Monday, 28 March 2011
පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර
රංජිගෙ තාත්ත නැති වුණ වෙලේ දැක්කට පස්සෙ සෑහෙන්න කාලෙකින් අද තමයි කාන්ති රංජිගෙ ඇස් දෙකේ කඳුළු දැක්කෙ. වෙනද හවසට බස් එකේ බර්ටි අයියත් එක්ක දාන අඩියත් අද දාල නෑ වගේ. මොනව වුණත් රංජිම කියනකල් කාන්ති කවදාවත් රංජිගෙන් දවසෙ විස්තර අහල නෑ. කසාද බැඳපු අළුත ගොඩක් උනන්දුවෙන් එදිනෙදා විස්තර කියවපු රංජි වුණත් දැන් විශේෂ දෙයක් හැර බස් එකේ විස්තර කාන්ති එක්ක කියවන්නෙ නෑ.
ඒ වුණත් ඇස් දෙකේ කඳුළු බින්දු එක්ක ආපු වෙලේ ඉඳන් ඇඳුමක්වත් මාරු නොකර සාලෙ සැටියට වෙලා ඉහේ අත් දෙක ගහගෙන ඉන්න තරම් විශේෂ හේතුවක් අදනම් රංජිට සිද්ධ වෙලා වගේ.
.........................
"පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."
මම හිටියෙ සුපුරුදු විධියටම බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා කෑ ගගහ...
බස් එක කටුබැද්ද හන්දියේ හෝල්ට් එකේ පේමන්ට් එක අයිනෙන් හෙමින් ඉස්සරහට ගියා...
"පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."
මම කෑ ගැහුවා... ම්හු.. එකෙක්වත් නගින්නැති පාටයි. ඔපිස් ටයිම් ඉවර නිසා දැන් ඒ තරම් සෙනගත් නෑ. ඉන්න එවුන් ඒසී වල නගින්නෙත් නෑ...
"යමු යමු බර්ටි අයියා..."
මම කිව්වා.
"අර එක්කෙනෙක් දුවගෙන එනවනේ.."
බර්ටි අයිය වම් පැත්තෙ සයිඩ් කණ්නාඩිය බලාගෙන කිව්වා.
"පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."
මම ආයෙත් කෑ ගැහුවා.
කැප් එකක් දාගත්තු තරුණ කොල්ලෙක් දාඩිය පෙරාගෙන දුවගෙන ඇවිත් බස් එකේ එල්ලුනා. හිස්වෙලා තිබුණ ෆුට් බෝඩ් එක ගාවම සීට් එකේ පොර ඉඳගත්තා.
මම දොර වැහුවා. බර්ටි අයිය රේස් කලා.
නැගපු කොල්ල ලොකු කෝල් එකක. මලක් ද කොහෙද.. පොරට ටිකට් ගන්න උවමනාවක් නෑ වගේ. කෝල් එක ඉවර වෙන්නෙත් නෑ.
"මල්ලි කොහාටද?"
"ආ... පොතුපිටියට අයියෙ..."
රුපියල් සීයක්. මිනිහගෙ මූණෙ තිබුණෙ බයවුණ කලබල ගතියක්...
"ආ..."
මම ඉතිරි හතලිහ එක්ක ටිකට් එක මිනිහට දුන්නා... මිනිහ ආයෙ ෆෝන් එක කනේ ගහගත්ත.
බස් එකට සෙනග නැග්ගා. බස් එකෙන් සෙනග බැස්සා. ඉක්මනින්ම අපි පානදුරට කිට්ටු වුණා.
පාලම පහු කරලා තියෙන හෝල්ට් එකේ බස් එක නතර කලා. දෙන්නෙක් බැස්සා.
"වාද්දුව, පොතුපිටිය, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."
"අයියෙ මේ..."
ෆුට් බෝඩ් එකේ පොල්ල උඩ ඉදගෙන හිටපු මට පිටිපස්සෙන් කවුද කතා කලා. අර කොල්ල නැගිටල මගෙ කණ ගාවට කිට්ටු වෙලා.
"ඇයි?"
"මේ... අපේ අම්මට ටිකක් අමාරුයි. මම මේ බෙහෙත් අරන් යන්නේ. කටුබැද්දෙ තිබුණේ නෑ එක ජාතියක්. මෙතනින් ගන්නකල් බස් එක ටිකක් නතර කරල තියාගන්න පුළුවන්ද?"
