Wednesday 31 October 2012

එහිතට ඇමතුවෙමි


හැම පැත්තකම විසිරුණු සිතුවිලි එක්ක සටහනක් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්ණෙ කාලෙක ඉඳන් දැණෙන්න අරන්... ලියන්න කිසිම උවමනාවක් නැති වුණාම, සිතුවිලිවලට පාවෙලා යන්න ඉඩ දුන්නම එහෙම එක පාරම දෙයක් ලියන්න අදහස් කේන්ද්‍රගත කරගන්න එක ටිකක් අවුල්...  කිසි දෙයක් නොලියා ලියන එක ගැන හිතන එක සේරටම වඩා තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක්. එකම එක මාතෘකාවක් වටේ ගොනු වුණ අදහස් ගොඩක්... ඒව ලිවීම තුලින් එලියට එන්න කලින්ම උත්කර්ෂයට පත්වෙලා මං තුලම නැති වෙලා යනව... ලිවීමේ තෘප්තිය ක්‍රමයෙන් සිතීම තුලින්ම ලබාගන්න පුළුවන් දෙයක් වෙලා...

හෙහ්... ඉස්සර නං කමෙන්ට් එකක් වැටෙනකල් ලිවීම සම්පූර්ණ වෙන්නෙ නෑ... ටිකෙන් ටික ලිවීම විතරක් ප්‍රමාණවත් වුණා...ඒ තෘප්තිය ලබාගන්න දැන් ඒ තරංවත් මහන්සි වෙන්න දෙයක් නෑ... සිතිවිලි තුලම ගැබ් වෙලා තියෙන තෘප්තියට විවෘත වෙන එක ලියනවට වඩ බොහොම සරල දෙයක්...

නමුත් නොලියා ඉන්න එකත් දනවන්නෙ මහ ඇල්මැරුණු හැඟීමක්. දැනට වේලෙන බ්ලොග් කීපයක්ම ප්‍රොෆයිලයේ තියෙන එක ගැන දැණෙන්නෙ පොඩි වරදකාරී හැඟීමක්.

මට ලිවීම කියන්නෙ එක්තරා පරීක්ෂණයක්... භාෂාව කියන මැටි ගොඩ අනල රූප හැදීමක්... මේ බ්ලොග් එක පුරා මම තවමත් කරමින් ඉන්නෙ ඒකද මන්දා... ඒ ලිවීම් හැම තැනම විසිරිලා... සමහර විට මාවත් තැතිගන්වන තරමටම ඒව ව්‍යාකූලයි... ඒ නිසාම සමහර විට කවදාවත් මම කියන මනුස්සයට අනන්‍යතාවයක් නැති වෙයි...

ඒ එක්කම මේ දවස්වල ගෙවෙන කාලගුණය ලියනවට වඩා හොඳට මත්වෙලා නිදාගන්න බල කරන විධියෙ එකක්.

පෝය දවසෙ උදේ දහයට විතර ලා චුරු චුරුව අස්සෙ නැගිට්ට ගමන් මට හිතුණෙ 'චහ්... අද බොන්න මරු දවස' කියල... මේ වැහි කාලෙ හොඳ මත් වෙලා ඉන්න...

අද දවසෙම ලා වැස්සක්. දවසම අඳුරුයි. අපේ නැන්ද ඉස්සර කියන්නෙ එහෙම දවස් හරි මූසලයි කියල. ඒ වුණාට ඒ වගේ දවස් තියෙන්නෙ ඇත්තටම ගෙදරට වෙලා නිදාගන්න. හිතට කතා කරන්න... මමත් එක්ක කතා කරන්න... ඇත්තම කිව්වොත් මමවල් එක්ක කතා කරන්න...

ඇත්ත මම නොවෙන මමවල් ගොඩක් අපි හැමෝගෙම ඇතුලෙ ඉන්නවා. ඒ හැමෝම එක එක වෙලාවලදි ජීවිතේ එක එක චරිත රඟපානවා. ඔය චරිත සේරම එකට සම්බන්ධ කරන 'මම' කියන මනුස්සයා හැමවෙලේම ඉන්නෙ හැංගිලාද මන්දා. ජීවිතේ ඇතුලෙදි අපිට අපව කොයි තරම් හංගන්න වෙනවද? අපි කොයි තරම් රඟපානවද?

අවසානයේ සැබෑ 'මම' ගණුදෙනු කරන්නෙ මරණයත් එක්ක විතරයි.

හැමෝම මරණයට බයයි. ඒ බයෙන් ගැලවෙන්න අපි හැමෝම කරන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේ ජීවත් වෙන්න යන එක. මරණය අමතක කරන එක. මරණයටත් රඟපාන්න යන එක. ඒ හැම එකක්ම තාවකාලිකයි කියල හිතන්න අපි කැමති නෑ. හිතුව කියල ඇති වැඩකුත් නෑ එක අතකට...

ඔව්... ඔයා සිරා පොරක් නම් මැරුණට පස්සෙත් මිනිස්සු ඔයාව ජීවත් කරවල තියයි. එහෙම අය ඕන තරම් ඉන්නවා... සමහරු අවුරුදු දෙදාස් ගණන්... ඒත් කවද වෙනකල්ද? ඕන නම් තව අවුරුදු දෙදාස් ගාණක්?

ඔය ගැන කව්දෝ කියල තිබුණ මෙහෙම...

'තමන්ව මිනිසුන් අතර මතකයේ රඳවාතැබීම උදෙසා ජීවත් වෙන්නා තම ජීවිතය වින්දනය නොකරන්නෙකි'

ඔය ගැන කියද්දි මට මතක් වෙන්නෙ අපේ කාර්යාලෙ හිටපු පපඩම් හොද්ද හදපු කලූව. මැරෙන්න බය නැති මම දන්න කීප දෙනා අතර මිනිහත් එක්කෙනෙක්. කාටවත් කරදරයක් නෑ.. හැමෝවම සතුටු කලා. හැමවෙලේම සන්තෝසෙන් හිටියා...

කලූ තමන් මැරුණම පස්සෙ කල යුතු දේවල් ලියල තිබ්බා.

ඔහු කිව්වෙ පැය 24ක් ඇතුලත තමන්ගෙ අවසන් කටයුතු සිද්ධ කරන්න ඕන කියලයි. ඒ අන්තිම කැමතිපත්‍රය ලියවගත්තෙ කාර්යාලෙම කෙනෙක්ට කියලා. වැදගත්ම වැඩේ වුණේ මළගෙදර පුරාම ජෝතිපාලගෙ සින්දු දාල තියෙන්න උවමනා වීම. ඒක කලූගෙ අනිවාර්යය ඉල්ලීමක් වුණා. ආගමික කටයුතු වලට ලැබුණෙ දෙවෙනි තැන. තවමත් තමන්ගෙ ආගම ගැන ඔහුට තිබුණ අවිනිෂ්චිත විශ්වාසය මත ඔහු ඒකටත් අවස්ථාවක් දීල තිබුණා.

ජෝතිගෙ සින්දු කැසට් ගණනාවක් කලූ ගාව තිබුණා. කලූ මැරෙණ කාලෙ වෙද්දි කැසට් නැති වෙයි කියල මම කියපු නිසා මිනිහ මට කියල ජෝතිගෙ සින්දු සීඩී වලට දම්මගත්ත.

ජෝතිගෙ සින්දු සීඩී තුන හතරක් ගෙනිහින් දීල සතියකට පස්සෙ මිනිහ මාව හම්බ වෙන්න ඇවිත් දෙකට නවපු කඩදාසියක් දුන්න. ඒක රේස් තුණ්ඩුවක කාබන් පිටපත වදින නිල් කඩදාසියක්. ඒකෙ ලියල තිබුණෙ මම දීපු සීඩීවල නොතිබුණ සින්දු කීපයක්...

'ඊළඟ දවසෙ ඔය ටිකත් එක්ක තව සින්දු ටිකක් ගෙනත් දෙන්න මහත්තයා.. මේ දවස්වල හැමදාම රෑ වෙනකල් අහන්නෙ ඒව තමයි පුතාගෙ ඩෙක් එක තියෙනවනේ...'

කලූගෙ කලුව නැතිකරපු හිනාව මූණ පුරා ඇදිල තිබුණ...

ඔහු මරණය ජයගත්තු කෙනෙක් කියල මට හිතුණ. අඩු තරමෙ ඒ වයසෙදි ධාර්මික වෙන බහුතරයකට වඩා වෙනස්වෙලා ඔහු මරණයට මැදඟිල්ල කෙලින් කරල පෙන්නමින් හිටිය.

මම හිතන්නෙ ඔහු සතුව තිබුණෙ සීමිත චරිත කීපයක්... එක එක කෙනාට එක එක මමවල් ඔහු සතු වුණේ නෑ... මරණයෙන් පස්සෙ ඔහු මොන විධියට පවතින්න ඕනද කියන එක ගැන අදහසක්වත් ඔහුට තියෙන්න නැතිව ඇති. මැරුණට පස්සෙ වෙන දේවල් ගැන මොන රෙද්දකට මහන්සි වෙනවද...

ඒත් මම සතුව මමවල් ගොඩක් ඉන්නව... මටවත් ගණින්න බැරි තරමට... බලුකං, කුහකකං, මරිසිකං හැම එකකින්ම පිරුණු මමවල්...

ඒ හැමෝම මගෙන් එලවල දාන්නෙ නින්ද විතරයි... මල ඉලව් හිත නවත්තන්නෙ නින්ද විතරයි...

ආයෙමත්... මේ කාලෙ හොඳ හොඳට මත් වෙලා නිදාගන්න...

මේ කාලෙ විතරක් නෙවෙයි... කොයි කාලෙත්!!!

Saturday 29 September 2012

ගැහැණු අදාල කරගැනීම

ගැහැණුන් කියන බොහොමයක් දේවල් වලට පිරිමින් එකඟ වෙන බව පෙන්නුවත් ඇත්තටම ගැහැණු සම්බන්ධ සුළු කාරණා කීපයක් ඇරුණම එයාල සම්බන්ධව වෙනත් කිසිම දෙයක් පිරිමින්ට අදාල නෑ. ඇත්තම කිව්වොත් විශේෂයක් නෑ. ගැහැණු සම්බන්ධව එයාල මොනව කරගත්තත් ඒක පිරිමින්ට ප්‍රශ්ණයක් නෙවෙයි. පිරිමින්ට උවමනා වෙන්නෙ තමන්ට අදාල ටික ගැහැණු අතින් ඒ විධියට සිද්ධ වෙන එක විතරයි.

අවුරුදු කීපෙකට කලින් මගේ මිත්‍රයා සංජීව එයාගෙ බිරින්දෑ එක්ක ආපු වෙලේ අපි ගැහුවා සුපුරුදු පරිදි ටවුම වටේ පොඩි රවුමක්. ඒක අපේ යාළුවො සෙට් එක එකතු වුණාම පුරාණෙ ඉඳන් කරගෙන ආපු සාමාන්‍ය වල බැහිල්ලක්. මේ පාර සංජීවගෙ බිරින්දෑ ෂානිකා එක්ක මංජුලගෙ ගෑණු ළමයත් අපට එකතු වුණා.

ටවුමෙ මැදදි ගෑණු ළමයින්ට ඕන වුණා ෂොපිං කරන්න. පිරිමි අපිනං කවදාවත් එහෙම සෙට් වුණාම ෂොපිං කරන සිරිතක් තිබුණෙ නෑ. අපි වැඩිම වුණොත් පකඩ හෝ කඩල ටිකක්, වඩේ කීපයක් අරන් හප හප යයි. ඒ වුණාට මෙදා පාර ඒක වුණේ එහෙම. ගෑණු අයට ෂොපිං කරන්න යන්න දෙන එක කල යුතු වැඩක් වුණා. ඉතිං කාන්තාවො ෂොපිං කරල එනකල් අපි කඩේ එලියට වෙලා කදයක් දැම්මා.

ඒ වෙනකොට මට ආපු ප්‍රශ්ණෙ කාන්තාවොත් එක්ක ෂොපිං කිරීමේ ගැටළුවට මූණ දෙන්නෙ කොහොමද කියන එක. ඒ වෙනකොට පවුල් ජීවිතේ අත්දැකීම් තිබුණ සංජීවගෙ උත්තරේ හරිම සරළයි.

"ඕන එකක් ලස්සනයි කිව්වම වැඩේ ඉවරයි. දවසක් මායි ගෑණියි ඇඳුම් ගන්න ගියාම එයා එකක් ‍තේරුවම ඒක හොඳ නෑ කියල මම කිව්ව කියල මාර ප්‍රශ්ණයක් වුණේ.. එදා ඉඳන් මම එකක්වත් හොඳ නෑ කියන්නෙ නෑ... ඇත්තටම උන්ට කැමති එකක් කරගත්තට අපිට ඒක අදාලම නෑනෙ බං... මට අදාල වෙන ටික හරියට තියෙනකල් පවුල් අවුලක් වෙන්නෙ නෑ..."

මේක සාමාන්‍යයෙන් හැමවෙලේම වගේ ඇත්තක්. පිරිමි අය ගැහැණු අයවත් ගැහැණු අය පිරිමි අයවත් ඔහොම පොඩ්ඩක් රවට්ටනවා... ඒක එකිනෙකාට නොකියා ඉන්න තාක් කිසි ප්‍රශ්ණයක් නැතිව වැඩේ වෙයි... කිව්වොත් වෙන්නෙ මෙහෙම රෑ තිස්සෙ ඇහැරගෙන අකුරු කොටන්න.

කාන්තාව රවට්ටන්නෙ නැතිව බොහොම තදින් ඇයට ඇත්තම කියලා ජීවිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරගෙන ආදරේ කියන සංකල්පය ඇතුලෙ පවතින එක මාර අමාරුයි. එහෙම වෙන්න තියෙන නොහැකියාව ගැන මට හොඳ අත්දැකීම් තියෙන නිසා අන්තිමේ මම තීරණය කළේ ආදරේ කියන්නෙ සංස්කෘතික මරිසියක් කියල.

අර චාමින්දගෙ වචන ටික නදීකගෙ ගිටාර් කෑලි අස්සෙ කසුන් කියල දාන්නෙ නියමෙට...


Wednesday 19 September 2012

අතීත යගදාව


මම දිගින් දිගටම ඒක කරමින් හිටියා... අතීතයෙන් මාව විනාස කරගනිමින්... මට නැගිටින්න ඉඩක් නොදෙමින්....


මම වර්තමානය තලමින් හිටියා. ඉතිහාසය කියන යගදාවෙන්... ඉවරයක් නැතිවම...


ඉතිහාසය කියන්නෙ යගදාවක්.... වර්තමානය පොඩි කරල සුන් කරල දාන...

Wednesday 15 August 2012

කළු නැන්දගෙ දුව

අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර තවමත් මට මතක තිබේ. ඔවුන් ගොවිතැනින් දිවි ගෙවූ අහිංසක මිනිසුන් ලෙස මා සිතේ තැන්පත්ය.

එම පවුල් දෙකම වෙසෙන්නේ එකම ඉඩමකය. එය වර්තමානයේදී ඔවුන්ගේ දරුවන්ගේ වාසභූමීන් ලෙස බෙදී යමින් තිබේ. නමුත් ගහ කොලින් වට වූ අඳුරු පාළු ස්වභාවයකින් යුතු වූ එම ඉඩම මට තවමත් මතකය.

සුදු නැන්දාගෙත් කළු නැන්දාගෙත් දරුවන් මටත් වඩා වැඩිමහලුය. ඔවුන්ගෙන් ඇතැමෙක්ද දැන් තරමක දරුවන් සිටින දෙමාපියෝ වෙති. ඒහෙත් කළු නැන්දාගේ පුතුට අමතර එකම දියණිය වයස අවුරුදු 40ක්ද ඉක්මවමින් අවිවාහකව වෙසෙන්නීය. මා කළු නැන්දාගේ දුව ලෙස හඳුන්වන්නේ ඇයවයි.

හිටි අඩියේ කළු නැන්දාගේ දුව මතක් වීම අහම්බයක් නොවේ. ඇය කොහොමත් සුනිල් එදිරිසිංහයන්ගේ 'චන්ද්‍රමඬල' ගීතය හේතුවෙන් සැලකිය යුතු කාලයක් අමරණීය වී සිටිනු ඇත. චන්ද්‍රමඬල ගීතය ගී පැදුර වෙත ලිවීම සඳහා සොයන්නට වූ විට මට යූ ටියුබයේ තිබී හමුවුණේ නිධානයකි. සුනිල් එදිරිසිංහයන්ගේ ජව සම්පන්න හඬ සදා නොමැකෙනු ඇතැයි විශ්වාස කිරීමට මා කැමති වුවද එය වියැකෙන දිනක් පැමිණෙන බව මම දනිමි. සුනිල් එදිරිසිංහයන් සහමුලින්ම අමතක වන අනාගතයක්ද වන බව මම දනිමි. එහෙත් චන්ද්‍රමඬල ගීතය ගුවන්විදුලියේදී කුඩා කල සවන් විඳි වතාවලදී මෙන්ම වර්තමානයේදීත් මා වෙත කළු නැන්දාගේ දුව සිහිගන්වයි.



