Monday, 3 November 2008

ගැහැණිය නිදහස් කිරීම

මතකනේ මලී ඇඳුම් ගැන කියපු එක. අන්තිමේ ඇඳුම් වැලක් වුණේ. :)) ඒක කියවද්දි කාලයක් මට හිතුණ දෙයක් මට මතක් වුණා. ඒ ගැහැණිය නිදහස් කිරීම සහ ඒ පිළිබඳ කතිකාව එක්ක යන එකක්.

කාන්තා නිදහස කියල අපි දන්න කාලෙ ඉඳන් තියෙන සංකල්පයක් තියෙනවනේ. මම නම් ඕක ගැන දන්නෙම නෑ. නමුත් ඒ නිදහස ඉල්ලන්නෙ ලංකාවෙ නම් කාන්තාවන්ගෙනුත් සුළුතරයක් කියන එක මේ ළඟදිත් මම දන්න කාන්තාවක්ම කිව්වා. එයාට අනුව තවමත් ලංකාවෙ නම් බොහොමයක් කාන්තාවො සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙවන්න කැමතියි වගේම ඒ තුල එයාලට කරන්න වෙන වැඩ ටික ගැන උපේක්ෂාවක් මිස ඒක තමාගෙ නිදහස නැති කරන දෙයක් විධියට සලකන්නෙ නෑ එයාල.

ගැහැණිය කියල වර්තමානයේ අපට බටහිරින් ඔබ්බවන ප්‍රතිරූපය හරිම නිදහස්. එයාල නිදහසේ ඇඳුම් අඳිනව, නිදහසේ ආදරය කරනව, නිදහස් ලිංගික ඇසුරක් ලබනව, නිදහසේ හිතනව. මේක බොහෝ විට බටහිරෙන් ඉන්දියාවට සහ ඉන්පස්සෙ අපට එන එකක්. මට මේ ප්‍රතිරූප (idols?) කියන ඒව නම් ඉන්දියාවෙන් නෙවෙයි සෝමාලියාවෙන් ආවත් එකයි. ඉන්දියාව එක්ක හෝ බටහිර එක්ක මට කිසි ප්‍රශ්ණයක් නෑ. ලංකාවෙදි ඒ දේවල් බාවිතා/ව්‍යාප්ත වීමේ විධිය ගැන පුංචි හිනාවක් විතරයි යන්නේ.

ගැහැණිය නිදහස් වෙන්න ඕන මොනවයින්ද? ඇඳුම් ඇඳීම, විලාසිතා, භාෂාව, දැනුම ලබා ගැනීම වගේ දේවල් වලින්...? තව ඕන තරම් දේවල් තියෙනව. ඒ වුණාට මට බොහෝ විට පේන්නෙ කාන්තාව නිදහස් කරන්නෙ ඇයව වඩ වඩාත් ශෘංගාරාත්මක කරන්න කියලයි. ඇය ශෘංගාරවත් වෙන තරමට ඒක පිරිමින්ට වාසියක් වෙනව. මුළු කතන්දරේම නතර වෙන තැන එතන නිසා. ඒ ආකර්ශණයට කරන්න බැරි දෙයක් නැති තරම්.

මට හිතෙන්නෙ කාන්තාව ලිංගිකව නිදහස් කිරීමේ කාන්තා නිදහස් ව්‍යාපාරයක් තමයි ලෝකෙ තියෙන්නෙ කියල. අද විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල විතරක් නෙවෙයි පාරෙ තියෙන කටවුට් පෝස්ටර් වල සහ කෙලින්ම පාරෙදි යද්දි ඒ බව පැහැදිලි වෙනව. කාන්තා පත්තර සහ රූපවාහිනී වැඩසටහන් වල විතරක් කාන්තාවන්ට උගන්නනව හැමදාම මෝස්තර දාන විධි, කෑම උයන විධි සහ සිරුර ශෘංගාරාත්මකව පවත්වගන්න හැටි ගැන...

ඒක ෂෝක්! අනේ ලලනාවියනි තවත් නිදහස් වෙන්න...

කාන්තාවගේ අයිතීන් ගැනනම්.... ම්.. ම්...කාන්තාවන් ඔය නිදහස අමතක කරලා ඉගෙනගන්න පටන්ගත්ත නම් හරි.

8 comments:

