Thursday, 30 September 2010

ආයෙත් ලිවිල්ල...

ආයෙත් ලිවිල්ල පටන්ගන්න කලින් ආයෙත් ලිවිල්ල ගැනම කලින් කියපු කතාවක් මෙතනම දැම්ම නම් හොඳයි කියල හිතුණ. මේක කලින් පල වුණේ අපේ Fit එකේ යාළුවො සෙට් එකේ මූලිකත්වයෙන් සහ ලියන හැමෝගෙම දායකත්වයෙන් පවත්වගෙන යන සීයගෙ බ්ලොග් එකෙයි.

මමත් දැන් categorized


කාලයක් තිස්සෙ නොලියපු බ්ලොග් එක ආයෙත් ලියන්න උවමනාවක් සෑහෙන්න ඈතක ඉඳන් ළඟටම ඇවිත්.
බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට import කලාම ‍දාල තිබුණ සටහන් සේරම uncategorized කියන ප්‍රවර්ගයට එකතු වෙලා තිබුණ.
මනෝ තෘප්තියටත් එක්ක මම category cloud කියන විජට්ටුවත් දැම්ම.
මුලින්ම ඒකෙ uncategorized කියල විතරක් ලොකුවටම තිබුණ.
එක එක සටහන නැවත කියවන ගමන් එක එක ප්‍රවර්ග වලට වෙන් කලා.
එතකොට වෙනත් ප්‍රවර්ග එකතු වෙලා uncategorized කියල ලොකුවට පෙන්නපු ප්‍රවර්ගය පුංචිම වුණා ටිකෙන් ටික.

................

මමත් මටවත් අයිති නැති මනුස්සයෙක් වෙලා හිටිය ජීවිතේ එක කාලයක්!
දැන් මම එක එක වෙලාවට එක එක අයට ඕන විධියට.
මගේය කියන ලෝකය දැන් ටික ටික පුංචි වීගෙන යනවා...

තාමත් කැටගරි වලාවෙ uncategorized කියන එක ලොකුවට තියෙනවා... ඉදිරියෙදි මම ලිව්වොත් සහ මේ බ්ලොග් එක පවත්වගත්තොත් ඕක ටික ටික පුංචි වෙයි.

එහෙම අවිශ්වාසෙට කිව්වෙ කලින් කිව්ව වගේ ළඟටම ආපු ලිවීමේ උවමනාව ඉක්මනටම ආයෙත් ඈතට යන්නත් පුළුවන් නිසයි. කාලයක් එක දිගට කිසිම දෙයක් කරන්න තියෙන අකමැත්ත ලිවිල්ලටත් ඒ වගේම අදාලයි හැම වෙලේම. ඒ නිසා ලියන එක දැනට ස්ථිර වුනාට ඉදිරියෙදි ඒ ගැන කියන්න බෑ.

ඇත්තටම ලියනවට වඩා කල්පනා කරල මා තුලම දේවල් විසඳගන්න එකට මම කැමති වෙලයි ඉන්නේ. ලිවිල්ල කිසිම තේරුමක් නෑ වෙලාවකට. ඒකෙන් අපි හිතන දේ මොට්ට වෙලා ලියවෙනව හැර වෙන දෙයක් වෙන්නෙම නෑ ‍බොහොම වෙලාවට. ඒ නිසා ලියන එකත් නවත්තලා කල්පනා කරන එක විතරක් කරන්න ගත්ත මම. ඒකත් ඇති වෙලා ආයෙත් ලියන්න හිතුණ කියමුකෝ...

ඉතිං බලමු අනාගතේදි හම්බවෙන්න... ජීවිතේ හරිම කොටයි. ඒකෙ කිසිම තේරුමක් නැති වුණත් ජීවත් වෙනතාක් අපි හැමෝම කරන්නෙ ජීවිතේ තේරුමක් දකින්න යන එකනේ...


මෙම සටහන ලියන අවස්ථාවේදී මෙම බ්ලොගය සෙවාදායකයක් මත පිහිටවූ වර්ඩ්ප්‍රෙස් සංස්කරණයක් මත ගොඩනැගෙමින් තිබූ බව කරුණාවෙන් සලකන්න.

Tuesday, 5 May 2009

Official වෙසක් කූඩුයි හමයි නමයි

කොහොමද කට්ටිය වෙසක් කූඩු හදනවද? නැත්තං කඩෙන් අරන් අලවනවද? මොනව වුණත් වෙසක් කියන්නෙ කූඩු ඇලවිල්ලට වඩා දෙයක්නේ. ඒ වුණාට වෙසක් දිනය උත්සවයක් වෙන්නෙ මේ ආමිස පූජා ‍නිසයි. ඒ වගේම වෙසක් කූඩු හැදිල්ලෙනුයි ඇලවිල්ලෙනුයි සතුටක් ලැබෙන්නෙ නැත්තෙමත් නෑ.

මම පුංචි කාලෙ හැම වෙසක් එකටම එක එක විධියෙ කූඩු හැදුව වුණාට පස්සෙ කාලෙ කූඩු හැදිල්ල නතර වුණ. අධ්‍යාපනයට හිත වැටීම සහ එක එක ප්‍රතිපත්ති වලට අනුගත වීම තමයි ඒකට හේතුව. ඒ වුණාට වෙසක් කූඩුවක් හදන එකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්.

