Wednesday 31 December 2008

2009 ගැන නිකං ඉන්න බැරි කමට....

හැමෝම අළුතෙන් උදාවෙන කැලැන්ඩර් අවුරුද්දෙ අසිරිය සමරන්න සූදානමින්. බෝනස්ද අරවද මේවද දීමනා ලැබුණත් නොලැබුණත් හැමෝගෙම මුහුණු වල බලාපොරොත්තුවක් පිරිලා.

මට නම් අළුත් අවුරුද්ද ව‍ගේ දින මිශ්‍ර වුණ සංකල්ප වැඩිය දැනෙන්නෙ නෑ. ඔය දවස් මතක තියාගෙන ඉන්න පුළුවන් කාටද? මතක තියාගන්න තව කොයි තරම් දේවල් තියෙනවද? ඒ නිසා මගේ යාළුවන්ගෙ වුණත් උපන්දින වලට මගේ සුභ පැතුම් ලැබෙන්නෙ කවුරු හරි ඒක කිව්වමයි. එහෙම වුණාට වටේ ඉන්න හැමෝම අළුත් අවුරුද්ද ගැන කතා කරද්දි මටත් පුංචි කිතියක් දැනෙනව තමයි. මට තියෙන වැදගත්ම වැඩේ තමයි පළවෙනිද වරුවෙන් වැඩ ඉවර කරන්න පුළුවන් වීම. ආයතනයෙන් ලැබෙන උදේ කෑම සහ දවල් කෑම දෙක කාල කලින් පැනල කොහේ හරි ගිහින් සෙටා වෙන එක තමයි කට්ටියගෙ සැලැස්ම. මමත් ඒ එක්කම විසිවෙයි.

අළුත් අවුරුද්දත් එක්ක මගේ ජීවිතේ වෙනසක් වෙන්න නියමිතයි. ඒක හරියට වුණොත් මගේ ඔන්ලයින් ජීවිතයත් සීමා කරන්න සිද්ධ වෙයි. වෙනස් රස්සාවක්, වෙනම සහෝදර සේවක පිරිසක් එක්ක මට අළුත් ගමනක් යන්න පුළුවන්කම ලැබිලයි තියෙන්නේ. පුරා අවුරුදු පහක් රැකියාව කරපු තැන අතිශයින්ම මට හොඳම තැනක් වුණත් මගේ වෘත්තීයමය දියුණුව උදෙසා මට යන්න වෙනව. දුකයි සතුටයි දෙකම.

කාලයක් තිස්සෙ හිතේ තියෙන වැඩ කන්දරාවක් ඉවර කරන්න පටන්ගන්න ඕන. අළුත් ජීවිතයක් ඇත්තටම පටන්ගන්න කා‍ලෙ ඇවිත් දැන්..

බලමු මොකද වෙන්නෙ කියලා.

මට නම් අළුත් අවුරුද්ද කියල විශේෂයක් නෑ ඉතිං. ඒ වුණාට කට්ටයටම ලබන අළුත් කැලැන්ඩර් අවුරුද්ද සල්ලි වලින් සහ ගුණ ධර්ම වලින් ඉතිරේවාහ්!


Sunday 21 December 2008

ආලවක නරක නෑ තමයි ලතී

බය වෙන්න එපා.

මේ කියන්නෙ ආලවක ගැ‍න නෙවෙයි. වසන්ත දුක්ගන්නාරාල මහත්තයගෙ ආලවක නරක නෑ කෙටි කතා පොත ගැනයි.

ඒකෙ ඉතිං බය වෙන්න දෙයක් තියෙනවයැ. මූට පිස්සු

ඔයාල හිතයි

මට පිස්සු කියල හිතන්න එපා. එහෙම හිතන්න ඔයාලට තියෙන අයිතියටත් මම මුකුත් කියන්නෙ නෑ. ඒ වුණාට පොතේ වටින දෙයක් තියෙන නිසා ලියන්න හිතුණ.

මේ පොත මම මා සතු කරගන්න දැඩි තෘෂ්ණාවෙන් පෙලෙමින් හිටපු පොතක්. සාමාන්‍යයෙන් තෘෂ්ණාව තියාගන්න එක හොඳ නෑ තමයි. ඒ වුණාට ඉතිං මගේ ඒ අහිංසක තෘෂ්ණාවෙන් කාටවත් හානියක්වත් කරදරයක්වත් වුණේ නෑ. ඒ තියා මටවත් මුකුත් වුණේ නෑ. ඒක නිකං ඔහේ තිබුණ.

කොහොම හරි මේ පොත තිබ්බෙ එයාගේ අයිතියත් මගේ කරගැනීමේ සාම්ප්‍රදායික තෘෂ්ණාවෙන් මාව වෙලන ලතීගෙ ගෙදර. ලතී පොත අරන් තිබුණ. මට කලින්. ඉතිං ලතී මගේ වෙන එක අහන්නත් දෙයක්ද? මගේ කරගන්න පෙරුම් පුරල වත් ඒ වෙනුවෙන් පතාගෙන ගොතාගෙන ඔතාගෙන ඇවිත් නෑ කියලවත් එයා ම‍ගේ නොවී ඉඳියිද? එයාගෙ සිතිවිලි මගේ වගේ නොවී තියෙයිද? එයා ඉන්නෙ, හුස්ම ගන්නෙ, දත් මදින්නෙ, හිනා වෙන්නෙ, හිතන්නෙ, කියවන්නෙ මම වගේ නෙවෙයිද? එයා ආස කරන්නෙ මම ආස කරන දේවල් වලට නෙවෙයිද? එයා සල්ලි දීල අරන් රාක්ක පුරා පුරවල තිබ්බෙ මගේ අහිංසක තෘෂ්ණාවන් තුල රැඳිල තියෙන ආශාවේ වස්තු නෙවෙයිද? ඉතිං එයා මගේ නෙවෙයි කියල හිතන්නවත් පුළුවන්ද?

ඇත්තම කිව්වොත් එයා මම වගේ නොවන වෙලාවලුත් ඕන තරම්. ඒ වුණාට ඒව මේ වෙලාවෙ මතක් කරන්න ඕන නෑනේ. ඒව එහෙම තමයිනේ.. ;)

මම කාමරේට ඇවිත් ඇඳුම් උනන, කෑම කන සහ මුහුණ අතපය සෝදල පිහිදන ගමන් එක හුස්මට පොත කියවල ඉවර කලා. කාලෙකින් එහෙම පොතක් එක දිගට කියවල ඉවර කලේ. ඒ තරම්ම මේ පොත මාව වශී කලා. ඒකට ප්‍රධාන හේතුව දුක්ගන්නාරාලගේ භාෂා විලාසය කිව්වොත් හරි. නිකං මාවම ප්‍රශ්ණ කරන රීතියක්. නිරන්තරයෙන් අපි පහුකරන නොයෙක් දේවල් දිහා නැවතත් වෙනම මානයකින් හැරී බැලීමක්. හරිම අපූරුයි.

මේකට පෙරවදන ලියල තියෙන්නෙ ඩබ්ලිව්. ජයසිරි මහත්තය. එතුමගේ පස්සෙ ලියපු පෙරවදන තුලදිත් මම ලෝකාරම්භය ගැන බුදුන් දේශනා කලා කියන රස පොළොවේ කතාව රේඩියෝ එකෙන් අහන් ඇමරිකාවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ ගුවන් යානෙක නැගල ගිහිං පුපුරවල බෝම්බයක් බඩේ බැඳන් මම මැරෙනව නේද දෙයියනේ කියල හිත හදාගෙන මැරෙන්න ලෑස්ති වුණා. එක එක මිනිස්සු එකම වෙලාවෙ දිවි ගෙවන අනේකවිධ ක්‍රම ගැන මම හිත අවදි කලා. අනේ අපොයි මමත් හිතන දේවල්. කමක් නෑ මලවිකාරත් වමනෙ දානව කියල මම මුලින්ම කියලම තියෙන නිසා සේප් සේප්!

ඔය අස්සෙ පලමුවෙන්ම ලතීගෙ අතින් මට හදල දුන්න තේ එක නිසා මගේ බඩ අර සියළුම පෙම්වතුන්ගේ ඉගෙනගත් හෙවත් සාම්ප්‍රදායික බඩේ රුජාවෙන් පෙලෙන්න ගත්ත. ඒ තේ එකේ අති විශේෂ රසයක් නොතිබුණත් ඒක මට ගොඩක් රස වුණා නේද කියල මට හිතුණ. ආයෙත් ඒ වර්ගයේ තේ එකක් බොන්න ඕන කියල මගේ ඇතුලෙ ඉන්න ශිෂ්ඨ පිරිමිය හිත පුරවගෙන කෑ ගැහුව. එයා ගැන මම බලන්න එපැයි. එයා මම කියන සමස්ථය නිර්මාණය කරන කොටස් වල සාමාජිකයෙක්නේ.

ඉතිං ... ආලවක නරක නෑ කියන්නෙ මම කියවපු හොඳම කෙටිකතා එකතුවක්. එකම විධියට අපි හමදාම ගෙවන ජීවිතය ආයෙත් මුල ඉඳන් විඳින්න පටන්ගන්න හොඳ ඇරඹුමක්. අනික ජයසිරි මහත්තය කියල තිබුණ වගේ මේ කතා වල මහ ලොකු දෙයක් නෑ. ඒ වගේ කතා ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර හැමදාම සිද්ධ වුණා සහ වෙනව. හැමදාම කතා ලියන අය ලිව්වෙ එකම කතා ටික තමයි. ඒ වුණාට ඒ කතා ලියන විධි එකිනෙකාට වෙනස් නිසා හැමදාම අපි අළුත් කතා කිය කිය පරණ කතාම කියවනව.

කවුරු මොනව කිව්වත් කියවීම නම් මිනිසා සම්පූර්ණ කරයි තමයි. ඒ නිසා කියවන කෙනෙක්ට මේ පොත සෑහෙන්න වටිනව.

පොත කියවල අවසන් වෙද්දි මගේ හිත ලතී ගැන ආදරෙන් පිරුණ. එයත් එක්ක බලද්දි නම් මේ පොතේ තියෙන්නෙ පොඩ්ඩයි. එයා ගාවනේ හොඳම ටික තියෙන්නේ. මම කියන්නෙ එයා සර්ව සම්පූර්ණ ජනපද කල්‍යාණියක් නොවුණට සහ වෙලාවකට එයා ආලවකට විතරක් දෙවෙනි වෙන්න තරම් රුදුරු වුණාට ආලවකත් නරක නෑනේ දෙයියනේ. ඉතිං එයා කොහෙ නරක් වෙන්නද?

ලතී හරී ෂෝක්. එහෙම එකේ ඉතිං ආලවකත් හරි හොඳ යකෙක් තමයි.

Friday 12 December 2008

බේබදු බිරිඳ















මේක අවකාශය වෙනුවෙන් ලියවුණ එකක්...
ලියන්න තරම් දෙයක් හිතට නොඑන නිසා මේක දාන්න හිතුවා. ;)


බේබදු බිරිඳ

සැන්ඳෑ සාදයේ
මධුවිත අතට ගෙන
මා වලකද්දිත්
යහමින් උගුරට හලාගෙන
බිව්වා නේද?

මම දැන හුන්නත්
මට දැනෙන තරමට
යහමින් දාගන්න
යන්තම් වැනෙන්න

ඉඳහිට මා දෙතොල් හැර
මධුවිත තොලගාන නුඹ
කිමිදුණා නේද ගැඹුරටම
මධුපැන් පිරි සයුරේ

මා කර මත‍ට වාරු වී
නිවසට පැමිණි ඇසිල්ලේ
නුඹ කඩා හැලුණා
අපේ සිරි යහනේ
මට ඉඩක් නොතියාම

යහන් කෙලවර
මගේ තනි අසුනට බරවී
පෙම් පුරා මා බලා උන් හැටි දැක
වෙරි සහ නුරා බර සිනාවෙන්
මසිත පුරවා දමා
නුඹ දෑස වැසුවා මතකද?

නුඹට මතකද?

නෙද්දකින් විතරක්!
මේ ගෑණිට කිසි දෙයක් මතක නෑ!

________________________

මේ කවිය තුලින් කිසිදු අයෙක් වෙත පුද්ගලික හෝ රාජ්‍ය තාන්ත්‍රික ලෙස මඩ ගැසීමේ අදහසක් නැත. මෙය තොප්පියක් නොවන බැවින් ඉල්ලා දමාගැනීමෙන් වලකින්න.



© Haresh Eranga
2008-12-05

Friday 5 December 2008

ඔයාගෙ බඩවැල් වලට මම ආදරෙයි රත්තරන්

මේක ඇත්තටම නිකන් ජෝක්මය සටහනක්. ඒ වුණාට ලියන්න හිතුවා ලැබුණ පුංචි විවේකයෙදි. අද මගේ මිතුරා රවි මහත්තයා ඇවිත්, අපි දෙන්නා ටිකක් කතා කලා. එයා මගෙන් ඇහුවා මම කාට හරි රත්තරන් කියලා කියල කියෙනවද කියලා. මම ඔව් කිව්වා සහ ඒ එක්ක ලොකු කතාවක් ඇදුණා අපි දෙන්නා අතර. මේක සාරංශයක්...

තමන්ගෙ පෙම්බරියට හෝ පෙම්බරාට රත්තරන් කියල අමතන එක කාලාන්තරයක් පුරා තියෙනවා මම දන්න තරමින්. අපේ අම්මල තාත්තල ආදරේ කරද්දිත් එයා‍ලගෙ දෙමව්පියො ආදරේ කරද්දිත් මේ රත්තරන් භාවිතා කරන්න ඇති. කොහෙන් පටන්ගත්තද මන්දා මේ රත්තරන් කෑල්ල. අර කුස පබාවතී කතාවෙත් රත්තරන් කඳක් ගැන කියවෙන හින්දා මේක ලොකු ඉතිහාසයක් තියෙන කතාවක් කියලා හිතන්න පුළුවන්. කොහොම නමුත් ඒක ඉන්දියාවෙන් හෝ වෙනත් බටහිර රටකින් ආපු භාවිතාවක් කියල කියන්නත් බෑ වගේ මට නම්.

කොහොම නමුත් මට තේරෙන විධියට "මම ඔයාට ආදරෙයි රත්තරන්" කෑල්ල අද වෙනකල්මත් පෙම්වතුන් පෙම්වතියන් භාවිතා කරනව. ඒ වගේම එකක් තමයි ඔය "මැණිකේ" කෑල්ල. මගේ මැණිකෙ කියල දැන් නම් තමන්ගෙ බිරින්දැට කියනවද දන්නෙ නෑ පිරිමි අය.

ඒ කාලෙ උදවියට දැනගන්න තිබුණ වටිනාම දේ රත්තරන් සහ පොදුවේ මැණික් තමයි. නමුත් දැන් ආභරණ වලට පාවිච්චි කරන වඩා වටින ලෝහ තියෙනවනේ ප්ලැටිනම් වගේ. (ප්ලැටිනම් කියන්නෙ වටිනම ලෝහය නෙවෙයි. හැබැයි රත්තරන් වලට වඩා වටින ඒකෙන් අභරණ හදනවා.) ඒ වුණාට තාම අපි අපේ ප්‍රේම ලෝකයට ප්ලැටිනම් ගෙන්නගෙන නෑ නේද?

හික් හික්.. මෝඩ ප්‍රශ්ණයක් තමයි... අර සින්දුවක නම් තියෙනවා "ප්ලැටිනම් කඳකටත් වැඩිය වටිනව මට ඔයාව, ෆ්ලෑෂ් ලයිට් වලට වැඩිය එලියයි ඔබෙ හිනාව" කියල.

මම් නම් මගේ එක්කෙනාට text කරද්දි ඉඳල හිටල කියනව Hi Platee කියල.. ;)


--------------------------

ඔය කතාව යන අතරෙ දීපිකාගෙ සින්දුවක් ගියා පසුබිමින්...

"මගේ කඳුළු වැල්.. ඔබට සිනා මල්..
මගේ සුසුම් වැල්... ඔබට පවන් රැල්..." කියලා...

මිස්ටර් රවි කෑ ගහල කිව්වා... එතකොට මගේ බඩවැල් ඔබට මොනවගේද කියලා.....

Tuesday 2 December 2008

කසුන් කල්හාරගේ රොමෑන්ටික් ඔපෙරාව

පැමිණි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. දැන් අපි වැඩේ පටන් ගමු.

මේ වචන තමයි කසුන් ඊයෙ වේදිකාවෙදි කියපු මුල්ම වචන ටික.

ඉතිං....
කාර්ය බහුලත්වයත් එක්ක පහුගිය සති කීපයේ මම තිත් තුනක් තිබ්බා. දැනටත් ඒක වලංගුයි. ඒ වුණත් මේක ගැන නම් කියන්නම ඕන කියල හිතුණ.

The Romantic Opera කියන්නේ කසුන් කල්හාරගේ තුන්වෙනි ගීත ඇල්බමය. ඒකෙ දොරට වැඩීම වෙනුවෙන් ඊයෙ හෙවත් නොවැම්බර් 30 වෙනිද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණ කසුන් ප්‍රධාන වුණ සංගීත ප්‍රසංගයක්. කවදාවත් මම දැකල නැති විධියට ප්‍රේක්ෂකාගාර සියල්ල පිරී ඉතිරුණු ප්‍රසංගයක්. සියළු ටිකට්පත් සහ විකිණීමට තිබුණ ගීත ඇල්බම් මම දන්න තරමින් විකිණී අවසානයි.

මේකට යන්න කලින් අපට නොයෙක් මති මතාන්තර තිබුණ මේකෙදි කසුන් කියයි කියල අපි හිතපු සින්දු ගැන. එයා බොහෝ විට වෙනත් ප්‍රසංග වලදි කියන්නෙම එයාගෙ අතිශය ජනප්‍රිය FM වල පට්ට ගහන ගීත කීපයක් විතරයි. මේ ප්‍රසංගයෙදි ඒක වෙනස් වෙයි කියන දැඩි සිතිවිල්ල අතිශය සාර්ථකවම සාක්ෂාත් වුණා‍. ඒ ප්‍රසංගයෙදි අතිශය සුන්දර ගීත එකතුවක් ඉදිරිපත් වුණා.

මමත් එක්ක මේකට ගිය මිතු‍රන් තිදෙනාමත් හරියටම කියනවනම් සමස්ත ප්‍රේක්ෂකයන් සියල්ලමත් අතිශය ප්‍රමෝදමත් ‍පැය කීපයක් ගෙව්ව. වැඩසටහනේ සංවිධා‍නයේ ඉඳන්ම සියල්ල අති සාර්ථකයි. එකම අවුල වුණේ නිවි සැනසිල්ලෙ විඳින්න ඕන සින්දු ඒ එක්ක ඉදිරිපත් වුණ නර්තණ වලින් නිරෑපනය කරන්න අසමත් වීමයි. ප්‍රේක්ෂකාගාරයෙන් වරක් දැඩි හඬක් නැගුණ "නටන්න එපා" කියල. ඒ වුණාට නටන අයත් ජීවත් වෙන්න එපැයි. මේ වගේ ප්‍රසංග නැත්නම් එයාල කොහොමද ජීවත් වෙන්නේ. කොහොමත් මේ ප්‍රසංගය වෙළඳ වාසි අරභයා සංවිධානය වුණ එකක්නේ.

මම ඇල්බමය මිලදී ගත්ත. මේ වතාවේ සහමුලින්ම වෙනස් ගීත කීපයක් තමයි තියෙන්නේ. වරක් කසුන් එයාගෙ ආසම සංගීත කණ්ඩායම කියල කියපු Scorpions ලගෙ ආභාශය තදින්ම ලැබිල තියෙන ගීත කීපයක්ම තියෙනව. (කසුන්ගෙ Radical ප්‍රේමය ගී එකතුව අයර්ලන්ත Corrs ලට සමානයි කියල වරක් දීප්ති කුමාර ගුණරත්න මහත්මය කියල තිබුණ) සිංහල ගීත අතර සන්ධිස්ථායක් කියල මට නම් කියන්න පුළුවන්. මොකද මේ ඇල්බමයේ සිංහල චවන සංගීතවත් වෙලා තියෙන විධියට මීට කලින් කිසිම සිංහල ගීතයක් තිබිල නෑ. ඇත්තටම මේක සංගීතය මුල් වුණ ඇල්බමයක්. වචන මේ තුල කරන්නෙ අල්පයක්. කොහොමත් කසුන්ගෙ සින්දු ඒ වගේ නේ.

ලියන්න කම්මැලියි. අන්තිමට කියන්න තියෙන්නේ කසුන් කල්හාර කියන්නෙ නියම සංගීතවේදියෙක්. සංගීතයේ සියළු නිර්වචනය කල මායිම් බිඳින නිර්මාණකරුවෙක්. ලංකාවෙ එදා මෙදා තුර බිහි වුණ කටහඬ භාවිතය සම්බන්ධ විශිෂ්ටයා කිව්වොත් මම නිවැරදියි. (කටහඬ භාවිතය සම්බන්ධ විශිෂ්ටම ගායිකාව නම් සුජාතා අත්තනායක කියලයි මට හිතෙන්නේ)

මේ සටහන දාන්නෙ කසුන් වෙනුවෙන්. කසුන්ගෙ නිර්මාණ වලට සහය දෙන හැමෝම වෙනුවෙන්. කසුන්ට ආදරය කරන හැමෝම වෙනුවෙන්.

සුභ ගමන් කසුන්! හොඳ වැඩ කරමින් හෙමින් යමු. හදිසියක් නෑ.

ඔබට ජය!


පසු ලිවීම

මම නිකමට ගුගල් කලාම තවත් කියවන්න හිතෙන දේවල් කීපයක් තිබුණා.

http://adhahas.wordpress.com/category/uncategorized/page/4/

http://lakdiwa.blogspot.com/2008/02/blog-post_6601.html

http://agniezine.googlepages.com/

http://www.sarasaviya.lk/sathsara/?id=sathsara28

මේකත් බලන්නකෝ

amila325 කියන Youtube යාළුවට බොහොම ස්තූතියි...