කළු නැන්දාගේ දුව රැකියාවක් කරයි. එය සුවිශාල වැටුපක් හෝ සමාජ තත්ත්වයකට හිමිකම් ලබන්නක් නොවේ. ඇගේ රාජකාරි ස්ථානයට යාමට සිදුවන අවස්ථා වලදී ඇතැම්විට ඇය මට හමුවේ. එවිට ඇය 'කොහොමද මල්ලී' යැයි මා අමතා කල හැකි උදව්වක් කරයි. සාමාන්‍යයෙන් කාර්යාලයෙන් ප්‍රමාද වී පැමිණෙන දින වලදී මා ගම මැදින් නිවසට පැමිණෙන අතරමග ඈ පසු කර යමි. ඇය තමන්ගේ නිල ඇඳුම වූ නිල් පැහැ සාරිය හැඳ ඇගේ මිතුරියක්ද සමග ගමන් ගන්නීය. ඇය අහම්බෙන් හෙළන බැල්ම විටෙක මා නෙත ගැටෙන අතර ඒ බැල්ම මතින් ඇය බෙහෙවින් තෘප්තිමත්ව සිටින බවක් මම හඟිමි. අවස්ථාව අනුව ඇයට සිනාවකින් සංග්‍රහ කරමි.

වසරකට පමණ පෙර මාගේ නැන්දණියගේ අභාවයේ සත්දින පිංකම දැනුම්දීම සඳහා මා කළු නැන්දාගෙ නිවසට ගියෙමි. එය පෙර කී ඉඩමේ කෙළවර කඳු බෑවුමක පිහිටා ඇත්තකි. මෝඩ ගඩොලින් බැඳ වැලි මිශ්‍ර මැටි බදාමයෙන් කපරාරු කර ඇත. විමසිල්ලෙන් බැලූ විට එය එකම එක කාමරයක් පමණක් බව පෙනේ. නමුත් පැරණි ගැමි නිවසක මෙන් විවෘත කුඩා ආලින්දයක් එහි විය. ගෙබිම ගොම ආලේපනයකි. ඒ ආලින්දය කෙළවරක පොළොවේ මැටියෙන්ම සාදා ගොම ආලේප කල ලිප් දෙකකි. ඒ මත දැල්වී අවසන් වූ දර අඟුරුය. පසෙකින් දර කැබලි කීපයක් සහ මැටි හට්ටි කීපයකි.

ගෙතුළ සිට සමස්ත හිසම ‍ඇතිරිල්ලකින් ආවරණය කරගෙන කළු නැන්දා පිටතට පැමිණියාය. ඇයගේ මුහුණුවර කුඩාකල මතකයන් අතුරින් මතුකර ගැනීමට මා දැරූ තැත ව්‍යර්ථ විය. දැන් ඇයගේ මුවේ ඇත්තේ එක් දතකි. ඇය උපැස් පලඳින්නීය. කාලවර්ණව තිබූ කෙස් සැලකිය යුතු තරමක් සුදු වී ඇත.

මා ඇයට දානය ගැන පවසා ඇගේ සහභාගීත්වය අපේක්ෂා කරන බැව් පැවසීමි. දානය කෙසේ වෙතත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට තමා පැමිණෙන බව දන්වමින් ඇය ආගිය තොරතුරු කියවන්නට විය.

ඇයත් දියණියත් එම නිවසේ වෙසෙයි. දිනපතා උදෑසන 6ට රාජකාරියට වාර්තා කිරීමට දියණිය පිටව යන්නීය. ඇය ඊට ප්‍රථම ආලින්දයේ ඇති ලිපේ බතක් සහ එළවළුවක් දෙකක් පිසියි. දිවා ආහාරය ලෙසද මුලක් බැඳගන්නා ඇය නික්ම ගිය පසු කළු නැන්දා නැවතත් විවේකයෙන් වෙසෙයි. උදේ දවල් දෙක එක් වේලකින් පිරිමහගනියි. දියණිය සවස 5-6 අතර සේවය නිමවී පැමිණෙන තුරු බලා හිඳියි.

ඇය තම අවිවාහක දියණිය පිළිබඳ දුක් වන්නීය. නමුත් ඇයටද විකල්පයක් නැති සෙයකි. දියණිය තම තනිකම රැකියාවට දියකර හරී. නිවසට පැමිණ ගුවන් විදුලියෙන් සිත මොට්ට කරගනියි. සිත මුළා කරගනියි.

කළු නැන්දාගේ දියණිය කාලවර්ණය. උසය. සිනාව පියකරුය. ඇය පිළිබඳ අනුකම්පාත්මක හැඟීමක් මට ඇත. එය දැනෙන්නට පටන්ගත්තේ ඇයගේ දින චර්යාව පිළිබඳ කණ වැකුණු දා පටන්ය. ජීවිතයේ තනිකම දිනයේ සිදුවීම් තුළ බොඳකරගන්නට ඇය උත්සාහ දරයි.

ඇයගේ ජීවිතය කුමන අතකට යන්නේද යන්න පිළිබඳ මට අදහසක් නැත. කළු නැන්දාත් ඇගේ දියණියත් පිළිබඳ මට ඇත්තේ දුකකි. අසංවේදී වීම දුක නැති කිරීමේ මග ලෙස මට වැටහී යමින් ඇත. මන්ද මා ඉපදෙන්න‍ටත් පෙරම මාගෙන් සැලකිය යුතු කොටසක් මට අහිමිව ගොස් තිබේ.

තවමත් සතියකට දෙකකට වරක් කළු නැන්දාගේ දුව බැල්ම හෙළා සැඟව යන්නීය. දැන් ඇගේ බැල්ම තුල මට සතුටක් පෙනෙන්නේ නැත.

Saturday 11 August 2012

ප්‍රේමකීර්ති ද අල්විස් - විචිත්‍ර ගීපද රචකයෙක්, වචන විශිෂ්ඨයෙක්, සුපිරි සන්නිවේදකයෙක්...


මාස කීපයකට කලින් ප්‍රේමකීර්ති පිළිබඳව ලියන්නට මට උවමනා වුණා. ක්ලෝඩ් ප්‍රනාන්දු මහතා විසින් ලංකාවෙබ් අඩවියට රචිත ලිපියක් හැඩගස්වා දැමීම වඩා හොඳ බව හිතුණේ එය සරල සහ විස්තරාත්මක එකක් වුණ හින්දා. ඒ වුණාට කම්මැලිකම මාව පස්සට ඇද්දෙ වැඩේ බාගෙට තුන්කාලට නතර කරලා. නමුත් එහෙම කරල හරි යන්නෙත් නැති නිසා මේ ලියවෙන්නෙ ඒ ලිපියයි. ක්ලෝඩ් මහතාගෙ ලිපිය වගේම ප්‍රේමකීර්ති ගැන ලියවුණු වෙනත් අඩවි කීපයකටත් ගොඩවදින්න සිද්ධ වුණා මේ වෙනුවෙන්.

-------------------------------------------------------------

ප්‍රේමකීර්ති ද අල්විස් - විචිත්‍ර ගීපද රචකයෙක්, වචන විශිෂ්ඨයෙක්, සුපිරි සන්නිවේදකයෙක්...



ඒ දුක්මුසු දවස මට තවම මතකයි. මේ දවස 1988 පෙබරවාරි 16 වෙනිදා. ගුවන්විදුලි සංස්ථාවෙ විකාශයට සවන් දෙන එක මගේ දවසේ අංගයක් වුණා. සාමාන්‍ය විධියටම මම දවල් 12.45 සිංහල ප්‍රවෘත්ති අහන්න රේඩියෝව දැම්මා. ප්‍රවෘත්ති නිවේදකයා එකපාරම කියවන එක නතර කලා. විනාඩි 2-3ක නිහඬතාවයක් ගත වුණා. ප්‍රවෘත්ති විකාශය නැවතීම ගැන මට ඇතිවුනේ කුතුහලයක්. ඒත් නොහිතපු විධියට තවත් හුරුපුරුදු කටහඬක් ඒ නිසලතාවය බින්දා. ප්‍රේමකීර්ති ද අල්විස් ඒ ශෝකජනක, ඛේදජනක පණිවිඩය ජාතියටම කිව්වා. ඒ ජනප්‍රිය චිත්‍රපටි නළුවෙක් වගේම ගෞරවණීය දේශපාලකයෙක් වුණ විජය කුමාරතුංගගෙ කුරිරු ඝාතනය ගැනයි. ඒ පුවෘත්තියෙන් පස්සෙ මට කතාකරගන්න වචනත් නැති වුණා. සාමය අගය කරන රටක ජනතාවට ප්‍රේමකීර්ති තමන්ගෙ හැඟීම්බර කලබල හඬින් ඒ හිතාගන්නත් බැරි භයානක පණිවිඩය හෙලි කළා.

තවත් ඒ වගේම කාලකණ්නි දවසක් හරියටම අවුරුද්දයි, මාස පහයි දවස් පහළොවකින් උදා වුණා.ඒ 1989 ජූලි 31 වෙනිදා. ආණ්ඩුවෙ රේඩියෝවෙන් ඒ දරුණු දුක්ඛදායක ප්‍රවෘත්තිය එලි කලා උදේ 6.00 ලුහුඩු ප්‍රවෘත්තිවලින්. විජයගේ ඝාතනය ගැන නිවේදනය කරපු ඒ විශිෂ්ට නිවේදකයාටත් නාඳුනන කල්ලියක් වෙඩි තියල තියෙන බවට ඇහුණ සිරස්තලය විශ්වාස කරගන්නත් අමාරු වුණා. මම හිටි තැනම දුකෙන් ගල් ගැහුණෙ ඒ ප්‍රවෘත්තිය අදහාගන්න බැරිව ඇසුත් උලුප්පගෙන.

ප්‍රේමකීර්ති ද අල්විස්ව කෲර මිනිස්සු ටිකක් වෙඩි තියල මරල දාල තිබුණා. ඒ වයස අවුරුදු 42දි. මාධ්‍ය වාර්තා අනුව උන් 1989 ජූලි 31 වෙනිද මැදියමේ ප්‍රේමකීර්තිගෙ හෝමාගම තිබුණ බාගෙට හදපු ගෙදර දොරට තට්ටු කරල තියෙනවා. ප්‍රේමකීර්තිගේ බිරිඳ නිර්මලා අඬමින්, කෑ ගසමින් ඔහුට කරදරයක් නොකරන්න අයැදුවත් උන් බලෙන්ම ඔහුව ගෙදරින් එලියෙ අඳුරට ඇදගෙන ගියා. ඔහු අහිංසක ගෞරවාන්විත මනුස්සයෙක්. අහල පහල හිටපු කිසිම 'හොඳ' මනුස්සයෙක්වත් ඒ වෙලාවෙ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙලා නෑ.

පහුවදා උදේ ඔහුගෙ දේහය ගම්වාසීන් විසින් හොයාගත්තෙ ළඟපාත කාණුවක තිබිලා. සාමකාමී සමාජයක සමස්ථ ජාතියම ඇස්වල කඳුළු පුරවගත්තා. සිද්ධවුණ දු:ඛිත සිදුවීමට අවුල් වුණ හිත්වලින්, දුක්බර හදවත්වලින් ඔවුන් ඇහුම්කන් දුන්නා.

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඉපදුණේ 1947 ජූලි 31 වෙනිද කොළඹදි. මාලිගාකන්ද මහ විද්‍යාලයෙන් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුව. ඊට පස්සෙ මරදානෙ ආනන්ද විද්‍යාලයට ඇතුල් වුණා. තරුණ ප්‍රේම් ආනන්දයෙ දක්ෂ සිසුවෙක් වුණා වගේම විද්‍යාලයෙන් ප්‍රකාශ කෙරුණු 'ආනන්දය' වාර්ෂික සඟරාවෙ සංස්කාරක සහ 'ධම්ම ජයන්ති' මාසික පුවත්පතේ සම සංස්කාරකවරයෙක් වුණා. ඔහුත් සමග එකට අධ්‍යාපනය ලබපු පරම්පරාවට බන්දුල පද්මකුමාර (ජනමාධ්‍යවේදී සහ වර්තමාන ලේක්හවුස් සභාපති), රංජිත් ලාල් සිල්වා (නිම්වලල්ල චිත්‍රපටියේ අධ්‍යක්ෂ) සහ කවුරුත් දන්න ජනමාධ්‍යවේදියෙක් වුණ ඒ.ඩී. රංජිත් කුමාර (සරසවිය පුවත්පතේ හිටපු සංස්කාරක) වගේ අය හිටියා.

ප්‍රේමකීර්තිගේ පියා වැඩ කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙයි. ඒ නිසාම ඔහු හිතාගෙන හිටියෙ තමන්ගෙන් පස්සෙ තමන්ගෙ පුතාව එහෙ වැඩට සම්බන්ධ කරගන්නයි. ඒ වුණාට තරුණ පුතා ඒ ගැන කිසිම උනන්දුවක් පෙන්නුවෙ නෑ. ඒ වෙනුවට ඔහු කැමැත්තෙන් හිටියෙ ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වෙලා රේඩියෝ ශිල්පියෙක් වෙන්නයි. ඔහු නිතරම ඒ දවස්වල ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයො වුණ ඩී.එම්. කොළඹගේ, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, තේවිස් ගුරුගේ, ප්‍රොස්ෆර් ප්‍රනාන්දු, තිලක සුධර්මන් ද සිල්වා ‍වගේ අයගෙ කටහඬ වගේම නිවේදන ශෛලීන් අනුගමනය කළා. ඔහුගේ පියා ඉක්මනින්ම තමන්ගෙ පුත්‍රයාගෙ කලාත්මක දක්ෂතා වගේම හැකියාවන් ගැන දැනගත්තා. ඔහු තීරණය කලා දක්ෂ පැරණි ජනමාධවේදියෙක් වුණ ආතර් යූ. අමරසේන මහතාව හමුවෙන්න. ඔහු 'දවස' කණ්ඩායම විසින් ප්‍රකාශ කරපු 'විසිතුර' සතිපතා සිනමා පුවත්පතේ හිටපු සංස්කාරක. තරුණ ප්‍රේමකීර්තිට 'විසිතුර' පුවත්පතේ විශේෂාංග රචකයෙක් විධියට රැකියාව ලැබෙනවා. අත්දැකීම් බහුල ජනමාධ්‍යවේදියෙක් වුණ ආතර් යූ. අමරසේන තරුණ ප්‍රේම්ගේ සැඟවුණ හැකියාවල් සහ දක්ෂතා ඉක්මනින්ම හඳුනගත්තා.

මේ අතරෙ 1967 දෙසැම්බර් 17 වෙනිදා සහන නිවේදකයෙක් විධියට රේඩියෝ සිලෝන් ආයතනයෙන් ලැබුණ අනගි අවස්ථාව ප්‍රේමකීර්ති භාරගන්නවා. එහිදී ඔහුගෙ උපදේශකයා වුණේ කරුණාරත්න අබේසේකරයන්. ඔහු රේඩියෝ සිලෝන්හි ඒ කාලෙදි හිටපු බහුශ්‍රැත භාෂා විශාරදයෙක්, තනු නිර්මාපකයෙක් වගේම දක්ෂ නිවේදකයෙක් වුණා. මෙතනදි ප්‍රේමකීර්තිට තමන්ගෙ සුවිශේෂී ලිවීමේ හැකියාව වගේම ප්‍රවෘත්ති නිවේදන හැකියාව අතින් ක්‍රමයෙන් දියුණු වෙන්න අවස්ථාව ලැබෙනවා. රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි ගායනා කරපු 'හද පුද අසුනේ සෙනෙහස මැවුණා' ගීතය 1969දි ප්‍රේම් අතින් ලියවෙන්නෙ ඔහුගෙ කුළුඳුල් ගී පද රචනාව විධියටයි. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරපු 'ලොකුම හිනාව' චිත්‍රපටියට ෆ්‍රෙඩී සිල්වා ගායනා කරපු 'පරණ කෝට්' ගීතය ප්‍රේම්ගේ පළමු චිත්‍රපටි ගීතය විධියට ලියවෙන්නෙ ඒ අවුරුද්දෙමයි. ක්‍රමයෙන් ප්‍රේමකීර්ති ජනප්‍රිය වගේම වෙළඳපොලක් සහිත ගී පද රචකයෙක් බවට පත් වෙමින් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකට ගීත ලියන්න පටන්ගන්නවා.

