Tuesday, 5 April 2011

ක්‍රිකට් වර්ල්ඩ් කප් ෆයිනල් - දේව විද්‍යාත්මක විග්‍රහයක්!


මා කලින් සූදානම්ව සිටියේ ලෝක කුසලානය පිළිබඳව නිකං විද්‍යාත්මක විග්‍රහයක් කිරීමටය. මා හට සාමාන්‍ය හෝ හැකියාවක් ඇත්තේද මෙලෝ රහකට නැති නිකං විද්‍යාත්මක විග්‍රහයන් කිරීම සඳහා පමණි. එහෙත් වඩාත් හේතුසහගත කාරණා සලකා බැලීමේදී ලෝක කුසලානයේ ජය පරාජය කෙරෙහි අන් කවර සාධකයකටත් වඩා ‍දේව විද්‍යාත්මක සාධක ඇති බව පෙනී යන බැවින් සිදු වූ දෙය දේව විද්‍යාත්මක ලෙස විග්‍රහ කරන්නට සිතුවෙමි. මදක් දීර්ඝ බැවින් කඩිමුඩියේ කියවීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.


...........................................................


කහ පාටින් සිංහයාගේ ලාංඡනය ගහපු නිල් පාට විල්ලුද සළු කෑල්ල ඉන වටේ ඔතාගත්තු ලාසිංහ දිව්‍ය රාජයා සක්‍ර භවනේ දොරටුවෙන් ඇතුල් වුණේ ටිකක් බය පක්ෂපාතව. සිරි ලංකාව වගේ පුංචි රටකට අධිපති වුණ පලියට සක්‍ර භවන වගේ ලොකු කාර්යාලයකට හැම වෙලේම එන්නෙ යන්නෙත් නැති නිසා ලාසිංහ දෙවියන්ට පුංචි නුහුරකුත් නොදැනුණාම නෙවෙයි.

ලාසිංහ දෙයියන්ට ටිකක් මහන්සි දැණුන. ලංකාවෙ හතර දිග්බාගෙම කරක් ගහල පඬුරු ගැන හොයාගෙන ඒ පයින්ම සක්‍ර භවනට වැඩියෙ එකපාරම වැ‍ඩේ කරගන්න. අහසින් වැඩිය වුණත් මේ රත්තරං මාල, කරාබු, වළලු, ඔටුනු තියෙන නිල ඇඳුම දාගෙන කට්ට අව්වෙ අහසින් වඩින එකත් එසේ මෙසේ කෙරුවාවක් නෙවෙයිනෙ.

දාඩිය ටික නිවෙන්න වලාකුළු කෑල්ලක් බෙල්ලට තදකරගෙන අතේ තිබුණ පඬුරු චෙක් එක දාපු බෑග් එකත් ටිකක් තද කරල අල්ලගෙන ලාසිංහ දෙවියො සක්‍ර භවනෙ පිළිගැනීමේ කවුන්ටරේට ළං වුණා.

"මේ... සුරංගනාවි..?"

ලාසිංහ දෙයියො කවුන්ටරේ හිටපු සුරංගනාවියට කතා කලා... මේ දවස් වල රෑ වැඩ කරනවද මන්දා සුරංගනාවි හිටියෙ නිදි මතේද කොහෙද...

"ඇයි?"

දෙගම්මැද පන්සලේ දේවාලෙ ටකරං වහලට වඳුරො පනිනව වගේ කටහඬකින් සුරංගනාවි ලාසිංහ දෙයියන්ව ඇමතුවා.

"මේ... සක්‍ර දේවේන්ද්‍රයාණන් වැඩ ඉන්නවද?"

මස් කන දෙයියන්ට වඩා කටු කන දෙයියන්ගෙ රැස් වැඩියි කියල ලාසිංහ දෙයියොත් දන්න නිසා ටිකක් නෙවෙයි ගොඩක්ම ගෞරවේ දීල තමයි කතා කළේ...

"හ්ම්... වැඩනං තමයි. ඒත් දැන් නං හම්බවෙන්න බෑ... මේ උන්නාන්සෙ භෝජන වළඳන වෙලාව... උදේ එන්න තිබුණනෙ.."