Re Ahasin live in concert

Saturday 15 November 2008

Three dots

To be continued...

Just as my visible self
I'm Confused inside...
Should I place it
Or just leave it behind...

The three dots
which I've been placing
in almost every ending line
of the poems I wrote
meant that is ...
to be continued...

....
...
..
.

To be continued...

Monday 3 November 2008

ගැහැණිය නිදහස් කිරීම

මතකනේ මලී ඇඳුම් ගැන කියපු එක. අන්තිමේ ඇඳුම් වැලක් වුණේ. :)) ඒක කියවද්දි කාලයක් මට හිතුණ දෙයක් මට මතක් වුණා. ඒ ගැහැණිය නිදහස් කිරීම සහ ඒ පිළිබඳ කතිකාව එක්ක යන එකක්.

කාන්තා නිදහස කියල අපි දන්න කාලෙ ඉඳන් තියෙන සංකල්පයක් තියෙනවනේ. මම නම් ඕක ගැන දන්නෙම නෑ. නමුත් ඒ නිදහස ඉල්ලන්නෙ ලංකාවෙ නම් කාන්තාවන්ගෙනුත් සුළුතරයක් කියන එක මේ ළඟදිත් මම දන්න කාන්තාවක්ම කිව්වා. එයාට අනුව තවමත් ලංකාවෙ නම් බොහොමයක් කාන්තාවො සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙවන්න කැමතියි වගේම ඒ තුල එයාලට කරන්න වෙන වැඩ ටික ගැන උපේක්ෂාවක් මිස ඒක තමාගෙ නිදහස නැති කරන දෙයක් විධියට සලකන්නෙ නෑ එයාල.

ගැහැණිය කියල වර්තමානයේ අපට බටහිරින් ඔබ්බවන ප්‍රතිරූපය හරිම නිදහස්. එයාල නිදහසේ ඇඳුම් අඳිනව, නිදහසේ ආදරය කරනව, නිදහස් ලිංගික ඇසුරක් ලබනව, නිදහසේ හිතනව. මේක බොහෝ විට බටහිරෙන් ඉන්දියාවට සහ ඉන්පස්සෙ අපට එන එකක්. මට මේ ප්‍රතිරූප (idols?) කියන ඒව නම් ඉන්දියාවෙන් නෙවෙයි සෝමාලියාවෙන් ආවත් එකයි. ඉන්දියාව එක්ක හෝ බටහිර එක්ක මට කිසි ප්‍රශ්ණයක් නෑ. ලංකාවෙදි ඒ දේවල් බාවිතා/ව්‍යාප්ත වීමේ විධිය ගැන පුංචි හිනාවක් විතරයි යන්නේ.

ගැහැණිය නිදහස් වෙන්න ඕන මොනවයින්ද? ඇඳුම් ඇඳීම, විලාසිතා, භාෂාව, දැනුම ලබා ගැනීම වගේ දේවල් වලින්...? තව ඕන තරම් දේවල් තියෙනව. ඒ වුණාට මට බොහෝ විට පේන්නෙ කාන්තාව නිදහස් කරන්නෙ ඇයව වඩ වඩාත් ශෘංගාරාත්මක කරන්න කියලයි. ඇය ශෘංගාරවත් වෙන තරමට ඒක පිරිමින්ට වාසියක් වෙනව. මුළු කතන්දරේම නතර වෙන තැන එතන නිසා. ඒ ආකර්ශණයට කරන්න බැරි දෙයක් නැති තරම්.

මට හිතෙන්නෙ කාන්තාව ලිංගිකව නිදහස් කිරීමේ කාන්තා නිදහස් ව්‍යාපාරයක් තමයි ලෝකෙ තියෙන්නෙ කියල. අද විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල විතරක් නෙවෙයි පාරෙ තියෙන කටවුට් පෝස්ටර් වල සහ කෙලින්ම පාරෙදි යද්දි ඒ බව පැහැදිලි වෙනව. කාන්තා පත්තර සහ රූපවාහිනී වැඩසටහන් වල විතරක් කාන්තාවන්ට උගන්නනව හැමදාම මෝස්තර දාන විධි, කෑම උයන විධි සහ සිරුර ශෘංගාරාත්මකව පවත්වගන්න හැටි ගැන...

ඒක ෂෝක්! අනේ ලලනාවියනි තවත් නිදහස් වෙන්න...

කාන්තාවගේ අයිතීන් ගැනනම්.... ම්.. ම්...කාන්තාවන් ඔය නිදහස අමතක කරලා ඉගෙනගන්න පටන්ගත්ත නම් හරි.

Wednesday 29 October 2008

යුද්ධය සජීවීව - Reality War

මන්දා මේක ලියන එක හරිද කියල. ඒ වුණාට මේ අත්දැකීම විඳිද්දි මට හිතුණ මේක ගැන කියන්න ඕන කියල.

මෑතකදි රූපවාහිනියෙ ප්‍රවෘත්ති බලන්න මට ලැබුණා අවස්ථාවක් අහම්බෙන්. ඒ මගේ තව මිතුරෙක් එක්ක. එයාට යුද්ධයේ අළුත්ම තත්ත්වය බලන්න ඕන වුණ නිසා මට එයා එක්ක ප්‍රවෘත්ති බලන්න වුණා. තවත් මිතුරන් කීපදෙනෙක් එතන හිටියා.

ප්‍රවෘත්ති වල යුධ බිමේ වාර්තා මේ මිතුරු කැල නැරඹුවෙ හරියට ක්‍රියාදාම චිත්‍රපටියක් බලනව වගේ. එතනදි ප්‍රචණ්ඩත්වය කියන දේ තිබුණෙ නෑ. ඒ වුණාට ප්‍රචණ්ඩත්වය හා සමාන ප්‍රමෝදයක් මේ අය ලබනව කියල මට තේරුණ. මට හිතුණ ගෙවල් වල පුංචි දරුවන් පවා මේ දේවල් ඔළුවට දාගන්නව ඇති කියල.

කොහොම වුණත් ඒකෙන් සංස්කෘතියට නම් හානියක් වෙන්නෙ නැතිව ඇති මයෙ හිතේ...

මට හිතුණ අපේ රූපවාහිනී නාලිකා වලට යෝජනාවක් ගේන්න. යුද්ධය පෙන්නන්න සජීවීව. දවසකට පැයක් දෙකක්. සජීවීව බැරි නම් පටිගත කරලා හරි. ඒ මැදට විනාඩි දහයෙන් දහයට දැන්වීම් දාලා ගානක් හොයන්නත් පුළුවන්. මිනිස්සු නොබල ඉන්න එකක් නෑ.

මේක මේ සදාචාරයට හෝ සංස්කෘතියට හෝ රණ විරුවන්ට හිත රිදවගන්න කියපු දෙයක් නෙවෙයි. මට හිතුණ දෙයක්. වචන අල්ලන් කෑ ගහන්නෙ නැතිව මේ දේ වෙනවද නැද්ද කියල හිතල බලන්න.

Monday 20 October 2008

ඇන්ටන් අයියට පෙම්වතියක්

කාර්ය බහුලත්වයත් එක්ක බ්ලොග් ලියන්න තියා බලන්නවත් වෙලාවක් නෑ. ඒ වුණාට ‍පහතින් මම කියන කතාව අහලා මම හිනාවුණ තරම මතක් වෙලා මම හිතුවා මේක ලියන්න. බලන්න ඔයාලටත් හිනා යයිද කියලා... :D


අපේ යාළුවෙක් වෙන ඇන්ටන් අයිය මේ දවස් වල බඳින්න ‍ගෑණු ළමයෙක් හොයනවා. එයාට ඔය සම්බන්ධව වැඩ කරන කපුකාරියක් හම්බ වෙලා. මේ කපුකාරි ගෑණු ළමයි කීප දෙනෙක් ගැන විස්තර කියන අතරෙ එක ගෑණු ළමයෙක් ගැන හොඳ කියල සෑහෙන්න. ඉතිං ඇන්ටන් අයියත් ඒ ගෑණු ළමය ගැන විස්තර අහලා..


"ඒ ගෑණු ළමය නම් ඔයාට හොඳට ගැලපෙනවා එයාගෙ කොණ්ඩෙ දිගායි.. සුදුම සුදුයි.." වගේ අංගෝපාංග ගැන දිග විස්තරයක් මේ කපු අක්කා කරලා.

ඇන්ටන් අයියටත් කෙල්ලට හිත ගිහින්..

"සුදුයි කියන්නෙ මොන වගේ සුදුද? සුදේ වර්ග තියෙනවනේ ඉතිං..."


"සුදුයි කියන්නෙ මල්ලි ඔයා දන්නවද අර හම පිච්චුණාම යටින් එන හම? අන්න ඒ තරම් සුදුයි"


ඇන්ටන් අයිය කියල අම්මෝ එපා කියලා...

Friday 17 October 2008

TV with a Guarantee Man - Ravi Wickramasinghe

ඔයාලා මගේ යාළුවා රවි මහත්තයව දන්නවනේ.. මේ එයාගෙ මල විකාර ඔළුව‍ට ආපු මල විකාර තවත් අදහසක්...

Wednesday 15 October 2008

ආදර බයිලා සමග පුරුදු වෙනස් වීම

අදහස් ගොන්නක් හිතේ තියාගෙනයි මේ සටහන ලියන්නේ... මේක ඉලාස්ටික් වෙන්න ඉඩ තියෙනවා. ඒත් ලියන්නම ඕන.

අද (2008-10-14) මම මගේ පෙම්වතිය එක්ක කොටු ගැහුවා.. රවුම් නෙවෙයි. ඒ කියන්නේ පරිමිත විවිධ බහු අස්‍රාකාර හැඩ ඔස්සේ අපි අද ඇවිද්දා. කිලෝමී‍ටර් ගානක් වටේම මිනිස්සුන්ව ඉරිසියාවෙන් සහ හීනමානී දුප්පත්කමින් පුපුරවමින් අපි අපේම පුංචි Portable LAN එකක් හදාගෙන දෙඩෙව්වා. බස් කීපයක් පුරා දොඩමලු වුණා. ආයෙත් කාලෙකට ගන්න බැරි දේවල් සහ අවස්ථා ගොඩක් අද අපි අහිංසක විධියට භුක්ති වින්දා. මම ආයෙත් ඇයගෙන් පිරිලා දැන්....

ඇය සමුඅරන් ගියාට පස්සෙ මම ඇයට කවියක් කෙටුව. මේ තියෙන්නෙ නැවත සංස්කරණය කරපු එකක්.

නුඹේ අත්
පොකුරු මත
මා දමා ආ
මගේ අත
නැතිවත්
මා පූර්ණයි
සිත පුරා පිරි
නුඹේ මතකින්

දන්නැද්ද මඤ්ඥං වුණාම ලියවෙන ඒවා ;)

අපි දෙන්නා පෝයට වහපු වාහන හදන ස්ථානයක ආවරණය පැතුවා වැහැපු වෙලේක. වැස්ස පායලත් පැය බාගයක් යන කල් අපි කතා කලා බොහොම දේවල්. අපේ මහගෙදර විප්ලවවාදී කවියා ගැන කතාවක් ඇදුණු වෙලාවක අපිට මාතෘකාව විධියට ආයෙත් විප්ලවය ආවා.

තනි තනි මිනිස්සු වෙනස් නොවී මොන තරම් මූලධර්ම වලින් විප්ලව කලත් පලක් නෑ. මේ කියන විප්ලවයෙන් පස්සෙ ආයෙත් තියෙන්නෙ පරණ පාලන ක්‍රමයමයි. වෙනස් ලොක්කො ටිකක් ඇවිත් වෙනස් දර්ශණයක් එක්ක. එයාල එක පරම්පරාවක් ඕක කරයි. ඒත් මේ පොදු මහජනයාගේ කුහක කම් සහ පොදු තෘෂ්ණාව එක්ක කවදාවත් කතිකාමය විප්ලවයෙන් සර්ව සාධාරණ සමාජයක් කෙසේ වෙතත් ටිකක් ෂේප් එකක් වත් ගොඩනගන්න බෑ.

මට මතක් වෙන්නෙ 1984. මේක ජෝජ් ඕවල් ලියපු පොතක්. මම කියෙව්වෙ නම් සිංහල පරිවර්තනය. මේකෙ කියවෙන්නෙ විප්ලවයක් හරහා සමාජවාදී අන්තයකට ගිය සමාජයක් ගැන. ඕන නම් පොත හොයාගන්න. මගේ චිත්‍රපටි බාන මිතුරාට කියල මමත් චිත්‍රපටිය හොයාගන්න ඕන බලන්න.

විප්ලවයක් අපට ඕන. ඒක දැනුමේ විප්ලවයක්. සිතිවිලි විප්ලවයක්. මිනිස්සු හිතන විධි වෙනස් වෙන්න ඕන. ඒ වෙනුවෙන් විධිමත් පිලිවෙලක් සම්මත වෙන්න ඕන. ඒක කවදාවත් නොවෙන නිසා විප්ලවයක් කියලා හැමදාම අපිට වචන ටිකක් විතරක් තියෙයි.

මිනිස්සු තමා හිතන විධියට හුරු වෙලයි ඉන්නේ. පුංචි කාලෙ ඉඳන් ඔළුවෙ පිරෙන නා නා විධ දේවල් නිසා ඇත්ත නිවැරදිව දකින්න තියෙන හැකියාව මොට වෙලයි තියෙන්නේ මිනිස්සුන්ගේ. ඇත්තටම කිව්වොත් මාත් එක්කම. මම අර සම්පත් කිව්ව වගේ මගේ මොලය හෝදමින් ඉන්න අවධියක් තමයි දැන් පසුවෙන්නේ. ඒකෙදි මට මගේ මොලේ ඇතුලෙ හිර වෙලා තියෙන මල විකාර එක එක අහු වෙල, මම ඒව විනාශ කරල තියෙනව ඕන තරම්.

මම පහුගිය දවසක වුණ සිද්ධියක් කියන්නම්. අපේ ආයතනයට අමු ද්‍රව්‍ය සපයන ආයතනයේ වෙළඳ නියෝජිත මහත්මය (x ලෙස ගමු) දවසක් අපිත් එක්ක දුමකට සෙට් වුණ වෙලාවක අපි ජීවිතේ ගැන කතා කලා. මේ පුද්ගලය විවාහ වෙලා වැඩි කාලයක් නෑ. ඒ අපි දන්න තරුණියක් එක්ක. x කියන්නෙ කන බොන දේවල් මගඅරින විධියෙ කෙනෙක් නෙවෙයි. ජීවිතය ජොලියෙ ගෙවන්න ආස කෙනෙක්. ටික ටික ගෙවන්න වාහනයකුත් අරන්. අපට වඩා හොඳින් ඉන්නව වගේ පේනව. ඒ වුණාට අපට තියෙන ආර්ථික මැසිවිල්ල එයාටත් තියෙනව. එයාට අපට වඩා තියෙනව වගේ. වාහනේට ගෙවන්න මාසෙකට රුපියල් 40,000ක් අනිවාර්යයෙන් ඕනලු. ඊට අමතරව නඩත්තු වියදම් වුණත් එහෙමයිලු. x මේ කතා කියමින් අපිත් එක්ක කතා කලා.

ඒ අස්සෙ එයා මෙහෙම කිව්ව.

"මොනව වුණත් අපි ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න විධිය වෙනස් කරන්න අමාරුයිනේ බං"

ඒක x ගේ අදහස. ම‍ට හිතෙන්නේ මේ වෙනස් නොවීමයි අවුල. අපි අපේ උවමනාව වටහා ගන්නෙ නෑ. ඒ අනුව වෙනස් වෙන්නෙත් නෑ. කලිනුත් කිව්ව වගේ අපි පුරුදු වලට ඇබ්බැහි වෙලා තව තව දරුණු ලෙස පුරුදු වලට ඇබ්බැහි වෙමින් ඉන්නව. මේ පුරුදු වෙනස් කරල මිස විප්ලවයක් ගැන හිතන්න බෑ. ඇත්තටම අපි වෙනස් ‍වීම ගැන හිතන්නවත් කැමති නෑ. හිතන විධියත් (Pattern) අපි පුරුදු කරගෙන ඉන්න නිසා විධිමත් හැදෑරීමකින් මේ ගැන කතා කරල විසඳගත්තොත් මිස වෙන විසඳුමක් මට පේන්නෙ නෑ.

ඕන නම් මේ සේරමත් දාර්ශණික සහ ආගමික තර්ක තුල දිය කරන්න පුළුවන්. ඒව තුල තියෙනව හිත සනසන ධනාත්මක චින්තනවාදී අදහස් ඕන තරම් මේ ‍වගේ විකාර නොහිතෙන්න.

මේ කවිය ලිව්වෙ ගනේගොඩ විමානේ සිට...


වෙනස් වීම



නුඹ වෙනස් වන්න
ලෝකය වෙනස් කරන්න

උස් මිටි භේද නැති
දුප්පත් පෝසත් වෙනස නැති
අද අපගේ සිහින තුල ඇති
ලොවක් බිහි කරන්න
නුඹ වෙනස් වන්න

...

..

.

ඒත් ..

නුඹ වෙනස් නොවේ
නුඹට වෙනස් වීමට ඇති
අවස්ථා සියල්ල
කරුමයටත්
දෙවියන්ටත්
ඉගැන් වූ බොරු වලටත්
යට කර
එයටම ඇබ්බැහිව
වෙනස් වනු නොහැකිව
නුඹ ලෙසම හිඳින නුඹ
කෙදිනකවත්
වෙනස් නොවේ

කුණු වෙමින්
නොවෙනස් ලොවක



© හරේෂ් එරංග
2008-10-02


Saturday 11 October 2008

ෂෆල්ඩ්

ම ජීවිතේ නොසිතූ ලෙසේ ගෙවුණේ සැමදා
කාලයා විසින් සැදූ ලොවක් හමු වුණා
වෙනසක් නෑ සැමදා සැප දුක සැම බෙදුණා
දුකත් මට සතුටක් ජීවිතේ සැමදා

I'm having illusion many confusions
break the ice
stop be when you start confession
just forget about it

- චින්ති


මුළු ජීවිතේම දුක් ගීතයක් ගයන්න නොහිතා හිතේ පෙම් පුරාගෙන ඉරි තැණුනු වලා උඩු වියන් යට ගෝලීයකරණයේ මුදු පලස මතින් විශ්ව ගම්මානයේ ඇවිදින්න යන්න හිටපු ආදරේ කුරුටු ගෑ, නෙතු පුරා කඳුළු අතුරපු හසඟනාවි පාවෙලා යන්නවත්, ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිලක හීනයක් වෙන්නවත් මට ඉඩ නොදී ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න කලින් සිනහ පොකුරක් අරන් එයි කියල සොවින් පිරි මගේ හදවත ළමැද සුව යහනක් ඇයට තනා දෙන බලාපොරොත්තුවෙන් ඇය තවමත් ඇය තමයි කියල හිතාගෙන බවෙන් බවේ පෙරුම් පුරා බලා සිටිනවා.

- හෙන සෙට් එකක්


ඉතිං දෙයියනේ ජීවත් වෙන්න ඒ ටිකම මදිද කියල හැමදාම රෑට නිදාගන්න කලින් මතක් කලත් දවල්ට උගුර කඩාගෙන සින්දු කියල නලියල දඟලල බැරි තැන කී බෝඩ් එකටත් තඩි බාල ඒත් මදි වුණාම දවස් ගානක් නිදාගන්න මගේ ජීවිතේ කොයි තරම් සුන්දරද සත්තලං?

- මම


දැන්නං හොඳටම ෂුවර් මූට පිස්සු කියල

- ඔබ

Thursday 9 October 2008

ගෙදර ප්‍රශ්ණ

මේක ගැන ලියන්න ඕන කියල scribefire එකේ කෙටි සටහනකුත් දාල තිබුණට උඩට මතු වුණේම නෑ. නමුත් මලීගෙ කෆ්කා සමග මුහුදු වෙරළේ සති අන්තයක් ‍කි‍යෙව්වම හිතුණ මේකත් ඒ එක්කම යයි කියල.


මම ජීවත් වෙන සහ වුණ ගෙවල් ඇතුළුව මම යන එන බොහෝ ගෙවල් වලදි මට පුරස්ණ ගොඩක් ඇවිත් තියෙනව. ඒ කියන්නෙ ගෙදර පේන්න තියෙන බඩු බාහිරාදිය සහ ඒව ඒ විධියට පිරිසිදුවට සහ මනා ලෙස පවත්වගන්න ගෙවල් හිමියන් දරන මහන්සිය ගැන.

බොහෝ මධ්‍යම ප්‍රාන්තික ගෙවල්වල සාලෙ තමයි පිඟන් කෝප්ප සහිත කැබිනෙට්ටුව තියෙන්නේ. අමුත්තෙක් ආවම කුස්සියෙ ඉඳන් සාලෙට ඇවිත් පිඟන් කෝප්ප අරන් යන්න ඕන කෑම පිලිගන්වන්න හෝ තේ එකක් දෙන්න වුණාම. මම මේ ගැන තනියම හිනා වෙලා තියෙනව ඇති තරම්. ගෙවල් වලට ගියාම දැන් දැන් නම් මේ ගතිය දකිනව අඩුයි. මොකද සාලෙ තියෙන කැබිනට් එකට අමතර එකක් කුස්සිය ආශ්‍රිතව තියෙනව. ඒ නිසා මේ දේ දැක්කෙ නෑ කාලෙකින්. නමුත් සාලෙ තියෙන කැබිනට් එක නම් එහෙම්මමයි.

මේ කැබිනට් එකට අමතරව සාමාන්‍ය ගෙයක කොයි තරම් බඩු කන්දරාවක් තියෙනවද? මේස පුටු නොයෙක් ඇතිරිලි වලට අමතරව ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ නිපුණත්වය නිසා එලියට නෙරපු සහ හිස් තැන් සහිත බිත්ති වල නොයෙක් සැරසිලි.

