Saturday 30 April 2011

අවසානයට පෙර | විද්‍යා ප්‍රබන්ධයක්ද මන්දා...


හතරවෙනි වෙනි ලෝක යුද්ධයෙදි එතෙක් පැවතුණ හැම එකකදිම සහභාගි වුණාට වඩා රටවල් ඒකට සහභාගි වුණා. මධ්‍යම යුරෝපයේත් ලතින් ඇමරිකාවෙත් රටවල් කීපයක් ඇරුණම මුළු ලෝකෙම පැති කීපයකට බෙදිල එකිනෙකා මරාගත්ත.

ඒත් දැන් ඒක ඉවරයි. ඉතිරි වෙලා තිබුණ සම්පත් සහ ශ්‍රමය වැය කරල නැති වුණ ලෝකය ගොඩනගන්න උවමනා කරන සැලැස්මකයි ඊට පස්සෙ ලෝකය පැවතුණේ. ඒත් තවදුරටත් වලංගු නොවුණ දේශානුරාගය කියන හැඟීමට විදුලිය සැපයෙමින් ලෝකයේ තැනින් තැන පුංචි රටවල් අතර යුද්ධ ඇවිලුණා.

ආයෙත් ලෝකයම එක තැනකට ආවෙ ලෝකය පුරා රටවල් යා කරමින් නැවත ඉදිවෙමින් පැවතුණ සයිබර් ජාලය පුරා විසිරිලා ගිය ප්‍රවෘත්තියක් නිසා. පැය කීපයක් ඇතුලත ඒක මුළු ලෝකෙම විද්‍යුත් සහ මුද්‍රිත සන්නිවේදන මාර්ග වල එකම ප්‍රවෘත්තිය වුණා.

ඒක අයිතිකරුවෙක් නැති පණිවුඩයක්. නිකුත් වෙලා තිබුණෙ හ‍ඳෙන්...

ඒකෙ වැඩි විස්තරයක් තිබුණෙ නෑ.

ඉතාම ඉක්මනින් හඳ ලෝකයට අහිමි වෙන බවත් එක්ක ලෝකෙ හොඳම ගණිතඥයන්වත් අමාරුවෙ දාපු සමීකරණ කීපයක් විතරයි පණිවිඩය වුණේ.

මෙතුවක් කල් හඳ කියන්නෙ රාත්‍රියට විතරක් ඉඳල හිටල මතක් වුණ කවියොයි ආදරවන්ත‍යොයි මසුන් මරන්නොයි විතරක් ආදරය කරපු දෙයක් වුණාට ඒ මොහොතින් පස්සෙ කවුරුත් හිටියෙ හඳ දිහා බලාගෙන. හරියට ඒක නැති වෙයි වගේ.

ප්‍රවෘත්තිය විශ්ලේෂණය කරල ලෝකෙ හිටපු විද්වත්තු එක එක කතා කියන්න පටන් ගත්ත. ජ්‍යෝතිර්වේදියො විද්‍යුත් මාධ්‍ය වල තරු බවට පත්වෙලා හිටිය. කොහොම වුණත් උපකල්පන ඇරුණම කාටවත් හරියට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න පුළුවන් වුණේ නෑ. වඳවීමට ලක්වෙලා තිබුණ දෙවියන් ආයෙමත් ජනප්‍රිය වුණා. දූවිලි බැඳුණු පරණ පොත්වල එක එක පාඨ කොටස්වලට අළුත් තේරුම් ආවා. මෙතුවක් පිලිගන්න පුළුවන් සාක්ෂි නොතිබුණ පිටසක්වල ජීවය සහ බුද්ධිය ගැන එකපාරම ලොකු කතිකාවක් ඇති වුණා.

බොහොමයක් දෙනා විශ්වාස කලේ දෙවියන් තමන්ව අත්හැරපු බවයි. ඒකට හේතුව විධියට එකිනෙකා විනාශකරගැනීම දක්වා මිනිස්සු පිරිහීම කියන කාරණේ ලොකු තල්ලුවක් දුන්නා. නමුත් තවමත් අවස්ථාවක් ඉතිරි වෙලා තිබීම නිසා කවුරුත් දෙවියන් ගැන කිසි දෙයක් ස්ථිරව කිව්වෙ නෑ.

ලෝකෙම සුපිරි පරිගණක හ‍ඳෙන් ආපු සමීකරණ විසඳන්න ඔට්ටු වුණා. ඒ අතරෙ ඒව සයිබර් අවකාශයේ ප්‍රචලිත කරේ ඕනෙම කෙනෙක්ට විසඳන්න පුළුවන් විධියට. සමීකරණ කීපයේ තිබුණ විචල්‍යය ගණනාවක් එක එක දේවල් වලට සම්බන්ධ කරමින් අදාල මූල හොයාගන්න එක ලේසි වැඩක් වුණේ නෑ. ගණිතඥයො එක්ක දාර්ශණිකයො, ලේඛකයො වගේ ගණිතය නොදත් අයත් සමීකරණ වල විචල්‍යය බදාගෙන දඟලන්න අරන් තිබුණා.

පෘථිවියට හ‍ඳේ එකම පැත්ත පේන්නෙ ඇයි කියන ප්‍රශ්ණයට හැමදාම පිලිතුර වුණේ හ‍ඳේ භ්‍රමණ සහ පරිභ්‍රමණ වේග සමාන වීමයි කියන ප්‍රකාශය. ඒක එහෙමයි කියල පිලිගත්ත මිස ඒක එහෙම වෙන්නෙ ඇයි කියල හිතන්න කවුරුත් පෙළඹුනේ නෑ. හ‍ඳේ අනිත් පැත්ත ගවේශණය කරන්න බිහිවුණ අභ්‍යවකාශ ව්‍යාපෘති ගණනාවක් සැලසුම් වලට විතරක් සීමා වෙලා නතර වෙලා නොතිබුණා නම් හ‍ඳේ නොපෙණෙන පැත්ත හොඳින් විශ්ලේෂණය කරන්න තිබුණා. ඒත් ලෝක ආදායමෙන් හතරෙන් එකක්ම යුද්ධ වලට වියදම් වීමත් එක්ක අභ්‍යවකාශ ව්‍යාපෘති තිබුණෙ එකින් එක නවතින්න අරන්. ඒ එක්කම ලෝක ආර්ථික අර්බුද එක්ක පාලනය කරගන්න බැරිව වර්ධනය වුණ ජනගහනයට සැපයීම් කරන්න සැලකිය යුතු මුදලක් වියදම් වුණා.

පැවැත්ම වෙනුවෙන් භෞතිකය වෙනුවට කලාව, ආගම, දර්ශණය එක්ක පටු ලාභ වෙනුවෙන් මතු කරපු ස්වෝත්තමවාදී හැඟීම් රජ කරපු යුගයකදි අභ්‍යවකාශය වෙනුවෙන් කවුරුත් ආයෝජනය කලේ නෑ.

ඒත් අවසානයෙ එක රාත්‍රියකදි හිටිහැටියෙම හඳ පුංචි වෙන්න ගත්තා. ඒක ටිකෙන් ටික පෘථිවියෙන් ඉවතට ගියා. ගණන් බැලීම් අනුව ඒකෙ ඉලක්කය වුණේ ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය වුණත් සති කීපෙකට පස්සෙ ඒ ගැන හොයන්න ක‍වුරුත් උනන්දු වුණේ නෑ.

බොහොම ඉක්මනින් විද්‍යාඥයින් කීපදෙනෙක්ට පොටක් අල්ලගන්න පුළුවන් වුණා. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හැමදේම සිද්ධවෙලා ඉවර වෙලත් ඉවරයි.

පෘථිවිය ටිකෙන් ටික සූර්යයා ‍දිහාවට ඇදෙන්න අරන් තිබුණා. මෙතුවක් කල් හ‍ඳෙන් වුණේ සූර්යයා එක්ක පෘථිවි කක්ෂය සමපාත කිරිමක්. ඒ එක්කම හඳ අපට කවදාවත් හොයාගන්න පුළුවන් වෙයිද කියන හිතන්න බැරි බුද්ධියක නිර්මාණයක්. ඒක නැතිව පෘථිවිය අසමපාත වුණා. බීපු මිනිහෙක් වගේ ඒක දෙපැත්තට පැද්දුණේ නැතත් සූර්යයාගෙ ආකර්ෂණය හිටියෙ පෘථිවිය ගිලගන්න බලාගෙන.

පෘථිවිය සූර්යයාගෙන් නියම දුරක රඳවගත්තෙ හ‍ඳෙන්. පෘථිවිය ජීවයට හිතකර ග්‍රහලෝකයක් වුණේ ඒ නියම කක්ෂයේ රැඳුණ නිසා. හඳ ගැන එක එක කතා දන්න අතීතයෙ ඉඳන් තිබුණත් ඒක නැතිවෙනකල් හ‍ඳේ භෞතික උවමනාව අපට තේරිල තිබුණෙ නෑ. ක්ෂුද්‍ර ජීවින්ගෙ ඉඳන් සත්ත්ව මිනිස් සංස්කෘති හරහා සයිබර් ජීවය දක්වාම ලෝකය සංවර්ධනය වුණේ හඳ නිසා. ඒත් දැන් හ‍ඳේ සමපාතනයෙන් තොරව සූර්යයා වටේ සම්පූර්ණ කරන හැම පරිභ්‍රමණයකදීම පෘථිවියෙ මධ්‍ය කක්ෂයේ අරය ටිකෙන් ටික අඩු වුණා.

අන්තිමේදි ගණනය කරල හොයාගත්තෙ පෘථිවිය අවුරුදු තිහක් ඇතුලත සිකුරුගේ මධ්‍ය කක්ෂයට සමපාත වෙන බවයි. ඒ දක්වා පොළොව අභ්‍යන්තරයෙ වාසස්ථාන වල ඉන්න මිනිස්සුන්ට පුළුවන් වුණත් සිකුරුගේ ඉඳන් ඉදිරියට තියෙන්නෙ ලෝකෙ වටේටම ගිණියම් වීමක්.

ඒ වෙද්දි මිනිස් වර්ගයා පවත්වගැනීමේ හැකියාව වෙනුවෙන් විකල්පයක් හොයාගන්න බැරි වුණොත් තවත් වඳවී ගිය ජීවීන් කොටසක් විධියට පෘථිවියේ සත්ත්ව වර්ග ගැන කතාකරන්නවත් කවුරුවත් ඉතිරි වෙන එකක් නෑ. හැබැයි සහමුලින්ම විනාශ වෙන්න කලින් සැලකිය යුතු කාලයක් පවතින්න ඉඩ දීමත්, විසඳන්න තිබුණ සමීකරණ කීපයත් නිසා කවුරුත් බලාපොරොත්තු අතහැරගන්න හිතුවෙ නෑ. සමීකරණ වලින් ‍යහපත් බලාපොරොත්තුවක් ඇතිකරගන්න අවස්ථාව සැලසෙන බව බොහොමයක් දෙනා විශ්වාස කෙරුව.

වෙනත් ග්‍රහලෝකයක්, සඟවපු අභ්‍යවකාශ යානයක්, සමාව අයදින්න ක්‍රමයක්, උල්කාවකින් ආයෙත් පෘථිවි කක්ෂය සමපාත කිරීමක් වගේ එක එක උපකල්පන මැද ලෝකෙම මිනිස්සු අන්තිමේ එක බලාපොරොත්තුවක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් හිටියා...


.....................................................................

අපරාදෙ මේක මේ තරම් වෙලා අරන් කියෙව්වේ... මේකෙ ෂෝට් වර්ෂන් එක බලන්න One|Zero|Zero වෙත යන්න

Thursday 21 April 2011

ගණංජෙනී බීඩි | For a healthy smoke

වැල වගේ පෝස්ට් දැම්මට පස්සෙ ආයෙ කාලෙකට ලියන්න මාර කම්මැලියි. ඒ වුණාට දවස් කීපයකින් මුකුත්ම ලියන්න වෙන එකත් ෂුවර් නැති නිසා පොඩි ආතල් පෝස්ට් එකක් දාන්න හිතුණා. මේ වර්ගයේ පෝස්ට් දාන්න වෙනම එකක් හදාගෙන යමින් හිටියට කම්මැලිකම හින්දා ඒ සේරම දේවල් ගොළුබෙලි වේගෙන් තමයි සංවර්ධන කරා යැවෙන්නේ...

