Saturday 10 August 2013

ලෝකලයි සීන්ස්

ලෝකලයිසින් ගැන ඒ තරම් විධිමත් අදහසක් මට නැතත් මේ පාර ඒ ලෙවල් කරන කීප දෙනෙක්ට ICT සම්බන්ධව කතා කරන්න ලැබුණු අවස්ථාව ලෝකලයිසින් ගැන ටිකක් හිතන්න මට අවස්ථාවක් දුන්නා.

සිම්පල් විධියම කිව්වොත් සමහර ලෝකලයිස් කිරීම් මට පේන්නෙ විකාර වගේ. අළුත් දැනුමක් ලෝකලයිස් වෙද්දි ඒ දැනුම සංක්‍රමණය වුණ භාෂාවෙන්ම දේශීයව භාවිතා වෙනව ඒක නම් ලොකු පහසුවක් වෙනව කියලයි මට හි‍තෙන්නෙ. උදාහරණයක් විධියට අපි පරිගණක තාක්ෂණයම ගත්තොත් ඒක ලෝකලයිස් වෙන්නෙ පට්ට අමාරු විධියට. පරිගණක තාක්ෂණය සිංහලෙන් ඉගෙනගන්න උත්සාහ කරපු කෙනෙක් ඒක දන්නව ඇති. එතනදි වැඩේ තවත් සංකීර්ණ වෙලා මිසක් ලේසි වෙලා නෑ.

ඉස්සර ඉඳන්ම අළුත් දැනුම ලෝකලයිස් කිරීමේ ව්‍යාපෘති තිබිල තියෙනවා. අනුර සී පෙරේරා, එස්. එම්. බන්දුසීල, ඊ.ඩබ්ලිව්. අදිකාරම් වගේ වියතුන් සිංහල භාෂාවෙන් විද්‍යාත්මක දේවල් ගැන ලියපු ලේඛකයො. ඒ අය ඔය විද්‍යාභිවර්ධන සංගමය වගේ ඒව එක්ක එකතු වෙලා වෙනත් භාෂාවලින් ආපු විද්‍යා දැණුම සිංහලෙන් කියන්න සිංහල වචන හැදුවා. ඊට පස්සෙ බිහි වුණ පරම්පරාවල් විද්‍යාව ඉගෙනගත්තෙ ඒ වචනවලින්. ඒක නිසා හැත්තෑව අසූව දශකවලින් පස්සෙ අපට විද්‍යාව ඉගෙනගනිද්දි ඒක ලෝකලයිස් වුණ දැණුමක් විධියට දැණු‍ණෙ නෑ. විස්තාපනය, ත්වරණය, ප්‍රවේගය වගේ වචනවල තේරුම අපි දන්නෙ නැතිව වුණත් ඒව ඉගෙනගනිද්දි වෙන භාෂාවකින් නිපදවුණ දැණුම කියන වගක්වත් අපට දැණුණෙ නැත්තෙ ඒ නිසයි.

කොහොමත් විද්‍යාවෙන් ඉගෙනගත්ත දේවල් අපේ ප්‍රායෝගික ජීවිතේ එක්ක ඒ තරමට සම්බන්ධ වුණේ නෑ. පස්සෙ කාලෙකදි ඒ සම්බන්ධ විෂයන්වල වැඩ කරන්න ලැබුණ කෙනෙකුට මිසක් අනිත් කාටවත් ඒ දැණුමින් වැඩක් වෙලා නෑ. නිකංම දැණුමක් විධියට ඉගෙනගත්ත මිස ඒව ප්‍රායෝගික නොවුණ නිසා ගිරව් වගේ කටපාඩම් කරන්න කිසි බාධාවක් වුණේ නෑ.

නමුත් පරිගණක තාක්ෂණය ලෝකලයිස් වෙන්නෙ දැන්. ඒ තාක්ෂණය ගැන විධිමත් විධියට දැණුවත් වෙන්න කලින්ම පරිගණක තාක්ෂණය අපේ ගෙවල්වලට ඇවිත් ඉවරයි. ඔය ටෙක් ශ්‍රී ලංකා වගේ ආරම්භක අවදියෙ ආයතනවලින් පරිගණක දැණුම ව්‍යාපාරික මට්ටමින් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න කලින්ම ඒ දැණුම අවශ්‍ය අයට ළං වෙලා තිබුණ.