මේව පිරිසිදුව තියාගන්නත් මේ ගෙවල් වල ස්වාමිදූවරු දක්ෂයි. එයාලගෙ වැඩේම ඒක තමයි. එයා හදාගත්තු කූඩුව පිරිසිදුව තියාගන්න එක. මම දැන් ඉන්න වාස භවනේ පුංචි අම්මව මතක් වෙනව ආසන්නම උදාහරණෙ විධියට. අපේ ගෙදර කුණු රැ‍ඳෙන්නෙම නෑ. ගේ ඇතුලෙ කුණු දූවිලි ඇත්තෙම නැති තරම්. ඇහැට පේන දූවිලි තට්ටුවක් මතුවෙන්න සුමානෙකට වඩා කල් යනව කොහොමත්. නමුත් අපේ පුංචිට හැමදාම ගේ කොනක ඉඳන් සුද්ධ කරන්න ඕන. අර කැබිනට් උඩ තියෙන පින්තූරද අරවද මේවද සේරම පිස දමමින් එයා ගේ අතුගානව හැමදාම. එයාට ඒක කරන්න බැරි වුණ දාට ගෙදර මිනිස්සු ඉවරයි. තොපි නහය නැති එවුං එකෙක්ටවත් මේක සුද්ධ කරන්න බැරිද කියල බැනුම් කෝටියයි.

මම දන්න, විවාහ වෙලා දරුවො ලබල මැදි වයසෙ ඉන්න කාන්තාවො බොහොමයකගෙ ජීවිතේ දුඛාන්තයක්. බොහෝ දෙනා වර්තමාන යථා තත්ත්වය පිලිගන්නෙ ලොකු දුකකුත් දරාගෙන වෙන කරන්න දෙයක් නැති නිසා. එයාලට එයාලව අහිමි වුණ බවක් සමහරුන්ගෙ කතා වලින් මට තේරුණා. මේ දේ ප්‍රසිද්ධියේ නොකිව්වත් බොහොමයක් කාන්තාවන්ට මේ තත්ත්වය පොදුයි.

ගැහැණියට එයාවම අහිමි වෙන කැප කිරීම් ටිකක් ලියාපදිංචි වෙලා තියෙනව නේද මේ සංස්කෘතිය තුල. ඒ කැප කිරීම් එයාලගෙ කාන්තා ස්වභාවය උත්කෘෂ්ඨ කරනවය කියල එයාලව මුරුංගා අත්තේ පිහිටුවීමක් නේද තියෙන්නේ. ඒ නිසා ඒ කැප කිරීම් හරිම පූජනීයයි. හරිම අව්‍යාජයි. හරිම විශිෂ්ඨයි. ඇගේ පවුලේ ආරක්ෂාව ගැන ඇයමනේ හොයා බලන්න ඕන. ඇගේ නිවස සුන්දර කරගන්න ඇයමනේ කැපවෙන්න ඕන. ඇගේ වැසිකිලිය පිරිසිදුව තබාගන්න ඇයමනේ කෙමිකල් හොයන්න ඕන. දරුවන්ගෙ පෝෂණය ගැන, ආරක්ෂාව ගැන ඕනවටත් වඩා ඇය තමයි වෙහෙසෙන්නේ. ඔය අතරේ ඇගේ රූ සපුව මනාව පවත්වාගන්නත්, දත් සහ අස්ථි ශක්තිමත්ව තියාගන්නත් ඇයට ගේමක් දෙන්න වෙනව. අන්තිමේ ඇයට තමයි හැම දේම.

නමුත් ඇයට ඇය අහිමි වෙලා කියල ඈ දැනගද්දි කතාව ඉවරයි!

මම හිතන්නෙ කාන්තාවො බොහොමයකට මේ ‍දේ වෙන්නෙ එයාල හොයන්නෙ නැති හින්දයි. පුංචි කාලෙ ඉඳන් ගැහැණියකගෙ හීනය හැදිල තියෙන්නෙ ජීවිතෙන් බාගෙකට. සුදු අස්සයෙක් පිට එන කුමාරය හාද්දක් දීල ඇයව කැන්දන් ඈතට යද්දිම හීනය ඉවර වෙනව. එතනින් එහාට නිවන් යනවද මන්දා. නැත්නම් මම දැනටමත් මේ ගැන ඕනවට වඩා මමත් නොදන්න වැල් වටාරම් ඇද බෑවද?

කාන්තාවො ඉන්නෙ වැඩ වවාගෙන. එයාලට එයාලව හොයන්න තියෙන වෙලාවෙත් එයාලට කරන්න දාහක් වැඩ එයාලම වවාගෙන. පොතක් කියවන්න පත්තරයක් බලන්න එයාලට වෙලා නෑ. රූපවාහිනී නම් බලයි. බලන්න ඕනම නැති ටික හොයාගෙන බලයි. පොත් පත්තර තියෙනවනේ එයාලටම කියවන්න. වැල් වගේ ඇදෙන නව කතා සහ උයන පිහන නාන මහන ඒව ගැනම තියෙන පත්තර.

කාන්තාවකට මේ දේවල් පැහැදිලි කරල දෙන්නවත් බෑ. මොකද ඒ තරමට ‍එයාල හිර වෙලා. නැත්නම් ආයෙත් පටන්ගන්න කම්මැලිකම. නූතන තරුණියො නම් මේක තේරුම් අරගෙනද තවත් අනාගෙනද මන්දා ඉන්නේ. මට නම් පේන්නෙ තවත් අනාගෙන වගේ. නමුත් දැන් මේ කාරණා ගැන සාකච්ඡා වෙනව බොහෝ විට නූතන මාධ්‍ය වල යන්තමින් හරි.

ඒ නිසා ඉදිරියේදි මොලා වෙයිද දල්ලෙ ලෑ.




Tuesday 7 October 2008

අලි පුකෙන් හිඳි කාලය ඉගෙනීම

කියන්න ඕන කරන බොහොමයක් දේවල් අතර ටිකක් පැටලිලා ඉන්න මොහොතක හිතට ආපු දේ සටහන් කරන්න ඕන කියල හිතුණ ක්ෂණයෙන්.

මම මත් වෙලා. මගේම හිත තුල මං මාව මත් කරගෙන. ඒකට ආස වෙන්නත් අරන්. මගේ සාමාන්‍ය ජීවිතය අවුල් නොකරන තාක් මං ඒකට ආස වෙයි. ඊට පස්සෙත් සමහර විට. ;)

මං ඊයෙ හෙවත් 2008.10.06 වෙනිදා ලියපු කවියක් එක වරම පෙන්නනවට වඩා ඒ ගැන සටහනක් මුලින් දෙන්න ඕන කියල මට හිතුණ. සාමාන්‍යයෙන් ඒක කරන්නෙ නෑ මම. මුලින් විස්තර කථනය කරන එක. නමුත් පුංචි අත්හදා බැලීමකටත් එක්ක කරල බලන්න ඕන කියල හිතුණා.

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවියෙදි අපිට නොයෙකුත් විධියෙ අය හමු වෙනවනේ. මේ හැමෝම අපි අර කණ්ඩායම් ‍අනුව හෝ වෙනක් ක්‍රමයක් අනුව හෝ නොවී හෝ තේරුම් ගන්නව. එයා ගොඩක් නරක වැරදි කරන හෝ මොනයම් ම විධියකින් හෝ අපේ විධියට නොගැලපෙන කෙනෙක් වුණොත් අපි එයාව මග අරිනව නේද?

මට හිතෙන්නෙ අපට ලෝකෙ ඉන්න හැමෝගෙන්ම ඉගෙනගන්න යමක් තියෙනව කියල. 99%ක් ම දෙනෙක්ගෙන් අපට ඒ දේ ගන්න බැරි වුණාට අපේ ජීවිතේ වෙනස් කරන්න සමත් බොහෝ දේ බාහිර අය හරහා අපට හමු වෙනව. ඒ ඔස්සේ තමයි කොහොමත් අපි ඉගෙන ගන්නේ. මුලින් අපේ දෙමාපියන්ගෙන්, නෑදෑයන්ගෙන්, ගුරුවරුන්ගෙන් ආදී වශයෙන්. ඒවගේ ‍ඉගෙනීම් හැබැයි අනිවාර්යයයි. ඒ ඔස්සේ හෝ වෙනත් ක්‍රමයක් ඔස්සේ අපි සාමාන්‍ය පුරවැසියෙක් විධියට හිතන්න ගත්තම තමයි ඉගෙනීම අමතක වෙන්නේ.

යම් සාමාජික තත්ත්වයක් තුල අපට තියෙන පිලිගැනීම නිසා හෝ වෙනත් යමක් නිසා යම් යම් දේවල් ගැන අපිට හිතෙනවා මම තමයි පොර කියලා. අනිත් අයට එහෙම නොවෙනවද කියල මම දන්නෙ නෑ. මම නම් මම ම හිතාගෙන ඉන්න ඇතැම් දේවල් සම්බන්ධව තාම හිතන්නෙ පොරක් විධියට. අනිත් අයත් එහෙම්ම ම තමයි මම දන්න තරමින්. මට බොහොම පොරවල් හම්බ වෙලත් තියෙනව තමන් පොර කියල හිතාගෙන ඉන්න. මොනව වුණත් මේ පොරවල් සහ නොපො‍රවල් සියළු දෙනා සතුව අපට ගන්න පුළුවන් සාගරයක් තරම් දේවල් ඇති නේද?

ඒ දේ දැනගන්න අපිට එයාලව සෑහෙන්න තදින් ඇසුරු කරන්න වෙනව. නැත්නම් නිරීක්ෂණය කරන්න වෙනව. ඒකට ඉඩක් නැති තරම් අපි ජීවත් වෙන රටාව අනුව. කොහොම නමුත් මේ විධියට අපිට දේවල් බෙදාගන්න ඉඩක් ලැබෙන්නෙ හරිම සුළුවෙන්.

මම මේ කවිය ලියන්න හිතුවෙ ඔය සියළුම කාරණා ගැන හිතල. නමුත් ‍ඒකට හේතුව ඇරඹුණේ තනි තැනකින්...


අලි පුකෙන් හිඳි කාලය


මා සිතා උන්නේ
මා සප්ත මහා සාගරයත්
නිල් අහසත් කියායි

මට වැටහුණා
නුඹව දැනගත් කල

සප්ත මහා සාගරයේ
මා එක් ජල බිඳක් බව
නිල් අහසේ
එක් වලාකුලක් සේම...


© හරේෂ් එරංග ද සිල්වා
2008-10-06


Friday 3 October 2008

ආවේග - Fire walls

ආවේගයක් කියන්නෙත් හැඟීමක් මට හිතෙන විධියට... නැත්නම් හැඟීමක් පිට කරන විධියක්... දුක සතුට ආදරය තරහ වේදනාව ඉරිසියාව වගේ විවිධ හැඟීම් ඔස්සේ අපි පත්වෙන එක්තරා තත්ත්වයක් වගේ එකක් තමයි ආවේගය.

මේක හින්ද අපිට අපි කවුද කියල අමතක වෙනව. ආවේගශීලී වුණාම කරන කියන දේ කරන්නෙ හිතල නෙවෙයි. ඒ මොහොතෙ තියෙන හැඟීම අනුව. බොහෝවිට ඒ කරන දේ ගැන පසුව පසුතැවෙන්න වෙන අවස්ථාව වැඩියි. මොකද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ වගේ සිද්ධ වුණ සිදුවීමක් වෙනස් කරන්නත් බෑ.

ඒ නිසාමයි බොහෝ ආගමික සහ දාර්ශනික ඉගැන්වීම් වල මේ ආවේගය පාලනය කරගත යුතු දෙයක් විධියට කියවෙන්නේ. මොකද අර ඉරිසියාව වගේ මේ ආවේගයත් අපට හොඳට වඩා නරකක් තමයි බොහෝ විට කරන්නේ.

වැඩේ කියන්නේ මේ ලියන මමත් ආවේගශීලීයි. නමුත් ඒක මම පිටකරන්නෙ දැන් නම් කවියකින්. නැත්නම් සින්දුවක් මිමිනීමෙන්. නැත්නම් නින්දෙන්. මේ වෙනකොට නම් ඒ දේවල් බෙදාගන්න පුළුවන් හෘදයාංගම පිරිසක් ඉන්නව මගේ වටේම.

ආවේගය කියන්නෙ කලාකරුවට නම් නිර්මාණාවේශයට හොඳ ප්‍රවිශ්ඨයක්. ආවේගශීලී නිර්මාණ වලදි යම් යම් කොටස් මග හැරෙන්න හෝ අමතක වෙන්න, ඒ නිසාම නිර්මාණය අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩි නිසා ආවේගශීලී නිර්මාණ නැවත නැවත සංස්කරණය කිරීම තමයි මම නම් කරන්නේ. අවසානෙදි බිහිවෙන එකට බොහෝවිට මම කැමති වෙනව.

මොනව වුණත් ආවේගශීලී වීමේදි පරෙස්සම් වෙන එක හොඳයි. පසුව දුක් වෙනවට වඩා තමා ආවේගශීලී වෙන අවස්ථාවන් හඳුනාගන්න උත්සාහ කරලා ඒ වගේ අවස්ථාවලදි හැසිරෙන විධියක් හදාගත්ත නම් හොඳයි. මම ඉරිසියාව කියන එක නම් එහෙම අල්ල ගත්ත... දැන් එයා එද්දි මම දන්නව දොර වහන්න.

හරියට Fire Wall එකක් වගේ.

මේ ස්වයං Fire wall එක දාගන්න තරමට හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ...



Thursday 2 October 2008

වැනීම සහ මරණය

මම ඉන්නෙ වැනෙමින්... අද දවසෙ කාර්යාලයේ වුණ සිද්ධියක් නිසා මම සිත් තැවුලෙන්. කාලයක් අපිව දරුවො වගේ බලාගත්ත අපේ බොස්ව එලවීමේ ඉහල කලමණාකාරීත්වයේ කුමණ්ත්‍රණයක අළුයට තිබුණ ගිණි පුපුරු අද මතු වුණා. ඒ ගැන කියන්න කලින් මම අපේ බොස් ගැන කියන්නම්.

අපේ බොස් පොඩි ළමයෙක්. එයා පරිපාලනය ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඒ වුණාට කවුරුත් තම තමන් තමන්ගෙ වැඩේ හරියට කරනව නම් නිසි විධියට වැඩ ටික සිද්ධ වෙනවා ය කියන අරමුණින් එයා අපිට සෑහෙන නිදහසක් දුන්නා. ආයතනයේ වසර පහක කාලය තුල මුලදි ඕක හරියට ක්‍රියාත්මක වුණා. මොකද ආයතනය ඇරඹුමේදිම ඒකට එකතු වුණ සේවක පිරිස තුල හරිම එකමුතුවක් සහ අන්‍යෝන්‍ය වටහාගැනීමක් තිබුණ නිසා. නමුත් කල් යද්දි ක්‍රමයෙන් ඒක වෙනස් වුණා. හිටපු අය යද්දි අළුතෙන් එකතු වුණ අයට ආයතනය පාරාදීසයක් වුණා. ඒ නිසාම එයාල ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන අරගත්තා. ප්‍රතිපලය වුණේ අපිට ක්‍රමයක් පැමිණීම. ක්‍රමය කියන්නෙ වෙනත් ලොක්කෙක් පැමිණිම පරණ කෙනා ඉද්දිම.

අළුත් ලොක්කා රජයේ සහ වෙනත් ඉහල ආයතන කීපයක පරිපාලන තනතුරු දරපු පාලකයෙක්. හැබැයි එයා පාලනය කරල තියෙන්නෙ දරදඬු ආයතන. අපේ ආයතනය අර්ධ ලෙස නිර්මාණාත්මක එකක් වීම නිසාම එයාට අපිව හදාරන්න වුණා මුල ඉඳන්ම. ඒක නම් එයා හරියට කලා. ඊට පස්සෙ එයා පරිගණක පද්ධතිය තුල අපේ වැඩ ක්‍රමවත් කලා. අපට කරන හැම වැඩක්ම සටහන් කරන්න වුණා සහ ඒක හොඳක් වුණා කීප අතකින්.

නමුත් දැන් තත්ත්වෙ වෙනස්. දැන් මේ ලොක්කො දෙන්නා ඉන්නෙ බල අරගලයක... ඒකෙදි නම් දෙන්නා කිසිම ලොකු බවක් පෙන්නන්නෙ නෑ. අපේ භාෂාව තුල නම් ඇරගන්නවා කියල තමයි කියන්න වෙන්නේ.

මේ කතා වැඩක් නෑ... දැන් අපේ පරණ ලොක්කට ඉහලම කලමණාකාරීත්වයෙන් යන්න කියන තරමට තත්ත්වය දරුණු වෙලා. එහෙම වුණොත් මාත් එක්කම ආයතනයේ කීප දෙනෙක්ම ආයතනය තුල රැඳී ඉන්න අදහස අත හරියි...

දැන් මට රස්සාවල් හොයන්න වෙනව. අයෙත් ඉරිදට Sunday Observer ගන්න වෙනව. ජීවත් වෙන්න එපැයි වෙනත් අය වෙනුවෙන්.

බලමු මොකද වෙන්නෙ කියලා.

මම ගියොත්! මගේ මාර්ගගත ජීවිතයත් ඉවරයි. මට කාලෙකට මැරෙන්න පුළුවන්! අයෙ කවද හරි කොහෙන් හරි සම්බන්ධ වෙනකල්.

නමුත් මම හිතනවා එහෙම නොවෙයි කියලා.

Wednesday 1 October 2008

කවි දෙකක් එක්ක පින්තූරයක් නොමිලේ...

මේ කවි ඇත්තටම අපේ අළුත් නවාතැන වෙන අවකාශයේ රූපයකට කවක් කියන තේමාව යටතේ පහල තියෙන පින්තූරය ගැන ලියවුණ කවි දෙකක්. දෙක දෙවිධියක්.... කියවලම බලන්ට මෙයාලා...

තව එකක්... මේ පින්තූරය ගත්තෙ හරේෂ් කියල කෙනෙක්.



















මේ කවිය කියන්නෙ මගේ සීයා... හික් හික්...


මගේ එක් අතක්
පණ නැතිව
වැහැරිලා
මියෙන්නට ගොස්
වෙදතුමා කීවාම
වයසටයි ඔය කියා
මා ඇසුවා

මගෙ අනිත් අතත්
ඒ වයසෙම නිසා
කොහොම වෙන්නද ඒක?

වෙදතුමා හිනැහුණා
ඒව ඒ වගෙ තමයි
ඒ ඔහුගෙ පිලිතුරයි

මා කෙඬෑරිව ගෙදරවිත්
මා මුණුපුරුට
කී විට මෙපුවත
ඔහු පෙන්වූවා
මට මෙය
එකම අත්තක
පරවූ මලක්
තරුණ මලක් එක්ක
එකවිට.....


© හරේෂ් එරංග
2008-09-30



------------------------------------------


ජීවිතය...

ජීවිතය...
අපි සුන්දරව
පාට තවරන්
එහෙ මෙහෙ දුවන්
විසිතුරු කරන්
විඳින අතරම

දකියිද අප
යම් දිනෙක
වැහැරී
මිලින වන
අප සොඳුරු
දිවියම...

නොදැන පසුතැවේවිද
සොඳින් දැන තුටු වේවිද
මේ දිවියේ අරුත
‍කාලයේ මිතුරු ඇසුරේ


© හරේෂ් එරංග
2008-09-30

Monday 29 September 2008

ක්‍රමය

මේක මේ අවකාශේ අපේ බෝ දාපු පින්තූරෙකට මම ලියපු එකක්....

ඕන නම් ගිහින් බලන්න කට්ටිය මේ එකම පින්තූරෙට දාපු කවි.




මා වටා
මා උපන් දා සිටම
වෙලී මා අඳුරු කර
කළුවරේ හිඳවූ
මට සිලිටි නැති
හතරැස් ක්‍රමය...

නුඹ තුලම
නුඹේ විලසින්ම
කවුලුවක් තැනුවෙමි

අඳුරේ සිට වුවද
දැන් මට හැකියි
නිදහසේ ඉම දකින්නට

අවැසි නම්
මට උවමනා විටෙක
නුඹ හැරදමා
සයුරේ පාවී
ක්ෂිතිජයෙන් එහා
මා කැමති අහසට
පනින්නටත්
හැකියි දැන් මට

© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28




Sunday 28 September 2008

මගේ පුනරුත්පත්තිය

මගේ පුනරුත්පත්තිය

ආදරය නම් විදුලිය
හදවත විනිවිද ගොස්
මා මිය ගියා

නැවත

ඇය තුල
පිලිසි‍ඳෙන්නට පෙර



© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28




Saturday 27 September 2008

නුගේගොඩ අං දිය

අද (2008-09-26) මම හවස 3ට විතර නුගේගොඩ බෝ ගහ ගාව හන්දියට ගියේ පරණ නුගේගොඩ හන්දිය පැත්තට යන බස් එකක් ගන්න. වෙනදට සීරුවට තමන්ගෙ වාරයෙදි හන්දිය හරහා ගමන් කරන වාහන රොත්තක්ම අද හන්දිය මැද විවිධ දිශා 6-7කට හැරිල පොදි ගැහිල තිබුණ. මෑතකදි නොදැකපු දසුනක් නිසා බලද්දියි තේරුණේ වර්ණ සංඥා පුවරු වැඩ නොකරන බව. කොහොමත් වෙනදට එහෙම නොවෙන වෙලාවලදි එතන පොලිස් නිලධාරියෙක් ඉන්නව වුණාට අද කවුරුත් නෑ. ඉතිං හැමෝම එක පාර හන්දියෙන් එපිටට යන්න වලි කනවා. කාටවත් යන්න බෑ. කවුරුවත් පස්සට ගිහින් අනිත් පැත්තක ‍ඉන්න කෙනෙක්ට ඉඩ දෙන්නෙ නෑ වගේම කාටවත් පස්සට ගන්නත් බෑ. මොකද පිටිපස්සෙ වාහනේ තියෙන්නෙ පස්ස ඉඹින්න ඔන්න මෙන්න. යන්තම් ඉදිරියෙ තියෙන වාහනේ අඟල් කීපයක් ඉදිරියට ගිය ගමන් කට්ටියම ඒ ගානටම තමන්ගෙ වාහනෙත් ඉදිරියට ගන්න නිසා ආයෙ පස්සට යන්න ඉඩක් නෑ. ඉතිං හැමෝම මැද හිරවෙලා.

