Friday, 4 May 2012
ගෙදර යන ගමන්...
“උඩුකන්දෙ ගෙදර සීලවතී උපාසිකා මාතාව රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව... සත්සර ස්ටෝර්ස් අධිපති නිමල් ලක්තිලක මහතා බැනර් 3ක් වෙනුවෙන් රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව...”
ගමේ පාර දිගට යකඩ කටවල් හතක් අටක් ගැටගහල පන්සලේ පෙරහැරට දායක වුණ උදවියගෙ ලැයිස්තුව ගමටම ඇහෙන්න කියවනව.
මම යටි හිතෙන් හිනා වීගෙන ඒ සද්දෙ පහු කරගෙන ආව.
සතියකට දෙකකට විතර කලින් දායක සංගමේ ලොකු ආච්චිල දෙන්නෙක් අම්මට ගෙනත් දීල තිබුණ දිග ලැයිස්තුවක්. ඒක ඇස්තමේන්තුවක්! පන්සලේ පෙරහැර වෙනුවෙන් මුදල් එකතු කිරීමේ ආධාරපත්‍රයක්.
“ඒකෙ තියෙන ගණන් දීල කොහොමද මාසෙ ජීවත් වෙන්නෙ”
එයාල ගියාට පස්සෙ අම්ම කිව්ව. අවුරුදු ඉවර වුණ ගමන් නිසා මගෙ අතෙත් සල්ලි නැති විත්තිය අම්ම දැනගෙන හිටිය.
“අම්ම ගාව තියේනං පුළුවන් ගාණක් දෙන්න... මාසෙ ඉතිරි ටික කොහොම හරි ඉමු!”
මම කවදත් වගේ ඒ ගැන උදාසීනව හිටිය...
බෝධිය ගාව කඩේ පහුවෙද්දි ආපු සූ සද්දෙන් මම හැරිල බැලුව. සංජීවයත් වැඩ ඇරිල එන ගමන් කඩේට ටිකක් ගොඩ වෙලා. බඩු මල්ලත් උස්සගෙන මිනිහත් මට එකතු වුණා.
“ලව්ඩ්ස්පීකරෙන් නම කියවෙනකොට කට්ටියට මාර ආතල් ඇති නේද?”
සංජීව මගෙ දිහා බලාගෙන හිනා වෙනව.
මටත් හිනාවෙනව ඇරෙන්න කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා.
“පෙරහැරේ එස්ටිමේට් එක ලක්ෂ පහළොවක්! දුප්පත් පවුල් දෙක තුනකට ගෙවල් හදල දෙන්න තිබුණා...”
සංජීව කියවගෙන යනවා..
“එච්චර ගාණක්?”
මම පුදුම වුණා...
“මම එස්ටිමේට් එකේ ගණන් එකතු කෙරුවා. හරිනං ඊටත් වඩා වැඩියි වියදම.”
“හ්ම්...”
“තේරුමක් නැති වැඩ... පෙරහැර කියල තමයි එකතු කරන්නෙ”
“මමත් ඔය ලිස්ට් එක නම් දැක්ක. ඔච්චර ගාණක් තිබුණද ඒකෙ? මේ මාසෙ ලොකු ගාණක් වියදම් කරන්නත් අමාරු නිසා මම ඒ ගැන උනන්දු වුණේ නෑ...”
“ඕන කරන සේරම දිස්නෙට හදාගෙන තියෙන නිසා පන්සල සංවර්ධනය කරන්න කියල දැං එකතු කරන්න බෑනෙ...”
සංජීව කියන්නෙ උපහාසෙන්... කතාවෙන් කතාව අපි වෙන්වෙන තැනට ඇවිත් තිබුණ.
“ලක්ෂ පහලොවක්...?”
මගෙ හිතේ දෝංකාර දුන්නා...
අවුරුදු දහයකට විතර කලින් බත්තරමුල්ලෙදි හම්බවුණ මලයගෙ කතාව මට මතක් වුණා. නම අමතක හින්දා මම මිනිහට චන්දන කියල කියන්නම්.
මිනිහ ආවෙ අපේ වැඩපොලේ අත් උදව්කාරයෙක් විධියට. ඒ තරම් දුරට ඉගෙනගන්න උවමනාවක්වත්, උනන්දුකිරීමක්වත් මිනිහට තිබිල නෑ. ඒ නිසාම යන්තම් අවුරුදු පහළොව දාසය වෙද්දි එක එක තැන් වල වැඩකරන එකට හුරුවුණාට ඌ කාටවත් වදයක් නැති අහිංසක කොල්ලෙක්.