අද කාලෙ වගේ පුද්ගලික නාලිකා හෝ රූපවාහිනිය කියල දෙයක් නොතිබුණ කාලෙක ජාතික ගුවන් විදුලිය වටේ අසන්නන් නිරායාසයෙන්ම රොද බැඳුණා. ඒ නිසාම ඔවුන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් විකාශනය වුණ බොහොමයක් ගීත රස වින්දා. ඔවුන්ගෙ හදවත් ස්පර්ශ කරපු ජනප්‍රිය ගායකයන් ගණනාවකටම ප්‍රේමකීර්ති ගී පද ලිව්වා. ඔහුගේ නිර්මාණශීලී ගී පදවලට පාදක වුණ දේවල් අතර හාස්‍යය සහ උපහාසය වගේම ආදරය, අනුරාගය, මිත්‍රත්වය, සාරධර්ම සහ සූදුව (මිනිසකු පිට නැගි අසරුවෙකි) පවා තිබුණා.

මේ ඒ අතර තිබුණ බොහොම ලස්සන ගීත කීපයක්. ඒවා අදටත් රසයෙන් අනූන බවට සැක නැහැ.


ආදරයේ උල්පත වූ අම්මා, කුරුල්ලන්ට ගී ගයන්න, සිහින සතක් දුටුවෙමි මම, තනි තරුවේ - වික්ටර් රත්නායක

මේ නගරය, එක මොහොතක්, ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා

සමනලයා මල හා - එඩ්වඩ් ජයකොඩි

බිඳුණු පෙමට - රෝහණ වීරසිංහ

මල් තරුණ සමය - ගුණදාස කපුගේ / රූපා ඉන්දුමතී

ඈත රන් විමන්, ආදරණීය නේරංජනා, රටකින් එහා - ප්‍රියා සූරියසේන

මිනිසකු පිට නැගි අසරුවෙකි, බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ - සුනිල් එදිරිසිංහ

සුරංගීට දුක හිතුණා - නන්දා මාලිනී

එදා රෑ, මා හා එදා, මා නිසා ඔබ, සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චි

සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න

අනන්තයට මා ඉගිලෙන - ශ්‍රීමතී තිලකරත්න

මා එක්කලා අමනාපව වී දබර, කන්ද කෙන්ද කරනු පිණිස - මාලිනී බුලත්සිංහල

කැකිල්ලෙ රජ්ජුරුවෝ, හඳ මාමා උඩින් යතේ, පාන් කිරිත්තා, කුණ්ඩුමනී - ‍ෆ්‍රෙඩී සිල්වා


1974දි ප්‍රේමකීර්ති දෙවෙනි ශ්‍රේණියේ නිවේදකයෙක් සහ නිෂ්පාදකයෙක් විධියට උසස් කරනවා. ඊට පස්සෙ ඔහුට අසන්නන් වෙත සමීප වෙන්න අවස්ථා රැසක් උදාවෙනවා. 'ශනිදා සාදය' (හැම සෙනසුරාදාවකම උදේ 8 - දවල් 12 වෙනකල් - තවත් නිවේදකයන් එක්ක), 'සොඳුරු සෙවණ' (සඳුදා ඉඳන් සිකුරාදා දක්වා හවස 5 - 6), "සැරිසර පුවත්" (සතියකට වතාවක්) වගේ එකිනෙකට වෙනස් ජනප්‍රිය වැඩසටහන් කීපයක්ම ඔහු ඉදිරිපත් කරනවා. ඒ වකවානුවෙ අසන්නන්ට කෙලින්ම දුරකථනයෙන් සජීවී වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණෙ නැහැ. නමුත් ප්‍රේමකීර්ති ඔහුගේ 'සැරිසර පුවත්' වැඩසටහනට අසන්නන් සජීවීව සම්බන්ධ කරගනිමින් ඒ අළුත් අදහසට මූලාරම්භය දෙනවා. ඒ වකවානුවෙදි ඒක බොහොම සාර්ථක වුණා වගේම රසිකයින් විසින් ඉහලින්ම වැළඳගත්තා.

ක්‍රමයෙන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ඉහල යමින් හිටියත් 1977 වකවානුවෙදි ඔහුටත් දේශපාලන පළිගැනීමේ ගිලටීනයට අහුවෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ කීර්තියේ සැර දරාගන්න අමාරු වුණ ගුවන් විදුලියේ ඉරිසියාකාර පරිපාලනය හේතුවක් නැතිව ඔහුගේ වැඩ තහනම් කරල අනිවාර්යය නිවාඩු යැව්වා. ඔවුන් ප්‍රේම්ට විරුද්ධව අභූත, විකෘති චෝදනා ඉදිරිපත් කරල ඒවා විමසීමට විනය කමිටුවකුත් පත් කළා. නමුත් ඒ විමර්ශන කමිටුව ඔහු නිවැරදි බව දැනගෙන වහාම ඔහුව චෝදනා වලින් නිදහස් කළා. ඒ අනුව ප්‍රේම් නැවත ඔහුගේ මුල් තනතුරේ පිහිටුවන පාලනාධිකාරිය ඔහුට සිදුවූ අසාධාරණය ගැන අසන්නන්ට දැන ගන්නට නොදී සාමාන්‍ය විධියට රාජකාරිය කරන්නට බල කළා. ඔහු ස්ටුඩියෝවට ඇතුල්වෙන්නෙ තරහින්, සජීවී වැඩසටහනක් ගුවන්ගත වෙද්දි. ඒ වෙලාවෙ ඔහු තරහින්ම තදින් මේසය පැත්තක තිබුණ පුටුව අදිනවා. පුටුව බිම වැටෙන්නෙ සජීවී වැඩසටහනට බාධා වෙන විශාල ශබ්දයක් එක්ක. ඊට පස්සෙ මයික්‍රෆෝනයට කිට්ටු වෙන ප්‍රේම් තමන්නෙ සාමාන්‍ය ස්වරයෙන් අසන්නන් අමතනවා. "සමාවෙන්න හිතවතුනි, මම ප්‍රේමකීර්ති ද අල්විස්. නැවතත් ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇසුණු විශාල ශබ්දය පුටුව පෙරළෙන ශබ්දය මිසක් මම වැටුන ශබ්දය නෙවෙයි."

පසු කාලෙකදි ඔහුට අනුරාධපුරයෙ 'රජරට සේවය' ගුවන් විදුලියට දඬුවම් මාරුවක් ලැබෙනව. ඔහු වගේම දඬුවම් මාරුවක් ලැබිල ඇවිත් හිටපු ගුණදාස කපුගේ වගේම රජරට සේවයේ රන්බණ්ඩා සෙනෙවිරත්න, කරුණාරත්න දිවුල්ගනේ, රත්න ශ්‍රී විජේසිංහ, ජයතිලක බණ්ඩාර, මහින්ද දිසානායක, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වගේ නිර්මාණ ශිල්පීන් ඔහුට එහිදි හමුවෙනව.

වික්ටර් රත්නායකයන්ගෙ 'ස' ඒක පුද්ගල ප්‍රසංගයට ප්‍රේමකීර්ති සුවිශාල දායකත්වයක් ලබා දෙනව. ප්‍රසංගයේ නිවේදන කටයුතු වගේම ගීතවල අරුත් හඳුන්වා‍දීමත් තුළින් ඔහු 'ස' හැඩගන්වනව. ඔහුත් සමග ඒ කටයුතුවල නියැලෙන අනිත් නිවේදකයන් වෙන්නෙ ‍නැසීගිය කේ.ඩී.කේ. ධර්මවර්ධන සහ කුලරත්න ආරියවංශ යන දෙපලයි.

අසූව දශකයෙදි ලංකාවෙ රූප මාධ්‍යය ජනප්‍රිය වීමත් එක්ක විවිධ රූපවාහිනී නිෂ්පාදනවලට සම්බන්ධවෙන්න ඔහුට අවස්ථාව හම්බවෙනව. විශේෂයෙන්ම කෘතහස්ථ කලාවේදී ටයිටස් තොටවත්තයන් විසින් හඬකැවුණු 'දොස්තර හොඳ හිත' ළමා කාටුන් වැඩසටහනේ අමතක නොවෙන ගීත රචනා වෙන්නෙ ප්‍රේමකීර්තිගේ පෑනෙන්. ඔහු සහභාගි වුණ අනිත් වැඩසටහන වුණේ ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණ 'අඳුන' කියන සමාජ අසාධාරණකම් ගැන හෙලිදරව් කරපු වැඩසටහන. ඔහු ඒ වැඩසටහන ඉදිරිපත් කලේ තමන්ගෙ දෑස් විතරක් පේන විධියට. ඒක ඒ දවස්වල සෑහෙන්න ජනප්‍රිය වුණා වගේම කතාබහට ලක්වුණා. ඒ වගේම හැම ඉරිදාවකම 'ආයුබෝවන්' වැඩසටහනනින් වෙනත් දෙමළ සහ ඉංග්‍රීසි නිවේදකයන් සමග ප්‍රේමකීර්ති හැමෝගෙම ඉරිදාව සුන්දර කලා.

ඔහු අද ජීවත්ව සිටියා නම් වර්තමාන නිවේදක නිවේදිකාවන්ට බොහොම හොඳ උදාහරණයක් වෙන්න තිබුණා. හඬ, භාෂාව හැසිරවීම මගින් ප්‍රේක්ෂකයාට ළංවෙන්නෙ කොහොමද කියන එක පිළිබඳව ඔහු දක්ෂ ගුරුවරයෙන් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම තවත් බොහොමයක් සුන්දර ගීත රාශියක් ඔහුගෙන් ලියවෙන්න ඉඩ තිබුණා.

ඔහුගේ නික්මයාම බිරිඳ නිර්මලා, දියණිය සුරංගි සහ පුතු පූර්ණට විතරක් නෙවෙයි ඔහුගේ ගී රචනා ප්‍රිය කරපු, හඬ ප්‍රිය කරපු කාටත් බරපතල පාඩුවක් බව රහසක් නෙවෙයි. ඔහුගේ සුවිශේෂී නිර්මාණ රසික හදවත් තුල තැන්පත්වෙලා තියෙන ආකාරයට ඒවා කවදාවත් විනාශ කරන්න පුළුවන් නිර්මාණ නොවෙයි. ඒ පිළිබඳ සැකයක් නෑ.

අවසාන කරන්න කලින් ප්‍රේමකීර්ති නැසීගිය ගායක මර්වින් පෙරේරාට ලියපු 'මේ නගරය' ගීතයේ අවසාන පද කීපය මට මතක් වෙනවා...


'ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා...'

Wednesday 8 August 2012

ජනාදිපතිතුමනි! මේ ඔබේ අවදානය පිනිස නොවේ!


අද අපි ගොඩ දෙනෙක් සිටින්නේ කුක්කු බබාලා වාගේය. අපි මුකුත් දන්නේ නැතිය. මොකද අපි කුක්කු බබාලා නිසාය. ඒත් ඇත්ත කතාව ටිකාක් විතර අපිට තේරෙනවාය. ඒ අපි ඇත්තටම කුක්කු බබාලා නොවන බවය. ඒ බව අපි එක්ක කතාවට එන ඕන කෙනෙක්ට තේරෙනවාය. මොකද කුක්කු බබාලා වගේ හිටියත් කට ඇරියොත් මහදැනමුත්තාටත් ඉහලිං අපි පංඩිත නිසාය. ඒත් අපි කුක්කු බබාලා නොවෙන බව දැන දැනම කුක්කු බබාලා වාගේ ඉන්නට උත්සාහ කරන්නවාය.

හෙළුවැල්ලෙන්ම කියල දැම්මොත් අපි සේරම දන්නවා වුනාට දන්නෙ නෑ වගේ ඉන්න ආසය. එහෙම ඉන්න එකට කියන තනි වචනය 'නරුමවාදය' කියා ශිෂ්ශත්තෙට පාඩං කරන අයියා කෙනෙක් කිව්වේය. බැරි වෙලාවත් අපිට දැන දැන බොරු කරන්න බැරි ඇත්ත කේස් එකකට මූන දෙන්න සිද්ද වුනොත් අපි එතනින් මාරු වෙනවාය. ඒකට කියන්නේ 'බබා හුකුං දානවා' කියලාද කියන එක මට ෂුවර් නැතිය.

මේ සේරම කියන්නේ එක තැනකට එන්නය.

ඊයෙ පෙරේදා ජනාදිපතිතුමා අපේ නගරෙට ආවේය. නගරේ පුරා කටවුට් ඇලවුනි. ලකුනු දමාගන්න ගමේ ජනතා නියෝජිත සියලුම අංකල්ලා උන්දලාගේ මූනත්තහඩුව අමුනා ජනාදිපතිතුමාගේ ලයිප් සයිස්ට වඩා සයිස් එකේ කටවුට් ගැසුවෝය. සමහර කටවුට් නිසා පාරවල්වල හන්දි ඇහිරිලාය. බස් ස්ටැන්ඩෙකේ පාර පුරා ගසා ඇති කටවුට් එකක් නිසා අද දවසේත් වාහන එහෙ මෙහේ යන එකේ අනතුරක් තිබුනේය. මොකද පාරේ බාගයක් ඒකට වැහිලාය. එහා පැත්තෙං එන වාහනේ පේන්නේ නැතිය.

නගරයේ හන්දියේ ලොකු රවුන්ඩබවුට්ටෙක වටේ සැනකෙලියක් වගේය. ‍එක එක පාටින් කටවුට් පිරිලාය. වෙසක් තොරන් වගේය. එකම වෙනස ඒවා බලන්ඩ බැරි තරං අජූත මූනවල්වලින් පිරිල තියෙන එකය. සමහර කටවුට් ජනාදිපතිතුමාගෙන් රැස් විහිදෙන ආකාරය මනරම් ලෙස විදහා දැක්වෙන ආකාරයට සාදා තිබුනේය.

ගුගල් අර්ත් එකේ හරහට බලන්න පුළුවන්නං ඔයාලටත් ඒ මනරම් දර්සනේ බලන්න පුළුවන්ය. එහෙම පුළුවන් වුනානං අපේ ජනාදිපතිතුමා දැන් ඉන්නේ කොහේද කියලාත් හරියටම කියන්නත් පුළුවන්ය. මොකද උන්දෑ යන යන තැන අහස සිඹින කටවුට්ය. හතුරෙක් නැති එක ‍හොඳට හිටියේය. නැත්තං ගුගලෙන් බලා ගේමක් දෙන්න පුළුවංය.

හතුරෝ මර්ධනේ කරාය කියලා එතුමා ඉන්නේ නිදහසේය කියා මට හිතෙන්නේ නැතිය. උන්නාන්සේ ඉන්නේ හරි බයෙන් වගේය. කොයිතරං බයෙන්ද කියනවානං නගරයේ මීටර් 10න් 10ට පොලිසි, ආමි මාමලා සිටියෝය. අනේ ඒ වෙනුවට පොලිස් නැන්දිලාවත් හිටියානං ඒ පොඩි වෙලාවට අපේ නගරය ලස්සන වෙන්න තිබුනාය. ඒ බව අජිත් කුමාරසිරි නැමැති ගල් මූසල සින්දුකාරයාද එයාගේ ත්‍රස්තවාදී සින්දුවක කියලා තියෙනවාය.

උන්නාන්සෙගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් නගරේ පාරවල් හේදුනේය. දූවිලි පොඩිත්තක්වත් නැති අළුතෙං තාර දාපු පාරවල් වගේ එදා දවසේ අපේ පාරවල් තිබුනේය. ඒ වුනාට අපට ඒවායේ යන්නට හම්බ වුනේ නැති තරංය. පාරේ වාහනයක්වත් නවත්තනවාට පොලිස් මාමලා ඉඩ දුන්නේ නැත. කොටිංම මගේ පුංචි බයිසිකලේ පාර අයිනේ නතර කරන්නේ නැතිව අතුරු පාරක අස්සකට ගොස් නතර කරන ලෙස පොලිස් මාමා කෙනෙක් මට කිව්වේය. සමහරවිට ජනාදිපතිතුමා මිනිස් පුළුටක් නැති වාහනයක් නැති දුමක්, දූවිල්ලක් නැති පොලිසිය විතරක් ඇති කාන්තාරයක් වගේ නගරයකට කැමතියි වෙන්නට පුළුවන්ය. එහෙමත් නැත්තං උන්දැටත් මට වගේ ස්වසන රෝගයක් තියෙන නිසා වාහන දුම පාලනය කරා වෙන්න පුළුවන්ය. මගේ ටිකිරි මොලේටත් ඔව්වා තේරෙනවාය.

ඒ අස්සේ අපේ චන්ද්‍රිකා අක්කලාගේ ගෙවල් පැත්තට ප්‍රාදේසීය සබාවෙං දවස් ගානක් වතුර එවන්නේ නැතිව මහ අලකලංචියක් වෙලාය. එයා ගමේ අයගෙං සල්ලි එකතු කරලා වතුර බවුසරයක්ම ගමට ගෙන ගියාය. බූලි තුන ගානේ ගමේ කට්ටිය වතුර බෙදාගෙන තිබුනාය. ගමම එකතු වුනොත් කරන්න බැරි වැඩක් නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවාය. ජනාදිපතිතුමා චන්ද්‍රිකා අක්කාගේ මේ වීර ක්‍රියාව දැනගත්තානං එයාට වීර පදක්කමක් දෙන එක ෂුවර්ය.