කොහොම හරි ඔන්න තම තමන්ගෙ දක්ෂතාවය උඩ කට්ටිය හන්දිය පහු කරමින් හිටියා. යතුරු පැදි අයියල අස්සෙන්, හරහට දාල හැමෝටම වඩා ඉක්මනින් ගියා. මම ගොඩවුණ 163 බස් රියේ රියදුරු මහත්තයත් ලොකු යුද්ධයක් කරල හන්දිය පහුකලා. ඊට පස්සෙ එයා ඇරිය විදුලිය වගේ. මොකද එයාගෙ යාළුවෙක් පිටිපස්සෙන් එමින් හිටිය.

මට මේ යක්කු මොනව කරගත්තත් එකයි.

මට කියන්න ඕන කලේ පාලනය ගැන. වෙනදට වර්ණ සංඥා පද්ධතියට අනුව සීරු මාරුවට යන උදවිය ඒව නැති වුණාම පුක කැඩිච්ච කඩි වගේ. තමන් විතරයි කියන හැඟීමෙන් යාගන්න දඟලනවා. ඒකට එයාලට වරදක් කියන්න බෑ. system failures වලදි usersල තමයි ෆිස්සු කෙලින්නේ. කොහොමත් ස්වභාවිකවම මිනිසා ප්‍රචණ්ඩකාරී සත්ත්වයෙක්නේ. එහෙම නොවුණ නම් මෙහෙම ලෝකය වෙනස් කරගෙන ඒක යම් විධියකට පාලනයකුත් කරගෙන ඉන්නෙ කෙහොමද? මිනිසාට ස්වභාවික සත්ත්වයන්ගෙන් අභියෝගයක් නැති හින්දම මිනිස්සු තමන්ගෙ දැනුම වෙනත් දේවල් වලට යෙදවීමේ ප්‍රතිඵලය තමයි මේ විධියට දියුණු(?) වීම. ඒ දියුණුව හරහා මිනිස්සුන්ට තව දුරටත් ප්‍රචණ්ඩකාරී වෙන්න ඕන වුණේ නැතත් වෙනම ආකාරයකට මේ ප්‍රචණ්ඩත්වය පැවතුණා සහ පවතිනවා අළු යට ගිණි පුපුරු වගේ.

කාලයක් යද්දි මේ ප්‍රචණ්ඩත්වය සහ බලය පිලිබඳ හැඟීම එක්ක විවිධ කණ්ඩායම් සහ පන්ති වලට සමජය බෙදීමත් එක්ක ඒක වෙනත් විධියකට සමථයක් කරන්න ආගම් සහ දර්ශණයන් බිහි වුණා. නොයෙක් පාලන ක්‍රම බිහි වුණා. ඒ හරහා මිනිස්සු පාලනය වුණා. යම් ක්‍රමයකට හැඩගැහිල ඉන්න පුරුදු වුණා. කාලයක් තිස්සේ මේක වෙමින් තියෙනවා තවමත්.

ඒත් ඒ නිසා කියන්න බෑ ඒ හුරු වුණ දේවල් අපි තුල මුල් බැහැල කියල. අවස්ථාවක් ආපු ගමන් අපි ආයෙත් අර වනචාරී පිරිසම තමයි නේද? මේක මාත් ඇතුලත්ව හැමෝටම පොදුයි. ඉස්කෝලෙ යන කාලෙ පන්තියෙ ගුරුවරයෙක් නැත්නම් පන්තියෙ එකම ගාලගෝට්ටියක්. ආයතනයේ ලොක්ක නැත්නම් සේවකයො ඉන්නෙ ගෙදර ඉන්නව වගේ. නුගේගොඩ හන්දියෙදිත් ඒක හොඳටම පැහැදිලි වුණා. අන්තිමේ බලද්දි අපි හැමෝම මේ සිස්ටම් එක ඇතුලෙ තියෙන සීමා වලට හිර වෙලා තමයි ඉන්නෙ. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ පාලනය කරල තියෙන හැඟීම් සේරම එලි බහිනව අවස්ථාවක් ආ ගමන්. ඒ වෙලාවට අපි ඉගෙන ගෙන තියෙන, පුරුදු වෙලා තියෙන, අවබෝධ කරන් ඉන්න කිසි දෙයක් මතකවත් නැති වෙයි.

ආගමික අදහස් අනුව නම් කියවෙන්නේ ඒ නිසා පසුව පසුතැවිලි වෙන්න වෙන බවයි. මොකද මේ හිරවුන හැඟීම් ඔස්සේ තමයි පාපයන් සිද්ධ වෙන්නේ. ඒ පාපය සිදුවෙන අවස්ථාවෙදි ඉගෙන ගත්තු කිසිම දෙයක් හිතේ නෑනේ. ඉතිං සිද්ධ වෙන දේ ගැන වැටහීමක් නෑ.

හික් හික් කතාව ඉවර කලේ කිසිම තේරුමක් නැති දෙයක් ගැන කියවල. කවුරු හරි අහයි ආගම් තේරුමක් නැතිවෙන්නෙ කොහොමද කියල. ආගම් වල නම් ‍‍තේරුමක් තියෙනව තමයි. ඒත් අද කවුද ආගම් වල කියන ඒව හරියට තේරුම් ගන්නේ....




Tuesday 23 September 2008

විප්ලවය - මගේ විප්ලවීය මිතුරන්ට

විප්ලවය


නුඹත් මමත් එක්ව
නොපිට පෙරලුනු ලෝකය
පෙරලන්නට හොඳ පිටට
කරන විප්ලවය
ඇත්තටම කාටද
ලොවටද...
අපටද...

එසේ පෙරලුවත් අප
සිහිනෙන් හෝ ලෝකය
එය පෙරලී පවතීද
සදහටම...

ලොව එතෙක් මෙතෙක්
පිරිපුන් මිනිසුන් නොමැති කල
එසේ වන්නට තැත් දරා
පෙරලෙන්නේ අපම පමණද...

උපන් දා සිට
නා නා විසූක දස්සන
උදේ හවා පානය කොට
මත් වී හිඳින මිනිසුන්
කෙසේ පිලිගන්නද
ඔවුන්ගේ මත් බව...

රජ පෙල පතින් උරුම වූ
බුදුන් සතු වූ බලය
බුදුන් ජීවත් කරවූ සේම
අදටත් වලංගුද එලෙසින්ම
විප්ලවයට...

ජේසුන්ට නොමැති වූ එම බලයම
ජේසුන් කුරුසිපත් කරවූ ලෙසම
වලංගුයි අදටත්
බලය නොමැතිව
ලොව තනන්නන් සියල්ලට
එම සේම...

නමුත් මියැදෙන්නේ
කා වෙනුවෙන්ද
කැපවන්නේ කාහටද
බේබද්දන් වෙනුවෙන්
දිවි පුදන්නේ කුමටද

...

ලොව පෙරලා පලක් නැත
එය නිති ඒ මේ පෙරලෙන
ස්වභාවයේ නීතියට යටත් හෙයින්
ලොවින් එපිටට ගොස්
නුඹට යා හැකි බව දැන
නැවතත් එන්න කූඩුවට
ජීවිතය විඳින්න

ලොව දෙස බැලූ විට
විශ්වය හා සමව ගෙන
අත්‍යුනික කාලයක්
එහි වසන අප
සිහින පමණක් දකිමු

සිහින තුල අපවම සොයා
අපට හමුවූ පසු අප
නිහඬවම
වෙනස් වන ලොව දෙස බලා
සිනාසෙමු
විප්ලවය ඉවත හැර
වෙළෙඳුන්ට විකුණන්න දී එය
බේබදු ලෝකයට
බීමත් ආතල් වලට...


© හරේෂ් එරංග ද සිල්වා
2008-09-23





Sunday 21 September 2008

අපි පොත් අතර සහ ඇයයි මමයි

අද දවස (2008-09-20) මෑතකදි මම ගත කරපු හොඳම දවසක්...

සති කීපයක ඉඳන් කතා වුණ විධියට අද දිනය තුල අපේ හමුවීම සඳහා උදේ මම නුගේගොඩ බෝ ගහ ගාව හිටිය කට්ටිය එකතු වෙනකල්. උද්‍යෝගයෙන්. පාරෙ පන්ති ගිය නංගිලා මගේ ඇස් පිනවද්දි මම හිතුව කට්ටිය ටිකක් ප්‍රමාද වුණා නම් හොඳයි කියලා. :p ඒත් වැඩි වෙලාවක් නොගිහින් කළු ඇඳගත්තු උස හාදයෙක් ඇවිත් මට කතා කලා. ඒ පාකර් හෙවත් දම්ස් හෙවත් මහේන්ද්‍ර ධම්මික මල්ලි. හරිම ලස්සන හිනාවක් එක්ක සිහින් කටහඬක්. හරිම දැවැන්ත කසුන් කල්හාර කෙනෙක් කියල මට හිතුණ. අපි දෙන්න කදේ දාගෙන ඉද්දි මගේ දුරකථනයට බෝමන් කතා කලා අඩි කීපයක් එපිට ඉඳන්. හික් හික්... මට මායි බෝයි රවියි තුන්දෙනා සෙට් වීම මතක් වුණා. එදත් ඕකම වුණා මට. ඔන්න ඉතිං බෝ සහ සමීරම් දෙන්නත් ඇවිත්. බෝ ගැන කියන්න දෙයක් නෑනෙ ඉතිං. මාව කඳු තරණය කරන්න එක්ක යන මිතුරන් අතර තවත් එක පිස්සු කේස් එකක් හරිම ‍හුරතල් අර හිනාවයි රැවුලයි එක්ක. සමීරම් නම් කොණ්ඩෙ නැති මම වගේ. එයාට මටත් වඩා පිස්සු කියල මලී පසුව කිව්වා. සමීරම් ‍බෝ වගේම කට වාචාලයෙක්. එයා ටිකක් අර චිත්‍රපටි අධ්‍යක්ෂ සෙනේෂ් බණ්ඩාර දිසානායක වගේ කියල මට හිතුණ.

තව දෙන්නෙක් එන්න හිටිය. ඒ දෙන්න එනකල් අපි ඒ කඩ පේලිය කෙලවර ඉන්දියානු කෑම කඩේට ගිහින් එලවලු සහ මාංශ මිශ්‍රණයක් වටේ පිෂ්ඨය ඔතල තිබුණ කෑමකින් සප්පායම් වුණා. ඔය අතරෙ ආවා ඊළඟ සාමාජිකයා හෙවත් පමිත්... හප්පා එයා හරි ලොකු කඩවසම් හැඩි දැඩි සිරුරක් තියෙන මල්ලියෙක්. එයාගෙ මූණෙ හැඟීමක් තිබුණෙ නෑ. ඒත් එයාගෙ සිතිවිලි දන්න නිසා මම දැනං හිටිය එයා තුල ඉන්න පමිත්K ව බාහිරින් එයා ගල් කන්දක් වගේ.. එයත් අපිත් එක්ක කතාවෙන අතරෙ ශිවාගෙන් ඇමතුමක් ආවා. එයා එතනට ඇවිත් අපිව හොයනවා. එයා හෝටලය තුලට ගෙන්වාගත්තා. ශිවා හෙවත් ශිවන්ත සුදු මට වඩා ටිකක් මහත කණ්නාඩි මූණක් තියෙන හරිම සැහැල්ලුවෙන් හරිම සුහදතාවයෙන් ඉන්න කොල්ලෙක්. බොහොම සුළු දේට පවා මහ හයියෙන් හිනාවෙමින් එයා කතා කලා...

ඉතිං ඔන්න නුගේගොඩ ඉඳන් බස් දෙකක ඇවිත් අපි කට්ටියම පෝලිමට එකතු වුණා BMICH එක ඉදිරියේ. මේ වතාවෙ රුපියල් 10ක ටිකට් එකක් ගන්න වුණා අපට. ඒක හොඳයි කියල මට හිතුණෙ රුපියල් 10ක් ඇතිද කියන පුරස්ණයත් එක්කමයි. කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල විලාසිතාවක් විධියට වන්දනා කරන අය නිසා නිදහසේ පොත් තෝරන්න සහ මිලට ගන්න ඒ වෙත එන පාඨකයන්ගේ නිදහස ඇහිරුණා කියන චෝදනාව ඇත්තක්. සමහරු ඒකට යන්නෙ වෙන වෙන වැඩ වලට. ඒක හරහා තමන්ගෙ වෙනත් හිස්තැන් පුරවගන්නත් සමහරු ඒකට ආවා. මම දන්න පොත් පාඨකයින් කීප දෙනෙක් එක්කම කතා කරපු වතාවකදි එයාලත් මේ ටිකට් ක්‍රමය සාධාරණීකරණය කලා. කොහොම හරි මේ වතාවේ ඇතුල්වීමේ ගාස්තුව රුපියල් 10යි.

අපි පොකුණ පහු කරන් ඒකට පනින්න නොහැකි වීම ගැන පසුතැවෙමින් ප්‍රධාන ශාලාවට ඇතුලු වුණා. ටික දුරක් යන්න ලැබුණෙ නෑ. අපේ යාළුවෙක් අපට ඉදිරියෙන් ඇවිත් අපව පසු කලා ගෑණු ළමයෙක් එක්ක. අපි කට්ටියම හොඳින් දන්න නිසා අපි එයාට කතා කලාට එයා අපට හස්ත මුද්‍රාවෙන් කතා කරන්න බැරි බව කියල වහාම ගියා. අපි පුදුම වුණා. එයා ගැන තර්ක කලා. කොහොම හරි එතනින් එහාට ඒක අරන් යන්න ඕන වුනේ නෑ.

අපි පොත් අතරට එකතු වුණා. ප්‍රදර්ශණයේ පළමු දවස් වීමත් අපි ටිකක් උදෙන්ම පැමිණි නිසාත් වැඩිය සෙනගක් හිටියෙ නෑ. වෙන වතාවලදි ප්‍රධාන ශාලාවට ඇතුල් වුණ ගමන්ම තියෙන කොරිඩෝරය හරහා එහා පැත්තට යන්න පුදුම සටනක් කරන්න වෙනවා. අපි හිටපු වෙලාවෙ ඒ තරම් සෙනගක් නොහිටියත් වෙළඳ කුටි තුල නම් සැලකිය යුතු කොටසක් හිටියා.

ඔය අතරෙ අපේ එකම කාන්තා සාමාජිකය හෙවත් මලී මෙනෙවිය සම්ප්‍රාප්ත වුණා. :p එයාගෙ අම්ම එක්ක. එයා ගැන නම් නොකියන එක හොඳයි. මම කියන්න ගියොත් මොනා කියවෙයිද මන්දා.. හික් හික්.. වැඩිය කතා කරන්න ලැබුණෙ නෑ ඉතිං. ;) කොහොම වුණත් කලින් දැකල නැති නිර්මාණ සහ අදහස් හරහා අඳුණගෙන හිටපු යාළුවො ටික අඳුණ ගන්න ලැබීම සතුටක්. මම හිටියෙ උපරිම තෘප්තියෙන් ඒ මොහොතෙ. ඔය අතරෙ ආවා තවත් යාළුවෙක්. ඒ අපේ මහ ගෙදර අසිත-k හෙවත් අසි. සරල කොල්ලෙක් හරිම classic ගතියක් තිබුණා. පන්තියකට සහභාගි වෙන ගමන් අපිව බලන්නම ඇවිත්. හරිම සුන්දර හමුවීමක්...

ඉතිං අපි පොත් කුටි අතර සරමින් පොත් බලමින් සහ මිලදී ගනිමින් රවුම් ගැහුවා. බෝ ජීවිතය පිළිබඳ පොත් හොයන අතරෙ මම හෙව්වෙ කාලයකට කලින් කියවපු පොත් නැවත මුද්‍රණය කරල තියේද කියලයි. සමීරම් මාර්ටින් වික්‍රමසිංහගෙ පොත් එකතුවක් හෙව්ව. අනිත් අය මොනා හෙව්වද මන්දා. මලී මොනවදෝ පොත් ලැයිස්තුවක්ම උස්සන් ඇවිත් තිබුණ. අපි වගේයැ ගෑණු. ඒ පොත් සේරම ගත්තද කොහෙද. සමීරම් මං වගේම විද්‍යා පුබන්ධ රසිකයෙක් කියල මට වැටහුණා. එයත් ආතර් සී. ක්ලාක් පිස්සෙක්. දෙන්නම සිංහලට පරිවර්තිත විද්‍යා පුබන්ධ සියල්ලක්ම වගේ කියවල තිබුණ. මට මාර ගතියක් ආව ඇඟට. එක වගේ ගස් ටිකක් අන්තිමේ මෝලෙදි සෙටා වෙලා... හික් හික්..

අපි 2 විතර වෙනකල් හිටියා පොත් අතර. විවිධ විකාර දොඩවමින් අපි ඇවිද්දා කකුල් රිදෙනකල්. අවසානෙදි කෝක් වඩියකින් තොලකට තෙමාගෙන අපි ආවා...

------------------------------------

සතුට සොයා යාම පිළිබඳ සටහනක් ලියන්න සෑහෙන කාලෙක ඉඳලා උත්සාහ දරමින් සිටියත් කාලය සහ නිර්මාණාවේශය පිළිබඳ ගැටළු නිසා ඒක ටිකෙන් ටික යට ගැහුණා. ලඟදීම බලන්න පුළුවන් වෙයි. අද දවස පුරා මම ලැබුවෙ මම හොයාගෙන ගිය, ඒ හරහාම පරිසමාප්ත වුණ සතුටක්. එක වගේ යාළුවො ටිකක්. විවිධ දේවල් හදාරන, දැනුම සොයන කට්ටියක්. ඒ නිසාම කවදාවත් කතා කරන්න දේවල් නැතිව ගොළු නොවෙන පිරිසක්. එකම දෙයක් වෙනුවෙන් කතිකාවතක්. විවිධ තර්ක විතර්ක තියෙන නමුත් ගැටීම අවම සම්බන්ධ ටිකක්. හරිම අපූරුයි. මම ගෙවපු හරිම සුන්දර උදය වරුවක්. ඇත්තටම මම හරිම සන්තෝෂයෙන් ගෙවපු උදය වරුවක්...

ඒත් ඒ සතුට එක්කෙනෙක් නිසා සවස් වරුවෙදි අහිමි වුණා මට. :( සවස් වරුවෙ මම වෙනම මම කෙනෙක් වුණා. මම ඒ තුල වෙනම සතුටක් ලැබුවා. කිලෝමීටර කීපයක් ඇවිදල අපි අපේ සුපුරුදු අවන්හලට ගියා සප්පායම් වෙන්න. ඒ වෙලාවෙ සම්පූර්ණ අවන්හලම පිරිල තිබුණ මොහොතක අපි දෙන්නා අසරණව ආයෙත් යන්න සූදානම් වෙද්දි අපට අඬගහල අසුන් දෙකක් දීපු අයියට ගොඩක් ස්තූතියි. අපි දෙන්නම එයාට හිනාවකින් ස්තූති කලා. ඉතිං ආයෙත් මට උළුදු වඩේ පාරක් දාන්න ලැබුණා ප්ලේන්ටි වීදුරු 1½ක් එක්ක. ඒ එක්කම පලතුරු ආශ්‍රිත කෑම වර්ග දෙකක්ම අපි බඩට දාගත්තා.

අන්තිමේ අපේ අත් අතර පැටලිලා අයෙත් අපි පාරට බැස්සා. ඇය මාව නැවතත් ඇයත් මාත් තනිව ඉන්න ලෝකයට ගෙන ගියා. මිනිස්සු අපට හිනා වුණා. අපි දිහා බැලුව කන්න වගේ. ඒ සේරම මට වැ‍ටහුණා. ඇයටත් ඒ වගේම වැ‍ටහෙන්න ඇති. ඒත් ඇය මාත් එක්ක ඇවිද්දා මුළු ලෝකෙම අමතක කරල. ලෝකයට අනුව අපි පරිසමාප්ත පෙම්වතුන් නොවෙන්න ඇති. ඒත් අපි දන්නවා අපි කවුද කියලා... ඇයයි මමයි අපේ යාළුවොයි.

ඒක එහෙම තමයි ඉතිං.

අන්තිමේදි හික් හික් තමයි කියන්න වෙන්නේ.



Thursday 18 September 2008

මගේ පරිපූර්ණ ප්‍රේමය - now online

මගේ පරිපූර්ණ ප්‍රේමය - now online

අප තුලම අප නසා
උනුන්ගෙන් පුරවා
ලබන සෙල්ලම් වින්දනය
අප අපට අහිමි කරවන බව දැන

පෙර විඳි ඒ විසල්
ලොවට පිදූ ප්‍රේමයත්
දියව ගොස් අප තුලම
ගුලිව හැකිලෙන අරුම දැන

මහා සිතුවිලි දරන්
අ‍ප ගෙතූ කව් පියලි
එකම එක් අබැටකට
අර අදින බවද දැන

පුංචි කව්ලුවක් තුල
දොඩමලුව විකාරව
මකුළුවන් අන් කවුළු
දැල් බඳින බවත් දැන

විමසුවා ඇය මගෙන්
දෑස් හැර බලන්නට
නැවත ලෝකය දෙසම
ගිණි දැලින් අළුව යන

මා සිතූ සියල් දෑ
ඈ ම කී නියාවෙන්
ප්‍රමෝදව ඈ මතින්
මා ද ඈ සිතින් සිඹ

තෙපලුවා රහසින්ම
ඇත්තමයි...
නුඹ මගේ
පරිපූර්ණ ප්‍රේමයයි!