දවසක් බර වැඩක් ඉවර වෙලා හවස නාන්න සෙට් වුණාම අනිත් කොල්ලන්ට චන්දනගෙ කරේ එල්ලිල තිබුණ කුරුසයක් මාට්ටු වෙලා. කතාවෙන් පෙනුමෙන් චන්දන බෞද්ධ වෙන්න ඇති කියලයි හැමෝම හිතුවෙ.
දවසක ඔය ගැන කතාවක් ඇදිල ආව.
“අපි ඉස්සර බුද්ධාගමේ. පස්සෙ තමයි ක්‍රිස්තියානි වුණේ...”
චන්දන කිව්ව.
ඒ දවස්වල මම උග්‍ර ආගම්වාදියෙක් නොවුණත් බෞද්ධ පවුලක උපත ලැබීම නිසා ගැලවෙන්නම බැරි ගච්ඡාමි සීන් එකක ගැටගැහිල හිටිය. ඒක නිසා මිනිහගෙ කතාවට අනිත් කොල්ලන්ගෙ ගාණටම මගේ ලේ රත්වුණා. අපි සේරම චන්දනගෙ ආගම් මාරුව ගැන සැරින් සැරේ කියමින් මිනිහව කපල දැම්මා.
“මම මොනව කරන්නද යකෝ.. තාත්තනෙ පල්ලියට බැඳුණේ”
චන්දන ගැලවෙන්න කිව්වෙ ඒ ටික විතරයි.
ඒත් ටිකෙන් ටික ඒ රස්නෙ අඩු වුණා. චන්දනගෙ කතාවෙ ඇත්ත අපි දැනගත්තෙ සෑහෙන්න පස්සෙ කාලෙක. ඒ කතාවල පසුබිම ගැන මම මුකුත් නොදන්න නිසා මම කියන්නෙ මම දන්න ටික විතරයි.
චන්දනගෙ නංගි අංග විකල ගෑණු ළමයෙක්. තාත්තට හරි රස්සාවක් තිබුල නෑ. ඉන්න ගෙයකුත් නැති තත්ත්වයක් උදා වුණාම කතෝලික පල්ලියක මොකක් හරි ව්‍යාපෘතියකින් මෙයාලට වාසස්ථානයක් ලැබිල තිබුණ. ඒ වගේම නංගියෙ අධ්‍යාපනයටත් ඒ විධියෙ උදව්වක් ලැබිල. හිලව්වට චන්දනල කතෝලික වෙලා.
සල්ලි වලට අන්‍යාගමිකකරණය ගැන ලොකු කතා කියන අය ගැන මට දුකක් දැණුනා.
චන්දනටවත් එයාගෙ දෙමව්පියන්ටවත් ජීවත් වෙන එකට අමතරව ආගම වගේ වෙනත් ප්‍රශ්ණ තිබිල නෑ. ආගම කියන්නෙත් ජීවිතේට හයියක් වෙන දෙයක් විධියට විතරයි එයාල දැක්කෙ. කරපින්නගෙන දුක් විඳිනවට වඩා අතෑරල දාන එකෙන් සැපක්, පහසුවක් ලැබෙනවනම්...
චන්දනලට විකල්පයක් තිබිල...
මට චන්දනගෙ කුරුලෑ ලප පිරුණු අඳුරු මූණ මතක් කරගන්න පුළුවන්... ඒ මූණෙ අඳුර අතරෙ මට කවදාවත් තේරුම්ගන්න බැරි අසරණකමක් තිබුණ නේද කියල මට තේරුණෙ සෑහෙන්න පස්සෙ...
“සමහර විට දැන් මිනිහ හොඳින් ජීවත්වෙනව ඇති.”
මම එහෙම හිතල දුකට පත්වෙන්න තිබුණ මගේ හිත ලොක් කරගත්ත.
සේරම හිතෙන් අයින් කරල හොඳ නින්දක් දාන්න ඕන කියන සිතිවිල්ලත් එක්ක මම ගේට්ටුවෙන් ඇතුළු වුණා.
“...වීරකැටිය පාරේ විජේසිංහ මහතා සහ එම මහත්මිය රුපියල් 1500කින් දායක වෙලා තියෙනව...”
පන්සලේ පෙරහැරේ දායක ලැයිස්තුව තවම යකඩ හඬින් කියවෙනව.
අම්මා ගේ ඉස්සරහ පඩි පේළියෙ ඉඳගෙන යකට කටේ සද්දෙට කණ තියන් ඉන්නවා...
යටි හිතේ රැඳෙන්න බැරිව මගේ හිනාව එලියට පැන්නා... මම හිනාවුණා...
“රුපියල් පන්සීයෙ ඒව අද කියන්නෙ නෑ වගේ...”
අම්මා එහෙම කියාගෙන මාත් එක්කම ගෙට ආවා...