"අනේ ඉතිං, මම කලින්ම එන්නයි හිටියෙ. ඒ වුණාට හිතපු තරම් පඬුරු එකතු වුණේ නැති නිසා අන්තිම වෙනකල් ඉන්න වුණා.... හෙට ෆයිනල් එක නෙව... කොහොම හරි උන්නාන්සෙ හම්බ වෙන්නම ඕන අද..."

ලාසිංහ දෙවියො බැගෑපත් වුණේ කොහොම හරි දේව අනුහසින් ෆයිනල් මැච් එක දිනාගන්න ඕන නිසාමයි.

"අද කවදද? සිකුරාදා... ඇයි බදාද අවෙ නැත්තේ? මහදෙවි දවසෙ එන්න එපැයි. ඔන්න ඉන්දුදීපෙ ප්‍රාන්ත දෙවියො කට්ටිය නම් බදාද සෙමි ෆයිනල් යද්දිම ඇවිල්ල සක්‍රදේවේන්ද්‍රතුමා එක්ක ගනු දෙනු කතාකරගෙන ගියා... "

ඒ පාර සුරංගනාවි කිව්වෙ ටිකක් සීතල වෙලා වගේ...

"කමක් නෑ උන්නාන්සෙ වලඳල අහවර වුණාම කතා කරමු. මම මෙතනට වෙලා ඉන්නම්..."

"මේ දවස් ටිකේම දිව්‍ය ලෝකෙයි මනුස්ස ලෝකෙයි වෙලාවල් එකගානට ටියුන් කරල තියෙන්නෙ ඔය වැඩේ වෙන බව දන්න හින්දා. එහෙනම් ඔතනින් ඉඳගෙන ඉන්නකෝ"

ලාසිංහ දෙවියො පැත්තක තිබුණ ආසන පේලියක එක ආසනේක ඉඳගත්තා. එහෙ මෙහෙ යන සුරංගනාවියො දිහා බැල්ම දාගෙන හිටියා.

වෙලාව ගෙවුණා... ‍භෝජන වෙලාවට පස්සෙ අතුරුපස වෙලාවත්, ඊට පස්සෙ විවේක වෙලාවත්, ඊටත් පස්සෙ පැයක විතර නිද්‍රා වෙලාවකටත් පස්සෙ සක්‍ර දිව්‍යරාජයා එක්ක හවස තේ පානය සමග කතාවක යෙදෙන්න ලාසිංහ දෙයියන්ට පුළුවන් වුණා. සක්‍ර දිව්‍ය රාජයගෙ කාර්යාලෙ පඬුපුල් ආසනේට ළඟින්ම තිබුණ සුදු පාට මේසෙ අනිත් පැත්තෙ ආසනේක ලාසිංහ දෙයියො අසුන්ගත්තා.

"හෙහ් හෙහ්... ලංකාවෙන් ආපු බවක් කලිං කිව්වනං මාත් එක්ක අමෘතය වඩියකුයි දිව්‍ය භෝජන ටිකකුයි ගන්ට තිබුණ නොවැ..."

ගාම්භීර සක්‍ර දිව්‍යරාජයා සුදු යටි රැවුළ අතගාමින් කිව්වා.

"අනේ ඉතිං සිරි ලංකාව වගේ පුංචි කොලණියක් බලාකියාගෙන ඉන්න මං වගේ පුංචි දෙයියෙක් එක්ක ඔබවහන්සේ මොනවට පෑහෙන්න යනවද? මේ තේ බින්දු දෙකතුනක් ඔබ වහන්සේ එක්ක වලඳන්න ලැබුණ එකත් කොයි තරම් වාසනාවක්ද?"

ලාසිංහ දෙවියො ගෞරවේ දීල කතා කලා.... මුලින්ම කට වරද්දගෙනත් බැරි බව උන්නාන්සේ තේරුම් අරන් හිටිය.

"බොහොම හොඳයි... දැන් ගනිමු බලන්ට ගෙනාපු පඬුරු එහෙම..."

සක්‍ර දෙවියො පඬුපුල් ආසනේ හොඳට හරි බරි ගැහුණා. ලාසිංහ දෙවියො කිහිල්ලෙ ගහන් උන්නු බෑග් එක දිගඇරල පඬුරු චෙක් එක මේසය උඩ තියල සක්‍ර දිව්‍යරාජයා දිහාවට හෙමින් තල්ලු කලා.

"මිලියන විස්සයි? මොනවයින්ද මේ? රුපියල් වලින්...? සිරිලංකන් රුපීස්? හපෝ හොඳටෝම මදිනේ..."