Wednesday 17 September 2008

කැබලි

කැබලි


නුඹ

මා
අවුල් වියවුල් කර
මා සුනු විසුණු කර
කැබලි දසත විහිදුවා

නැවත

ඒ බිඳිති

දෑතින් එකින් එක
ගෙන හෙමින් සීරුවට

මා නැවත
පිළිවෙලට

ගොඩනගන අපූරුව




Friday 12 September 2008

කියාගන්න බැරි එක...

කියාගන්න බැරි‍ තරම් විශාලව සහ වදන් විරහිතව හිර වෙන ආදරය.....

හික් හික්.. මේක කවදාවත් වචන වලින් කියන්න බෑ තමයි... නමුත් ඉතිං පොදුවෙ හඳුන්වන්න ඕන හින්දා ආදරේ කියල නමක් දාගෙන ඉන්නව වුණාට සහ ඒ තුල විවිධ යෙදුම් එක්ක ඒ පිළිබඳ පොදු කතිකාව පවතිනව වුණාට ඇත්තටම නම් ඒක අතිශය පුද්ගලිකව දැණෙන වෙන කෙනෙක්ට දැණෙන විධියෙන් සහමුලින්ම වෙනස් හැඟීමක්...

එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් ආදරය තුල ඒක පොදු වෙන්නෙ ඒක තුල ඉන්න දෙන්නට විතරයි. මොකද ඒකනේ එයාල ආදරය කරන්නේ.. ඒක එයාලට දැණෙන්නෙ එයාල ඇසුරු කරපු, කරන දේවල්, පුංචි කාලෙ ඉඳන් ජීවත් වුණ විධිය, ආදරය කරන වෙනත් දේවල් වගේ විශාල පරාසයක දේවල් ටිකක් එක්කයි. ඒ දේවල් අනන්‍ය වෙන්නෙ එයාලට විතරයි. ඒ නිසා ඒ ආදරය එයාලට පුද්ගලිකයි. හැඟීමක් විධිය‍ට පවා එහෙමයි.

හැඟීමක් කියන්න වචන තියෙනවද? මං දන්න තරමින් නෑ. මට මතක් වෙනව මගේ භෞතික විද්‍යා ගුරුතුමෙක් වන පතිරණ සර් කියපු කතාවක්. එයාගෙ එකක් නෙවෙයි. එයත් කොහෙන්දෝ උපුටගත්තු එකක්. නන්දදාස කෝදාගොඩ මහත්තයගෙන්ද මන්දා. කොහොම හරි මට මුලින්ම ඇහුණෙ මගේ සර්ගෙන්.

"වේදනාව විග්‍රහ කරන්න පුළුවන්ද මේ වගේ අහවල් එකක් කියලා. බෑ. ඒත් අපට පුළුවන් කෙනෙක්ව කොනිත්තල ඒ දැනෙන හැඟීම වේදනාව ය කියල කියන්න. ඒ හැර වේදනාව හෝ වෙනත් ඒ වගේ හැඟීම් විග්‍රහ කරන්න වචන නෑ. ඒව දැණෙන්නම ඕන"

ආදරෙත් ඒ වගේ තමයි. ඒක දැණෙන්න ඕන. කවදාවත් කවි වලින්‍ හෝ සංගීතය, චිත්‍රය වෙනත් කිසිම කලාවකින් ඒක ඒත්තු ගන්වන්න බෑ. ඒත් ඒක දැණෙන කෙනෙක්ට මේ සකලවිධ කලාව හරහාම ආදරය විඳින්න පුළුවන්. ඒකට ආදරය දැණෙන්න ඕන. ඒක විඳින්න ඕන.


හිටපු ගමන් මේ බයිල කියවන්න ගත්තෙ අද දවසෙ මම ආදරයෙන් උපරිමව මත් වුණ හින්දයි. ලෝකෙ මෙතෙක් ඒ වගේ මත් වෙන්න පුළුවන් ආදේශකයක් හදල නෑ. හැදෙන්නෙත් නෑ. ආදරයම පමණයි. අද දවසෙ කාලෙකට පස්සෙ දිගු කාලයක් අපි දෙන්නා කතා බහ කරල බොහොම අමාරුවෙන් වෙන් වෙලා යන්න ගියා. බස් එකේ යද්දි මම හිටියෙ දැකපු හීනයකින් නැගිටගන්න බැරිව වගේ. මත් වෙලා.

මම වහාම ඇයට මිනි කවියක් යැව්වා දුරකථනයෙන්...


නුඹෙන් සිත පිරී...


මට මා...


අහිමි වන මොහොත...
...
..
.

නිවනටත් ඉහල යැයි


සිතේ මට...



මේකෙ මේ පේලි අතර ඉඩ ඕනමයි.. ඒ තුල මට කියාගන්න බැරි දෙයක් හැංගිල තියෙනව. ඔයාලට ඒක දැණෙනව නම් මරේ මරු.

කතාව ඉවර නෑ. අපේ උන්දැත් ඉතිං ම‍ට දෙවෙනි වෙන්න කැමති නෑ. මගේ කෙල්ලනෙ ඉතිං! හික් හික්.... එයත් අනිත් පැත්තට එව්වා කවියක්. ඒ වුණාට එයා ලියන කවි. :p මෙලෝ රහක් නෑ.. මම ඉතිං එයාගෙ අවසරය පිට ඒක ටිකක් ඔප මට්ටම් කලා. එයා මොකද මම මොකද.. හික් හික්...


මුළු ලොවම
පාට තැවරූ සිත්තමක් සේ
නිශ්චලව බොඳව යයි...

මම

නුඹ අසල

රැ‍ඳෙන විට



හ්ම්...


අදට මේ සිහිනයෙන් මිදෙමි
නැවත ලොවම බොඳ වී
අප පමණක් සිටින දිනක්
යලි විඳින්නට
උදා වන තුරු...



මට නම් මේ කවිය හරහා මගේ පෙම්වතියව නැවත කියවන්න පුළුවන්. ඇයත් මම වගේම මත්වෙලා ඉන්නෙ. මට කිව්වා තවම කැ‍රකෙනවා කියලා.. හික් හික්...

ඉතිං මේ සටහන ඇය වෙනුවෙන්.. අපේ ආදරය වෙනුවෙන්.. කවදාවත් කියාගන්න අපොහොසත්, ඒත් අපේ හිතේ පූදින හැම සිතිවිල්ලක් පුරාමත්, අපේ ඇ‍‍ඟේ හැම රුධිර බිඳුවක් පුරාමත්, ඇ‍ඟේම තියෙන සෛල ඇතුලෙ තියෙන පරමාණුවල බිඳින්න බැරි පුංචිම කොටස දක්වාමත් කා වැදිල ජීර්ණය වෙලා තියෙන අපේ ආදරය වෙනුවෙන්...

මේ ගීයත් ඇය වෙනුවෙන්. තිබුණෙ kasshapa කියන යාළුව‍ගෙ ඔබනල නිවසේ. එයාල ‍වගේ අය ඉන්න එක කොයි තරම් දෙයක්ද? එතනට ගියොත් තවත් ලස්සන සිංහල ගීත ගොඩක් බලන්න පුළුවන්.



Sasara Serisaranathek - Victor Rathnayaka

Thursday 11 September 2008

රවි මත් වී - මොහාන් හොඳින් - අබා පැත්තක

මේක අපේ රවි මහත්තය ටිකක් මත් වෙලා ආපු දවසක අපේ තවත් පාරිභෝගික මිතුරෙක් වන මොහාන් හෙට්ටිආරච්චි අයිය එක්ක කරපු දෙබසක්. කොහොමත් රවි මහත්තය බිව්වම මාර ගති. හරියට අපේ තාත්ත වගේ. වටේම අය‍ට සතුට බෙදනවා. එයා තුල කොහොමත් වැඩ වාසය කරන විනෝදකාමියාගෙත් හොඳම කොටස එලියට එනවා දෙකක් දැම්මම. හික් හික්...

මේකට නිදාන කතාවක් තියෙනවා. මූල බීජය ආයෙත් අබා. අබාට විරුද්ධව පුංචි පුංචි සංස්කෘතිකමය විසංවාද මතු වුණානේ. මොහාන් මහත්මය මේ විසංවාද වලට එකඟව අබාට බැන්නා අපිත් එක්ක. එයා වැඩ කරන්නෙත් චිත්‍රපට කෙෂ්ත්‍රයේ නිසා අපි නම් ඒව ගනන් ගන්නෙ නෑ. එයා හරිම හොඳ මනුස්සයෙක්. ඒ වුණාට විෂයානුබද්ධ සාකච්ඡා වලදි එයත් ඉන්නෙ කණ්නාඩි දාගෙන. ඒව එහෙම තමයි.

කොහොම හරි මොහාන් අබාට බැණපු කතාව අපි රවිට කිව්ව. රවි අබා බලල නෑ මේ වෙනකල්ම. ඒත් එයා සංවේදී මනුස්සය නිසා අබා නොබැලුවත් කලාව කලාව විධියට රස විඳින්න තියෙන හැකියාව උඩ අබාට විවේචන ගෙනාවෙ නෑ. මේ දෙන්නම මගේ හොඳම පාරිභෝගිකයෝ. රස්සාව වෙනම සහ මිත්‍රත්වය වෙනම පවත්වගන්න මෙයාල දන්නවා. ඒ නිසා ඕන දෙයක් මම සහ මගේ දෙපස ඉන්න සගයො එක්ක කියවන්න මෙයාල මැලි නෑ. වැ‍ඩේ කෙරුණත් නැතත් මෙයාල අපේ ළඟ ඉඳන් මොනා හරි දේවල් ටිකක් කියෙව්වොත් ඒ දේවල් වල ගන්න දේවල් සහ පැලෙනකල් හිනාවෙන්න දේවල් තියෙනවා. ඒ නිසා මෙයාල දෙන්නටම අපි කැමතියි.

මට මතකයි මොහාන් මහත්තය අර රූපවාහිනී චැනලයක නර්තන තරුව තෝරපු දවසට පහුවදා කියපු කතාව.

"අද මට මාර සතුටුයි අප්පා.. දැන් අපට ඩාන්සින් ස්ටාර් කෙනෙකුත් ඉන්නව. දැන් තව මොනවද අපට අඩු"

හික් හික්....

ඒක අපේ නලින්ට කිව්වම එයා කිව්ව,

"ඇයි හෙට අනිද්දට ටාසන් ස්ටාර් කෙනෙකුත් හම්බ වෙනව අපිට"

ආයෙත් හික් හික්...

ඔන්න ඉතිං රවි මහත්මයා දෙකක් දාල ආපු වෙලේක මොහාන් මහත්මයව හමු වුණා. මේක මේ විධියටම නෙවෙයි වුණේ. මම මේක ටිකක් සංස්කරණය කලා ලියන්න පුළුවන් විධියට. ඒත් දෙබසට බාධාවක් නෑ.

රවි - ආ... මිස්ට මොහාන් කොහොමද?

මොහාන් - ආ හලෝ.. ඉතිං.. කාලෙකට පස්සෙ නේ..

රවි - මම ඔයාව හම්බ වෙන්නමයි හිටියෙ... ඒක නෙවෙයි.. මම අද ටිකක් බීල ඉන්නෙ හරිද?

මොහාන් - ආ නියමයිනෙ ඉතිං...

රවි - ඒ වුණාට කියන්න එපැයි.. මොකද මම සාමාන්‍යයෙන් දවල්ට බත් කෑවට කාල ඉන්නව කියල විශේෂයෙන් කියන්නෙ නෑනෙ. බිව්ව කියල විතරයි කියන්න පුළුවන්..

මොහාන් - හහ් හා.. ඒකත් එහෙමයි නේ.. මොකෝ හම්බ වෙන්න ඕන වුණා කිව්වෙ?

රවි - ඔයා අබාට දෝෂාරෝපණය කලා කියල ආරංචියි..

මොහාන් - කවුද කිව්වෙ? මුං සෙට් එකද? අම්මපා මුංව..

රවි - නෑ නෑ නෑ... අපි මෙහෙම ගමු..

මොහාන් - කියන්නකො බලන්න

රවි - ඔයා අබාව දන්නවද?

මොහාන් - නෑ

රවි - ඒකනේ.. මම දන්නෙත් නෑ..

මොහාන් - හික් හික්..

රවි - වැඩේ කියන්නෙ ජැක්සන් දන්නෙත් නෑ...

මොහාන් - ඒක හරි... ඒත් මූලාශ අනුව...

රවි - නෑ නෑ නෑ... ඔය මූලාශ්‍ර ලියපු අය දන්නෙත් නෑ... ඒ විතරක් නෙවෙයි පරණවිතාන මහත්තය දන්නවද? නෑ... ආනන්ද කුමාරස්වාමි මහත්තය දන්නවද? ඒත් නෑ.. මහාවංශය ලියපු එක්කෙනා? එයත් නෑ...

මොහාන් - බලාගෙන යනකොට කවුරුවත් දන්නෙ නෑ..

රවි - ඒකනේ වැඩේ! කවුරුවත් ඒ කාලෙ ඇත්තටම වුණ කතාව දන්නෙ නෑ..

මොහාන් - ඒ වුණාට මේකෙන් කියන යටි පෙල..

රවි - මොන යටි පෙලක්ද මගුලක්ද මන් දන්නෙ නෑ. මේක නිකං පරම්පරා ගානක් මිනිස්සු අතරෙ විවිධ විධියට පැවතුණ කතාවක්.. ඒක ගැන ඔච්චර වද වෙලා වැඩක් නෑ. අනික ඕක ගැන ඔහොම දුක් විඳිනව නම් තව මොන තරම් දේවල් තියෙනවද මිනිස්සුන්ට කෑ ගහන්න. හිහ් හිහ්...

මොහාන් - ඒකත් ඇත්ත නේද?

රවි - .....

මොහාන් - ...




තව දිගට ගියා කතාව. ඒත් ඕන ටික තමයි ඔය. අන්තිමේදි අපි කවුරුවත් හරි කතාව දන්නෙ නෑ. ඒත් අනේමන්දා එක එක රාමු ඇතුලෙ කතාව අල කරන් අපි කරන්න වැඩ නැතිවට වැඩ හදාගෙන.

අබා ගැන ආයෙම කතා කරන්න හිතුවෙ ලඟදි මට නැවතත් අවස්ථා දෙකකදි අබා බලන්න වෙන හින්ද. එකක් මගෙ යාළුවො එක්ක. අනෙක ගෙදර කට්ටිය එක්ක. එයාල දන්නෙ නෑ මම තනියම බලපු බව. මොකද වෙන අවට ගැටලු වලින් මිදිල චිත්‍රපටියක් බලන්න තනියම යන්න එපැයි. කොහොම හරි මේ ඉදිරි වතා දෙකේදිම මට සජීවී සාකච්ඡා කරන්න පුළුවන් චිත්‍රපටිය නිම වුණ ගමන්ම. ඒකට පූර්විකාවක් විධියට සහ ඉදිරියෙදි මගේ වමනෙ පිටුවෙදි හමුවෙන්න නියමිත මගේ මිත්‍ර රවි සහ මොහාන් යුග්මය ගැන අදහසක් ගන්නත් මේ වැමෑරිල්ල යොදාගත්තා.

Tuesday 9 September 2008

වැස්ස...

අද (2008-09-08) මම හිටියෙ ගනේගොඩ අයියලගෙ ගෙදර මුළු දවසෙම. දවසෙම වැස්සා විටින් විට. හෙන හයියෙන් වෙලාවකට. වෙලාවකට හෙමින්. ගනේගොඩ අයියලගෙ ගෙදර මිදුල පුරා තියෙන තණකොල පිරුණ පොලොව දිහා මම පැලැල්ල අස්සෙන් බලා‍ගෙන හිටියා පැදුරෙ ඇලවීගෙනම. වැස්සත් නැතත් ඒ තණකොල හැමදාම කොල පාටයි. ඒ තණ බිස්ස මගේ හිතේ කවි සිතුවිලි පූදවපු තැනක් අපේ සම්පත්ට රුවන්වැලි සෑය වගේ. වැස්සත් එක්ක හිතේ පිරුණ හරිම නිදහස් හැඟීම හරියට ආදරය වගේ හැඟීමක් දුන්නා. නිදිමතයි තනිකමයි එක්වරම පිරුණ නවමු බවයි එක්ක මම ලොකු නිදහස් හැඟීමක් ලැබුව. ඒ එක්කම මම මගේ අත්දැකීමක් මතක් කලා. මේ වෙලාවෙ ලිව්වෙ නැත්නම් ලියවෙන්නෙම් නෑ. මේක ලියල සෑහෙන කල්. වෙනසක් නොකරම දැම්මා.


නුඹ දැනට වැස්ස වගේ

එක් වැසි දිනෙක මා තෙමුණා
තෙත්බරිතව දියවන තෙක්ම

නුඹ උන්නා මට ලංව
තුරුලු ව නැතත් මා දෙස බලාන

වැස්ස ඇද හැලුනා සීරුවට ගීයක්ව
සිහින් සර මවා අවටින්

නුඹ මිමිනුවා නුඹේ සිත හිමි හිමින්
නුඹ නොවන සහ නුඹ වන

ගුගුරවා අහස් ගැබ මහා වූ කුණාටුව
දෙසවන් ද අගුලු ලා බියෙන් මා සලිත විට

නුඹත් කීවා විටෙක නුඹත් ඒ වගේ බව
ගුගුරවා හඬ මවා නැවත කිංකිණි සලන

එවිට එක් මොහොතක
මා කීවා නුඹ වැස්ස බව
නුඹ කීවා මා පො‍ළොව බව

ආයෙමත්
නුඹ ඇද හැලුනා මා තෙතබරි වුණා
අපි සිනා සුනා...

ජීවිතේ තවත්
සුන්දර මොහොතක් ගෙවුණා..

Saturday 6 September 2008

ප්‍රමෝදය බිඳ වැටී...

ප්‍රමෝදය බිඳ වැටී...


සිහින කන්දේ මුදුනේ
සදාකල් රැ‍ඳෙන්නට
නොහැකි බව
නොදැණුනිද නුඹට...
ඒ මුදුන
අල්පෙනිති තුඩක් මෙන්
තියුණු වන විට...

ඒ මත පය තබනු නොහී
බිමට බට කල
කඳු පාමුල නිමක් නැති
වියලි කතර නිමා නොවන
නොදුටුවාද නුඹ
කඳු නගින්නට පෙර..

සිත දුකෙන් පිරෙන බව
නොසිතුනිද නුඹට
නැවත ඒ කර්කශ
යථාව පසක් වන විට...

වරෙක මහා සයුරක්ව
නෙක දනන් පිහිනූ ඉමක්
කාලයෙන් විපරිතව
නොපිට පෙරලී
කතරක් වූ අයුරු
නොදනීද නුඹ...

ඒ කන්දත්...
ඝන කතරත්..
මහ සයුරත්...
ඉන් අපිට
ක්ෂිතිජයෙනුත් එහා
කඳු මුදුනේ සිට නැරඹූ
නිම් නැති විශ්වයත්...

නුඹේ සිත අද්දර
අත්ලට ගත හැකි බව
නොදනීද නුඹ
තවමත්...

Friday 5 September 2008

මොසාර්ට් සහ ස්කොච් විස්කි වලින් පටන් අරන් අමරදේව සහ මහගමසේකර වෙත...

ඊයෙ (2008-09-04) අපේ යාළුවෙක්ගෙ අවුරුදු 55 උපන් දින සාදයට මටත් තවත් තුන් දෙනෙකුටත් ලැබුණ ඇරයුම පිළිඅරන් අපි එහෙ ගියා. නොයෙක් විධියෙ කෑම වර්ග කීපයක් එක්ක තිබුණෙ මීට කලින් ඇසුරු කරල නැති ස්කොච් විස්කි වර්ගයක්. අඳුරු කොලපාට බෝතලේ ලා කහ පාට සැර බීම අපේ උගුර හරහා ගියා. දිවේ ගෑවුණා තවත් සැර මසවුළු. ලොකු උද්‍යෝගයක් එක්ක කට්ටියම චිත්‍රපටි සහ සංගීතය ගැන කතාවකට සෙට් වුණා. අපි සහභාගි වුණ පැදුරු පාටි වලදි ඒව මධුවිතත් එක්ක පැදුරු ජෝගි වුණ හැටි, නැවත ඒ වගේ එකක් කරන හැටි, එදිනෙදා දකින සිදුවීම් සහ අපේ ලොක්කන්ගෙ බයිලා ව‍ගේ නොයෙක් දේවල් අතරෙ අපේ යාළුව‍ ගෙනාව මොසාර්ට්ගෙ ඇල්බම් එකක්. එයා ඒ සංගීතය අහන කෙනෙක් නෙවෙයි. මිල්ටන්, ජෝති රසිකයෙක්. එයා‍ට කොහෙන්දෝ හමු වෙල තිබුණ ඒක. අපි වත් හරියට මොසාර්ට්ව ඇසුරු කරල නෑනේ. ඒ නිසා වහාම අපි ඒක දැම්ම ධාවකයට.

හරිම විවෘත සංගීතයක් අපිව උපරිමයෙන් සුමට කරමින් අපේ පසුබිමින් වාදනය වුණා. අපේ කතාව කිසිම හැල හොල්මනක් නැතිව ගලාගෙන ගියා. කතාව නතර වෙන තැන හිස්තැන් වල තිබුණෙ සංගීතය ආයෙමත්. කොහොම හරි ඊට පස්සෙ ගෙවුණ පැයක විතර කාලය දැණුනෙම නෑ. මම අර කලින් වමනෙ දාපු කවියෙ කිව්ව වගේ මම හිටියෙ මිතුරු කැල අතර ප්‍රේමනීය ප්‍රමෝදයෙන් පූර්ණ වෙලා. මම ඒ ඇල්බම් එක ඉල්ලගත්තා...

