Wednesday 28 September 2011

පිස්සෙක්...!


පිස්සාව මා දන්නෙ සැලකිය යුතු කලක පටන්ය. වසර ගණනාවක්ම ඔහු එදිනෙදා මට හමුවී ඇත. ඒ බොහෝවිට අපි කතා කර ඇත. ලෝකයේ ඇති විවිධ දේ ගැන ඔහුගේම දෘෂ්ඨියකින් දකින ඔහුට ඇත්තෙන්ම ඇති පිස්සුවක් නැත. නමුත් ඔහුගේ දෘෂ්ඨිය පිහිටා ඇත්තේ මාත් ඔබත් අන් අයත් ඇතුලත් සාමාන්‍ය සිතීමේ අවකාශයට පරිබාහිරින්ය. අපට ඔහු දකින ලෙසින් දකින්නට හැකියාවක් නැත. නමුත් ඔහුට අප දකින දේත් ඉක්මවා දේවල් පෙනේ. එමෙන්ම ඒ ගැන විමසිලිමත් අයවලුන් හා තම අදහස් කියවයි.

සත්තකින්ම ඔහුට පිස්සෙක් යැයි කීමට මගේ දිව නැමෙන්නේ නැත.

එහෙත් අන් සියල්ලෝම ඔහුට පිස්සා යැයි අමතන නියාවෙන් මම ද ඔහු පිස්සෙක් කොට සැලකීමට පුරුදුව හිඳිමි.

මන්ද ඔහු හා එක්ව තවත් පිස්සෙක් වීමට මට උවමනා නැති බැවිණි. නැතහොත් මා කුහකයෙකු බැවිණි.

පිස්සා රැකියාවක් කරයි. ඒ පින්තූර වෙනස් කර දීමයි. ඔහු ජීවත් වන නගරයේ මුඩුක්කු පරිසරයේ වෙසෙන නීතියෙන් අවිවාහක, නොඑසේ නම් විවාහ ඡායාරූපයක් නොමැති යුවල සොයා මංගල ඡායාරූපය ඩිජිටල් ක්‍රමයට ඔවුනට සකස් කර දී පිස්සා මුදලක් ගනී. ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය වන්නේ පෙර කී යුවලගේ ඡායාරූප දෙකක් පමණි. ඒවාත් රැගෙන මා හමුවට එන ඔහු මා ලවා එම යුවලට පරිගණකයෙන් සාරි සහ කෝට් අන්දවා කොණ්ඩය කළු කොට, සෙවණැලි මකා, ඇහි බැම හදා, තොල් සායම් උලා තම පින්තූරය සකස් කරවාගනියි. පසුව එය මුදල්කර ගනී. ඒ ආකාරයෙන් පින්තූර සකසා දීමට අගනුවර ඇති විවිධ පරිසරයන්හි සැරිසරමින් නෛතිකව අවිවාහක හෝ මංගල ඡායාරූප නොමැති යුවල සොයයි. තම මවත් සමග නගරයේ මධ්‍යයේ කුඩා මුඩුක්කුවක තනිව වෙසෙන ඔහුට ඒ මගින් ලැබෙන ආදායම ප්‍රමාණවත්ය. මා සමග කියා ඇති පරිදි නගරයේ පන්සලේ පුස්ථකාලයේ කියවමින් ගෙවන දිනයක පන්සලේ දානයද ඔහුට ප්‍රමාණවත්ය. එසේම කීප වතාවක් මටද හමුවන්නට ඇරයුම් කර ඇති වෛශ්‍යාවන් කීප දෙනෙකු ඔහුගේ මෛථුන්‍ය අවශ්‍යතා පිරිමසයි.

නමුත් ඔහු පිස්සකු වීමෙන් වලකන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. ඔහුව දන්නා, ඔහුගේ කීම් අසා ඇති කවුරුත් ඔහුට පිස්සා යැයි කියයි. ඔහු එය සිනාවෙන් පිලිගන්නා මුත් කණකට නොගනී.

තම පින්තූරය මා ලවා සාදාගන්නා පැය භාගයක, පැයක පමණ කාලය ඔහුට මා සමග තම දාර්ශනික කතා කීමට අවකාශ සලසයි. මා අති දක්ෂ සවන් දෙන්නකු බැවින් හා මට නොදැණෙන දෑ බොහෝමයකට මා අසංවේදී බැවින් ඔහු මා ප්‍රිය කරයි. මා ද කම්මැලිකමෙන් මිදීමට ඔහු කියවන ඕනෑම දෙයක් අසන්නට සූදානම් වෙයි. එහිදී ඔහු නගන විවිධ ප්‍රශ්ණ තුල අතරමං වන මා කරමින් සිටින රාජකාරිය කරන්නේ හුරුවෙනි. Photoshop මෘදුකාංගයේ පින්තූර සංස්කරණය කරන අතර බොහෝවිට මම ඊට විශාල අවධානයක් යොමු කරන්නේ නැත. එය මා හට පයිත්තියන් වී තිබූ බැවින් මම අනිච්ඡානුගවම එය කරන්නට හැකි වූවෙක් වීමි. එබැවින් පිස්සා ළඟ ඇති විට මා අවධානයෙන් කරන්නේ ඔහු නගන ගැටළු වලට පිලිතුරු සෙවීමයි.

පසුගිය දිනෙක පිස්සා මා වෙත එල්ල කලේ ප්‍රශ්නාවලියකි. ඒ අවසන තම ගැටයට ඔහු මා හසු කරගත්තේය.

"ජීවිතේ කියන්නෙ මොකක්ද පුතා?"

"ජීවිතේ...???"

මම කල්පනා කරමි. මා ඒ පිළිබඳව සිතා නැත. සිතා තිබුණත් ජීවිතය යන්න තනි වාක්‍යයකින් විග්‍රහ කල හැක්කක්ද?

"ඒක එහෙම මොකක්ද කියල කියන්න බෑනේ..."

මම ගැටළුවෙන් ලිස්සා යාමට තැත් කරමි.

"හරි... ජීවිතේ අරමුණ මොකක්ද?"

පිස්සා නැවත අසයි.

"ජීවත් වෙන එක තමයි..."

මම එකවරම පිලිතුරු දුනිමි. එය බොහෝ දුරට නිවැරදි විය යුතුය. ජීවත් වීමට වඩා අරමුණක් ජීවිතයට තිබිය නොහැක. මරණින් මතු ඇතැයි සිතන සංකල්පීය සුගතිය හෝ අගතිය වෙනුවෙන් වර්තමානය විනාශ කරගෙන ඇති ලෝකයක මා කිසිදු ආගමකට අයත් නොවූවෙක් බැවින් ආගමික පැහැදිලි කිරීම් මා දැන සිටියේ නැත.

