Monday 5 December 2022

ආරියවංශ අබේසේකරයන්ගේ 'ආරාමදාස' පොත ගැන අදහස්


 මේ පොත කියවන්න පටන් අරන් සුළු වේලාවකින් තේරුණ දේ තමයි ඒක විශිෂ්ට ලෙස ලියවුණු එකක් කියන එක. ඒ ලිවීම පර්ෆෙක්ට් කියල දැනෙනවා. ඒ කියන්නෙ සිංහල භාෂාව හසුරුවල තියෙන විධිය හරිම පිළිවෙළයි. වාක්‍ය මොන තරම් දීර්ඝ වුණත් සංකීර්ණ වුණත් ව්‍යාකරණ නියමෙටම හරි. (මගේ දැනුම අනුව) ඒ වගේම වචන අපතේ නොයවා පරිස්සමින් ලියල තියෙන්නෙ සූක්ෂම මෝස්තර සහිතව වියපු රෙදි කෑල්ලක් වගේ. අවධානය බිඳුනොත් සෑහෙන රහක් මිස් වෙනව. ඒ හින්දම එක හුස්මටම එක අවදානෙන් කියවගෙන යන්න ඕන පොතක්.

මේක වෙනස්ම අත්දැකීමක්. මීට කලින් කොහොමටවත් කියවල නැති පුරාවිද්‍යා වැඩබිම්වල වැඩකරන කම්කරුවන් ගැන කතාවක්. වැඩ බිම ගැන හෝ වැඩ කරන රටාව ගැන ලොකු විස්තරයක් පොතේ නෑ. බෙල් පාටියක වැඩ කරන ක්‍රමය තව විස්තර වෙලා තිබුනනම් ඒක මට තවත් රසවත් වෙන්න තිබුණා. නමුත් පොතේ අරමුණට ඒක ඒ තරම් අදාළ නැති නිසා අවුලකුත් නෑ.

මුල් ටිකේදි ආස වෙන චරිතය සුවාරිස් කියන වාමාංශිකයා. මිනිහා සමාන අයිතීන් ගැන කතා කරන ගමන්ම හොඳින් වැඩ කරන මනුස්සයෙක්. ඔය "වාමාංශික" කියන අදහස අවුල් වෙන තැනක් තමයි වැඩ කිරීම කියන එක. සමාන අයිතීන් හෝ වරප්‍රසාද නිකංම ලැබෙද්දි මිනිස්සු වැඩ කරන්න කම්මැලි වෙන්න පුළුවන්ය කියන එක දක්ෂිණාංශික අදහසක්. 'වාමාංශික" කියන අදහසත් එක්ක ඔය 'වැඩ නොකර ඉන්න මුස්පේන්තු මිනිස්සු තමා වාමාංශිකයෝ' කියන අදහස පරම්පරා කීපයක් තිස්සෙ ඇවිත් තියෙනවා. ශෝලහොව්ගෙ පෙරළූ නැවුම් පසෙත් එහෙම අදහසක් දරණ මිනිස්සු ඉන්නවා. නමුත් සුවාරිස් ඊට වඩා ප්‍රායෝගික චරිතයක්. මිනිහ ගමේ ඉන්න අයිඩියල් ගැමියෙක්. අනුන්ට උදව් කරන්න සීමාවක් නැති හිත හොඳ මනුස්සයෙක්. මිනිහගෙ එකම කොස්ස මිනිහා වාමාංශික වීම. මිනිහ ගැන ගමේ තියෙන පොදු අදහස ඒක. එක අතකට අවුරුදු දහස් ගාණක් පත්තියං වෙච්ච බොරුවෙන් මිනිස්සු නැගිටවන එකත් ලේසි නෑ.

අපිට කියල දීල තියෙන ඉතිහාසය කියල සටහන් වෙලා තියෙන්නෙ ප්‍රභූ ඉතිහාසයක්. පාලකයා සහ පාලකයාගේ සිත් ගත්ත පූජකයා තමයි ඉතිහාසය ලියන්නෙ. පූජකයන්ට ඒ කාලෙදි තිබුණ ශ්‍රාස්ත්‍රීය අයිතිය හින්ද ඉතිහාසය සටහන් කිරීමේ අයිතිය නිතැතින්ම එයාලට ලැබෙනවා. ඉතිං එයාල ලියන්නෙ එයාලගෙ ඉතිහාසය. ඉතිහාසය ලියන එකම එයාල සඳහා දේශපාලනික වාසි ලබාගැනීමේ ව්‍යාපෘතියක්. ඒ් නිසා ලිඛිත ඉතිහාසය අස්සෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිතය ගැන ඍජුව සඳහන් වෙන්නෙ නැති තරම්. හැබැයි පුරාවිද්‍යාව සහ සූක්ෂම ලිඛිත ඉතිහාස අධ්‍යයනයන් මගින් ඕනම කෙනෙකුට අතීත සාමාන්‍ය මිනිස්සු ගැන අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ආරාමදාස අස්සෙ අපට හුදී ජනයාගෙ ඉතිහාසෙ මෙහෙම වෙන්න ඇති කියන ඡායා මාත්‍රයක් පෙන්නනවා. ඒක නියම වැඩක්.