ඔයාලට එයින් එකක් දෙන්නම්....

mozart - magical music - energizing the mind body - track 01.mp3


කොහොම හරි නැවත නවාතැනට ආව‍ට පස්සෙ මම ඇහුවෙ මගේ යාළුවෙකුගෙ ප්‍රේම වෘත්තාන්තක්. මධු විතෙන් මත් වෙලා ඒ මොහොතෙ හිටපු හැඟීමත් එක්ක මම ආයෙමත් උපරිමව පිරුණා. යාළුවා එයාගෙ ආදරවන්තිය ගැන කියාගෙන යද්දි වෙනදට මම ගනන් ගත්තෙ නැතත් මේ මොහොතෙ මම සාවධානව අහගෙන හිටිය. එයා ඒක කිව්වෙ හරියට කවියක් වගේ. ඉතිං මම සහ වෙනත් මිතුරන් ප්‍රේමය කවි කල විධිය මට සිහි වුණා. කියලම වැඩක් නෑ. ඒ එක්කම මට මතක් වුණේ මේ සින්දුව. මේක මේ තරම් සුමටව ලියල තියෙන්නෙ අපි කවුරුත් දේවත්වයෙන් සලකන මහගමසේකර. මේ තරම් ලයාන්විතව කි‍යන්නේ ඉතිං අමරදේව මාස්ටර් තමයි.

මුලින්ම ඒකත් අරන් ඉන්නකෝ.

ගී ‍පොතයි මී විතයි



ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි ඔබ සතුයි
ගී පොතයි මී විතයි...

අවන්හල නැති සුරා
ලවන් විත උර උරා
වහස් බැල්මෙන් නුරා
රහස් ගී කිය කියා
ගී පොතයි මී විතයි

මගේ හදවත එයින්
සදාකල් මත් කරන්
කිසිම ගීයක් නොවේ
ඒ තරම් රස නොවේ

ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි
ඔබ සතුයි


මට හිතෙන්නේ සේකර මේ මුළු ජීවිතයෙන්ම මත් වුණ කෙනෙක් කියලයි. එයා එයාගෙ ගැහැණියත් එක්ක ගෙවන්න ඇත්තෙ නිරන්තරයෙන් අළුත් වෙන දිවියක්. නදීක කියනව වගේ...

මේ මනරම් ගීයෙන් කියන්නෙ ගැහැණියක් හරහාත් මත් වීමට ඇති හැකියාවයි. ගැහැණියත් අපේ සම්පත්ගෙ මනෝ කන්ද නගින්න භාවිතා කරන දෙයක්. ගැහැණිය මධුවිත තරම්ම පිරිමි අපව මත් කරනවා. සමහර විට ඊටත් වඩා. ළඟදි මට යාළුවෙක් පෙන්නුව එයා‍ට මාර්ගගතව සම්බන්ධ වුණ පරාජිත පෙම්වතෙක්ගෙ අතක පින්තූරයක්. ඒකෙ හැම තැනම ලේ. අතේ අකුරු කොටාගෙන. මම ඒක දැක්කෙ මල විකාර විධියට මධුවිතටම ඇබ්බැහි වීමක් වගේ. ඒකත් අවශ්‍ය දෙයක් නෙවෙයි ඇත්තටම ගත්තොත්. ජීවිතේ කියන්නෙ ‍එක දෙයක් නෙවෙයි. සමස්තයමයි. ඒ තුල දේවල් අපට හිමි වීම සහ අහිමි වීම හරහා අපි තෘප්තිය හෝ වේදනාව ලබනව වුණාට ඒක ජීවිතයෙන් පලායන්න හේතුවක් නෙවෙයි. ඒ හරහාත් අපට ජීවිතේ විඳින්න පුළුවන්.

අළුතින් ජීවිතය අරඹන්න මොනම මොහොතකවත් කෙනෙක් ප්‍රමාද නෑ.


Thursday 4 September 2008

ප්‍රමෝදයෙන් පරිසමාප්තව

ප්‍රමෝදයෙන් පරිසමාප්තව

දැනී තිබේද නුඹට
කෙදිනකවත්...
නුඹට තවත්
පිරෙන්නට ඉඩ නැති බව
මොහොතකටවත්...

එක්
ක්වොන්ටමයකින්වත්...

....
...
..
.

එක් නිමේෂයක
නුඹ සිත තෙරපෙන
සියළු ආවේග
සියළු සිතිවිලි
පරයා නැගී
නුඹ වෙලා අවුළුවා
නුඹෙන් නුඹ
සොරකම් කොට
නුඹව පුරවන
ඒ පිටස්තර
සිතිවිල්ල

නොදමන්නේද
නුඹව ගෙන
මහා සාගරයකට
අත් ගසා පීනන්න
ඉමක් නොපෙනෙන
ක්ෂිතිජයත් පසුකරන්
නිමක් නැතිවම
උතුරා යන
මහා විශ්වයකට
නුඹ මැවූ...




Wednesday 3 September 2008

ප්‍රකාශන හරහා පොර වීම

වසර ගාණක් මම තුරුදැල භාවිතා කලේ විවිධාකාර අධ්‍යාපනික දේවල් වලට සහ විවිධාකාර විනෝදාශ්වාදී දේවල් වලට විතරයි. ඒක තුල තියෙන මිනිස් සමාජ ඇසුරු කිරීමක් වුණේම නෑ. මේ සයිබර් සමාජය මිනිස් චරිතත් එක්කම ඇසුරු කරන්න අරන් වැඩි කාලයක් ගිහින් නෑ තවම. ඒ නිසා මෙහෙම දෙයක් කියන එක හොඳද මන්දා. මේ කියන්න යන දේ හොඳක් හෝ නරකක් කියන්න යන්නෙ නෑ මම. ඒත් මේ කියන දේ හරහා මම වර්තමානෙ අපට හමුවන විවිධ විධියෙ මිනිස්සු ගැන යම් විධියක අදහසක් ගන්නයි උත්සාහ කරන්නේ.

මාර්ගගත සමාජ වලදි (Online Community) අපට හමුවන බොහෝ මිතුරන්ගෙ හැඳුණුම්පත්වල එහෙම නැත්නම් සිග්නේචර් හෙවත් සිගි වල නොයෙක් ලෝ ප්‍රකට විද්වතුන්, දාර්ශණිකයන්, කවියන් සහ ලේඛකයන් කරපු ප්‍රකාශ තියෙනව. එහෙම උදාහරණ දෙන්න නම් ඕන තරම් පුළුවන්. ඒත් ඒක හොඳ නෑ සහ මගේ මේ ලියවිල්ල කියවන්න තරම් දැනුවත්ව තුරුදැල සෙවණේ ඉන්න අය මේ කියන දේවල් ගැන දන්න නිසා මම උදාහරණ දෙන්න යන්නේ නෑ.

බොහොමයක් දෙනා තමන්ගෙ සිගිය අමතක කරලයි ඉන්නෙ හැබැයි. යටින් හරිම සරලව දාගෙන ඉන්නව

"I respect all the <community> members" කියල.

හැබැයි තමන් කියන දේට විරුද්ධ මතයක් ඉවසගන්න හරිම අමාරුයි. දුර දිග ගියොත් බණින්නෙ කුණුහරුපෙන්. කුණුහරුප කියල දෙයක් නැති වීම වෙනම දෙයක්. මම කියන්නෙ ද්වේශ සහගත වීමේ උපරිමය අර විධියෙ වචන වලට කැටි වීම ගැනයි. මම දැකල තියෙනව ඒ වගේ ඒව බොහොමයක්. මෑතකදි අපි කවුරුත් දන්න කීපදෙනෙක්ම තවත් මිතුරෙක්ගෙ සිංහල බ්ලොග් සටහනකින් අනවසයෙන් උපුටාගත්තු එකක් තමන්ගෙ වගේ ප්‍රසිද්ධ කරල ඒ ගැන හොඳට පහදල දෙන්න ගියාම කියපු කරපු දේවල් දන්නෝ දනිති! නොදන්නෝ අවැසි නම් අසා දැනගනිත්වාහ්! ;)

අනිත් කාරණේ අර කියපු විධග්ග ප්‍රකාශන. බොහෝ දෙනා කලින් කිව්ව වගේ විශිෂ්ඨයන්ගෙ ප්‍රකාශන තමන්ගෙ සිගියෙ දාගෙන ඉන්නව. තමන්ව ඒ හරහා නිරූපනය කරමින්. එහෙම වෙනව කියල හිතමින්. ඒව කියපු අයගෙ නමත් දානව වටිනාකම වැඩි කරගන්න. හැබැයි එයාල හැසිරෙන්නෙ නම් ඒ ප්‍රකාශන වලට අදාලව නෙවෙයි. හැමෝමත් නෙවෙයි. හික් හික්...

මේක තියෙන අවුල මේකයි. මේ සමහර ප්‍රකාශන (සම‍හර ඒව හො‍ඳේ) ඒ ඒ විද්වතුන් ප්‍රකාශ කලේ යම් යම් සිද්ධීන්ට අදාලව. යම් නිෂ්චිත කාල වකවානුවකට අදාලව. ඒව විශ්වීය ප්‍රකාශ නෙවෙයි සමහර විට. ඒව පොදු ප්‍රකාශ විධියට තමන් හරහා නාමිකව ප්‍රදර්ශනය කරල ඒ අය ලබාගන්න යන්නෙ මොකක්ද? යම් සිදුවීම් හරහා ඒ විද්වතුන් කරපු ප්‍රකාශ හැම දේටම පොදුවේ භාවිතා කිරීම හරහා පොරත්වය මිස අනෙකක් නොලැබෙන බවයි මට හිතෙන්නේ. මොකද ඒ වගේ ප්‍රකාශයක් හරහා තමන් එක්ක ගනු දෙනු කරන අයට තමා ගැන පූර්ව අදහසක් දෙන්න පුළුවන්නේ. ඔයා මේ කතා කරන්නේ මේ වගේ දරුණු ප්‍රකාශන කරපු කට්ටිය ඇසුරු කරන සිරා‍ පොරක් එක්ක හරිද වගේ එකක්. ;) ඉතිං මට නම් හිතෙන්නෙම මේ ප්‍රකාශන හරහා පොර වෙන්න දරන වෑයමක් කියලයි. තමන්ගෙ මෝඩකම වහගන්න පිට අයගෙ ප්‍රකාශන අමු අමුවෙ කොල්ලකනවා. අනික සමහර ප්‍රකාශ වලින් යම් ආකාරයක පිරිසකට චෝදනා එල්ල කරද්දි ඒක භාවිතා කරන අය දන්නෙ නෑ තමන් ඉන්නෙත් ඒ ගොඩේ කියල. සමහරු ඒ කියල තියෙන දේවල්වල තේරුම දන්නවද කියලත් සැකයි.

තමන් කාගෙන් හරි උපුටල කරන ප්‍රකාශනය පිළිබඳව වගකියන්න පුළුවන් විධියට හැසිරෙන අයට මේක අදාල නෑ. මොකද මමත් මේ කරල තියෙන්නෙ ප්‍රකාශන හරහා පොර වෙන අය ගැන කතා කිරීම හරහා පොර වීමක්නේ එහෙම බැලුවම. හික් හික්... ඒ නිසා තමන් භාවිතා කරන ප්‍රකාශනයට අදාලව ජීවත් වෙන අය මේ වාචාලයගෙ කටමැත දෙඩවිල්ලට සිත් අමනාපකම් ඇතිකරගන්න එපා.

මාර්ගගත සමාජවල සාමාජිකයො මේ මම කතා කරපු දේ ගැන හොඳටම දන්නව. මම කියන්නෙ මොන වගේ අය ගැනද කියලත් එයාල දන්නව ඇති. මොකද එහෙම අය ඉන්නව. කොහොම වුණත් ඒක ලොකු ගැටළුවක් නෙවෙයි. කොටින්ම ‍ඒ ගැන වමනෙ කරල කතා කරන්න තරම් ඒක වටින්නෙත් නෑ. නමුත් එහෙමත් එකක් තියෙනව.



Sunday 31 August 2008

ජයකොඩි අයියගෙ අම්මා

ජයකොඩි හෙවත් ජයකොඩි පතිරත්නලාගේ හේමන්ත කුමාර ජයකොඩි කෑගල්ලේ ඉපදිල හැදිල වැඩිල අවුරුදු බර ගානක් ලංකාවෙ සහ මාස කීපයක් තවත් රටවල් දෙකක චාටර් වෙලා දැන් මාත්‍ එක්ක එකම ආයතනයේ වැඩ කරන සහ එකම කාමරයේ වාසය කරන මගේ සහෝදරයෙක්. එයා මරිසිය නම් දන්නෙම නෑ. හික් හික්. අපේ ලොක්කවත් එයාගෙ සාක්කුවට දාගන්න එයා දන්නවා. ඒත් මනුස්සයෙක් වශයෙන් එයාගෙ හොඳ සහ දැනුම ගැන කියන්න වචන නෑ.

මේක පහුගිය දිනයක මම එයත් එක්ක අපේ රාත්‍රී ආහාරය ගන්න පුංචි හෝටලයකට ගොඩ වැදුණු වෙලාවක වුණ වැඩක්. අපේ කෑම ඇණවුම දීලා අපි දෙන්නා හුලං වදින්නත් එක්ක එලියට ආවා. පාරෙ වාහන සහ අල්ලපු ඇඳුම් කඩේට ආපු නා නා ප්‍රකාර වාහන අපේ ඇස් වලට එලි එව්වා. මිනිස්සු කඩිමුඩියෙ දුවනවා ගෙවල් වල‍ට. වෙලාව රෑ 8 විතර වෙලා තිබුණ. අපි යෝගට් එකක් අතට අරන් කතාවක් දාන්න සෙට් වුණා. (එයා හොඳට වියදම් කරනවා. ඒ නිසා එයා එක්ක ඉද්දි මට නොමිලේ රස මසවුළු ලැබෙනවා. :D :D)

හෝටලය ඉදිරියෙ පාරෙ හිටිය වයසක කාන්තාවක්. අම්ම කෙනෙක්. වැරහැලි නොවුණත් ඇඳුම් කිලුටුයි. ලොකු පොලිතින් මල්ලක එයාගෙ අඩුම කුඩුම හොයනවා. නමුත් හිඟාකන කෙනෙක්ට වඩා ටිකක් පෝසත් ගතියක් තිබුණා.

එයා ඉද්දි අපට යෝගට් කන්න මොනාද වගේ. මටත් අප්සෙට්. මම නොදැක්ක වගේ ඉන්න ගියාට ජයකොඩිට එහෙම ඉන්න බැරි වුණා. එයා අර අම්ම ගාවට ගියා.

"අම්ම කාලද ඉන්නේ?"

ඒ අම්ම ජයේ දිහා බලල මොනවද කිව්වා.. එයා රෑට කාපු බවක් තමයි ඇඟවුණේ. ඒත් ජයකොඩි තවත් මොනවද ඇහුවම එයා කිව්ව මොනව හරි බොන්න ඕන වගේ එකක්.

පස්සෙ එයාව කඩේ ඇතුලට එක්ක ගිහින් ශීතකරණය ඇරල එයාටම තෝරගන්න දුන්නම එයා තත්පර 15ක් විතර බීම වර්ග තෝරල (ඒ තත්පර 15 එයාට විනාඩි 15ක් වෙන්න ඇති කියල මට පස්සෙ හිතුණ.) අන්තිමේ තැඹිලි පාට බෝතලයක් ගත්ත. පස්සෙ මුල්ලක තිබුණ රවුම් මේසයක ඉඳන් එයා හෙමින් ඒක බොන්න ගත්තා. අපි වෙනම මේසෙක ඉඳන් ආයෙත් කතාවට සෙට් වුණා. විනාඩි දෙක තුනකට පස්සෙ මේ අම්මා තොල කට පිහිදමින් ඇවිත් ජයකොඩි ගාවට කිට්ටු වුණා.

"පුතා මාව දන්නවද?" එයා ඇහුවා.

"ඒ මොකෝ ඒ?"

"ඇයි මට බීම එකක් අරන් දුන්නේ?" ආයෙත් ගැටළුවක්.

"ආ .. ඔයා බඩගින්නෙ ඉන්නව කියල හිතලනෙ මම කතා කලේ." ජයේට මාර හිනාවක් ගියා. ඒ අම්මගෙ මූණෙත් හිනාවක් ඇඳුණා. මට මාර ආතල්.

"ඕකට ඉතිං දැනගන්නම ඕනද?" මමත් හිනාවෙලා කිව්වා.

ඒ අම්මා යන්න ගියා හෙමින්. මම තීරණය කලා මේක ලියන්න ඕන කියලා.

"ඔය ගෑණි ෂුවර් එකට අද අඬයි" මම කිව්වා.

"ඒ මොකෝ?"

"එයාව ජීවිතේටම ඒ වගේ අගය කරල නැතුව ඇති" මම කිව්වා.

ජයකොඩි හිනා වුණා විතරයි.

මේ ජයේ මම ඉද්දිම මේ දේවල් කරපු මුල් වතාව නෙවෙයි. එයා අතේ තියෙන ගානක් ඕන වෙලාවක දෙන්න සූදානම්. ඒ නිසාම එයා සතු වස්තුව මිනිස්සු සහ හිතේ සතුට විතරයි. වෙන ධනයක් නෑ. ම‍ම හිතුවා මම මේ වගේ අය එක්ක ඉන්න ලැබුණ මාර චාන්ස් කාරයෙක් කියලයි.

ඒ එක්කම මතක් වුණේ මට අපේ මහ ගෙදරදි Gadol කියන යාළුවා හොයල දුන්න මේ සින්දුවයි. මේක තිබුණෙ මෙතන. මම දන්නවා අපි හිනාවෙන විධිය. ඒ අපි විසින්ම හෝ වෙනත් කෙනෙක් විසින් කරන හොඳ දෙයක් නිසා දැනෙන සතුටට. ඒත් ඇත්තටම නම් අපට හිනාවෙන්න බෑ තමයි.

SKITZO - Oba Hinawenne Kohomada?(Acoustic Live)
මේකෙ අවසන් පද කීපයෙ කියන දේවල් මට හරියට ඇහෙන්නෙ නෑ. කවුරු හරි ඒක හරියට මට කිව්වොත් මේක වෙනස් කරල දාන්න පුළුවන්. ෴ සංශෝධනය - නිවැරදි පද මෙතන ඇත.

Friday 29 August 2008

ආදරය - ප්‍රකාශ කිරීම සහ දරාගැනීම

මේකත් මට හිතුණ තව ප්‍රලාපයක්. කාලයක් ‍වෙනව කල්පනා වෙලා. ඒත් ඉතිං කියන්න කලින් තවත් කල්පනා කරන්න ඕන වුණා.

කොහොමත් මම ‍හැමදාම කියන්නෙ නොයෙක් ඇසුරු කිරීම් හරහා ගොඩනගාගත්ත මගේ මතයක් තමයි. මමත් ඒ තුල නොඉන්න පුළුවන්. ඒත් මම ඉන්න තැන අනුව මම හිතන දේ සීමා කරගන්න මම සූදානම් නෑ. ඒ නිසා මට කල්පනා වෙන, සංවාද කල යුතුයි කියල හිතෙන දේවල් කියන්න මැලි කමක් නෑ මට. මම මේ ගැන කතා කරන්න මිස මේ කිසිවක් නරකයි හෝ හොඳයි කියන්න සූදානම් නෑ. මගේ වත්මන් ගුරෙක් වන නදීක ගුරුගේ කියපු විධිය‍ට සමාජය තුල වර්තමානය කිසිවිටක හොඳක් හෝ නරකක් වෙන්නෙ නෑ. ඒක හුදු තත්ත්වයක් විතරයි. ඒක ගැන කතිකාව හරහා සාධනීය යමක් බෙදාගන්නව හැර ඒක අන්ත වලට ඇදල දාන එක නම් තේරුමක් නෑ. මොකද මම ඉන්නෙත් මේ කතාව ඇතුලෙමයි. මමත් හැමෝම වගේ. ඒත් යම් යම් මතවාද සහ ජීවන රටාවන් අනුව මම ටිකක් වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් හැමෝම එකිනෙකාට වෙනස්නේ.

ඉතිං මේ ගැනත් අපි කතා කරමු.

පහුගිය ටිකේම විටින් වි‍ට කතා කරපු ආදරයේ තවත් පැත්තක් කතා කල යුතුයි කියල හිතුණ. අපි කියන විශ්වීය ආදරය සහ අනේමන්දා ආදරය ඇරඹුමේ සිටම වෙනස්. ඒ කියන්නේ අනේමන්දාව අපි ප්‍රකාශ කරනවා. සරලව කිව්වොත් 'අහනවා'. මේක මේ ආදරයේ සිම්පල්, මැන්ඩලින් සහ අනිවාර්ය එකක් නේ. අහන්නෙ නැතිව ඒ ආදරය ඒක පාර්ශවිකයි. තනියම ලව් කරනවා. මනෝ කඳු හදනවා. හිතෙන් අනාගතය මවනවා. ඒක ප්‍රකාශ කලාම තමයි ආදරය පරිසමාප්ත වෙන්නේ.

මේ ප්‍රකාශ කිරීම අපි තුල තියෙන ආදරණීය ආත්මාර්ථකාමී හැඟීම හෙවත් අයිතිකරගැනීමේ ආසාව නේද? මොකද අයිති කරගැනීමේ උවමනාවල් නැති වෙනත් අයට අපි ආදරය ප්‍රකාශ කරන්නේ නෑනේ. මේක ආදරයේ හැම ප්‍රභේදයකටම අදාලයි. අපි අපේ අම්මට තාත්තට ආදරය ප්‍රකාශ කරන්නෙ එයාල අපේ නිසා. නංගිට අක්කට මල්ලිට නංගිට ඇතුළු බොහෝ අයට අපි ආදරය ප්‍රකාශ කරනවා ‍විවිධ ක්‍රම වලින්. ඒ එයාල අපේ හින්දා. පෙම්වතියකට හෝ පෙම්වතාට ආදරය ප්‍රකාශ කරන්නෙ එයාල තමන්ගෙම කරගන්න ඕන නිසා.