"ඒ කියන්නෙ ඒක රවුමක් ‍වගේ එකක් නේද පුතා.."

පිස්සා ඔහු කියන දේ පිලිබඳව සැලකිය යුතු තරමකින් සිතා ඇති බව මම දනිමි. ඔහු ක්‍රමයෙන් මතවාදය ගොඩනගන්නේ ඔහුට උවමනා තැනට මා ගෙන ඒමටය. නමුත් මා ඔහු තරම් ඒ පිළිබඳව සිතා නැත.

"ඒ කිව්වේ?"

මම අසමි.

"ඒ කියන්නෙ ජීවිතේ කියන එක නිර්වචනය කරන්න අපට ජීවිතේම ප්‍රයෝජනයට ගන්න වෙනවනේ. මුල කෝකද අග කෝකද කියල හොයන්න බැරි රවුමක් වගේ ජීවිතය ඒක වටේම කැරකෙනව."

"හ්ම්..."

මම කියමි. එය මට සහමුලින්ම වැටහුනේ නැත. නමුත් එය මා ඉගෙන ඇති if, then, else වැනි ලූපයක් එය තුලදී ම නැවත කැඳවීමක් වැන්නකි.

"ජීවිතේ අරමුණ තමයි ඒක පවත්වගැනීම. ඒකනේ පුතා මිනිස්සු ඇතුලත්ව ඔය ගහ කොල, සත්තු හැමදේම ජීවිතය පවත්වගන්න උත්සාහ කරන්නේ..."

පිස්සා පවසන දෙයට විරුද්ධ තර්කයක් ගොඩනැගීමට මට නොහැක. මෙහිදී ඔහුට සවන් දීම වඩා සුදුසු දෙයයි.

"විශ්වයේම තියෙන මූලධර්මයක් තමයි ඔය මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි කියන එක. විශ්වය සහ ජීවය ආරම්භ වෙන්නෙම ඒ මූලධර්මය මත. මොකද ඒව නැත්තං මුකුත් නෑනේ..."

පිස්සා හොඳ කියවන්නෙක් බව මම දැන සිටියෙමි. යම් හෙයකින් ඔහුගේ අධ්‍යාපන සහතික දුටුවේ නම් මා පුදුමයෙන් වික්ෂිප්ත වන්නට ඉඩ තිබෙන්නට හැකියාවක් ඇත. ඔහු ලෝකයේ බොහෝ දේවල් පිළිබඳව ලබා ඇති දැනුම සහතිකයකින් මිණිය නොහැකි බව මම සිතමි. නමුත් ඒ වෙනුවට ඔහුට 'පිස්සා' යන ගෞරව නාමය ලැබී තිබේ.

"හැමෝම ආසයි ජීවත් වෙන්න. මිනිස්සු, සත්තු වගේම ගහ කොලත් කැමතියි ජීවත් වෙන්න."

ඔහු නොනවත්වා කියවයි.

"ගහ කොල?"

මම අසමි. මා දන්නා ගහ කොල පණ නැති අජීවී වස්තූන්ය. ඒවාට ජීවිතය පිළිබඳ හැඟීමක් තිබිය නොහැක.

"ගහ කොල වලට පණ තියෙනවා. ඒවත් ජීවි කොටසක් කියල පාඩම් පොත් වලින් ඉගෙනගෙන නැද්ද?"

ඔහු අසයි. පින්තූරයේ මනාලියගේ මුහුණේ කුරුලෑ ලප stamp ටූලයෙන් මකන අතර මම මතකය අවදි කරමි. ශාකවලට පරිභවයෙන් සහ ආදරයෙන් අමතා ඉන් නිකුත් වන විද්‍යත් ආරෝපන වල වෙනස සෙවීම සම්බන්ධ පරීක්ෂණයක් කල විද්වතෙකු ගැන සටහනක් ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණා මතකය. එහි අවසානයේ ශාකවලට හැඟීමක් වැනි දෙයක් දැණෙන බවක් නිගමනය කර තිබුණි.

"හප්පා..."

මට කියවුණි. ඉහත තර්කය අනුව ගස්කොලන් වලට ප්‍රාණයක් තිබේ. එම ප්‍රාණය සහිත වූ ගහ කොල මා ආහාරයට ගනිමි. මා නිර්මාංශකයකු නොවූවත් මාංශය යන්න අර්ථකථනය කිරීමේදී මා අනුගමනය කර තිබුණේද සම්මත ක්‍රමයයි. එනම් මාංශය වනාහි දුවන පනින කෑ ගසන සත්ත්වයින්ගේ මාංශය ලෙසයි. නමුත් අද දින දහවල මා අනුභව කල පිපිඤ්ඤා පෙත්ත මාංශයකි. පරිප්පු ව්‍යංජනය මාංශයෙන් සැදී ඇත. නොකා ඉවත් කල කරපිංචා කොල කීපය මාංශයි. ඒවායේ යුෂ මා උරා බී ඇත. එකම වෙනස වන්නේ ඒවා සත්ත්ව මාංශ නොවීමයි. නමුත් ඒවාත් මාංශ ලෙස වර්ග කලහොත් නිර්මාංශකයන්.....?

"එහෙනම් ඔය නිර්මාංශ කට්ටියට කන්න දෙයක් නැති වෙනවනේ...?"

මා කීවේ ජයග්‍රාහී හැඟීමෙනි. අවසානයේ ඔහු ගොඩනගන තර්කය බිඳ දැමීමට සමත් අදහසක් මට පහල වී ඇත. ශාක සහ සත්ත්ව කොටස් වලින් සාදන සියළු ආහාර මාංශ ලෙස සලකන සන්ධර්භයේදී නිර්මාංශභක්ෂකයින් සියල්ලන්ටම හීන් දහදියක් දමනු නොඅනුමානය. එය එසේ විය නොහැකි බැවින් පිස්සාගේ තර්කය බිඳ වැටේ.

"එහෙම හිතන්න ඕන නෑ."

සිනාවෙන් පිලිතුරු දුන් පිස්සා සුපුරුදු පරිදි එයටද සාවධානව පිලිතුරු ගොනු කරන්නට විය.

"ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ... අපි හැමෝම එක එක විධියට ස්වභාව ධර්මයේ දේවල් පරිභෝජනය කරනවනේ... කෑමට ගහක කොලයක්, ගෙඩියක් නැත්තං සතෙක්ගෙ මසක් වුණත් අපි පරිභෝජනය කරනවනේ. ඒක අපිට වගේම සත්තු ගහකොල වගේ දේවල් වලටත් පොදුයි. සතෙක් බඩගින්න නිවාගන්න ගහක් කෑමට ගන්නවා. ඒ සතාව වෙනත් මාංශ භක්ෂක සතෙක් කෑමට ගන්නවා. ඒ සතා මැරුණම උගේ සාරයෙන් ගහක් වැඩෙනවා."