"අයියෝ මල්ලි... දවසම චාටර් වෙලා ගෙදර යන්නෙ කොයි වෙලේද කියල ඉන්නේ..."
මට එහෙම කියවුණේ මිනිස්සු එක එක බොරු කියල අපිව රස්තියාදු කරපු වෙලාවල් ඕන තරම් තිබුණ නිසා.
"ඉක්මනට එනවා... පාරෙ එහා පැත්තෙ ෆාමසියට යන්නේ"
"එහෙම කරන්න බෑ මල්ලි.. ඔයා එහෙනං බැහැල වෙන එකක එන්ඩ.."
"අනේ අයියෙ මේක කොහොම හරි ගෙනියන්න ඕන.. පාර පැනලා ෆාමසියට ගිහින් ටක් ගාල එන්නම්.. විනාඩි දෙකක් යයි."
කොල්ල ඒ පාර ඒක කිව්වෙ නම් ගොඩක් දුකින් කියල මට තේරුණා. ඒත්..
"හරි හරි ඉක්මනට ගිහින් එනවා.. මිනිස්සු ගෙවල්වල යන්න එපැයි..."
කොල්ල බැස්සා.
"ටක් ගාල එන්නම්.."
මිනිහ දුවගෙන ගියා කහ ඉර ගාවට.
"පොඩ්ඩක් ගහල ඉමු.. අර බැහැපු මල්ලි බෙහෙතක් අරගෙන එන්න ගියේ.."
මම බර්ටි අයියට කිව්වා.
"අයියෝ මොනවද බං.."
බර්ටි අයියට ටිකක් විතර මල. මිනිහත් දවසම රවුම කරකවල හෙම්බත් වෙලා ඉන්නේ.
මම කොල්ල ගිය දිහාව බලාගෙන හිටිය. මිනිහ ෆාමසියටම ගිය බව මම දැක්ක. ෆාමසියෙන් බෙහෙත ගන්න මිනිහට විනාඩියක් විතර ගියා...
"මොනවද බං... ෂික්"
බර්ටි අයියට හොඳටම මල.
"පොඩ්ඩක් ඉමු බං..."
මම එහෙම කිව්වෙ කොල්ල එනකල් බස් එක ගහල තියාගන්න එකේ වගකීම මගේ නිසා.
තවත් තප්පර ගානකිං කොල්ල දුවගෙන ඇවිත් හිටපු තැනම ඉඳගත්තා. බස් එක ආයෙත් ඉගිල්ලුනා.
මොල්ලිගොඩ පහු වෙද්දි කොල්ලට ආයෙත් ආව කෝල් එකක්.
"හයියෝ..."
කොල්ල එක පාරම උත්තර දුන්න විධියට ගැස්සුණ මම පිටිපස්ස බැලුව. කොල්ලගෙ ඇස් දෙකේ කඳුළු උනනව මට පෙණුන. ඒක වහගන්න මිනිහ මූණෙ අත් දෙක ගහගත්ත. මිනිහ ඉකි ගහනව.
"ඇයි මොකද මල්ලි?"
මම පස්ස හැරිල ඇහුවෙ එහෙම අහන්න හිතෙන තරමට මම මිනිහගෙ දැන් තත්ත්වෙ දැනගෙන හිටපු හින්ද.
"අම්ම නැති වෙලා අයියේ.."
කොල්ල එහෙම කියාගෙන ආයෙත් ඉකි ගහන්න ගත්ත.
මම උඩ ගියා. එකපාරම මුකුත් හිතාගන්න බැරි වුණා. මුකුත් කියන්නත් බෑ..
"උඹ පොතුපිටියෙ බහිනව නේද මලයා... අවුලක් නැද්ද? තව හෝල්ට් දෙකයි.."
කොල්ල ඔළුව වනල කිව්වෙ අවුලක් නෑ කියල. ඒත් මට අවුලක් දැණෙන්න අරන් තිබුණ. මේ කොල්ල බෙහෙත් ගන්න බැහැල යන්න අහපු වෙලේ ඌ එක්ක වාද නොකර යන්න දුන්න නම් සමහර විට කොල්ලට අම්මව බේරගන්න චාන්ස් එකක් තිබුණ කියල මට හිතුණ. ඒත් මම ම ඒක එහෙම වෙන්න බෑ කියන තැනට හිත හදාගන්න ට්‍රයි කලා. වලක්වන්න බැරි දේ වලක්වන්න බෑ. වෙන්න තියෙන දේ වලක්වන්න බෑ. කරුමෙ කියන්නෙ ඕක තමයි.
