Monday 28 March 2011

පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර




රංජිගෙ තාත්ත නැති වුණ වෙලේ දැක්කට පස්සෙ සෑහෙන්න කාලෙකින් අද තමයි කාන්ති රංජිගෙ ඇස් දෙකේ කඳුළු දැක්කෙ. වෙනද හවසට බස් එකේ බර්ටි අයියත් එක්ක දාන අඩියත් අද දාල නෑ වගේ. මොනව වුණත් රංජිම කියනකල් කාන්ති කවදාවත් රංජිගෙන් දවසෙ විස්තර අහල නෑ. කසාද බැඳපු අළුත ගොඩක් උනන්දුවෙන් එදිනෙදා විස්තර කියවපු රංජි වුණත් දැන් විශේෂ දෙයක් හැර බස් එකේ විස්තර කාන්ති එක්ක කියවන්නෙ නෑ.

ඒ වුණත් ඇස් දෙකේ කඳුළු බින්දු එක්ක ආපු වෙලේ ඉඳන් ඇඳුමක්වත් මාරු නොකර සාලෙ සැටියට වෙලා ඉහේ අත් දෙක ගහගෙන ඉන්න තරම් විශේෂ හේතුවක් අදනම් රංජිට සිද්ධ වෙලා වගේ.


.........................


"පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."

මම හිටියෙ සුපුරුදු විධියටම බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා කෑ ගගහ...
බස් එක කටුබැද්ද හන්දියේ හෝල්ට් එකේ පේමන්ට් එක අයි‍නෙන් හෙමින් ඉස්සරහට ගියා...

"පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."

මම කෑ ගැහුවා... ම්හු.. එකෙක්වත් නගින්නැති පාටයි. ඔපිස් ටයිම් ඉවර නිසා දැන් ඒ තරම් සෙනගත් නෑ. ඉන්න එවුන් ඒසී වල නගින්නෙත් නෑ...

"යමු යමු බර්ටි අයියා..."

මම කිව්වා.

"අර එක්කෙනෙක් දුවගෙන එනවනේ.."

බර්ටි අයිය වම් පැත්තෙ සයිඩ් කණ්නාඩිය බලාගෙන කිව්වා.

"පානදුර, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."

මම ආයෙත් කෑ ගැහුවා.

කැප් එකක් දාගත්තු තරුණ කොල්ලෙක් දාඩිය පෙරාගෙන දුවගෙන ඇවිත් බස් එකේ එල්ලුනා. හිස්වෙලා තිබුණ ෆුට් බෝඩ් එක ගාවම සීට් එකේ පොර ඉඳගත්තා.

මම දොර වැහුවා. බර්ටි අයිය රේස් කලා.

නැගපු කොල්ල ලොකු කෝල් එකක. මලක් ද කොහෙද.. පොරට ටිකට් ගන්න උවමනාවක් නෑ වගේ. කෝල් එක ඉවර වෙන්නෙත් නෑ.

"මල්ලි කොහාටද?"

"ආ... පොතුපිටියට අයියෙ..."

රුපියල් සීයක්. මිනිහගෙ මූණෙ තිබුණෙ බයවුණ කලබල ගතියක්...

"ආ..."

මම ඉතිරි හතලිහ එක්ක ටිකට් එක මිනිහට දුන්නා... මිනිහ ආයෙ ෆෝන් එක කනේ ගහගත්ත.

බස් එකට සෙනග නැග්ගා. බස් එකෙන් සෙනග බැස්සා. ඉක්මනින්ම අපි පානදුරට කිට්ටු වුණා.

පාලම පහු කරලා තියෙන හෝල්ට් එකේ බස් එක නතර කලා. දෙන්නෙක් බැස්සා.

"වාද්දුව, පොතුපිටිය, වාද්දුව, පොතුපිටිය, කළුතර, කළුතර, කළුතර..."

"අයියෙ මේ..."

ෆුට් බෝඩ් එකේ පොල්ල උඩ ඉදගෙන හිටපු මට පිටිපස්සෙන් කවුද කතා කලා. අර කොල්ල නැගිටල මගෙ කණ ගාවට කිට්ටු වෙලා.

"ඇයි?"

"මේ... අපේ අම්මට ටිකක් අමාරුයි. මම මේ බෙහෙත් අරන් යන්නේ. කටුබැද්දෙ තිබුණේ නෑ එක ජාතියක්. මෙතනින් ගන්නකල් බස් එක ටිකක් නතර කරල තියාගන්න පුළුවන්ද?"

"අයියෝ මල්ලි... දවසම චාටර් වෙලා ගෙදර යන්නෙ කොයි වෙලේද කියල ඉන්නේ..."

මට එහෙම කියවුණේ මිනිස්සු එක එක බොරු කියල අපිව රස්තියාදු කරපු වෙලාවල් ඕන තරම් තිබුණ නිසා.

"ඉක්මනට එනවා... පාරෙ එහා පැත්තෙ ෆාමසියට යන්නේ"

"එහෙම කරන්න බෑ මල්ලි.. ඔයා එහෙනං බැහැල වෙන එකක එන්ඩ.."

"අනේ අයියෙ මේක කොහොම හරි ගෙනියන්න ඕන.. පාර පැනලා ෆාමසියට ගිහින් ටක් ගාල එන්නම්.. විනාඩි දෙකක් යයි."

කොල්ල ඒ පාර ඒක කිව්වෙ නම් ගොඩක් දුකින් කියල මට තේරුණා. ඒත්..

"හරි හරි ඉක්මනට ගිහින් එනවා.. මිනිස්සු ගෙවල්වල යන්න එපැයි..."

කොල්ල බැස්සා.

"ටක් ගාල එන්නම්.."

මිනිහ දුවගෙන ගියා කහ ඉර ගාවට.

"පොඩ්ඩක් ගහල ඉමු.. අර බැහැපු මල්ලි බෙහෙතක් අරගෙන එන්න ගියේ.."

මම බර්ටි අයියට කිව්වා.

"අයියෝ මොනවද බං.."

බර්ටි අයියට ටිකක් විතර මල. මිනිහත් දවසම රවුම කරකවල හෙම්බත් වෙලා ඉන්නේ.

මම කොල්ල ගිය දිහාව බලාගෙන හිටිය. මිනිහ ෆාමසියටම ගිය බව මම දැක්ක. ෆාමසියෙන් බෙහෙත ගන්න මිනිහට විනාඩියක් විතර ගියා...

"මොනවද බං... ෂික්"

බර්ටි අයියට හොඳටම මල.

"පොඩ්ඩක් ඉමු බං..."

මම එහෙම කිව්වෙ කොල්ල එනකල් බස් එක ගහල තියාගන්න එකේ වගකීම මගේ නිසා.

තවත් තප්පර ගානකිං කොල්ල දුවගෙන ඇවිත් හිටපු තැනම ඉඳගත්තා. බස් එක ආයෙත් ඉගිල්ලුනා.

මොල්ලිගොඩ පහු වෙද්දි කොල්ලට ආයෙත් ආව කෝල් එකක්.

"හයියෝ..."

කොල්ල එක පාරම උත්තර දුන්න විධියට ගැස්සුණ මම පිටිපස්ස බැලුව. කොල්ලගෙ ඇස් දෙකේ කඳුළු උනනව මට පෙණුන. ඒක වහගන්න මිනිහ මූණෙ අත් දෙක ගහගත්ත. මිනිහ ඉකි ගහනව.

"ඇයි මොකද මල්ලි?"

මම පස්ස හැරිල ඇහුවෙ එහෙම අහන්න හිතෙන තරමට මම මිනිහගෙ දැන් තත්ත්වෙ දැනගෙන හිටපු හින්ද.

"අම්ම නැති වෙලා අයියේ.."

කොල්ල එහෙම කියාගෙන ආයෙත් ඉකි ගහන්න ගත්ත.

මම උඩ ගියා. එකපාරම මුකුත් හිතාගන්න බැරි වුණා. මුකුත් කියන්නත් බෑ..

"උඹ පොතුපිටියෙ බහිනව නේද මලයා... අවුලක් නැද්ද? තව හෝල්ට් දෙකයි.."

කොල්ල ඔළුව වනල කිව්වෙ අවුලක් නෑ කියල. ඒත් මට අවුලක් දැණෙන්න අරන් තිබුණ. මේ කොල්ල බෙහෙත් ගන්න බැහැල යන්න අහපු වෙලේ ඌ එක්ක වාද නොකර යන්න දුන්න නම් සමහර විට කොල්ලට අම්මව බේරගන්න චාන්ස් එකක් තිබුණ කියල මට හිතුණ. ඒත් මම ම ඒක එහෙම වෙන්න බෑ කියන තැනට හිත හදාගන්න ට්‍රයි කලා. වලක්වන්න බැරි දේ වලක්වන්න බෑ. වෙන්න තියෙන දේ වලක්වන්න බෑ. කරුමෙ කියන්නෙ ඕක තමයි.

කොල්ල පොතුපිටියෙන් බැහැල ගියත් මම ඉඳගෙන හිටපු පොල්ලට පිටිපස්සෙ සීට් එකට ඊට පස්සෙ කවුරුවත් ආවෙ නෑ. කළුතරට ඇවිත් බස් එක බර්ටිලගෙ ගෙදරට දානකල්ම මට දැණුණෙ කොල්ල එතන ඉන්නව වගේ. බර්ටි අයිය කලින්දා ඉතිරි කරපු කොටේ එලියට ගත්තත් ඒක ගැන හිතන්නවත් මට හිතුණෙ නෑ...

මගෙ ඔළුව තෝන්තුයි වගේ. කාලෙකින් නොදැණුන හැඟීමක්.

මම කෙලින්ම ගෙදර ආව...


.........................


මුළු කතාවම අහන ගමන් කාන්ති රංජිගෙ ඔළුව අතගෑව. මේ වගේ සිදුවීමක් නිසා මෙහෙම සංවේදී වෙලාද මේ මනුස්සයා.. බස් කොන්දොස්තර රස්සාව පටන්ගත්තු දා ඉඳන් රංජි තව තව දරුණු වුණා වුණත් එයාට ඉස්සර වගේ තාමත් සංවේදී වෙන්න පුළුවන්කම තියෙන වග කාන්ති තේරුම්ගත්තා. ඒක රංජිත්ටම දරාගන්න දීල කාන්ති නිහඬවම හිටියා.

දීර්ඝ නිහැඩියාවකට පස්සෙ රංජි කතා කළා.