  1. ම‍ට නම් කියන්න තියෙන්නේ බාහිරව ලංකාවේ ගැහැණිය අද වෙනකොට ගොඩක් නිදහස් - අධ්‍යාපනය/රැකියා අවස්ථා/අදහස් දැක්වීම සිට බොහෝ අංශ දක්වා එහෙමත් නැත්නම් සියළුම අංශ දක්වා එයාලා නිදහස්...හැබැයි එයාලා නිදහස් කියලා එයාලම දන්නවාද කියන ගැටළුව නම් තියනවා..ඔළුගෙඩි ඇතුලේ ඉන්න පියරු බබලා ටික පැත්තක‍ට‍ කලා නම් ඒක පෙනේවී/දැනේවී...නමුත් සමහර අවස්ථා තියනවා කාන්තාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කණගාටුදායී අවස්ථා..ඒක බොහෝ විට නූගත් කම දුප්පත් කම ‍නිසා වෙන්න පුළුවන් එහෙම නැති අවස්ථාවක ඒ ගැටළුවෙනුත් නිදහස් වෙන්න ලංකාව වගේ රටවල කාන්තාවන්ට අවස්ථාව තියනවා. රටේ නීතිය ඒකට සම්පූර්ණ ඉඩ දීලත් තියනවා.ඒහෙම වෙලත් තවදුරටත් දුක්විදින අය ඉන්නවා නම් ඒකට හේතුව සම්ප්‍රධායික පවුල් රාමුව ඇතුලේ ඒ වෙනුවෙන් කැප වෙන්න ලංකාවේ ගැහැණියගේ තියන කැමැත්ත/ආශාව..දරුවෝ කියන සාධකය මත ඒකට අසරණකම කියලා කියන්නත් පුළුවන් අහලා ඇතිනේ කියනවා "මගේ දරුවන්ට නමට හරි තාත්තා කියන්න මිනිහෙක් ඉන්න ඕනි නිසා මේ මිනිහා එක්ක ඉන්නවා" කියලා ඒ හැරුනම මම දන්න හා මට දැනෙන විදියට ලංකාවේ ගැහැණිය සැහෙන්න නිදහස්
    නමුත්
    නිදහස අවශ්‍ය කාන්තාවන් පිරිසක් ඉන්නවා මේ ලොකේ...විවිධ ආගමික හා සංස්කෘතිය හේතුන් මත මිලේඡ්ඡ විදියට වේ‍දනා විදින කාන්තාවන් ඉන්නවා
    උදා- කාන්තා චර්මජේදනය/අන්තගාමී මුස්ලිම නිති සහිත රටවල්.

    ආන්න ඒ කාන්තාවන්ට නම් නිදහසක් අවශයි කියලා මම හිතනවා...

    මොන බයිලාවක් ගැහුවද මන්දා..හැබැයි එකක් අර ශෘංගාරාත්මක කථාව සහතික ඇත්ත...ලංකාව ඇතුලු බොහෝ රටවල සිද්ධ වෙන්නේ කාන්තාව පහසුවෙන් විකුණන්න/ වි‍කිණෙන්න පුළුවන් "බඩුවක්" බවට පත් කරන එකයි!

    ReplyDelete
  2. haresh ළමයා , සමාවෙන්න ගොඩ කාලෙකින් අන්තර්ජාලය පිරික්සුවේ නෑ, එනිසා ඔයාගේ බ්ලොග් සටහන් කියවන්න බැරි වුනේ. කාන්තාව පිරිමියා, ලොව පවතින සාධක දෙකක්, හැම දේම රඳා පවතින්නේ මේ දෙකෙහි සම්මිශ්‍රණය අඩු වැඩි වීම් අනුව. ඔක්කොම අන්තිමට එන්නේ එකම තැනකට, ලෝකේ පැවැත්ම පවත්වාගෙන යන්න.මම නම් මේක නිදහස් වීමක් ලෙස දකින්නේ නෑ, මේවා ඔක්කොම හරි හමන් අධ්‍යාත්මික වර්ධනයක් නොමැති කම. "ආසාවන්ට ආසා නොකරන්න" ඉගෙන ගත්තම තමයි ඇත්තටම නිදහස් වෙන්නේ. මම කියන දේ පැහැදිලි නැත්නම් සමාවෙන්න.

    ReplyDelete
  3. >>"ලංකාව ඇතුලු බොහෝ රටවල සිද්ධ වෙන්නේ කාන්තාව පහසුවෙන් විකුණන්න/ වි‍කිණෙන්න පුළුවන් "බඩුවක්" බවට පත් කරන එකයි!">>
    උදාහරණයක් හැටියට මොන රටේ ද ඔබ කියනාකාරයේ නිදහසක් තියෙන්නෙ? ලංකාවේ මෙහෙමයි කියන ඔබ අනෙත් රටවල් වල ඇති සර්ව සාධාරණීයත්වය හඳුනන බව මට විශ්වාසයි. මොකද මේ ලංකාව කියන්නෙ අයිතිවාසිකම් බින්දුවට බැහැපු රටක් කියලනෙ සමහරු අපේ මිනිස්සු ම කියන්නෙ. කියන්නකො බලන්න වෙනස.

    ReplyDelete
  4. >>"මට හිතෙන්නෙ කාන්තාව ලිංගිකව නිදහස් කිරීමේ කාන්තා නිදහස් ව්‍යාපාරයක් තමයි ලෝකෙ තියෙන්නෙ කියල. අද විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල විතරක් නෙවෙයි පාරෙ තියෙන කටවුට් පෝස්ටර් වල සහ කෙලින්ම පාරෙදි යද්දි ඒ බව පැහැදිලි වෙනව">>
    මේ විදියට බැලුවොත්, ඔබ ගේ හිතන පතන විදිය සමාජ මතය රඳා පවතින්නේ පාරේ තියෙන පොස්ටර් සහ මාධ්‍ය මත. ඒ කියන්නෙ ඔබට තියෙන්නෙ ජනමාධ්‍යා උපයෝගිකොටගෙන ඔබගේ ම කියලා ඔබ පවසන ආකල්ප? එහෙම නැත්නම් මම වලිගෙ පාගගෙන්න ද?