කොල්ල පොතුපිටියෙන් බැහැල ගියත් මම ඉඳගෙන හිටපු පොල්ලට පිටිපස්සෙ සීට් එකට ඊට පස්සෙ කවුරුවත් ආවෙ නෑ. කළුතරට ඇවිත් බස් එක බර්ටිලගෙ ගෙදරට දානකල්ම මට දැණුණෙ කොල්ල එතන ඉන්නව වගේ. බර්ටි අයිය කලින්දා ඉතිරි කරපු කොටේ එලියට ගත්තත් ඒක ගැන හිතන්නවත් මට හිතුණෙ නෑ...
මගෙ ඔළුව තෝන්තුයි වගේ. කාලෙකින් නොදැණුන හැඟීමක්.
මම කෙලින්ම ගෙදර ආව...
.........................
මුළු කතාවම අහන ගමන් කාන්ති රංජිගෙ ඔළුව අතගෑව. මේ වගේ සිදුවීමක් නිසා මෙහෙම සංවේදී වෙලාද මේ මනුස්සයා.. බස් කොන්දොස්තර රස්සාව පටන්ගත්තු දා ඉඳන් රංජි තව තව දරුණු වුණා වුණත් එයාට ඉස්සර වගේ තාමත් සංවේදී වෙන්න පුළුවන්කම තියෙන වග කාන්ති තේරුම්ගත්තා. ඒක රංජිත්ටම දරාගන්න දීල කාන්ති නිහඬවම හිටියා.
දීර්ඝ නිහැඩියාවකට පස්සෙ රංජි කතා කළා.
"කාන්ති"
"හ්ම්.."
"අපි මේ සෙනසුරාදා යමුද අම්මව බලන්න..."
Friday, 25 March 2011
වැඩ! වැඩ! වැඩ! - වීඩියෝ කවියක්!
ඔන්න සිකුරාදාව උදා වුණා... හෙටත් අනිද්දාත් නිවාඩුවක් තියෙනවා. මම කරන රස්සාවෙ හැටියට සති අන්තෙ නිවාඩු තිබුණත් රටේ වැඩකරන අයගෙන් බහුතරයට එහෙම එකක් නෑ. ගොඩක් දෙනා සෙනසුරාදත් වැඩ. ඒ හැම දෙනාටම තමන්ගෙ සබ්බ සකල මනාවම කරගන්න ඉතිරි වෙන්නෙ ඉරිදාව තමයි. එදාටත් ඒ වැඩ වලට මාට්ටු වුණාම නිදහසේ ගෙවන්න පුළුවන් වෙලාවක් ගොඩක් දෙනෙක්ට නැති තරම්.
මේ ශෝකජනක කාලය මමත් අවුරුදු ගාණක් අත්වින්දා. සතියේ දවස් 6ක් වැඩ කරලා ඉරිදට රෙදි සේදිලි අයන් කිරිලි කෝල් කිරිලි ලව් කිරිලි අර කිරිලි මේ කිරිලි ගොඩයි. ඉතිං පොඩ්ඩක් නිදහසේ ඉන්න, චිත්‍රපටියක් බලන්න, පොතකට සමවැදෙන්න, ටිකක් වැඩිපුර නිදාගන්න වගේ දේකට නිවාඩුවක්ම දාන්න වෙනවා.
රට නගන්න වැඩ කරන්න ඕනය කියල කියවල තියෙනව වුණාට ඔය නිදහසේ ගත කරන්න තිබුණ උවමනාව නිසාම මම ඉස්සර කොයි තරම් නිවාඩු ගත්තද කිව්වොත් වලංගු නිවාඩු 21 ටත් අමතරව නෝ පේ දවස් තිස් ගණන් නිවාඩු අරන් තියෙනවා. ඒ කාලෙ ඇත්තටම බොහොම නිදහස් කාලයක්. දැන් මම ගෙවන කාලෙට අමතරව මගේ හොඳම කාලෙ ඔය කාලෙ කිව්වොත් හරි. හොයන්න බලන්න කවුරුත් නැතිව කාටවත් ලොකු බැඳීමකුත් නැතිව, තිබුණොත් කාල නැති වුණොත් බුදියල ගත කරපු කොහෙටවත් නැති කාලයක්.
