Friday 30 March 2018

ඇඳක් මත ජීවිතය


සාමාන්‍ය ජීවිතය අහිමිවන රෝහල් ඇඳක් මතදී ජීවිතය නැවතත් හමුවීමට ඉඩ තිබේ. කල්පනාවක්, සිතිවිල්ලක් නොනැගී පීඩා වුන හිතකින් ආයෙත් ජීවිතේ ගැන හිතන්නට පුංචි අවස්ථාවක් එමගින් ලැබේ.

ඕනෑම මිනිසෙක්ට ජීවත්වීමට උවමනා කරන ශක්තිය ලැබෙන්නේ ඔහු තුල ඔහු ගැනම පවතින ආත්ම විශ්වාසය, ගර්වය වැනි සාධක ගණනාවක් නිසා බව මම සිතමි. ආහාර නැති වූ පමණින් මිනිසකු මියගිය යන්නේ නැත. එහෙත් ජීවිතයට ඇති ආදරය බිඳුණු මිනිසකු එක් මොහොතක් වත් ජීවත් වේ යැයි මම නොසිතමි.

ජීවත්වීම ශාරීරීක සාධකවලට වඩා මානසික සාධක මත රැඳී පවතින්නකි. මිනිසා 'මිනිසා' වීම හේතුවෙන් උරුමයෙන් ලැබී ඇති තවත් එක් තත්ත්වයකි එය.

පසු ගිය සති කීපය ගෙවී ගියේ නොසිතූ පරිදි ඇවිලුණු ගිණි නිවන්නට උත්සාහ දරමින් ය. ඉතාම විශ්වාසයෙන් තීරණය කල ඇතැම් දේවල් සියයට සියයක්ම විශ්වාසදායී නොවන බව හෙලි වීමත් සමග ජීවිතයට ගිණි ඇවිලීම සාමාන්‍ය දෙයක්දැයි කියන්නට ප්‍රමාණවත් අත්දැකීම් මට නැත.

වල දැමූ අතීත ඩ්‍රැකියුලාවකු නැවත උත්ථානය වී ඇත. ඩ්‍රැකියුලාට එක් ක්ෂණයකින් ඔබේ ජීවීතය සුනු විසුනු කොට එහි සාරය උරා බීමට හැක. පෙනෙන හැටියට අතීතයේදී වල දමන්නට පෙර ඩ්‍රැකියුලාගේ හදවත පසාරු කර රිදී උලක් යවා නැත. ඉතින් නියමිත මොහොත පැමිණෙන තෙක් බලා සිටි ඩ්‍රැකියුලා ජීවීතය උරා බොන්නට වලෙන් නැගිට පැමිණ තිබේ.

ජීවීතය පිළිබඳ තීරණය කරන්නට පෙර ඒ ගැන ස්වයං ඇගයීමක් කල යුතුය. කිසිසේත්ම සාධාරණ නොවුනත් එය කල යුතුය. එය ලියා දැක්විය හැක්කක් නොවේ.

කෙතරම් රැඩිකල් අදහස් දැරූවද සියලුම දෙනා උත්සාහ කරන්නේ සාමාජික වශයෙන් 'හොඳ' යැයි සම්මත දිවියක් ගෙවන්නටය. අපරාධකරුවන් යනු ඒ හොඳ පෙනුම නඩත්තු කරන්නට වෙනම වෙහෙසෙන පිරිසකි. වක්‍රාකාරයෙන් සමාජයට අහිතකර දෑ කරන බොහොමයක් ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්නට පිංකම් කරති. ඇත්ත ජිවිතේ ජඩකම් සමාජ මාධ්‍ය හරහා වසා ගන්නට උත්සාහ කරන නූතන වංකයින්ද සිටිති.

මා සියයට සියයක් සාධාරණ පට්ට පර්ෆෙක්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් සමාජයට අවම කරදරයක් කරමින් ජීවත් වෙන්නට උත්සාහ දරන්නෙක්මි. සල්ලි තියෙන විට විනෝදයත්, සල්ලි නැති විට ඔහේ ජීවීතයත් ගෙවන්නෙමි. අවාසනාවකට නිතර මුදල් අත නොරැඳීම නිසා මගේ ජීවීතය බොහෝ විට ඒකාකාරී ය. ජීවිතය ගැටලුවක් වීමට එයද එක් හේතුවක් බව මම දනිමි.