හැබැයි ඔන්න ආස්චර්යය නං උදා වුනේය. ඇත්තට ඒක මහම මහ ආස්චර්යයක්ය. ඒක උදා වුනේ අර කලිං කිව්ව රවුන්ඩබවුට් එකටය. සෑහෙන්න ඉස්සරනං ඒක මැද හිටියේ රන විරුවෙක්ය. හරියටම කිව්වොත් රන විරුවෙක්ගේ පිලිමයක්ය. රන විරුවෝ කිච වීගෙන එනකොට ඒක එතනින් ගැලවී නගරයේ මුල්ලක වෙන තැනකට ගියේය. ඊට පස්සේ ආතක් පාතක් නැතිව තිබුන රවුන්ඩබවුට් එකේ මැද ඊයෙ පෙරේදා හිටි අඩියේ රෝස මල් පිපුනේය. රැයක් ගෙවිලා පහුවදා උදේ වෙනකොට හොඳට පිපුනු ලස්සන රෝස මල් රොත්තක් රවුන්ඩබවුට් එක මැද දිලිසි දිලිසි නගරෙ ලස්සන කලේය. ඒවා නගර සභාවේ හෙන ආස්චර්යමත් වැඩය. ඒකෙ ඉන්න උන්දලා ජාතික ටීවී එකෙං බලා ගෙවතු වගා හෙම ‍කරන ඈයො වෙන්න ඕනෑය.

උදේ හම්බවුන ත්‍රීවීල් අයියා කිව්වේ පැය දෙකකට රුපියල් කෝටි විස්සක්ම වියදං කොරලා කියලාය. පොලිස් මාමලාගේ ඩියුටි ගාස්තු එක්ක උන්දලාගේ වාහනවලට තෙල් ගහනකොටම බරගානක් යන්න ඇති කියලා ඒ අයියා කීවේය. කටවුට් හදන උන්ගේ රස්සා ගැනත් ලොක්කන් උනන්දු බවක් උන්දෑ කිව්වා මතකය. ඒවා ජනතා මුදල් කියලා ඒ අයියාට තරහා ගිහින් තිබුනාට උන්දෑ ඔය වැඩේට සතයක්වත් දීලා නැති බව මම දන්නවාය. ඒ නිසා උන්දා කිව්වේ ඇත්තද බොරුද කියා මම දන්නේ නැතිය. ලකුනු ටිකක් වැටෙන එක හැම එකටම වඩා වටිනවා වෙන්න ඕනෑය.

ඇත්තටම මේ කැටයං සේරම ‍නිකං ලකුනු දාගන්න කොරන පුක් වැඩ බව මේ පුංචි මට යන්තං කිලෝමීටර වෙනවාය. ඔය සන්තෑසිය ජනාදිපතිතුමා සම්බන්දයෙං විතරක් නෙවේය. මුළු රාජ්‍ය අංසයේම ව්‍යාප්ත වෙලා අහවරය. පුද්ගලික අංසෙත් නෑ කියන්න බෑය. දැන් සේරම සිද්දවෙන්නේ ලොක්කාගෙන් ලකුනු දාගන්න එක උඩය. වැඩ නොකරාට කමක් නැත. වැඩ කරන උන් වැඩම කරන නිසා උන්ට ලකුනු ගැන හිතන්න වෙලා නැතිය. ඒ හින්දා උන් කරන වැඩ ටිකටද ලකුනු දාගන්න ඕන තරං කට්ටිය ඉන්නවාය.

අපේ ජනාදිපතිතුමා මට වඩා ගොඩ්ඩ්ඩාක් ලොකු ඇත්තෙක් හින්දා උන්දැටත් මේවා නොතේරෙනවා වෙන්න බැරිය. ඒත් උන්දෑත් මං වගේම කුක්කු බබෙකි. උන්දෑත් මේව සේරම දැන දැන දන්නේ නෑ වගේ ඉන්නවාය. ඉතිං රටේ ලොකුම ඇත්තාගෙන් පටං අරං පාතම ඉන්න මං වගේ එකෙක් වෙනකල් රටම කුක්කු බබාලා බව දැන් පැහැදිලිය. මෙච්චර අකුරු කොටලා තටමලා මට ඕන වුනේ ඒක කියන්නය.


පස්සෙ ලිව්වා...

ජනාදිපතිතුමා මගේ බ්ලොගය කියවනවා වෙන්න බැරිය. අඩුගානේ ලේකංතුමාවත් බලනවා වෙන්ඩ බැරිය.

ඒත් දැක්කොත් කරන්ඩ දෙයක් නැත. කරන්ඩ තියෙන එකම දේ නොදැක්කා වගේ ඉන්න එකය.

Tuesday 31 July 2012

ප්‍රේමකීර්ති, ගනේගොඩ, අම්මා සහ මම


ප්‍රේමකීර්ති එක විධියකට වීරයෙක් විධියට මම සලකන පුද්ගලයෙක්. ඔහු වීරයෙක් වුණේ ගනේගොඩ අයිය නිසා. රජයේ චිත්‍රපටි අංශයේ ඉන්න කාලෙ ප්‍රේමකීර්තිව පුද්ගලිකවම දැනගෙන හිටපු ඔහු ප්‍රේම්ගේ උග්‍ර රසිකයෙක්. ඒ නිසාම අපි සෙට් වුණාම පට්ට ගහන මර්වින් පෙරේරගෙ සින්දු ටික අස්සෙ ගනේගොඩ සැරින් සැරේ ප්‍රේමකීර්තිව මතක් කරන්නෙ ඔහුගෙ වචන අතර මාව අතරමං කරමින්.

ප්‍රේමකීර්ති මං මුලින්ම අඳුනගන්නෙ රූපවාහිනියෙ මහජන සම්පත වැඩසටහනින්. ඒ කියන්නෙ 1986-88 වගේ කාලෙ වෙන්න ඕන. මම හෙණ පොඩියි. ඒ වුණාට අම්මට ඒක බලන්න උණක් හැදිල තිබුණ. අම්ම එක්ක මමත් ඒක බලනව. ඒකෙ ආරම්භක නිවේදකයෝ වුණේ ප්‍රේමකීර්ති, රේණුකා බාලසූරිය සහ නිල්මිණි සිගේරා. ‍දිනුම් වාරයක් පාසා රේණුකයි නිල්මිණියි මාරු වුණා. මම නං ඒ දවස්වල(ත්) කැමති රේණුකාට :P ඔය වැඩසටහන හිට් වුණේ ප්‍රේමකීර්ති නිසා. පැය බාගයක් විතර විකාශනය වෙද්දි ඔහු සෑහෙන්න රස කතා ගොඩක් කියෙව්වා. ප්‍රශ්ණ ඇහුවා. තැපැල්පත් වලින් ප්‍රශ්ණ වලට පිලිතුරු ගෙන්නුව කියලත් මතකයි. ඒක ලොතරැයි වැඩසටහනක් වුණත් සෑහෙන්න රසවත් එකක් වුණා.

පසුව ප්‍රේමකීර්ති මෙහෙයවනවා 'හරි පුදුමයි නේද?' කියල එකක්. ඒක ඔය ලොතරුයි වැඩසටහන අස්සෙම ගියාද වෙනමම ගියාද කියල මතක නෑ. නමුත් ඒකෙ විකාශනය වුණෙ ඔය ලෝකෙ තියෙන පුදුම සහගත දේවල් ගැන. ඔහු ඒ හැම දෙයක් ගැනම කියල අවසන් කළේ 'හරි පුදුමයි නේද?' කියල අහලා. දැන් නම් අපි ඒ පෙන්නපුව වගේ ඒවට කියන්නෙ hoax කියලා.

ඒ කාලෙදිම ඔහු හැම ඉරිදාම (මතක විධියට පස්සෙ සෙනසුරාදාත්) ආයුබෝවන් වැඩසටහනින් හම්බවෙනවා. ඒවට ඔහුත් එක්ක නිවේදනයට අසෝකා වනමලී, අනෝමා වත්තලදෙණිය, රවි ජෝන්, අරුන් ඩයස් බණ්ඩාරනායක වගේ අය සම්බන්ධ වෙනවා. ඒකෙ හිටපු අයගෙ නම් මතක නැති එක නම් හෙණ අපරාදයක්. ඒ වැඩසටහන් අපි මගඇරියෙ නැති තරම්. (ඉරිද ඉස්කෝලෙ නොගිය එකේ වාසිය :P) එක එක රස කතා, විහිළු වගේම මොළේ කචල් වෙන විධියෙ ගැටළු ගොඩකින් ප්‍රේමකීර්ති සන්නද්ධ වෙලා හිටියා. ඒ දවස්වල මම දන්නෙ ඔහු රූපවාහිනී නිවේදකයෙක් කියල විතරයි. ඒ වෙද්දි අම්මත් මමත් දෙන්නම ඔහුගෙ උග්‍ර පංකා හෙවත් fans බවට පත්වෙලයි හිටියෙ.

ඔහු මිය ගිය ප්‍රවෘත්තිය අපට අදහගන්න බැරි එකක් වුණා. ඒක අපට කිව්වෙ තාත්තා. ඔහු ඒක දැනගෙන තියෙන්නෙ ගුවන්විදුලියෙ පාන්දර ප්‍රවෘත්ති වලින්. අම්මයි මමයි දෙන්නම ඉන්න තැන තාත්ත ඒ ගැන කිව්වෙ 'අන්න ඔය දෙන්නගෙ යාළුවට වෙඩි තියල' කියලයි. ඊට පස්සෙ මම සාමාන්‍ය විධියට හැසිරෙන්න උත්සාහ කලත් එදා දැණුන ඒ හැඟීම වචන වලින් කියන්න බැරි එකක් බව මම අද දන්නවා. ඒ හැඟීම ආයෙම දැණුනෙ 1993දි ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය දවසෙ. දේශපාලනය ගැන මෙලෝ දැනුමක් නැති වුණාට ඒ කාලෙ ඔහු අපට පෙණුනු/පෙන්නපු පරමාදර්ශයක් වීමයි ඒකට හේතුව.

ඊට පස්සෙ කතාව සාමාන්‍ය වෙනවා. ප්‍රේමකීර්ති තියා සංගීතෙත් නොදැණුන කාන්තාරමය කාලෙකට පස්සෙ ආයෙත් ඔහු මට අනුව පොරක් වෙන්නෙ 2003දි ගනේගොඩව හම්බ වුණාට පස්සෙ. මර්වින්ගෙ සින්දු අස්සෙ ප්‍රේමකීර්ති ලියපුව ගනේගොඩ අඳුණගන්නෙ වචන වලින්. මට ඒ ගැන තේරුමක් නොතිබුණත් ගනේගොඩ අයියට ප්‍රේමකීර්තිගේ වචන ගැන ඒ තරම් දැනුමක් තිබුණා.

හැම සිදුවීමක්ම මට මතක නැතත් ප්‍රේම් ලියපු මර්වින් කියන 'නිමා නොවෙන පෙම් හැඟුම්' කියන සින්දුව ගනේගොඩ මට තේරුම් කරපු විධියනං මතකයි.

'උඹ ලව් කරන කෙල්ල එක්ක යද්දි වෙන කෙල්ලො දිහා බලන්නෙ නැද්ද?'

ගනේගොඩ ඇහුව.

'නෑ'

මම ඒ දවස්වලත් හෙණ පඬිය.

'අනෙ පළයං බං යන්න බොරු නොගහ'

ගනේගොඩගෙ කිණ්ඩි හිනාව මාව කූඹියෙක් කලා.

'බලන්න ඕන වුණාට බලන්නෙ නෑ ඉතිං හරි නෑනෙ'

මං ෂේප් වුණා.

'ඒක තමයි කියන්නෙ. උඹ කොයි තරම් ලව් එකේ හිටියත් උඹේ හිත හැම තැනම යනවා. බලපං ඔය සින්දුවෙ කියන්නෙ ඒක ගැන තමයි'

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම්
සොරෙන්

'ඕකෙ විධියට උඹ උඹේම කියල ගෙයක් හදාගෙන ඉන්න ගියාට හිත උඹටත් නොදැනීම පිටවෙලා වෙන ගෑණු පස්සෙ යනවා... පෙම් හැඟුම් කියන ඒව එක ගෑණියක් කියල සීමාවක් දාගෙන තියාගන්න පුළුවන් ඒව නෙවෙයි.'

ගනේගොඩ කියාගෙන ගියා. මම සින්දුව රිවයින් කරල මුල ඉඳන් ඇහුවා.

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්

පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්
නුරා ලවන් සොයා පියා සලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...

හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...



'එහෙම වෙනව කියල උඹ උඹේ කෙල්ලට ආදරේ නැති ලබ්බක් නෙවෙයි කියන්නෙ. ආදරේ එහෙම්මම තියෙයි. හිතේ සීමාවක් නැති එක ගැනයි කියන්නෙ'

මම එදා ඒක තේරුම්ගත්තෙ ආදරේ සහ කෙල්ලො ගැන මට තිබුණ ප්‍රශ්ණ ‍කීපයක්ම විසඳගෙන. පෙම් හැඟුම් නිමා වෙන්නෙ නෑ...

එදා ඉඳන් අද වෙනකල් ගනේගොඩ එක්ක සෙට් වෙන ඕනම වෙලාවක සින්දු කියන්න පුළුවන් මෝඩ් එක ආවොත් මර්වින්ගෙ සින්දු සෙට් එක වරදින්නෙ නෑ. ඒක අපිත් එක්ක සාමාන්‍යයෙන් සෙට් ‍වුණ පුද්ගලයින් අනුව නිරායාසයෙන්ම ඉදිරිපත් වුණ ඉල්ලීමක් වුණා. කවදාවත් සින්දුවක් පාඩම් හිටල නැති මට 'කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී' සින්දුවෙ අන්තරා කෑලි පැටලිලා හරි මතක හිටියෙ ඒ සෙට්වීම් නිසා. ඒ හැමවෙලේම ප්‍රේමකීර්තිගෙ වචන ගැන ගනේගොඩ පුන පුනා කියන්නෙ ඔහු ගීතය තනිකරම වචන වලින් ආස්වාදනය කරපු නිසා. ඒ වගේම ඔහුත් එක්ක මෝටර් සයිකලේ ගිය කතා, බේබදු කතා, සහ අඹ ගැට වලට තිබුණ ප්‍රේම්ගෙ පෙරේතකම ගැන කතා ගනේගොඩ සැරින් සැරේ කියවනව.

ඒ එක්කම ඒ අර්ථයෙන් ප්‍රේම් දිහා බලන්න මමත් හුරු වෙනව. ඔහු මගේ වීරයෙක් වෙන්නෙ එහෙම. වික්ටර්ගෙ මර්වින්ගෙ ප්‍රියාගෙ සින්දු අහද්දි මම ඒ සංවාද වලට යන්නෙ නිරායාසයෙන්.

ප්‍රේමකීර්ති ගැන අයිටීඑන් එකේ ගිය අවුරුද්දෙ ගිය ප්‍රෝග්‍රෑම් එක මට බලන්න බැරි වුණා. ඒක මේ වතාවෙ ආයෙමත් පෙන්නුවා. ඒකෙදි දිලීප අබේසේකර මරු කතාවක් කිව්වා. 'ප්‍රේමකීර්ති ජීවත්වෙලා හිටපු කාලෙදි කරපු දෙවල් බැලුවම ඔහු මේ වෙනකොටත් ජීවත් වෙලා හිටියනම් කොහොම දේවල් කරයිද කියල හිතාගන්න බැහැ. ඔහු චිත්‍රපටියක් කරන්න තිබුණා. ටෙලි නාට්‍යයක් කරන්න තිබුණා. අපට පුළුවන් ඒ ගැන හිතල ඔහු කරපු ටික රසවිඳින්න විතරයි'

ඔහුගෙ අතිවිශාල හිතේ තිබුණ දේවලින් අපි දන්නෙ බොහොම පොඩ්ඩක් විතරයි. සමහර විට ඔහු ජීවත්වෙලා හිටියනම් ලොකු දෙයක් නොවෙන්නත් පුළුවන්. නැති දේ ගැන දුක් වෙන එක අපි කාටත් පොදු දෙයක්.

අන්තිමේදි ඔහු වෙනුවෙන් අපට කරන්න පුළුවන් ඔහුගේ නිර්මාණ බෙදාගන්න එක. ඒ රසය ඒ ගැන නොදන්න අයට යොමු කරන එක. මේ සටහන ඒකට පොඩි තල්ලුවක් වෙයි කියල හිතන එක ඇරෙන්න මටත් කරන්න දෙයක් නැති තරම්.