ඔන්න ඉතිං අපේ ඔෆිස් එකේ ඉන්නවා සස්සන නංගි කෙනෙක් ජෙනී කියලා. එයා ඉතිං ටිකක් ගණං නිසා අපි කියන්නෙ ගණංජෙනී කියල. එයාට ඔය තරුණ ගෑණු ළමයින්ට තියෙන පුංචි පුංචි අසනීප වර්ග ටිකකුත් තියෙනව. හැබැයි කොයි තරම් අප්සෙට් වුණත් එයා අපේ අහිංසක විහිළු උපරිමේකට දරාගන්න පුළුවන් හරිම හොඳ ළමයෙක් තමයි.

ඉතිං එයාගෙ උපන් දිනේ හෙවත් බීඩී එක තිබුණා අප්‍රේල් මුල් සතියෙ.

උපන් දින වලදි සාමාන්‍යයෙන් වෙන විධියට සෙක්ෂන් එකේ සෙට් එකේ දිළිඳු දායකත්වයෙන් එයාට තෑග්ගක් අරන් දෙන අතරෙ මම එයාට දෙන්න හදපු බර්ත් ඩේ කාඩ් එක තමයි පහල තියෙන්නේ. ඉස්සර පින්තූර කඩේ වැඩ කරද්දි නම් ෆොටෝෂොප් වලින් දාපු වැඩ කෑලි දැන් දාන්නෙ අතින් තමයි.

වැඩි කතා ඕන නෑ...




Tuesday 19 April 2011

The Making of මොහොතින් මොහොත - One|Zero|Zero for dummies




One|Zero|Zero කිව්වම ඔය කවුරුත් දැන් දන්නවනේ... මේක මේ අපේ කිං රාවණාට මහරගම කිට්ටුවදි නිකමට වගේ හිතුන දෙයක්. උගේ තියෙන කැසිල්ලට ඕක අපේ සෙට් එකට කියල දැම්මා. අපේ තිබුණ කැසිල්ලත් එක්ක සෙට් එකේ කට්ටියගෙ අදහස් එක්ක මේල් දෙතුන්සීයක් විතර එහෙ මෙහෙ යන අතරෙ ඕක One|Zero|Zero විධියට සැලසුම් වුණා. ඊට පස්සෙ උගේ ගල් මරණය, කාටවත් ආගන්තුක නැති ආගන්තු:කයා, ශ්වේතඥ්ඥ කුජින්ත සහ හම සඳුන් නොදරුවාගේ පරිපාලනයෙන් එලියට ඇවිත් උන්ට ඕක කරගන්න බැරි වෙද්දි දන්තජ ලිෂ් සහ සුන්දර මඩ හරේගේ (ඒක තමයි ප්‍රසිද්ධියෙ කියන නම... රහසින් නම් මොන මොන පව් කරගන්නවද දන්නෙ නෑ... :P) ගරු දායකත්වයෙන් හැඩගැන්විලා දැන් වදන් සියයක වියමන් ලස්සනට ඇදීගෙන යනවනේ...

ඔය ටික කාලෙකට කලින් හොඳම ග්ලොබ් එක කියල සම්මානයකුත් හම්බ වුණානේ....

ඉතිං මේ කියන්නෙ මම වතාවක් ඕකට ‍වචන සීයක් ලියද්දි අනුගමනය කරපු දේවල් කීපයක් තමයි. කීපයක් කිව්වට ලිවීම කියන වැඩේ කරන්න තියෙන්නෙ ඉතිං එකම විධියක්නෙ ඉතිං. ලියන එක තමා... ;-)

නමුත් වචන සීයක් කියන්නෙ අභියෝගයක්. ටිකක් තියුණු සීමාවක්. සාමාන්‍යයෙන් නම් අපි වචන ගැන නොහිත ගේමක් නැතිව ලියාගෙන ගියාට වචන සීමාවත් එක්ක අපට හිතන්න අමතර දේවල් ගොඩක් ලැබෙනව. ඒක නිකංම ලියාගෙන යනවට වඩා බරපතල වෙන්න පුළුවන්. නමුත් අදාල ක්‍රම අනුව වැඩේ කරගත්තොත් වචන සීයක් කියන්නෙ අපට උවමනා දේ කියන්න ඕනවටත් වඩා නිදහසක් තියෙන සීමාවක් කියල තේරෙනව. හැබැයි සීමාවකට ලඝු වීම නිසා මේ වචන සීය ඇතුලෙ යම් නිර්මාණාත්මක දේවල් කිරීමේ අභියෝගයකුත් අවස්ථාවකුත් තියෙනව.

මේ කරන්න යන පැහැදිලි කිරීම මට වඩා හොඳට කරන්න පුළුවන් අයත් ඇති. ඒත් දැන් ඒක ගැන කතා කරන්න යන්නෙ මම. මට පුළුවන් විධියට...

කොයි කතාව කියන්නත් වස්තු බීජය කියල එකක් එපැයි. ඒ කියන්නෙ කතාවක බේස් එක හෙවත් හරය. ඕක මොකක් හරි සිදුවීමක්, මතකයක්, හැඟීමක් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්නේ. මේ වස්තු බීජය කියන එක ලියන කියවන හැමෝම දන්න එකක් නිසා ඒ ගැන ඒ තරමින් කිව්වම ඇති. වැඩිදුර ඉගෙනගන්න ඕන කට්ටිය අපේ සර්ප පන්තියට යන්න...

කොහොම හරි කතාවක් සම්පූර්ණ වෙන්න එහෙම බේස් එකක් ඕන. නැත්තං කතාවෙ ඉවරයක් නෑ වගේම තේරුම්ගැනීමේ අවුල් ඇතිවෙන්න පුළුවන්. එහෙම කියලා හොඳ වස්තු බීජ තියෙන කතා කණට ගැහුව වගේ තේරෙනව කියල කියන්නත් බෑ. ඒක කියවන කෙනා අනුව තමයි. කණට ගැහුවත් නොදැණෙන අය ඉන්න පුළුවන්නේ.... :P සමහර විට අපි කලින් කියවලා තියෙන දේවල්, කියවලා තියෙන ප්‍රමාණයන් වගේ ‍සාධක මේ වස්තු බීජය තේරුම්ගැනීමෙදි සෑහෙන්න වැදගත් වෙනව. මොනව වුණත් නිර්මාණයක ආරම්භය මැද හෝ අවසානය කියන්නෙ අනිවාර්ය අංග නෙවෙයි. ඒක එහෙම වෙන්නෙ ඇයිද කියල පැහැදිලි කරන්න මට දැණුමක් නෑ වගේම මෙතනට ඒක ඝෘජුව අදාලත් නෑ.

කොහොම නමුත් අපි ලියපු කතාව පල වුණාට පස්සෙ කාටහරි ඔය කතාව තේරෙන්නෙ නැත්තං අර තේරුනේ නෑ හරි රහක් නෑ කියන එක‍ට හරියක් දාන්නත් පුළුවන්නේ.... නැත්තං ඇනෝ විධියට ඇවිත් දෙඤ්ඤං තොපිට කියලා පළු යන්න බණින්නයි තියෙන්නේ... ඇඩ්මින්ල ඉන්නවනෙ අදාල නැති කමෙන්ට් අයින් කරන්න... :P

ඔන්න ඉතිං වස්තු බීජයක් හොයාගත්තා.... දැන් ඒකෙන් කතාවක් ගොඩනැංවීම.

‍සාමාන්‍යයෙන් අපට යමක් පැහැදිලි කරන්න එක වාක්‍යයක් ඇති වෙන්න පුළුවන්. නැත්තම් දෙකක් හෝ වැඩිම වුණොත් පහක්... ඔය එක වාක්‍යයක තියෙන්න පුළුවන් වචන ගාන දහයක් හෝ පහලොවක් කියලා ගමු. එතකොට වචන පහලොවක් තියෙන වාක්‍ය පහකින් අපි අපේ කතාව කිව්වොත් එතනම වචන හැත්තැ පහක් තියෙනව.

මේක ඉතිං වචන ගැන ගැන කරන්න බෑ... මම කිව්වෙ සරලව අදහස.

දැන් අපේ වස්තු බීජය සම්බන්ධ කරල කතාව ගොඩනංවන්න ඕන. ඒකට චරිත, අවස්ථා, සිදුවීම් ඇතුල් කරන්න ඕන. මූලික කතාව කියන්න වචන හැත්තැපහක් හොඳටම ප්‍රමාණවත් වෙලා තියෙද්දි ඉතිරි වචන විසි පහ පුරවන්න වැල් වටාරම් වාක්‍යයක් දෙකක් ලියන්නත් වෙනව. ඒකට ඔය වටපිටාව, කාලගුණය වගේ දෙයක් උදව් කරගන්න පුළුවන්. ඒ වගේම වචන අස්සෙ වැඩ කෑලි දානකොටනම් නොදැනීම වචන සීය ඉක්මවන්න පුළුවන්. එතකොට ටිකක් ඈත ඉඳන් බලල බාබර් කොණ්ඩෙ ෂේප් කරනව වගේ වැඩි කෑලි පොඩ්ඩක් ෂේප් කරල දාන්න වෙනව.

මේක මම කියන්න යන්නෙ උදාහරණයකින්...

මීට මාස කීපයකට කලින් මම බැලුව Edward Scissorhands කියන චිත්‍රපටිය. Johnny Depp (එඩ්වඩ්) එක්ක Winona Ryder (කිම්) රඟපාන මේ චිත්‍රපටිය සෑහෙන්න කාලෙක ඉඳන් බලන්න ඉඳල ඉඳල හොයාගෙන බැළුවෙ ඔය දෙන්නම මගෙ ප්‍රියතම නළු නිලි යුවලක් නිසා. ඉතිං චිත්‍රපටිය පුරා ඒක ඇතුලෙ මට පුද්ගලික එක එක කතා හදාගන්න ගමන් විනෝනාට ආදරය කරමින් මම චිත්‍රපටිය බැලුවා. මේකේ එක අවස්ථාවක් තියෙනවා එඩ්වඩ් අයිස් වලින් දේව දූතයෙක්ගෙ රූපයක් කැටයම් කරන. ඒකෙදි අයිස් කෑලි වැටෙන්නෙ හිම වැස්සක් වගේ. කිම් ඇවිත් මේ හිම වැස්ස යට නැටුමක් නටනව. ඒ මොහොතෙ එයා එඩ්වඩ් ගැන උපරිම හැඟීමකින් ඉන්නේ. ඒ එක්කම පසුබිම් සංගීතයත් කැමරා කෝණත් එක්ක ඒ කොටස මාව උපරිමයෙන්ම වශී කරනව.

මේ බලන්නකෝ ඒ කෑල්ල....




ඔන්න ඉතිං චිත්‍රපටිය ඉවර වෙලා ටික වෙලාවක් යනකල් මම චිත්‍රපටියෙ කික් එකෙන් ඉද්දි ඔය සිදුවීම මට තදින්ම දැණෙන්න ගන්නව. ඒක හරියට සුරංගනා කතාවක කෑල්ලක් වගේ කියල මට හිතෙනව. ඔය කාලෙ සීයෙ කතා ලිවිල්ලේ මුදුනක හිටපු මට මේ සිදුවීම කතාවකට ගේන්න උවමනා වෙනව. ඉතිං මම ඒකෙ කෑල්ල කෑල්ල වචන සහ වාක්‍ය වලින් ගොඩ නගනව.


සුරංගනා කතාවක හිම වැටුණ රැයක විදුලි කණුවක් යට ලා එලියක ඇය නටමින් හිටියා... ඒ නැටුම කෙලවරදි අඳුරු මුල්ලක හිටපු මගේ පපු තුරුලට වෙලා ඈ ඇගේ ආදරේ මට කිව්වා... මම ඒ දෑස් දිහා බලන් හිටියෙ පුංචි මොහොතක්. ඒක ජීවිතේ නැවතුණු මොහොතක් වුණාට මම ඒ මොහොත ඇතුලෙ ජීවිත කාලයක් හිටියා...


මේක මගේ ෆයිනල් කතාවෙ මුල් ඡේදය විතරයි. මුලින්ම මේක ලියවුණේ මීට වෙනස් විධියකට. පසුව වෙනස් වෙලා කැපිල කෙටිල ඉතිරි වුණ කෑල්ල තමයි ඔය.

කොහොම හරි මේක මේ ගානට ලියවුණාට පස්සෙ මට තවත් ඒකට එකතු කරන්න දෙයක් නැති වුණා. මට කියන්න උවමනා කරන සේරම මේ වාක්‍ය කීපයෙ රැඳිල තියෙනව කියල හිතුණ. කාලගුණයත් වටපිටාවත් ඒ මොහොතෙ මට දැණුනු පීක් හැඟීමත් මේ ලියවුණ කොටසෙ හොඳටම තියෙනව කියල මට හිතුණා.. ඊට වඩා ඒ ගැන ලියන්න ගියොත් තියෙන ටිකත් දියාරු වෙනවා. ඒ නිසා ඇත්තටම මට උවමනා වුණේ කතාව මේ තරම් විතරක් කරන්න. ඒ වුණාට වචන සීයක ඉඩ සම්පූර්ණ කලයුතු වුණා. ඒ හින්දා ඒක පසුව හිතන්න කියල මම වැඩේ අතර මග නතර කරල දැම්මා...

