ට පොටක් අල්ලගන්න පුළුවන් වුණා. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හැමදේම සිද්ධවෙලා ඉවර වෙලත් ඉවරයි.

පෘථිවිය ටිකෙන් ටික සූර්යයා ‍දිහාවට ඇදෙන්න අරන් තිබුණා. මෙතුවක් කල් හ‍ඳෙන් වුණේ සූර්යයා එක්ක පෘථිවි කක්ෂය සමපාත කිරිමක්. ඒ එක්කම හඳ අපට කවදාවත් හොයාගන්න පුළුවන් වෙයිද කියන හිතන්න බැරි බුද්ධියක නිර්මාණයක්. ඒක නැතිව පෘථිවිය අසමපාත වුණා. බීපු මිනිහෙක් වගේ ඒක දෙපැත්තට පැද්දුණේ නැතත් සූර්යයාගෙ ආකර්ෂණය හිටියෙ පෘථිවිය ගිලගන්න බලාගෙන.

පෘථිවිය සූර්යයාගෙන් නියම දුරක රඳවගත්තෙ හ‍ඳෙන්. පෘථිවිය ජීවයට හිතකර ග්‍රහලෝකයක් වුණේ ඒ නියම කක්ෂයේ රැඳුණ නිසා. හඳ ගැන එක එක කතා දන්න අතීතයෙ ඉඳන් තිබුණත් ඒක නැතිවෙනකල් හ‍ඳේ භෞතික උවමනාව අපට තේරිල තිබුණෙ නෑ. ක්ෂුද්‍ර ජීවින්ගෙ ඉඳන් සත්ත්ව මිනිස් සංස්කෘති හරහා සයිබර් ජීවය දක්වාම ලෝකය සංවර්ධනය වුණේ හඳ නිසා. ඒත් දැන් හ‍ඳේ සමපාතනයෙන් තොරව සූර්යයා වටේ සම්පූර්ණ කරන හැම පරිභ්‍රමණයකදීම පෘථිවියෙ මධ්‍ය කක්ෂයේ අරය ටිකෙන් ටික අඩු වුණා.

අන්තිමේදි ගණනය කරල හොයාගත්තෙ පෘථිවිය අවුරුදු තිහක් ඇතුලත සිකුරුගේ මධ්‍ය කක්ෂයට සමපාත වෙන බවයි. ඒ දක්වා පොළොව අභ්‍යන්තරයෙ වාසස්ථාන වල ඉන්න මිනිස්සුන්ට පුළුවන් වුණත් සිකුරුගේ ඉඳන් ඉදිරියට තියෙන්නෙ ලෝකෙ වටේටම ගිණියම් වීමක්.

ඒ වෙද්දි මිනිස් වර්ගයා පවත්වගැනීමේ හැකියාව වෙනුවෙන් විකල්පයක් හොයාගන්න බැරි වුණොත් තවත් වඳවී ගිය ජීවීන් කොටසක් විධියට පෘථිවියේ සත්ත්ව වර්ග ගැන කතාකරන්නවත් කවුරුවත් ඉතිරි වෙන එකක් නෑ. හැබැයි සහමුලින්ම විනාශ වෙන්න කලින් සැලකිය යුතු කාලයක් පවතින්න ඉඩ දීමත්, විසඳන්න තිබුණ සමීකරණ කීපයත් නිසා කවුරුත් බලාපොරොත්තු අතහැරගන්න හිතුවෙ නෑ. සමීකරණ වලින් ‍යහපත් බලාපොරොත්තුවක් ඇතිකරගන්න අවස්ථාව සැලසෙන බව බොහොමයක් දෙනා විශ්වාස කෙරුව.

වෙනත් ග්‍රහලෝකයක්, සඟවපු අභ්‍යවකාශ යානයක්, සමාව අයදින්න ක්‍රමයක්, උල්කාවකින් ආයෙත් පෘථිවි කක්ෂය සමපාත කිරීමක් වගේ එක එක උපකල්පන මැද ලෝකෙම මිනිස්සු අන්තිමේ එක බලාපොරොත්තුවක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් හිටියා...