"කාන්ති"

"හ්ම්.."

"අපි මේ සෙනසුරාදා යමුද අම්මව බලන්න..."

Friday 25 March 2011

වැඩ! වැඩ! වැඩ! - වීඩියෝ කවියක්!




ඔන්න සිකුරාදාව උදා වුණා... හෙටත් අනිද්දාත් නිවාඩුවක් තියෙනවා. මම කරන රස්සාවෙ හැටියට සති අන්තෙ නිවාඩු තිබුණත් රටේ වැඩකරන අයගෙන් බහුතරයට එහෙම එකක් නෑ. ගොඩක් දෙනා සෙනසුරාදත් වැඩ. ඒ හැම දෙනාටම තමන්ගෙ සබ්බ සකල මනාවම කරගන්න ඉතිරි වෙන්නෙ ඉරිදාව තමයි. එදාටත් ඒ වැඩ වලට මාට්ටු වුණාම නිදහසේ ගෙවන්න පුළුවන් වෙලාවක් ගොඩක් දෙනෙක්ට නැති තරම්.

මේ ශෝකජනක කාලය මමත් අවුරුදු ගාණක් අත්වින්දා. සතියේ දවස් 6ක් වැඩ කරලා ඉරිදට රෙදි සේදිලි අයන් කිරිලි කෝල් කිරිලි ලව් කිරිලි අර කිරිලි මේ කිරිලි ගොඩයි. ඉතිං පොඩ්ඩක් නිදහසේ ඉන්න, චිත්‍රපටියක් බලන්න, පොතකට සමවැදෙන්න, ටිකක් වැඩිපුර නිදාගන්න වගේ දේකට නිවාඩුවක්ම දාන්න වෙනවා.

රට නගන්න වැඩ කරන්න ඕනය කියල කියවල තියෙනව වුණාට ඔය නිදහසේ ගත කරන්න තිබුණ උවමනාව නිසාම මම ඉස්සර කොයි තරම් නිවාඩු ගත්තද කිව්වොත් වලංගු නිවාඩු 21 ටත් අමතරව නෝ පේ දවස් තිස් ගණන් නිවාඩු අරන් තියෙනවා. ඒ කාලෙ ඇත්තටම බොහොම නිදහස් කාලයක්. දැන් මම ගෙවන කාලෙට අමතරව මගේ හොඳම කාලෙ ඔය කාලෙ කිව්වොත් හරි. හොයන්න බලන්න කවුරුත් නැතිව කාටවත් ලොකු බැඳීමකුත් නැතිව, තිබුණොත් කාල නැති වුණොත් බුදියල ගත කරපු කොහෙටවත් නැති කාලයක්.

ඉතිං ඔය විවේකය ගත කරන අතරෙ වැඩ මතක් වෙද්දි ඇඟ රත් වෙනවා. ඉරිදාවක් ඉවර වෙලා සඳුදා උදා වෙන්නෙ හරිම අමාරුවෙන්. සාමාන්‍ය රටවැසියෙක්ටත් කාමර උෂ්ණත්වයේදි කතාව මේ වගේ නම් මම වගේ ස්වභාවික කම්මැලියෙක්ගෙ තත්ත්වෙ ගැන කවර කතාද?

එපා වෙනකල් වැඩ කරන්නෙ හොඳ ජීවිතයක් වෙනුවෙන් නම් ඒ වෙනුවෙන් දැන් ගෙවන ජීවිතේ ගූ කරගෙන වැඩක් තියෙනවැයි...

ඔන්න ඔය සිතිවිල්ලත් තවත් එක එක මඤ්ඤං සිතිවිලිත් හිතේ එහෙ මෙහෙ කලත්තමින් ඉද්දි තමයි මේන් මේක හැදුණෙ.

කැමතිනම් කියවන්න. නැත්තං අහමින් බලන්න.


දුක් විඳින
වැඩ කරන සහ
නිදන්නට කැමති
ජනතාව වෙනුවෙන්

රෑ නමයට ගෙදර ගිහින්
යන්තම් කාල නිදාගෙන
දකින හීනයේ
හොඳම හරියෙදි වදින
හයේ කණිසමට නැගිටල
උදේ පාන්දර
ගෙයින් එලියට බැහැල
කාගෙදෝ ළඟ වැඩ කරන්න
අපි එනවා

වැඩ!

වැඩ!
වැඩ!
වැඩ!


අපිත් යන්තම් ජීවත් වෙලා
තව අයව හොඳින් ජීවත් කරවන්න
මුළු ජීවිත කාලෙම
අපි වැඩ

ඒ මදිවට...
හැමදාම ඉතිහාසය
නිසා ජීවත් වෙන,
දැන් අපට ඕන දේ
කවදාවත් නොකරන
අහිංසකම අහිංසක
මහත්වරු කට්ටියකට
අපි කැපුවත් ඡන්දෙ දෙනව

ජීවිතේ පුරුද්දක් වෙලා...
හැමදාම අපි කරන්නෙ
පුරුද්දක් විධියට
අපි දන්න යාන්ත්‍රික වැඩ ටික
රොබෝල වගේ
කරන එක විතරයි

දැන් අපට ජීවිතයක් නෑ
තියෙන්නෙ වැඩ විතරයි


Thursday 24 March 2011

මගෙ අම්මා සහ ඇගෙ අම්මා | සියළු සත්වයෝ දුප් යන්න



මේ කියන්නට යන සිදුවීම් කීපය මුල් කරගෙන මගෙ අම්මාවත් ඇගෙ අම්මාවත් විග්‍රහ කරන්නට නොයන මෙන් මුලින් ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.

මුලින් මගෙ අම්මාගේ කතාව කියන්නට උවමනාය.

තාත්තා නැති වූ පසු අම්මාගේ හිත හදන්නට එකී මෙකී නොකී සියළු දෙනා එක එක විජ්ජා යෝජනා කළෝය. කට්ටියක් කියවන්නට සුදුසු එක එක බැරෑරැම් පොත්පත්ද, පත්තරද ගැන කියවීය. මනස ගැන කියවන්නට උපදෙස් දුන්නෝය. නිවන ගැන බරපතල පොත් ගැන කිව්වෝය. අහන්නට හොඳ ධාර්මික ගීත ගැන ගායනා කළෝය. නින්දට යන විට අසන්නට කියා අලවතුරේ බ්‍රෑන්ඩඩ් හොඳ කවි බණ කැසට් නිර්දේශ කළෝය.

හැමෝටම උවමනා වූයේ තාත්තාගෙන් හිස්වූ අම්මාගේ හිතේ ආගම පුරවන්නටය. හාවක් හූවක් නැතිව සියල්ලටම කන් දුන් අම්මා දැන් ඉස්සර ජීවත් වූ ලෙසම ජීවත් වන්නීය. ඇය පන්සලට ගියේ මරණාධාර සමිතියේ රැස්වීමට පමණි. විශේෂයෙන් ඇසූ බණක්ද නැත. ඒත් ඇයගෙන් කාටවත් කරදරයක්ද වූයේ නැත. යහපත්ව ජීවත් වන්නට පන්සලවත් අගමවත් අත්‍යවශ්‍ය නැත කියන කාරණේ ඇයට කියා දී තිබුණේ පන්සලේ පස් නොපෑගූ තාත්තාය.

ඒත් තාත්තාගේ මරණයෙන් තෝන්තු වී සිටි ඇයට ආගමික පුරුදු එන්නත් කිරීමට ඇගේ අම්මා හෙවත් මගේ ආච්චි අම්මා තැත් දැරුවාය. අවසානයේ සීයාගේ මරණයෙන් පසු තමා ප්‍රතිස්ථාපනය වූ අයුරින්ම අම්මාවද සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට ආච්චි අම්මා සමත් වූවාය. දැන් අපෙ අම්මා බුදුන්ට පහන තියන්නීය. හවස හයට මල් පූජා කර හඳුන් කූරක්ද දල්වා බුදුන් වඳින්නීය. ආච්චි අම්මා විසින් නිර්දේශ කරනු ලැබූ ගාථා අඩංගු පොත් වහන්සේ ළඟ තබාගෙන එම ගාථා කියවන්නීය. ඇගේ මේ වතාවත් හවස හයේ සිට නොවරදින දෛනික පිළිවෙතක් බවට පත් වී ඇත.

...............................

අපෙ අම්මා බළලුන්ට කැමති නැත. උන් ඇල්ලීමටද කැමති නැත. උන්ගේ ඥාව්වද ඇයට හිරිහැරයකි. බළලුන්ට ආදරය කරන්නට අම්මාට උගන්වන්නට තාත්තා අසමත් වුවත් තාත්තා විසින් නිවසේ ඇති කරන ලද බැළලිය වෙත අම්මා තවමත් කරුණාව දක්වන්නීය.

එම බැළලිය විසින් ප්‍රසූත කරන ලද පැටවුන් දෙදෙනෙක්ද මේ දිනවල අප නිවසේ වෙසෙයි. තවමත් දොට්ටපිලට යාමට උවමනා වූ විට නිවසෙන් එලියට යාමට අසමත් මුන් ගේ හැමතැනම උන්ට රිසි අහු මුළු සුවඳ කරයි. මෙය අම්මාට ඉවසුම් නොදෙන්නකි. නිවසේ වූ බළලුන්ගේ අතිශයින් දුර්ගන්ධ වූ මළ පිරිසිදු කිරීමද, මුත්‍රා පිස දැමීමද ඇය කලේ බළල් පැටවුන්ටද උන්ට කිරි දෙන උන්ගේ මෑණියන්ටද බැණ වදිමින් බව මම දනිමි. එයට තිබූ අකමැත්ත නිසාම ඇය බළලුන් නිවසේ අහුමුළු වෙත, කාමර වෙත ඇදෙනවා දුටු සැණින් ආවේස වී උන් එලවන්නීය. එවිට ඇය උන් හිටිතැන් අමතක වන තරමටම විස්සෝප වන්නීය.

මේ සිදුවීම සිදු වන විට අම්මා සිටියේ නිවසේ බුදු පිළිමය තබා තිබූ වේදිකාව යට කුෂන් එකක් දමා එහි හිඳගෙන ඇ‍ගේ දෛනික වන්දනාවේ යෙදෙමිනි. නිහඬ පරිසරය අතරින් ඇයගේ මිමිණීම මට ඇසුණි. බුදු ගෙය අසලම පුටුවක මා සිටියේ කියවමිනි.