එහෙත් හැකි හැම විටම මා මානුෂික වෙන්නට උත්සාහ දරමි. බොහොමයක් තැන්වලදී අත්හරින්නට සිදුවුවද තීරණය මා සතු වන හැමවිටම මා සාධාරණ වෙන්නට උත්සාහ දරමි. මේ සටහන රෝහල් ඇඳක් මතදී දුරකථනයෙන් කොටන්නට සිදුව ඇති කාරණය සම්බන්ධයෙන්ද එවන් තත්ත්වයක් පවතී.

මා අනතුරට පත්කල කොල්ලා ගැන මට දුකක් ඇත. ජීවීතය ඇරඹූ විගස අනතුරකින් චෝදනාවකට ලක් වීම තරුණයෙකුට විය හැකි අවාසනාවන්තම දෙයකි. එම තරුණයාගේ පියා යන්තම් තරුණ වියේ්දී විවාහ වු අවුරුදු පනහක්වත් නැති පහල මධ්‍යම ප්‍රාන්තිකයකු බව පෙනේ. අනතුර සැලවූ විගස රෝහලට පැමිණ මා පිලිබඳව සොයා බලා අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට ඔහු වග බලා ගත්තේය.

ඇතැම් විට ඒ ඔහුගේ කපටිකම වෙන්නට හැකිය. එහෙත් ඔහු වඩා ප්‍රායෝගිකය. ඔහු කපටියෙක් බව කියන්නට තරම් මුහුණ බලා අභ්‍යන්තරය කියන්නට මා පුහුණු වී නැත.

ඔහු තුලින් තමන්ගේ දරුවා වෙනුවෙන් කල හැකි සියල්ලම කරන පියෙක්ව මම දකිමි. මට මගේ පියාද, බිරිඳගේ පියාද ඇතුලු බොහෝ පියවරුන් සිහිවේ. ඔවුන්ගේ දුක සිහිවේ. සියලු දේ කලමනාකරණය කරමින් තම දරුවාගේ අනාගතය ආරක්ෂා කරගන්නට උත්සාහ දරන මේ පියා විඳින දුකෙහි වෙනසක් මට නොදැනේ.

සංවේදීකමත්, උවමනාවට වඩා කල්පනා කිරීමත් කඩා දැමිය නොහැකි තරමට ජීවිතයට බද්ධ වී ඇති පුරුදු බැවින් ඒ තුල ඕනෑම වෙලාවක ගිලී යන්නට මට හැක. මා එයින් දුක් විඳිමි.

මිනිසුන්ව උවමනා තරමට වඩා විශ්වාස කිරීමෙන්ද මා බැට කමි. එයින්ද දුක් විඳිමි.

දුක නැති කරගන්නට එහි මූලය සොයා එය අතික්‍රමණය කල යුතුය. රෝහල් ඇඳෙන් එපිට ලෝකය තුල කරගන්නට වැඩක් ඇත.

ප.ලි. - මේ සටහන ඉතාම ඉහල බලාපොරොත්තුවකින් අවසන් වුවද අසනීප තත්ත්වය සුව වූ විගස නැවතත් සුපුරුදු ජීවිතයට මා හැඩ ගැසෙන බව මටද රහසක් නොවේ. එහෙත් තවත් බලාපොරොත්තුවක් ඇත.



Sunday 25 March 2018

ආගාධයක් තුල...

සියල්ල උපරිම උද්වේගයකින් අවසන් වුවත් ඔහු සතුටට පත්වෙලා හිටියෙ නැහැ. ඇත්තෙන්ම කලින් ඉඳන් ඔහුගේ හිතේ තිබුණු බර තවත් තදින් දැණෙන්න අරන් තිබුණා. ඇගේ නිරුවත් ළමැද මත එක් අතක් ඔබා ඈ පසෙකින් මුණින් අතට වැතිරී හිඳිද්දී තවමත් ඇගේ හදවත වේගයෙන් ගැහෙන බව ඔහුට දැණුනා. ඇගේ මුහුණෙන් දාඩිය බිඳු කීපයක් වැගිරෙමින් තිබුණා. අඩවන් දෑසෙන් පෙණුනෙ තෘප්තිමත් බවක්. ඒත් ඈ සහමුලින්ම තෘප්තිමත්ද කියන එක ඔහු කොහොම දැනගන්නද? සංසර්ගයකට බිඳුණු හදවත් පාස්සන්න කොහෙත්ම පුළුවන්කමක් නෑ.