Subscribe to:
Post Comments (Atom)
පල්ලියෙන් ගමට බෙදනවා පන්සලෙන් ගමෙන් එකතු කරනවා. හැම මාසෙකම මොකක් හරි පින්කමක් කියලා.
ReplyDeleteඕක දවසක් මම පන්සලේ පොඩි හාමුදුරුවන්ට කිව්වාම හාමුදුරුවෝ කිව්වේ "හසිත අයියේ, ක්‍රිස්තියානි පල්ලිවලට වගේ පන්සල්වලට පිට රටවල්වලින් සල්ලි හම්බෙන්නේ නැහැනේ" කියලා.
ඒ මොනවා වුණත් පන්සල් කියන ඒවා වාණිජකරණය වෙලා ඉවරයි. පන්සලට හැම තිස්සෙම සල්ලි අදිනවා. ඒකට අනිත් පැත්තට ගමේ මිනිස්සුන්ට දෙයක් කරන්නේ පන්සල්වලින් කීයෙන් කීයද ?
සල්ලි තියෙන මිනිහාට ලොකු සැලකිල්ල.
බුදු හාමුදුරුවෝ දේශනා කරපු මාර්ගෙද යන්නේ කියලා ඒ හාමුදුරුවරු කවුරු කවුරුත් හිතා බැලුවොත් හොඳයි.
මෙහෙම කතාවක් ආපු එක හොඳයි. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලියපු නියම article එකක් තියෙනවා මෙහෙම බෞද්ධයෝ ගැන ඒක post කරන්න ඕනේ
හරේ, ප්‍රබන්ධයක් නෙමෙයිනෙ මේ. ඒත් අපි කී දෙනෙක් කැමතිද මේකත් තවත් එක ප්‍රබන්ධයක් කියල හිතන්න. ආගම් මාරුකිරීම ගැන මට තියෙන්නෙත් ඔයිට වඩා එහා ගිය මතයක් නෙමෙයි
ReplyDeleteඕක මොන ආගමෙත් වෙනසක් නෑ හරේ. ලංකාවේ බෞද්ධ පංසල් වැඩි නිසා හා බෞද්ධ මිනිසුන් වැඩි නිසා අපිට පේනවා වැඩි විතරයි.
ReplyDelete++++++++++++++++++
ReplyDeleteආර්ථික අපහසුතා නිසා ආගම වෙනස් කිරීම මානුෂිකයි. ඒත් මම දකින විදිහට කොයි ආගම වුනත් වාණිජ පරමාර්ථයක් නිසා වෙනස් කරනවා නම් ඔහු/ඇය ඒ ආගම තුල ආගමිකයෙක් වෙලා ඉඳල නෑ. අනිත් අතින් ආගමිකයෙක් වීම බොහොම පෞද්ගලික දෙයක් නිසා බාහිර කෙනෙකුට එය ප්‍රශ්න කිරීමේ අයිතියකුත් නෑ.
ReplyDeleteහොඳ වැඩක් කරනවානම් මොන ආගමික කණ්ඩායමක් අතින් සිද්ධ උනත් අවුලක් නෑ. බොහොමයක් ආගමික ස්ථාන වලින් බොහෝ වෙලාවට වෙන්නේ නම් ආධාර මුදල් නාස්ති කිරීම් තමයි. අනික බොහොමයක් අය ආධාර කරන්නෙත් තමාගේ තත්වය ගමට පෙන්නන්න.
ReplyDeleteආගම මාරු කිරීම ගැන නම් කියන්න මට කිසිම දෙයක් නෑ. මොකද තමන්ට කැමති හේතුවක් නිසා කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවානේ.
අපේ ගමේ පන්සලට තාත්තා ගියොත් ලොකු හාමුදුරුවෝ මොකක් හරි කියලා කීයක් හරි ගන්නවම තමයි! :D
වානිජකරණය වූ ලෝකයේ නොවෙනස් වෙන එකම දේ වානිජකරණය වේ!