එක් වරම අම්මා කෑ ගැසුවාය.

"දු:ප් යන්න"

මම හැරී බැලුවෙමි. අම්මා වහා වන්දනාව නතර කර හුන් තැනින් නැගිට නිවසේ ප්‍රධාන දොර වෙත දිව ගියාය.

"පෙනේද මේකා කරන්න ගිය වැඩේ... මං බලාගෙන හිටියෙ හෙමින් හෙමින් දොර මුල්ලට කිට්ටු කරනව... දැක්කෙ නැත්තං චූ කරනව."

ඇය බළල් පැටවෙක් සෙමෙන් පාදයෙන් තල්ලු කර නිවසෙන් එළියට දැමීය. පසුව නැවත පැමිණ දොහොත් එක්කොට වඳින්නට වූවාය.

...............................

ඇගෙ අම්මාගේ හෙවත් මගේ නැන්දම්මාගේ කතාවේ ප්‍රධාන චරිතය ඇය නොවේය. එසේම සාමාන්‍ය දිනයකදී නම් එම සිදුවීම වැඩි දුර නොසිතාම බැහැර කරන්නට මට හැකියාව තිබෙන්නට ඉඩ තිබුණි. එහෙත් මේ දිනය විශේෂය.

එදා ඇගෙ අම්මාගේ නිවසෙන් පන්සලේ දිවා දානය පිරිනමන දිනයයි. සෑම මසකම කලින් වෙන් කරගත් දිනක ඇය බැතිබර සිතින් පන්සලට දානය පිළියෙල කරන්නීය. ඒ සඳහා සම දායකත්වය සපයන්නේ නැන්දම්මාගේ අල්ලපු ගෙදර මිතුරිය වන කාන්ති නැන්දාය. දෙදෙනා ගජ මිතුරියන් වනවා මෙන්ම මෙවන් දාන මාන ආදී කටයුතු වලදී අන්‍යෝන්‍ය වශයෙන් උදව් පදව් කරගනියි.

මෙදින දානය පිළියෙල කිරීමද දෙදෙනා විසින් සිදු කල අතර ඇය හෙවත් මගේ බිරින්දෑද සහයට ඩැනීවරියක් සේ කටයුතු කළාය. මා සාලයට වී සිටියේ පසුගිය සතියේ පුවත් පත දිගඇරගෙනය. පුවත්පත මත දෑස තිබුණද සවනට වැටුණේ කුස්සියේ වූ කතා බහයි.

තිදෙනා එක්ව අර්තාපල් සුද්ධ කිරීම සඳහා සූදානම් වන හඬ මට ඇසේ...

"අනේ ඕක ඔයාට කරන්න බෑ.. කෝ දෙන්න මම කරන්න. මේව පිළිවෙලට කරන්න එපැයි ඔයා යන්න අර කරපිංච, මිරිස් ටික සෝදල ගන්න..."

නැන්දම්මා තම දියණියට පවසන්නීය.

"අනේ ඒක තමයි දූ... අම්මට දෙන්න ඕක කරන්න. දානෙ දෙන්නනේ..."

කාන්ති නැන්දාද ඇගෙ අම්මාගේ පැත්තේය.

කතාවත් වැඩත් එක දිගට ගලා යයි. මමත් පත්තරේ එකම ඡේදය කියවමින් නිදිමතේ සිටිමි. මගේ නිදිමත බිඳුණේ එක වරම ඔවුන්ගේ කතාව වෙනස් වූ බැවිණි.

"ආනේ මේ.... තෙල් කූඹි ආයෙත් ඇවිත්.... බලන්න කාන්ති අක්කෙ මේ තෙල් කූඹි වගයක් ඇවිත් හරිම කරදරේ"

"කෝ බලන්න.... ආ... "

"කලිනුත් ඇවිත් ඉඳල මම පිහිදාල දැම්මා... දැන් ආයෙත් ඇවිත්... මේ.. මේ... බිත්තිය අයින දිගේ එනවා..."

"ඔය කූඹි පිහිදැම්මට යන්නෙ නෑ... ලාම්පු තෙල් දාන්න ඕන... කෝ ලාම්පු තෙල් තියෙනවද?"

"දූ.. ඔන්න ඔය කෑන් එක දෙන්න නැන්දට..."

"කෝ දෙන්න කෑන් එක... පොල් මුඩ්ඩක් කෝටුවක ගැටගහල ගන්න දුව..."

සැර භූමිතෙල් සුවඳක් සමග ඔවුන්ගේ ජරමරය මට ඇසුණි. සෙමෙන් කුස්සිය වෙත ඇදුණු මා දුටුවේ හිරමණ බංකුව මත නැගී කුස්සියේ එක් බිත්තියක භූමිතෙල් ආලේප කරන කාන්ති නැන්දාය. ඇගෙ අම්මා භූමිතෙල් දැමූ පොල්කටුවක් අල්ලාගෙන සිටින අත ඇය ඉණට දෑත තබාගෙන බලා සිටියාය.

...............................

මේ කතා යුග්මයම අප දෙදෙනා විසින් සාකච්ඡා කර ගන්නා ලද අවසන් තීරණය වූයේ අප දෙදෙනා කෙසේ වෙතත් අවම වශයෙන් අපේ අම්මලා‍ එක බෝට්ටුවේ බවය.





හුදු නිර්මාණයක් පමණි. නම් ගම් මන:කල්පිතයි. සිදුවීම් තුල කතාව මවාපෑම පිණිස යොදාගත් චරිත, අන්තර් සම්බන්ධතා සහ අතිශයෝක්ති සහිතයි.

Wednesday 23 March 2011

අපිත් මමීකරණය වෙයිද?


ඥාතීන් කීප දෙනෙක්ගෙන් දුරස් වුණ මගේ ඥාති ආච්චි කෙනෙක් පහුගියදා මෙලොවින් සමුගත්තා. අපේ ගෙදරට ගෙවල් කීපයකට එපිටින් තමයි මළගෙදර තිබුණේ. දරුවන් හත් අට දෙනෙකුගෙ (මමවත් ගාණ දන්නෙ නෑ) අම්ම කෙනෙක් වුණ මේ ආච්චි ගමේ බොහොම ආදරයට පාත්‍රවුණ කාන්තාවක් වෙලා හිටියා.

මළ ගෙදර වැඩ කටයුතු එක්ක හතර වටේට ලයිට් දාන්න, වයර් අදින්න ටෙන්ට් ගහන්න වගේ වැඩ වලට උදව්වක් වෙන්න මම උදේ ඉඳන් එහෙ හිටියා. සුමනෙ අංකලුත් ඇල්බට් අංකලුත් කුමාර අයියත් එකතු වෙලා ගේ දෙපැත්තෙ ටෙන්ට් එල්ලුවා. ඊට පස්සෙ ඇල්බට් සහ කුමාර දෙන්න පුවක් කපද්දි සුමනෙ අංකලුත් මමත් පාර පැත්ත අඳුරු නිසා පාරට වෙන්න බල්බ් එකක් දාන්න වයර් එකක් අදින්න සූදානම් වුණා.

ඒත් පැය බාගෙකින් ඉවර වෙන්න තිබුණ ඒ වැඩේට අපට පැය තුනක් ගියා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ආච්චිව මමීකරණය කරන්න තිබුණ නිසා.

දේහයට අවසන් ගෞරව දක්වන්න ගෙදරට ආපු පන්සලේ හාමුදුරුවන්ගෙන් පටන්ගෙන, මරණාධාර සමිතියෙන්, දායක සභා අරමුදලෙන්, තරුණ ජවය සමිතියෙන්, ප්‍රජා සංවර්ධන කමිටුවෙන්, කුළඟන සමිතියෙන්, තිස්සපුර ගමේ වැඩිහිටි සමිතියෙන්, දහම් පාසල් ගුරු මණ්ඩලයෙන් වගේම..... ලොකු පුතා වැඩ කරපු විදුලි බල මණ්ඩලේ සුභ සාධක සමිතියෙන්, ඒකෙම ආරක්ෂක අංශයෙන්, කළමනාකරණ සහකාර නිලධාරි සමිතියෙන්..... ලොකු දුව උගන්වපු ඉස්කෝලෙ ගුරු මණ්ඩලයෙන්, සමාජ සත්කාර්ය සමිතියෙන්.... මද්දු පුතා වැඩ කරපු කොම්පැණියෙ සුභසාධක සමිතියෙන් වගේම නාලිකා දුව වැඩ කරපු ක්‍රීඩා අමාත්‍යංශෙ කාර්යාල සමිතියෙන් වගේ නම් වලින් මතක තියාගන්න බැරි තරම් සමිති ගාණකින් මේ මමීකරණ කටයුත්තට ඕන කරන රෙදි කෑලි ගෙනාවා.

පරණ මමීකරණයෙයි මේ වතාවෙ මුහුණ දෙන්න වුණ මමීකරණයෙයි වෙනස්කම් නම් සෑහෙන්න තියෙනවා. එකක් තමයි මේ මමීකරණයෙදි කල් තබාගන්න උත්සාහ කරන්නෙ අදාල දේහය නොවීම. මේකෙදි කල් තබාගන්නෙ මේ රෙදි කෑල්ල ලබාදෙන පාර්ශවයයි. ඉතිං රෙදි කෑල්ල ලබා දුන්නෙ කවුද කියල අඳුනගන්න රෙද්ද පුරා අදාල පාර්ශවයෙ නම ගම එක්ක මොකක් හරි ශෝක ප්‍රකාශයක් ලියල තියෙනව. ‍



මේ රෙද්ද ලබාදුන් පාර්ශවය කියන එක බොහොම වැදගත්. ඒක මළගෙදරට එන උදවියට පේන්න තියෙන්න ඕන. ඒ නිසා දේහය වටේ ඖෂධ එක්ක එකතු කරල ඔතනව වෙනුවට මේ රෙදි කෑලි මළ ගෙදර වටේ එල්ලනව. එන අයට පේන තැනක හොඳට පේන්න.

මේ මමීකරණ වැ‍ඩේ කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් අපට අනිත් වැඩ නතර කරන්න වුණා. අනිත් එක ඒව ගහන්න ඉඩක් තිබුණෙත් නෑ. අන්තිමේ කලින්ම ඇවිත් ගිය, ආයෙත් ඒවිය කියල නොහිතන පාර්ශව කීපයක රෙදි උඩින් අළුත් ඒව එල්ලුව. මොනව කරන්නද?