.....................................................................

අපරාදෙ මේක මේ තරම් වෙලා අරන් කියෙව්වේ... මේකෙ ෂෝට් වර්ෂන් එක බලන්න One|Zero|Zero වෙත යන්න

Thursday, 21 April 2011

ගණංජෙනී බීඩි | For a healthy smoke

වැල වගේ පෝස්ට් දැම්මට පස්සෙ ආයෙ කාලෙකට ලියන්න මාර කම්මැලියි. ඒ වුණාට දවස් කීපයකින් මුකුත්ම ලියන්න වෙන එකත් ෂුවර් නැති නිසා පොඩි ආතල් පෝස්ට් එකක් දාන්න හිතුණා. මේ වර්ගයේ පෝස්ට් දාන්න වෙනම එකක් හදාගෙන යමින් හිටියට කම්මැලිකම හින්දා ඒ සේරම දේවල් ගොළුබෙලි වේගෙන් තමයි සංවර්ධන කරා යැවෙන්නේ...

ඔන්න ඉතිං අපේ ඔෆිස් එකේ ඉන්නවා සස්සන නංගි කෙනෙක් ජෙනී කියලා. එයා ඉතිං ටිකක් ගණං නිසා අපි කියන්නෙ ගණංජෙනී කියල. එයාට ඔය තරුණ ගෑණු ළමයින්ට තියෙන පුංචි පුංචි අසනීප වර්ග ටිකකුත් තියෙනව. හැබැයි කොයි තරම් අප්සෙට් වුණත් එයා අපේ අහිංසක විහිළු උපරිමේකට දරාගන්න පුළුවන් හරිම හොඳ ළමයෙක් තමයි.

ඉතිං එයාගෙ උපන් දිනේ හෙවත් බීඩී එක තිබුණා අප්‍රේල් මුල් සතියෙ.

උපන් දින වලදි සාමාන්‍යයෙන් වෙන විධියට සෙක්ෂන් එකේ සෙට් එකේ දිළිඳු දායකත්වයෙන් එයාට තෑග්ගක් අරන් දෙන අතරෙ මම එයාට දෙන්න හදපු බර්ත් ඩේ කාඩ් එක තමයි පහල තියෙන්නේ. ඉස්සර පින්තූර කඩේ වැඩ කරද්දි නම් ෆොටෝෂොප් වලින් දාපු වැඩ කෑලි දැන් දාන්නෙ අතින් තමයි.

වැඩි කතා ඕන නෑ...




Tuesday, 19 April 2011

The Making of මොහොතින් මොහොත - One|Zero|Zero for dummies




One|Zero|Zero කිව්වම ඔය කවුරුත් දැන් දන්නවනේ... මේක මේ අපේ කිං රාවණාට මහරගම කිට්ටුවදි නිකමට වගේ හිතුන දෙයක්. උගේ තියෙන කැසිල්ලට ඕක අපේ සෙට් එකට කියල දැම්මා. අපේ තිබුණ කැසිල්ලත් එක්ක සෙට් එකේ කට්ටියගෙ අදහස් එක්ක මේල් දෙතුන්සීයක් විතර එහෙ මෙහෙ යන අතරෙ ඕක One|Zero|Zero විධියට සැලසුම් වුණා. ඊට පස්සෙ උගේ ගල් මරණය, කාටවත් ආගන්තුක නැති ආගන්තු:කයා, ශ්වේතඥ්ඥ කුජින්ත සහ හම සඳුන් නොදරුවාගේ පරිපාලනයෙන් එලියට ඇවිත් උන්ට ඕක කරගන්න බැරි වෙද්දි දන්තජ ලිෂ් සහ සුන්දර මඩ හරේගේ (ඒක තමයි ප්‍රසිද්ධියෙ කියන නම... රහසින් නම් මොන මොන පව් කරගන්නවද දන්නෙ නෑ... :P) ගරු දායකත්වයෙන් හැඩගැන්විලා දැන් වදන් සියයක වියමන් ලස්සනට ඇදීගෙන යනවනේ...