ReplyDeleteහරේ, මීට කලිනුත් මා ඔබගේ බ්ලොගයට ඇවිත් තියනවා. ඒ හැමදාම බෑ වෙන්න වෙලාව යන නිසා කිසිදා කියවන්න බැරි උනා. අද ක්රෝමය හරහා ආවේ ඔබගේ කොමෙන්ටුව කියවලා, මේ කව්ද කියලා හරියටම දැන ගන්න. බොරු කියන්න ඕනේ නැහෙනේ මා හැම දෙයම කියවන්නේ නැහැ. නමුත් ඔබගේ කතාව කියවුයේ ආසාවෙන්. මා "බෞද්ධයෙක්" උනත් ආගම් පිළිබඳව ඇත්තේ උදාසීන හැඟීමක්. මා පොඩි කාලෙත් පන්සල් ගියේ රැල්ලට. කවදාවත් දහම් පාසල් ගිහිල්ලා නැහැ. මගේ අත්දැකීම් හැටියට නම් ඔය කොයි ආගමේත් ඇති ඒ තරම් වරදක් නැහැ. හැබැයි මේවා කරන කට්ටියගේ නම් බෞද්ධ, ක්‍රිස්තියානි ආදී වශයෙන් හොඳයි හෝ නරකයි කියන්න බැහැ. ඔය කොයි කට්ටියත් එකයි. ලංකාවේ පන්සල් වලින් කෙරෙන වැරදි අප වැඩිපුර දකින්නේ පන්සල් වැඩිපුර තියන නිසා. මේ පල්ලි වලත් කෙරෙන අකටයුතුකම් විශාලයි. මේ බටහිර රටවල් වල පවා අපයෝජනයට ලක්වෙච්ච ළමුන් (දැන් වැඩිහිටියන්) තවමත් තමන්ට කෙරුව අපරාධ වලට යුක්තිය ඉටු කර ගන්න බැරුව ඉන්නවා. කොහොම උනත් පන්සල් හා හාමුදුරුවරුන් ගිණුම්කරණයට අද තරම් ලක්වෙච්ච යුගයක් තවත් නැතුව ඇති. මේ කට්ටිය කරන්නේ වෙළඳාමක්. දේශපාලනයට ඇවිත් ඉන්නෙත් එකට. සාමාන්‍ය ජනයා තමා මේකට වැඩිපුර උල්පන්දම් දෙන්නේ. පෙරහැරවල් හා අනිකුත් ආගමික කටයුතු වල වටිනාකම මුදල් වලින් මනින්න බැහැ. ඉස්සර මේවට දායක උන බොහෝ දෙනා තම ශ්‍රමය කැප කළේ සල්ලි බලාගෙන නොවේ. අනික් අතට මේ දේවල් නිසා, නැටුම් කරුවන්, බෙර කරුවන්, සැරසිලි කරුවන්ට තමන්ගේ කලාවට වටිනාකමක් හා ඒවා ජනතාවට ඉදිරිපත් කරන්න අවස්තාව ලැබුනා විතරක් නොවේ ජිවත් වෙන්න කීයක් හරි හොයා ගන්න අවස්ථාවත් ලැබුන බව අමතක කරන්න එපා. අද මේ දේවල් "ගරානා" වියාපාර කරගෙන. යටි මඩි ගැහීම තමා වෙන්නේ. පන්සල් වල අරක් ගෙන ඉන්න වියාපාරික හාමුදුරුවරුන් තමා මේකට මුලිකත්වය දෙන්නේ. බුදු හාමුදුරුවන් කියපු මූලික දේවල් වත් මේ ගොල්ලන්ගේ හිතේ නැහැ. ඔබගේ කතාවේ අර "ආගම් මාරු කිරීමේ" කෑල්ල නොතිබුනා නම් එහි අගය වැඩියි. එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් බා ගන්න හැම විටම බැහැ. නමුත් ඉතා සිත්ගන්නා අයුරින් ලියා තියනවා. ඔබගේ අම්මා නියෝජනය කරන්න අප බහුතරයක ගේ දෙමාපියන්.
ReplyDeleteආගම කියන්නෙ මිනිස්සුන්ට ජීවත්වෙන්න උදව්වක් වෙන්න...
ReplyDeleteමම කියන්නෙ මොන ආගමේ හිටියත් හරියට ජීවත් වෙනව නම් එච්චරයි...
කොහොමටත් හොද පෝස්ට් එකක්...
මමත් ඔය ලව්ස්පීකරෙන් නම අහගන්න දෙන දාන වලට හොදට හිනා වෙනවා
හිත යටින්...
අපෝ පන්සල් වල සම්මාදම් ගැන කතා කරලා වැඩක් නෑ.. හාමුදුරුවරුත් නිකං ගෙවල් වල ඉන්න නෝනලා වගේ කොච්චර තිබුනත් ඇති වීමක් නෑ,. බුදු හාමුදුරුවෝ කියපු අල්පේච්චත්වය මේකද හාමුදුරුවනේ කියලා අහන්න හැම සැරේම කටට එන හින්දයි ඔය වැරදිලාවත් ඇහුනොත් සැදැහැවත් බෞද්ධයෝ වෙන අපේ ගෙදර අයගේ හිත් රිදෙන හින්දයි මම පුළුවන් තරම් පන්සල් යන එක අඩු කරලා තියෙන්නේ දැන්! වෙන කරන්න දෙයක් නෑ ඒ ගැන.!
ReplyDelete