සතියකට දෙකකට විතර පස්සෙ මට මේ කතාව සම්පූර්ණ කරන්න උවමනා වෙනවා. ඒ ගැන හිතමින් ඉද්දි මට මතක් වෙන්නෙ බලධාරිනිය එක්ක තිබුණ මගේ සම්බන්ධය ඒ දවස් වල විචලනය වුණ විධිය. ඒ දවස් ටිකේ ඒ සම්බන්ධයෙ කිසිම අළුත් ගතියක් තිබුණේ නෑ. දෙන්නම රාජකාරි වැඩ එක්ක හෙම්බත් වෙලා හිටියෙ. ඒ එක්කම මට කල්පනා වෙනව අපි දෙන්න අතරෙ අතරින් පතර ඇතිවෙන හැඟීම් අස්සෙ අර චිත්‍රපටිය බලද්දි මට දැණුන හැඟීම් විඳීම් සේරම තිබුණ නේද කියල. ඒ කියන්නෙ ඒ වෙලාවෙ අධෝවාතයක් තරම්වත් ගණන් නොගත්තට බලධාරිනිය කියන්නෙ හිම වැස්සක නටපු සිහින සුරංගනාවිය නේද කියල මට මතක් වුණා... (ඒ වෙලාවෙ කිසිම දෙයක් පාවිච්චි කරල හිටියෙත් නෑ හැබැයි... :පී)

ඔන්න මට කතාව ලියන්න පොටක් පෑදෙනව. දැන් මම කතාව ගොතන්න යන්නෙ ආදරය කියන සම්බන්ධය සන්තතික නැති බව කියන්නයි. ආදරය කියන එකත් හැම වෙලේම පීක් එකට එන්නෙ නැති සාමාන්‍ය එකක් වෙන බව කියවෙන විධියටයි මම දැන් කතාව ලියන්න යන්නේ... ඒකෙදි අර මුල් ඡේදයේ ලියවුණ දේ සහමුලින්ම අනිත් පැත්තට ගහන්න ඕන දෙවෙනි ඡේදයෙන්. එතනදි වචන ගානත් සැලකිල්ලට අරන් මම ඔය සාමාන්‍ය මිනිහෙක් කරන්න කැමති දේවල් ටිකක් ඒකට ගාවනවා. කෑම, පත්තර, චිත්‍රපටි එක්ක ක්‍රිකට්... ඒ දේවල් සමහර වෙලාවට මහ ලොකු දේවල් වුණාට මනුස්සයෙක්ගෙ ජීවිතේ සාමාන්‍යකරණය වුණ දේවල්නේ... ඉතිං ඔන්න මම ලියනව...


ඊළඟ දවසෙ ආයෙමත් උදේ නැගිටල මුහුණ හෝදල පටන්ගන්න ඉරි තලපු ජීවිතේ ඇය සාමාන්‍ය ගෑණියක්... ජීවිත කාලෙන් මොහොතක් ඈත් එක්ක ගෙවන එක කෑම පිඟානක්, පත්තරයක්, චිත්‍රපටියක්, ක්‍රිකට් තරගයක් වගේ සරල දෙයක් වෙලා.


මේක ලියවුණාට පස්සෙත් කතාව සම්පූර්ණ නෑ... ඕන නම් මෙතනින් වුණත් කතාව නතර කරන්න පුළුවන් වුණාට වචන සීයක් උවමනයි. ඉතිං මම ආයෙත් හිතනව. ඒකෙදි මට තේරෙනව මේ දෙවෙනි ඡේදයෙ විධියටත් හැමදාම නෑ කියල. ආයෙත් අර මුල් තත්ත්වෙට යන්න පුළුවන්. ඒ මුල් ඡේදයෙ කියවෙන සුන්දර මතකයකට හරිම පොඩි වෙලාවකින් ආයෙත් යන්න පුළුවන්. ආදරේ ඇතුලෙ ඕක හරියට අර හදවතේ ගැස්ම පෙන්නන සටහනක් වගේ ඉහල පහල යන එකක්නේ... ඔන්න මම ආයෙ කතාව හරවනව මේ සංසිද්ධි දෙකම එක තැනකට ගේන්න.


ඒත් හිම පියලි වලින් වැහිල ඇගේ නෙත් දෙක තාම ආරක්ෂිතයි... විශේෂ කෑමක්, හොඳ කාටුන් එකක්, දැණෙන චිත්‍රපටියක්, සික්සර් එකක් වගේ...


මෙතනදි වෙන්නෙ අර මුල් ඡේදයෙදි උපරිමයකට ගොඩනංවල දෙවෙනි ඡේදයෙදි බිඳල දාපු සම්බන්ධය බැලන්ස් කරන එක... ඒක හරියට දෙන්නෙක් ගහගනිද්දි තුන්වෙනිය මැද්දට පැනල ෂේප් කරනව වගේ වැඩක්.

හැබැයි ඕක හැම වෙලේම හරියන්නෙත් නෑ... තුන්වෙනිය ගුටිකන වෙලාවලුත් තියෙනව.

ඉතිං ඔය කිව්වෙ මම එක කතාවක් ලියපු හැටි. හැබැයි සමහර වෙලාවට කතාව ලියාගෙන ගියාම වචන ගාන සීය ඉක්මවනව. ඒකෙදි කතාවට හානි නොවෙන්න ඔය පරිසරේ, කාලගුණේ වගේ කෑලි ගලවන්න වෙනව. වචන හරඹ දාල කතාව වචන සීයකට ටියුන් කරන්න වෙනව. වචන සීයේ අභියෝගයේ නියම කොටස තමයි ඔය ටියුන් කිරිල්ල.

ඔය ලියපු සම්පූර්ණ කතාව මෙතන තියෙනව. මේ සටහනට මේ කතාවම තෝරගත්තෙ අර වෙනස්වීම් පැහැදිලි කරන්න ලේසි නිසයි, සහ මෑතකදි ලියපු සීයෙ කෑලි අතරෙ මේක ටිකක් කල් ගතවෙමින් ගොඩනැගුණු නිර්මාණයක් නිසයි.

මට හිතෙන විධියට ඕනම කතාවක් වචන සීයකින් ලියන්න පුළුවන්. දිග නව කතාවක් වුණත්... හැබයි ඒකෙදි අර චරිත, සිදුවීම් වෙනුවට වෙනත් දේවල් ටිකක් ආදේශ කරන්න වෙයි. උදාහරණයක් විධියට ඔය ගොඩක් දෙනෙක් දන්න ගම් පෙරලිය වගේ කතාවක් සීයකට කෙටි කලොත් ඒකෙ ඉන්න චරිත වෙනුවට ඔය ගම වෙනස් වීම, නාගරීකරණය වගේ කවුරුත් කියවන්නෙ නැති වර්ගයේ කතාවක් හැදෙයි ;-)

මොනව වුණත් මට දැනට ‍තේරෙන විධියට අපට කියන්න උවමනා කරන දේ පැහැදිලිව හඳුනාගත්තොත් ඒක වචන සීයකට කෙටි කරල ලියන එක අමාරු නෑ. එක අතකට ඒක ලිවීම හරහා විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම උවමනා නම් වචන සීය ඇතුලෙ පද පෙරලි, වචන හරඹ වගේ දේවල් කරල නිකංම නිකං කතාවක් වෙනුවට කියවන කෙනාට අළුත් අත්දැකීමක් ලැබෙන විධියෙ නිර්මාණයක් කරන්නත් පුළුවන්.

ඉතිං මේ සටහන ලිව්වෙ ලියන කියන කට්ටියට අභියෝගයක් සමග ලිවීමේ තෘප්තිය ගැන කියන්න. බ්ලොග් අවකාශෙ පුරාම ගත්තම එක එක විධියට එක එක දේවල් ගැන එක එක විධියෙ නිර්මාණ කරන අය ඉන්න එකේ තමන්ගෙ ලිවිල්ල නිකංම ලිවිල්ලක් විතරක් නොවෙන බව දැන‍ගැනීමේ ආතල් එක පොඩ්ඩක් විඳින්න සීයෙ කතාවක් ලියන්න තල්ලුවක් දෙන්න.

ඉතිං ලියන්න... වචන සීයෙ කතාවක්... අභියෝගාත්මක අකුරු වලින්...



----------------------------------------------------------

ප.ලි. - ලියන්න ආසාවෙන් හිටපු අයට මේ සටහන කියවල ලිවිල්ල එපා වුණා නම් හිතේ අමාරුව යන්නත් එක්ක මෙන්න පිළිගන්න ජොලි සීයගෙ ලලක්කා....





අනුග්‍රහය - Siribiris

Saturday 16 April 2011

ත්‍රී



අවුරුදු සද්දෙත් එක්ක ගෙදරට වෙලා කියවන්නත් දේවල් නැතිව එහෙ මෙහෙ කැරකෙද්දි ලංකා කලා දිනපොතේ රන්වල බලකායෙ ත්‍රී ප්‍රසංගය ගැන තිබුණ සටහන දැක්කා. ඒ එක්කම ඒකෙ වීඩි‍යෝව. ඒක බලලා අවුරුදු පිස්සුව හොඳ වෙලා ආයෙ වෙනත් සංගීත පිස්සුවක් හැදුණෙ ත්‍රී ප්‍රසංගය කොහොම හරි බලන්න ඕන කියන උවමනාවත් එක්ක.

ලයනල් රන්වල මහත්මය ගැන පුංචි කාලෙ ඉඳන් මට තිබුණෙ ඒ තරම් ප්‍රියමනාප අදහසක් නෙවෙයි. රූකාන්ත, අතුල වගේ අය සංගීත වීරයො වුණ කාලෙ අමරදේව, රන්වල වගේ සාම්ප්‍රදායික සංගීතය ආශ්‍රිතව නිර්මාණයේ යෙදුණ අයව ගණන් ගත්තෙම නෑ. නමුත් පස්සෙ කාලෙක ඒ නිර්මාණකරුවන්ගෙ තිබුණ අසහාය බව තේරුම් යාමත් එක්ක ඒ නිර්මාණවල තිබුණ අමු බව, වෙන්වුණ බව පේන්න ගත්තා. ඒ කාලෙ ඉඳන්ම ලයනල් රන්වල මහත්මය මගේ වීරයෙක්. දන්නවනෙ ඔහු අපිට අවුරුදු කාලෙට විතරක් මතක් වෙන කෙනෙක් කියලා...

එක එක අයට ඒ ගැන එක එක කතා කියන්න පුළුවන් වුණාට මට දැණෙන විධියට ජන සංගීතය කියල වර්තමානයේ අපිට දැණෙන දේවල් ටිකකට තියෙන්නෙ එතුමා කරපු නිර්මාණ තමයි. නැත්තං හොයන්න තියෙන කම්මැලිකම නිසා අපි හොයන්නෙ නෑ. කොහොම වුණත් හැ‍මදේම වෙනස් වෙමින් තියෙන ලෝකයක නොනැසී පවතින්න නම් වෙනසත් එක්ක එකතු වෙන්න උවමනාය කියන මතයෙ එතුමා ඉන්න ඇති කියල මට හිතෙනව.

මට කියන්න උවමනා වුණේ රන්වල මහත්මය ගැන නෙවෙයි. සහන් රන්වල ඇතුළු රන්වල බලකායෙ අළුත් නිර්මාණය හෙවත් ත්‍රී ගැනයි. මේක දැන් පරණයි. ඒත් මට අළුත්. කොහොමත් යුද්දෙටත් ඇවිත් සහ ගම අවුලඥ්ඥං ප්‍රසංග දෙකේම තිබුණ නිර්මාණ රසවිඳපු කෙනෙක් විධියට මේ ප්‍රසංගයත් අපේම හැටි ස්වභාවයන් වලට හිනාවෙන්න හදපු නිර්මාණ වලින් පිරිල තියෙනව කියල වීඩියෝව බැලුවම පේනව.

ඉතිං මේක බලන්න. අන්තිම වෙනකල් බැලුවට පාඩුවක් වෙන්නෙ නම් නෑ... විශේෂයෙන්ම ලංකාවෙ ඩ්‍රම්ස් අහන්න ආසයි නම්...