ඉතිං ඔය විවේකය ගත කරන අතරෙ වැඩ මතක් වෙද්දි ඇඟ රත් වෙනවා. ඉරිදාවක් ඉවර වෙලා සඳුදා උදා වෙන්නෙ හරිම අමාරුවෙන්. සාමාන්‍ය රටවැසියෙක්ටත් කාමර උෂ්ණත්වයේදි කතාව මේ වගේ නම් මම වගේ ස්වභාවික කම්මැලියෙක්ගෙ තත්ත්වෙ ගැන කවර කතාද?
එපා වෙනකල් වැඩ කරන්නෙ හොඳ ජීවිතයක් වෙනුවෙන් නම් ඒ වෙනුවෙන් දැන් ගෙවන ජීවිතේ ගූ කරගෙන වැඩක් තියෙනවැයි...
ඔන්න ඔය සිතිවිල්ලත් තවත් එක එක මඤ්ඤං සිතිවිලිත් හිතේ එහෙ මෙහෙ කලත්තමින් ඉද්දි තමයි මේන් මේක හැදුණෙ.
කැමතිනම් කියවන්න. නැත්තං අහමින් බලන්න.
දුක් විඳින
වැඩ කරන සහ
නිදන්නට කැමති
ජනතාව වෙනුවෙන්
රෑ නමයට ගෙදර ගිහින්
යන්තම් කාල නිදාගෙන
දකින හීනයේ
හොඳම හරියෙදි වදින
හයේ කණිසමට නැගිටල
උදේ පාන්දර
ගෙයින් එලියට බැහැල
කාගෙදෝ ළඟ වැඩ කරන්න
අපි එනවා
වැඩ!
වැඩ!
වැඩ!
වැඩ!
අපිත් යන්තම් ජීවත් වෙලා
තව අයව හොඳින් ජීවත් කරවන්න
මුළු ජීවිත කාලෙම
අපි වැඩ
ඒ මදිවට...
හැමදාම ඉතිහාසය
නිසා ජීවත් වෙන,
දැන් අපට ඕන දේ
කවදාවත් නොකරන
අහිංසකම අහිංසක
මහත්වරු කට්ටියකට
අපි කැපුවත් ඡන්දෙ දෙනව
ජීවිතේ පුරුද්දක් වෙලා...
හැමදාම අපි කරන්නෙ
පුරුද්දක් විධියට
අපි දන්න යාන්ත්‍රික වැඩ ටික
රොබෝල වගේ
කරන එක විතරයි
දැන් අපට ජීවිතයක් නෑ
තියෙන්නෙ වැඩ විතරයි
Thursday, 24 March 2011
මගෙ අම්මා සහ ඇගෙ අම්මා | සියළු සත්වයෝ දුප් යන්න
මේ කියන්නට යන සිදුවීම් කීපය මුල් කරගෙන මගෙ අම්මාවත් ඇගෙ අම්මාවත් විග්‍රහ කරන්නට නොයන මෙන් මුලින් ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.
මුලින් මගෙ අම්මාගේ කතාව කියන්නට උවමනාය.
තාත්තා නැති වූ පසු අම්මාගේ හිත හදන්නට එකී මෙකී නොකී සියළු දෙනා එක එක විජ්ජා යෝජනා කළෝය. කට්ටියක් කියවන්නට සුදුසු එක එක බැරෑරැම් පොත්පත්ද, පත්තරද ගැන කියවීය. මනස ගැන කියවන්නට උපදෙස් දුන්නෝය. නිවන ගැන බරපතල පොත් ගැන කිව්වෝය. අහන්නට හොඳ ධාර්මික ගීත ගැන ගායනා කළෝය. නින්දට යන විට අසන්නට කියා අලවතුරේ බ්‍රෑන්ඩඩ් හොඳ කවි බණ කැසට් නිර්දේශ කළෝය.
හැමෝටම උවමනා වූයේ තාත්තාගෙන් හිස්වූ අම්මාගේ හිතේ ආගම පුරවන්නටය. හාවක් හූවක් නැතිව සියල්ලටම කන් දුන් අම්මා දැන් ඉස්සර ජීවත් වූ ලෙසම ජීවත් වන්නීය. ඇය පන්සලට ගියේ මරණාධාර සමිතියේ රැස්වීමට පමණි. විශේෂයෙන් ඇසූ බණක්ද නැත. ඒත් ඇයගෙන් කාටවත් කරදරයක්ද වූයේ නැත. යහපත්ව ජීවත් වන්නට පන්සලවත් අගමවත් අත්‍යවශ්‍ය නැත කියන කාරණේ ඇයට කියා දී තිබුණේ පන්සලේ පස් නොපෑගූ තාත්තාය.