"මම ඒක දන්නවා. අර ලයන් කිං එකේ ඒක තිබුණා..."

"මම ඒව බලල නෑ... ඒ වුණාට ඔය සුද්දො ඕව කියල තියෙන්නෙත් නිකං වෙන්න බෑනෙ.... ඒවයින් හරි කමක් නෑ ඉගෙන ගන්නයි ඕන..."

"හැබැයි එතකොට අර පාපය කියන එකට අර්ථයක් නැති වෙනවනේ...."

"එතන තමයි ප්‍රශ්ණෙ. මොනව වුණත් ඔය ආගම් වලින් මිනිස්සුන්ව යම් යම් සීමා වලට කොටු කිරීමෙන් වෙලා තියෙන්නෙ හොඳ දෙයක්. නැත්තං මිනිස්සු කරන විනාශයේ කෙලවරක් නෑ. සේරම විනාස කරලයි නවතින්නේ. මොකද මිනිස්සුන්ට ඕන එකකට හේතු හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයිනේ... එතනදි පාපය කියන සංකල්පය සෑහෙන්න වැදගත්. ආ... පුතා ඔය මිනිහගේ රැවුල තරුණ කාලෙ ලොකුවට තිබුණලු. පොඩ්ඩක් හදමු.."

මම burn ටූලයෙන් මනාලයාගේ රැවුල මැද එය කළු කරමි. දැන් ඔහුගේ රැවුල වඩාත් රළු ය. ඒ අතර මට පසුගිය දිනවල ජනප්‍රිය වූ ප්‍රවෘත්තියක් සිහිවේ.

"ඇයි අර කෝවිලේ සත්තු මැරන්න ගියේ... ඒකත් එහෙම එකක් තමයි නේ... තේරුමක් නැති විනාශයක්..."

"ඔව්... ඒකත් එහෙම එකක් තමයි. සතෙක් කෑමට මරණ එකයි සංකල්ප මූලික කරගෙන මරන එකයි දෙකක්. ඔය දෙක බැලන්ස් කරගන්න බැරි වීම තමයි මිනිස්සුන්ගෙ අවුල."

"අර Gods must be crazy කියන film ‍එකේ විධියට ඒ මිනිස්සු සතෙක්ව මරලා ඒ මළ කඳට ස්තූති කරනවා තමන්ගෙ කුසගින්න නිව්වට..."

මා උවමනා තරම් චිත්‍රපට බලා ඇති බැවින් මටද කීමට දේවල් හිඟ නොවේ.

"ඒ කතාව මමත් කියවල තියෙනවා. ඒක පැරණි මිනිස්සු අතර තිබුණ දෙයක්. එයාල ස්වභාව ධර්මයේ සමබරතාව ගැන දැනගෙන හිටියා. ඒ නිසාම එයාල මාංශ අනුභව කලා වුණත් වියරුවෙන් සත්තු මරන්න ගියේ නෑ. සත්තු විතරක් නෙවෙයි. ගහකොලට පවා ඒ මිනිස්සු ගෞරවය දුන්නා. ගහක්, සතෙක් නැතිව තමන්ට පැවැත්මක් නෑ කියල ඒ අය තේරුම් අරන් හිටියා."

"ඒ වුණාට ඔය දැන් මරන විධියට ආගමික අදහස් මත සත්තු මරන එක නම් හෙනම චාටර්..."

"ආගමික පදනම මත සත්තු මරන එක වගේමයි මල් පූජා කරන එකත්.... ඇයි ඒක හොඳයි කියලද හිතන්නේ?"

මම විශ්මයෙන් වික්ෂිප්තව පිස්සා දෙස බලුවෙමි. ඔහු සූදානම් වන්නේ කුමකටදැයි මට වැටහෙන්නේ නැත. මල් පූජාව පිළිබඳව මට කිසිදා නොසිතුණු අදහසක් ඔහු මතු කර ඇත. නමුත් එය විමසිය යුතු කාරණයකි. මම නැවත මොනිටරය වෙත දෑස් ඔබාගතිමි. නමුත් මගේ මනස තිබුණේ වෙනත් තැනකය.

ඇසිල්ලකින් මා අප දෙදෙනා කල සාකච්ඡාවේ හරය වෙත පැමිණියෙමි. මල් යනු ජීවී වස්තුවක කොටසකි. වඩාත් නිවැරදිව කිවහොත් ගසක බීජ හටගැනීමේ ක්‍රියාවලියට හෙවත් පරාගණයට මූලික වන්නේ ගසේ පුෂ්පයයි. පුෂ්පය ගසකින් වෙන් කිරීම ගසේ පැවැත්ම සහමුලින්ම උදුරා දමන ක්‍රියාවලියක ආරම්භයකි. එසේනම්....?

මම නැවත පිස්සා දෙස බැලීමි...

"ඒක ඒ තරම් සරල නෑ නේද?"

පිස්සා සිටින්නේ සිනාමුසුවය...

"අවුරුදු සිය දහස් ගානක් ආගමික සංකල්ප උඩ මල් කොයිතරම් ගස් වලින් කැඩිල නිකංම පරවෙලා ගිහින් ඇද්ද? ගහටවත් මලටවත් වැඩක් නැතිව?"

"ඒකත් හරි තමයි... "

මම කීවෙමි. පිස්සා මාගේ හිස මත ඇණයක් තබා මිටයකින් තඩිබාමින් සිටී. ලොව පවතින සියල්ල මිනිස් නිර්වචන මත වටහාගනු ලැබූ භූතාර්ථයන් පමණක්ද?

"ඔය මිනිස්සු ප්‍රාණය නිර්වචනය කරගෙන තියෙන හැටිනේ...,"

මම කියමි.

"ඔව්... ලෝකෙ තියෙන හැමදේම මිනිස් නිර්වචන. ඒව ඔප්පු කරන්න මිනිස්සුන්ට සාධකත් ඕන තරම් හොයාගන්න පුළුවන්..."

"‍මොන සාධකද?"

"ආගමික සාධකම ඕන තරම් තියෙනවා. ආගමික සාධක කියන ඒව ප්‍රශ්ණ කරන්න තහනම් ඒවනේ..."

මගේ මුවේ සිනාවක් මැවිණි... මා හට කියා ඇති පරිදි පිස්සා නගරයේ ප්‍රධාන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මිතුරෙකි. එසේම පන්සලේ පුස්තකාලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඔහු කියවන තරමක් කියවා ඇත්තේ එහිදීය.

"හෙහ් හෙහ්... ඒක තමයි නේ..."