ත‍්‍රීසිංහලයේ,
ත‍්‍රිවිධ සම්ප‍්‍රදායේ,
තුන්කල් යා කෙරුම උදෙසා,
රන්වල බලකාය ඉදිරිපත් කරන
‘ත‍්‍රී’ ප‍්‍රසංගය


මේකෙ තියෙනවා තියෙන සින්දු වලට සම්බන්ධ කට්ටියගෙ විස්තර... මුල් එක බලලම ඉන්න මේක බලනවනම්...


මෙතන තියෙනවා තවත් සින්දුවක්! අවුරුදු කීපෙකට කලින් හොඳට පට්ට ගහපු එකක්!



ත්‍රී ප්‍රසංගය සහ රන්වල මහත්මය ගැන ආශ්‍රිත ලිපි

දැන් කට්ටිය හිනා වෙන වෙලාව... මේක තිබුණෙ ජනවාරි 22. ඉතිං දැං මොකද මේ තදියම? මොනව කරන්නද නොදැනුවත් කමට.... මේක මම දැක්කෙත් කලා දිනපොතෙන්. ආයෙත් පෙන්නන වගක් ආරංචි වුණොත් බලන්න උවමනා අයට පොඩි තල්ලුවක් දෙන්න එපැයි... නැතුව මට ටිකට් අරන් දෙන්න විධියක් නෑනේ... ;-)

Thursday 14 April 2011

කොහා වෙනුවට SMS


සුපුරුදු නිවාඩු දවසකදි වගේම අදත් ඇහුරුණේ පරක්කු වෙලා. ගෙර අනිත් උදවිය නම් ටීවී එක වටේ ඉඳගෙන අවුරුදු සමරනවා. ඒකෙ එකම ඇඩ් එක යනවා එපා වෙනකල්ම... ඇත්තටම ඇහැරුණෙත් ඒකෙ එපා කරපු සද්දෙට. නැත්තං තවත් ටිකක් වෙලා හීනයක් බලන්න තිබුණා...

ඒත් හීන බලන්නත් එක දිගට බැරි වුණා මේ ෆෝන් එක එක දිගට නාද වුණ නිසා. කොහොමත් කොහා වෙනුවට දැන් මේක ආදේශ වෙලා... නම්බර් නැති කට්ටියත් ඇස්ඇම්ඇස් එවලා... හැමදාම වෙනව වගේ එකම මැසේජ් එක වටේ කැරකෙනවා.... ඒත් සාහිත්‍යයෙන් කවීත්වයෙන් අනූන මැසේජ් කීපයක්ම තිබුණා.

මම මේ දාන්නෙ ඒ ආපු කීපයක්...

මටය කියල පතන්න විශේෂ අවුරුදු පැතුමක් නැති නිසා මේ ටික මෙහෙම දාන්නෙ අඩු තරමෙ බලන කෙනෙක්ටවත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් නිසා...

-----------------------

සිනා ගෙනෙන කිරි ඉතිරෙන සුබ අළුත් අවුරුද්දක් වේවා - සිනා කෙසේ වෙතත් කිරි නම් උතුරවනව නේ... අපට ඉතිං හිනාගියොත් උපහාසෙට, නැත්තං මේ වෙන මල විකාර වලට යන හිනාවක් තමයි!

ලැබූ සිංහල අවුරුද්ද සිතන පතන සියළු දේ ඉටුවන වාසනාවන්ත එකක් වේවා - අවුරුදු ගාණක් තිස්සෙ සිතන එකයි පතන එකයි කරනව වුණාට ඒ වෙනුවෙන් වැඩ නොකර පැතුව කියල විතරක් කොහෙ ඉටු වෙන්නද? අපට ඉතිං විශ්ව ශක්තියත් වැඩ නෑනේ...

එරබුදු කුසුමින්, රබන් සුරලෙන් , කොවුල් නදින්, පවසයි මෙලෙසින්... වේවා සාමය සතුට පිරි සුභම සුභ සිංහල අළුත් අවුරුද්දක් - සාහිත්‍ය නම් මරු. ඒ වුණාට මේ පාරත් කොවුල හිටියෙ ටීවී එකේ විතරයි, රබනුත් ගැහුවෙ ඒකෙ තමයි... එරබුදු ගසුත් කපල දාලනේ...

Sun cant cn 2 earth, bt sent its wish as rays, clouds cant cm 2 earth, bt send its wish as rain, i cant cn 2 u nw, bt sending my wish as SMS - අව්වට කර වෙලා වැස්සට නායයද්දි තමයි ඔය කියන විශ් එකේ ගතිය තියෙන්නේ...

Before sun moves to mesha from meena, Before you see the new year sun rises, I wish you Happy and prosperous new year - මේක ආවෙ අවුරුදු ඉර පායලත් ඉවර වුණාම.. උදේ 9ට විතර....

සිනා කැන් හද පුරා විහිදෙන, ජීවිතේ පැතුම් ඉටුවෙන, ලැබ තවත් දිරි යන්න පෙරටම, පතමි හැම යහපතම වෙන්නට - අනේ නියමයි... දතක් නරක් වෙලා නිසා ඔය හිනා කැන දාන එක තමයි කේස් එක...

-----------------------

මේ එවපුවයින් ටිකක් ගතියක් තියෙන කීපයක්... එකම වගේ ඒවත් අයින් කලා... කොහොමත් ලැබෙන එස්එම්එස් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙන එක හොඳයි. ඈත ඉන්න උන් නම් කමක් නෑ... මේ නිතර දෙවේලෙ හම්බ වෙන උනුත් ඒව එවද්දි තමයි දුක. මේව ගැන ඔය විවේචන දැම්මෙ අහිතකින් නෙවෙයි. ඒව එවන්නෙ ඇත්තටම ඒ මිනිස්සු මට තියෙන බැඳීම නිසා... මේ දැම්මෙ ඒව දැක්ක ගමන් මට හිතුන දේවල් තමයි... මගෙ වෙලාවට උන් එකෙක්වත් මේක බලන එකක් නෑ...

කොහොමත් මම නම් ඉන්නෙ පිස්සු හැදිල නිසා මම ඒ සේරටම සුභ උපන් දිනයක් කියල ගහල ඇරියා....

ඒත් මේ අපේ බ්ලොග් යාළුවෙක්ගෙ ඔත්තුවකින් හම්බවුණ සයිට් එකකින්...

දුරකථන සමාගම් ගැන දුක්ඛ:ප්‍රාප්ත වෙන උදවිය නම් මේක පාවිච්චි කරන්න එපා...

-----------------------

ඇත්තට මෙතන විරෝධාකල්පයක් නෑ... තියෙන්නෙ ගන්න පුළුවන් තැනතින් සතුටු වෙන්න චාන්ස් එකක් තියෙනවද කියල බැලිල්ලක් විතරයි. මේ යන විධියට මේකට විකල්ප හැදෙන්නෙත් නැති නිසා දියුණු වෙමින් යද්දි පැරණි දේවල් නාම මාත්‍රික වෙනව වගේ අවුරුද්දත් ටීවි එක විසින් අපේ ඇ‍ඟේ ගහන දෙයක් බවට පත් වෙලා කියන එක බොරුවක් නෙවෙයි.

එහෙනං ඔයාලටත් සෙම වේවා....


අන්තිම වෙනකල් මේක කියෙව්වනම් මේවත් කියවන්න ආස වෙයි...


Wednesday 13 April 2011

අවුරුදු කටේ පිස්සු හදාගැනීම



ලියන්නට දේවල් බොහෝ ඇතත් නැවතත් කම්මැලිකම මා වෙලමින් ඇත. එහෙත් ලියන්නට ඇරඹූ දේ නොලියා සිටීමද දිරවන්නේ නැත.

හෙට සිංහල සහ දෙමළ ක්‍රමයට අවුරුද්දක් මාරුවී යයි. මා ඉන් එකකටවත් අයත් නොවීම සමග මා හ‍ට එම සංක්‍රාන්තිය විශේෂ වන්නේ දින පහේ නිවාඩුව නිසාම පමණි. එය සිහිවත්ම නැවතත් කම්මැලිකම හිතට වදින බැවින් ඒ ගැන නැවත නොසිතමි. ඒ නිවාඩු දින කීපයේ බිසි වීමට සිතාගෙන ඇත්තෙමි.

අලුත් අවුරුද්ද එකල තිබූ සමාජ ක්‍රමයේ සංස්කෘතික අංගයක් ලෙස වැදගත් වන්නට ඇත. ඒ ගැන විස්තර අසා ඇතත් දැන් මට ඒවා මතක නැත. එය එසේ වුවද වර්තමානයේදී නම් අපට අවුරුද්ද යනු අනෙක් බොහෝ දේවල් මෙන් කරන්නන් වාලේ කරන්නක් මිස වැඩි යමක් නොවේ යැයි මට සිතේ. පුද්ගලිකව මා අවුරුද්දට කැමති හේතුවක් වශයෙන් නිවාඩුවක් ලැබීම සැමදා අංක එකට පත් වූ අතර වඩාත් සාධාරණ හේතු සැලකීමේදී අවුරුදු මංගල්‍යය විසින් සාමාන්‍ය ජනයාගේ ජීවිතයට මද වෙනසක් ගෙන ඒමද මා අවුරුද්දට කැමති හේතුවක් බවට පත්ව ඇති බව පෙනේ.

දුරකථන සමාගම්වල ලොක්කන්ද අවුරුද්ද පැමිණෙනවාට කැමති වනවාට සැක නැත. අපේ මිනිස් සම්බන්ධ සියල්ල සීඝ්‍රයෙන් ඩිජිටලීකරණය වෙමින් යන මොහොතක වෙනත් විකල්පයන්ද නොමැති බැවින් එය එසේ වීම ගැන මැසිවිලි නැගීම නුසුදුසුය.

රෙදි කඩවල මුදලාලිලාද එසේ කෙල පෙරමින් අවුරුද්දට පෙර මග බලන තවත් ‍කොටසකි. එමෙන්ම විවිධ දුරකථන, අන්තර්ජාල, චන්ද්‍රිකා රෑපවාහිනී සේවා සපයන්නන්ද තම පැකේජ ලාබෙට පාරිභෝගිකයන්ගේ ඇ‍ඟේ ගසනා සීසන් එකකි. මත්පැන් අළෙවිසැල් අවුරුද්දට පෙර සතියකට පෙර සිටම පිරී යයි. ඇත්තෙන්ම භාණ්ඩ භේදයකින් තොරව සමස්ත මුදලාලි වර්ගයාම අවුරුද්දට කැමතිය.

පසුගිය දිනක රාජකාරියට යන අතරමග හමුවූ වැඩිහිටි මිතුරෙකුද එසේ අවුරුද්දට ඉතසිතින් කැමැත්තෙකි. ඔහු අප පාසලේ ආරක්ෂක සේවයේ යෙදුනු මහත්මයෙක් වූ අතර මාගේ පියාගේ මිතුරකු වීම හේතුවෙන් ඒ දිනවල සිටම මා සමග වඩාත් කුළුපග වී සිටියේය. ඔහුගේ වත්මන් වයස වසර 72ක් බව ඔහු පැවසූ අතර තවමත් සුපුරුදු රැකියාව කරමින් වෙසෙයි. ඔහු අවුරුද්දට කැමතිව ඇත්තේ එම කාලයට රෙදි කඩවලින් විශේෂ ආරක්ෂාවක් ඉල්ලීම හේතුවෙන් ඔවුන්ගේ රාජකාරියට වඩා වාසි සැලසෙන නිසාවෙනි. රෙදි කඩයක රාජකාරිය අමතර එකක් වීම නිසාත්, රාජකාරිය අවසන් වූ විට ටී ෂර්ට් එකක් වැන්නක් ලැබෙන නිසාත් ඔහු ඒ ගැන පිරියෙන් කතා කළේය.

පුද්ගලික සේවකයෝ අවුරුදු බෝනස් ලබන අතර රාජ්‍ය සේවකයෝ අත්තිකාරම් ලබති. මුදල් අධිකව සංසරණය වීම හේතුවෙන් ගෙවීම් කාර්යාල අතිශය කාර්ය බහුල වෙයි. බැංකු පිටකොටුව බස්නැවතුම මෙන් පිරී යයි.

කාර්ය බහුල වීමේ අර්ථයෙන් අවුරුද්ද යනු පිස්සුවකි. ජීවිතය කලබල කරනා බැළුම් පොකුරකි. එහෙත් ඉන් ගැලවීමක් නැත. අවුරුද්ද කෑ සියල්ලෝ අවුරුද්දෙන් පසු "අවුරුද්ද අපිව කාල ගියා" යැයි කියන්නේ එහෙයිනි.

පුංචි දරුවන් සිටිනා දෙමාපියන්ට නම් කෙසේවත් ගැලවීමක් නැත. මුදල් කෙතරම් හිඟ වුවද දරුවන්ගේ සතුට වෙනුවෙන් අවුරුද්ද කියා යමක් සැමරිය යුතුය.