    ReplyDelete
  5. බටහිරින් එන ඕනෑම දෙයක් බලහත්කාරයෙන් බදා ගන්නා ලාංකික ජන සමාජය තුළ කාත්තා නිදහස කියන්නෙත් බලෙන් ඔබ්බවපු
    සංකල්පයක්.කාත්තා නිදහස,සමාන අයිතිවාසිකම් වගේ දේවල් අපේ ඉතිහාසය පුරාම පැතිරිලා තියෙනවා.මෙයට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ බුද්ධ දර්ශනයේ එන ඉගැන්වීම්.මේ වන විටත් ඒවා බොහෝදුරකට‍‍ ‍ආරක්ෂා වෙලා පවතිනවා.ඒ සමගම නූගත්කම,දුප්පත්කම,‍ආදී දියුණු වෙමින් පවතින රටවල් වල‍ට ‍ආවේනික පොදු ප්‍රශ්න නිසා කාත්තා නිදහස ලාංකාවේ 100% සුරක්ෂිතයි කියන්න බෑ.කාත්තා නිදහස අහිමි හා අහිමිවන කාන්තාවන් තම උරුමය හෝ කරුමය යැයි සිතමින් අහිමිවන නිදහස
    උපේක්ෂාවෙන් විඳ දරා ගන්නා අතරෙදි ඇමති බිරින්දෑවරු හා රටේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙ බිරියන් තම ස්වාමියා උදෑසන නිවසෙන් පිට වූ මෙ‍හොතේ සිට රාත්‍රියේ පැමිණෙන තෙක් රූපවාහිනී හා අනෙකුත් මාධ්‍ය ඔස්සේ කාත්තා නිදහස පිළිබඳව මර හඩ තලනවා.මෙයයි හාස්‍යට කාරණය.

    ReplyDelete
  6. @Ape logic - අනේ සමාවෙන්න මම මේ මුහුදෙන් පිට ගිහිල්ලා නෑහැ..කොටින්ම බස්නාහිර පළාතෙන් පිට යන්නෙත් බොහොම දවසකට සැරයක්.ඒක නිසා මම වැඩියම හොදට දන්නේ ලංකා‍ව ගැන.මෙතන මම කියනවානේ "ලංකාව ඇතුළු බොහෝ රට වල" කියලා ‍ඔයාට ලොකේ ගැන තියෙන අත්දැකීම් වලට අනූව ඒක සියළු රටවල කියලා වෙනස් කරන්න ඕනි ඇති. මම සූදානම් ඒක කරන්න..ඒත් අරාබි රට වල ගැහැණියට එහෙම කිරීමේ නිදහසක් නෑ නේද ? එතකොට මං හිතන්නේ බොහෝ රටවල් කියන වචනේ යෙදෙන ‍එක ගැටළුවක් නෙවෙයි

    ReplyDelete
  7. ආ හො‍ව් හොව් තුන්වෙනි වතාවටත් ‍කියෙව්වට පස්සෙයි ඔයා‍ගේ කියන්න හදන දේ මට පැහැදිලි වුනේ.."තර්කය" ඔයා මාව වැරදියට වටහගෙන මම කිව්වේ නෑ ලංකාව අයිතිවාසිකම් නැති රටක් කියලා මේ බලන්න ලංකාවේ ඉන්න කාන්තා අපි ගැන ම‍ගේ අදහස මම මුලින්ම කිව්වා
    "ම‍ට නම් කියන්න තියෙන්නේ බාහිරව ලංකාවේ ගැහැණිය අද වෙනකොට ගොඩක් නිදහස් - අධ්‍යාපනය/රැකියා අවස්ථා/අදහස් දැක්වීම සිට බොහෝ අංශ දක්වා එහෙමත් නැත්නම් සියළුම අංශ දක්වා එයාලා නිදහස්.."

    ලංකාවේ නිදහස වැඩියෙනුත් තියනවා..ඒ නිදහස වැඩියෙනුත් දීලා තියෙන්නේ වෙන පරමාර්තෙකින් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? මට නම් හිතෙනවා

    ReplyDelete
  8. මේක වැඩිය මට තේරෙන්නේ නැහැ. මම නම් උපරිමේටම සම තැන දෙනවා කාන්තාවට ඒ කියන්නේ කොච්චියේ, බස් එකේ සෙනග ඉන්නවනම් ගෑණුත් ෆුට් බෝර්ඩ් එකේ යනවා මිසක පිරිමි එයාලට ඇතුලට යන්න ඉඩ දෙන්නේ ඕනේ නැහැ. සමතැන පටන්ගන්නේ එතනින්.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!