"ඒකනේ... දැන් මම මේ කියපු කතා ටික පන්සලේ හාමුදුරුවොත් එක්ක කිව්වොත් මට සෑහෙන්න පාඩුයිනේ..."

"ඔව් ඔව් ආයෙ කියවල ඉවරයි."

"ඇයි දානේ...? ඒකනේ අපට මේව හිතල මෙහෙම සන්තෝස වෙන්න පුළුවන්. කියන්න ගියොත් වැඩක් නෑ.... මේ එක නෙවෙයි... ඔය පින්තූරෙ දැන් ගානට තියෙනව. තව ටිකක් පොලිෂ් කරල ප්‍රින්ට් කරන්න දාන්න. මට දෙක‍ට කෙනෙක්ව හම්බවෙන්න යන්න තියෙනව පන්සල ගාව කඩේට. හාමුදුරුවො ගැන කිව්වමයි මතක් වුණේ..."

පිස්සා අසුනෙන් නැගිට සිටගත්තේය... හමුවීමට නියමිත පුද්ගලයා අනිවාර්යයෙන්ම ඔහුගේ තවත් පින්තූර ගොදුරකි...

"ආ... රයිට්... මම ප්‍රින්ට් එක අවුට් කරල තියන්නම්..."

පිස්සා සමුගෙන ගියේය. මම මගුල් පින්තූරයේ ක්ෂුද්‍ර දෝෂ සොයමින් ඒවා පිලිසකර කරන්නට වීමි. මගේ පසෙක අනිත් පරිගණකයේ රාජකාරි කරන මිතුරා ගීත අසමින් සිටි ඉයර් ෆෝන් යුගල ඉවත් කරමින් මා වෙත ළං විය.

"මොනාද බං අරූ ඔච්චර කියෙව්වේ?"

මිතුරා උපහාසායෙන් විමසීය. මමද උපහාසයෙන් පිළිතුරු දුනිමි.

"දන්නැද්ද බං උගේ පිස්සු ටෝක්.... ඌ වගේම මෙලෝ රහක් නෑ..."

Friday 23 September 2011

හොඳ නොවන චිත්‍රපටි පිස්සුව | Love for movies!


ඊයෙ කියෙව්ව නෙව මෙතනට එනකල්... මේ ඉතිරි ටික...

-----------------------------------------------------------

චිත්‍රපටි බැලිල්ලෙ ඊළඟ අදියරට එන්නෙ මම අන්තර්ජාලයට එකතු වීමත් එක්ක. අවුරුදු ගාණක් ඊ-මේල් විතරක් හුවමාරු කරමින් ඉඳල 2008දි සයිබරයේ සත්ත්වයෙක් විධියට අමාරුවෙන් අඩිය තැබීමත් එක්කම චිත්‍රපටි බලන, ඒ ගැන කතාකරන, හුවමාරු කරන කීප දෙනෙක්ම මට හම්බවෙනව. ඒ අයත් එක්ක චිත්‍රපටි වලින් නැවතුනේ නැති සංවාද හරහා එයාල එක්ක ගැඹුරු මිතුරුකම් ගොඩක් ඇති වෙනව. ඔය අතරින් මුලින්ම මට ටොරන්ට් වලින් බාගත්තු චිත්‍රපටි එකතුව ලබාදෙන්නෙ සම්පත්. ඒක එයා අධ්‍යාපනය සඳහා රටෙන් පිටත් වෙන්න කලින් DVD එකක මට තැපැල් කරන චිත්‍රපටි එකතුවක්. ඒකෙ තියෙන්නෙ Across the Universe, Eternal Sunshine of the Spotless Mind, Into the Wild, Kite Runner සහ Once කියන චිත්‍රපටි කීපය. ඒ එක්කම වදයක් නැතිව ඒව බලන්න මට SM PLAYER මෘදුකාංගයත් එයා ඒකෙම එවනව. ඔය චිත්‍රපටිවලින් කීපයක් ගැනම අපි කලින් කතාකරල තිබුණ නිසා ඒව මට සෑහෙන්න වටින දේවල් වුණා ඒ දවස් වල. ඒ එක්කම තමයි අන්තර්ජාලයෙන් චිත්‍රපටි බෑම කියන ඒක ගැන මම හොයන්න යන්නේ. නමුත් මට ඒ වෙද්දිවත් මගේම කියල පරිගණකයක් හෝ අන්තර්ජාලයෙන් බාන්න තරම් හැකියාවක් නොතිබුණ නිසා ඒ වැඩේ ගැන නොහිත හිටියා. හැබැයි You've got mail කියන, ඒ දවස්වල හොඳටම වැදුණ චිත්‍රපටියක් මම youtube එකෙන් කෑලි විධියට බෑවා.

ඔය ඔබ නලයෙන් බාන එකත් රසවත් වැඩක් වුණා ඒ දවස් වල. ඇත්තම කිව්වොත් මෙලෝ රහක් නෑ ඒ බෑවිල්ල. ඒ කාලෙ ඔය ඩවුන්ලෝඩ් මැනේජර්, වීඩියෝ වඩුන්ලෝඩර් වගේ එව්ව ගැන හාංකවිසියක්වත් දැනගෙන නොහිටපු නිසා බාගන්න වෙන විධියක් තිබුණෙම නෑ. ඒත් youtube වීඩියෝවක් හාඩ් ඩිස්ක් එකේ කොහෙට හරි buffer වෙන්න ඕන කියල මම දැනගෙන හිටිය. ඔය ගැන පොඩ්ඩක් අවුස්සලා බැලුවම මෙන්න user folder එකේ Local Settings\Temp කියන පාත් එකට .tmp ෆයිල් එකක් එනවා වීඩියෝවක් බලද්දි. හැබැයි මේක වීඩියෝවෙන් අයින් වුණ ගමන් මැකෙනවා. ඒ වගේම කොපි කරන්නත් බෑ. නමුත් වැඩෙත් කෙරෙන්න ඕන නිසා මම කලේ වීඩියෝ 4ක් විතර play වෙන්න දාල සේරම සම්පූර්ණ වුණාට පස්සෙ මැෂින් එකේ තියෙන reset බොත්තම ඔබපු එකයි. යන්තරේ ආයෙ ඔන් වුණාම යස අගේට අර පාත් එකේ අදාල ෆයිල් ටික තිබුණා. මැෂින් එක reset වෙනකොටත් වීඩියෝ ටික බ්‍රවුසරේ ලෝඩ් වෙලා තිබුණ නිසා සිස්ටම් එකෙන් ඒව මකන්න වෙලාවක් නෑ. කොහොම හරි ඒවයෙ extension එක .flv කරගත්තම වැඩේ හරි.