ඊයේ බැංකුවට ගිය මාගේ මිතුරියක් පැවසූ කතාව මම මෙහි නැවත ලියමි. තමාට ලැබුණු බෝනස් මුදලින් බැංකුවේ තිබූ මුද්දක් බේරාගැනීමට ‍ගිය ඇයට දරුවෙක් කරපින්නාගත් මවක් හා බැංකුවේ නිලධාරින් අතර සංවාදය ශ්‍රවණය වී ඇත. එම මව විසින් තම මාලයක් බැංකුවේ උකස් කර තිබූ අතර ඒ වෙනුවෙන් ලබාගත හැකි උපරිම මුදලද දෙවතාවකදීම ඇය විසින් ලබාගෙන තිබුණි. නැවත යම් මුදලක් ඇය විසින් ඉල්ලා තිබූ අතර බැංකුවෙන් එයට අවසරයක් නොලැබුණු හෙයින් එම මව කනස්සලු මුහුණින් නික්ම ගොස් ඇත. දුකත්, වේදනාවත් අසරණකමත් කැටිව එම මුහුණේ තිබූ හැඟීම තමාට කාලයක් යන තුරු මතක තිබෙනු ඇතැයි මා මිතුරිය පැවසුවාය.

ජීවිතය එසේය. අපි සමරනා දේවල් ගැන සීතිමටවත් අවකාශ නැති කොටසක්ද සිටී. ඔවුන් ගැන කල්පනා කලද, දුක් වුවද, දුක සිතෙන ලෙස ලිව්වද ඔවුන්ගේ ගැටළුවට විසඳුමක් වීමට අපට අවකාශ ඇත්තේ ස්වල්පයකි. ඇතැම්විට ඒ මෙම සමාජය තුලනය වන එක් සාධකයක් වන්නටද ඉඩ තිබේ...

එසේ වුවද මේ ඇති නැති සියල්ලෝම දින කීපයක් වෙනුවෙන් බලාපොරොත්තුසහගත වන මොහොතකි. තවමත් මට එය පිස්සුවකි. එහෙත් මේ අයුරින් අවුරුදු සමරන අනිත් අයට පිස්සු වන්නට නොහැක.

පිස්සු හැදී ඇත්තේ මා හට විය යුතුය.

Sunday 10 April 2011

බලධාරිනිය, සුපර් මෑන් සහ එම්.එස්. ප්‍රනාන්දු



ඊයේ දහවල් දහයට පමණ මාගේ දුරකථනය සාක්කුවේ සිට දඟලන්නට විය. මා හට බලධාරිනියගෙන් ඇමතුමක් ලැබෙන බව එය අතට ගෙන බැලූ විට වැටහිනි. එවෙලේ මා කාර්යාලයේ පරිගණකයෙන් එම්.එස්. ප්‍රනාන්දුගේ “මැණිකෙ මම ආයෙ ගෙදර එනවා.... මට හරි කේන්ති යනවා” ගීතය අසමින් එම්.එස්. එක්සෙල්හි ෆෝමියුලාවක් සමග ඔට්ටු වී සිටියෙමි. ඇත්තෙන්ම එම ගීතයට සමවැදී මා හට අප්‍රතිහත පුරුෂ ධෛර්යයක් කා වැදී තිබුණි. එහෙත් බලධාරිනිය කතා කරන බව දුටු විගස එය හුලං ගිය බැළුමක් සේ අප්‍රාණිකව ඇද වැටී සිඳී බිඳී ගොස් මා වියවුල් විය.

දැන් මා කරමින් සිටිනා රාජකාරිය වැඩක් නැත. අසමින් සිටිනා ගීතයද වැඩක් නැත. වහා පිළිතුරු දිය යුතුය. නැතිනම් වැඩ වරදී.

මම දුරකථනයට පිළිතුරු දුන්නෙමි.

“හෙල්ලෝ......ව්..”

මා තො‍ඳොල් ස්වරයෙන් යුතු විය.

"මොකද‍ මේ යට ඇඳුම් නෑ කියන්නේ....?"

එම ස්වරය අතිශය රෞද්‍රය. ඇය එදින ලියූ බ්ලොග් සටහන කියවා විය යුතුය.

"මොකක්?" මම බබා වීමි.

"මේ... මට බබා පාට් දාන්න එපා හලෝ... යට ඇඳුම් නැත්තං ඒ ගැන බ්ලොග් වල නොදා සල්ලි දීල අරගන්නව. ලැජ්ජාවක් කියල එකක් ගෑවිලවත් නැද්ද? හොඳ වෙලාවට ඕව කියවන එවුන් එකෙක්වත් මාව දන්නෙ නෑ... නැත්තං මටයි පාරෙ බැහැල යන්න වෙන්නෙ නැත්තේ. මොනවද හලෝ මේ කරන වැඩ?"

"හ්ම්ම්... මම කිව්වෙ මට කවුරුවත් එහෙම එකක් දීල නෑ කියලනේ..."

"දීල නෑ කියන්නේ? යට ඇඳුම් තෑගි වලට දෙන සිරිතක් තියෙනවද? එහෙම කොයි රටේද වෙන්නේ? ඔච්චර සංකර ඇමරිකාවෙවත් එහෙම දෙන්නෙ නැතිව ඇති. ලංකාවෙ සංස්කෘතියෙ කොහොමත් එහෙම නෑ.... මේව නිසා ඒවත් පටන් ගනියි. ඔයාල වගේ එවුන් තමයි ලංකාවෙ සංස්කෘතිය කන්නේ..."

"අනේ නෑ ඉතිං මම එහෙම හිතාගෙන නෙවෙයි කිව්වේ... මිනිස්සු සැලකිලිමත් වෙන්නෙ බාහිර ගැන විතරයි කියන එකට උදාහරණයක් වගේනෙ මම ඒක ගත්තේ..."

මා ඉතා දුක්බරව කීවෙමි. අහිංසක මෝඩ් එකට ස්විච් වෙනවා හැර මෙවන් අවස්ථාවක වෙනත් දෙයක් කරන්නට නැත.

"ඒ වුණාට ඕව සින්ඩි වල යනවා... පොඩි ළමයි ඕව බලනවා. මොනවද ඒ අයට වෙන්නෙ? පුංචි කාලෙම ඔළුව නරක් වෙනවා."

"අනේ ඉතිං පුංචි ළමයින්ගෙ සින්ඩියෙ මගේ බ්ලොග් එක පේන්නෙ නෑනේ... අනික ඔය අන්තර්ගතේ ගැන සැලකිලිමත් වෙනවය කියන බණ්ඩි වලටත් මම මගේ බ්ලොග් එක දාල නෑ..."

"සින්ඩි බණ්ඩි නෙ‍වෙයි හලෝ... බලනව අන්තිමේ ඔහේට කිණ්ඩිත් එක්ක නෝන්ඩි වෙන්නයි වෙන්නේ... ඒවයින් වැඩක් නෑ... මට ඉවසන්න බැරි මේ යට ඇඳුම් කතාවට. මොන එහෙකටද හලෝ එහෙම කතාවක් කිව්වෙ... ඕක කියවලා දැන් හැදෙන කොල්ලො කෙල්ලො වැලන්ටයින් එකටත් යට ඇඳුම් දෙන්න ගනියි. එතකොට යට ඇඳුමෙ සයිස් එක බලන්න, අන්දල ඉවර වෙලා හැඩ බලන්න එහෙම උඩ ඒව ගලවන්න වෙනවා. හිතනව බලන්න ඕක මොන තත්වෙකට වෙනස් වෙයිද කියලා... ඒක සංස්කෘතියට කොහොම බලපායිද කියලා..."

"අයියෝ මම ඔය තරං හිතුවෙ නෑ... මේක මේ හැමෝම අඳින ඇඳුමක් ගැනනෙ තියෙන්නේ..."

"හැමෝම ඇන්දට පේන්න අඳින්නෙ නෑනේ... අනික ඒව පුද්ගලික දේවල් මිස තෑගි විධියට ඉල්ලන ඒව නෙවෙයිනේ... ලැජ්ජාවක් නැද්ද?"

"හ්ම්ම්..."

"ඔන්න ඕක සුපර් මෑන් වත් ඉල්ලුවනං සාධාරණයි... ඒ මිනිහ ඕක අඳින්නෙ උඩින්නේ... ඒවයින් වැඩක් නෑ... වහාම ඔය පෝස්ට් එක අයින් කරනව. නැත්තං බ්ලොග් එක හැක් කරවගෙන මම නරක ගෑණි කියන්න එපා."

ඇය සුපුෂ්පිත වී දුරකථනය විසන්ධි කලාය.

මම නැවත එම්.එස්. සමග ඔට්ටුවෙන්නට පටන් ගතිමි. එහෙත් මට සුපර් මෑන් මැවී පෙනෙන්නට විය.

ඇයට මීටර් වූවා මෙන් සුපර් මෑන්ටනම් ඔහුගේ අවට උන් අය විසින් ප්‍රසිද්ධියේ යට/උඩ ඇඳුම් රැගෙන දෙන්නට ඇත.

අළුත් අවුරුද්ද කිට්ටු වන විට රතු පැහැ යට ඇඳුම සොයාගන්නටවත් නොතිබෙන්නට ඇත.

ලාංකිකයන්ටත් පොදුවේ යට ඇඳුම උඩට අඳින්නට බැරිද?

චහ්.... එහෙමවත් වුණානම් මට ඊයේ ලියූ සටහන ලියන්නට උවමනා නොවෙනු ඇත.

දැන් ඉතින් ඒවා මේවා වැඩක් නැත...

1994 අප්‍රේල් 9 වෙනිදා හෙවත් වසර 17කට පෙර ඊයෙ මෙන් දිනයකදී අපෙන් සමුගත් බයිලා චක්‍රවර්ති, සදාතනික කලාකරු එම්.එස්. ප්‍රනාන්දු මහතා තම බලධාරිනියට ගැයූ ගීතය වින්දනය කළ යුතුය.



ඇත්තෙන්ම මම ඊයේ ලියූ සටහන ඉවත් නොකරමි. ඇයගේ හැටි බලාගන්නට මට උවමනාවක්ද තිබේ.... එය එසේ නොවුවහොත් එම්එස්ගේ ගීතය මට විකල්පයකි.

Saturday 9 April 2011

අවුරුද්දට යට ඇඳුමක්!


ඔබ කූඹින්ගෙන් කරදර සිදුවන අළුත් අවුරුද්දට කියා ඇඳුම් ගත්තාදැයි මම නොදනිමි. කෑමටවත් දෙයක් නැති වුවත් දිළින්දන්ද ණයක් හෝ රෝල්කර අවුරුද්දට ඇඳුමක් මිලදී ගන්නේ සමහර විට ඒ මුළු අවුරුද්දේදිම ඔවුන්ට ලැබෙන එකම ඇඳුම නිසා වෙන්නට පුළුවන. මාගේ වට පිටාවේ සැම දෙනාමද අවුරුද්දට කියා ඇඳුම් මිලදී ගනිති. කඩවල සෙනග අස්සේ තෙරපෙමින් තෝරති. මෙය හැම අවුරුද්දකම සිදුවන ක්‍රියාවයි. මා දැන හුන් එක් මිතුරෙක් පැවසුවේ තෙරපෙන්නට ඇති ආසාව නිසාම ඔහු අළුත් ඇඳුමක් ගැනීමට අවුරුද්ද කිට්ටු වෙනතෙක් සිටන බවය. තෙරපීම එවැනි දෙයකි.

තෙරපී අහවර වී සියළු දෙනා අළුත් ඇඳුම් ඇඳ පෙනුම අළුත් කරගත්තද අභ්‍යන්තරය කිසිසේත් අළුත් නොවන පරණ එකමය කියා මම ඒ හැම අවුරුද්දකම කියා ඇත්තෙමි. ඒ කතාව දැන් පැරණිය. එවැනි කතා වලින් ඇති වැඩක්ද නැත. මගේ කතා අසා අළුත් වන උන්ද නැත. මිනිසුන් අළුත් වන්නට කැමති නැත. එබැවින් ඒ කතාව මම මෙවර නොකියන්නට තීරණය කළෙමි. මමත් අළුත් ඇඳුමක් ඇඳ අන් අය සමරනා ලෙසටම අවුරුද්ද සමරන්නට සිතාගෙන ඇත්තෙමි.

