Wednesday 18 May 2016

පැටි කිරිය - සුමන ආලෝකබණ්ඩාර - පොත ගැන අදහස්


සුමන ආලෝකබණ්ඩාර මහතාගේ පෑලවිය කෘතිය බොහොම ඈතකදී කියවීමෙන් පසුව නැවත ඔහුගේ කෘතියක් ලෙස කියවූයේ පැටි කිරියයි. මෙය පුවත්පතක කොටස් වශයෙන් පළවූ ලිපි එකතුවකි. පැටිකිරිය යනුවෙන් සිංහල වී ඇත්තේ ඉංග්‍රීසි බසින් Pedigree යන්නයි. ඒ අර්ථයත්, 'පැටි අවදියේ කල කී දෑ' යන අර්ථයත් යන ද්වර්ථයම ඉස්මතු වන ලෙස මේ පොත 'පැටි කිරිය' ලෙස නම් ව ඇත.


ආලෝකබණ්ඩාර මහතා කුඩා කල සිට තරුණ විය දක්වා වයඹ පලාතේ නිකවැරටිය නගරය ආශ්‍රිතව ගමේ සහ පාසල්වල ගතකල ජීවිතයත්, එකල ජීවත්ව සිටි විවිධාකාර මිනිසුන් පිළිබඳ ඔහුගේ මතකයත්, ඉතිහාසය, සමාජය පිළිබඳව ඔහු දරන අදහසුත් පොතේ ප්‍රධාන තේමාවන් වේ.

පැටි කිරිය එක්තරා පරම්පරාවක් ගැන කතා එකතුවකි. 80 දශකයේ තරුණ විය ගතකල පරම්පරාවේ ළමා අවදිය ගැන කියවීමකි. 50 සහ 60 දශකවල ගමක විසූ මිනිසුන් පිළිබඳ කතා ගොන්නකි.

අව්කන බුදු පිළිමය පිළිබඳව පොත් පිංචක් ලිවීම පිණිස ඔහු කල හැදෑරීම්වලදී ලංකාව ජනාවාස වීම ගැන ඔහුට තොරතුරු හමුවේ. ලංකාවේ අසමජ්ජාතීන් ගැන ඔහු ඒ අනුව ලියයි.

මානව හිමිකම් ගැන ලොකුවට දොඩවන අතරේ මානව යුතුකම් කියා දෙයකුත් කතා කල යුතු බව ඔහු කියයි. එය මා සිත් ගත් අදහසකි.

පැටි කිරිය ඇරඹුමේ සිට අවසානය දක්වා ලංකාවේ සමාජ ස්ථර කීපයක සිදුවන වෙනස් වීම් ඔහු විස්තර කරයි.

එහෙත් ඒ අතීතය වර්තමානයේ උදාහරණ සමග ගලපමින් ආලෝකබණ්ඩාර මහතා වර්තමානය පිළිබඳ අසතුටු සිතින් කතා කරන අවස්ථාද බොහෝ හමු වේ. ඒ කාලෙ එහෙමයි... දැන් කාලෙ මෙහෙමයි ආදී සැසඳීම් බහුලය. මාගේ පුද්ගලික අදහස නම් එසේ විස්සෝප වීම අවශ්‍ය නැති බවය. ඒත් අවස්ථා කීපයකදී දැණුන කම්මැලි ගතිය හැරෙන්න 'පැටි කිරිය' ජීවන අත්දැකීම් ඇතුලත් ඒ ආකාරයේ කෘති කියවන්නන්ට රසවත්ව දැනෙන්නට බොහොම ඉඩ ඇති කෘතියකි.

https://www.goodreads.com/si/book/show/54250507