මේ පාර ගෙදර වෙසක් කූඩු හදන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය කරන්න වෙලාවක් නැති කම සහ සේරටම වැඩියෙන් කම්මැලිකමත් තමයි හේතුව. බකට් ටිකක් එල්ලල ෂේප් වෙමු කියල අම්මට කියල මම පැත්තකට වෙල හිටිය.

ඒ වුණාට අද කාර්යාලෙදි වෙසක් කූඩු කමිටුව කියල එකක් පත් කරල මාවත් ඒකෙ සාමාජිකයෙක් කලා. අළුතින් කාර්යාලයට ගිය අපේ කණ්ඩායම දැන් හැම එකකටම මාට්ටු කරල පරණ අය කර අරින ගතියක් තියෙනවා. ඒකෙන් අපටත් ගැලවෙන්න බෑ. තාම අළුත් නිසා මුකුත් කියන්නත් බෑ.

ඒ නිසා අද දවසෙම මම තවත් අය එක්ක ලී පටි ගෙනාව. අත් රතු කරගෙන තැන් දෙක තුණක් තුවාල කරගෙන කියත් පටි වලින් ඒව කැපුව. බොහොම අමාරුවෙන් සැකිලි කීපයක් හදල අඩු තරමෙ අපේ සැලැස්ම ප්‍රායෝගික බව දැනගත්ත. ඔය අතරෙ වැඩේ නොකරන උපදෙස් දෙන්නන්ගෙ බර බරෙත් අහගෙන හිටිය. හෙටත් ආයෙ පටන්ගන්න ඕන ඉතිරි ටික.

මෙතන තියෙන වැඩේ මේකයි. සතුටත් එක්ක කලකිරීමත් දැණෙනවා. මොකද අපේ හම යද්දි තව කට්ටියකගෙ නම යන විධියටයි වැඩේ සිද්ධ වෙන්නෙ.

අපි සැනසුණා. කමක් නෑ අපට සතුට ඉතිරි වෙනවනේ අන්තිමේදි.

Monday, 4 May 2009

යන්න තැනක් නැති පාලමක්

මම ඉන්න අපේ නගරෙ තියෙනව පුංචි ගමක්. මේ ගමට යන්න ගඟකින් එගොඩ වෙන්න ඕන. මට මතකයි මම දෙකේ තුනේ වගේ පංතියක ඉද්දි මේ ගමේ හිටපු පාසල් මිතුරෙක්ගෙ ගෙදර ගියා අපි ග‍ඟෙන් එගොඩ වෙලා.

මේ ගමට වාහන වලින් යන්න පුළුවන් පාරක් තියෙනව වුණාට ඒකට වටයක් යන්න ඕන. පයින් යද්දි යන්න තියෙන ලේසිම විධිය තමයි ග‍ඟෙන් එගොඩ වෙලා යන එක.

මෑතකදි මගේ තවත් මිතුරෙක් එක්ක මම මේ ගමට එහා ගමේ මිතුරෙක් හමුවෙන්න ගියා. ගිහින් ආපසු එද්දි ඒ මිතුරා මාව කෙටි පාරකින් එක්කරගෙන ආවා. ඒ කෙටි පාර තියෙන්නෙ අර මුලින් කියපු ගම හරහායි. මම එතකොටයි දැක්කෙ. ගඟ හරහා ලොකු පාලමක් හදලා. ඒ පාලම ගමේ ගෙවල් කීපයක් තියෙන තැනකට වැටෙනවා.

අවාසනාව සහ හාස්‍යය මේකයි. පාලම ගමත් එක්ක සම්බන්ධ වෙන හරියෙ තියෙන්නෙ බයිසිකලයකින් වුණත් අමාරුවෙන් විතරක් යන්න පුළුවන් පටු පාරක්. ඒ කියන්නෙ පාලමෙන් ගමට පිවිසෙන වාහනයකට පා‍ලමෙන් එපිටට පිවිසෙන්න පුළුල් මාර්ගයක් නෑ. එතන තියෙන ගෙදර උදවිය පාර හරස් කරල වැ‍ටක් ගහල.

හේතුව හොයල බලද්දි වෙලා තියෙන්නෙ වන්දි ප්‍රශ්ණයක් මත මේ නිවසේ උදවිය තමන්ගෙ ඉඩමෙන් පාලමේ ඉදිකිරීම් වලට කොටස් දී නැති වීමයි. ඒ නිසා ලක්ෂ ගාණක් මුදල් වියදමින් හදපු පාලමෙන් නිසි ප්‍රයෝජනයක් නැති වෙලා. පයින් යන අයයි බයිසිකල් වලින් යන අයයි විතරක් පාලම පාවිච්චි කරනව. ඊට අමතරව අවට උදවිය රෙදි වේලගන්න පාල‍මේ දෙපස කොන්ක්‍රීට් අත් වාරු පාවිච්චි කරනව.

මම දන්නෙ නෑ වරද කාගෙද කියල. නමුත් කාලයක් දුෂ්කරව ගමට ගිය ගමේම අය වෙනුවෙන් හැදුන පාලමෙන් නිසි ප්‍රයෝජනයක් අරගන්න ගමේම අය නිසා ගමේම අයට බැරි වෙලා. ඉතිං අපේ පාලකයන්ටම හරියනව නේද අපි.