සක්‍ර දිව්‍යරාජයා ඇස් උඩ තියන් කිව්වා.

ලාසිංහ දෙයියන්ගෙ මූණ බෙරි වුණා...

"අනේ දේවයිනේ මම කියල කොහෙන් හොයන්නද? ලංකාවෙ නරයො ඉතිං ක්‍රිකට් දිනවන්න කියලම පඬුරු දාන්නෙ නෑ නෙව. ඔය ගාන එකතු කරගත්තෙත් ඔය දුර දුවන බස් වලින් සල්ලි වැටෙන දේවාල ටික හූරලා... ඒ මදිවට හැම මුල්ලකම තියෙන පන්සල්, දේවාල ගානෙ යන්න වුණානෙ මට..."

සක්‍ර දිව්‍යරාජයා පඬුපුල් ආසනෙන් නැගිටල අත්‍ දෙක පස්සට කරල බැඳගෙන කල්පනා කරමින් මේසෙ වටේ කැරකෙන්න ගත්තා.

"ඒව්ව ඉතිං මාකටින් තමයි... තමුන්නැහැලා ගැන මිනිස්සුන්ගෙ පැහැදීම වැඩිකොරාගන්ට තමුන්නැහැලා දැනගන්ට ඕන."

"ඒ වුණත් දේවයිනේ ෆයිනල් එකට එන්න තරම් වැඩකාර නරයො ටිකක් ඉන්න රටක් වුණ එකේ මේව මේ මුදලින් ගණන් හිලව් වලින් මනින එක යෝග්‍ය නෑ නේද?"

"මේකනේ ලාසිංහ උන්නැහේ... ‍අවුරුදු තිහ හතලිහකට උඩදිනං ඔය සෙන්ටිමෙන්ටල් කාරණා උඩ සලකල මම ඔහේ කියන එක අහන්ට තිබුණා. ඒත් දැං කාලෙ එක්ක බැලුවහම මටත් සේරටම කලියෙං පඬුරු තත්ත්වෙ ගැන බලන්ට වෙලා නෙව."

"ඉතිං දේවයිනේ ඔබ වහ‍න්සේ මේ මිලියන විස්ස ගැන සලකන්ට බෑ කියන්නෙ අහවල් කාරණයක් හින්දද කිව්වනං? මම මේ උපන්තේකට මේ තරං පඬුරු තොගයක් ඔබ වහන්සේට ඇන්න ආවමයි නෙව..."

ලාසිංහ කියන්නෙ ලංකාවෙ අතරමග මුල්ලකට වෙලා කකා බිබී ඉඳල මාස දෙක තුනකට සැරයක් විතර වටේ තියෙන දේවාල වලට විසිට් එකක් දාන අයිස් දෙයියෙක් නිසා ලෝකෙ වෙන දේවල් ගැන උන්නාන්සෙට තිබුණෙ අඩු දැණුමක්. ඒකටත් එක්ක සක්‍ර දිව්‍ය රාජයා කියන්නෙ අළුත් තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තමන්ගෙ රාජකාරිය කරන ශ්‍රේෂ්ඨ නායකයෙක්.

"ලාසිංහ දෙයියන්ට මම කියන එක තේරෙන්නෙ නෑ නෙව... හිටින්නකෝ..."

සක්‍ර දිව්‍ය රාජයා ආයෙත් පඬුපුල් ආසනේ ඉඳගත්තා. මේසෙ දිහාවට ආසනේ ළං කරගත්තා. මේසෙ යටින් තවත් පොඩි ලාච්චුවක් වගේ එකක් එළියට අරගෙන මොන මොනවදෝ එබුවා. එතකොටම මේසෙ දෙබෑ කරගෙන මතුවුණේ පැපොල් ලැප්ටොප් එකක්. ලාසිංහ දෙයියො ඇස් උඩතියන් බලං ඉද්දි සක්‍ර ‍දිව්‍යරාජයා මොන මොනවදෝ ඔබලා ලැප්ටොප් එකේ තිරේ ලාසිංහ දිහාවට හැරෙව්වා.

"කියවනව බලන්න ඕකෙ තියෙන ඉලක්කම..."

සක්‍ර ‍දිව්‍යරාජයා කිව්වා...

"එක්දාස් දෙසිය දහයයි! මේ මොකක්ද මේ?"