ඔය ටික කාලෙකට කලින් හොඳම ග්ලොබ් එක කියල සම්මානයකුත් හම්බ වුණානේ....

ඉතිං මේ කියන්නෙ මම වතාවක් ඕකට ‍වචන සීයක් ලියද්දි අනුගමනය කරපු දේවල් කීපයක් තමයි. කීපයක් කිව්වට ලිවීම කියන වැඩේ කරන්න තියෙන්නෙ ඉතිං එකම විධියක්නෙ ඉතිං. ලියන එක තමා... ;-)

නමුත් වචන සීයක් කියන්නෙ අභියෝගයක්. ටිකක් තියුණු සීමාවක්. සාමාන්‍යයෙන් නම් අපි වචන ගැන නොහිත ගේමක් නැතිව ලියාගෙන ගියාට වචන සීමාවත් එක්ක අපට හිතන්න අමතර දේවල් ගොඩක් ලැබෙනව. ඒක නිකංම ලියාගෙන යනවට වඩා බරපතල වෙන්න පුළුවන්. නමුත් අදාල ක්‍රම අනුව වැඩේ කරගත්තොත් වචන සීයක් කියන්නෙ අපට උවමනා දේ කියන්න ඕනවටත් වඩා නිදහසක් තියෙන සීමාවක් කියල තේරෙනව. හැබැයි සීමාවකට ලඝු වීම නිසා මේ වචන සීය ඇතුලෙ යම් නිර්මාණාත්මක දේවල් කිරීමේ අභියෝගයකුත් අවස්ථාවකුත් තියෙනව.

මේ කරන්න යන පැහැදිලි කිරීම මට වඩා හොඳට කරන්න පුළුවන් අයත් ඇති. ඒත් දැන් ඒක ගැන කතා කරන්න යන්නෙ මම. මට පුළුවන් විධියට...

කොයි කතාව කියන්නත් වස්තු බීජය කියල එකක් එපැයි. ඒ කියන්නෙ කතාවක බේස් එක හෙවත් හරය. ඕක මොකක් හරි සිදුවීමක්, මතකයක්, හැඟීමක් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්නේ. මේ වස්තු බීජය කියන එක ලියන කියවන හැමෝම දන්න එකක් නිසා ඒ ගැන ඒ තරමින් කිව්වම ඇති. වැඩිදුර ඉගෙනගන්න ඕන කට්ටිය අපේ සර්ප පන්තියට යන්න...

කොහොම හරි කතාවක් සම්පූර්ණ වෙන්න එහෙම බේස් එකක් ඕන. නැත්තං කතාවෙ ඉවරයක් නෑ වගේම තේරුම්ගැනීමේ අවුල් ඇතිවෙන්න පුළුවන්. එහෙම කියලා හොඳ වස්තු බීජ තියෙන කතා කණට ගැහුව වගේ තේරෙනව කියල කියන්නත් බෑ. ඒක කියවන කෙනා අනුව තමයි. කණට ගැහුවත් නොදැණෙන අය ඉන්න පුළුවන්නේ.... :P සමහර විට අපි කලින් කියවලා තියෙන දේවල්, කියවලා තියෙන ප්‍රමාණයන් වගේ ‍සාධක මේ වස්තු බීජය තේරුම්ගැනීමෙදි සෑහෙන්න වැදගත් වෙනව. මොනව වුණත් නිර්මාණයක ආරම්භය මැද හෝ අවසානය කියන්නෙ අනිවාර්ය අංග නෙවෙයි. ඒක එහෙම වෙන්නෙ ඇයිද කියල පැහැදිලි කරන්න මට දැණුමක් නෑ වගේම මෙතනට ඒක ඝෘජුව අදාලත් නෑ.