නොදන්න කාලෙ ඔහොම කලාට දැන්නම් ඒ වැඩේට ඕන තරම් බඩු තියෙනවා. නමුත් ඒ දවස්වල මට චිත්‍රපටි බෑමේ පිස්සුව හැදුණනම් අපේ බොසාට අළුත් කොම්පියුටර් කීපයක්ම ගන්න සිද්ධ වෙන්න තිබුණා මගේ reset කිරිල්ල නිසා.

හරි... ඒ අතුරු කතාවක්...

චිත්‍රපටි බැලීමේ පුරුද්ද සම්පූර්ණයෙන්ම අළුත් වෙන්නෙ ඔයාල දන්න රේවන් හෙවත් අපේ බෝ නිසා. එයා කලින් ඉඳන්ම චිත්‍රපටි බාමින් බලපු කෙනෙක්. ඒ නිසාම අපේ හමුවීම් අතරෙදි එයාගෙ මුළු චිත්‍රපටි ගබඩාවම මට හම්බ වෙනවා. ඔය කාලෙදි මම මිලට ගන්න 80 GB IDE හාඩ් ඩිස්ක් එක (පෝටබල් නෙවෙයි. IDE කේබල් එකත් එක්ක උස්සන් යන්නේ :P) එයාගෙ යන්තරේට ගහල ඒකෙන් මගේ හාඩ් එකට කොපි කරල තමයි මම චිත්‍රපටි ගත්තේ. ඒ දවස්වල එයාට තිබු‍ණ යන්තරේ එක පාරම ඔය හාඩ් එක detect නොකරපු නිසා අපි කාපු කටු නම් කියල වැඩක් නෑ. චිත්‍රපටි 100ක් විතර කොපි වෙනවට වඩා වෙලා යනව හාඩ් එක connect කරන්න. කොහොම හරි ඒ දවස්වල දවසට චිත්‍රපටි දෙකක් කොහොම හරි බලනවා. නැත්තං ඔය චිත්‍රපටි 100 ඉවර කරගන්නෙ කොහොමද? රේවනුත් දවසකට චිත්‍රපටි 2කට වඩා බෑව නෙව.

ඔය චිත්‍රපටි වලින් හොඳම ඒව මම DVD වලට දාගෙන ගනේගොඩ අයිය එක්ක බෙදාගන්නවා. එ‍්වත් එකතු කරන්න පටන්ගන්නවා.

2009 මුලදි ආයෙත් මම ගමට එනවා. ඔය කාලෙ බ්ලොග් හොඳටම ලියවුණ කාලෙ සහ අන්තර්ජාලය අස්සෙ එක එක සංගම් වල ක්‍රියාන්විතයේ හිටපු කාලෙ නිසා ගමට ආපුගමන් කරන මුල්ම කටයුත්තක් තමයි ගෙදරට ජාලෙ හදාගන්න එක. ඊට පස්සෙ චිත්‍රපටි බැලිල්ල සහ බෑම ගැන කවර කතාද? මුල් කාලෙ දවසකට චිත්‍රපටි දෙක හමාරක්වත් නොබල මිස නිදා‍ගත්තෙනම් නෑ. හාඩ් ඩිස්ක් එකේ තිබුණ ඒවයි මම කැමති ඒවයි සේරම හවස හයේ ඉඳන් පාන්දර වෙනකල් බැලිල්ල තමයි කලේ. රස්සාවට යන්න උදේ 7.30 ට නැගිට්ටත් ෂේප් නිසා කිසි අවුලක් නැතිව චිත්‍රපටි වෙනුවෙන් නිශාචර වුණා.

ඒ එක්කම මට ඕන වෙනව අඩුගානෙ මම බාන ඒවවත් බැකප් කරගන්න. ඒ නිසා සුපුරුදු විධියට DVD අරගෙන ඒව පිරෙන ප්‍රමාණයට ඒවට චිත්‍රපටි wright කරනව. ඒ එක්කම ඒව හරියට maintain කරන්න ඕන නිසා CD bank කියන organizer එක පාවිච්චි කරල ඒව අංක කරගන්නවා. DVD වල අදාල චිත්‍රපටියෙ නමයි අංකයයි ලියනවා. ඔහොම එකතු කරපු DVD දැනට නම් තියෙන්නෙ 160ක් විතර. බලපුවයින් හොඳම කියල හිතෙන ඒව විතරක් ඔහොම තියාගන්න නිසා තාමත් ඒ ගාණෙන් ෂේප්.

2009 අගදි මට යාළුවෙක්ගෙන් තෑග්ගක් විධියට ගිගා බයිට් 300ක පෝටබල් හාඩ් එකක් ලැබෙනව. ඕක ලැබුණ එක නිකං රජ වුණා වගේ වැඩක්. දන්න කියන හැමෝගෙන්ම ගත්තුව ඕකෙ පුරවගත්ත. සැරින් සැරේ රේවන් හම්බවුණාමත් ඒකෙ බාගයක් පිරුණා. ඊට අමතරව ඔෆිස් එකේ වගේම වෙනත් යාළුවන්ගෙන් ලැබෙන ඒවත් දැන් මුලින්ම යන්නෙ ඒකට. ඒකෙ කාලයක් තිස්සෙ හොඳට තෙම්පරාදු වුණාට පස්සෙ තමයි චිත්‍රපටිය බැලෙන්නේ. මොකද දැන් තියෙන ඉඩකඩත් එක්ක ලැබෙන හැම චිත්‍රපටියක්ම බලන්නත් බෑ. ඒ නිසා බලන්න කලින් විනාඩි කීපයක් ඔය IMDB පැත්තෙ ගිහින් කමෙන්ට් එකක් දෙකක් කියවලා, එහෙම නැත්තං අධ්‍යක්ෂල ගැන හරි නළු නිලියො ගැන හරි සලකලා තමයි චිත්‍රපටිය බලන්න වෙන්නේ.

වර්තමානය වෙද්දි චිත්‍රපටි බැලීමත් සයිනාකාරයි. ඒ කියන්නෙ එක කාලෙකට හිටු කියලා චිත්‍රපටි බලනවා. අනිත් කාලෙට චිත්‍රපටි අතෑරලා ඔය ටියුටෝරියල් බලන එක හෝ ලිවීම වගේ වෙන වෙන අනංමනං. මේ කාලෙ ආයෙත් ගෙවෙන්නෙ චිත්‍රපටි සමයක්. මොකද තාම පිස්සුව හොඳ නෑ. ඒ නිසාමයි මේ ගැන ඔන්න ඔහේ ලියල දානව කියල හිතුණේ.

මම දන්නව මේකෙන් කාටවත් ඇති වැඩක් නෑ කියල. ඒත් වැඩක් ඇති වැඩම කරන්න ඕනත් නෑනේ... :D

Thursday 22 September 2011

චිත්‍රපටි පිස්සුව | Beware of Snakes!