ඉතිං... මේ තරම් වටේ රවුම් ගහමින් මම කියන්න යන කතාව දැන් ෂඛ්ෂුඩඛ් ෂේ පැහැදිලියි නේද? මේ කියන්න යන්නෙ මළ ගෙවල් වල බැනර් ගැහිල්ල ගැන...

ගෙනත් දෙන අය මේ බැනර් ගෙනත් දෙන්නෙ ඒකෙන් තමන් මේ ක්‍රියාවලිය පසුපස ඉන්නව කියන එක පෙන්නන්න. ඒක අදාල පාර්ශවයට සහ පවුලට සම්බන්ධ මනුස්සයටත් පොඩි කික් එකක්. උදාහරණයක් විධියට විදුලි බල මණ්ඩලේ වැඩ කරන පුතාට තමන්ගෙ ආයතනයේ බැනර් එකක් ගහල තියෙන එක පොඩි ආඩම්බරකාර කාරණයක් වෙනව ඇති. නමුත් බැනර් එක ගැහිල්ල හැර මළගෙදර කටයුතු වලට වෙනත් දායකත්වයක් බැනර් එක දෙන අය නොකරනව වෙන්නත් පුළුවන්.

මොනව වුණත් බැනර් දැමීම ගැන මටනම් හිතෙන්නෙ ඒක ලකුණු දාගැනීම සහ දමා දීම පිණිස හැදුණ එකක් කියලයි. ඒක නිකං ටැලි විෂ න් එකේ ක්‍රිකට් මැච් එකක්, ටෙලි නාට්‍යයක් වගේ ඔය එක එක ඒවයෙ තියෙන ඇඩ් දැමිල්ලට දෙවෙනි නෑ. මියගිය මනුස්සය වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ මළගෙදර උදවියට අනවශ්‍ය කරදරයක් නොවී දේහයට අවසන් ගෞරව දක්වන එක. උදව්වක් කරන එක. (අඩු තරමෙ තමන් බැනර් එකක් ගෙනාවනම් ඒක එල්ලන්න සපෝට් එකක්වත් දෙන එක?)

ඒ විධියට ගත්තම මේකෙ තියෙන අවුල විධියට මට පේන්නෙ වෙන එකක්. ගොඩක් විට මේ බැනර් ගේන උදවිය බැනර් එක මළ ගෙදරට සම්බන්ධ කාට හරි දීල මාරු වෙනව. පස්සෙ ඒක එල්ලීම, බලාගැනීම, ගැලවීම, සේදීම සහ නැවත බාර දීම කියන කාරනා සේරම මළගෙදර උදවිය විසින් බලාගන්න වෙනව. කෙනෙක් මියගියාම කරන්න ඉතිරි වෙන නොයෙක් වැඩ අස්සෙ මේ බැනර් කෙරුවාව ඇත්තටම ලකුණු සඳහා ඇර වෙනත් කිසිම වැඩක් නැති අමතර වැඩක් විධියට ගෙදර උදවියගෙ කර උඩ වැටෙනව කියල තමයි මට නම් හිතෙන්නේ.

හැබැයි එකක්. මේක පටන් ගන්නෙ මළ ගෙයක් තියෙන ස්ථානය පැමිණෙන අමුත්තන්ට දන්වන්න සුදු කොඩියක් දැමීමේ චාරිත්‍රයෙන්. ගොඩක් ඉස්සර මම සහභාගි වුණ මළ ගෙදරකදි සෑහෙන්න වයසක සීය කෙනෙක් තමයි මට ඒ කතාව කිව්වෙ. ඉස්සර මළ ගෙදර ඉදිරියෙ සුදු කොඩියක් දාන එක හැර වෙන දෙයක් තිබිල නෑ. පස්සෙ පස්සෙ මේ සුදු කොඩියට අනුග්‍රාහකයො සෙට් වෙනව. ඉතිං නම ලොකුවට පේන්න ඕන නිසා කොඩිය බැනර් එකක් වෙනව. අනුග්‍රාහකයො වැඩි වෙනකොට මළ ගෙදරට එන පාර දිගේම තියෙන හන්දි වල බැනර් වැටෙනව. ඒක එක අතකට නොදන්න මළ ගෙයක් හොයාගෙන යද්දි සෑහෙන්න උදව්වක් වෙනව තමයි.

දැන් ඉතිං කාලෙ වෙනස් තාලෙ අළුත්. මදය කෙසේ වෙතත් පොත්ත ලස්සනට තියෙන්න ඕන නිසා හැම තැනකදිම වෙනව වගේ මළ ගෙවල් වලත් සෝබන වලට තමයි වැඩිම කාලයක් එක්ක වියදමත් වෙන්නේ.

ඒක ඉතිං කෑල්ලෙන් කෑල්ල කතා කරත් ඉවර කරන්න බැරි දෙයක් නිසා මම කියන්නම් නූතන විධියට මමීකරණය වෙන්න ඕන නම් කරන්න ඕන වැඩේ.

හරි ලේසියි... ඔය දන්න කියන හැම සමිතියකම සංගමේකම සාමාජිකත්වෙ ගන්න. වැඩ නොකලට කමක් නෑ. නමට පෙනී ඉන්න. මැරුණට පස්සෙ කට්ටියම ඇවිත් මමීකරණය කරයි....

ඉතිං මේ අපි යම් දවසක මරණයට පත්වුණාට පස්සෙ මෙන්න මෙහෙම මමි බැනර් තියෙයි නේ... :P



------------------------------------------------------------------------------------------------------

අනිච්ඡාවත සංඛාරා...
ඔබ ගිය පසු නොහඬා කුමක් කරන්නද?
ඩෙඩ් කැටගරියට දමනවා මිසක

සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය

------------------------------------------------------------------------------------------------------

වයධම්මා සංඛාරා...
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම ඔබ ගිහින්
නැවත ප්‍රතිසන්ධිය ලද වහා පටස් කරන්න

ශෝකී ලාංකීය සිතුවිලි

------------------------------------------------------------------------------------------------------

ජීවිතේ බස් රියකි. දිනෙක කැ‍ඩෙනවා සත්තයි
බෘම් බෘම් බෘම් ගාල හුචස් ගා නැවතුනේ ඇයි?

සිව්හෙලේ මහා සම්මත ගූ ගල් බස් සංගමය

------------------------------------------------------------------------------------------------------

System Failure.
කලින් බැකප් කලත් දැන් ‍ෆෝමැට් කලත් පලක් නම් නැත.

ටෙක් කතා.com

------------------------------------------------------------------------------------------------------

අයියෝ!

sindiya.com

------------------------------------------------------------------------------------------------------

සමුගත්තද ඔබ, මියෙන්නේ නැත
ඔබේ පොරත්වය
ඔබට නිවන, මෝක්ෂය හෝ නැවත මහ පොළොව

හත්மாளுwa

------------------------------------------------------------------------------------------------------

Have a nice time at Heaven!
Gods may read you then

kottu

------------------------------------------------------------------------------------------------------


තව ඕන තරම් කට්ටිය බැනර් නම් දායි... මට ඒව හිතන්න කම්මැලියි... ඔය ලොකුම බැනර් ටිකක් ගැන තමයි ලිව්වේ...

ඇත්තටම මමීකරණය ගැන දැනගන්න ඕනනම් සත්සමුදුර කියවන්න.

Tuesday 22 March 2011

මිනිසා සම්පූර්ණ කිරීමට කියවීම! පිරිමියා සම්පූර්ණ කිරීමට ගැහැණිය!


ගැහැණිය සහ පිරිමියා කියන දෙපාර්ශවය එහෙම දෙපාර්ශවයක් විධියට වෙන් වෙලා තියෙන්න හේතු වෙන කාරණය සංස්කෘතික පසුබිමක කතාකරද්දි කියවෙන දෙයක් තමයි ගැහැණිය විසින් පිරිමියා සම්පූර්ණ කරනවා කියන එක. මේක අනිත් පැත්තට පිරිමියා ගැහැණියව සම්පූර්ණ කරනව කියලත් ගන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන පණ්ඩිත වාක්‍යය අනුව ඔය දෙගොල්ලොම හොඳට කියෙව්වානම් දෙගොල්ලොන්ටම දෙගොල්ලො නැතිව ඉන්න තිබුණ. මේ ලියන, කියන, ගායන, කන, බොන, ගිලින, රසවිඳින, වමනෙ දාන, කඳුළු උණන, හොටු පෙරන කතා වලින් සෑහෙන්න ටිකක් නැතිවෙන්න තිබුණ.

ඒත් ඒක එහෙම වෙන්නේ නෑ.

ඒ කියන්නෙ මිනිස්සු කියවන්නෙ නෑ කියන එක නෙවෙයි.

සමහර විට කියවලවත් මිනිහෙක්ට සම්පූර්ණ වෙන්න බෑ කියන එක වෙන්න පුළුවන් ඕකෙ යටි කතාව. කොහොමත් කියවන එකම කරන පොත්ගුල්ලන්ගෙන් ඇති වැඩකුත් නෑ. ඒත් පොත් කියෙව්වත් නැතත් මේ ගැහැණිය හෝ පිරිමියා භාවිතයෙන් එකිනෙකා සම්පූර්ණ වෙන්න දරන උත්සාහය ස්වභාවිකයි.

ඒත් සම්පූර්ණ වෙන්න උවමනාවක් ඇති වෙන්නෙ තමන් අසම්පූර්ණයි කියල හිතෙන නිසා.

ඒ කියන්නෙ තමන් සතු නොවෙන දේවල් ටිකක් තියෙන බාහිර පුද්ගලයෙක් යොදාගෙන තමන්ට නැති ටික වහගෙන තමන් සම්පූර්ණ වෙනවය කියන එක. ඒක හරියට වතුර පිරුනු වීදුරුවක් වගේ. පිරුනු වීදුරුවක් තවත් පුරවන්න බෑ. වීදුරුවක් පිරෙන්න නම් ඒක හිස් වෙන්න ඕන.

ඒත් එක්කම ඔය ගැහැණු පිරිමි සම්බන්ධයෙදි කියනව මේ ගැලපීම ගැන. කැමති පාටෙ ඉඳන් අහන්න ආසම සින්දුව දක්වාම මේ කතන්දරේදි ගැලපීම් තමයි හොයන්නේ. ඒක මහ තේරුමක් නැති වැඩක් කියල පස්සෙ කාලෙක ගොඩක් දෙනා තේරුම්ගන්නව වුණාට ජනප්‍රිය කතිකාවෙදි ඒක එහෙම තමයි.