ප්‍රේමකීර්ති සම්බන්ධයෙන් මම මුලින්ම ලියන්න ගියේ ක්ලෝඩ් ප්‍රනාන්දු මහත්තය ලියපු ලිපියක් ආශ්‍රයෙන් කරපු පරිවර්තනයක්. ඒක කම්මැලිකමත් එක්ක සම්පූර්ණ වුණේ සෑහෙන්න හෙමින්. නමුත් ඒකත් බ්ලොගේ දානව.

ප්‍රේම් ගැන අනාගතේදි වෙන දෙයක් ගැන ඊටත් පස්සෙ...

Wednesday 25 July 2012

හිඟන ස්ටාර් අරමුදල

සල්ලි නැති කෙල්ලක් පාරෙ ගියපු ගෑණියෙක්ගෙ මාලයක් කැඩුවා. කෙල්ල පොලිසි ගිහින් කිව්වෙ මාර අනුවේදනීය කතා පුවතක්. ඒ කතා පත්තරවලින් පට්ට ගැහුව. ටීවී නිව්ස් පටි අස්සෙ සිංහල බාසාවෙ තියෙන ඇඬන වදන් වලින් තරුණියගෙ කතාව කොටස් කලා. ඒ මදිවට නිව්ස් කියන ඩයල් එක කතා කලේ කෙල්ලව කසාද බඳින්න වුණත් කැමති ගාණට.

තමන්ගෙ දුප්පත්කම වෙනුවෙන් එහෙම පියවරක් ගත්තු ඒ කෙල්ල දවසින් වීරයෙක් වුණා. එක අතකට සාධනීය වීරයො මැරිල ඉද්දි ඕන කෙනෙක්ට වීරයෙක් වෙන්න කරන්න තියෙන්නෙ එහෙම නීති විරෝධී වීරකමක් විතරයි.

බැරි වෙලාවත් ඕක කොල්ලෙක් කරානං උගේ ඇට නැතිව එන්න වෙන්නෙ.... නෑ නෑ.. ඌ තාම කූඩුවෙ එහෙනං.

ඒක කියනකොට මතක්වෙන්නෙම මේ දවස්වල හිට් වෙන නිව්ස් කෑලි. මම බොහොම සන්තොසෙන් ගෙදර ඉන්නෙ මේ දවස්වල ටීවී එක කැඩිල නිසා. නිකමටවත් ඔය කුණු නිව්ස් අහන්න සිද්ධ වෙන්නෙ නෑ. ඒ වුණාට ඔෆිස් ගිය ගමන් එතන ඉන්න ගෑණු ටික කලින් දා ගියපු කුණු නිව්ස් කියන්නෙ රහ කර කර.

ගෑණු දූෂණය කරපුව, ළමයි පිච්චුන ඒව, අම්මල කිරි බොන වයසෙ ළමයි දාල ගිය ඒව, පොඩි කොල්ලන්ව අපයෝජනය කරපුව රූප රාමුවෙන් රාමුවට විස්තර කරන්නෙ සියුමැලි ළඳවල් කියල බැලූ බැල්මට පේන ගෑණු. අනේ උන්ගෙ සියුමැලිකම. උන්ට හරියට ඒ අපරාධකාරයො දැන් මාර පොරවල් වෙලා වගේ කියල මට හිතෙනව. මොකද ඔය සිදුවීම් උස්සල දාල කියවන විධියට ඒව කරන උන් නිකංම ස්ටාර්ල වෙලා... ළඟදිම එකක් පටන්ගනියි එස්.එල්. පෝන් ස්ටාර් කියල. ඒ වෙනකොටනං ටී.වී. එක හදාගන්න වෙනව.

දැන් කාලෙ පොඩි කෙල්ලක් අපයෝජනය කරාම මාර පොරක් වෙන්න පුළුවන්. එහෙම කරපු උන් අල්ලල හිරේ දැම්මම උන් වෙනුවෙන් බැනර් උස්සන් පාරට බහින උන් ටිකකුත් ඉන්නවනේ.

එව්ව වැඩක් නෑ... ඔන්න අර මාලෙ කඩපු කෙල්ල අන්තර්ජාලෙ අස්සෙත් පොරක් වුණා. එයාගෙ කතාව ලෝකෙ පුරාම පැතිරුණා. ඒ එක්කම කවුදෝ කරපු යෝජනාවකින් කෙල්ල වෙනුවෙන් අරමුදලක් පටන්ගත්තා. ඒක ‍සෑහෙන්න නැගල ගියා. පරම්පරා ගාණකට හරියන්න කෙල්ලගෙ එකවුන්ට් එක පිරුණා.

මේක නිහඬව බලාගෙන හිටපු කීප දෙනෙක් වැඩේ අල්ලගත්තා. මේක මරු වැඩේ. හරියට අර බස් වලට නැගල තාත්ත පොල් ගහෙන් වැටුණ, කසාදෙ කැඩුණ අක්ක ළමයි දුසිමක් එක්ක ගෙදර ඇවිත් ඉන්න, ගෑණිට පිළිකාවක් හැදුණ, ළමයි හතර දෙනෙක් ඉස්කෝලෙ යන්න බැරිව ඉන්න, වගේ කතා කියල ලංකාවෙ දුගී දුප්පත් බස් මගීන්ගෙන්ම ගාණ කපාගන්න දුගී දුප්පත් අයියල කරනව වගේ වැඩක්.

ඔන්ලයින් හිඟමන් යැදීමක්. කොහොමද ඒක?

මේ කාලෙ හැම ඉලව්වක්ම ඔන්ලයින් නිසා හිඟමනට විතරක් එහෙම නොවී තියෙන්න බෑනෙ. අර ඉස්සෙල්ලාම සව්දි ගිහින් ආවම අපේ යාළුවෙක් කිව්ව වගේ 'උන්ගෙ බලු කූඩුවක් හැදුවත් ඒකත් ඒසී කරනව බං' වගේ වැඩක්. විශ්ව ගම්මානයට ලංකාව යද්දි හිඟන්නො ටික දාල යන්න බෑනෙ.

කට්ටිය වැඩේ පටන්ගත්තා. වැඩිය මතු වෙන්නෙ නැතිවෙන්න ගාණට වැඩේ ගියා. බො‍රුවට කරදරයට ලක්වුණ විධියට මිනිස්සුන්ව පෙන්නලා අරමුදල් හැදුවා.

වැඩේ නැගල ගියා.

මේක බලාගෙන හිටියෙ අන්තර්ජාලෙ හිටපු ආණ්ඩුවට සම්බන්ධ කට්ටියක්. අන්තර්ජාලය මාර්ගයෙන් සමාජ සේවය කියල සල්ලි හොයන එක හරි ලේසි වැඩක්. ඔය රට ඉඳන් වැඩ කරන උන් ලොකු ගණං දානවා. කම්පැණි වලින් ඇට්ටි හැලෙන්න ගරන්න පුළුවන්. එස් එම් එස් කැම්පේන් කරලත් බර ගාණක් හොයාගන්න පුළුවන්නේ....

උන්දල රැස්වීමකදි යොජනාවක් ගෙනාවා. අසරණ වුණ මිනිස්සු වෙනුවෙන් පිහිට වෙන අරමුදලක්. ඒකට ඔන්ලයින් දායක වෙන්න පුළුවන්. ලංකාවෙ යම් අසරණකමකට ලක්වෙන ඕන කෙනෙක්ට ඒකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන්. මේක මරු වැඩක්. රාජ්‍ය ආරස්සාවත් තියෙනවනේ...

කට්ටිය ඔය යෝජනාව සකස් කරලා ලොක්කන්ට ඉදිරිපත් කලා.

‍හප්පා.... තවත් අරමුදලක්....!!!

ලොක්කන්ගෙ කටවල්වල කොන් කන්වලට ඇදුණා...

Saturday 21 July 2012

ගල් ජීවිතයෙන්...



කාර්යාලයෙ ඉතාම හදිස්සි වැඩක යෙදෙන්න පටන්ගන්නකොටම දුරකථනය සාක්කුව ඇතුලෙ වෙව්ලන්න ගත්තා. මේ වෙලාව ලේසියෙන් කෙනෙක්ට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒත් මේ ඇමතුම කොයිම වෙලාවකදිවත් රිජෙක්ට් කරන්න පුළුවන් එකකකුත් නෙවෙයි. ජීවිතේ ඉතිරිවෙලා තියෙන මනුස්ස සම්බන්ධ කීපය අතරින් එකක් එහා කොනේ තියෙන බව මම දන්න නිසයි ඒ.

හලෝ....

මම ඇමතුමට පිළිතුරු දුන්නා...

උඹ අම්බාණක් වැඩද?

ගනේගොඩ අද නම් තවමත් හොඳ සිහියෙන්...

නෑ නෑ ෂේප්...

ඒ මම කවදත් දෙන උත්තරය. ගනේගොඩ වෙනුවෙන් මම දන්න තරමින් මම ලේසියෙන් බිසි වෙලා නෑ. කොහොමත් ඔහු එහෙම කතා කරන්නෙ මාසෙකට දෙකකට සැරයක් විතරයි...

උඹ බිසි වුණත් කරන්න දෙයක් නෑ බං.. මම දැන් ටිකකට කලින් අම්බාණක් ඇඬුව. මේක දරාගන්න අමාරුයි බං.

ඔහු කියාගෙන ගියා.

ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?

මුකුත් වෙලා නෑ. දරාගන්න අමාරුයි බං. මේව මං කාටද කියන්නෙ?

මොකද ඉතිං අඬන්න හේතුව?

හේතුවක් නෑ හර්ෂ මට අම්ම මතක් වුණා. චූටි මතක් වුණා. අමරෙගෙ පරණ සින්දු ටික ඇහෙනකොට හිස්ට්‍රියට ගිහින් ඉතිං ඇඬුණ. මේව කියන්න එකෙක් නෑ බං. මිනිස්සුන්ට කවදද මේව තේරෙන්නෙ.

මිනිස්සුන්ට වැඩ තියෙනවනෙ ඉතිං. දරාගන්න වෙනවා.

උඹ කියන්නෙ විකල්පයක් නෑ කියලද? උඹ කවදාවත් එහෙම අඬල නැද්ද?

සෑහෙන්න ඉස්සර. අම්මයි තාත්තයි හින්ද.

උඹ මොකද කළේ ඉතිං.

මං ගල්ගැහුණ ඉතිං. වෙන කරන්න දෙයක් නෑ. ඒ කාලෙ එහෙම ඒව කතා කරන්න තරං ෆිට් මනුස්සයෙක් හිටියෙ නෑනෙ.

දරාගන්න එක තමයි නේද බං සීන් එක? දරාගන්නෙ කොහොමද මචං. ඒකෙත් ඉවරයක් නෑ බං. හැඟීම් දැණෙනව වැඩි වුණාමත් මාර වාතයක්.

දැන් අපි ඉන්න ලෝකෙදි ඒක ලෙඩක්.

මොනව කරන්නද බං.. උඹ එහෙනං වැඩක් කරගනිං.

ළඟපාත දුමක් තියෙනවනං ඉතිං ඔය ෆීලිං එක වාෂ්ප කරල දාන්න... නැත්තං නින්දක් දාල නැගිටින්න.

වෙන කරන්න දෙයක් නෑ බං. මං ගාව රුපියල් දහයක් තිබුණා. ගේ අස්සෙ අවුස්සල බලල ඉතිරි ගාන හොයාගන්න ඕන දුමක් ගේන්න.

හා හා ඕන එකක්. හොයාගන්න බැරි වුණොත් ආයෙත් ඇති තරම් අඬන්න.


දුරකථන සංවාදය සුපුරුදු බායි කීපයකට පස්සෙ නිමා වුණේ හිතේ තැන්පත් වුණ බරක් එක්ක. හැමදාම ඔහුත් එක්ක සංවේදී සංවාදයකින් පස්සෙ මට තනියෙන් හිතන්න ඉතිරි වෙන හැඟීම මට දැණුනෙ කාලෙකින්. ඒ තරමට ඔහුත් මමත් ඈත් වෙන්න අරන්. ඇත්තම කිව්වොත් ජීවිතේ අපි අතර ලොකු ප්‍රතිරෝධයක් ඇති කරලා. එකිනෙකා එක්ක සංවාදෙකට වඩා අදහස් තමන් තුලම ගොනු වෙන තනිකමක් ගොඩනැගිලා.

ජීවිතේ අර්ථදැක්වීම් සෑහෙන්න ප්‍රමාණයක් අළුතෙන් හඳුනාගත්තු මිනිහෙක්ට ආදරේ වෙනුවට මිනිස් සම්බන්ධ වල ගනුදෙනු තේරෙද්දි ජීවිතේ අමාරු වෙන එක සරල ඇත්තක්. ඒ අස්සෙ වටේ තියෙන සීමිත මිනිස් සම්බන්ධතා අස්සෙ තියෙන ආදරේ දැණෙද්දි ඇඬනව තමයි. අඬනව ඇරෙන්න ඒකට වෙන විසඳුමක් නැති තරම්. තමන් අසරණයි නම්, තමන්ට උදව් කරන්න ඉන්න අය ඊටත් වඩා අසරණයි නම් මිනිහෙක්ට වෙන විකල්පයක් නැතුව ඇති.

ජීවිතයත් මරණයත් අතර එක්තරා යුද්ධයක් කරමින් ජීවත් වෙන මනුස්සයෙක් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද? හැම මාසෙකදිම ගිගා බයිට් විස්සක තිහක චිත්‍රපටි ටිකක් එක්ක දුම් කූරු හතරක් පහක් විතරක්??? සමහර විට ඔව්. ජීවිතේ වෙනස්වීම් එක්ක එතනින් එහා සංවාද සේරම වචන කීපයකට විතරක් සීමා වෙද්දි, මට ඔහු එක්ක රැඳෙමින් චිත්‍රපටියක් ගැන මොළේ අවුල් කරන සාකච්ඡාවක යෙදෙන්න කාලයක් නැති වෙලා ගිහින්.

එහෙම නැත්තං මුල්ලකින් ඇදල ගන්න 'මම කවුද' කියන උත්තර නැති ප්‍රශ්ණෙ ඔස්සේ හාවගේ ලොම්වලිනුත් මිදිල අභ්‍යවකාශයේ නිමක් නැති එකඟත්වයකුත් නැති සංවාදවල කිමිදෙන්න....

ජීවිතේ සංකීර්ණ වෙලා... හැඟීම් ගල්කරගන්න ඕන වෙලා. අච්චු වලට හැඩගැහුණ ජීවිත අස්සෙ හුරු පුරුදු ඇනුවල් වෙනස්වීම් ඇරුණම කිසිම අහම්බයක් නැතිවීම ඔහුගෙත් ම‍ගේත් සිග් සැග් සයිනාකාර ජීවිත ලීනියර් කරන්න අරන්...

උඹ ආයෙ එනකොට එහෙනං අළුත් වස්තු සම්භාරයක් අරන් වරෙන්...

ඔහු හැමදාම සමුගනිද්දි කිව්වෙ එහෙම.

ගිගා බයිට් විස්සක තිහක වස්තු සම්භාරය...

අඩු තරමෙ ඒ වචන කීපය තාමත් අපි සම්පූර්ණයෙන්ම ගල් වෙලා නෑ කියන එකට සාක්ෂියක් වුණා...

Friday 29 June 2012

ඉහළ පහළ සහ සමතල...

සංගීතය කියන්නෙ ඕන කෙනෙක්ගෙ ජීවිතේ ‍කොටසක්, සින්දු කියන විෂය ගැන මලදානයක් නොදන්න, සින්දුවක් නාහන කෙනෙක්ගෙ වුණත් රිද්මයක් තියෙනවා. රිද්මය කියන්නෙ සංගීතමය දෙයක්. ඒක වෙන වෙන විධි වලටත් අර්ථ දක්වගන්න පුළුවන් ඇති. නමුත් හදව‍ත ගැහෙන තැන ඉඳන් මුළු ජීවිතය පුරාම සංගීතමය අවකාශයක ජීවත්වෙන සත්ත්වයින් සහ ඒ රිද්මය සංගිතය කියන විෂය හරහා නැවත කියවන මනුෂ්‍ය අපි ජීවත්වෙන්නෙ සංගීතයත් එක්කමයි.

හැමදාම උදේට පා පැදියෙ රාජකාරියට යන විනාඩි 10-15ක වගේ කාලය මම සංගීතයත් එක්ක ගෙවන අමෘතමය විනාඩි කීපයක්. පාරෙ යන ගමන් සින්දු මුමුණන එක ආරක්ෂාව පැත්තෙන් ඒ හැටි හොඳ දෙයක් නෙවෙන්න පුළුවන්. නමුත් බාහිර පරිසරයටත් සංවේදී වෙමින් සින්දුවක පද මුමුණන එක කරන්න බැරි වැඩකුත් නෙවෙයි. විශේෂයෙන්ම ඔය මිමිණිල්ල අනිච්ඡානුගවම සිද්ධ වෙනකොට. ඒක තව දුරටත් ආයාසයකින් කරන දෙයක් නොවෙනකොට.