"ඒක තමයි කියන්නේ... මේ තියෙන්නෙ ඉන්දුදීපෙ ප්‍රාන්ත භාර දෙවිවරු ගෙනාපු පඬුරු වල එකතුව. මිලියන එක්දාස් දෙසිය දහයක්... ඒකත් ඉන්දියන් රුපියල් වලින්.... ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් නම්...."

සක්‍ර ‍දිව්‍යරාජයා ආයෙත් ලැප්ටොප් එකේ බොත්තං එබුවා...

"අද එක්ස්චේන්ජ් රේට් එක අනුව ලංකාවෙ රුපියල් වලින් ආසන්නව මිලියන තුන්දාහක් විතර...."

සක්‍ර ‍දිව්‍යරාජයා බැරෑරුම් බැල්මක් දැම්මා... ලාසිංහ දෙවියන්ගෙ මූණ තවත් බෙරි වුණා...

"අනේ දෙයියනේ... දැන් මම මොකද කරන්නේ...? ලංකාවෙ මිනිස්සු කොයිතරං බලාපොරොත්තුවෙන්ද ඉන්නේ... මාව මෙහෙට එවන්න කන්නලව් කළේ තිහ හතලිහක් දෙනා වුණත් ෆයිනල් එක දිනන එක ලංකාවෙම ප්‍රාර්ථනාවනේ දෙයියනේ..."

"ඔහේ ඔහොම කියනවා... ලංකාවෙ රජතුමත් කන්නලව් කරන්න යන්නෙ ඉන්දියාවේ තිරුපති උන්නැහේගෙ කෝවිලේ... ඔන්න තිරුපති උන්නැහේ කිව්වා ඒ වැඩේ ඉවර වුණ ගමන් තවත් පඬුරු ගේන්නම් කියලා...."

සක්‍ර ‍දිව්‍යරාජයා කිව්වෙ කට කොණකට හිනාවක් එද්දිමයි.

"එහෙනං දේවයිනේ ඔබ වහන්සේ මට දැන් මොනවද කරන්න කියන්නේ...?"

"මුන්නැහේ ගෙනාපු පඬුරු ටික ඔහේ තියෙච්චාවේ... දැන් ගොහින් මුකුත් නොවුණ ගානට ඉන්ට. දිනුවත් පැරදුණත් ඒක සිරිලංකාවෙ දේව ඇදහිල්ල එක්ක ඒ තරං ප්‍රස්ණයක් නෙවෙයි. ප්‍රස්ණයක් වුණත් ඒ ඔහේට විතරයි නෙව. එහෙම අවුලක් වුණොත් මම ඔහේට මේ ළඟපාතකට මාරුවක් හදල දෙන්නම්.... ඒක ඒ හැටි අවුලක් කරගන්ට එපා... සිරිලංකාව වගේ නෙවෙයි නෙව ඉන්දුදීපෙ... මේ තරම් පඬුරු පූජා කරල ඉන්දුදීපෙට කප් එක නොලැබුණොත් කී කෝටියක් දෙවිවරුන්ට කෙලවෙනවද? ඒ නිසා අපි මේ පාර ඉන්දුදීපෙ පැත්තට වාසිය හරවන්නයි ඉන්නේ..."

"ඔබ වහන්සේ වගකීම බාරගන්නවනං මට කමක් නෑ... මම එහෙනං ගිහිං එන්නම්... ඔබ වහන්සේට දීර්ඝායු වේවා..."

ලාසිංහ දෙයියො සක්‍ර ‍දිව්‍යරාජයා ළඟ වැඳ වැටුණා.

"හා... හොඳයි හොඳයි... එහෙනං පරෙස්සමට යන්ට"

"අවසර දේවයිනේ... එක ප්‍රස්ණයක්?"

"ඒ පාර මොකද?"

"මං ඔබ වහන්සේට මේ තරං ළඟින් ඉඳන් මේ තරං දුක් වුණා... ‍ඔබවහන්සේගෙ පාණ්ඩුකම්බල ශෛලාසනය ගිණියම් වුණේ නෑ නෙව?"

"හොහ් හොහ් හෝ...."

සක්‍ර ‍දිව්‍යරාජයා මහ හයියෙන් හිනා වුණා...

"රත්වෙලා රත්වෙලා දැන් කාලෙකට කලින් මේකේ කොයිල් එක පිච්චුණානෙ ඕයි."