කොහොම නමුත් අපි ලියපු කතාව පල වුණාට පස්සෙ කාටහරි ඔය කතාව තේරෙන්නෙ නැත්තං අර තේරුනේ නෑ හරි රහක් නෑ කියන එක‍ට හරියක් දාන්නත් පුළුවන්නේ.... නැත්තං ඇනෝ විධියට ඇවිත් දෙඤ්ඤං තොපිට කියලා පළු යන්න බණින්නයි තියෙන්නේ... ඇඩ්මින්ල ඉන්නවනෙ අදාල නැති කමෙන්ට් අයින් කරන්න... :P

ඔන්න ඉතිං වස්තු බීජයක් හොයාගත්තා.... දැන් ඒකෙන් කතාවක් ගොඩනැංවීම.

‍සාමාන්‍යයෙන් අපට යමක් පැහැදිලි කරන්න එක වාක්‍යයක් ඇති වෙන්න පුළුවන්. නැත්තම් දෙකක් හෝ වැඩිම වුණොත් පහක්... ඔය එක වාක්‍යයක තියෙන්න පුළුවන් වචන ගාන දහයක් හෝ පහලොවක් කියලා ගමු. එතකොට වචන පහලොවක් තියෙන වාක්‍ය පහකින් අපි අපේ කතාව කිව්වොත් එතනම වචන හැත්තැ පහක් තියෙනව.

මේක ඉතිං වචන ගැන ගැන කරන්න බෑ... මම කිව්වෙ සරලව අදහස.

දැන් අපේ වස්තු බීජය සම්බන්ධ කරල කතාව ගොඩනංවන්න ඕන. ඒකට චරිත, අවස්ථා, සිදුවීම් ඇතුල් කරන්න ඕන. මූලික කතාව කියන්න වචන හැත්තැපහක් හොඳටම ප්‍රමාණවත් වෙලා තියෙද්දි ඉතිරි වචන විසි පහ පුරවන්න වැල් වටාරම් වාක්‍යයක් දෙකක් ලියන්නත් වෙනව. ඒකට ඔය වටපිටාව, කාලගුණය වගේ දෙයක් උදව් කරගන්න පුළුවන්. ඒ වගේම වචන අස්සෙ වැඩ කෑලි දානකොටනම් නොදැනීම වචන සීය ඉක්මවන්න පුළුවන්. එතකොට ටිකක් ඈත ඉඳන් බලල බාබර් කොණ්ඩෙ ෂේප් කරනව වගේ වැඩි කෑලි පොඩ්ඩක් ෂේප් කරල දාන්න වෙනව.

මේක මම කියන්න යන්නෙ උදාහරණයකින්...

මීට මාස කීපයකට කලින් මම බැලුව Edward Scissorhands කියන චිත්‍රපටිය. Johnny Depp (එඩ්වඩ්) එක්ක Winona Ryder (කිම්) රඟපාන මේ චිත්‍රපටිය සෑහෙන්න කාලෙක ඉඳන් බලන්න ඉඳල ඉඳල හොයාගෙන බැළුවෙ ඔය දෙන්නම මගෙ ප්‍රියතම නළු නිලි යුවලක් නිසා. ඉතිං චිත්‍රපටිය පුරා ඒක ඇතුලෙ මට පුද්ගලික එක එක කතා හදාගන්න ගමන් විනෝනාට ආදරය කරමින් මම චිත්‍රපටිය බැලුවා. මේකේ එක අවස්ථාවක් තියෙනවා එඩ්වඩ් අයිස් වලින් දේව දූතයෙක්ගෙ රූපයක් කැටයම් කරන. ඒකෙදි අයිස් කෑලි වැටෙන්නෙ හිම වැස්සක් වගේ. කිම් ඇවිත් මේ හිම වැස්ස යට නැටුමක් නටනව. ඒ මොහොතෙ එයා එඩ්වඩ් ගැන උපරිම හැඟීමකින් ඉන්නේ. ඒ එක්කම පසුබිම් සංගීතයත් කැමරා කෝණත් එක්ක ඒ කොටස මාව උපරිමයෙන්ම වශී කරනව.