ලෝකයම නිහඬ වෙමින් මහා පාළුවක් ඇදීයන්න පටන් අරන්. ඒක හදවත ඉරාගෙන යන්න තරම් ප්‍රබල එකක්.... නෑ... හදවත ඉරිල ගියානම් එක පාරින් වේදනාව ඉවර වෙන්න තිබුණා. ඒ හැඟීම ඊටත් දරුණුයි. වේදනාව ඊටත් රෞද්‍රයි. ඒක ඉතිහාසෙ ඉඳන් වර්තමානෙ දක්වා ඈත මෑත සිදුවීම් මතක් කරමින් හදවතට අනින්න පටන් අරන්... වරින්වර සිහි නැගෙමින් ආයෙත් හිස්කමේ තුනී වෙමින් මේ පාළුවේ වේදනාව හදවත වටේ ඇවිදිමින් හදවතට ඉව ඇල්ලුවා. වේදනාවට හදවත ලේසියෙන් ගොදුරු කරගන්න පුළුවන්.

විශ්වාසය පළුදු වෙන එක තරම් ආදරේ වේදනාවක් බවට පත් කරන තව දෙයක් තියෙනවද කියල ඔහුට හිතාගන්න බැරි වෙලයි හිටියෙ. ඒ තරමටම ඔහු එහෙම වෙයි කියල බලාපොරොත්තු වුණ කෙනෙක් නෙවෙයි. ආදරේ කියන වචනය අළුතින් නිර්වචනය කරපු හැඟීමකින් ඔහු එක්ක එකට බැඳුණු ඇය තමන්ගෙ විශ්වාසය බිඳින බව ඔහුට කිසිම විධියකින් පිළිගන්න කැමති වුණේ නැහැ. ඒත් අවසානයේ සිද්ධ වෙලා තිබුණෙත් ඒකයි. ඈට තිබුණා ඔහුගෙන් සඟවන්න දෙයක්. වෙන කෙනෙක්, වෙන ආදරයක් නෙවෙයි. ඒක එච්චර සංකීර්ණ කරගන්න ඔහුට ඕන වුණේ නෑ. ඒත් හංගන්න දෙයක්? ඔහු ගැන තවදුරටත් විශ්වාසයක් නැතිකමක්? තව දුරටත් ඇගේ සියළු අදහස්, වේදනාවන්, මනස්ගාත ඔහේ අතාරින්න පුළුවන් කුණු කූඩය විධියට ඔහුව අවශ්‍ය නැති බවට ඇය තීරණය කර තිබීමක්?

ඔව්... විශ්වාසය බිඳෙන්න අරන් තිබීමක්... ඈ ඔහුගෙන් ගිලිහී ගිහින් තිබුණා. කොයි තරම් වේදනාවෙන් වුණත් ඒක පිළිගන්න ඔහුට සිද්ධ වෙලා තිබුණා. ඒක පිළිගන්න වෙනව කියන එක තරම් වේදනාකාරී දේකට ඔහු මුහුණ දීලම තිබුණෙ නෑ.

ඈ ඔහුට කතා කළේ වෛරයකින් නෙවෙයි. ඇගේ ජීවිතේ විනාස වෙලාය කියන කනස්සල්ලෙන්. කලකිරීමෙන්. ඒක ඇගේ වරදක් නෙවෙයි. අතීතයේ ඈත් ඔහුත් හීන මවපු වර්තමානය කරා ඈව එක්ක යන්න ඔහු අසමත් වෙලා හිටියා. අඩු තරමෙ ඒකට ඈට උදව් කරන්න ඔහු අසමත් වෙලා හිටියා. අවුරුදු කීපයක් ගෙවෙද්දි තමන්ගෙ ජීවිතේ එකම තැනක පල් වෙමින් තියෙන බවත්, තමන් දැකපු හීනවල කොටසක්වත් සැබෑ කරගන්න පුළුවන් තරමකට ජීවිතේ වෙනස් වෙලා නැති බවත්, වෙන්නෙත් නැති බවත් ඇය පසක් කරගෙන හිටියා. ඇගේ ජීවිතේට ශක්තියක් විය යුතුව තිබුණ ඔහුගේ ආදරය අවුරුදු ගාණක් පුරාම ඈව හිර කරගෙන හිටියට වඩා දෙයක් කරල නැති බවයි ඇගේ අදහස.