තමන්ට සම්පූර්ණ වෙන්න තමන් නොවෙන කෙනෙක් හොයන අතරෙම ඒ වගේම උවමනාවල් ටිකකට තමන්ට ගැලපෙන එක්කෙනෙක් හොයනව. මේ ගනුදෙනුව සිද්ධ වෙන්නෙ හැඟීම් ස්ථරයක නිසා ඔය දෙක අතිපිහිත වෙන එක මොහොතකදි වැඩේ ගොඩ යනව.

මේ කතාව අනිත් පැත්තට හිතල මෙන්න මෙතනට එමු.

ඔබේ ගැහැණිය විසින් ඔබව සම්පූර්ණ කිරීම ඔබේ බලාපොරොත්තුව නම් ඔබ තෝරාගන්නා ගැහැණිය ඔබ සතු නොවන දේවලින් සමන්විත විය යුතුයි. එනම් ඔබේ සම්පූර්ණ විරුද්ධ ස්වභාවයන්ගෙන් යුක්ත විය යුතුයි. ඒ අනුව ඔබත් ඇයත් එක් වූ විට අන්‍යෝන්‍ය වශයෙන් ඔබලා දෙදෙනා එකිනෙකා හේතුවෙන් සම්පූර්ණ වේ.

ඒ අනුව පිරිමියාට ගැලපෙන ගැහැණියකගෙන් ඔහුට සම්පූර්ණ වෙන්න ලැබෙන්නෙ නෑ. පිරිමියෙක්ට සම්පූර්ණ වෙන්න ඕන නම් ඔහු හොයාගන්න ඕන ඔහුට නොගැලපෙන ගැහැණියක්!

ඔව්.. මේ වචන සෙල්ලම් අස්සෙ අතරමං වෙනවට වඩා ඒක ලේසි වෙයි...

Monday 21 March 2011

ඉලුක්පැලැස්සට ගියෙමි!

මගේ රාජකාරිමය ගමන්බිමන් ගැන කලින් ලියපු බෝගහකුඹුර ගැන සටහනේ කියල තියෙන නිසා ඒ ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ... ඒ වුණාට ලොක්කන්ට අපි වගේ එහෙ මෙහෙ ඇවිදින්න පුදුම ඇම්මක් තියෙන අය වෙනුවෙන් ලොකු අනුකම්පාවක් තියෙන නිසා එක එක රාජකාරි වල නියැලෙන්න අවුරුද්දකට කීප වතාවක් රවුම් ගහන්න මට අවස්ථාව ලැබෙනවා. මේ වතාවෙ මට යන්න වුණේ කලින් නමවත් අහල නොතිබුණ පුංචි ගමකට. ඉලුක්පැලැස්සට. මේක බදුල්ල දිස්ත්‍රික්කයෙ කෙළවරේම තියෙන, බදුල්ල, මොණරාගල සහ රත්නපුර කියන දිස්ත්‍රික්ක තුනක මායිම් එකිනෙක සම්බන්ධ වෙන ස්ථානය ආසන්නයේ තියෙන ගම්මානයක්.

මම ගියේ රාජකාරියකට නිසා එහෙ මෙහෙ ඇවිදින්න අවස්ථාවක් ලැබුණෙ නම් නෑ. ඒ නිසාම සැලකිය යුතු විස්තර සහිතව මේ සටහන ලියාගන්න බැරි වුණත් හිටපු ටිකේදි දැනගන්න ලැබුණු තොරතුරු කියන්නම්.


ඉලුක්පැලැස්සේ පිහිටීම

ඔයාල හපුතල සහ බලංගොඩ අතර තියෙන බෙරගල හන්දියෙ ඉඳන් පහල මිටියාවත දිහා බලල තියෙනවනම් ඒ පේන තෙක් මානයේ තැනක දකුණට වෙන්න තමයි ඉලුක්පැලැස්ස තියෙන්නේ.


ඉලුක්පැලැස්සේ පිහිටීම


වෙන පාරවල් තියෙන්න පුළුවන් වුණත් ඉලුක්පැලැස්සට ළඟම නගරය බලංගොඩ නිසා කොළඹ ඉඳල එනව නම් බලංගොඩට ඇවිත් කල්තොට පාරෙ කිලෝමීටර් 25ක් (මේ දුර ප්‍රමාණය ගැන මට පැහැදිලි අදහසක් නෑ.) විතර එන්න ඕන. කල්තොටින් (උග්ගල්කල්තොට) මහබැද්ද පාරෙ කිලෝමීටරයක් විතර ගියාම හම්බවෙන ගනේපත්ත හන්දියෙන් වමට කිලෝමීටර් 1.5ක් විතර ගියාම තමයි ඉලුක්පැලැස්ස හම්බවෙන්නේ.

ඒ වුණත් අපි ගියෙ බදුල්ලෙ ඉඳල නිසා බලංගොඩ නගරය හමුවෙන්න කලින් පඹහින්න හන්දියෙන් හැරිල සබරගමුව විශ්ව විද්‍යාලය හමුවෙන සමනල වැව පාරෙ තමයි ගියේ. බලංගොඩට ගිහින් එතනින් හැරිල ගියොත් වැඩිපුර ගෙවන්න වෙන කිලෝමීටර් 25ක විතර දුරක් අපි මේ පාරෙ ගිහින් ඉතිරි කරගත්ත.


මේ ගල් කඳු තට්ටු විධියට කඩල තියෙන්නෙ වැවේ බැම්ම හදන්න.

සමනල වැව වැව් බැම්ම. මේ ගලන වතුර පාර වැවේ තියෙන කාන්දුවකින්
හැදුණ එකක් කියල ආරංචියි... වැවේ පින්තූරයක් ගන්න වුණේ නෑනේ...

වැව් බැම්ම. මේ පින්තූරෙ ගත්තෙ දැල් වැටක් අස්සෙන්.
ඇතුලට ගිහින් අහු වුණොත් දැනුම් දීමකින් තොරව ‍ඩිෂුම් ඩිෂුම්!


මේ පාර වැටිල තියෙන්නෙ සමනල වැව අසබඩින්. සමනල වැව රක්ෂිතය හරහා තමයි පාර වැටිල තියෙන්නේ. රක්ෂිතයට ඇතුල්වෙන සහ පිටවෙන සීමා වල තියෙන මුර කපොලු දෙකේදි ආරක්ෂකයන් ළඟ තියෙන පොත්වල රියදුරුගෙ සහ වාහනයේ විස්තර ඇතුල් කරන්න වෙනව.


සමනල වැව රක්ෂිතයේ එක් මුර කපොල්ලකදී...
දකුණු පැත්තට යන පාර සමනල වැවටත් වමට යන පාර කල්තොට දක්වාත් විහිදෙනවා.


මුහුදු මට්ටමේ ඉඳන් සාමාන්‍යයෙන් මීටර් 900ක් විතර උඩින් තමයි පිහිටීම. අපි හිටපු දවස් දෙකේදි නම් සැලකිය යුතු රස්නයක් තිබුණා රෑ පුරාම. දවල් ගිණිගහන්න පෑව්වා... හැබැයි එන මග දිගටනම් හොඳ වැස්සක් වැස්සා...

කලින් කිව්ව විධියට ඉලුක්පැලැස්ස තියෙන්නෙ රත්නපුර, මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක තුන හමුවන සීමාව අසල. භූමියෙ පිහිටීම අනුව පරිපාලනය සිද්ධ වුණේ බදුල්ල නගරය මගින් වුණාට මේ ගමට ආසන්නම ප්‍රධාන නගරය බලංගොඩ නගරයයි.


ඉලුක්පැලැස්ස වටවී ඇති දිස්ත්‍රික් මායිම්


ජන ජීවිතය

ග්‍රාමසේවක වසමක් විධියට ගත්තම ඉලුක්පැලැස්සෙ ජනගහනය 250-300කට ආසන්න ප්‍රමාණයක්. ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැනයි. ඊට අමතරව දෙහි සහ පොල් වගාවත් මේ පලාතෙ ජීවනෝපායවල්. ඒ වගේම හල්දුම්මුල්ල කැලයේ නෙල්ලි සහ ගල් සියඹලා කඩා විකිණීමත් ඇතැම් අය කරන දෙයක්. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැන් කැලේ කරන ඒ වැඩ වලට තහංචි දාගෙනයි යන්නෙ. මොකද ගෙඩි කඩන්න ඕන නිසා ගස්වල අතුත් මිනිස්සු කපා දමන හින්දා. කොහොම වුණත් මේ ප්‍රදේශයට ඇතුල් වෙද්දිම තියෙන විශාල කුඹුරු යායවල් නිසා වී ගොවිතැන ගොඩක් දෙනෙක් රක්ෂා කරන ආදායම් මාර්ගය කියල හිතෙනව. කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් හේනක් වගාකරන්නත් පුළුවන් කියල මේ ගැන විස්තර කරපු ගමේ ග්‍රාමසේවක මහත්තය කිව්ව.


මේක මේ... කුඹුරක් හො‍ඳේ...

කැලේ සතුන් දඩයමෙන් තවත් සමහරු ජීවත් වෙනවා. මී මින්නා, ඉත්තෑවා, කබල්ලෑවා, මුවා, ගෝනා, හාවා වගේ සත්තු දඩයම් කරල දඩමස් වලට විකුණල කරන ඒ වැඩෙත් දැන් දැන් නතර වීගෙන එන්නෙ තහංචි වලටත් වඩා සත්තු හිඟවීම හින්දලු.

ගේට්ටු මුත්තෙක්


ඉලුක්පැලැස්සට ආසන්නම ප්‍රධාන නගරය බලංගොඩ වුණත් කල්තොට කියන්නෙත් පුංචි නගරයක්. මිනිස්සුන්ගෙ සාමාන්‍ය අවශ්‍යතා ඉටුකරගන්න කල්තොට නගරයේ පහසුකම් තියෙනවා. ඉලුක්පැලැස්ස විද්‍යාලය කියන තනි ගොඩනැගිල්ලක් සහිත පුංචි ඉස්කෝලයකුත් ගමේ තියෙනවා. 1 වසරෙ ඉඳන් 5 වසර දක්වා වයස් වල ළමයි 15 දෙනෙක් විතර ඒ පාසලේ ඉගෙනගන්නවා. විදුහල්පතිතුමාගෙ නිවස තියෙන්නෙත් යාබදවමයි.