මේ බලන්නකෝ ඒ කෑල්ල....




ඔන්න ඉතිං චිත්‍රපටිය ඉවර වෙලා ටික වෙලාවක් යනකල් මම චිත්‍රපටියෙ කික් එකෙන් ඉද්දි ඔය සිදුවීම මට තදින්ම දැණෙන්න ගන්නව. ඒක හරියට සුරංගනා කතාවක කෑල්ලක් වගේ කියල මට හිතෙනව. ඔය කාලෙ සීයෙ කතා ලිවිල්ලේ මුදුනක හිටපු මට මේ සිදුවීම කතාවකට ගේන්න උවමනා වෙනව. ඉතිං මම ඒකෙ කෑල්ල කෑල්ල වචන සහ වාක්‍ය වලින් ගොඩ නගනව.


සුරංගනා කතාවක හිම වැටුණ රැයක විදුලි කණුවක් යට ලා එලියක ඇය නටමින් හිටියා... ඒ නැටුම කෙලවරදි අඳුරු මුල්ලක හිටපු මගේ පපු තුරුලට වෙලා ඈ ඇගේ ආදරේ මට කිව්වා... මම ඒ දෑස් දිහා බලන් හිටියෙ පුංචි මොහොතක්. ඒක ජීවිතේ නැවතුණු මොහොතක් වුණාට මම ඒ මොහොත ඇතුලෙ ජීවිත කාලයක් හිටියා...


මේක මගේ ෆයිනල් කතාවෙ මුල් ඡේදය විතරයි. මුලින්ම මේක ලියවුණේ මීට වෙනස් විධියකට. පසුව වෙනස් වෙලා කැපිල කෙටිල ඉතිරි වුණ කෑල්ල තමයි ඔය.

කොහොම හරි මේක මේ ගානට ලියවුණාට පස්සෙ මට තවත් ඒකට එකතු කරන්න දෙයක් නැති වුණා. මට කියන්න උවමනා කරන සේරම මේ වාක්‍ය කීපයෙ රැඳිල තියෙනව කියල හිතුණ. කාලගුණයත් වටපිටාවත් ඒ මොහොතෙ මට දැණුනු පීක් හැඟීමත් මේ ලියවුණ කොටසෙ හොඳටම තියෙනව කියල මට හිතුණා.. ඊට වඩා ඒ ගැන ලියන්න ගියොත් තියෙන ටිකත් දියාරු වෙනවා. ඒ නිසා ඇත්තටම මට උවමනා වුණේ කතාව මේ තරම් විතරක් කරන්න. ඒ වුණාට වචන සීයක ඉඩ සම්පූර්ණ කලයුතු වුණා. ඒ හින්දා ඒක පසුව හිතන්න කියල මම වැඩේ අතර මග නතර කරල දැම්මා...

සතියකට දෙකකට විතර පස්සෙ මට මේ කතාව සම්පූර්ණ කරන්න උවමනා වෙනවා. ඒ ගැන හිතමින් ඉද්දි මට මතක් වෙන්නෙ බලධාරිනිය එක්ක තිබුණ මගේ සම්බන්ධය ඒ දවස් වල විචලනය වුණ විධිය. ඒ දවස් ටිකේ ඒ සම්බන්ධයෙ කිසිම අළුත් ගතියක් තිබුණේ නෑ. දෙන්නම රාජකාරි වැඩ එක්ක හෙම්බත් වෙලා හිටියෙ. ඒ එක්කම මට කල්පනා වෙනව අපි දෙන්න අතරෙ අතරින් පතර ඇතිවෙන හැඟීම් අස්සෙ අර චිත්‍රපටිය බලද්දි මට දැණුන හැඟීම් විඳීම් සේරම තිබුණ නේද කියල. ඒ කියන්නෙ ඒ වෙලාවෙ අධෝවාතයක් තරම්වත් ගණන් නොගත්තට බලධාරිනිය කියන්නෙ හිම වැස්සක නටපු සිහින සුරංගනාවිය නේද කියල මට මතක් වුණා... (ඒ වෙලාවෙ කිසිම දෙයක් පාවිච්චි කරල හිටියෙත් නෑ හැබැයි... :පී)