සරළවම, ඇද වැටෙමින් හිටි ඇගේ ජීවිතේට ඔහු තවත් බරක් විධියට එකතු වෙලා හිටියා. ඈට ගොඩ එන්න බැරි තරම් ගැඹුරු ආගාධයකට ඔහු ඇයත් සමග වැටෙමින් හිටියා. විවාහය කියන දම්වැලෙන් ඇය ඔහුට ගැටගැහිල හිටිය.

ඒ බව බොහොම සීරුවෙන් වියාගත්තු වචනවලින් ඈ ඔහුට කියල දැම්මා. පුළුවන් තරම් ඔහුගේ හිත නොරිදෙන්න සුමටව කරුණු පැහැදිලි කරමින් ඇය තමන්ගෙ ප්‍රශ්ණය ඔහුට කියල දැම්මා. ඔහුගෙන් වෙන් වෙන්න ඕන වුණත් ඒකට ඇයට තියෙන නොහැකියාවේ අසරණකම ඇය කියා හිටියා. ඈට සමාජය කියන බාධකය එක්ක ගැටළුවක් තිබුණා. සමාජය නොතිබුණා නම් ඈ දැනටත් තීරණයක් අරන් ඉත්ත තිබුණා. මේ සේරම ඈ කියල දැම්මා... ඇයට පුළුවන් තරම් ආදරය කැටි කරගෙන සුමටව. ඒත් කොයි තරම් සුමට වුණත් ඔහුට ඒ වචන දරුණු වුණා. ගිණි කන්දක් පුපුරා ගිය තරම් ක්ෂණයකින් ඔහු කිසිසේත්ම නොහිතපු අහම්බයක් විධියට ඒ වචන ඔහුව පුළුස්සමින් ඔහු මත ඇද වැටුණා.

රුචිරාණනි අහන්න... එකපාර මා මරන්න...

ඔහුට ඒ ගීතය නරක විධියට විවේචනය කරපු පඬියන් ගැන තරහක් ඇති වුණා.

ඇගේ ජීවිතේ අලුත් වෙන්න පටන් අරන් තිබුණ බව ඔහුට නොදැණෙන තරමටම ඔහු ඇගෙන් ඈත් වෙලයි හිටියෙ. ඇත්තටම පවුලක් නොවුණ, කෙමෙන් කෙමෙන් වියළි විවාහ දිවියක් බවට පත්වෙමින් තිබුණ ජීවිත දෙකක හිමිකරුවන් වෙලා ඔහේ මැරෙනකල් ජීවත් වෙන ගාණට ඔවුන්ගේ ජීවිත දිරා ගොසින් තිබුණා.

හීනවලට වඩා යථාර්ථය එක්ක ඔට්ටු වෙමින් ඔහු තව තවත් ඒ නිද්‍රාශීලී කාල සටහන් ජීවිතේ ගැඹුරට කිඳා බහිමින් හිටියා. හීන යථාවන් බවට පත් කරගන්න ක්‍රමයක් ගැන හිතන්නවත් වෙලාවක් නැති කාර්ය බහුල ජීවිතයක ඔහු පැටළිලා හිටියා. ඒ අතරෙ ආදරේ වියළෙමින් තිබුණ බවක්වත් නොදැණෙන තරමට ඔහුත් ඇයත් අතර ආත්මීයත්වය මිය යන්න පටන් අරන් තිබුණා.

ඒත් ඈට තවමත් හීන තිබුණ. ඈ තවමත් හීන දැක්කා. වේලෙමින් තිබුණ හීන සැබෑ කරගැනීමේ මාර්ගය වෙනස් කරන්න වුණත් ඇයට පුළුවන් බව ඇය තේරුම් අරගනිමින් හිටියා. ඇයට ඔහුගේ ආදරය හුදෙක් වචනයක් බවට පත්වෙමින් තිබුණා. එහෙම නැත්නම් ඔහු ඇගේ ආදර කලාපයේ පොදු තැනකට තල්ලු වෙමින් හිටියා. තවත් ඔහු හීන මැව්වෙ නැහැ. ඔහු වියලී ගොස් අප්‍රාණිකව වැතිරී හිටියා.