හැබැයි ඒ ලෝකලයිස් වෙලා නෙවෙයි. අමු ඉංග්‍රීසියෙන්. පරිගණක තාක්ෂණය පැත්තට යොමු වුණ ලාංකික මුල් පරම්පරා කීපයම ඒකට යොමු වෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. තවමත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල පරිගණකය ගැන උගන්වන්නෙ ඉංග්‍රීසියෙන්. මේක මහ ලොකුවට සිංහල කරන්න ඕන වෙලා තියෙන්නෙ රාජ්‍ය අංශයට. පාසල් විෂය මාලා වල සම්පාදකයන්ට. හැබැයි ඒක පට්ට එපාකරවන සුළුයි. ඉස්කෝලවල තොරතුරු තාක්ෂණ විෂය ළමයින්ට කොහොම දැණෙනවද කියල හොයල බලන්න පුළුවන් නම් මේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

මට හිතෙන දේ නම් දැණුම සංක්‍රමණය වෙන භාෂාව ලෝකලයිස් වෙන එක වැඩක් නැති දෙයක් කියල. විශේෂයෙන්ම ලෝකලයිස් වෙනකොටත් මිනිස්සුන්ට අමුතුවෙන් දෙයක් ඉගෙනගන්න වෙනවනම් ඒ ලෝකලයිස් වීමට වඩා මුල් භාෂාවෙන්ම ඉගෙනගන්න එක වඩා පහසුයි.

මෙතනදි ගැටළුවක් වෙන්නෙ වෙන භාෂාවකින් කියවෙන දැණුමක තියෙන පාරිභාෂික වචන ලෝකලයිස් වෙන්නෙ කොහොමද කියන එක. විශේෂයෙන්ම වෙනත් භාෂාවක වචන ඒ විධියටම පාවිච්චි කළොත් ලෝකල් භාෂාව හසුරුවද්දි තියෙන ආවේණික ලක්ෂණ  වෙනස් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි උපකරණ සිංහලට ලෝකලයිස් වීමේදි පාවිච්චි වෙන 'එක' කියන වචනෙ සෑහෙන්න පාවිච්චි කරන්න වෙනවා. 'සීපීයූ එක', 'මව්ස් එක', 'කී බෝඩ් එක' වගේ. 'මොනිටර් එක' මේ වෙද්දි 'මොනිටරය' විධියට පාවිච්චි වෙනවා. නමුත් හැම වචනයක්ම එහෙම සුමටව සිංහලීකරණය කරන්න අමාරුයි.

ලෝකලයිස් වීම අවශ්‍යයි කියන අයට තියෙන ප්‍රධාන තර්කයක් විධියටත් ඒක මතුවෙනවා. භාෂාවේ සුමට බව විනාශ වීම. නමුත් ඒක ඒක ඒ තරම් ප්‍රශ්ණයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. දැනටමත් අපිට ගාණක් නැතිව සුමට වෙලා විශේෂත්වයක් නැතිව මුල් වදනයෙන්ම ලෝකලයිස් වුණ වචන කොයි තරමි තියෙනවද? අපි පාවිච්චි කරන සමහර පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි වචන වෙන භාෂාවකින් ආව බවක් අපි දන්නෙවත් නෑ. මොකද වචනවල තියෙන නුහුරු වීම කාලයක් යද්දි සාමාන්‍ය වෙනවා. අනික මවුස් එකට මූෂිකය කියල කොච්චර පොත්පත්වල ලිව්වත් ප්‍රැක්ටිකලි නොකියවෙන දෙයක්. එහෙම වුණා කියල අමුතුවෙන් භාෂාව දියුණු වෙන ඉලව්වක් වෙන්නෙත් නෑ. තව සංකීර්ණ වෙනව මිස.

නමුත් ලෝකලයිස් වීම ව්‍යාපාරික අගයක් ලැබෙන දෙයක් බවට පත්වීගෙන යද්දි මිනිස්සු කැමති වුණත් නැතත් ඒක අනිවාර්යයෙන් ‍සිද්ධ වෙන දෙයක් වෙයි. ඒ වගේම දේශීයත්වය ප්‍රමෝට් කිරීමෙන් ලකුණු දමාගැනීම වගේ මේ කාලෙ ලේසියෙන් පොර වෙන්න පුළුවන් අවස්ථා මගඅරින්න කට්ටිය ලෑස්ති වෙන එකකුත් නෑ.