Wednesday 13 December 2017

මා හූනා


මං මේ කාමරේ ඉන්නෙ ඒක ගොඩක් කෑම ලැබෙන තැනක් නිසාම නෙවෙයි. මං මේ කාමරෙන් එහා දේවල් ගැන වැඩිය දන්නෙම නෑ. සමහරවිට මීට වඩා කෑම ලැබෙන තැන් මේ අවට ඇති. හැබැයි ඒ තැන්වල බියට්‍රිස් ඉන්න විධියක් නෑ. ඉතිං මං මෙතන.

මේකෙ දොර ඇරගෙන ඇතුලට එන මිනිස්සු එක එක විධියයි. හැබැයි ඒ හැමෝටම පොදු දේවලුත් තියෙනවා. ඉතිං මං එයාල දිහා බලං ඉඳල එයාලව කියවන්න උත්සාහ කරල තියෙනව. මං දන්න මගුලක් නෑ තමයි. ඒත් හූනු බිජ්ජක් වගේ තියෙන මොලෙන් ටිකක් කල්පනා කරන්න පුළුවන්.

බොක දාන ගමන් මිනිස්සුන්ගෙ ඉරියව් වෙනස් වෙන හැටි, එහෙම නැත්තං වෙනස් නොවෙන හැටි බලන එකත් වෙනම ආතල් එකක් ජෙහාන් අයියේ.

ඒ කොහොම වුණත් මං මනුස්සයෙක් වෙලා මිනිස්සු ගැන මේ වගේම හිතන කෙනෙක් වුණා නම් මං මිනිස්සු කියවන්න හොඳම තැන විදියට යොදා ගන්නේ මේ වගේ තැනක් තමයි. මිනිස්සුන්ගෙ නියම නිදහස් මූණු පේන්නෙ මේ වගේ තැනක. එක එක අයට පෙන්නන්න එක එක මූණු මිනිස්සුන්ට තියෙනව වෙන්න ඕන. ඇත්ත මූණ ලේසියෙන් කාටවත් හෙළිදරව් වෙන්නෙ නැති එකක් කියල මට හිතෙනවා. හැබැයි මේ කාමරේ වගේ තැනකදි ඒක එළිදරව් වෙනවා. මොකද මිනිස්සු මෙතනදි සෑහෙන නිදහස් වෙනවා. පෞද්ගලික වෙනවා. සරලවම එයාලට විතරක් අයිති එයාලගේ මොහොතක් ගෙවන්න හම්බෙන්නෙ මේ වගේ තැනකදි විතරයි. විශේෂයෙන් බොකක් දාන්න මේතනට එන මිනිහ නිදහස් මිනිහෙක්.

මිනිස්සු ජීවිතය ගැන කොයිතරම් සතුටු වෙනවද, පසුතැවෙනවා ද එහෙම නැත්තං කොයි තරම් දුක් වෙනවද, සතුටු පුරෝගන ඉන්නවද... මේ හැමදේම බලාගන්න පුළුවන් ඒ ගොල්ලො එයාලගෙම ලෝකෙක තනිවෙන ගඳ ගහන මොහොතකදි.

එහෙම මිනිස්සු දිහා බලන් ඉන්න වෙලාවක බැරි වෙලාවත් එයාල මාව දැක්කොත් මේ දවස්වලදි නං කට කොණින් හිනා වෙනව. හිනාවක් කියන්නත් බෑ. පොඩියට අනුකම්පාව ගෑවුණ එකක්. මාව දැක්කගමන් වැඩේ කරගෙන එලියට දුවන අයත් ඉඳ හිට එන්නෙ නැතිව නෙවෙයි. කොහොම වුණත් වල්ගෙ නැති හූනෙක්ට හිනා වෙන එක හරිම වැරදි වැඩක්.

මම සති දෙකකට කලින් වලිගෙ බළලෙක්ට දන් දුන්නා. එහෙට මෙහෙට දඟලන උඩ පනින වල්ග කෑල්ලත් එක්ක බළලා පොඩි වෙලාවක් සන්තෝස වුණා. ඒ ගැන දුක් වෙවී දවස් දෙක තුනක් හිටියා. බියට්‍රිස්ට මූණ දෙන්නවත් එලියට ආවෙ නෑ. මං දන්නෑ ඒක නිවට කමක් ද කියලා. ඕන වුණොත් වලිගය පූජා කරලා ජීවිතේ බේරගන්න එක අපිට උරුමයෙන් ආපු හැකියාවක් .

කකුල් දෙකෙන් පස්සේ පොඩි වල්ග කෑල්ලක් ඉතුරුවෙලා තියෙන කොට මිනිස්සු මං දිහා බලලා එක එක ඒව හිතනවා කියල මන් දන්නව. වල්ගෙ සාමාන්‍ය ගාණකට ආයේ හැදෙනකල්ම ඒක එහෙම තමයි. ඒක පසුතැවෙන්න කාරණයකුත් නෙමෙයි. සමහර දේවල් වලට ගැලවෙන්න දුන්නොත් විතරයි පවතින්න පුළුවන්. මිනිස්සු මට හිනාවෙන්නෙ ඒක දන්නෙ නැතුවද?

මිනිස්සුන්ට එක එක මූණු තියෙන්නෙ ගැලවෙන්න ඕන දේවල්වලට ඇලිල ඉන්න නිසා කියල මගෙ හූණු මොලේට තේරෙන තරම එයාලට තේරෙන්නෙ නෑ වෙන්න ඕන.