ඒ තමයි ප්‍රකාශ කිරීම ගැන මගේ සිතිවිල්ල.

එහෙම නැතිව ආදරය කරන්න නම් ඒක දරාගන්න වෙනව. ඒකෙන් අපිට පිරෙන්න පුළුවන්. අපි තුලම තෘප්ත වෙන්න පුළුවන්. ස්වයං වින්දනයක් වගේ. හික් හික්! ඒ වගේම ටිකක් විශ්වීයයි. හිතන්න අමාරු වුණත් අපට යම් යම් හේතු මත ආදරය දරාගන්න පුළුවන්. ඒ කියන්නෙ මම දන්න අයගෙ සහ මගේම පවා යම් අත්දැකීම් අනුව අපට ආදරය ප්‍රකාශ කරන්න බැරි ඒත් ආදරය හිතෙන වෙලාවල් තියෙනවා. පාරෙ යන කෙල්ලො කී දාහක් ගැන ආදරේ හිතෙනවද අපට? ;) ලිංගික උවමනාවකින්ම නොවුණත් ඒක ආදරයට සමාන හැඟීමක් නෙවෙයිද? ඒක අපට දරාගන්න වෙනව නේද? ඒ නැතත් අයිතිකරගැනීමේ හැඟීමකින් තොරව අපට අප තුලම ආදරය දරාගන්න වෙන අවස්ථා ඕන තරම් නේද?

මේ ආදරයන් දෙකම එකම අරමුණක් මත පදනම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනේමන්දාව.

මම නම් ආදරය ප්‍රකාශ කරනවට වඩා දරාගත්ත අවස්ථා වැඩියි. බොහොමයක් අයට ආදරය ප්‍රකාශ කරන්න හිතන් එයාල ගැන හිතමින් ආදරය දරාගනිමින් ඉන්න කාලෙදි ඒ ෆැන්ටසිය බිඳ වැටෙන යමක් වෙනව. එකකොට ප්‍රකාශ වීමක් වෙන්නෙ නෑ. හැබැයි දිගටම දරාගන්නව. ගෑණු ළමයි මිතුරියන් විධියට ඇසුරු කරන කාලයෙදි බොහෝ පිරිමින් මේ ආදරය දරාගන්න අතර ඒක ප්‍රකාශ කරල ඇයව තමන්ගේ කරගන්න හීනයක් දකිනව. ඒක මම හිතන්නෙ ඕනම පිරිමියෙක්ට අදාලයි. පිරිමි කතිකා තුල අපි කතා වෙන විධියට ඒ ට්‍රයි කරන කාල සීමාව මාරම සුන්දරයි.

ඒ ගැන මම පණ යනකල් අහල තියෙන සහ දැනටත් අහන MLTR - Michael Learns to Rock සෙට් එක ලස්සන සින්දුවක් කියල තියෙනව.

More Than A Friend You got me counting the seconds
It happens every time
I'm waiting for the moment
we can sit down and talk for a while
And every time that you're near me
my heart is running away
How can I tell you when words don't come easy
and there is so much I'm trying to say

Chorus:
I wanna know that love will surround us
and you'll share it with me every day
Tell me you'll care for me now and forever
I'll give anything to hear you say
that I'm more than a friend

I'm gonna try in the future
not to live in the past
I guess that I was a dreamer
if I thought it could ever last
But every time that I see you
you bring me out in the sun
How can I hide it when we are together
I just know that you're the only one

Chorus:
I wanna know...

I wanna make you see
everything you are to me
Try to understand
I wonder if you can
The love I have for you
will always be true




Thursday 28 August 2008

මගේ භාෂා ලෝකය

මේක කවියක්. හික්!

විස්තර කමෙන්ට්ස් වලින් කතා කරමු.


Wednesday 27 August 2008

රවියි බෝයි මායි කවියි ඉරිදයි

හික් හික්! මේක ඉරිද දිනයේ (24) දින සටහනක් වගේ.

ඉරිද නැගිටිනකොට 9.30යි. ඉරිද තියෙන්නෙ පරක්කු වෙලා නැගිටින්න. දන්න අය නම් කියන්නෙ උදේම නැගිටින්න කියලයි. ඒත් හැමදාම උදේම නැගිටිනවනේ.

උදේ නැගිටීම ගැන කියද්දි මතක් වුණේ ඉන්දියාවෙ නළුවො අතර මම ආසම නළුවෙක් වෙන නස්රුදීන් ෂා සහ එයාගෙ දුවත් එක්ක මොකක්ද පත්තරේකින් කරපු සම්මූඛ සාකච්ඡාවක්. හෙන කාලෙකට කලින් මම දැක්කේ.

ඔයාල මෙයාව දැකල ඇතිනේ...


මෙයාගෙ චිත්‍රපටි ගොඩක් මම බලල නෑ. බලපුවගෙන් මතක තියෙන්නෙ චයින ගේට් විතරයි. ඒත් මෙයා රඟපාපු හැම චරිතයක්ම හරි අපූරුයි කියල මතකයි.

මේ සම්මුඛ සාකච්ඡාවෙදි එයාගෙන් අහනවා පිබිදීම සහ නින්ද ගැන. මෙයා කියනවා මම පුළුවන් තරම් උදේම නැගිටලා පුළුවන් තරම් කලින් නිදාගන්නවා කියල. ඒ ප්‍රශ්ණෙම දුවගෙන් ඇහුවම එයා කියන්නෙ මම පුළුවන් තරම් පරක්කු වෙලා නිදාගෙන පුළුවන් තරම් පරක්කු වෙලා නැගිටිනවා තියල. පරම්පරා වෙනස. මම නම් මෙයාගෙ දුවගෙ පරම්පරාවේ. සමහර විට ඊටත් පස්සෙ එකේද මන්දා. මොකද මම ඒ විධියට අමතරව සමහර දවස් වලට පුරා දවසක් දෙකක් නිදාගන්න එක විතරක් කරනවා. අර වලස්සු වගේ. :D :D

කොහොම හරි ඉතිං නැගිට්ටා. රෙදි කීපයක් තිබුණා හෝදන්න. පහුගිය සතියෙම පට්ට ගහපුවා. හේදුවා. රැවුල කපන්න විදුලිය තිබුණෙ නෑ. සති 3 - 4 ක් දිගට රැවුල වැවිල නිසා ඉරිද කපන්න හිටිය මගේ කාමරේ මිතුරගෙ විදුලි රේසරයෙන්. ඒකටත් කෙලියා. ඒක තියෙන හින්දා වෙන රේසරයක් තිබුණෙත් නෑ. කමක් නෑ ලබන සතියෙ කපනවා කියල නිකන් හිටියා. 12.00 විතර එලියට බැහැලා පිටි ගුලි කීපයක් ඇද්දා උදේටයි දවල්ටයි දෙකටම. පස්සෙ එල්ලුනා කොට්ටාවක.

මම කොට්ටාවෙන් බහිනකොට හරියටම 1යි. හරියටම කියපු වෙලාව. මම හිතුවෙ බස් එක ඉක්මනට යයි කියල වුණාට මෙයා මහරගම හිටියනේ විනාඩි 10ක්ම. කොහොම හරි බෝට කතා කලා. ම්හු. වදිනවා වදිනවා ගන්නෙ නෑ. පස්සෙ ගත්තා රවිට. ගත්තෙ බෝ මං හිතන්නේ. එහෙම්මම වම් පැත්තට හැරෙන්න කිව්වා. හැරෙද්දි මෙන්න බඩු දෙක එතන.

ඊට පස්සෙ ඉතිං විනාඩි කීපයක් හිටගෙනම කතා කලා. අදාල දේවල් අතරෙ අදාල නැති ඒව සහ අදාල නැති ඒව අතරෙ අදාල ඒව. මම නොදන්න live ඒව ගොඩක් මම දැනගත්ත. ඒ නිසා දැං මට හොයන්න දේවල් ටිකක් තියෙනව. මට තේරුණේ මේ online සමාජයෙත් සීතල යුද්ධයක් තියෙනව කියලයි. ඒ සීතල යුද්ධ නිසා පුද්ගලික ජීවිත කැලඹෙන තරම ඇත්ත ජීවිතේට වඩා භයානකයි. මොකද මේ online ජීවිතය තුල මනෝකඳු හරහා මිනිස්සු පුදුම විධියට ඇන්දෙනවා. ඇත්තටම ඒකෙන් ගැලවෙන්නත් අමාරුයි වගේ. තමන් කවුද කියල අමතක නොකර ඉන්න තරමට හොඳයි.

රවිට අපි එක්ක ඉන්න ලැබුණෙ නෑ. බෝයි මායි බෝ වුණා. සුදු ලේබල් කෑල්ලක්, කණා මැදිරියො තුන් දෙනෙක් සහ දිවට දැණෙන්න දෙයක් එක්ක ගත කරපු පැයකට මදක් වැඩි කාලය හරියට මහ මුහුදක් ගාව ඉන්න හැඟීමක් මට ගෙනාවා. මට ගිලෙන්න පුළුවන් මුහුදක්. අපි අතර තර්ක නැති මතවාද සහ එකඟවීම් රාශියක් හුවමාරු වුණා. පොත්, චිත්‍රපටි සහ දන්න අඳුරණ අය ගැන දිග කතාවල් අතරෙ නිහඬවීමක් තිබුණෙ නෑ. ඒ කතා කරපුව මෙතන කියන්න දිග වැඩියි. බෝ සහ මම කවි වලින් ඒව කතා කරල තියෙනව ඕනවටත් වඩා. අර පීනන කතාවෙදි කතා වුණා වගේ බෝ කිවුවෙ අතපය ගහන විධිය කියන්න පුළුවන් වුණාට පීනන එක තමාගෙ වැඩක් කියලයි.

අපි වෙන් වුණා. මම ගෙදර ඇවිත් පැය බාගයක් කැරකෙමින් ඉඳලා නිදාගත්තා. නැගිටිනකො‍ට රෑ 11ට ලඟයි. බඩගින්නක් දැණුනෙත් නෑ. ඉතිං පහුවදා උදේ වෙනකල් ආයෙත් නිදි. ෂාහ්!

ඊට පස්සෙ ඉඳන් හිතන්නවත් වෙලා නැති තරම් වැඩ අයියෝ.... :(

Sunday 24 August 2008

ආදරය - ලිංගිකත්වය උදෙසා සංස්කෘතික මරිසියක්?

මම ගුටි කන වැඩ කරන්න මාර ආසද කියල මම දන්නෙ නෑ. පුළුවන් තරම් ගුටි කෙලි වලින් වැලකිල ඉන්නයි මම කැමති. ඒත් හිතෙන දැණෙන දේවල් බොක්කෙන්ම වමනෙ දාන්න ඕන නිසා ගුටි කන්න බලාගෙන හරි ආදරය හෙවත් අපේ ජනප්‍රිය අනේමන්දාව ගැන මගේ විශ්ලේෂණනයක් දාන්න ඕන කියල හිතුණා. මේ ගැන කලින් කතා කරපු අයත් අම්බානක්ම ඇති. මේ මම හිතන දේ.

මිනිස්සු අනිත් සත්තුන්ගෙන් ලිංගික චර්යා අතින් වෙනස් වෙන්නෙ මිනිස්සු සංස්කෘතික පදනමක් මත ලිංගික පාලනයක් පවත්වන නිසයි. සත්තු බොහෝමයකට මම දන්න තරමින් සංස්කෘතියක් කියල විශේෂ යමක් නෑ. සාමූහික සත්ත්ව කණ්ඩායම් තුල ලිංගිකත්වය සමූහය තුල පාලනය වන විධියේ යම් යම් අවස්ථා තියෙනව වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ ලිංගික චර්යා සැලකුවම සතුන් සහ මිනිසුන් සංස්කෘතිය කියන කාරණය මත සෑහෙන වෙනස් කියල මනුස්සයෙක්ට තේරෙන්න ඕන.

මිනිස්සු අතර ලිංගිකත්වය පාලනය වන ප්‍රධාන සාධකය සංස්කෘතික බැඳීම් තමයි. මම ඒක නරකයි කියනව නෙවෙයි. ඒක එහෙම නොවී මිනිස්සු මේ තරම්, මේ දේවල් ගැන මේ වගේ නැවත කතා කරන්න තරම් තාක්ෂණිකව සහ සාමාජිකව දියුණු වීම (?) අරුමයක්. මිනිස්සු කුතුහලය සහ සිතීම හරහා දේවල් නිපදවන්න, සොයන්න ගත්තම ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය විවේකය හදල දුන්නෙ පවුල කියන සංස්ථාවද? දරුවෙක් තරුණයෙක් සහ වැඩිහිටියෙක් කියන හැම මට්ටමකදීම පවුල තුල යම් මානසික නිදහසක් තිබුණද මානවයට? ඒ තුලින් ද මේ සංස්කෘතිය විහිදුණේ?

කොහොම හරි ආයෙත් වර්තමානයට ආවොත් අපි අද අපට තියෙන යම් යම් පවුල් සීමා තුල ලිංගික දේවල් නොහිත ඉන්න එකනෙ කරන්නේ. ඕක ගැන කියන එකත් මළ මගුලක් තමයි. ඒත් කමක් නෑ. අපි අපේ සහෝදරියන් හෝ සහෝදරයින් ගැන හෝ වෙනත් ඥාති කාන්තාවන් හෝ පිරිමින් ගැන සිතිවිලි පහල නොකරගෙන ඉන්න නේද උත්සාහ කරන්නේ? එහෙම නැතිනම් එයාල ගැන ඇත්තටම සිතිවිලි පහල නොවීමද වෙන්නේ? මන්දා මම නම් යම් යම් අවස්ථාවලදි මගේ ඥාති.. හ්ම් ඕන නෑ ;)

කොහොම හරි ඕක අපේ සංස්කෘතික සීමාවනේ. ඒ සීමාව ඇතුලෙ අපි අපේ ඥාතීන්ව සහ මිතුරන්ව ඇසුරු කරනවනේ. මේ හරහා අපි එයාලට දක්වනවනේ යම් ආදරයක්.... ඒ අ‍ය එක්ක ගැවසෙන්න, දේවල් ‍‍බෙදාගන්න, උදව් කරන්න වගේ දේවල් හරහා අපි ඒ අය වෙනුවෙන් දක්වනවනේ යම් කැපවීමක්! එයාල වෙනුවෙන් අපේ කාලය, මුදල් සහ අපේ ජීවිතය පවා දෙන්න තරම් සූදානම් වෙන කැපවීමක්.

ඕක ආදරය වෙන්න ඕන නේ නේද?

මේ කැපවීම මුළු සමාජයක්ම, නැත්නම් දන්න නොදන්න සෑම මිනිසෙක් වෙතම, ඒත් නැතිනම් ගමන් කරන සහ එක තැන සිටින සියළු සත්ත්වයන් (සතුන්, ගස්, ගල් වගේ ජීවී අජීවී හැම දේම) වෙතම දක්වන්න පුළුවන් නම් ඒක විශ්වීය ආදරයක් වෙනව. බුද්ධ ජේසුස් සහ බොබ් මාලෙ වගේ අපි දන්න බොහොමයක් දාර්ශනිකයන් සහ නොදන්න අති මහත් දාර්ශනිකයන් කන්දරාවක් මේ විශ්වීය ආදරය ගැන ‍කතා කලා. කලාකරුවො තමන්ගෙ නිර්මාණ හරහා මේ විශ්වීය ප්‍රජාව පිළිබඳ තියෙන ආදරය ගැන කතා කලා. ඒ හරහා මතවාද ගොඩ නගල සමාජය මානුෂික කරන්න දායක වුණා. මිනිස්සු ශිෂ්ඨ කලා. පසු කාලෙක ආගමික කණ්ඩායම් හරහා කාලාන්තරයක් පවතින්න තරම් එයාල සමාජය සහ විශ්වය වෙනුවෙන් දක්වපු මේ ආදරය බලවත් වුණා. මේක විශ්වීය ආදරයයි!

ලිංගික ජීවිතයක් කියල එකක් සංස්කෘතිකව හෝ පුද්ගලානුබද්ධ ලෙස ඇරඹෙන කාලයට හෝ ඒ වෙනුවෙන් සබඳතාවයක් පවත්වද්දි දක්වන කැපවීම නොහොත් අනේමන්දා ආදරයත් අර සංස්කෘතික රාමුවේ තියෙන නිසා ඒ සම්බන්ධව ආදරණීය ප්‍රලාප, ගීත, කතා, බයිලා, සංවාද සහ මල විකාර ගොඩයි. ඒත් ඒ ආදරය දිවෙන්නෙ කොහාටද? තව දුරටත් මනුස්සයෙක්ව සංස්කෘතික ලිංගික සීමාවන්ගෙන් මායිම් නොකරන අතිශය විවෘත බැඳීමක් වෙතට. ඒත් ඒ බැඳීම සංස්කෘතිය තුල පවතින, සංස්කෘතිය විසින් වෙලාගත් එකක් නිසා ඒක සම්බන්ධව අතුරු කතා ගොඩයි. ඒ අතුරු කතා හරහා නැවත ආදරය කියන සංකල්පයට අර්ථ සහ වටිනාකම් ලැබිල තියෙනව සහ ඒ හරහා චක්‍රීයව මුළු සංස්කෘතියම පවා මේ සම්බන්ධයේ පැවැත්ම මත තීරණය වෙනව. මොකද මේ කියන ආදරය හරහා ගොඩනැගෙන ඒකකය තුලින් තමයි සංස්කෘතිය පවත්වගන්නත් මිනිස්සු බිහි වෙන්නේ. මේක අති විශාල ලෙස චක්‍රීයව පවතින ක්‍රමයක් හෙවත් system එකක් වෙන්නෙ ඒකයි. බුදුන් කිව්ව වගේ චක්‍රයක්. මේ චක්‍රීය පැවැත්මේ එක තැනක අපි පවතිනවා. නටන වතුරෙ පෙණ බුබුලු මතු වෙනව වගේ අපි ඇවිත් යනව. එක පෙන බුබුලක තිබුණ ජල අංශු බිඳිල තවත් වෙනම බුබුලක් හදනව. පරම්පරාව වගේ.

හික්...

මටත් මොංගල්! කතා කරන්න ගත්තෙ ලව් ගැන... මේ මල විකාර දොඩවනවා. කොහෙද මේ බයිල අස්සෙ ආදරය අමතක වුණා.

මේ අනේමන්දා ආදරය මට අනුව සංස්කෘතික මිනිසාගේ ලිංගික උවමනාව සංස්කෘතිකව සපථ කිරීමේදී භාවිතා කරන ක්‍රමවේදයයි. නිකං ලිංගිකත්වය උදෙසා වන සංස්කෘතිය මරිසියක් වගේ එකක්. නිකම්ම ලිංගිකව එක් වීමට වඩා මිනිසා කියන හැඟීම් මත සංස්කෘතික වුණ සත්ත්වයා හැඟීම් හරහා ලිංගික සම්බන්ධයක් වෙත ගමන් කරන්න අවිඥාණිකව කැමතියි. ඒ කැමැත්තත් සංස්කෘතිය විසින් කාලයක් තිස්සෙ ඔළුවල හදපු ගලවල වැඩක් නැති පරිපථයක්. ආදරය යනු ලිංගික උවමනාව සංස්කෘතික කරන වචනයයි. ඒ වචනය හරහා බිහි වුණ සංස්කෘතික නිර්මාණයන් කොයි තරම්ද? අර කිව්ව වගේ කවි, කතා, ගීත වලින් පටන් අරන් කොයිතරම් තියෙනවද අප්පා....

මාත් එකක් ලිව්වා....





හික් හික්!

බොහෝවිට අපි ආදරය කියල එක වරම කියන්නෙ මේ ලිංගික ආදරයටයි. නමුත් හැමෝටම අපි දක්වන්නෙ ආදරයක් තමයි. ඒකෙ ප්‍රභේද තියෙනව. ගොඩක් අය ලෝකෙ වැඩිපුරම ආදරය කරන ගැහැණිය හෝ පිරිමියා අම්ම තාත්ත එක්ක පටලවගන්නෙ මේ ආදරයේ වෙනස් ප්‍රභේද හඳුනා නොගන්න නිසයි. ලිංගික ආදරය වෙන එකක්. අම්මටයි තාත්තටයි අපි දක්වන්නෙ වෙනස් විධියෙ ආදරයක්. මෙතැන් පටන් මේ වමනෙ ගොඩේදි මම ආදරය කියන්නෙ මේ ලිංගික ආදරයටයි.

මේ ආදරය ආත්මාර්ථකාමී වෙන්නෙත් සංස්කෘතිය විසින් පුංචි කාලෙ ඉඳන් ඔළුවෙ හදපු පරිපථ නිසා තමයි. බටහිර සංස්කෘතිය තුල ආදරය හරිම සරල ක්ෂණික දෙයක් වෙන්නෙත් (එහෙම නොවෙන අවස්ථාත් ඒ වගේම තියෙනව හො‍ඳේ) එයාලගෙ හි‍ත් වල මේ ආදරය කියන එක හැදිල තියෙන්නෙ වෙනස් විධියකට නිසයි. ඒ කියන්නෙ ඒ රට වල තියෙන්නෙ වෙනස් සංස්කෘතියක් නිසයි. හැබැයි ආදරයේ මේ ආත්මාර්ථකාමී හැඟීම නම් පොදුයි මට හිතෙන විධියට. ඒක එහෙම නොවුනොත් මේ කැපවීම් කරන්න අමාරුයි ලිංගික ආදරයකදි. මොකද තමන් යමක් අපේක්ෂාවෙන්නේ ඒ ආදරය තුල ඉන්නේ. ගණු දෙනුවක්නෙ ඒක. ආත්මාර්ථකාමී නොවුණොත් ඒ ආදරය විශ්වීය වෙනව. ඒත් ලිංගික ආදරය පවතින්නෙ මේ ක්‍රමය හෙවත් වෙන ආකාරයකින් කියනවා නම් වර්ගයා පවත්වන්න. (කවදාවත් අපි හිතල තියෙනවද ඇයි ඔය මගුල පවත්වගන්න ඕන කියලා, එහෙම හිතන්න පුළුවන්කම තිබිලත්) එතනදි ආත්මාර්ථය යම් මෙහෙයක් කරනව කියලයි දැනට මම හිතන්නේ. මොකද මේ කතාව සම්පූර්ණයෙන් නිවැරදියි කියන්න තරම් මම ඒක ගැන හිතල නෑ. සහ ඒ ගැන කතා කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙත් අඩුවෙන් මට මගේ යාළුවන් අතරෙදි පවා.