ඒකත් ඔළුවෙ තියාගෙන කියවද්දි තේරෙන දේ තමයි සාමාන්‍ය ජනතාව පාලකයන්ගෙනුත් ආගමික නියෝජිතයන්ගෙනුත් ඇන්දෙනවා කියන එක. ඒක එදත් අදත් එක සේ වලංගු කතාවක්.

ඔය ඇන්දීම ගැන තියෙන අවබෝධය නිසාම පොතේ සඳහන් ගමට හාමුදුරු කෙනෙක් ආව කියනකොටම කියවීම ටිකක් නැවතුණා. ඒක අනතුරක පෙරනිමිත්තක්. ඕනම සාමාන්‍ය තැනකට ආගම සම්බන්ධ වුණ ගමන් අනතුරක් වෙන්න ඉඩ වැඩියි.

ආගමේ කාර්යය මේ වෙද්දි ඉවරයි කියලයි මට හිතෙන්නෙ. ඒක මමත් තාම කල්පනා කරන අදහසක්. දැන් ආගම් විසින් කරන්නෙ තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ආගමික සංකල්ප පවත්වාගැනීමක්. ඒවයින් ආගමික ශාස්තෘවරුන්ගේ තමන්ගෙ අදහස් දේශනා කරපු මුල් අභිප්‍රායන් තෘප්ත වෙන්නෙ නෑ. වෙනත් දැනුම සම්බන්ධයෙන් ගත්තොත් ඒව කාලානුරූපීව වෙනස් වෙන අවස්ථාවලදි ඒ සම්බන්ධ අදහස් සහ අභිප්‍රායන් කාලානුරූපව වෙනස් වෙනවා. නමුත් ආගම්වල ඩෙෆිනිෂන් එකම 'සදා නොවෙනස් සත්‍යය' වගේ එකක් නිසා ආගමික දැනුම හරි නම් එහි ශාස්තෘවරයා විසින් දේශනා කරපු දේවල්ම විය යුතුයි. නමුත් එහෙම ඒව හොයන්න නැති නිසා මේ වෙද්දි ආගම නිකං විහිළුවක් විතරයි. ඉතිං ලස්සන කියවීමක් අස්සට ආගම රිංගද්දි මගේ හිත අවුල් සහගත වෙන එක සාමාන්‍යයි.

ආගම වගේ පරණ අදහස්වලින් එක ජන කොටසක් උත්තම කරන එක මේ යුගයට හරි යන්නෙ නෑ. දැන් පොදු සමාජ වගකීම් මූලික වුණ ජීවන විලාසයක් අස්සෙ තමන්ගෙ නිදහසට වටිනාකමක් තියෙන ජීවන ක්‍රමයක් මිනිස්සුන්ට හුරු කරන්න වෙනවා. සමාජ ආගමක් මිනිස්සුන්ට අවශ්‍යයි. ඒක යුරෝපීය රටවල මිනිස්සු ක්‍රමයෙන් හොයාගනිමින් යනවා. නමුත් කිසිම දෙයක් පර්ෆෙක්ට් නෑ. ඒ නිසාම තවම ඒ වගේ විකල්ප ජීවන විලාසයන් සම්බන්ධව තියරි ගොඩනගන්න බෑ. හැබැයි මිනිස්සු ආගම්වලින් නොගැලවෙන තාක් ආගමික වෙනස්කම් විසින් ලෝකයේ මිනිස්සු අස්සට තවත් අනවශ්‍ය වෙනස්කම් අරං එනව. ඒක පොදු මිනිස් සමූහයක් විදියට එක් වෙමින් තියෙන ලෝකයට සුදුසු තත්වයක් නෙවෙයි.

ආයෙත් පොතට ආවොත් පොතේ කියන ධාර්මික පිළිලය වසංගතයක් වගේ රටම වෙලාගෙන ඉවරයි. ඒක ආරම්භ වෙන විධිය ගැන ලේඛකයා විස්තර කරන්න විධිය රසවත් වගේම ඇත්තටත් ඉතාම ආසන්නයි කියල හිතෙනවා.

නිර්මාණයක් තුළ ඇති ලේයර ගණන වැඩිවන තරමට ඒ්ක රසවත්. ඒ්ක විහිළුවකට, සිනමා පටයකට, පොතකට වගේම වෙනත් නිර්මාණ ඕනෑම එකකට අදාළයි. ආරාමදාස ලේයර් සහිත කෘතියක්. ඒ් හින්දම විවිධ වර්ගයේ කියවන්නන්ට ආස හිතෙන පොතක් වෙන්න පුළුවන්. මේක නියර්ලි පර්ෆෙක්ට් කියන්න මම කැමතියි. පොතේ අන්තර්ගත විෂය, ලේඛන විලාසය, චරිත, පොතෙන් යෝජනා කරන දේවල් සහ කියවාගෙන යාමේ පහසුව වගේ පැති ගොඩකින් පොතට මම කැමතියි. කාලෙකින් කියවපු සාරයක් දැනෙන පොතක් කිව්වොත් නිවැරදියි. සමහර විට ඒ රට ගැන පුරවැසියෙක් විදියට තියෙන ආදරේ නිසා වෙන්න ඇති.

ආරාමදාසයින් කියන්නෙ වහලුන්. මියගිහින්වත් වහල් බවින් මිදෙන්නට බැරි අය. කලින් කියපු එක ලේයර් එකක් සැලකුවොත් අපි හැමෝම ආරාමදාසලා කියල හිතන්න පුළුවන්.