ඒත් තාත්තාගේ මරණයෙන් තෝන්තු වී සිටි ඇයට ආගමික පුරුදු එන්නත් කිරීමට ඇගේ අම්මා හෙවත් මගේ ආච්චි අම්මා තැත් දැරුවාය. අවසානයේ සීයාගේ මරණයෙන් පසු තමා ප්‍රතිස්ථාපනය වූ අයුරින්ම අම්මාවද සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට ආච්චි අම්මා සමත් වූවාය. දැන් අපෙ අම්මා බුදුන්ට පහන තියන්නීය. හවස හයට මල් පූජා කර හඳුන් කූරක්ද දල්වා බුදුන් වඳින්නීය. ආච්චි අම්මා විසින් නිර්දේශ කරනු ලැබූ ගාථා අඩංගු පොත් වහන්සේ ළඟ තබාගෙන එම ගාථා කියවන්නීය. ඇගේ මේ වතාවත් හවස හයේ සිට නොවරදින දෛනික පිළිවෙතක් බවට පත් වී ඇත.
...............................
අපෙ අම්මා බළලුන්ට කැමති නැත. උන් ඇල්ලීමටද කැමති නැත. උන්ගේ ඥාව්වද ඇයට හිරිහැරයකි. බළලුන්ට ආදරය කරන්නට අම්මාට උගන්වන්නට තාත්තා අසමත් වුවත් තාත්තා විසින් නිවසේ ඇති කරන ලද බැළලිය වෙත අම්මා තවමත් කරුණාව දක්වන්නීය.
එම බැළලිය විසින් ප්‍රසූත කරන ලද පැටවුන් දෙදෙනෙක්ද මේ දිනවල අප නිවසේ වෙසෙයි. තවමත් දොට්ටපිලට යාමට උවමනා වූ විට නිවසෙන් එලියට යාමට අසමත් මුන් ගේ හැමතැනම උන්ට රිසි අහු මුළු සුවඳ කරයි. මෙය අම්මාට ඉවසුම් නොදෙන්නකි. නිවසේ වූ බළලුන්ගේ අතිශයින් දුර්ගන්ධ වූ මළ පිරිසිදු කිරීමද, මුත්‍රා පිස දැමීමද ඇය කලේ බළල් පැටවුන්ටද උන්ට කිරි දෙන උන්ගේ මෑණියන්ටද බැණ වදිමින් බව මම දනිමි. එයට තිබූ අකමැත්ත නිසාම ඇය බළලුන් නිවසේ අහුමුළු වෙත, කාමර වෙත ඇදෙනවා දුටු සැණින් ආවේස වී උන් එලවන්නීය. එවිට ඇය උන් හිටිතැන් අමතක වන තරමටම විස්සෝප වන්නීය.
මේ සිදුවීම සිදු වන විට අම්මා සිටියේ නිවසේ බුදු පිළිමය තබා තිබූ වේදිකාව යට කුෂන් එකක් දමා එහි හිඳගෙන ඇගේ දෛනික වන්දනාවේ යෙදෙමිනි. නිහඬ පරිසරය අතරින් ඇයගේ මිමිණීම මට ඇසුණි. බුදු ගෙය අසලම පුටුවක මා සිටියේ කියවමිනි.
එක් වරම අම්මා කෑ ගැසුවාය.
"දු:ප් යන්න"
මම හැරී බැලුවෙමි. අම්මා වහා වන්දනාව නතර කර හුන් තැනින් නැගිට නිවසේ ප්‍රධාන දොර වෙත දිව ගියාය.
"පෙනේද මේකා කරන්න ගිය වැඩේ... මං බලාගෙන හිටියෙ හෙමින් හෙමින් දොර මුල්ලට කිට්ටු කරනව... දැක්කෙ නැත්තං චූ කරනව."
ඇය බළල් පැටවෙක් සෙමෙන් පාදයෙන් තල්ලු කර නිවසෙන් එළියට දැමීය. පසුව නැවත පැමිණ දොහොත් එක්කොට වඳින්නට වූවාය.
...............................
ඇගෙ අම්මාගේ හෙවත් මගේ නැන්දම්මාගේ කතාවේ ප්‍රධාන චරිතය ඇය නොවේය. එසේම සාමාන්‍ය දිනයකදී නම් එම සිදුවීම වැඩි දුර නොසිතාම බැහැර කරන්නට මට හැකියාව තිබෙන්නට ඉඩ තිබුණි. එහෙත් මේ දිනය විශේෂය.