සති දෙකකට පෙර මම ඇයත් සමග නුගේගොඩ ඇඳුම් සාප්පු අවට සැරිසරා මිතුරෙක් වෙනුවෙන් ඇඳුමක් මිලදී ගතිමි. සාමාන්‍යයෙන් අවුරුදු කාලයට තියා අවුරුදු නැති කාල වලදීද ඇඳුම් සාප්පුවල ඇවිදීම මා ප්‍රිය කරන්නක් නොවේ. ජීවිතේ අති බිහිසුණු කාලයක් පුරා මා සතු වූයේ අතක ඇඟිලි ගානට වූ ඇඳුම් කීපයකි. ඒවා අපිරිසිදු නොවන මානයේ තබා එවකද මම ඇඳුම් ඇන්දෙමි.

දැන් සියල්ල වෙනස් වී ඇත. මා රස්තියාදු ජීවිතයෙන් මුදවා මහත්මයෙකු කිරීමට වෙහෙසෙනවුන් ගණනාවක් වෙනුවෙන් මම හැඩ ගැසී ඇත්තෙමි. ඉතින් ඇඳුම් අංශයෙන් ගත් කල මාගේ අල්මාරිය පිරෙන තරමට ඇඳුම් දැන් මට ඇත. සාමාන්‍යයෙන් වසරකදී කමිස සහ ටීෂර්ට් 4-5ක්, කලිසමක් හෝ දෙකක් වශයෙන් පසුගිය වසර දෙක තුන පුරා මා හට ඇඳුම් ලැබී ඇත.

මෙවර නව වසර වෙනුවෙන්ද මා හට ඇඳුම් ලැබී ඇත. ඇය විසින් මිලට ගෙන දුන් කලිසමේ වාටිය අම්මා විසින් මට උවමනා ප්‍රමාණයට සකසන ලද්දේය. ඇය විසින්ම ගෙන දුන් කමිසයක් අවුරුද්දට පසු කාර්යාල දිනය කිට්ටු කර එලි බැසීමට නියමිතව තවමත් පැකට් එක තුලය. කාර්යාල ප්‍රධානී විසින් ස්ව වියදමින් මුළු ආයතනයටම ටීෂර්ට් රැගෙන දුන් අතර ඉතා හොඳ යැයි සැලකිය හැකි වර්ගයේ එකක් මටද ලැබී ඇත. අම්මාද තවත් ටීෂර්ටයක් රැගෙනවිත් ඇත. මාගේ කිලුටු බැනියම් සේදීමට සිදුවීම පිළිබඳ විස්සෝපයෙන් මිදීමට ඒ සමගම ඇය විසින් බැනියම් දෙකක්ද ගෙනවිත් ඇත.

අළුත් මේස් කුට්ටමක් මා සතුව ඇති අතර අකුරු තුනේ කොංපැණියෙන් මිළට ගත් පැරණි සපත්තු කුට්ටමේ එක් සපත්තුවක අඩිය මැදින්ම පැලීයාම හේතුවෙන් මසකට කලින් මම නමවත් අසා නැති, ඒත් හොඳ වේ යැයි සිතු වර්ගයක සපත්තු ජෝඩුවක් මිළට ගත්තෙමි.

දැන් සියල්ල හරිය. එහෙත් තවමත් අළුත් යට ඇඳුමක් හෙවත් තේරෙන සිංහලෙන් ජංගියක්නම් කාගෙන්වත් ලැබුණේ නැත. සපත්තු ජෝඩුව හැර සියල්ල අන් අය සැපයූ බැවින් ජංගියක් හෝ දෙකක්ද වෙනත් අයෙකු විසින් රැගෙන දේ යැයි මම බලාපොරොත්තු වෙමි. එහෙත් සියල්ලන් මා බාහිරව අලංකාර කිරීමට තැත් දරනවා විනා යටට අඳිනවාද නැද්ද කියා සොයාබලන්නේ නැත.

ඒක හරියට ජීවිතේ වගේය. හරියට අවුරුද්ද වගේමය. උඩින් අළුත් ඇඳුමක් අඳින බොහෝ දෙනා යටට ඇඳ ඇත්තේ අවුරුද්දක්ම ඇඳි යට ඇඳුමක් වීමට ඉඩ තිබේ. සමහර විට ඒ ගැන සොයා නොබලන්නේ ඒවා අතිශය පුද්ගලික යැයි සැලකෙන නිසා විය හැක.

ඒ කියන්නෙ මගේ අභ්‍යන්තරය කාටවත් වැඩක් නැත.

පිටින් හොඳට හිටියාම ඇති වාගේය.

Friday 8 April 2011

ජෑම් බෝතලයට අසුවූ භූතයා...



මලයාගේ ලැප්ටොප් එකේ තිබුණ එක එක වැඩ කෑලි අතරෙ තිබුණ තව එකක් එයාම වටේට පෙන්නනවා. භූතයො අල්ලන එකක්. ටික දවසකට කලින් චැනල් එකක ගිය වැඩසටහනක්. බ්ලොග් එකකත් තිබුණ මතකයි.

එක මනුස්සයෙක්ට පේන භූතයව අනිත් මනුස්සය කෝටුවකින් වීදුරු බෝතලේකට දානව. ඒ වැඩේ කරන මනුස්සයටත් නොපෙනෙන භූතය බෝතලේට දැම්මට පස්සෙ කැමරාවටත් පේනව. මම හිතන්නෙ අර භූතයො පේන මනුස්සයගෙ ඇස් දෙකේ කැමරාවක් හයි කරලද දන්නෙ නෑ.

අම්මල නැන්දල පුංචිල ආච්චිල කම්මුල්වල අත් තියාගෙන මේක බලනව. කට්ටියම වැඩිය බය වෙලා තිබුණෙ දැකපු දේවල් වලට වඩා ඇහුණ සංගීතයට. එක ටෝන් එකක බියකරු සංගීතයක් තමයි පසුබිමේ වාදනය වුණේ. ඉතිං සමහර කට්ටිය භූතයව දකින්න කලින්ම කන් දෙක වහගෙන. කොහොම හරි අන්තිමේදි කට්ටියම බෝතලේට අහුවුණ භූතයො දැකල තිබුණ.

ඒ වෙලාවෙ මම ඒක බලන්න ඒ තරම් උනන්දු වුණේ නැතත් කට්ටිය කීප වතාවක්ම මේක බලපු නිසා මමත් මොකක්ද මේ කියල පස්සෙ බැලුවා. මට නම් බෝතලේ ඇතුලෙ එහෙම එකක් පෙනුණෙ නෑ. සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක් කොහොම හැරෙව්වත් දිලිසෙන හින්දා භූතයා කොහොමත් ඉන්නෙ බෝතලේ ඇතුලෙම තමයි. ඒක හරියට බුදු පිළිමෙන් රැස් විහිදුනා වගේ වැඩක්. සාමාන්‍යයෙන් අපිට පේන, නමුත් ඒක සාමාන්‍ය දෙයක් නිසාම අපි ගණන් නොගන්න දෙයක්. ඒ දේ දකින්න උවමනාවක් ඇති කරගෙන බැලුවම බඩු පේනවා... බෝතලේ පෘෂ්ඨය මට්ටම් නැති නිසා පරාවර්තනය වෙන ආලෝක කිරණ නිසා ඇති වෙන ප්‍රතිබිම්භ.

ඉතිං ඒ අය අල්ලපු විධියට මටත් භූතයෙක් අල්ලන්න පුළුවන්.

මෙන්න බලන්න මම අල්ලපු භූතයා.



මෙයාව මම ඇල්ලුවෙ පැන්සලකින්. හිටියෙ මගෙ රවුටරේ යට හැංගිලා. භූතයෙක් වෙන්න කලින් හෙන බේබද්දෙක්ද කොහෙද බෝතලේ දැක්ක ගමන් ඒකට රිංගගත්තා. බෝතලේ පරණ ජෑම් බෝතලයක් කියල පොරට මීටර් වුණේම නෑ.

කොහොම වුණත් මේ කතාව අනිත් අයට පහදල දෙන්න මට පුළුවන් වුණේ නෑ. මේ භූත කතාව ඇත්තය කියන්නත් බොරුය කියන්නත් දෙපැත්තටම ඕන තරම් කතා තියෙන නිසා මේක එක පැත්තකින් නතර වෙන්නෙ නෑ. ඒ නිසා තමන් අදහන එකක් අදහගෙන ඉන්න දෙන එක තමයි හොඳම දේ.

භූතයෙක්ට රුපියල් 1000 ගානෙ විතර චාජ් කරල ‍භූතයො අල්ලන වැඩේ කරන්නත් හිතයි... :D

Wednesday 6 April 2011

ආදි ශිෂ්‍ය සංගමය


ඊයේ දහවලදී මා හට මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබුණි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සුහද හමුවක් ගැන ඔහු විනාඩියක් පමණ කියවූවේය.

පාස‍ල් කාලයේ සගයන්ගේ සුහද හමුවක් පැවැත්වීමට ඔවුන් සූදානම්ය. දින කීපයකට පෙරාතුව වෙනත් මිතුරෙකුද මා අමතා අදාල හමුවීමේ ඉසව්ව වෙනුවෙන් ලෝගෝවක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පැවසීය. පාසලේ පැරණි මිතුරන් දහ දොලොස් දෙනෙකු එක්ව ආදි සිසු සංගමයක් වැන්නක් සාදාගැනීමට අර අදී. ඒ දැනටත් නාමිකව ඇති එකට අමතරව විය යුතුය.

මිනිසා සමාජශීලී සත්ත්වයෙක් බව උගෙන ඇතත් ස්වභාවයෙන්ම සමාජශීලී නොවූ මම ඔවැනි හමුවීම් පිළිබඳව ධනාත්මක ලෙස සිතීම උගහටය. තෙමසකට පෙර පැවති ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නොහැකි වූයේ මා එදින කොළඹ පැමිණ ඇයත් සමග රෝන්දයක යෙදී සිටි නිසාවෙනි. ඊටත් පෙර පැවැත්වූ හමුවීම් සැසියේදී මා සිටියේ මාගේ පියාගේ අවමගුල කරමත පටවාගෙනය.

එහෙත් මේ අවස්ථාවේදී මෙය වෙනුවෙන් සහභාගි වීමට මට සිදුවනු ඇත.

මම ඔවුන් වෙනුවෙන් ලාංඡනයක් නිර්මාණය කරන්නට පටන් ගතිමි. එය නිර්මාණය කරගෙන යාමේදී පැරණි මතකයන්ද නව සිදුවීම්ද සමග සිත ඒ මේ අත දිව ගොස් අවසන බ්ලොගය දෙසට යොමු විය.

ඉතින් මම ලියමි.

මේ මිතුරන් බොහොමයක් පාසල් අවදියෙන් පසු මට හමුවී ඇත්තේ දෙතුන් වරකි. හේතුව වසර අටකට ආසන්න කාලයක් මා ගමින් බැරව සිටීමය. ඒ කා‍ලයත් වර්තමානයත් සලකන විට මා වෙනස් වී ඇත්තේ අභ්‍යන්තරයෙන් පමණි. බාහිරින් මා තවමත් පැරණි, නොවෙනස් හා ඒකචර වන අතර පෙර කී මිතුරන් බොහොමයක් දෙනා දෙන්නා තුන් දෙනා හතර දෙනා වී ඇත. දැන් ඔවුන්ගේ දරුවන්ට පාසල් සොයන කාලය පැමිණ ඇත්දෝයි මට සිතේ. මන්ද පාසල පාදක කරගත් හමු පැවැත්වීමට වෙනත් හේතුවක් තවමත් මට නොදැණෙන බැවිණි.

වරක් මා සේවය කල ආයතනයක ප්‍රධානියා හෙවත් බොසා අධ්‍යාපනය ලද පාසලේ පැරණි මිතුරකු ආයතනයට පැමිණි අවස්ථාවක ඔවුන් අතර ඇතිවූ සාකච්ඡාවක් මට සිහිවේ.

බොසාගේ මිතුරාගේ දරුවා එම වසරේදී පාසලට ඇතුලත් කර තිබූ අතර එය ජනප්‍රිය පාසලකි. එ‍ය බොසා සහ මිතුරා අධ්‍යාපනය ලද පාසල වූ අතර මිතුරාගේ දරුවා එම පාසලට ඇතුලත් කරගැනීමේදී සලකා තිබූ ප්‍රධාන කාරණය වූයේ පියා පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වීමය. එවකට මාගේ බොසාට දරුවන් නොසිටි අතර ඔහුගේ මිතුරාගේ උපදෙස වූයේ හැකි ඉක්මනින් බොසාට සහ බොසාගේ බිරින්දෑට තම පාසල්වල ආදි සිසු සංගමයන් හි සාමාජිකත්වය ලබාගන්නා ලෙසයි. එවිට දරුවකු ලැබී නියමිත වයස පැමිණෙන විට පාසලට ඇතුලත් කරගැනීමේ හැකියාව නිතැතින්ම හිමිවන බව මිතුරාගේ අදහස විය.

