Thursday, 11 June 2020

කම්මැලිකමේ ඩිප්‍රෙෂන්



අවට පාළුය. කාර්යාල සගයින් කිහිප දෙනෙක් මුකවාඩම් බැඳගෙනම කථාවක නියැලී සිටියි. එහෙත් උන්ගේ බොහෝ කතා මෙන් ඒවා මට දුරස්ථය. උන්ට බොහෝ ඇත්තේ ළමා ප්‍රශ්නය. වයිරස් පහරදීම් හමුවේ ඉස්කෝලෙට නොයා ගෙදර සිටින දරුවන් බලාගැනීමේ ප්‍රශ්න ය. එක්කෝ සැමියා නිවසේ රැඳවිය යුතුය. නැත්නම් දරුවන් කාර්යාලයට රැගෙන ආ යුතුය. ගුරුවරුන් විසින් ඔන්ලයින් පවරනු ලබන පැවරුම් සකස් කල යුතුය. ඉස්කෝල ඉක්මනින් අරිනවානම් හොඳ ය.

මට ඒ ප්‍රශ්න නැත. ප්‍රශ්න නැති කම ප්‍රශ්නයක් කරගෙනද නැත. සුළු ප්‍රශ්න හදාගෙන ඒවාට විසඳුම් හොයන ජීවන විලාසය දැන් හුරුය. ඒත් ප්‍රශ්න නැතිකම හීන්නෝන්මාදය වැනි (හෝ එවන් නමක් තියෙන) ලෙඩක් බවට පත් කරගත් අයවලුන් ගැන චිත්‍රපටි මා බලා ඇත. ඒ තත්වයට කියන වඩාත් හුරු නම ඩිප්‍රෙෂන් ය.

මේ ගැන පසු කාලීනව මා වඩාත් කල්පනා කර ඇත. සතුටින් සිටින ලෙස පෙන්වූ, එහෙත් සිය දිවි හානි කරගෙන මරණයට පත් වූ ජනප්‍රිය පුද්ගලයින්ගේ සිනා මුහුණු යෙදූ පින්තූරයක් යටින් "This is how depression look like" වැනි පාඨ යෙදූ පින්තූර බුකියේ ෂ‍ෙයා වනු මම දැක ඇත්තෙමි. එනම් සතුටින් සිටිනවා යැයි පෙන්වන පුද්ගලයෙක් තුළ සැබැවින්ම තිබෙන්නට ඉඩ ඇත්තේ මවාගත් සතුටක් බව ඉන් අදහස් වේ. වඩාත් සිනාසෙන්නා වඩාත් අසතුටෙන් සිටින්නා වෙන්නට බැරි කමක් නැත.

මා ඉතා අඩුවෙන්ම සිනාසෙන්නෙකැයි මා තරමක් දන්නා හඳුනන අය කියනු ඇත. නිතර හමුවන හොඳින් සෙට් වෙන අයනම් මා හොඳින් සිනාසෙන්නෙකු බව දන්නා බව මම සිතමි. එහෙත් සිනාසීම මා විසින් පාලනය කරන්නක් නොවේ. බොහෝ මිනිසුන් සිනාසෙන දේවල්වලට මට සිනා නොයයි. ඒත් ඒ දෙයට මිනිසුන් සිනාවීම මට හාස්‍යයට කරුණක් වන්නට හැක. ඒ වැනි අවස්ථාවල හිතින් සිනාසෙනවා ඇර දත් විලිස්සා සිනාසීමට උවමනාවක් මට ස්වභාවිකවම එන්නේ නැත. වඩාත් උපහාසාත්මක අවස්ථාවක කට කොනට නැගෙන අවඥාසහගත සිනාව වළක්වන්නට මා උත්සාහ ගන්නේද නැත.