මට මතක් වෙනව කාලෙකට කලින් රූපවාහිනියෙ ගිය වැඩසටහනක් මිනිසාගේ පරිණාමය ගැන. ඒකෙ එක තැනක ආදි වානර මානවයෙක් තමන්ගෙ හිත ගත්තු තැනැත්තිය එක්ක ලිංගික බැඳීමක් අරඹන්න කලින් මාළුවෙක් අල්ලල එයාට ගෙනත් දෙනව. එයාව සතුටු කරන්න. ඉතිං මේ ආදරණීය පුරුද්ද මානව පරිණාමයේ පවා අතිශය ඈතට දිවෙනව කියල මට හිතුණ.

කොහොම නමුත් මේ ආදරය තවම මට අනේමන්දාවක්. වටහාගත නොහැක්කක්. ඒක කියාගන්නත් බෑ වගේ. කොහොම නමුත් මේ නුරාව හරහා ‍ගොඩනැගුණු අනේමන්දා ආදරයත් යම් දවසක විශ්වීය ආදරයක් වෙනව කියල මම දන්නව.

ඒ ගැන මගේ 16 පන්තියෙ ගුරුවරයෙක් කියල තියෙන දේ බලන්නකෝ.




Bob Marley - Is This Love

I wanna love you and treat you right;
I wanna love you every day and every night:
We'll be together with a roof right over our heads;
We'll share the shelter of my single bed;
We'll share the same room, yeah! - for Jah provide the bread.
Is this love - is this love - is this love -
Is this love that I'm feelin'?
Is this love - is this love - is this love -
Is this love that I'm feelin'?
I wanna know - wanna know - wanna know now!
I got to know - got to know - got to know now!

I-I-I-I-I-I-I-I-I - I'm willing and able,
So I throw my cards on your table!
I wanna love you - I wanna love and treat - love and treat you right;
I wanna love you every day and every night:
We'll be together, yeah! - with a roof right over our heads;
We'll share the shelter, yeah, oh now! - of my single bed;
We'll share the same room, yeah! - for Jah provide the bread.

Is this love - is this love - is this love -
Is this love that I'm feelin'?
Is this love - is this love - is this love -
Is this love that I'm feelin'?
Wo-o-o-oah! Oh yes, I know; yes, I know - yes, I know now!
Yes, I know; yes, I know - yes, I know now!

I-I-I-I-I-I-I-I-I - I'm willing and able,
So I throw my cards on your table!
See: I wanna love ya, I wanna love and treat ya -
love and treat ya right.
I wanna love you every day and every night:
We'll be together, with a roof right over our heads!
We'll share the shelter of my single bed;
We'll share the same room, yeah! Jah provide the bread.
We'll share the shelter of my single bed


මේකෙ මුල් පද වල එයා කියනව I wanna know කියල. ඒත් පසුව කියනව Yes, I know කියල. එයත් මේ සියළු ආදරයන් විශ්වීය ආදරයෙන් කෙලවර වෙනව කියලයි කියන්නේ මට හිතෙන විධියට. ඒ විශ්වීය ආදර සර්වත්‍ර කුලකය තුල ඇති එක් මියුරු ආදරයකදි කරන භෞතික දේවල් ටික එයා කියල දානව.....

ආදරයෙදි කොයි තරම් වට රවුම් ගැහුවත් ඔය ටිකනේ අන්තිමට කරන්නෙ නේද?

මම නං දන් නෑ ඕං. හිතල බලන්නකෝ...


Friday 22 August 2008

පරිපථ

පරිපථ හෙවත් සර්කිට්! මේව තියෙන්නේ ඔළුවෙ. අපේ ඔළුවෙ අපි පුංචි කාලෙ ඉඳන්ම ක්‍රමයෙන් වර්ධනය වෙලා පසු කලෙක අපේ ඔළුවටම බද්ධවෙන මූලධර්ම හෙවත් නිර්නායක වලට තමයි මේ පරිපථ කියල කියන්නේ.

මේකට මේ පරිපථ කියන වචනය මුලින්ම කියනව ඇහුනෙ නදීක ගුරුගේ. එයා දෙරණෙ අවකාශයට ආපු වෙලාවක. එයා කිව්වෙ ඔළුවෙ තියෙන සේරම නැතත් පුළුවන් පරිපථ ගලවල දාන තරමට අපි නිදහස් වෙනව සහ අපට ඒ පරිපථ වලින් වැහිල තිබුණ සැබෑ අපිව පේනව කියලයි. මම කාලයක් පුරා ඔය කතාවම කිව්ව සහ දැනටත් කියනව. විශ්ව තරණය හරහා මම කියන්න ගියෙත් ඕකයි. විශ්ව තරණයට තියෙන මානසික බාධක තමයි අපේ හිතේ නිදහස නැති කරන හිත සීමා කරන පරිපථ. බුදුන් විශ්වයේ කෙලවර ගැන කොහේ හරි කියල ඇති. මොකද එයාට ඒ ගැටළුව එන්න ඇති. එයා අනිවාර්යයෙන්ම හොයන්න ඇති. යම් සාපේක්ෂ නිර්ණායකයක් තුල එයා යම් පරිපථයක් හදාගන්න ඇති. මොකද කෙලවරක් නැති හින්දා. කොහොම හරි විශ්වයේ කෙලවර හොයන්න ගිහින් එයාට එයාව හමුවෙන්න ඇති. ඒක නම් මට සක්සුදක් සේ පැහැදිලියි. දැන් ඉන්න අයට ඕක නොතේරෙන නිසා ලියන පොත්වල සහ කියන කතන්දරවල තියෙන්නෙ බුදන් ඒ ගැන හොයන්න එපා කිව්ව කියලයි.

පරිපථ ගලවන්න නම් විශ්වයට යන්න වෙනව. විශ්වය ඒ තරම් ඈත නෑ. අපි හදාගත්ත අපේ ලෝකෙන් ගැලවුණ ගමන් තියෙන්නෙ සෑහෙන ඉඩක් තියෙන අනන්ත විශ්වය තමයි. මේ ලෝකෙ තියෙන මල විකාර වලින් අපිව වැහිල නිසා ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂයකින් බැළුවත් අපට අපව හොයාගන්න නම් වෙන්නෙ නෑ. ඒක කරන්නත් අමාරුයි. ඒ නිසා විශ්වය තමයි අපට අපි දිහා බලන්න සුදුසුම තැන. ඒකට අපෙන් ගැලවෙන්න වෙනව. හොඳම ක්‍රමය තමන් හිතන දේ ගැන නැවත සිතීමයි. මුලින් මඤ්ඤං වුණත් පසු කාලෙකදි ඒ හරහා අපට අපේ වැරදි අහුවෙනව. මනෝ කඳු නැගීම හරහා මම උත්සාහ කරන්නෙ මේ දේවල් හිතන්න. ඒකෙදි මට උදව් කරන දේ (X, Y, Z) මාව ගඟකින් එතෙර කරන ඔරුවක් වගේ. ග‍ඟෙන් එගොඩ වුණාම තව දුරටත් අපට ඔරුව ඕන වෙන්නෙ නෑනෙ.

කෙනෙක් අහයි ඇයි පරිපථ ගලවගන්නෙ කියල. පරිපථ ගැලවීම හරහා සාමූහික විමුක්තියක් ලබන්න බෑ. තනියෙන් ගොඩ යන්න පුළුවන්. කහනව නම් මේ වගේ වමනෙ දාන්නත් පුළුවන්. කොහොම හරි මේ පරිපථ කාරයෝ (මාත් ඇතුලත්) මේ ලෝකය අද ගෙනත් තියෙන තැන පේනවනේ. ඉතිං පරිපථ තුල ගැලී සිටීම ඒ තරම් සාර්ථක නෑ නේද?

කී‍ දෙනෙක්ට මේ කතාව ‍තේරෙයිද මන්දා. මම මාවම ගන්නම් උදාහරණෙකට. මම කියන දේවල් නිසා කට්ටිය (සමහර විට අපේ සෙට් එක හැර) හිතන්න පුළුවන් මම හෙන සංකීර්ණ, ජීවිතේ ඕන කමින්ම මාර යුද්ධයක් කරන් දඟලන මෝඩයෙක් කියල. අපේ පුංචි මට කියන්නෙ උගත් මෝඩය කියල. එයාට ජීවිතේ ලේසි කරගන්න විධි කියල දෙන්න ගිහින් මම අහගන්න ඒව. හික්.. ඒත් එයා දන්නව මම කියන්නෙ නිකන් නෙවෙයි කියල.

කොහොම හරි මම Complex & Simple. ඕන වෙලාවක මට පුංචි එකෙක් වගේ නිදහස් වෙන්න පුළුවන් උවමනාව අනුව. මම කාටුන් පිස්සෙක්. ගනේගොඩ අයියත් එක්ක පුංචි එවුන් වගේ හිනා වෙවී මම ඕන තරම් කාටුන් බලල ඒවයින් අම්බානක දේවල් අරන් තියෙනව. ලොකුයි කියල හිතන් ඉන්න අයියල ඉන්නව කාටුන් කියන්නෙ පොඩි එවුන්ට තියෙන දෙයක් කියල හිතන. මායි ගනේගොඩයි දෙන්න නම් Finding Nemo බලල ඊට පස්සෙ Betty Blue ත් බලල ඔය අතරට Shall We Dance නැත්නම් Sound of Music බලන්නත් එක වගේ කැමතියි.

පොඩි එවුන් එක්ක ගැවසෙන එක මුලදි මට මාර අවුලක් වුණත් දැන් නම් මම ඉක්මනට එයාල එක්ක යාළු වෙනව. මටත් පුංචි එකෙක් වෙන්න පුළුවන් ක්ෂණිකව. ඒක කරන්න පුළුවන් වෙන්නෙ හිත නිදහස් වූණාම තමයි. නැතුව ඒක kid fever එකක් නෙවෙයි. (එහෙම අයත් ඉන්නවා 40 වුණාට ළමා වැඩ කරන. හික් හික්...) ඉතිං අර කිව්ව පරිපථ එක්ක නම් කවදාවත් පොඩි එවුන් එක්ක ගැවසෙන්න වෙන්නෙ නෑ. මගේ අභ්‍යන්තරයෙ තියෙන පරිපථ ගැ‍ලවෙන්න වෙන්න මම බොහෝමයක් දේවල් වලින් මානසිකව නිදහස් වෙනව. ජීවිතය තුල නම් නැවත නැවත මම විවිධ චරිත වල ඉන්නව විවිධ අය එක්ක.

මම දන්න තවත් පරිපථ තියෙනවා මා තුල. ඒවයින් ගැලවිලා මට මේ ක්‍රමය තුල පැවැත්මක් නෑ. මම ඒව අවබෝධ කරගන්න උත්සාහ කරනව. ඒ අවබෝධය හරහා ඒව පාලනය කරල මාව ඒ හරහා පාලනය කරනව. ගලවල තේරුමක් නැති පරිපථ ගලවන්න පුළුවන් බව අවබෝධ කරන් මම නිහඬ වෙනව. පුළුවන් උපරිම නිදහස මම ඒ තුල ලබනව. ඒක හිතෙද්දි නම් මාර ආතල් එකක් දැණෙනව.

අනිත් කාරණය පරිපථ ගලවල නිකං ඉඳල හරියන්නෙ නෑ. නිවැරදි පරිපථයක් හොයල හෝ නිර්මාණය කරගෙන හයි කරගන්නත් වෙනව ජීවත් වෙද්දි. නැත්නම් බෙල්ලෙන්ම යයි. මේ ස්වාධීන පරිපථ නිර්මාණය කරගන්න නම් සමාජය හදාරන්න වෙනව. ඇසුරු කරන්න වෙනව. කල්පනා කරන්න වෙනව. මනෝලෝක වල සැරිසරල, මනස හදාරල, මනෝ කඳු නැගල, කඳු පාමුල දිහා බලල සිතියම් ඇඳල, භූමි ලක්ෂණ ලකුණු කරල ක්ෂේම භූමියක් හොයාගෙන ආපහු බහින්න වෙනව.

හික් හික්...

ඊට පස්සෙ ක්ෂේම භුමිය හොයාගෙන දාන්න ඔරේ රන් එකක්෴


.

කණ්ඩායම්

මිනිස්සු එකයි කියල හිතන්න මිනිස්සුන්ව පොළඹවන නොයෙක් නිර්මාණ අපි නෙවෙයි අපේ සීයල සහ එයාලගෙ සීයල දන්න කාලෙත් බිහි වෙලා ඇති. මිනිස්සු ඒව ඇසුරු කරලත් ඇති. ඒත් හැම මනුස්සයෙක්ම එකයි කියල පිළිගන්න හැම මනුස්සයම පැකිලෙන නිසා කවදාවත් කලාව හෝ ආගම් හරහා හෝ විකල්ප දේශපාලන න්‍යායන් හරහා සාක්ෂාත් කරගන්න උත්සාහ කරන විමුක්තිය හෝ සාමූහික සමාජය හිතළුවක්. ඒ කියන්නෙ කවදාවත් බිහි නොවෙන එකක්. හැමදාම අපි එකම කතාව අහනව සහ කියනව. හැමෝගෙම ලේ රතුයි කියනව. හැමෝගෙම ඇට සැකිල්ලත් එක වගේ කියනව. හැමෝම මැරුණම පොළොවට පස් වෙනව කියල අපේ ආච්චිලත් කියනව. එයාලම තෝසෙ කමින් දෙමළුන්ට බනිනව. හික්!

ඔය ගැන විවිධ අය විවිධ මත පල කරල තියෙනව. හැම මතයක්ම පොදුවෙ හැමෝම ගැන සානුකම්පිතව ප්‍රකාශ වුණ ඒව. ඒත් ඒ දේවල් සමාජගත වෙනකොට අනවශ්‍ය විධියට වෙනස් වෙන නිසා සහ මතවාද කාරයින් විසින් නොතේරෙන අන්ත වලට ඇද දැමීම නිසා පුස් වෙලා යනව.

මට බොබ් මතක් වෙනව. මේ හැමෝම දන්න එයාගෙ ජනප්‍රිය සින්දුවක්.



Bob Marley ~ One Love

One love, one heart
Let's get together and feel all right
Hear the children crying (One love)
Hear the children crying (One heart)
Sayin', "Give thanks and praise to the Lord and I will feel all right."
Sayin', "Let's get together and feel all right."
Whoa, whoa, whoa, whoa

Let them all pass all their dirty remarks (One love)
There is one question I'd really love to ask (One heart)
Is there a place for the hopeless sinner
Who has hurt all mankind just to save his own?
Believe me

One love, one heart
Let's get together and feel all right
As it was in the beginning (One love)
So shall it be in the end (One heart)
Alright, "Give thanks and praise to the Lord and I will feel all right."
"Let's get together and feel all right."
One more thing

Let's get together to fight this Holy Armageddon (One love)
So when the Man comes there will be no, no doom (One song)
Have pity on those whose chances grow thinner
There ain't no hiding place from the Father of Creation

Sayin', "One love, one heart
Let's get together and feel all right."
I'm pleading to mankind (One love)
Oh, Lord (One heart) Whoa.

"Give thanks and praise to the Lord and I will feel all right."
Let's get together and feel all right.
(Repeat)



බොබ්ගෙ හැම ගීතයක් වගේම මේකත් අර්ථයන්ගෙන් බිහිසුණු ලෙස පෝසත්. මේකෙ මේ Father of Creation කියන්නෙ සොබාදහම‍ට. සොබාදහමත් අපේ හිතේ නිර්මිතයක් නිසා ඕන නම් Father of Creation = අපේ හිත කියල හිතන්නත් පුළුවන්.

කොහොමත් දෙවියන් වහන්සේ කියල ඔය ආගම් වල කියන්නෙ අපේ හිතට කියලයි මම හිතන්නේ. ඒකෙන් සෑහෙන විසඳුම් ටිකක් එනව. හැමදේම බාගෙට දැනගෙන කෑ ගහන අය නම් කියයි ජීසස් සහ බුද්ධ අහසට පොළොව වගේ කියල. හික්... පන්සිල් පද පහත් යන්තම් මතක තියෙන මම නම් දන්නව දෙන්නම එකයි කියල. After all, it all resides in our selves ne...

චික් මේ off road යන එක නම් හොඳ නෑ තමයි. මම හැදුවෙ හැම මිනිහම නැතත් එදිනෙදා හමුවන සාමාන්‍ය මනුස්සයෙක් හෝ සරලව මිනිහෙක් කියල හිතන්න අපට බැරි ඇයි කියල කියන්නයි.

මට දැනට හිතෙන දේ අනුව නම් අපි මිනිස්සුන්ව categories වලට, නැත්නම් විවිධ ප්‍රභේද වලට වෙන් කරලයි වටහගන්නේ. ඒ කියන්නෙ මිනිස්සුන්ව ඇසුරු කිරීම හරහාම එයාලව අඳුණගන්න තියෙන නොහැකියාව හින්ද අපි මිනිස්සුන්ව ප්‍රභේද වලට බෙදනව. ඒ වෙන් කිරීමට අපි නොයෙක් සාධක යොදාගන්නව. දැනට ප්‍රධානම දේ බාහිර පෙනුමයි. පෙනුම, අඳින විධිය, කතාබහ වගේ විවිධ බාහිර සාධක අනුව අපි මිනිස්සුන්ව තීරණය කරනව. සමහර විට ඒ නිසාම අපිට හොඳ මිනිස්සු මග හැරෙනව. හොඳ කියල කිව්වෙ සාපේක්ෂව. නරක මිනිස්සු ගැන වැරදි අවබෝධයෙන් එයාල ලං කරගත්තම පසුව අපිට එයාල ඇණයක් වෙනව සහ සමහර විට කරුමයක් වෙනව. හික් හික්...

මනුස්සයෙක් විධියට මනුස්සයෙක්ව මැනීමේ සාධක මොනවද කියල අපි දන්නෙ නෑ. අපට දැණෙන්න ඇසුරු කරන්න ලැබෙන්නෙ කී දෙනාද. අවුරුද්දකට එක අළුත් යාළුවෙක්! ඔව්! ඕන නම් ටිකක් වැඩි වෙයි. අපි ඉන්න විධියට වඩා ආසන්න ක්‍රම වලට ඉන්න පොදු රසයක් තියෙන අය මිතුරන් විධියට අපි පිලිගන්නව. (මේකෙදිත් අපි ඉන්න විධිය අපට පුද්ගලිකයිනේ.) ඒත් ඊට කලින් අපි කොයි තරම් පරෙස්සම් වෙනවද එයාල ගාවදි. එයාලව නොදන්න නිසා. අපි එයාලව නොදන්නෙ ඇයි? පොදු ලක්ෂණ හරහා මිනිසුන් මැනීමේ ක්‍රම අපි නොදන්න නිසාද? නැත්නම් කිසිම පොදු ලක්ෂණයක් වලංගු නොවෙන විධියට තමන්ගෙ ප්‍රතිරූපය හදාගෙන අපව රවටන බොරුකාරයින්ට අපි බය නිසාද?

මොන මගුල්ද අප්පා මම ලියන්නේ...

මට කියන්න ඕන කලේ මෙච්චරයි.

මිනිසුන් සියළු දෙනා එකා මෙන් පිළිගැනීමට ඇති අපහසුවට හේතුව වන්නේ අප එම අයවලුන් කණ්ඩායම් වලට අනුයුක්ත කර සිතීමයි.

මේ කණ්ඩායම් අප්සට් නම් අර හොඳ මනුස්සයව නිරපරාදෙ කණ්ඩායමකට දාල එයාව හලල දාන්න අපි පැකිලෙන්නෙ නෑ නේද?

ඉතිං බොබ්, ජීසස් සහ බුදුන් වදාල මේ සියළු ඇත්තවල් ‍අපට තේරිලා නෑ නේද කයිවාරු ගැහුවට.

එක මොහොතක මුළු ලෝකෙම මේක තේරුම් අරන් ලියාපදිංචි සත්‍යයක් කලොත් මිස සමාන සමාජයක් වෙනුවෙන් කරපු මේ සියළු පැතුම් සහ නිර්මාණ අතිශය සුළුතරයක් මිනිස්සුන්ට ආතල් දීපු දියවෙන අයිස් ක්‍රීම් වගේ දේවල් නේද?

ඒත් මිනිස්සු එක වගේ නොවෙන නිසා කවදාවත් එහෙම නිෂ්චිත තැනක රැ‍ඳෙන්න සාමූහිකයකට බෑ නේද ඒක මොන තරම් සාධාරණ වුණත්...

මේ හැමදේම අපේ තෘෂ්ණාව නේද... මේ මම ලියන එක පවා?

හික් හික්.... කිසිම බාහිර උදව්වකින් තොරව මම නැග්ග මනෝ කන්දක ඉඳන් පහල බැලුවම මම දැක්ක මේ හැම දේම ටි‍කෙන් ටික.

දැන් මම ආයෙත් පහලට බහිනව. මගේ කාලෙ කාපු ම‍ටම බැණ බැණ.