මේ කරුණ මේ අයුරින්ම අවස්ථා කීපයකදී මාගේ මිතුරන්, පාරිභෝගිකයන් සහ ඥාතීන් සම්බන්ධයෙන් අත් විඳ ඇත්තෙමි. ඔවුන් ආදි සිසු හමු පිළිබඳ උනන්දු වන්නේ තම දරුවාගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙනි. එහි වරදක් මට නොපෙනේ. තරගකාරීත්වය අතරේ සියල්ල එසේ ගණුදෙනු බවට වෙස් පෙරලී ඇත.

මා නැවත මාගේ මිතුරන් පිලිබඳ සිතමි. ඔවුන්ගේ අරමුණ කුමක් වුව එසේ කුමන හෝ අරමුණක් වෙනුවෙන් මිනිසුන් එක්වීම යහපත්ය. මාගේ සහභාගීත්වය හෝ දායකත්වය මාගේ තීරණයක් වුව කල්ලි ගැසීම සාමාජික කාරණා අරභයා යහපත් බැව් මම විශ්වාස කරමි. මා සාමාජික සත්ත්වයෙක් නොවීම අනුන් පිළිබඳව මා හට එසේ සිතන්නට බාධාවක් වී නොමැත.

එහෙත් ඔවුන් මා බලාපොරොත්තු වනු ඇත.

මා නැවත ලාංඡනයේ කටයුත්තට අත ගසමි.

අඩු තරමේ අනාගතයේ දිනෙක සංගමය උවමනා වූ විටක ලාංඡනය නිර්මාණය කරදී තිබීම මා හට වාසියක් වනු ඇත.

Tuesday 5 April 2011

ක්‍රිකට් වර්ල්ඩ් කප් ෆයිනල් - දේව විද්‍යාත්මක විග්‍රහයක්!


මා කලින් සූදානම්ව සිටියේ ලෝක කුසලානය පිළිබඳව නිකං විද්‍යාත්මක විග්‍රහයක් කිරීමටය. මා හට සාමාන්‍ය හෝ හැකියාවක් ඇත්තේද මෙලෝ රහකට නැති නිකං විද්‍යාත්මක විග්‍රහයන් කිරීම සඳහා පමණි. එහෙත් වඩාත් හේතුසහගත කාරණා සලකා බැලීමේදී ලෝක කුසලානයේ ජය පරාජය කෙරෙහි අන් කවර සාධකයකටත් වඩා ‍දේව විද්‍යාත්මක සාධක ඇති බව පෙනී යන බැවින් සිදු වූ දෙය දේව විද්‍යාත්මක ලෙස විග්‍රහ කරන්නට සිතුවෙමි. මදක් දීර්ඝ බැවින් කඩිමුඩියේ කියවීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.


...........................................................


කහ පාටින් සිංහයාගේ ලාංඡනය ගහපු නිල් පාට විල්ලුද සළු කෑල්ල ඉන වටේ ඔතාගත්තු ලාසිංහ දිව්‍ය රාජයා සක්‍ර භවනේ දොරටුවෙන් ඇතුල් වුණේ ටිකක් බය පක්ෂපාතව. සිරි ලංකාව වගේ පුංචි රටකට අධිපති වුණ පලියට සක්‍ර භවන වගේ ලොකු කාර්යාලයකට හැම වෙලේම එන්නෙ යන්නෙත් නැති නිසා ලාසිංහ දෙවියන්ට පුංචි නුහුරකුත් නොදැනුණාම නෙවෙයි.

ලාසිංහ දෙයියන්ට ටිකක් මහන්සි දැණුන. ලංකාවෙ හතර දිග්බාගෙම කරක් ගහල පඬුරු ගැන හොයාගෙන ඒ පයින්ම සක්‍ර භවනට වැඩියෙ එකපාරම වැ‍ඩේ කරගන්න. අහසින් වැඩිය වුණත් මේ රත්තරං මාල, කරාබු, වළලු, ඔටුනු තියෙන නිල ඇඳුම දාගෙන කට්ට අව්වෙ අහසින් වඩින එකත් එසේ මෙසේ කෙරුවාවක් නෙවෙයිනෙ.

දාඩිය ටික නිවෙන්න වලාකුළු කෑල්ලක් බෙල්ලට තදකරගෙන අතේ තිබුණ පඬුරු චෙක් එක දාපු බෑග් එකත් ටිකක් තද කරල අල්ලගෙන ලාසිංහ දෙවියො සක්‍ර භවනෙ පිළිගැනීමේ කවුන්ටරේට ළං වුණා.

"මේ... සුරංගනාවි..?"

ලාසිංහ දෙයියො කවුන්ටරේ හිටපු සුරංගනාවියට කතා කලා... මේ දවස් වල රෑ වැඩ කරනවද මන්දා සුරංගනාවි හිටියෙ නිදි මතේද කොහෙද...

"ඇයි?"

දෙගම්මැද පන්සලේ දේවාලෙ ටකරං වහලට වඳුරො පනිනව වගේ කටහඬකින් සුරංගනාවි ලාසිංහ දෙයියන්ව ඇමතුවා.

"මේ... සක්‍ර දේවේන්ද්‍රයාණන් වැඩ ඉන්නවද?"

මස් කන දෙයියන්ට වඩා කටු කන දෙයියන්ගෙ රැස් වැඩියි කියල ලාසිංහ දෙයියොත් දන්න නිසා ටිකක් නෙවෙයි ගොඩක්ම ගෞරවේ දීල තමයි කතා කළේ...

"හ්ම්... වැඩනං තමයි. ඒත් දැන් නං හම්බවෙන්න බෑ... මේ උන්නාන්සෙ භෝජන වළඳන වෙලාව... උදේ එන්න තිබුණනෙ.."

"අනේ ඉතිං, මම කලින්ම එන්නයි හිටියෙ. ඒ වුණාට හිතපු තරම් පඬුරු එකතු වුණේ නැති නිසා අන්තිම වෙනකල් ඉන්න වුණා.... හෙට ෆයිනල් එක නෙව... කොහොම හරි උන්නාන්සෙ හම්බ වෙන්නම ඕන අද..."

ලාසිංහ දෙවියො බැගෑපත් වුණේ කොහොම හරි දේව අනුහසින් ෆයිනල් මැච් එක දිනාගන්න ඕන නිසාමයි.

"අද කවදද? සිකුරාදා... ඇයි බදාද අවෙ නැත්තේ? මහදෙවි දවසෙ එන්න එපැයි. ඔන්න ඉන්දුදීපෙ ප්‍රාන්ත දෙවියො කට්ටිය නම් බදාද සෙමි ෆයිනල් යද්දිම ඇවිල්ල සක්‍රදේවේන්ද්‍රතුමා එක්ක ගනු දෙනු කතාකරගෙන ගියා... "

ඒ පාර සුරංගනාවි කිව්වෙ ටිකක් සීතල වෙලා වගේ...

"කමක් නෑ උන්නාන්සෙ වලඳල අහවර වුණාම කතා කරමු. මම මෙතනට වෙලා ඉන්නම්..."

"මේ දවස් ටිකේම දිව්‍ය ලෝකෙයි මනුස්ස ලෝකෙයි වෙලාවල් එකගානට ටියුන් කරල තියෙන්නෙ ඔය වැඩේ වෙන බව දන්න හින්දා. එහෙනම් ඔතනින් ඉඳගෙන ඉන්නකෝ"

ලාසිංහ දෙවියො පැත්තක තිබුණ ආසන පේලියක එක ආසනේක ඉඳගත්තා. එහෙ මෙහෙ යන සුරංගනාවියො දිහා බැල්ම දාගෙන හිටියා.

වෙලාව ගෙවුණා... ‍භෝජන වෙලාවට පස්සෙ අතුරුපස වෙලාවත්, ඊට පස්සෙ විවේක වෙලාවත්, ඊටත් පස්සෙ පැයක විතර නිද්‍රා වෙලාවකටත් පස්සෙ සක්‍ර දිව්‍යරාජයා එක්ක හවස තේ පානය සමග කතාවක යෙදෙන්න ලාසිංහ දෙයියන්ට පුළුවන් වුණා. සක්‍ර දිව්‍ය රාජයගෙ කාර්යාලෙ පඬුපුල් ආසනේට ළඟින්ම තිබුණ සුදු පාට මේසෙ අනිත් පැත්තෙ ආසනේක ලාසිංහ දෙයියො අසුන්ගත්තා.

"හෙහ් හෙහ්... ලංකාවෙන් ආපු බවක් කලිං කිව්වනං මාත් එක්ක අමෘතය වඩියකුයි දිව්‍ය භෝජන ටිකකුයි ගන්ට තිබුණ නොවැ..."

ගාම්භීර සක්‍ර දිව්‍යරාජයා සුදු යටි රැවුළ අතගාමින් කිව්වා.

"අනේ ඉතිං සිරි ලංකාව වගේ පුංචි කොලණියක් බලාකියාගෙන ඉන්න මං වගේ පුංචි දෙයියෙක් එක්ක ඔබවහන්සේ මොනවට පෑහෙන්න යනවද? මේ තේ බින්දු දෙකතුනක් ඔබ වහන්සේ එක්ක වලඳන්න ලැබුණ එකත් කොයි තරම් වාසනාවක්ද?"

ලාසිංහ දෙවියො ගෞරවේ දීල කතා කලා.... මුලින්ම කට වරද්දගෙනත් බැරි බව උන්නාන්සේ තේරුම් අරන් හිටිය.

"බොහොම හොඳයි... දැන් ගනිමු බලන්ට ගෙනාපු පඬුරු එහෙම..."

සක්‍ර දෙවියො පඬුපුල් ආසනේ හොඳට හරි බරි ගැහුණා. ලාසිංහ දෙවියො කිහිල්ලෙ ගහන් උන්නු බෑග් එක දිගඇරල පඬුරු චෙක් එක මේසය උඩ තියල සක්‍ර දිව්‍යරාජයා දිහාවට හෙමින් තල්ලු කලා.

"මිලියන විස්සයි? මොනවයින්ද මේ? රුපියල් වලින්...? සිරිලංකන් රුපීස්? හපෝ හොඳටෝම මදිනේ..."

සක්‍ර දිව්‍යරාජයා ඇස් උඩ තියන් කිව්වා.

ලාසිංහ දෙයියන්ගෙ මූණ බෙරි වුණා...

"අනේ දේවයිනේ මම කියල කොහෙන් හොයන්නද? ලංකාවෙ නරයො ඉතිං ක්‍රිකට් දිනවන්න කියලම පඬුරු දාන්නෙ නෑ නෙව. ඔය ගාන එකතු කරගත්තෙත් ඔය දුර දුවන බස් වලින් සල්ලි වැටෙන දේවාල ටික හූරලා... ඒ මදිවට හැම මුල්ලකම තියෙන පන්සල්, දේවාල ගානෙ යන්න වුණානෙ මට..."

සක්‍ර දිව්‍යරාජයා පඬුපුල් ආසනෙන් නැගිටල අත්‍ දෙක පස්සට කරල බැඳගෙන කල්පනා කරමින් මේසෙ වටේ කැරකෙන්න ගත්තා.

"ඒව්ව ඉතිං මාකටින් තමයි... තමුන්නැහැලා ගැන මිනිස්සුන්ගෙ පැහැදීම වැඩිකොරාගන්ට තමුන්නැහැලා දැනගන්ට ඕන."

"ඒ වුණත් දේවයිනේ ෆයිනල් එකට එන්න තරම් වැඩකාර නරයො ටිකක් ඉන්න රටක් වුණ එකේ මේව මේ මුදලින් ගණන් හිලව් වලින් මනින එක යෝග්‍ය නෑ නේද?"

"මේකනේ ලාසිංහ උන්නැහේ... ‍අවුරුදු තිහ හතලිහකට උඩදිනං ඔය සෙන්ටිමෙන්ටල් කාරණා උඩ සලකල මම ඔහේ කියන එක අහන්ට තිබුණා. ඒත් දැං කාලෙ එක්ක බැලුවහම මටත් සේරටම කලියෙං පඬුරු තත්ත්වෙ ගැන බලන්ට වෙලා නෙව."

"ඉතිං දේවයිනේ ඔබ වහ‍න්සේ මේ මිලියන විස්ස ගැන සලකන්ට බෑ කියන්නෙ අහවල් කාරණයක් හින්දද කිව්වනං? මම මේ උපන්තේකට මේ තරං පඬුරු තොගයක් ඔබ වහන්සේට ඇන්න ආවමයි නෙව..."