ඇතැම්විට මා සිනාසෙන්නේ ඉතාම සුළු දෙයකිනි. එය කෙනෙකුගේ හැසිරීමක්, නොපෑහෙන දෙබසක් වැනි දෙයක් නිසා විය හැක. වෙනත් කෙනෙකුට එහි හාස්‍යයක් නොපෙනෙන්නට ඉඩ තිබේ. ඒත් වැදගත්ම කාරණය ඩිප්‍රෙස් නොවී ජීවත්වීමයි.

මේ සටහන ලියවෙන්නේ කුමක් නිසාද කියා මා නොදනිමි. මෙය ලියන්නට ඇරඹි මොහොතේ එහි හැඩය ගැන අදහසක් මට තිබුණේ නැත. ඒත් පසුගිය පොසොන් පෝය දවසේ රාත්‍රියේ එළිමහනේ දුම් වැටියක් සමග තනිවුණ මොහොතක සිතට ආ වැකි කීපයක් කවි ආරකට අමුණා අද දින මිනිකවියේ පළ කිරීම මේ සටහනට නිමිත්ත විය.

මිනිකවිය ඇතුළු "Fit එකේ සෙට් වෙන සෙට් එකේ" සාමූහික වැඩ අරඹා දැන් වසර දහයක් සම්පූර්ණ වීමට ආසන්නය. ඒවා දැන් අප්ඩේට් වෙන්නේ ඉඳ හිටය. ඒත් ඒ වැඩ ආතල්ය. මිනිකවියට අද වෙද්දී මා කවි සියයකට එකක් වැඩියෙන් ලියා ඇත. ඒවාට කවි කියා කියන්නටත් නොහැකි බව මට හැඟේ. කවි ගැන පසුගියදා පොතක කියවූ සටහන්වලින් මා ඒ ගැන දැනගත්තෙමි. කවිය කවියක් වීමට එයට වචනත්, අර්ථයත්, රිද්මයත්, ගලායාමත් වැනි මට තේරෙන වචනවලින් සහ නොතේරෙන වචනවලින් කියවෙන සාධක ගණනාවක් අඩු වැඩියෙන් අවශ්‍ය බව එහි කියා තිබිණි. ඉතින් මා කවි ලියන්නෙක් නොවේ. හුදෙක් කවි වගේ ප්‍රකාශ නිකුත් කරන්නෙකි.

මේ සටහන ලිවීම දැන් එපා වීගෙන යයි. අද දිනය පුරාම කාර්යාලයේ අනෙකුත් සගයින් කුමක්දෝ උත්සවයකට සහභාගී වන්නට ගිහින් මහ වේලාවක් නැත. මට කරන්නට මහ ලොකු වැඩකුත් නැත. ඉතින් ලියන්නට සිතුවෙමි.

කාලෙක පටන් ලියමින් සිටිනා ඉංග්‍රීසි සටහන අවසන් කිරීමට මට අවශ්‍ය ය. දැනටත් එහි කොටස් කීපයක් පළ කර ඇත. ඒත් එය අවසන් කිරීම පහසු කටයුත්තක් නොවේ. ආදරය, කසාදය, පවුල සහ දරුවන් ගැන කියවීම් වෙනස් වීමේ අවසානයක් නැත. එහෙත් මූලිකව මා කල්පනා කරන දේවල් වෙනස් කරන්නට තවමත් තාර්කික හේතුවක් මට නැත.

ඇයටද එය එසේම යැයි මම විශ්වාස කරමි. ජීවිතය පිළිබඳ දරණ අසම්මත අදහස් ප්‍රශ්ණ කරන අයට දෙන්නට ඇයට උත්තර ඇතැයි මම සිතමි. මන්ද ජීවත්වීම දිනෙන් දින අභියෝගයක් වෙමින් පවතියි. එය අභියෝගයක් කරගැනීමෙන් මිස ජීවිතයක් ඇත්තේ නැත. සම්මත ප්‍රවාහයට යට වන්නට සිදු වනු ඇත. එවිට කළකිරීම ඇතිවනු ඇත. ඉන්පසු නැවතත් ඩිප්‍රෙෂන්ය.

No comments:

Post a Comment

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!