ජල පහසුකම් ගත්තොත් උල්පත් වලින් ලැබෙන ජලය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මන වෙනවා. ඒ වගේම විදුලිය පහසුකමත් ගමේ ගොඩක් දෙනෙක්ට ළඟදි ලැබිල තියෙනවා. ඉලුක්පැලැස්ස පාසලේ විදුහල්පතිතුමා කිව්ව විධියට කඳු පන්ති දෙකකින් ආවරණය වෙලා තියෙන නිසා රූපවාහිනී නාලිකානම් හරියට පේන්නෙ නැහැලු.


සත්තු

අර දඩයම් කරනවාය කියපු සත්තුන්ට අමතරව මේ පැත්තෙ සැලකිය යුතු අලි ගහනයක් ඉන්නවලු. මිනිස්සුන්ටත් කරදර වෙන වෙලාවල් තියෙනව කියල කිව්වත් දැන් දැන් මිනිස් ගහනය වැඩි වෙලා නිසා අලි බහුතරයක් කැලේ ඇතුලට ගිහින්ලු. ඒ වගේම සර්පයො සෑහෙන්න ඉන්නව කියලත් කිව්වා. ඒ එක්කම මොණරු නම් සෑහෙන්න ඉන්නවා කියල අපට තේරුණා. මොකද මොණරුන්ගෙ කෑ ගැසීම දවස පුරාම අපට ඇහුන නිසා. මුළු රෑ පුරාම අපට නින්දක් නොවුණෙ මදුරුවන්ටත් අමතරව මේ මොණරු නිසා. අපේ ගෙවල් පැත්තෙ බල්ලො උඩුබුරනව වගේ මේ මොණරුත් එක්කෙනෙක් කෑ ගහපුවම පෝලිමේ ගම වටෙන්ම කෑ ගහනව. එක වටයක් නවතින්න විනාඩියක් විතර යනව. ආයෙත් ටිකකින් එක්කෙනෙක් පටන්ගන්නව.


වතුර

මධ්‍යම කඳුකරයෙ ඉඳන් හල්දුම්මුල්ල, ඉදල්ගස්හින්න වගේ ජලපෝෂක ප්‍රදේශ හරහා රටේ පහලට ගලන වතුර පාරවල් මේ ප්‍රදේශය පුරාම තියෙනවා. අපි නවාතැන් ගත්තු ස්ථානයට නුදුරින් ගලන පුංචි දොල පාරෙ එක තැනක අරටුව ඉවත් කරපු ගහක කඳක් හයි කරල හදපු පීල්ලක් තිබණා. කට්ටියම කාලෙකට පස්සෙ නිදහසේ ගලන ස්වභාවික වතුරින් නාගත්තා. ඒ වගේම ජල පහර හරහා තියෙන ගල් වලින් ඒ දිය පාර පුරාම නාන්න පුළුවන් වතුර වලවල් ඕන තරම් හැදිල තියෙනව කියල ගමේ කෙනෙක් කිව්වා. වතුර ගලන්නෙ හුණුගල් ස්ථර උඩින්. ඒ නිසාම වතුරෙ කිවුල් ගතියක් තිබුණා. නමුත් අපට පානය කරන්න ලැබුණෙ වෙනමම උල්පතකින් ලබාගත්තු වතුර තමයි.


අපි නාපු පීල්ල. ගමේ සෙට් එකම මෙතනට එනවද කොහෙද

මේක අර පීල්ලට සමාන්තරව බෙදිල යන වතුර අත්තකින් හැදුණ වලක්.
අඩි 4ක් විතර වතුර ගැඹුරුයි.

ගල් සහ කුඹුක් මුල් නිසා ජල පහර හැම තැනම විසිරෙමින් තමයි ගලන්නේ


ජලය ගලන ස්ථානවල වැවෙන කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් අපි දැක්කා. ඒ එක්කම මේ කලාප‍ය මායිම් වෙන හල්දුම්මුල්ල රක්ෂිතය ඝර්ම කලාපීය රටවල තියෙන සැවනා වනාන්තරයක ලක්ෂණ පෙන්නුම් කරන නිසා ඒක ගොඩක් වැදගත් වගේම ආරක්ෂා කරන්න පියවර අරන් තියෙන බව අපිත් එක්ක හිටපු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ මිතුරෙක් කිව්වා. කොහොමත් අපි ආපු මග දිගේම තිබුණෙ ඝන වනාන්තරයක්. එක පැත්තකින් ඒ කැලයම උඩවලව රක්ෂිතයට මායිම් වෙනව කියල අපට ආරංචි වුණා.

යන පාර දෙපැත්තෙම කැලෑව...
මේ කැලෑව මැද දිව්‍ය ලෝකෙ යන්න බෝට්ටු හදනවලු.. :P

කුඹුක් ගහක්!


උරුමය

ප්‍රදේශය පුරාම විහාරස්ථාන රාශියක් තියෙන බවත් ගමේ කෙනෙක් කිව්වා. ඒ වගේම මේ පුදේශය පුරාම වස්තුව නිදන් කරල තියෙනව කියල කීප දෙනෙක්ම කිව්වා. ඒව ගොඩදාන්න ගිය අය ගැනත් ඒව අල්ලපු විධි ගැනත් රසවත් කතා කීපයක්ම අහන්න ලැබුණා. ගොඩක් නිදන් වලට වෙලා තියෙන්නෙ අර "වැටත් නියරත් ගොයම් කා නම්..." වගේ වැඩක් කියලත් දැනගත්තා.


දූවිලි ඇල්ල
මේ පින්තූරෙ නම් ගත්තෙ මෙතනින්


ලංකාවෙ සුන්දරම දිය ඇල්ලක් වෙන දූවිලි ඇල්ල තියෙන්නෙත් මේ ප්‍රදේශය ආසන්නයේ. ඒ ගැන සටහන් කීපයක්ම කරුණු සෙවීමේදී මට හම්බ වුණා. දිය ඇල්ල බලන්න යන්න අපට අවස්ථාවක් තිබුණෙ නැතත් ඒ ගැනත් දැනගත්ත එක මට ගොඩක් වටින දෙයක් වුණා. අපි එද්දි පහු කරපු සමනල වැව ජලාශයෙන් පිටවෙන වතුර පාර ක්‍රමයෙන් වලවේ ගඟ බවට පත් වෙනවා. වලවේ ග‍ඟ කල්තොට ආශ්‍රයෙන් ගමන්කරන තැනකදි තමයි දූවිලි ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. අවසානයේ වළවේ ගඟ උඩවලව ජලාශය දක්වා දිවෙනවා.


ආයෙමත්...

අපේ රාජකාරි කටයුත්ත අවසන් වුණාට පස්සෙ අපි ආයෙත් එන්න ආවා. ඒක අපේ කණ්ඩායමේ ගොඩක් දෙනෙක්ට ජීවිතේ තවත් අත්දැකීමක් වුණා. මම ඉතිං ඒ දේවල් බෙදාගැනීමේ උවමනාවෙන් පෙලෙන නිසා ලැබුණු හැම අවස්ථාවකදිම වටපිටාව ඡායාරූපගත කරන්න උත්සාහ කලා. ඒ වුණත් මම ගියෙ රාජකාරියකට නිසා මගේ මූලික අවධානය තිබුණෙ එතන. ඒක නිසාම මේ සටහන සම්පූර්ණ චාරිකා සටහනක් නොවෙනවා වගේම ඉලුක්පැලැස්ස ගැන සම්පූර්ණ චිත්‍රයක් හදාගන්නත් මේ තොරතුරු පුමාණවත් මදි. මොනව වුණත් ඉලුක්පැලැස්ස ගැන මේ සටහන ලිවීමේදී මම ගොඩක් දේවල් අළුතින් ඉගෙන ගත්තා. සමහර විට මේ වගේ සටහන් ලිවීමේදී ඒ ලැබෙන දැනුම චාරිකාවේ අතුරු ඵලයක්.

කොහොම වුණත් අපි ගිය රාජකාරිය අතිශය සාර්ථකව අවසන් කරන්න පුළුවන් වුණා වගේම අපි පැය 3½ක ගමනකින් ආයෙ බදුල්ලට ආවා. බොහොම රසවත් සිදුවීම් එක්ක රාජකාරි සහ නොවෙන අළුත් දැනුමක් එකතු කරගන්න මේ රාජකාරිමය සවාරිය ඉවහල් වුණා. ඒකාකාරීව ගෙවෙන ජීවිතේ තවත් එක වෙනසක් එක්ක ඉලුක්පැලැස්ස ගමන නිමා වුණා.


පින්තූර සෙට් එකම බලන්න.

ඉලුක්පැලැස්ස ගැන සෙවීමේදී හමු වුණ වැදගත් වෙනත් සටහන් කීපයක්...

Monday 14 March 2011

බහිර්ශීල දමනය | පොතේ නැති කතාවක්!


තවද එක් සමයෙක්හි අප මහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩ වාසය කරන කල්හි අනේපිඬු සිටාණන්ගෙන් නිරන්තරයෙන් දානමානාදිය ලබන්නේ වරෙක් ඉන් ම‍ඳෙක් ඉවත්ව බුද්ධ වංශය ප්‍රකාරව පිණ්ඩපාතයෙහි වැඩීම යෙහෙකැයි කල්පනා කල සේක.

උන් වහන්සේ පාත්‍රයද විවෘතව ගෙන යටිකුසෙහි තෙරපා මද ජනාකීර්ණ පුළුල් මාවතක් පසෙකින් සන්සුන් ගමනින් පිඬු සිඟා වඩින්නට වූහ.

මෙකල්හි බුදුන්ගේ කීර්තියත් උන්වහන්සේගේ ධර්මයෙහි ස්වාධීනත්වයත් එහි වූ නොබිඳිය හැකි භාවයත් පිළිබඳව ඊර්ෂ්‍යා සහගතව බුදුන් පර්වශයෙහි ක්‍රෝධ සිත් ඇත්ව සිටි බහිර්ශීල නම් වූ එක්තරා බ්‍රාහ්මණයෙක් වේදයන් කියවා මඳ ඉසිඹුලන ඇසිල්ලේ ආරාමයේ කවුළු තිර අතරින් බුදුන් දිටී. සතුරා දුටු ක්ෂණයෙන් ගිණිදළු ලා සිරුර වෙලාගත් ක්රෝධයෙන් අනූනව මෙකී බ්‍රාහ්මණයා වහා මාවතට පිළිපන්ව බුදුන් මග අවුරා බුදු නෙතට මුහුණ ලා සිට හොත්තේය.