ඔන්න මට කතාව ලියන්න පොටක් පෑදෙනව. දැන් මම කතාව ගොතන්න යන්නෙ ආදරය කියන සම්බන්ධය සන්තතික නැති බව කියන්නයි. ආදරය කියන එකත් හැම වෙලේම පීක් එකට එන්නෙ නැති සාමාන්‍ය එකක් වෙන බව කියවෙන විධියටයි මම දැන් කතාව ලියන්න යන්නේ... ඒකෙදි අර මුල් ඡේදයේ ලියවුණ දේ සහමුලින්ම අනිත් පැත්තට ගහන්න ඕන දෙවෙනි ඡේදයෙන්. එතනදි වචන ගානත් සැලකිල්ලට අරන් මම ඔය සාමාන්‍ය මිනිහෙක් කරන්න කැමති දේවල් ටිකක් ඒකට ගාවනවා. කෑම, පත්තර, චිත්‍රපටි එක්ක ක්‍රිකට්... ඒ දේවල් සමහර වෙලාවට මහ ලොකු දේවල් වුණාට මනුස්සයෙක්ගෙ ජීවිතේ සාමාන්‍යකරණය වුණ දේවල්නේ... ඉතිං ඔන්න මම ලියනව...


ඊළඟ දවසෙ ආයෙමත් උදේ නැගිටල මුහුණ හෝදල පටන්ගන්න ඉරි තලපු ජීවිතේ ඇය සාමාන්‍ය ගෑණියක්... ජීවිත කාලෙන් මොහොතක් ඈත් එක්ක ගෙවන එක කෑම පිඟානක්, පත්තරයක්, චිත්‍රපටියක්, ක්‍රිකට් තරගයක් වගේ සරල දෙයක් වෙලා.


මේක ලියවුණාට පස්සෙත් කතාව සම්පූර්ණ නෑ... ඕන නම් මෙතනින් වුණත් කතාව නතර කරන්න පුළුවන් වුණාට වචන සීයක් උවමනයි. ඉතිං මම ආයෙත් හිතනව. ඒකෙදි මට තේරෙනව මේ දෙවෙනි ඡේදයෙ විධියටත් හැමදාම නෑ කියල. ආයෙත් අර මුල් තත්ත්වෙට යන්න පුළුවන්. ඒ මුල් ඡේදයෙ කියවෙන සුන්දර මතකයකට හරිම පොඩි වෙලාවකින් ආයෙත් යන්න පුළුවන්. ආදරේ ඇතුලෙ ඕක හරියට අර හදවතේ ගැස්ම පෙන්නන සටහනක් වගේ ඉහල පහල යන එකක්නේ... ඔන්න මම ආයෙ කතාව හරවනව මේ සංසිද්ධි දෙකම එක තැනකට ගේන්න.


ඒත් හිම පියලි වලින් වැහිල ඇගේ නෙත් දෙක තාම ආරක්ෂිතයි... විශේෂ කෑමක්, හොඳ කාටුන් එකක්, දැණෙන චිත්‍රපටියක්, සික්සර් එකක් වගේ...


මෙතනදි වෙන්නෙ අර මුල් ඡේදයෙදි උපරිමයකට ගොඩනංවල දෙවෙනි ඡේදයෙදි බිඳල දාපු සම්බන්ධය බැලන්ස් කරන එක... ඒක හරියට දෙන්නෙක් ගහගනිද්දි තුන්වෙනිය මැද්දට පැනල ෂේප් කරනව වගේ වැඩක්.