ලාසිංහ කියන්නෙ ලංකාවෙ අතරමග මුල්ලකට වෙලා කකා බිබී ඉඳල මාස දෙක තුනකට සැරයක් විතර වටේ තියෙන දේවාල වලට විසිට් එකක් දාන අයිස් දෙයියෙක් නිසා ලෝකෙ වෙන දේවල් ගැන උන්නාන්සෙට තිබුණෙ අඩු දැණුමක්. ඒකටත් එක්ක සක්‍ර දිව්‍ය රාජයා කියන්නෙ අළුත් තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තමන්ගෙ රාජකාරිය කරන ශ්‍රේෂ්ඨ නායකයෙක්.

"ලාසිංහ දෙයියන්ට මම කියන එක තේරෙන්නෙ නෑ නෙව... හිටින්නකෝ..."

සක්‍ර දිව්‍ය රාජයා ආයෙත් පඬුපුල් ආසනේ ඉඳගත්තා. මේසෙ දිහාවට ආසනේ ළං කරගත්තා. මේසෙ යටින් තවත් පොඩි ලාච්චුවක් වගේ එකක් එළියට අරගෙන මොන මොනවදෝ එබුවා. එතකොටම මේසෙ දෙබෑ කරගෙන මතුවුණේ පැපොල් ලැප්ටොප් එකක්. ලාසිංහ දෙයියො ඇස් උඩතියන් බලං ඉද්දි සක්‍ර ‍දිව්‍යරාජයා මොන මොනවදෝ ඔබලා ලැප්ටොප් එකේ තිරේ ලාසිංහ දිහාවට හැරෙව්වා.

"කියවනව බලන්න ඕකෙ තියෙන ඉලක්කම..."

සක්‍ර ‍දිව්‍යරාජයා කිව්වා...

"එක්දාස් දෙසිය දහයයි! මේ මොකක්ද මේ?"

"ඒක තමයි කියන්නේ... මේ තියෙන්නෙ ඉන්දුදීපෙ ප්‍රාන්ත භාර දෙවිවරු ගෙනාපු පඬුරු වල එකතුව. මිලියන එක්දාස් දෙසිය දහයක්... ඒකත් ඉන්දියන් රුපියල් වලින්.... ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් නම්...."

සක්‍ර ‍දිව්‍යරාජයා ආයෙත් ලැප්ටොප් එකේ බොත්තං එබුවා...

"අද එක්ස්චේන්ජ් රේට් එක අනුව ලංකාවෙ රුපියල් වලින් ආසන්නව මිලියන තුන්දාහක් විතර...."

සක්‍ර ‍දිව්‍යරාජයා බැරෑරුම් බැල්මක් දැම්මා... ලාසිංහ දෙවියන්ගෙ මූණ තවත් බෙරි වුණා...

"අනේ දෙයියනේ... දැන් මම මොකද කරන්නේ...? ලංකාවෙ මිනිස්සු කොයිතරං බලාපොරොත්තුවෙන්ද ඉන්නේ... මාව මෙහෙට එවන්න කන්නලව් කළේ තිහ හතලිහක් දෙනා වුණත් ෆයිනල් එක දිනන එක ලංකාවෙම ප්‍රාර්ථනාවනේ දෙයියනේ..."

"ඔහේ ඔහොම කියනවා... ලංකාවෙ රජතුමත් කන්නලව් කරන්න යන්නෙ ඉන්දියාවේ තිරුපති උන්නැහේගෙ කෝවිලේ... ඔන්න තිරුපති උන්නැහේ කිව්වා ඒ වැඩේ ඉවර වුණ ගමන් තවත් පඬුරු ගේන්නම් කියලා...."

සක්‍ර ‍දිව්‍යරාජයා කිව්වෙ කට කොණකට හිනාවක් එද්දිමයි.

"එහෙනං දේවයිනේ ඔබ වහන්සේ මට දැන් මොනවද කරන්න කියන්නේ...?"

"මුන්නැහේ ගෙනාපු පඬුරු ටික ඔහේ තියෙච්චාවේ... දැන් ගොහින් මුකුත් නොවුණ ගානට ඉන්ට. දිනුවත් පැරදුණත් ඒක සිරිලංකාවෙ දේව ඇදහිල්ල එක්ක ඒ තරං ප්‍රස්ණයක් නෙවෙයි. ප්‍රස්ණයක් වුණත් ඒ ඔහේට විතරයි නෙව. එහෙම අවුලක් වුණොත් මම ඔහේට මේ ළඟපාතකට මාරුවක් හදල දෙන්නම්.... ඒක ඒ හැටි අවුලක් කරගන්ට එපා... සිරිලංකාව වගේ නෙවෙයි නෙව ඉන්දුදීපෙ... මේ තරම් පඬුරු පූජා කරල ඉන්දුදීපෙට කප් එක නොලැබුණොත් කී කෝටියක් දෙවිවරුන්ට කෙලවෙනවද? ඒ නිසා අපි මේ පාර ඉන්දුදීපෙ පැත්තට වාසිය හරවන්නයි ඉන්නේ..."

"ඔබ වහන්සේ වගකීම බාරගන්නවනං මට කමක් නෑ... මම එහෙනං ගිහිං එන්නම්... ඔබ වහන්සේට දීර්ඝායු වේවා..."

ලාසිංහ දෙයියො සක්‍ර ‍දිව්‍යරාජයා ළඟ වැඳ වැටුණා.

"හා... හොඳයි හොඳයි... එහෙනං පරෙස්සමට යන්ට"

"අවසර දේවයිනේ... එක ප්‍රස්ණයක්?"

"ඒ පාර මොකද?"

"මං ඔබ වහන්සේට මේ තරං ළඟින් ඉඳන් මේ තරං දුක් වුණා... ‍ඔබවහන්සේගෙ පාණ්ඩුකම්බල ශෛලාසනය ගිණියම් වුණේ නෑ නෙව?"

"හොහ් හොහ් හෝ...."

සක්‍ර ‍දිව්‍යරාජයා මහ හයියෙන් හිනා වුණා...

"රත්වෙලා රත්වෙලා දැන් කාලෙකට කලින් මේකේ කොයිල් එක පිච්චුණානෙ ඕයි."

සක්‍ර ‍දිව්‍යරාජයා පඬුපුල් ආසනේ මැදුරු කවුළුව පැත්තට හරවගත්තා.

ලාසිංහ දෙයියො හෙමින් හෙමින් පිටවීමේ දොරටුව පැත්තට ඇදුණා...

Monday 4 April 2011

ගෑණු/පිරිමි ළමයින්ගෙ බර වෙනස්වීම - වයසත් එක්ක


දැං ඔය ළමයි ලෙඩෙක් බලන්න වාට්ටුවකට, නැත්තං දොස්තර කෙනෙක් ගාවට බෙහෙත් ගන්න එහෙම ගියාම ඔය පේන්න තියෙන තරාදියකිං බර කීයද කියල බලනව නෙව. ඕක ඉතිං කොයි කවුරුත් බලන්න කැමති දෙයක්නේ. ඉතිං බර බලල බර ගැනයි අඩු කරගන්න එක ගැනයි වැඩි කරගන්න එක ගැනයි කන්න හොඳ කෑම ගැනයි නැති කෑම ගැනයි ලොකූ කතාවක් තමයි ඊට පස්සෙ හැදෙන්නේ...

අපිට කිරන්න පුළුවන් බර එහෙම වුණාට සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් ලොකු වීගෙන එද්දි එයාලගෙ බර බොහොම අපූරු විධියට වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ආකාරයේ බර දැණෙන්නෙ සහ කිරන්නෙ ඉතිං දෙමව්පියෝ තමයි.

මිනිස් වර්ගයා ගත්තම සාමාන්‍යයෙන් ජීවිත කාලෙන් හතරෙන් එකක විතර කාලයක් හැදෙන්නේ දෙමව්පියන් එක්ක නෙව. ඔය කාලෙනං ඉතිං එක එක සංස්කෘති එක්ක ගත්තම වෙනස් වෙනව. ඉතිං මේක ලංකාවට අදාලව සාකච්ඡාවට ගත්තම සරලව මනුස්සයෙක් තමන්ගෙ දෙමව්පියො ගාව අවුරුදු විස්සක් තිහක් විතර හැදෙනවනේ...

ඔය අවුරුදු විස්සක තිහක කාලෙ ඇතුලත ලංකාවෙ පිරිමි ළමයෙක්ගෙ බර සහ ගැහැණු ළමයෙක්ගෙ බර දෙමව්පියන්ට දැණෙන්නෙ විධි දෙකකට.

පිරිමි ළමයෙක් ගත්තම තරුණ කාලෙ වෙනකල් ඒ තරම් බරක් නැති ගානයි... සාමාන්‍යයෙන් අවුරුදු තිහක් පනිනකල් වුණත් පිරිමි ළමයෙක්ගෙ බර වැඩි වෙන්නෙ නෑ. තිහ පනිනකොටනං අම්මල තාත්තලට පිරිමි දරුව‍ගෙ බර දැණෙන්න ගන්නව. ඔන්න තිහ පැනපු ගමන් පිරිමි ළමයෙක්ගෙ බර සීග්‍රයෙන් ඉහල යන්න පුළුවන්. ඒ එක්කම පිරිමි ළමයෙක් සම්බන්ධයෙන් ඕක කලින්ම වෙන්න පුළුවන් කොල්ලට රස්සාවක් නැත්තං. ඒ කියන්නෙ ඔය ළමයි වගේ විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙනගෙන රස්සාවල් කරන වයසෙදි රස්සාවක් නැති වුණාම ඕං තිහ නෙවෙයි විසි පහ වුණත් බර වැඩි වෙනවා. විශ්ව විද්‍යාලවල නොගිහින් රස්සාවකුත් නොකර ගෙදරට වෙලා හිටියොත් විසි පහ නෙවෙයි විසි එක වුණත් දෙමව්පියන්ට හොඳට දැණෙන ගානට බර වැඩි වෙන්න පුළුවන්.

ගෑණු ළමයෙක් සම්බන්ධයෙන් මේක වෙනස්. සාමාන්‍යයෙන් ලංකාව වගේ ආසියාතික රටවල්වල තාමත් ගෑණු ළමයි ඉපදෙනකොටම හරි බරයි. ඔය බර ආයෙත් සෑහෙන්න ඉහල යනව ගෑණු ළමය මල්වර වුණාම. ඒ ඉහල යෑම නවතින්නෙම නෑ... ගෑණු ළමය ඉගෙන ගත්තත් නැතත් සෑහෙන්න කාලයක් යනකල් ඔය ඉහල යන බරේ සීඝ්‍රතාවෙ වෙනසක් වෙන්නෙම නෑ. ගෑණු දරුවෙක් අවුරුදු තිහක් වෙනකල් දෙමව්පියො ගාව ඉන්නව කියන්නෙ ඉතිං දෙමව්පියන්ට උහුලන්න බැරි ගානයි.

ඔය බර එක පාරම අඩු වෙන්නෙ දරුව පෙලවහක් කරගත්තම තමයි. ඊට පස්සෙ දෙමව්පියො ඔය කියන බරෙන් නිදහස් වෙනව. ඒ එක්කම ඔය බර දැණෙන ප්‍රමාණය වෙනස් වෙන සාධක ගොඩකුත් තියෙනව.

දැං ඔය ළමයි ඔච්චර ඉගෙනගෙනත් තියෙන එකේ මේක තේරුං කරගන්න ඒ හැටි අමාරුවක් නැතුව ඇති නෙව. තම තමංගෙ දන්න කියන පවුල් වල දෙමවිපියන්ගෙ දරුවන්ගෙ කතා එක එක අරං බැලුවනං මේ කියන කතාව තේරුංගන්න පුළුවන්.

අද පැවරුමක් විධියට ගෙදර ගිහින් හිතල බලල ලියාගෙන එන්න ඔය අපි කතා කරපු විධියට දෙමව්පියන්ට දරුවන්ගෙ බර දැණෙන ප්‍රමාණය වෙනස් කරන බාහිර සාධක මොනවද කියල....



..................................................................................................

ඉහත සටහන මාගේ මලයාගේ අධ්‍යාපන හඬ ගොණුවක තිබී හමුවූ අපූරු දේශනයක කොටසකි. මේ බර වෙනස් වීමට අදාල ප්‍රස්ථාරයක්ද ඇති බව ඔහු පැවසූ නමුත් මලයා තමාගේ සටහන් ගෙනවිත් නොතිබුණ බැවින් ඔහුගේ ලැපේ තිබූ ගොනුව ශ්‍රවණය කර අදාල අවසරයන් මත උපුටා පලකරන ලදී.