තම ගමන ඉදිරියේ අදිසියේ පහළ වූ රූපකාය දෙස නොබලාම ඒ පහළ වූයේ යහපත් අරමුණකින් නොවන බව වටහාගත් බුදුරජාණන් වහන්සේ ‘මොහු හා මුහුණ බැලීමෙන්ම අර්ථ විරහිත අගතියක්ම වේය’යි සිතා බහිර්ශීල බ්‍රාහ්මණයා මගහැරයාමට දකුණු පසට පා තැබූහ. එකෙණෙහිම බහිර්ශීලයාද ස්වකීය වම්පසට බරවී නැවත බුදුන් මුහුණ ලා ‍සිටියේය. එවිට බුදුන් තම වම් පසට හැරී නැවත බහිර්ශීලයන් මගහැරීමට තැත් දැරූහ. එකල්හි නැවතත් බහිර්ශීල තෙම බුදුන් අභිමුඛ වන ලෙසට තම දකුණු පසට බර වීය.

බහිර්ශීලයන්ගේ දුෂ්ට අභිප්‍රාය වූයේ බුදුන් හා ගැටුමක් නංවා තම වේද දැනුමින් බුදුන් පරාජය කොට මාවතෙහි යනෙනා මගීන්ගෙන්ද දුෂ්ට බස් අසවන්නට සලස්වා උන් අතර බුදුන් අවමානයට පත්කරලීමටය. එහෙත් ඉවසිලිවන්ත වූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ගොඩනැගෙන්නේ තේරුම්සහගත කිසිවක්ම නොවන බව වටහාගත්තේ බහිර්ශීල මගහැරයාමටම තැත් දැරීය. අවසන බහිර්ශීල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ උරයට තම අත ගසා තදින් තෙරපා උන්වහන්සේ නවතාලීය.

“වහසි බස් දොඩන ශ්‍රමණය, මා හා සම්මුඛ වන්නට මැලි වන්නේ කිම්ද? තට එතරම් කඩිනමක් කිමද?”

බහිර්ශීලයා ගුගුරාලීය.

“පින්වත් බ්‍රාහ්මණය, මා කුසගිනි නිවාගනු පිණිස යමක් සොයාගැනීම පිණිස පිණ්ඩපාතයෙහි වඩින්නෙමි. තොපට අවැඩක් වන කිසිවක් මා සිදුකර නැති බව තොප දන්නවා ඇත. මාගේ මග අවුරන්නේ කිමද?”

බුදුරාජාණන් වහන්සේ කරුණා වදන් බහිර්ශීලයන් වෙත මුදාහල සේක.

එහෙත් බහිර්ශීල බ්‍රාහ්මණ තෙම කිසිවක් අත්හැර දැමීමට සූදානම් වූවෙක් නොවේ. වේද ශාස්ත්‍රය සමගින් තර්ක ශාස්ත්‍රයද ඔහු මැනවින් ප්‍රගුණ කර සිටියෙකි.

“මා හට අවැඩක් සිදුකළ බව ‍තොපට සිහි නොතිබුණාට කලයුත්තක් මට නැත. තා තාගේ වහසි බස් දෙඩීම ඇරඹූ දා පටන් කළේ මා හටත් මාගේ දහමටත් නින්දාවක්මය.”

“බ්‍රාහ්මණය, මා ඔබටවත් ඔබගේ දහමටවත් නිගරුවක් කියා නැත. මා හුදෙක් මවිසින් ගවේෂණය කර සාක්ෂාත් කරගත් කාරණා ගැන පමණක් දේශනා කරන්නෙමි. තොපගේ දැනුම අනුව තොප මාගේ වහසි බසට කන් යොමුකරවූවා නම් තොපගේ බුද්ධි මහිමය අනුව තොපටම එය අවබෝධ වී ද තිබිය යුතුය.”

බහිර්ශීලත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවෙමින් පවතින වාදයට යොමුවෙනු වස් ආරාමයේ හුන් බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයෝ පිරිසක්ද බහිර්ශීල අසලින් පෙළගැසී සිටගති.

“තගේ වහසි බස් තා තියාගනුව. තා මේ නගරයේ වැසියන් මුළා කරන්නේය. සිටාණන්ද මහ රජුන්ද රවටා අනුග්‍රහ ලබන්නේය. උන් අප කුලය කෙරේ බිඳවන්නේය. අප හට උවටැන් කල වැසියන් මුළාවෙන් වශී කර උන්ගේ උවටැන් ලබන්නේය.”

“බ්‍රාහ්මණය, මා කිසිවෙකු රවටා නැත. උවටැන්ද යැද නැත. ප්‍රභූ හෝ වේවා දිළිඳු හෝ වේවා මට එහි දුහුවිලි පිඩක් බඳු වූද වෙනසක් නැත. මාගේ ධර්මයේ අර්ථයක් දැක ඉන් තම ජීවිතය ආලෝකමත් කරගත්තෝ මා හටත් මාගේ ධර්මයටත් සඟරුවනටත් අනුග්‍රහ දක්වන්නෝ වෙති. මා ඒ කිසිවක් සඳහා යදින්නෙකු නොවේ. මා ඒ මත යැපෙන්නෙක්ද නොවේ...”

බුදුන්ගේ කරුණා වදනත් බහිර්ශීලයන්ගේ ගොරහැඬි භාෂිතයත් කරණ කොටගෙන සිය ගණනක් ජනයා මේ අවනඩුව වටා රොක්වන්නට විය. ඇතැමුන් බහිර්ශීල වෙත පක්ෂවද ඇතැමුන් විපක්ෂවද උනුන් අතර රහසින් හේතු මුමුණන්නට වූහ. වැසියන් ඇතැමෙක් උපේක්ෂා සිතින් නිහඬව සවන් යොමු කල අතර බුදුන් සරණගොස් හුන් ඇතැමුන් බුදුන් තෙපලන වදනක් පාසා සාධුකාරය දෙන්නට විය. සහය පල කරන්නට වූ ඇතැම් පිරිසක් බහිර්ශීලයා සහ බුදුන් වහන්සේ විසින් දොඩන වදනක් පාසා ඔල්වරසන් දෙමින් කෑ ගසන්නට වීය.

රැස්වී සිටි වැසියන්ගෙන් ‍තමා වෙත ලැබෙන උත්තේජයෙන් ප්‍රාණවත්ව ඔද වැඩී බහිර්ශීල තෙම ගුගුරන්නට විය.

“තාගේ කෙරුම් ගැන තා එසේ කීවාට සැබෑව ලොව දනී. තා මේ දනව්වට නිග්‍රහයෙකි. අපගේ පුරයෙන් තා නෙරපිය යුතුය. එතැනින් නොනැවතී තා මේ දේශයෙන්ද පිටමං කල යුතුය.”

“එසේය... නිවට ශ්‍රමණය... තා මේ දේශයේ මායිමෙන් පිටමං කල යුතුය. තා මේ දේශයටම නින්දාවකි. දේශයට මුළාව වගුරුවන බරකි.”

“ලොව ඇරඹි දා පටන් ලෝ වැසියන් අර්ථයෙන් පෝෂණය කල අපගේ වේදයන් තා හෙළාදකින්නේය. තාගේ මුග්ධකම ඉන්ම ප්‍රදර්ශණය වන බව නොපෙනේද? තා අපගේ පාරම්පරික දැණුම පාගා ඒ මත සිට මුසාවාද පතුරුවන අධමයෙකි. වහා මෙරටින් පිටවෙව.”

“මෙතුවක් අපගේ ශාස්ත්‍ර ඇසුරෙන් උපදෙස් ලබා රට පාලනය කල රජුන්ද මේ වහසි බස් දොඩන්නා විසින් මුලාවේ හොවා ඇත. මෙතුවක් සාමයෙන් පැවතුණු දේශය තොපගේ මුසා කියුම් වලින් බෙදී වෙන් වී යන්නේය. තා වහා මෙරටින් පිටමං කල යුතුය.”

බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයන්ද වාදයට එකතු වී බිරුසම් දෙන්නට විය.

බ්‍රාහ්මණයන්ගේ කෑ ගැසීම විසින් වාදය කෙමෙන් අරගලයක් බවට පත් කල අතර වටකොට සිටි ජනයා අතරින් සියුම්ව ඇරඹි වාග් හරඹය එකිනෙකා පොරබැදීමක් බවට පත් වීය. බුදුන් හා බහිර්ශීල වටා හුන් සාමාන්‍යය ජනයා දෙපිරිස එකිනෙකා අවුළුවා පොරයෙහි යෙදුණු අතර ඉන් ඔද වැදුණු බ්‍රාහ්මණ ගෝල පිරිසෙහි නොදැමුණුන් කීප දෙනෙක් බුදුරජාණන් වහන්සේ තෙරපාලීමටත්, පොළොවේ පෙරළාලීමටත් උත්සාහ ගති.

එහෙත් එම ස්ථානයෙහි රැඳී සිටි විහාරය අසල මාවත් පිරිසිදු කරන බුදුන් දහම් අසා පැහැදී හුන් කම්කරු පිරිසක් බුදුරජාණන් වහන්සේ වට‍කොට උන්වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ග්‍රහණයෙන් මුදවා පසෙක වූ ගසක් මුලට කැඳවා ගෙන ගියෝය.

මෙකෙණෙහිම මාවතේ දුහුවිලි අවුස්සමින් අනේපිඬු සිටු වාසල ප්‍රධාන සෙනෙවියා ප්‍රමුඛ අසරුවන් පිරිසක් පවන් වේගයෙන් එම ස්ථානයට පැමිණියෝය. වහා ගැටුම් නතර කල ජනයා රක්ෂා ස්ථාන කරා පසුබෑ අතර ගැටුමට මුල් වූ අන්ත පාක්ෂිකයන් කිහිප දෙනෙක් පමණක් බහිර්ශීල ප්‍රමුඛ බ්‍රාහ්මණයන් වටා රැඳී සිට අවසන් මොහොතේ හිස් ලූ අත දිව ගියෝ බහිර්ශීල ස්වකීය ගෝලයන් සමගින් තනිව සිටගති.