කාලෙකින් අත නොතිය තිබුණ ලට්ට ලොට්ට ගොඩක් අවුස්සද්දි හම්බවුණ CD කීපයක් නිසා ලියන්න හිතුණ දෙයක් මේක. එක අතකින් ඉතිහාස කතාවක්. එක අතකින් මට චිත්‍රපටි පිස්සුව හැදුණ හැටි ගැන කතාවක්.

කතා කරන්න රටේ ප්‍රශ්ණනම් ඕන තරම් තියෙනවා. ඒත් හැමදාම ඒවම කතා කරලත් හරියන්නෙ නෑ. අනික බ්ලොග් එකට විවිධත්වයකුත් එපැයි.

මට හිතෙන්නෙ මට ඔය පිස්සුව ජාන වලින් ලැබුණ එකක්. අම්මගෙ පරම්පරාවමත් තාත්තගෙ පරම්පරාවමත් සැලකිය යුතු තරමින් චිත්‍රපටි බලපු සහ ඒ ගැන කතා කරපු අය. ඒ නිසා අම්මත් එක්ක පුංචි කාලෙ ඉඳන්ම ටීවී වල ගියපු චිත්‍රපටි බලන පුරුද්ද මට තිබුණා. ගොඩක් ඉස්සර අපට කොහෙත්ම බලන්න හිතෙන්නෙ නැති දෙමළ චිත්‍රපටි බලන්න අම්ම රෑ 10 වෙනකල් ඇහැරල ඉන්නව මට මතකයි. පස්සෙ කාලෙ මට මතකයි අපට ITN යන්තම් පේන්න ගත්තු දවස් වල පවා ‍නොයිස් අම්බාණක් එක්ක අපි යන්තම් සබ්ටයිටල් කියවගෙන හින්දි චිත්‍රපටි බැලුවා.

කොහොම හරි ඊට පස්සෙ මගේ අම්මගෙ ආදරණීය මලයා හෙවත් මගේ මාමණ්ඩි එයාගෙ ගෙදරට අරන් ආපු VCR ප්ලේයර් එක අර පිස්සුව තවත් වැඩි කරන්න දායක ‍වුණා. ඒ දවස් වල අපි මාසෙකට දෙතුන් වතාවක් එහෙට සෙට් වෙන්නෙ රුපියල් හැටක් දීල VCR ටේප් දෙකකුත් අරගෙන. ඒ කාලෙ ඔය ස්ටැලෝන්, ශ්වාසෙනගර් වගේ නළුවන්ගෙ චිත්‍රපටි හොඳට හිට්. මට මතකයි දවසක් අපේ බාප්ප කෙනෙක් කිව්වා "අද උඹල ෂෝ මුකුත් ගේන්න එපා.. මට ඉරේෂා හම්බවෙනව දවල්ට" කියල. අපිත් බලං හිටිය ඉරේෂා සිංහල ෂෝ එක බලන්න. බැලින්නම් ඒ ශ්වාසෙනගර්ගෙ Eraser චිත්‍රපටිය. :D කොහොමින් හරි ඒ දවස්වල සැලකිය යුතු තරමක් හින්දි චිත්‍රපටිත් ඕකෙ පිහිටෙන් තමයි බැලුවේ. මම හිතන්නෙ ඊට පස්සෙ උදාවුණ කාලෙදි හින්දි චිත්‍රපටි හොයාගෙන බලන පුරුද්ද මග ඇරුණ නිසා ඔය මාමගේ VCR එකෙන් බලපු හින්දි චිත්‍රපටි වලට තාමත් මම කැමතියි.

ඔය කාලෙට සමගාමීව 96 ලෝක කුසලානෙද කොහෙද පෙන්නන්න ස්වර්ණවාහිනියත් අපට පේන්න ගත්තා. ඒකෙ නෙව චිත්‍රපටි ගියේ. අර ජාතික එකේ හැමදාම පතුරු ගහපු අභිමාන්, ආරාධනා වගේ එව්ව සේරම කැලේ ගියෙ ස්වර්ණවාහිනියෙන් අයිෂ්වර්යා රායිල, කාජල්ල, දේව්ගන්ල, අලි ඛාන්ල සාලෙටම ගෙනැල්ල අතෑරියට පස්සේ. අභිමාන්, ආරාධනා කියන්නෙ පට්ට ක්ලැසික් චිත්‍රපටි වුණාට ඒ දවස්වල ඒව එපා වෙන තරමට පෙන්නලා තිබුණ නිසා අවුරුද්දක්වත් පරණ නැති අළුත්ම චිත්‍රපටි ‍පෙන්නන්න ගත්තම අපට නත්තල්... නෑ.. අවුරුදු වගේ.

ඔය සේරම කොළොම්පුරේ ගමනින් කෙලවර වෙනව. 2001 ඉදන් අවුරුදු කීපයක් යනකල් චිත්‍රපටි බලන්න ලොකු අවස්ථා නොලැබුණ තරම්. ඒ දවස්වල නැවතිල හිටපු ඥාති ගෙදර රාත්‍රියට ටීවී එක බැලුවෙ නෑ කවුරුත්. ඒ නිසා ටීවී එකෙන් චිත්‍රපටි බැලිල්ලටත් සොරි වුණා. නමුත් අතරින් පතර ඒ කාලෙත් චිත්‍රපටියක් ටීවී එකේ බලාගන්න බැරි වුණේ නෑ. ඒ කාලෙ තිබුණ එකම විසඳුම වෙනත් මාර්ග වලට යොමු වෙන එක තමයි. ඒ නිසා නුගේගොඩ ක්විනලන් එකයි මෙට්රෝ එකයි තමයි රජ දහන වුණේ. ඔය කාලෙ චිත්‍රපටි හෝල් අස්සෙ අපූරු පුද්ගලයො හම්බ වෙලා තියෙනව වගේම මාර ආතල් සිදුවීම් වෙලා තියෙනවා. ඒවයින් ගොඩක් දැන් මතක නෑ. නැත්තං මතක් කරගන්න උවමනාවක් නෑ. මුල්ම දවස් වල වතාවක් ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න ක්වින්ලන් එකට ගියා. ඒ දවස්වල ඒක EAP අයගෙ නෙවෙයි. ඒ දවස්වල කිසිම පිරිසිදුකමක් නැති කසිකබල් හෝල් එකක් ඒක. (දැනුත් ලොකු වෙනසක් නෑ තමයි...) ඔය කියපු දවසෙ ඉංග්‍රීසි චිත්‍රපටිය තිබුණෙ පැය බාගයක් විතරයි. ඉන්ටවල් එකෙන් පස්සෙ ගියෙ වෙනම එකක්. ඒකෙ තිබුණෙ ඉස්කෝලෙ ටීචර්ගෙ නිරුවත බලන්න පොරකන ගැටව් ටිකක කතාවක්. ඒක නිලුත් නෑ කහත් නෑ රෝසත් නෑ වර්ගයේ එකක්. පස්සෙ ඒවගේ සිදුවීම් කීපයක්ම වුණා. කියන්න තරම් දෙයක් නැති. කොහොම හරි ඒ කාලය චිත්‍රපටි සම්බන්ධයෙන් කිසි වගතුවක් නැති කාලයක්.

