Tuesday 28 September 2021

සමන් වික්‍රමාරච්චිගේ අප්පච්චි ඇවිත් පොත ගැන අදහස්


සමන් වික්‍රමාරච්චි මහතාගේ ‘අප්පච්චි ඇවිත්‘ කියවන්න ගත්තෙ හිස් අදහසකින් යුක්තව. විශේෂ පූර්ව නිගමන නැතිව. මොකද ඒ පොත ගැන එක එක තැන්වලදි ඇස ගැටුන අදහස් අනුව බැලුවම ඒක එකිනෙකාට තේරෙන විධිය අනුව දරුණු විධියට පාඨකයාව ධ්‍රැවීකරණයට ලක් කරපු පොතක්. පොතට කැමතියි හෝ අකමැතියි කියන අන්ත දෙකින් එකකට ලේසියෙන් වැටෙන්න පුළුවන්.

සමන් වික්‍රමාරච්චි මහතාගෙ අසනි වැසි නව කතාව අවුරුදු විස්සකටත් වැඩි ඈතකදි මම කියවල තියෙනව. ඒකෙ අන්තර්ගතය ගැන දැන් මට මතකයක් නැහැ. හැබැයි වික්‍රමාරච්චි මහතාගේ ලිවීම් අස්සෙ වඩාත් නූතන දාර්ශනික අදහස් තියෙන බව මම කියවල තිබුණ නිසා පොතේ අන්තර්ගතය පිළිබඳව නම් යම් අදහසක් නොතිබුණාමයි කියන්නත් බෑ.

පොත කියවන් යද්දි මුලදි අපි හිතනවා පොත අපට අහු වෙනව කියල... නමුත් ටිකකින් තේරෙන්න ගන්නවා අපි පොතට අහු වෙනවා කියල.

හැම මිනිහෙක්ටම තමන් ගැන තක්සේරුවක් තියෙනවා. ඒක මත ඔහු අතින් සැසඳීම් සිද්ධ වෙනවා. ඔහු තමා අවට ලෝකය ගොඩනගාගන්නෙ, දේවල්වලට වටිනාකම් ලබා දෙන්නෙ මේ තක්සේරුව සහ සැසඳීම් මත. සමහර අහඹු අවස්ථාවන්වලදි මේ ලෝකය බිඳවැටෙනවා. එහෙම වෙලාවක මනුස්සයෙක් හැසිරෙන විධියෙන් ඔහු තමන් ගැන තබාගෙන ඉන්න තක්සේරුව හඳුනගන්න පුළුවන්. අපි හැමෝම අඩු වැඩියෙන් ඒ විධියයි. තමන්ව දිය වුණ, තමන්ට වටිනාකමක් නැති ලෝකයක් මනුස්සයෙක්ට ගොඩනගන්න පුළුවන්ද කියන එක සෑ‍හෙන්න පරණ ප්‍රශ්නයක්.

මෙහෙම තත්වෙකදි අපි අපේ වටිනාකම ගොඩගනාගන්න ප්‍රවාද හදාගන්නවා. අපේ ජීවිතය නැවත ගොඩනගනවා. සමහර වෙලාවට අපි ඒවට එක ලේයරයකදි කියනවා ‘පොර ටෝක්‘ කියලත්. පම්පෝරි ජනක වගේ චරිත අපේ අස්සෙත් සුළුවෙන් හරි ඉන්නවා. තමන් විසින් ගොඩනගන තමන් හැම විටම සාධාරණ වෙනවා වගේම ලෝකෙ ඉන්න හොඳම මනුස්සයාත් වෙනවා ගොඩක් වෙලාවට. වැරදි කළත් බොහොම විට ඒ බහුතර සුභසිද්ධිය වෙනුවෙන්. ඉතිං මෙහෙම යද්දි සුළුවෙන් හරි කිසිම අතීත ප්‍රබන්ධයක් නැති මනුස්සයෙක් ඉන්න බෑ කියල හිතෙන්න එකත් සාධාරණයි.

ඔබට අතීත ප්‍රබන්ධ කිසිවක් නැද්ද? හානිකර විධියට නෙවෙයි, අඩු ගානෙ ප්‍රශ්නයකින් පැන යන්නවත් තාවකාලිකව ඔබව නැවත නිර්මාණය කරගෙන නැද්ද? ඔබ සතු අමිහිර මතකයක් හෝ ඔබේ යම් දුර්වල ගුණයක් යටපත් කරවන්න ඔබේ විශිෂ්ට ගුණයකට වැඩි බරක් දීල තමන්ව විනිශ්චය කරලම නැද්ද? එහෙම නම් ඔබ මාරයි!

පොත ලියවෙලා තියෙන විධියත්, අවසානයේ නඩු ශාලාවේ කරන පැහැදිලි කිරීමත් මට ඉතාම රසවත් වුණා. පොතේ කතාව ගොඩ නැගෙන්නෙම අවසානයේ කියවෙන දාර්ශනික කාරණා පැහැදිලි කරන්න කියලයි මට හිතෙන්නේ. ඒ අතින් ඒක මේ වෙන තෙක් කියවල තියෙන පොතකින් නොගෙනියපු අභ්‍යන්තර ගවේශනයකට ඔබව ගෙනියන්න සමත්.

මේ ‘පියාගේ නාමකරණය‘ පිලිබඳ නොයෙක් දාර්ශනිකයන් ගොඩනගල තියෙන දැනුම සිංහලෙන් තියෙන්නෙ ඉතාම අවමයෙන්. ඒ තියෙන ටිකත් කියවල තේරුම්ගන්න එක කරන්න බැරි තරමට අමාරු වැඩක්. ඒකට ඒ සීන් එකේම ඉන්න ඕන. ඒ නිසා එහෙම නැතිව සාමාන්‍ය පරිදි පොතක් කියවගෙන ඉන්න, ඔය පිලිබඳව සාමාන්‍ය උනන්දුවක් සහිත මිනිස්සුන්ට ඒ විෂය ගැන මෙහෙමවත් ලියවෙන එක ලොකු දෙයක්. මම මේ ගැන කලින් අමාරුවෙන් කියවල තේරුම් අරන් හිටපු දේවල් සමහරක් අලුත් වීමත්, අලුත්ම දැනුමක් එකතු වීමත් ‘අප්පච්චි ඇවිත්‘ නිසා සිද්ධ වුණා.

මේ 'පියා පිලිබඳ අදහස' යොදාගෙන ලෝකයේ බොහොම දේවල් නිර්වචනය කරන්න පුළුවන් කියලත් මම කියවල තියෙනවා. මිනිස්සු ගස් ගල් පිළිමවලට වන්දනා කරන එක, ස්වභාවයෙන්ම යම් පීඩිත/ පාලිත/ යටත් වූ මානසිකත්වයක ඉන්න ආස එක, රස්සාවලට ඇවිල්ලත් නිල ඇඳුම් අඳින්න ආස එක වගේ බොහොම දේවල්වලට හේතුව මේ අහිමි වුණ පියා කැඳවාගන්න තියෙන අවිඥානික අවශ්‍යතාවයද කියලත් මට හිතෙනවා. ඒවගේ ප්ලොට් සහිතවත් කාට හරි පොතක් ලියන්න පුළුවන් නම් නියමයි!