එදා ඇගෙ අම්මාගේ නිවසෙන් පන්සලේ දිවා දානය පිරිනමන දිනයයි. සෑම මසකම කලින් වෙන් කරගත් දිනක ඇය බැතිබර සිතින් පන්සලට දානය පිළියෙල කරන්නීය. ඒ සඳහා සම දායකත්වය සපයන්නේ නැන්දම්මාගේ අල්ලපු ගෙදර මිතුරිය වන කාන්ති නැන්දාය. දෙදෙනා ගජ මිතුරියන් වනවා මෙන්ම මෙවන් දාන මාන ආදී කටයුතු වලදී අන්‍යෝන්‍ය වශයෙන් උදව් පදව් කරගනියි.
මෙදින දානය පිළියෙල කිරීමද දෙදෙනා විසින් සිදු කල අතර ඇය හෙවත් මගේ බිරින්දෑද සහයට ඩැනීවරියක් සේ කටයුතු කළාය. මා සාලයට වී සිටියේ පසුගිය සතියේ පුවත් පත දිගඇරගෙනය. පුවත්පත මත දෑස තිබුණද සවනට වැටුණේ කුස්සියේ වූ කතා බහයි.
තිදෙනා එක්ව අර්තාපල් සුද්ධ කිරීම සඳහා සූදානම් වන හඬ මට ඇසේ...
"අනේ ඕක ඔයාට කරන්න බෑ.. කෝ දෙන්න මම කරන්න. මේව පිළිවෙලට කරන්න එපැයි ඔයා යන්න අර කරපිංච, මිරිස් ටික සෝදල ගන්න..."
නැන්දම්මා තම දියණියට පවසන්නීය.
"අනේ ඒක තමයි දූ... අම්මට දෙන්න ඕක කරන්න. දානෙ දෙන්නනේ..."
කාන්ති නැන්දාද ඇගෙ අම්මාගේ පැත්තේය.
කතාවත් වැඩත් එක දිගට ගලා යයි. මමත් පත්තරේ එකම ඡේදය කියවමින් නිදිමතේ සිටිමි. මගේ නිදිමත බිඳුණේ එක වරම ඔවුන්ගේ කතාව වෙනස් වූ බැවිණි.
"ආනේ මේ.... තෙල් කූඹි ආයෙත් ඇවිත්.... බලන්න කාන්ති අක්කෙ මේ තෙල් කූඹි වගයක් ඇවිත් හරිම කරදරේ"
"කෝ බලන්න.... ආ... "
"කලිනුත් ඇවිත් ඉඳල මම පිහිදාල දැම්මා... දැන් ආයෙත් ඇවිත්... මේ.. මේ... බිත්තිය අයින දිගේ එනවා..."
"ඔය කූඹි පිහිදැම්මට යන්නෙ නෑ... ලාම්පු තෙල් දාන්න ඕන... කෝ ලාම්පු තෙල් තියෙනවද?"
"දූ.. ඔන්න ඔය කෑන් එක දෙන්න නැන්දට..."
"කෝ දෙන්න කෑන් එක... පොල් මුඩ්ඩක් කෝටුවක ගැටගහල ගන්න දුව..."
සැර භූමිතෙල් සුවඳක් සමග ඔවුන්ගේ ජරමරය මට ඇසුණි. සෙමෙන් කුස්සිය වෙත ඇදුණු මා දුටුවේ හිරමණ බංකුව මත නැගී කුස්සියේ එක් බිත්තියක භූමිතෙල් ආලේප කරන කාන්ති නැන්දාය. ඇගෙ අම්මා භූමිතෙල් දැමූ පොල්කටුවක් අල්ලාගෙන සිටින අත ඇය ඉණට දෑත තබාගෙන බලා සිටියාය.
...............................
මේ කතා යුග්මයම අප දෙදෙනා විසින් සාකච්ඡා කර ගන්නා ලද අවසන් තීරණය වූයේ අප දෙදෙනා කෙසේ වෙතත් අවම වශයෙන් අපේ අම්මලා එක බෝට්ටුවේ බවය.
හුදු නිර්මාණයක් පමණි. නම් ගම් මන:කල්පිතයි. සිදුවීම් තුල කතාව මවාපෑම පිණිස යොදාගත් චරිත, අන්තර් සම්බන්ධතා සහ අතිශයෝක්ති සහිතයි.
Subscribe to:
Posts (Atom)