ඔය අතරෙ මම කරමින් හිටපු රස්සාව වෙනස් වෙලා මම නුගේගොඩ පින්තූර කඩේ වැඩට යනව. එතන මම කියන මනුස්සයා මැකිල ආයෙමත් හැදුණ තැනක්. මම හිතන්නෙ මට හම්බවුණ ආකර්ශනීයම මිතුරන් බොහොමයක් මට හම්බවුණේ එතනදි. ඒ වගේම ඒ රැකියා ස්ථානය වක්‍රව චිත්‍රපටි ක්ෂේත්‍රයටත් සම්බන්ධ වුණ නිසා මට ක්ෂේත්‍රයේ ඉන්න අයත් අඳුණගන්න ලැබුණා. එයාලත් එක්ක කතා කරන්න වගේම චිත්‍රපටි ගැන දැනුම බෙදාගන්න එතන හොඳ ස්ථානයක් වුණා.

එතනදි මට හමුවුණ, මාත් ඇතුළුව කිහිප දෙනෙකුගේම රසය වෙනත්ම තැනකට ගෙනාපු කීප කීප දෙනෙක් හිටියා. එක්කෙනෙක් දැනටමත් කීප වතාවක්ම කතා කරල තියෙන ගනේගොඩ අයියා. අදටත් මම එයාව අදහන්නෙ නැති එක විතරයි. එයා රජයේ චිත්‍රපටි අංශයේ (GFU) හිටපු සංස්කරණ ශිල්පියෙක්. නෙගටිව් ෆිල්ම් තමයි එයා එඩිට් කරල තියෙන්නේ. ඒ දැණුමත්, එයා සතුව තිබුණ චිත්‍රපටි වින්දනය පිළිබඳ රසයත් ටිකෙන් ටික දැනටත් මාව වෙනස් කරනවා. දැනටත් චිත්‍රපටි සම්බන්ධයෙන් මට හොඳම සංවාදය තියෙන්නෙ එයත් එක්ක. හැබැයි දැන් දැන් සංවාදයක් නැතිවම අපි දෙන්න එකඟ වෙන තැන් ගොඩක් අපට තියෙනවා.

අනිත් කෙනා පාලිත අයියා. එයා ඉස්සර කිරුළපන චණ්ඩියෙක්ලු. බැන්දට පස්සෙ හැම චණ්ඩියටම වෙන වැඩේ වෙලා. එයත් හැම වර්ගයකම චිත්‍රපටි බලන හොඳ රසිකයෙක්. එයා තමයි ඒ දවස්වල අපේ නිල චිත්‍රපටි සැපයුම්කරු. එයා සතුව තිබුණා ලොකු චිත්‍රපටි එකතුවක්. ඒ කාලෙ DVD වත් ඒ තරම් ජනප්‍රිය නැති නිසා VCD තමයි ප්‍රධාන මාධ්‍යය. ඉතිං පින්තූර කඩේ බෝඩිමේ රාත්‍රි‍යට නවාතැන්ගන්න ගමන් අපි කළේ චිත්‍රපටි බලපු එක. සමහර වෙලාවට අභ්‍යවකාශගත වෙලා ;-)

පාලිත අයියට චිත්‍රපටි කුළියට දෙන කඩයක්ම හම්බ වෙලා තිබුණ කියලයි අපට අහන්න ලැබුණෙ. ඒ කියන්නෙ එයාගෙ යාළුවෙක් කරමින් හිටපු වීඩියෝ කඩයක් වහල ඒ තැටි සේරම පාලිත අයියට දුන්න බවක් අහන්න ලැබුණා. ඉතිං පාලිත අයිය කලේ තමන් ගාව නැති චිත්‍රපටි හොයමින් එකතු කරපු එක. ඒ දවස්වල එයාගෙ පඩියෙන් සැලකිය යුතු කොටසක් වෙන්වුණා VCD මිලට ගන්න.

ඔය අතරට ආපු අනිත් එක්කෙනා නලින්. එයා පාදුක්කෙ කොල්ලෙක්. අදටත් කොළඹ ආවොත් අනිවා සෙට් වෙන ඩයල් අතරෙ එකෙක්. ඌට තිබුණෙ කව්බෝයි පිස්සුව. මිනිහ තමයි මාවත් කව්බෝයි පිස්සෙක් කළේ. ඔය ක්ලින්ට් මහත්තය රඟපාපු චිත්‍රපටි, චාල්ස් ‍බ්‍රොන්සන් මහත්තයගෙ චිත්‍රපටි අභ්‍යවකාශගත වෙන ද්‍රව්‍යයත් එක්ක බොහොම නිවි සැනසිල්ලෙ ගලාගෙන යන චිත්‍රපටි නිසා ඒව සෑහෙන්න රස වින්දා අපි.

ඔය කාලෙ තමයි මටත් චිත්‍රපටි එකතු කිරීමේ පිස්සුව හැදෙන්නේ. ඒකට හේතුව පාලිත අයියගෙන් චිත්‍රපටියක් ඉල්ලගන්න තිබුණ අමාරුව. මොකද මිනිහ වැඩිය කැමති වුණේ නෑ ඒව බෙදාහදාගන්න. හේතුව චිත්‍රපටිවලට එයාගෙ ආදරේ වැඩිකම. අනික ගොඩක් අය ඉල්ලගෙන යන ඒව ආයෙ ගෙනත් නොදීම. නමුත් එයාගෙ විශ්වාසය දිනාගන්න එක අමාරු වුණේ නෑ. මමයි නලිනුයි ගනේගොඩයි තුන් දෙනත් ලාවට චිත්‍රපටි මිලට ගන්න පටන් ගත්තා. ඒ දවස්වල නුගේගොඩ අනුලා එක ගාව දැනටත් තියෙන කඩේ (පිරමිඩ්ද කොහෙද නම) අපේ ගෙදර වගේ. ඊට පස්සෙ නුගේගොඩ රංග පීඨෙ ගාව CD විමන, තව සුපර් මාකට් එක ඇතුලෙ චිත්‍රපටි කඩ පේලි ටික.. වගේ නුගේගොඩ අවට DVD විකුණපු තැන් අපේ වාසස්ථාන වුණා. අපි ඒ ගත්තුව පාලිත අයියත් එක්ක හුවමාරු කරගත්තා. ඒ වැඩේ හොඳට ගියා.