සිටු ආරක්ෂකයන් බහිර්ශීල හා උහු ගෝලයන් වටකොටගත්තේ වහා උන් බිම දණ ගැස්වීය. ප්‍රධාන සෙනෙවියා බුදුන් අසලට ගොස් වැඳ වැටුණේය.

“ස්වාමීණී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට මිසදිටුවන් අඩන්තේට්ටම් කරන බව වාත වේගයෙන් වාසලට සැලවීය. අප මහසිටුතුමා කෝපයෙන් සැලෙයි.”

“සෙනෙවිය, සිටුතුමාවත් ඔබවත් කවුරුන්වත් එසේ කෝප වීමට අවශ්‍ය නැත.”

බුදුරජාණන් වහන්සේ ‍බිනීය.

“බහිර්ශීල සහ ගෝලයන් තම නොදැමුනු බව පෙන්වාලූවා පමණයි. ඔවුන් මට හානියක් කළේ නැත. මා ගතේ එක් සීරීමකුදු රහිතව රක්ෂා සහිතව සිටින බව සිටුතුමා වෙත සැල කරන්න.”

“එසේය ස්වාමීනි, එහෙත් මේ නීචයන්ට දඬුවම් පැමිණවීමට අපහට අණ ලැබී තිබේ. ඔබ වහන්සේගේ අවසරය සහිතව මම මුන් කුදලා වාසලට ගෙන යමි. අවසර ස්වාමිනි...”

ප්‍රධාන සෙනෙවියා නැගිට බහිර්ශීල ඇතුළු පිරිස යදම්ලෑමට අනෙකුත් ආරක්ෂකයින්ට සන් කළේය.

“නවතින්න සෙනෙවිය...”

බුදු රජාණන් වහන්සේ ඉදිරියට විත් ආරක්ෂකයන් වලකාලීය.

“මාගෙන් අයෙකුට දඬුවම් පැමිණවීමට අවසර ඉල්ලීමට තරම් සිටුතුමා මා කෙරේ අව‍බෝධ හීන වීද? මොවුන්ට දඬුවම් දීමට අවසර මාගෙන් ලැබෙන්නේ නැත. මොවුන්ව නිදහස් කරන්න.”

“එහෙත් ස්වාමිනි, මොවුන් ඔබතුමාට කෙනෙහිලිකම් කළෝය. ප්‍රසිද්ධියේ ඔබ වහන්සේට නිග්‍රහ කළෝය. අවමානයට පත් කළෝය. මොවුන් යළි එවැන්නක් නොකිරීම පිණිස දඬුවමට ලක් කල යුතුයි...”

“නැත සෙනෙවිය. වෛරය සන්සි‍ඳෙන්නක් නොවේ. වෛරය මාගේ දේශනයෙන් ඉවතහල යෙදුමකි. මා ඒ වෙනුවට මොවුන් වෙනුවෙන් මෙත් වඩමි. මොවුන් මුදා හරින්න. ඔවුන්ට නියමිත දණ්ඩනය ඔවුනගේම කර්ම ශක්තිය අනුව ලැබෙනු ඇත.”

“නැත ස්වාමිනි, ‍අප හෝ මෙම කම්කරුවන් මෙහි නොවන්නට මොවුන් ඔබවහන්සේට තුවාල සිදු කරන්නටද ඉඩ තිබුණා. ඔබවහන්සේගේ ජීවිතයට පවා අනතුරක් කරන්නට ඉඩ තිබුණා. මොවුන් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි”

“ඔබ පවසන අයුරු මාගේ කර්ම ශක්තිය අනුව මා මෙතැනදී බහිර්ශීලයන් අතින් පිරිනිවන් පාත්‍ර වූවා නම් සහ එය වැළකීමට කිසිදු ක්‍රමයක් නොවූවා නම් එය එසේ සිදු විය යුතු වූවක්. එහෙත් එය එසේ සිදු වූයේ නැත. එසේ හෙයින් උපකල්පිත අපරාධයක් හේතුවෙන් මොවුන්ට දඬුවම් දීමට අවශ්‍ය වන්නේ නැත. මට අහිමි මා ගැන මා කරදර වන්නේ නැත. මාගේ ධර්මය ලෝවැසි සියලු දෙනාටම මෛත්රි ය වැඩීම මත පදනම් වූවක් වන්නේ එලෙසයි. ඔබට මා යම් පමණකින් හෝ අගයක් වේ නම් වහාම මොවුන් නිදොස් කොට වාසලට පිටව යන්න.”

බුදුරජාණන් වහන්සේ නිගරුවට ලක්වන බව සවන් ලූ ඇසිල්ලේ සිට උණුසුම්ව හුන් ප්‍රධාන සෙනෙවියා බුදුන්ගේ මෙම වදනින් සිසිලසට ලක්වීය. හෙතෙම නැවතත් බුදුන් වහන්සේ වන්දනා කළේය.

“ස්වාමීනි, ක්ෂමා කළ මැනව. ඔබ වහන්සේ කෙරේ ඇති අපමණ භක්ත්‍යාදරය හේතුවෙන් මා හට ඔබවහන්සේගේ ධර්මය අමතක වී ගියේය. අප මහ සිටාණන්ද මෙවෙලේ ඇත්තේ එලෙසින්මය. ඔබට සිදුවූ ගැහැට සවන් වැටුණු ක්ෂණයෙන් බහිර්ශීල බ්‍රාහ්මණයා තලාපියා දඟගෙට යැවීමට එතුමා ගුගුළේය. අප කෙරේ අනුකම්පාවෙන් වාසලට වැඩම කර අප මහ සිටාණන් කෝප සිඳනු වස් එතුමාණන් වෙත ධර්ම දේශනා කළ මැනව.”

“එසේය සෙනෙවිය. මා විහාරයට වැඩම කර දන් වළඳා සවස් යාමයේ වාසල වෙත පැමිණෙන බැව් ඔබ දැන් පිටව ගොස් සිටාණන් වෙත සැලකරන්න.”

ප්‍රධාන සෙනෙවි ඇතුළු ආරක්ෂක පුරුෂයන් බුදුන් වහන්සේ එම ස්ථානයෙන් නික්මෙන තුරු බහිර්ශීල ඇතුළු ගෝල පිරිස රැකවල් ලීමට සූදානම් විය. බුදුන් බහිර්ශීල දෙසට අවධානය යොමු කල සේක. බහිර්ශීල තෙම බිම වැටී දුහුවිලි වැකී මුඛයෙන්ද හුස්ම පිඹිමින් හුන්නේය. ආරක්ෂකයින් ඔහු හා ගෝලයන් වටකොට සිටගෙන සිටියෝය.

“බහිර්ශීලය... මා කිසිවකුට අයිති නැත. අවම ලෙස මා මටද අයිති නැත. එබැවින් මා හට තැවෙන්නට කිසිවක් නැත. මගේ ධර්මය ප්‍රකාශ කිරීමේ කුසලතාව මා වඩා තිබුණද ධර්මය මාගේ යමක් නොවේ. එය ස්වභාවධර්මයේ ඇති සත්‍යය මාගේ දැණුමින් හා විග්‍රහයෙන් ප්‍රකාශ කිරීමක් පමණි. මා හට අයත් වූවක් නොවේ. සත්‍ය වශයෙන්ම එයද පරම සත්‍යය වන සියල්ලෙහි ඇති නැසෙනසුළු භාව ප්‍රකාර වූ ස්වභාවධර්මයාගේ අර්ථයන්ට යටත්ව කලෙකදී නැති වී යන්නකි. ‍එහෙයින් මා ඒ ගැනද නොතැවෙමි. ඔබම මොහොතකට පෙර ප්‍රධාන සෙනෙවි තෙම කෙරෙන් දුටු ලෙස භක්තියෙන් අන්ධ වූ කළ ධර්මය නොපෙනී යයි.

ඔබ ඔබගේ ධර්මය බදා වැළඳ සිටියි. ඊට භක්තිමත්ව සිටියි. එහෙත් එතුළ ඇති හර ඔබට නෙපෙනී ගොස් ඇති සෙයකි. ඔබ ඉන් ඉගෙන නොගනී. එය නැතිවේ යැයි බියෙන් සිටී. සදාකල් එය රැක්මට හැකැයි සිතා එය ආරක්ෂා කරයි. එහෙයින් එය අන් ධර්මයන් කෙරේ වෛරයම පතුරුවයි. අන් ධර්මයක් ඔබේ සතුරකු කරගනියි.

ඔබ අවබෝධ කටයුත්තේ සදාකල් පවතින්නක් නොමැති බව නොවන්නේද? එසේනම් හැකි තරම් යහපත් වීමට ක්‍රියා කරනු විනා කළ හැකි අන් යමක් වේද? යහපත් වූ අදහස් ගොන්නක් වෙත භක්ත්‍යාදරය පාමින් එම අදහස් සුරකිමින් එහෙත් එය අමතක කර එයට විරුද්ධ සෑම දෙයක්ම විනාශ කරන්නට යාමෙන් ඔබේ වෘතය ආරක්ෂා වේද? ඔබට සිතන්නට ඇති ඉඩ බොහෝමයි බහිර්ශීලය...

මාගේ ධර්මයේ වෛරය නැත. එහි ඇත්තේ හුදෙක් මෛත්‍රිය පමණි. එහෙයින් ඔබටද මාගෙ මෛත්‍රිය හිමිවේ. ඔබ මගේ සතුරකු නොවේ. යන්න. නැගිට ගොස් හොඳින් ස්නානය කර පිරිසිදු වී ඔබගේ අද දවස නැවත විමසීමක යෙදෙන්න. ඔබට ඔබවම ගැටලුවක් වන ඕනෑම මොහොතක මා ඔබට උදව් කිරීමට සූදානම්...”

බුදුරජාණන් වහන්සේ බහිර්ශීල වෙත දීර්ඝ ලෙස අවවාද කොට නැවත ශාන්තව පිණ්ඩපාතයෙහි වැඩීම පිණිස නික්ම ගිය සේක.

බහිර්ශීල බ්‍රාහ්මණයා ආරක්ෂකයන්ගේ දෙපා අතරින් පෙනෙන සන්සුන් ගමනින් ඉවතට වඩින බුදුන් දෙස දෑස් අයා සිටියේය.

විකල්ව ඇවිස්සී ඒ මේ අත විසිරී තිබූ තම සිත තුළ මහා සැනසීමක සලකුණු කෙමෙන් පහළවන බැව් ඔහුට දැනෙන්නට විය.