නමුත් එතනදි අපි පිවිසෙනව බොහොම පෞද්ගලික තැනකට. සංගීතයත් එක්ක වල්වැදෙන, පරිසරය අමතක වෙන තැනකට. අර ආරක්ෂාව කියන සාධකයට විතරක් දොර ඇරපු තැනකට. නොදැනීම ඒ පුද්ගලික අවකාශය සංගිතයෙන් පිරිල යනවා.

ඕක හැමදාම වෙන වැඩේ...

මෑතකදි මට තේරුණ ඔය හිස් තැන හැම වෙලේම එක රිද්මයකට කැමතියි කියල. ඒක සින්දුවක්. හැමදාම උදේට මට මිමිණෙන සින්දුවක්. දැන් අවුරුදු ගාණක් පුරාම එකදිගට. අඩුගාණෙ පද පේළියක් දෙකක්. ගිටාර් එකෙන් වැයෙන එක ස්වරයක්.

ඒ ඇයිද කියල මම කල්පනා කලා. කවදාවත් උත්තරේ හොයාගන්න බැරිබව දැන දැනම. නමුත් අන්තිමේ මට කිට්ටු කරන්න පුළුවන් වුණා.

ඒ මගේ ජීවිතේ පුරා බැඳුණු සයිනාකාර රිද්මයේම තවත් එක පැත්තක්. උස් පහත් සමතල අවස්ථා සියල්ලම එක රිද්මයක ගැයෙන තැනක්. වෙනත් නිර්මාණවලින් නොදැණෙන මට්ටමට සහ මට විග්‍රහ කරගන්න පුළුවන් මට්ටමට තියෙන එකක්. ඒක නොගැලවෙන විධියටම ජීවිතේට ඇළුන එකක් වෙලා.

කසුන්ගෙ රැඩිකල් ප්‍රේමය ඇල්බම් එකේ ගීතයක්. සුජීව සම්පත් පීරිස්ගෙ ලිවීමක්. සංගීතය කසුන් කල්හාරගෙ. කසුන් ඉන්ද්‍රචාප දෙන්නගෙම මුඛ වාදනයෙන්.

ඒක ඉහළ යනවා.... ආයෙ පහළ යනවා... ඒ අතරෙ බොහොම සමතලා තැනක රැඳෙනවා. ජීවිතේ වගේමයි.

අවසානයේ...
උස් තැන්, පහත් තැන්, සමතලා තැන් හැමදේම සුණු විසුණු වෙලා විනාශ වෙලා යනවා....


..................................................

ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක්
ගතේ දුවනා

ආදරේ නොදී එය සඟවා //
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා

ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
එය දකිනා...
නෙත් සතුටක්දෝ

Saturday 23 June 2012

අරියාතිගේ සැඟවුණු ලෝකයට...



ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා.

..............


මම දන්නව මේ කතාව මගේ වැඩිහිටි වචන වලින් විනාශ වෙනව කියල. ඒ වුණාට අද වෙනකල් මම හිතාගෙන හිටියෙ මගේ මතකයේ රැඳිල තිබුණ ඒ පුංචි සිදුවීම් ටික හුදෙක් මතකයන් විතරක් කියල. එහෙම නැත්තං යන්තම් කියවන්න පුළුවන් වුණා කාලෙ කියවපු සුරංගනා කතාවක් කියල... ඒ වුණාට අද මම දන්නව ඒක සුරංගනා කතාවක් නෙවෙයි කියල. හිතේ වියවුල් අඳුරු සිතුවිලි අතරින් ඒ මතකය ආයෙමත් හිතට එලියක් වුණේ ඒකයි.

සේරම පටන්ගත්තෙ මට මතක විධියට මගෙ වයස අවුරුදු 6-7 වගේ කාලෙක. ගෙදර පිටිපස්සෙ සිමෙන්ති පඩියක් හදන්න තාත්ත පොළොව කඩල තිබුණා. ඒ දවස්වල මම ‍ඉස්කෝලෙන් පස්සෙ සෙල්ලම් කලේ ඔය අයින් කරපු පස් කන්ද උඩ. පොල් කට්ටකට වතුර අරන් ඒ වතුරෙන් පස් අනල මැටි ගොඩක් හදල ඒකෙන් එක එක දේවල් හදපු එක. නැව්, කාර්, බස්... ඇතුළු දන්න වාහන සේරම... හදල ටිකකින් ආයෙම කඩල දැම්මත් ඒ පොඩි මොහොතෙ මම ලැබුවෙ අසීමිත තෘප්තියක්. ‍ගෙදර පඩිය හදන වැඩේ කල් ගිය හින්දදෝ මන්ද ඒ පස් ගොඩ සෑහෙන්න කාලයක් එතන තිබුණා. මගේ සෙල්ලමත් ඒ වගේම...

හැමදාම ඉස්කෝලෙන් පස්සෙ මම ගත කළේ එතන. කිසිම විශේෂ දෙයක් නොවී ගෙවුණ ඒ දවස් ටික ඉවර වුණේ පුදුම විධියට.

මට හම්බ වුණා පුංචි මැටි භාජනයක්.

ඒක සෙන්ටිමීටරයක් පළල නැතිව ඇති. නමුත් සාමාන්‍ය මැටි හට්ටියක තියෙන සම්පූර්ණ ගතිය ඒකෙ අඩු නැතිවම තිබුණා. පැත්තකින් පළුදු වෙලා... මගේ අල්ල උඩ ඒක තියාගෙන ඇස් දෙකට ළං කරගෙන මම ඒ දිහා බලාගෙන හිටිය විනාඩි කීපයක්. ඊට පස්සෙ කෑ ගහගෙන ගියේ ඇඳුමක් මහමින් හිටපු අම්ම ගාවට. අම්මට ඒක පුංචි පුදුමයක්වත් වුණේ නෑ. ඈ කිව්වෙ වතුර බින්දුවක් උඩ ඉඳන් වැටිල නිකංම හැදෙන්න ඇති කියල. ඇත්තටම ඇයට ඇගේ මහන වැඩේට අවධානය දෙන්න ඕන වෙලයි තිබුණෙ.

ඒ වුණාට මම මුල ඉඳන්ම හිතුවෙ වෙන දෙයක්.

කුරුමිට්ටෝ...

ගලිවර්ගෙ කතාවෙ හිටපු කුරුමිට්ටෝ. එයාල ඇත්තටම ඉන්නව. මම ඒක දැනගෙන හිටිය.

මේක ඒගොල්ල හදපු භාජනයක්.

ඊට පස්සෙ මගේ එකම අරමුණ වුණේ කුරුමිට්ටන්ව හොයන එක. පස් ගොඩ උඩ ඇණ තියාගෙන මම නිසොල්මන්ව සෑහෙන වෙලා බලං හිටියෙ කොතනින් හරි උන් මතු වෙනකල්. තාත්තගෙ විශාලන කාචය අරගෙන මම පස්ගොඩ වටේම අඟලින් අඟල ඒකෙන් බැලුව. කුරුමිට්ටො මම අනල ඉතිරි වෙන මැටි වලින් භාජන හදනව. මට ඒක හොඳටම තේරුණා.

දවස් කීපයකට පස්සෙත් මම බලාපොරොත්තු අතාරින්න සූදානම් වුණේ නෑ. ඒ දවස් ටිකේම මම ඉස්කෝලෙ පොත් හැම එකකම කුරුමිට්ටො ඇන්ද. උන් එක එක පාටින් පාට කළා. මම හිතුවෙ උන් එහෙම වෙන්න ඇති කියල. නැතත් ඒ දවස්වල ඇඳපු චිත්‍රවලට හරිම පාට ගාන්න උවමනාවක් මට තිබුණෙ නෑ. ඒ නිසාම මගේ පොත්වල හිටියෙ කහ පාට, කොළ පාට, නිල් පාට කුරුමිට්ටො. ඒ කොහොම වෙතත් මට උන්ව ඇත්තට දැකගන්න පුළුවන් වුණේ නෑ.

මම ඒ නිසාම වෙනත් සැලැසුමක් හැදුව. කුරුමිට්ටො එන්නෙ රෑට කියල ඒ වෙද්දි මට හොඳටම තේරිල තිබුණ. ඒ නිසා මම කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර පස් ගොඩ වැහෙන්න වතුර බාල්දි කීපයක් හැලුව. කුරුමිට්ටො ආවොත් උන්ගෙ අඩි පාරවල් මට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

හිතුව වගේම මට දවස් දෙක තුනකින් කුරුමිට්ටන්ගෙ අඩි පාරවල් හොයාගන්න පුළුවන් වුණා. සෙන්ටිමීටරයක් විතර දිග තිබුණ පා අඩි එක පේළියට පස් ගොඩේ ඉඳන් ගේ දිහාවට ගිහින් තිබුණ. පස් වල මැටි ගතිය නැති වෙනකොට ඒව මැකිලයි තිබුණෙ. ඒ වුණාට ඒ අඩි විහිදුණේ ගෙදර පිටිපස්සෙ තිබුණ දර, වත්තෙ වැඩ කරන උපකරණ වගේම කැඩුණු බඩු දාල තිබුණ තාවකාලික මඩුව පැත්තට.

මගේ ඊළඟ සෙවීම සිද්ධ වුණෙ ඒ මඩුව ඇතුළෙ. දවස් දෙක තුනක්ම මම ඒක අස්සට ගිහින් ටෝච් එකත් පත්තු කරගෙන කුරුමිට්ටන්ගෙ සලකුණක් හෙව්ව. අම්ම ඒ වෙද්දි මගේ ගවේශණයට ඔරවන්න පටන් අරගෙනයි තිබුණෙ. ඈට මගේ කුරුමිටි ප්‍රශ්ණ ලොකු හිසරදයක් වෙන්න ඇති.

එක දවසක්... ඒ දවස මට අමතක වෙන්නෙම නෑ... මම දැක්ක මඩුවෙ එක මුල්ලකට වෙන්න තිබුණ දර ගොඩ අතරින් පුංචි රෙදි කෑල්ලක්. ඒක අම්ම මහමින් හිටපු ඇදුමෙන් කැපිල අයින් වුණ එකක්. මම ඉක්මනට මඩුවෙ දර කෑලි ගොඩ උඩ නැගල කීපයක් පෙරලල ඒ රෙදි කෑල්ල අවට සෝදිසි කලා. දර ගොඩ උඩ මම පය ගහගෙන හිටියෙ අමාරුවෙන්. එක අතකින් දර කෑලි බදාගෙන පහලට නැවිල මම රෙදි කෑල්ල අතට ගත්ත. ඒක අඟල් කීපයක රෙදි කෑල්ලක්. අම්මගෙ ඇඳුමෙන් කැපුණු එකක්.

මේක මෙතනට ආවෙ කොහොමද?

මම ටෝච් එක ගැහුව වටේටම. තාම අමාරුවෙන් එක අතකින් එල්ලීගෙන. ඒත් ටෝච් එළියෙන් මම අඳුනගත්ත පුංචි විවරයක්...

ඔව් ඒක දොරටුවක්!!!

මම හොඳටම දැක්ක ඒක. හතරැස් විවරයක්... ඒකෙන් පහලට යන්න පුංචි පඩි පේලියක්... මම තව තව පහලට බර වුණා...

මට මතක එච්චරයි... ඊට පස්සෙ මම හිටියෙ මගේ ඇඳේ... කකුලක් බැන්ඩේජ් කරල තිබුණ. අත් දෙකේම තැනින් තැන ප්ලාස්ටර් දාල. මූණෙත් තුවාල කීපයක් තියෙන බව මට තේරුණ. ඒත් මට ඒක වගක් වුණේ නෑ... මම කෑ ගහල ඇඬුවෙ කුරුම්ට්ටො හම්බ වුණාද කියල අහල.

වේදනාව නැතිවෙන්න දීපු බෙහෙත් සැර නිසාම සති කීපයක් නින්දෙම හිටපු මට හොඳටම සිහිය එද්දි ගොඩක් කල් ගිහින් තිබුණා. වරින්වර ආච්චි අම්මල, නැන්දල මාව බලන්න ආපු බව මට මතකයි යන්තමට. එයාල කතා කරපුවත් මට මතකයි... හැමෝම මට කිව්වෙ 'පිස්සු ළමයෙක්' කියල. 'පුංචි කාලෙ එහෙම තමයිනෙ' කියල ඒ හැම වතාවකදිම අම්ම මාව බේරගත්ත කියල මගෙ සිහියෙ තිබුණ.

මම හරි කතාව දැනගත්තෙ තාත්තගෙන්. එදා අර විවරය බලන්න පොළොවට බර වුණ වතාවෙ මම නැගල හිටපු දර ගොඩ පෙරළිල තිබුණ මගෙ ඇඟ උඩට. මාව හොයාගෙන තියෙන්නෙත් පැයකට විතර පස්සෙ කිසිම සද්දයක් නැති වුණාම. හොඳ වෙලාවට ටිකක් දරුණු තුවාල මිස වෙන අනතුරක් මට වෙලා තිබුණෙ නෑ.

ඒත් මගේ හිතේ ‍ලොකු අනතුරක් වෙලා තියෙනව කියල මට දැණුනා. ඒ සිදුවීමෙන් පස්සෙ තාත්ත වහාම අර පස්ගොඩ අයින් කරල තිබුණ. ගෙදර පඩියත් ඉක්මනින්ම හදල තිබුණ. සේරටම වඩා අර මඩුව ගලවල අයින් කරල තිබුණ. කවදාවත් මට ඊට පස්සෙ කුරුමිට්ටන් ගැන ‍සලකුණක් හම්බ වුණේ නෑ. යන්තම් ඇවිදගන්න පුළුවන් වුණ ගමන් මම සුපුරුදු ගවේශණය පටන්ගත්තත් කවදාවත් මට ආයෙ බලාපොරොත්තුවක් ලැබුණෙ නෑ.

මාස ගාණක්ම මම ගෙදර වටේ හැමතැනම හෙව්වා. කිසිම දෙයක් නෑ. ඊට පස්සෙ මම ආයෙත් ගෙවත්තෙන් පස් කපල කලින් තැනම පස් ගොඩක් හැදුවා. සති ගාණක් ටිකෙන් ටික පස් ටික වැස්සෙන් හේදිල යනකල්ම හැමදාම ඒක උඩට ගිහින් සෝදිසි කලා... ඒත් කිසි දෙයක් හම්බ වුණේ නෑ...

මාස ගාණක් පුරවගෙන හිටපු බලාපොරොත්තු ටිකෙන් ටික දිය වෙලා ගියා... ඒ අතරෙ මම ලොකු මිනිහෙක් වෙන්න ගත්ත. ආයෙ ‍පුංචි වෙන්න බැරි තරමටම...

..............

ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා.

අරියාති වෙන්වෙලා යන්න සූදානම් වෙලා... ඇගේ හිසේ කෙස් එකට අමුණල තිබුණ රෙදි අමුණන ප්ලාස්ටික් පින් එක ඈ ඔහුට දුන්න... ඔහුගෙ විශාල දබරඟිල්ල දෑතින්ම අතට අරන් ඇගේ නළල මත තියාගත්ත.

"මම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට ලෝකෙ තියෙන හොඳම ජීවිතය..."

ඇය ඔහුට අන්තිමට කිව්වෙ ඒ වචන ටික...





පුංචි ළමයින්ට විශේෂයි... වා.මු. නිලන්ත පියසිරි සොයුරා ඇතුළු බයිස්කෝප් කට්ටියටම ස්තූතියි...

ඕන නම් - http://www.baiscopelk.com/?p=12008

වැඩි විස්තර - http://www.imdb.com/title/tt1568921/

Saturday 26 May 2012

නිර්වාණය සහ ගුරුත්වාකර්ෂණය



මිනිහෙක් ආයෙ ඉපදෙන්නෙ නෑ කියල කියන අදහස කට්ටියට ප්‍රශ්ණයක්... මට ඇසුරු කරන්න වෙන ගොඩක් ආගමික මතධාරියො ‍ඉන්නෙ තමන් ෂුවර් ඇන්ඩ් ෂොට් ආයෙ ඉපදෙනව කියන මතයෙ. ඕක ගැන එයාල එක්ක තවත් කතා කරද්දි පින් පව් කතා ඇදිල එනව. ඊට පස්සෙ කර්මයයි තව එක එක කතායි... ඔය විධියට ගිහින් අන්තිමේදි එයාල නැවත ඉපදීමක් තියෙනවය කියන මතය සාධාරණීකරණය කරන්න තවත් මත ගොඩක පිහිට පතනව. ඒ වුණාට වැඩේ කියන්නෙ ඒ මතවාදයන් සේරම තියෙන්නෙ එක පද්ධතියක් ඇතුලෙ වීමයි. ඒ පද්ධතියෙන් එලියෙ ඒ මතවලට අර්ථයක් නෑ.