සක්‍ර ‍දිව්‍යරාජයා පඬුපුල් ආසනේ මැදුරු කවුළුව පැත්තට හරවගත්තා.

ලාසිංහ දෙයියො හෙමින් හෙමින් පිටවීමේ දොරටුව පැත්තට ඇදුණා...

11 comments:

  1. මේකයි එහෙනම් ඒ වෙලා තියෙන්නේ.... ලාසිංහ දෙයියන්ට තිබ්බේ කලින්ම කැම්පේන් එකක් කරන්න... අපරාදේ මාත් තව රුපියලක් දානවා දන්නවනම්...

    ReplyDelete
  2. මේකනේ වැඩේ අපි අදහන බොහෝමයක් දෙවිදේවතාවන්ගේ දේවාලවල Head Quarters තියෙන්නේ ඉන්දියාවෙනේ. එහෙව්එකේ මෙහේ තියෙන Regional Office වලින් කියන එක අහයියැ...

    ReplyDelete
  3. ඔය සීන් එක දන්නවානබ්ම් කීයක් හරි දාන්න තිබුණා...

    ReplyDelete
  4. ඒක තමයි සින් එක එහෙනම් ...කලින් දන්නව නම් මාත් කීයක් හරි දානවනෙ

    ReplyDelete
  5. හයියෝ.. අපරාදේ.. දන්නවා නම් පොඩි කැම්පේන් එකක් දාලා පඬුරු එකතු කරන්න ඔපිස් එකක් දානවා මම. ෂිට්...
    කමක් නෑ.. ඊලඟ පාර වත් බලමු..

    ReplyDelete
  6. දැන් තමයි මතක් වුණේ, මමත් කන්නලව් කලා මිසක් ගතමන්ට් එකක් දැම්මේ නෑනේ...

    ReplyDelete
  7. වා - ඒකනේ... රුපියල් විසි මිලියන එකක්නේ එතකොට...

    දිනේෂ් - ඒත තමයි පුරස්නේ... ඔය කෙරුවාව නොදැන අපි කන්නලව් කලාට වැඩක් නෑනේ..

    රොබින් - ලබන පාර කට්ටියම කීය කීය හරි දාමු නේ :D

    බුවා - ඒකනේ... මටත් පස්සෙ තමයි වැ‍ඩේ මේකයි කියල මීටර් වුණේ.

    නඳුන් - ඒක තමයි.. දැන් කරන්න දෙයක් නෑ බං...

    බීටල්ස් - ඔය එලිවෙන්නෙ... :-)

    ReplyDelete
  8. දැං වැඩිපුර ගානක් ගෙවලා ආපහු සැරයක් වැඩේ ගොඩ දාගන්න බැරිවෙයිද ? හොර සල්ලි අච්චු ගහලා හරි ගේමට බහින්න තිබුනා කලින් දන්නවනම් .

    එහෙනම් 20යි20 එකට දැන්ම ඉඳලා පටන්ගමු එකතු කරන්න ....

    ReplyDelete
  9. නඳුන් - ඒක තමයි... දැන් තියාම ඔය හිම මුල්ලකම තියෙන පිංකැට පිරෙව්වවොත් හොඳයි :D

    ReplyDelete
  10. නියමයි ලියල තියෙන බාසාව.. මුල ඉඳල අගට එක හුස්මට කියෙවුව .. විහිළුවක් වගේ පෙනුනට ඇත්තත් ඕක වෙන්න පුළුවන් ! හැම මගුලටම අපේ දෙස්පල් ගොය්යල දුවන්නේ ඉන්දියාවටයි එහෙ තියෙන දේවාල වලටයිනෙ .. ඉතින් සීයට අනුනමයයි දසම නාමයයි නමයක්ම දෙවිවරුත් ඉන්දියන් කාරයෝ නෙව ! ඔය දෙපත්තෙම් ය පිහිට ඉල්ලන් ගිය බබත් දැන් නවීන විද්‍යවේ පිහිටෙන් පන කෙන්ද එල්ලගෙන ඉන්නේ !

    ReplyDelete
  11. ජනාධිපතිතුමාගේ අතේ තියෙන පේරැස් මුද්දේ දෙවියන්වත් ඉන්දියාවේ ගුරුකම්කාරයෝ පැරැද්දුවානේ

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!