හැබැයි ඕක හැම වෙලේම හරියන්නෙත් නෑ... තුන්වෙනිය ගුටිකන වෙලාවලුත් තියෙනව.

ඉතිං ඔය කිව්වෙ මම එක කතාවක් ලියපු හැටි. හැබැයි සමහර වෙලාවට කතාව ලියාගෙන ගියාම වචන ගාන සීය ඉක්මවනව. ඒකෙදි කතාවට හානි නොවෙන්න ඔය පරිසරේ, කාලගුණේ වගේ කෑලි ගලවන්න වෙනව. වචන හරඹ දාල කතාව වචන සීයකට ටියුන් කරන්න වෙනව. වචන සීයේ අභියෝගයේ නියම කොටස තමයි ඔය ටියුන් කිරිල්ල.

ඔය ලියපු සම්පූර්ණ කතාව මෙතන තියෙනව. මේ සටහනට මේ කතාවම තෝරගත්තෙ අර වෙනස්වීම් පැහැදිලි කරන්න ලේසි නිසයි, සහ මෑතකදි ලියපු සීයෙ කෑලි අතරෙ මේක ටිකක් කල් ගතවෙමින් ගොඩනැගුණු නිර්මාණයක් නිසයි.

මට හිතෙන විධියට ඕනම කතාවක් වචන සීයකින් ලියන්න පුළුවන්. දිග නව කතාවක් වුණත්... හැබයි ඒකෙදි අර චරිත, සිදුවීම් වෙනුවට වෙනත් දේවල් ටිකක් ආදේශ කරන්න වෙයි. උදාහරණයක් විධියට ඔය ගොඩක් දෙනෙක් දන්න ගම් පෙරලිය වගේ කතාවක් සීයකට කෙටි කලොත් ඒකෙ ඉන්න චරිත වෙනුවට ඔය ගම වෙනස් වීම, නාගරීකරණය වගේ කවුරුත් කියවන්නෙ නැති වර්ගයේ කතාවක් හැදෙයි ;-)

මොනව වුණත් මට දැනට ‍තේරෙන විධියට අපට කියන්න උවමනා කරන දේ පැහැදිලිව හඳුනාගත්තොත් ඒක වචන සීයකට කෙටි කරල ලියන එක අමාරු නෑ. එක අතකට ඒක ලිවීම හරහා විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම උවමනා නම් වචන සීය ඇතුලෙ පද පෙරලි, වචන හරඹ වගේ දේවල් කරල නිකංම නිකං කතාවක් වෙනුවට කියවන කෙනාට අළුත් අත්දැකීමක් ලැබෙන විධියෙ නිර්මාණයක් කරන්නත් පුළුවන්.

ඉතිං මේ සටහන ලිව්වෙ ලියන කියන කට්ටියට අභියෝගයක් සමග ලිවීමේ තෘප්තිය ගැන කියන්න. බ්ලොග් අවකාශෙ පුරාම ගත්තම එක එක විධියට එක එක දේවල් ගැන එක එක විධියෙ නිර්මාණ කරන අය ඉන්න එකේ තමන්ගෙ ලිවිල්ල නිකංම ලිවිල්ලක් විතරක් නොවෙන බව දැන‍ගැනීමේ ආතල් එක පොඩ්ඩක් විඳින්න සීයෙ කතාවක් ලියන්න තල්ලුවක් දෙන්න.

ඉතිං ලියන්න... වචන සීයෙ කතාවක්... අභියෝගාත්මක අකුරු වලින්...



----------------------------------------------------------

ප.ලි. - ලියන්න ආසාවෙන් හිටපු අයට මේ සටහන කියවල ලිවිල්ල එපා වුණා නම් හිතේ අමාරුව යන්නත් එක්ක මෙන්න පිළිගන්න ජොලි සීයගෙ ලලක්කා....





අනුග්‍රහය - Siribiris