කොහොමත් ආගම් වලින් කියන දේවල් පවතින්නෙ ඒ ආගම තුලින්ම නිර්මිත රාමුවක් ඇතුලෙ විතරයි. ඒ ආගමේ නිර්වචන රඳා පවතින්නෙ ඒ ආගමෙන්ම කියවෙන වෙනත් නිර්වචනවල. ඒ වගේම ප්‍රා‍යෝගිකව ආගම කියන්නෙ ෆේල් වුණ සංකල්පයක් කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද ඒවයින් ලෝකයට වුණ අමුතු සෙතක් නෑ පිරිසකට බඩවියත රැකගන්න රස්සාවල් ලුබුණ එක ඇර. ආගම රැකගන්න කියල වෙන මිනිහෙක්ව විනාශ කරද්දිම ආගම ෆේල් වෙලා ඉවරයි. හැබැයි ආගම් අනවශ්‍යයි කියල කියන්නත් බෑ.

ගෞතම කියන්නෙ තනියෙම ලොකු දැණුමක් ගොඩනගාගත්තු මිනිහෙක්. ඔහු ඒ දවස්වල තිබුණ සංකල්පත් එක්ක මතවාදී ගැටුමක් නිරාකරණය කරගත්තෙ නිර්වාණය කියන අදහසත් එක්ක. ඔය දැනුම වර්තමානය දක්වා එද්දි වෙලා තියෙන වෙනස්කම් නිසා ඒ ගැන අදහසක ඉන්න එක අමාරු වැඩක්. ඔය 'වෙනස් වෙලා' කියන එකේදිම ආයෙමත් මුළු කතාවම අවුලකට යනවනේ. නමුත් ගවේශනයෙදි ගෞතම කියන්නෙ ගයිඩ් කෙනෙක්!

ගෞතමට එයා, ඔහු විධියට ආමන්ත්‍රණය කරනකොටම මතධාරියෙක්ගෙ ලේ රත්වීම තුල ඔහුට ගිලිහෙන්නෙ ගෞතමවමයි.

ඔහු නිර්වාණය හොයාගත්ත කියල කියමු. අඩු ගානෙ ඒ කාලෙදි තිබුණය කියල කියවෙන එක එක විධියෙ මතවාදයන් අතරෙ නිර්වාණය කියන්නෙ එක සිරා අදහසක්. ඒකෙන් කියවෙන්නෙ අත්හැරීම ගැන. නොඇලීම ගැන. නිදහස් වීම ගැන. හැබැයි එහෙම කියනකොට ගෞතමගෙ ඉගැන්වීම් හෙන බෝරිං වෙනව. ජීවිතේ ආතල් එහෙම කඩාගන්නෙ කොහොමද?

නැවත ඉපදීම කියන එක ඒ කාලෙත් තිබුණ අදහසක් කියල හිතන්න පුළුවන්. පළවෙනි හේතුව අදට වඩා කල්පනා කරපු මිනිස්සු හිටපු කාලෙක ඉපදීම සහ මරණය වගේ දේවල් ගැන මිනිස්සු තදින් කල්පනා නොකලා වෙන්න බැරි වීම. අනිත් හේතුව ගෞතම විසින් 'නැවත ඉපදීම' කියන මුදුන් පරාලය හෙවත් කැණිමඩල විනාශ කිරීම ගැන කතා කරල තිබීම. මේක මට තේරෙන්නෙ ගෞතමගෙ අදහස්වල වැදගත්ම කෑල්ල(ක්) කියල. ඔය නැවත ඉපදෙනවාය කියන අදහස ඔළුවෙ තියෙනතාක් කල් මිනිස්සු අත්හරින්න සූදානම් නෑ. ගෞතම විසින් විනාශ කරන්නෙ ඒ නැවත ඉපදීම කියන අදහස. ඒක ඔහු සමාන කරන්නෙ ‍ගෙයක මුදුන් පරාලයකට. මුදුන් පරාලය මතයි අනිත් හැම පරාලයක්ම රඳාපවතින්නෙ. මුදුන් පරාලය සිඳීමෙන් ඔහු මුළු වහලම විනාශ කරනවා. ඒ කියන්නෙ නැවත ඉපදීම කියන අදහස උඩ ආත්ම ගාණකට හිතේ පුරවං ඉන්න ආසාවල් සියල්ල ගලවල විසි කරනවා. ඔහු හිත විවෘත කරනවා බැඳීම් නැති නිදහස් අවකාශයකට... මේක ඇතුලෙයි නිර්වාණය කියන ‍ගෞතමගේ සංකල්පය පවතින්නේ.

මේතනදි මේ නිර්වාණය කියන අදහසේ පේටන්ට් එක ගෞතමට යනව වුණාට ඒ කාලෙ මේ ගැන කල්පනා කරපු අය ඕන තරම් ඉන්න ඇති. තනි තනිවමත් මේක හොයාගත්ත අය ඕන තරම් ඉන්න ඇති. නමුත් ලෙජන්ඩ් එකක් වුණේ ගෞතම. ‍පුරාවෟත්ත අනුව ඔහු රජ පවුලේ කෙනෙක් වීමම ඒකට හේතු වෙන්න ඇති. ඇත්තටම එහෙම ගත්තම ඔහුට "බුද්ධ" කියල කියන එකෙන්ම වැඩේ කෙලවෙලා ගිහින් ඉවරයි. බුද්ධ කියන්නෙ ඔහු ගොඩනගාගත්තු දැණුම නිසා ලැබුණ නමක්. ඇත්ත නම මොකක්ද කියල හොයාගන්න වෙන එකක් නෑ. හැබැයි ඇත්තටම අපට අනවශ්‍යම වෙන්නෙත් ඔහුගෙ අනන්‍යතාවයයි. සත්‍යය කියන දේ අනන්‍යතාවයක් මත රඳාපවතිනව වෙන්න බෑ.

ඉතිං ගෞතම මේක හොයාගත්තා. නමුත් අපි තවම ඒක අල්ලගෙන නෑ. ඒක හරි පුදුම විධියට සංකල්ප ගණනාවක් අස්සෙ හිර කරපු අදහසක් වෙලා. නිර්වාණය ඒ නිසාම තියෙන්නෙ මතවාදී විධියට සෑහෙන්න ඈතින්. ඒක වෙත යන්න මිනිහෙක්ට මාර කට්ටක් කන්න වෙනව. සෑහෙන්න වියදං කරන්න වෙනව. නොදන්නා ආත්ම ගාණක් දුක් විඳින්න වෙනව. හෙණ සයිස් පොත් බරගාණක් පාඩං කරන්න වෙනව. ඉතිං දැනටමත් හොයාගෙන තියෙන දෙයක් පවතින්නෙ මිනිස්සුන්ට අතගහන්න බැරි තරම් ඈතක. බණ පද ආලෝකවර්ෂ ගාණක් ඈතක!

ඒක ගැන කියන්න හොඳම උදාහරණයක් නොවුණට අපි නිර්වාණය සලකමු නටඹුන් පුරවරයක් විධියට. ඒ නටඹුන් පුරවරය පොඩි ගමක නිදහසේ තිබුණ එකක්. මිනිස්සු නිදහසේ ඒකෙ පරණ බිත්ති අතර සැරි සැරුවා. නටබුන් අතරෙ සුන්දරත්වය වින්දා. ටික ටික මිනිස්සු ගැවසීම වැඩිවෙන්න වෙන්න ආණ්ඩුවෙන් ඔතන කවුන්ටරයක් ගහල ටිකට් විකිණුවා... වටේට කඩ ටිකක් හැදුණා... ටික ටික ඒක වටේට නූතන නගරයක් හැදුණා. දැන් මිනිස්සු ඒ නගරයට එන්නෙ නටබුන් බලන්න නෙවෙයි. දැන් ඒ නටබුන් සහිත කොටස මිනිස්සුන්ගෙන් සෑහෙන්න ඈතයි. ඒකට යන්න ටිකට් ගන්නත් වෙනවා. නටබුන් නගරයට තිබුණ වටිනාකම වෙනුවට එතන දැන් තියෙන්නෙ වෙනත් වටිනාකමක්.

ඒ කියන්නෙ දැනටමත් හොයාගෙන තියෙන දෙයක් සහ ඒක ප්‍රයෝජනයට ගන්න අය අතරෙ වෙනත් දේවල් ගොඩක් සංවර්ධනය වෙලා. ඒ දේවල් අස්සෙ අපට ඔය කලින් හොයාගත්තු එක ආයෙමත් හොයාගන්න වෙලා.

අනිත් අතට ගුරුත්වාකර්ෂණය!!! අපි දන්නවා ඒක තියෙනවා කියල. ඒක කලිනුත් තිබුණා. නමුත් ඒක මුලින්ම පැහැදිලිව නිර්වචනය කලේ නිවුටන්. වචන වලින් නොනැවතී ඒක ගණිතයෙනුත් ඔප්පු කලා. ගණිතය විශ්වයේ භාෂාව. දැන් ඒක ගැන ඉගෙනගත්තු ඕන කෙනෙක් දන්නවා ගුරුත්ව බලය ගැන. ඒක මතවාද අස්සෙ හිර වුණ දෙයක් නෙවෙයි. සරලවම ගත්තොත් උඩ පැන්නොත් බිම වැටෙන බව. ඒක ගැන බොරු කරන්න අමාරු විධියෙ ගණිතමය නිර්වචනයක් ඒකට තියෙනව. සාමාන්‍ය වශයෙන් ලෝකයෙ තියෙන ඕනම වස්තුවකට ගුරුත්වයේ මූලධර්ම වැඩකරනව.

ගුරුත්වයේ මූලධර්ම භාවිතා කරන්න ආස කෙනෙක් ඒක නැවත හොයාගන්න යන්නෙ නෑ.

Wednesday 9 May 2012

ප්‍රොෆයිලය සහ නිධානය



මේක පොඩි ආතල් පෝස්ට් එකක්... ජොලියේ උපරිමෙන් මිරිකිල සංතෘප්ත වෙලත් උපරිමේට ගියාම උතුරල ගලන ටික තමයි මේ.

දන්නවනේ ලයනල් රන්වල මහත්තයව? එතුමාව අපට මතක් වෙන්නෙ සිංහල අවුරුදු කාලෙට විතරයි කියලත් දන්නවනේ.

ඔය ව‍ගේම තවත් කොහා වර්ගයේ ගායන ශිල්පියෙක් තමයි මොහිදීන් බෙග් කියන්නෙ. බෙග් මාස්ටර්ව අපට මතක් වෙන්නෙ වෙසක් කිට්ටු වුණාම. වික්ටර් රත්නායක මහත්තයා, අමරදේව මාස්ටර් වගේ තවත් ඒ වගේ අය කීප දෙනෙක් ඉන්නව වුණාට ප්‍රධාන වශයෙන් වෙසක් එකේදි මතක් වෙන අය අතරින් බෙග් මාස්ටර් විශේෂයි.

ඔය ‍හේතුව නිසා මගේ මූණු පොතේ ප්‍රොෆයිලෙ විධියට මම දැම්මා ඔය උඩින් තියෙන පින්තූරේ. දාන අතරෙ එහෙ මෙහෙ හොයද්දි බෙග් මාස්ටර්ගෙ පරණ සින්දු ටිකකුත් හම්බ වුණා. ඒව අහල මදි වෙලා තව හොයද්දි තමයි මට නිධානෙ හම්බ වුණේ. එස්.ටී.එෆ්. එකේ අයියල එන්න කලින් මම ගොඩගත්තා...

මෙන්න මෙතන!

මාස්ටර් බෙග් ගායනා කරපු පරණ සින්දු ආයෙමත් පටිගත කරලා... ඒ නිසා මම හිතුවට වඩා ශබ්ද තත්ත්වෙ හොඳට තියෙනවා. බෙග් මාස්ටර් එක්ක රුක්මණී දේවි, ජී.එස්.බී. රාණි පෙරේරා, ජමුනා රාණි වගේම ලතා මං‍ගෙෂ්කාර් මහත්මියත් ගායනා කරනවා.

මේ සින්දු සේරම වගේ හින්දි තනු ආශ්‍රයෙන් හැදුන ඒවා... වචන කාගෙද කියල කියන්න දන්නෙ නෑ. කරුණාරත්න අ‍බේසේකර මහත්තය අඩුගානෙ කීපයක්වත් ලියල ඇති. මොනව වුණත් ගායනයේ සුන්දරත්වය උපරිමෙන් විඳින්න පුළුවන්. විශේෂයෙන්ම බෙග් මාස්ටර්ගෙයි රුක්මණී මහත්මියගෙයි කටහඬවල පරාසය ගැන පුදුම හිතෙන තරම්. මම හිතන්නෙ මේක මට නිධානයක් වෙන්න ඒ කටහඬවලුත් බලපෑවා...

වැඩිය මුතුක් අවශ්‍ය නෑ....

සින්දු ටික මේ විධියට බෙදාගත්තු සින්දුලන්තෙ අයිතිකාරයටත් ස්තූති කරන්න ඕන.

ඒ සින්දු වලට කැමති අය ගිහින් අහන්න.

Friday 4 May 2012

ගෙදර යන ගමන්...


“උඩුකන්දෙ ගෙදර ‍සීලවතී උපාසිකා මාතාව රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව... සත්සර ස්ටෝර්ස් අධිපති නිමල් ලක්තිලක මහතා බැනර් 3ක් වෙනුවෙන් රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව...”

ගමේ පාර දිගට යකඩ කටවල් හතක් අටක් ගැටගහල පන්සලේ පෙරහැරට දායක වුණ උදවියගෙ ලැයිස්තුව ගමටම ඇහෙන්න කියවනව.

මම යටි හිතෙන් හිනා වීගෙන ඒ සද්දෙ පහු කරගෙන ආව.

සතියකට දෙකකට විතර කලින් දායක සංගමේ ලොකු ආච්චිල දෙන්නෙක් අම්මට ගෙනත් දීල තිබුණ ‍දිග ලැයිස්තුවක්. ඒක ඇස්තමේන්තුවක්! පන්සලේ පෙරහැර වෙනුවෙන් මුදල් එකතු කිරීමේ ආධාරපත්‍රයක්.

“ඒකෙ තියෙන ගණන් දීල කොහොමද මාසෙ ජීවත් වෙන්නෙ”

එයාල ගියාට පස්සෙ අම්ම කිව්ව. අවුරුදු ඉවර වුණ ගමන් නිසා මගෙ අතෙත් සල්ලි නැති විත්තිය අම්ම දැනගෙන හිටිය.

“අම්ම ගාව තියේනං පුළුවන් ගාණක් දෙන්න... මාසෙ ඉතිරි ටික කොහොම හරි ඉමු!”

මම කවදත් වගේ ඒ ගැන උදාසීනව හිටිය...

බෝධිය ගාව කඩේ පහුවෙද්දි ආපු සූ සද්දෙන් මම හැරිල බැලුව. සංජීවයත් වැඩ ඇරිල එන ගමන් කඩේට ටිකක් ගොඩ වෙලා. බඩු මල්ලත් උස්සගෙන මිනිහත් මට එකතු වුණා.

“ලව්ඩ්ස්පීකරෙන් නම කියවෙනකොට කට්ටියට මාර ආතල් ඇති නේද?”

සංජීව මගෙ දිහා බලාගෙන හිනා වෙනව.

මටත් හිනාවෙනව ඇරෙන්න කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා.

“පෙරහැරේ එස්ටිමේට් එක ලක්ෂ පහළොවක්! දුප්පත් පවුල් දෙක තුනකට ගෙවල් හදල දෙන්න තිබුණා...”

සංජීව කියවගෙන යනවා..

“එච්චර ගාණක්?”

මම පුදුම වුණා...

“මම එස්ටිමේට් එකේ ගණන් එකතු කෙරුවා. හරිනං ඊටත් වඩා වැඩියි වියදම.”

“හ්ම්...”

“තේරුමක් නැති වැඩ... පෙරහැර කියල තමයි එකතු කරන්නෙ”

“මමත් ඔය ලිස්ට් එක නම් දැක්ක. ඔච්චර ගාණක් තිබුණද ඒකෙ? මේ මාසෙ ලොකු ගාණක් වියදම් කරන්නත් අමාරු නිසා මම ඒ ගැන උනන්දු වුණේ නෑ...”

“ඕන කරන සේරම දිස්නෙට හදාගෙන තියෙන නිසා පන්සල සංවර්ධනය කරන්න කියල දැං එකතු කරන්න බෑනෙ...”

සංජීව කියන්නෙ උපහාසෙන්... කතාවෙන් කතාව අපි වෙන්වෙන තැනට ඇවිත් තිබුණ.

“ලක්ෂ පහලොවක්...?”

මගෙ හිතේ දෝංකාර දුන්නා...

අවුරුදු දහයකට විතර කලින් බත්තරමුල්ලෙදි හම්බවුණ මලයගෙ කතාව මට මතක් වුණා. නම අමතක හින්දා මම මිනිහට චන්දන කියල කියන්නම්.