ඔය කාලෙම මට පුරුද්දක් තිබුණා පාගොඩ පාරෙ සමුද්‍රසිරියෙ තිබුණ චිත්‍රපටි කඩෙන් අයිඩෙන්ටිය තියල රුපියල් තිහට හතලිහට චිත්‍රපටි ගන්න. ‍ගොඩක් විට එතනින් අරන් චිත්‍රපටිය හොඳනම් තියාගන්නම කඩෙන් ගන්නව VCD චිත්‍රපටිය රුපියල් 120/-ට. ඒ දවස්වල CD එකක් 60 ගානෙ තමයි VCD තිබුණෙ. නැත්තං හිස් CD දෙකක් අරන් write කරනව.

ඒ අතරෙ තමයි කොහුවල පාරෙ චිත්‍රපටි කඩයක් දැම්මෙ. දැන් ඒකෙ කොටසක් තමයි අර මුස්ලිම් කෑම කඩේ. (ඔය dinemore එක ඉස්සරහම වගේ) ඉස්සර ඒක සම්පූර්ණයෙන්ම චිත්‍රපටි විතරයි තිබුණේ. ඒක කරේ පකිස්ථාන් ජාතිකයෙක්. අපි කඩේට කිව්වෙ පකිස්ථාන් කාරයගෙ කඩේ කියල. ඒකෙ හිටපු ලස්සන පකිස්ථාන් පෙනුමැති අක්කලා නිසාත්, එතන තිබුණ හොඳ collection එක නිසාත් කාලයක් යද්දි ඒක අපේ ප්‍රධාන VCD මිලට ගැනීමේ ස්ථානය වුණා.

අනුන්ගෙන් හරි කුලියට හරි ගන්න චිත්‍රපටි ළඟ තියාගන්නත් ඔය වෙද්දි උවමනාව ඇති වෙනව. ඒ කියන්නෙ චිත්‍රපටි එකතු කිරීමේ පිස්සුව. ඒ නිසා ඊළඟට පටන්ගන්නෙ චිත්‍රපටි CD වලට burn කරල තියාගන්න එක. ඕකට මම සෑහෙන්න කාලයක් පාවිච්චි කළේ Maxell කියන CD වර්ගය. දැන් නම් ඒක වැඩිය දකින්නත් නෑ. නමුත් රුපියල් 30-40ක් වගේ ගාණකට ඒ දවස්වල ගන්න තිබුණ හොඳම එක ඒක. ඒවයෙ චිත්‍රපටි wright කරල, CD වල ලියන පෑනකින් A සහ B ලියල, පුංචි සිලි මල්ලකට ඒව දැම්මා. පින්තූර කඩේ පින්තූර ප්‍රින්ට් කරල අපතේ යන කොල වලින් මම ඒවට කවරත් හැදුව. ඔය මුලින්ම කියපු ලට්ට ලොට්ට අස්සෙ තිබුල හම්බ වුණේ එහෙම ඒව ටිකක් තමයි.

ගනේගොඩ අයිය DVD player එකක් ගන්නෙ ඒ කාලෙදි. 2005 - 2006 දි විතර. ඒ වෙද්දි VCD වල තිබුණ අන්තිම වෙද්දි හිර වෙන ගතිය නිසා ඒව එපා වෙලයි තිබුණෙ. ඉතිං වඩාත් හොඳ DVD නිසා VCD වලට තිත වැටුණා. ඊට පස්සෙ අපි හෙව්වෙ DVD. ඒවයෙත් චිත්‍රපටි 4-5 තියෙන collection DVD තමයි අපේ ප්‍රියතම. රුපියල් 200 - 250 වගේ ගාණකට Full quality චිත්‍රපටි 5ක්ම හම්බවෙන එක තරම් දෙයක් ඒ දවස්වල තිබුණෙ නෑ. ඒ දවස්වල තිබුණ හොඳම collection DVD වර්ග තමයි superbit සහ ultra entertainment කියන්නේ. ඒවයෙ තිබුණ collections සෑහෙන්න හොඳ තත්ත්වෙක තිබුණා. චිත්‍රපටිය DVD තත්ත්වයෙන්ම තිබුණා. අනික සම්පූර්ණ චිත්‍රපටියමත් අගදි පෙන්වන එක නමක්වත් අඩු නැතිව තිබුණා. කැමරා කොපි නෑ. සබ්ටයිටලුත් හොඳට වැඩ කලා. ඉතිං පුළුවන් තරම් ට්‍රයි ‍කලේ ඒවම ගන්න.

සැලකිය යුතු කාලයක් මම කලේ ඔය විධියට DVD කලෙක්ෂන් මාර්ගයෙන් චිත්‍රපටි බැලිල්ල. අපි අතරෙ හිටපු විවිධ රුචිකත්වයන් තිබුණ යාළුවො නිසා එක එක විධියෙ චිත්‍රපටි අපි අතරෙ එකතු වුණා.


---------------------------------------------------------------
මේ පිස්සුව හිතුවට වඩා කල් පැවතුන එකක් කියල තේරුණේ ලියන්න ගත්තම. මේක දැන් මාසයක් තිස්සෙ ලියනවා. ඒත් තාම ඉවර නෑ.

කොටස් වශයෙන් ලියන එක මම කැමති නැති වැඩක් වුණත් මේකෙ ඉතිරි කොටස හෙට තමයි දාන්න වෙන්නේ...

Thursday 8 September 2011

වෙනද වගේම දවසක්


දැණෙන නොදැණෙන
සියල්ල මතින් දැණෙන
සුන්දර ලෝකයක් ගැන සිහිනය
මිය යයි
නැවත උපදියි

කෙදිනකවත්
වචනයෙන් වැනුමට අසමත්
ඒ සොඳුරු සිතිවිල්ල
වල් වදියි
නැවතත් ශිෂ්ඨ වෙයි

කියන්නට වදන් නැති
සිත පිරී ඇති
ඒත් නමක් නැති
හැඟීමක් ගැන
ලියා තබමි
කිසි හැඟීමක් නැති මොහොතක
කිසි හැඟීමක් නැතිවම

අතීතය මිය ගිහින්
හෙට පිළිසිඳවමින්
අද ජීවත් කරමින්
සිත පුරවාලමින්
නුඹට ඇල්මෙන්
අසීමිත සිතුවිල්ලෙන්


2011-09-08

මම දන්නව මේක සිරාම විධිය නෙවෙයි කියල. මේ වෙලාවෙ හැටිය‍ට මීට වඩා එකක් හොයාගන්න බැරි වුණා.