ඈට තව දුරටත් ඒ බව හිතේ තියාගෙන දුක් වෙන්න උවමනා වුණේ නෑ. එහෙම නැත්නම් වේදනාව තද කරගෙන පිපිරෙන්න කොහෙත්ම උවමනා වුණේ නෑ. ඒ නිසා ඈ කතා කලා. තවමත් ගැහෙන ඇගේ හදවතේ රුධිර නාල ඔස්සේ ජීවිතේ ගැන අළුත් බලාපොරොත්තු ගමන් කරන බව ඈ ඔහුට පෙන්නුවා. ඈට ඔහුගෙන් ගැලවෙන්න උවමනා බව ඈ කියල දැම්මා. වර්තමානයේ සිටින අසුබවාදී දුර්වල ඔහු වෙනුවට අඩු තරමෙ ජීවිතේ ගැන සුබවාදීව ඈ සමග ආදරෙන් බැඳුණු පැරණි ඔහු ඇයට උවමනා බව ඈ කියා හිටියා. ඈට ඔහුගෙන් සඟවන්න තිබුණෙ ඔහුගේ නොහැකියාව ගැන ඇගේ කාංසාව විතරයි. ටිකෙන් ටික ඔහුගෙන් ගිලිහෙද්දී යම් මොහොතක ඔහු තමාගෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත බවත්, ඔහුටත් කණ පුරා දෝෂාරෝපණය කරන්න පුළුවන් තරමට ඔහුගෙන් ඈ ඈත්ව ඇති බවත් ඇයට දැණුනා.

ආදරේ කියන්නෙ වචනයක් විතරද කියල ඈ හිතුවා. සැබෑ ආදරය කියන්නේ විහිළුවක්ද කියල ඈ හිතුවා. ඒක වචනෙකින් එක් අයෙකුටත්, හැඟීමෙන් වෙනත් අයෙකුටත් ලබා දෙන්න පුළුවන් දෙයක්. ඇත්තටම ඒක මිනිස්සු දෙදෙනෙක් වෙනුවෙන් සීමා විය යුතු නෑ. අවශ්‍යනම් උවමනා තරම් ආදරය කල හැකිව තිබුණා. වචනයෙන් හෝ හැඟීමෙන්.

විවාහය කියන ‘පද්ධතියේ ආකෘතික බැඳීම‘ වචනවලින් විතරක් පවත්වගන්න පුළුවන් එකක් වෙලා තිබුණා. ආදරය නැතත් වෙන් වීමක් නැහැ. ඒක ඔහේ තියෙනවා. ඒත් පද්ධතිය විසින් විවාහය තුල පාලනය කරගන්න බල කරන දේවල් කිසිවක් පද්ධතියට අනුකූල නැති ඇයට අදාල වුණේ නෑ. ඇයගේ ආදරය විවෘත එකක්. අඩු ගණනෙ ඔහු ඒක විශ්වාස කරන බව ඈ හිතුවා. ඔහුට ආදරේ ප්‍රකාශ කිරීම තුල පමණක්, එහෙම නැත්නම් ඔහුගේ ලිඟුව ප්‍රාණවත් වන විට ඔහු වෙනුවෙන් සැදී පැහැදී සිටීම තුල පමණක් විවාහය පවත්වාගත හැකි බව ඈ හිතුවා. වචනයෙන් ආදරේ ප්‍රකාශ කරන තෙක් ආදරේ නොනැසී පවතියිද?

ඒත් ආදරේ කියන්නෙ වචන විතරක්ය කියන එක පිළිගන්න ඈටත් කැමැත්තක් තිබුණෙ නෑ. තවමත් ඈ තුල ගැඹුරු පතුලක ඔහු වෙනුවෙන් යලි ඇවිලිය හැකි ආදරයක් ඈ සතු වුණා.

ඈ ඔහුව තුරුල් කරගත්තා.


Wednesday 14 March 2018

නිහඬවම...



කවුළුවේ කම්බි කූරු අතරින්
ඇදී එන හඳ එළියට
මුහුණේ රටා මවන්නට ඉඩ දී
ඉර බැහැපු රාත්‍රියක
වැතිරී හිඳියි ඇය

ඈත ඒ තරු දෙස බලා
ඇය හෙලන සුසුම්
නොදැනෙන තරමට
ඈත්ව ගොස් ඇත ඔහු

අනුකම්පාවක යදම් බිඳ
ඒ සිර මැදිරියෙන් මිදී
පලා යන්නට එපිට ලෝකෙට
හිතේ වීරිය නැතිව
තනිව හඬයි ඇය

ඇගේ කම්මුලක ගලා යන
කඳුළු බිඳු දැන ඒ පිසින්නට
ඉඩ නොදෙන ආත්මාර්ථ හිතින්
ගොළු වී හිඳියි ඔහු