මිනිහ ආවෙ අපේ වැඩපොලේ අත් උදව්කාරයෙක් විධියට. ඒ තරම් දුරට ඉගෙනගන්න උවමනාවක්වත්, උනන්දුකිරීමක්වත් මිනිහට තිබිල නෑ. ඒ නිසාම යන්තම් අවුරුදු පහළොව දාසය වෙද්දි එක එක තැන් වල වැඩකරන එකට හුරුවුණාට ඌ කාටවත් වදයක් නැති අහිංසක කොල්ලෙක්.

දවසක් බර වැඩක් ඉවර වෙලා හවස නාන්න සෙට් වුණාම අනිත් කොල්ලන්ට චන්දනගෙ කරේ එල්ලිල තිබුණ කුරුසයක් මාට්ටු වෙලා. කතාවෙන් පෙනුමෙන් චන්දන බෞද්ධ වෙන්න ඇති කියලයි හැමෝම හිතුවෙ.

දවසක ඔය ගැන කතාවක් ඇදිල ආව.

“අපි ඉස්සර බුද්ධාගමේ. පස්සෙ තමයි ක්‍රිස්තියානි වුණේ...”

චන්දන කිව්ව.

ඒ දවස්වල මම උග්‍ර ආගම්වාදියෙක් නොවුණත් බෞද්ධ පවුලක උපත ලැබීම නිසා ගැලවෙන්නම බැරි ගච්ඡාමි සීන් එකක ගැටගැහිල හිටිය. ඒක නිසා මිනිහගෙ කතාවට අනිත් කොල්ලන්ගෙ ගාණටම මගේ ලේ රත්වුණා. අපි සේරම චන්දනගෙ ආගම් මාරුව ගැන සැරින් සැරේ කියමින් මිනිහව කපල දැම්මා.

“මම මොනව කරන්නද යකෝ.. තාත්තනෙ පල්ලියට බැඳුණේ”

චන්දන ගැලවෙන්න කිව්වෙ ඒ ටික විතරයි.

ඒත් ටිකෙන් ටික ඒ රස්නෙ අඩු වුණා. චන්දනගෙ කතාවෙ ඇත්ත අපි දැනගත්තෙ සෑහෙන්න පස්සෙ කාලෙක. ඒ කතාවල පසුබිම ගැන මම මුකුත් නොදන්න නිසා මම කියන්නෙ මම දන්න ටික විතරයි.

චන්දනගෙ නංගි අංග විකල ගෑණු ළමයෙක්. තාත්තට හරි රස්සාවක් තිබුල නෑ. ඉන්න ගෙයකුත් නැති තත්ත්වයක් උදා වුණාම කතෝලික පල්ලියක මොකක් හරි ව්‍යාපෘතියකින් මෙයාලට වාසස්ථානයක් ලැබිල තිබුණ. ඒ වගේම නංගියෙ අධ්‍යාපනයටත් ඒ විධියෙ උදව්වක් ලැබිල. හිලව්වට චන්දනල කතෝලික වෙලා.

සල්ලි වලට අන්‍යාගමිකකරණය ගැන ලොකු කතා කියන අය ගැන මට දුකක් දැණුනා.

චන්දනටවත් එයාගෙ දෙමව්පියන්ටවත් ජීවත් වෙන එකට අමතරව ආගම වගේ වෙනත් ප්‍රශ්ණ තිබිල නෑ. ආගම කියන්නෙත් ජීවිතේට හයියක් වෙන දෙයක් විධියට විතරයි එයාල දැක්කෙ. කරපින්නගෙන දුක් විඳිනවට වඩා අතෑරල දාන එකෙන් සැපක්, පහසුවක් ලැබෙනවනම්...

චන්දනලට විකල්පයක් තිබිල...

මට චන්දනගෙ කුරුලෑ ලප පිරුණු අඳුරු මූණ මතක් කරගන්න පුළුවන්... ඒ මූණෙ අඳුර අතරෙ මට කවදාවත් තේරුම්ගන්න බැරි අසරණකමක් තිබුණ නේද කියල මට තේරුණෙ සෑහෙන්න පස්සෙ...

“සමහර විට දැන් මිනිහ හොඳින් ජීවත්වෙනව ඇති.”

මම එහෙම හිතල දුකට පත්වෙන්න තිබුණ මගේ හිත ලොක් කරගත්ත.

සේරම හිතෙන් අයින් කරල හොඳ නින්දක් දාන්න ඕන කියන සිතිවිල්ලත් එක්ක මම ගේට්ටුවෙන් ඇතුළු වුණා.

“...වීරකැටිය පාරේ වි‍ජේසිංහ මහතා සහ එම මහත්මිය රුපියල් 1500කින් දායක වෙලා තියෙනව...”

පන්සලේ පෙරහැරේ දායක ලැයිස්තුව තවම යකඩ හඬින් කියවෙනව.

අම්මා ගේ ඉස්සරහ පඩි පේළියෙ ඉඳගෙන යකට කටේ සද්දෙට කණ තියන් ඉන්නවා...

යටි හිතේ රැ‍ඳෙන්න බැරිව මගේ හිනාව එලියට පැන්නා... මම හිනාවුණා...

“රුපියල් පන්සීයෙ ඒව අද කියන්නෙ නෑ වගේ...”

අම්මා එහෙම කියාගෙන මාත් එක්කම ගෙට ආවා...

Tuesday 28 February 2012

සංගීතෙ ගැන පරණ කමෙන්ටුවක්!

මම හිතන්නෙ කසුන් සහ නදීක ඉන්නෙ සිංහල ගීතය පුනර්ජීවනය කරන ගො‍ඩේ මිස (ඒ ගොඩේ වැඩි දෙනෙක් නෑ. ඉන්න ප්‍රවීණයො කීප දෙනත් කෙමෙන් කෙමෙන් නැති වෙනව) ගීතයේ මළගම තීරණය කරන ගොඩේ නෙවෙයි. සිංහල ගීතයේ මළගම තීරණය කරන අයගෙ ගොඩ නම් විශාලයි.

සංගීතය විඳින්න බොහෝ දෙනෙක්ට තියෙන නොහැකියාවට හේතුව ඔවුන් සංගීතය කියල හඳුණගෙන ඉන්න පරාසයේ සීමා සහිත බවයි. මමත් කාලයක් ඒ වගේ සීමා තුල හිටපු නිසා මම ඒක හොඳට දන්නව. නමුත් සංගීතය නිහඬ බවේ සිට ගෝසාව දක්වාම සංගීතයමයි. ඒක නිසි භාවයන් ප්‍රකාශ කරන්න යොදාගන්න ආකාරය අනුව තමයි සංගීතඥයා විශිෂ්ට වෙන්නේ. සිංහල සංගීතය අද තියෙන්නෙ වෙළෙන්දන් අතේ. මම දන්න තරමින් නූතන නිර්මාණකරුවන් සියල්ලන්ම නිර්මාණ කරන්නෙ වෙළඳපොලට. ඒ කියන්නෙ මිනිස්සු ඉල්ලන දේ දෙනව කියල මොනා හරි දෙනව. තමන්ට තියෙන ආර්ථික සහ වෙනත් සම්බන්ධ මත ප්‍රසංගයක් දෙකක් තියල, එෆ් එම් සහ රූපාවලි හරහා මාධ්‍ය තුල පෙනී ඉඳල ජනප්‍රිය වෙනව. මාධ්‍ය වලින් මිනිස්සුන්ගෙ ඔළු වලට දවසකට දහ පහලොස් වතාව ගානෙ ඒව අස්සවල හුරු කරවනව. ඉතිං ඊට පස්සෙ හැදෙන අයත් ඒවම කරගෙන යනව. රැල්ලම තමයි.

කසුන් සහ නදීක එහෙම නෙවෙයි. එයාලට ඕන නිර්මාණ කරන්න. සංගීතයේ නව ඉසව් ගවේශණය කරන්න. මට හිතෙන විධියට කේමදාස මාස්ටර්, වික්ටර් රත්නායක මහත්මය, රෝහණ වීරසිංහ මහත්මය වගේ අයට පස්සෙ ඒ දේ කරන්නෙ එයාල විතරයි. (භාතිය සහ සංතුෂ් දෙපලත්, රොමේෂ් ලක්ෂාන් දෙපලත් යම් තරමකට මේ පර්යේෂණ කරනව) කසුන්ගෙ ඔබ අහල තියෙන ගී සියල්ලම මාධ්‍ය මගින් පට්ට ගහපු ඒවයි. නමුත් මට හිතෙන්නෙ කසුන්ගෙ හොඳම නිර්මාණ එකක්වත් මාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්නෙ නෑ. අනික කසුන්ගෙ ගී පද අතිශය සංකීර්ණයි. මම දන්නෙ නෑ ඒව හරසුන් වෙන්නෙ කොහොමද කියල. ඒ විධියට ගත්තම කවුරුවත්ම අරුත්බර ගීත කියල නෑ. කසුන්ට බොහොමයක් ගී ලියපු චාමින්ද රත්නසූරිය මට දැනෙන මට්ටමින් නම් වර්තමානයේ ඉන්න විශිෂ්ටම ගීත රචකයයි. ඔහු මවන අරුත් සරලයි වගේ පෙනුනත් අතිශය ගැඹුරට යන්න පුළුවන් ඕන නම්.

නදීක කියන්නෙ ඕන එකක් පනම් අටයි වර්ගයේ මනුස්සයෙක්. ඔහුගේ ගීත රචනාත් ඔහුගේමයි මම හිතන්නේ. ඔහුත් මිනිස්සුන්ට ඕන දේ දෙන කෙනෙක් නෙවෙයි. ඔහු තමන්ට දැනෙන දෙයක් නිර්මාණය කරන නියම කලාකරුවෙක්. ඔහුව තේරුම්ගන්න අප ඔහු වෙත යා යුතුයි. අපි තාප්පෙකට මුවා වෙලා හිටියොත් කවදාවත් එතනින් එහා වෙන දේ ගැන දැනගන්න විධියක් නෑ. නදීකගේ ගීත youtube අඩවියේ හොයල බලන්න. කීපයක් තියෙනව. අර ශිෂ්ඨාචාරේ මානවයා කියන ගීතය ගැන සරලව බලන්න එපා. ඒක මුළු ජීවිත කාලයක්ම හොඳින් පවුල් ජීවිතය ගෙවන විධිය කියල දෙන ගීතයක්.

කලාකරුවා හැමවිටම සාමාන්‍ය මනුස්සයාට වඩා උසස්. ඒකයි ඔවුන් කලාකරුවන් වෙන්නේ. හරියට විද්‍යාඥයො වගේ තමයි. නවමු දේවල් තමයි ඔවුන් බිහි කරන්නේ. මිනිසුන් ඔවුන් කරා යාමෙන් තමයි අර ආනන්දයෙන් ප්‍රඥාව කියන සාධකය සම්පූර්ණ වෙන්නේ.

හ්ම්...

කොහොම වුණත් මිනිස්සු වයසට නොයන නිසා හැමෝම තමන්ගෙ තරුණ කාලයේ තමයි ජීවත් වෙන්නේ. ඉතිං බොහෝ විට අපගේ තෘප්තීන් අපි තරුණ කාලයේ රස විඳින දේවල් තුල නවතිනව. ඒ නිසා කසුන්ව නොවැටහෙනව නම් ඒක ඒ පුද්ගලයගෙ ප්‍රශ්ණයක් නොවයි. දැණෙන දේ තුල ඉන්න එක හෝ නොතේරෙන දේ ඉගෙනීම එක් එක්කෙනාගෙ වැඩක්.


-------------------------------------

මෙය http://sanhindha.blogspot.com අඩවියට 2008 දෙසැම්බරයේ යෙදූ කමෙන්ට් එකකි. ගී පැදුර අඩවිය වෙත නදීක ගුරුගේ මහතාගේ ගී පද ලිවීම පිණිස කල සෙවුමකදී නැවත හමු විය.

මේ සංගීතඥයන් දෙපල සහ සංගීතය පිළිබඳවද ඉහත සම්පූර්ණ කමෙන්ටුවම පිළිබඳවද මාගේ වර්තමාන කියවීම මදක් වෙනස් නමුත් මේ මා එදා සිතූ ආකාරයයි!

වර්තමානයේ මා සිතනා ආකාරය අළුත් පෝස්ට් එකක කෙටීම, මුළු බ්ලොග් කෙරුවාවම බෝරිං වී ගෙවන මේ වකවානුවේදීනම් කිසිසේත් කරන්නට බැරි වැඩකි.

Tuesday 3 January 2012

අවස්ථිතියෙන් මිදී....




පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.

සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.

විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....

ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...

ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...

ඔහු මුලින් හිතුවෙ එහෙම.

එහෙම හිතලා ලියන්න හිතපු ලියවිල්ල තවම ආරම්භ වෙලා නෑ... ලියන්න ඕන විධිය ගැන හිතුනට පේන්නෙ නම් ලියන්න දෙයක් හිතට නොඑන බවක්... තවමත් කොලයයි පෑනයි අතරෙ අඟලක ඉඩක්...

ඉලව් අවස්ථිතිය... පැතිකඩ රූපයි, විදුලි එලියයි, දුමයි එක්ක ඉදිරියට නොයන්නම හිරවුණ හිත...

ඔහු ඉරියව්ව වෙනස් කරල දුම්වැටියෙ අළු කැඩුවා.

ඊට පස්සෙ දිග දුම් උගුරක්. පෙනහළු වල ගර්ත සේරම පිරිල යන්න...

වෙනස්ම ලියවිල්ලක්? හැම වෙලේම ලියන්න පටන්ගන්නෙ එහෙම. ඒත් ලියවෙන්නෙ හැම වෙලේම එකම දේවල් ටිකක් ගැන. එකම විධියට. වෙනසක් නැතුවම...

සමහර විට ඒ චරිත එකිනෙකින් වෙනස් ඇති. මිනිස්සු ඒ චරිත වලට කැමති ඇති. ඉතිහාසෙ පුරාම වෙන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති.

අවසන් වුනු දුම් වැටිය නිවල පොඩි කරපු ඔහු පුටුවෙන් නැගිට්ටා. බෝල රාමුවෙ එල්ලුණ කෝට් එක දාගෙන කාමරයෙන් එලියට අඩිය තිබ්බා. ඔහුගෙ ගත පුරා දැවටුණෙ උහුලගන්න අමාරු දෙසැම්බර් සීතලක්. ඒක තෙතමනයක් නැති වියලි සීතලක්. ඒ සීතලේ ගැහෙන්න පටන්ගන්න කලින් ඔහුගෙ අත ආයෙමත් දුම් වැටියක් හෙව්වා.

නිවසේ ඉදිරි වැට උඩ ඉඳගත්තු ඔහු වලාකුළෙන් වැහුණු අඳුරු අහසට දුම් උගුරක් විද්දා... ඒ දුමින් කිසි දෙයක් මැවුණෙ නෑ. පාවෙන රුවල් නැවක්, මායාකාරියක්, හිම මිනිහෙක්.... කිසි දෙයක් මැවුණෙ නෑ...

ඒත්  ඒ දුම වියැකිලා යද්දි වලාකුළු අතරෙ ඔහුට එක තරුවක් පෙණුනා.

ඔහු ඒක දැක්කෙ අද. මේ දැන්.

ඒක අළුත් තරුවක්.

ඒත් ඒ තරුව ඊයෙත් පායන්න ඇති... හැමදාම පායන්න ඇති. ඒක ඔහුට අළුත් වුණේ ඔහු ඒක අද දැකපු නිසා මිස තරුව අළුත් නිසා නෙවෙයි.

ඒ මොහොතෙදි ඒ තරුව කවදාවත් නොදිලුණ තරම් දිලිසෙන්න ගත්තා. තරුවේ එලියෙන් ආයෙමත් ඔහුගෙ අනර්ඝ පැතිකඩ රූපයක් මැවුණා.

වෙනස් වෙන්නෙ මම! වටපිටාව හැමදාම එකවගේ... නැත්තං අඩුගානෙ වටපිටාවෙ වෙන වෙනස්කම් දිග කාලයක් පුරා වෙන නිසා ඒව එකපාරම දැණෙන්නෙ නෑ.

ඔහුට එහෙම හිතුණ. ඒක බොහොම වතාවක් හිතිල තියෙන දෙයක් බවත්, මේ මොහොතෙ ආයෙම ඒක මතක් වුණ බවත් ඔහුට ඒ එක්කම මතක් වුණා.

මල ඉලව්ව!

ඔහු දුම් වැටියෙ කොටේ ඉවතට විසි කරල නැගිට්ටා... ආයෙමත් කාමරේට වැදුණ.

පෑනයි කොලයයි අතරෙ ඉඩ ආයෙමත් විනාඩි ගාණක තිස්සෙ පැවතුණා....

ඊට පස්සෙ කොලය මත ගැටුණ පෑනෙ තීන්ත නොකඩවා ගලාගෙන ගියා.