Monday 29 September 2008

ක්‍රමය

මේක මේ අවකාශේ අපේ බෝ දාපු පින්තූරෙකට මම ලියපු එකක්....

ඕන නම් ගිහින් බලන්න කට්ටිය මේ එකම පින්තූරෙට දාපු කවි.




මා වටා
මා උපන් දා සිටම
වෙලී මා අඳුරු කර
කළුවරේ හිඳවූ
මට සිලිටි නැති
හතරැස් ක්‍රමය...

නුඹ තුලම
නුඹේ විලසින්ම
කවුලුවක් තැනුවෙමි

අඳුරේ සිට වුවද
දැන් මට හැකියි
නිදහසේ ඉම දකින්නට

අවැසි නම්
මට උවමනා විටෙක
නුඹ හැරදමා
සයුරේ පාවී
ක්ෂිතිජයෙන් එහා
මා කැමති අහසට
පනින්නටත්
හැකියි දැන් මට

© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28




Sunday 28 September 2008

මගේ පුනරුත්පත්තිය

මගේ පුනරුත්පත්තිය

ආදරය නම් විදුලිය
හදවත විනිවිද ගොස්
මා මිය ගියා

නැවත

ඇය තුල
පිලිසි‍ඳෙන්නට පෙර



© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28




Saturday 27 September 2008

නුගේගොඩ අං දිය

අද (2008-09-26) මම හවස 3ට විතර නුගේගොඩ බෝ ගහ ගාව හන්දියට ගියේ පරණ නුගේගොඩ හන්දිය පැත්තට යන බස් එකක් ගන්න. වෙනදට සීරුවට තමන්ගෙ වාරයෙදි හන්දිය හරහා ගමන් කරන වාහන රොත්තක්ම අද හන්දිය මැද විවිධ දිශා 6-7කට හැරිල පොදි ගැහිල තිබුණ. මෑතකදි නොදැකපු දසුනක් නිසා බලද්දියි තේරුණේ වර්ණ සංඥා පුවරු වැඩ නොකරන බව. කොහොමත් වෙනදට එහෙම නොවෙන වෙලාවලදි එතන පොලිස් නිලධාරියෙක් ඉන්නව වුණාට අද කවුරුත් නෑ. ඉතිං හැමෝම එක පාර හන්දියෙන් එපිටට යන්න වලි කනවා. කාටවත් යන්න බෑ. කවුරුවත් පස්සට ගිහින් අනිත් පැත්තක ‍ඉන්න කෙනෙක්ට ඉඩ දෙන්නෙ නෑ වගේම කාටවත් පස්සට ගන්නත් බෑ. මොකද පිටිපස්සෙ වාහනේ තියෙන්නෙ පස්ස ඉඹින්න ඔන්න මෙන්න. යන්තම් ඉදිරියෙ තියෙන වාහනේ අඟල් කීපයක් ඉදිරියට ගිය ගමන් කට්ටියම ඒ ගානටම තමන්ගෙ වාහනෙත් ඉදිරියට ගන්න නිසා ආයෙ පස්සට යන්න ඉඩක් නෑ. ඉතිං හැමෝම මැද හිරවෙලා.

කොහොම හරි ඔන්න තම තමන්ගෙ දක්ෂතාවය උඩ කට්ටිය හන්දිය පහු කරමින් හිටියා. යතුරු පැදි අයියල අස්සෙන්, හරහට දාල හැමෝටම වඩා ඉක්මනින් ගියා. මම ගොඩවුණ 163 බස් රියේ රියදුරු මහත්තයත් ලොකු යුද්ධයක් කරල හන්දිය පහුකලා. ඊට පස්සෙ එයා ඇරිය විදුලිය වගේ. මොකද එයාගෙ යාළුවෙක් පිටිපස්සෙන් එමින් හිටිය.

මට මේ යක්කු මොනව කරගත්තත් එකයි.

මට කියන්න ඕන කලේ පාලනය ගැන. වෙනදට වර්ණ සංඥා පද්ධතියට අනුව සීරු මාරුවට යන උදවිය ඒව නැති වුණාම පුක කැඩිච්ච කඩි වගේ. තමන් විතරයි කියන හැඟීමෙන් යාගන්න දඟලනවා. ඒකට එයාලට වරදක් කියන්න බෑ. system failures වලදි usersල තමයි ෆිස්සු කෙලින්නේ. කොහොමත් ස්වභාවිකවම මිනිසා ප්‍රචණ්ඩකාරී සත්ත්වයෙක්නේ. එහෙම නොවුණ නම් මෙහෙම ලෝකය වෙනස් කරගෙන ඒක යම් විධියකට පාලනයකුත් කරගෙන ඉන්නෙ කෙහොමද? මිනිසාට ස්වභාවික සත්ත්වයන්ගෙන් අභියෝගයක් නැති හින්දම මිනිස්සු තමන්ගෙ දැනුම වෙනත් දේවල් වලට යෙදවීමේ ප්‍රතිඵලය තමයි මේ විධියට දියුණු(?) වීම. ඒ දියුණුව හරහා මිනිස්සුන්ට තව දුරටත් ප්‍රචණ්ඩකාරී වෙන්න ඕන වුණේ නැතත් වෙනම ආකාරයකට මේ ප්‍රචණ්ඩත්වය පැවතුණා සහ පවතිනවා අළු යට ගිණි පුපුරු වගේ.

කාලයක් යද්දි මේ ප්‍රචණ්ඩත්වය සහ බලය පිලිබඳ හැඟීම එක්ක විවිධ කණ්ඩායම් සහ පන්ති වලට සමජය බෙදීමත් එක්ක ඒක වෙනත් විධියකට සමථයක් කරන්න ආගම් සහ දර්ශණයන් බිහි වුණා. නොයෙක් පාලන ක්‍රම බිහි වුණා. ඒ හරහා මිනිස්සු පාලනය වුණා. යම් ක්‍රමයකට හැඩගැහිල ඉන්න පුරුදු වුණා. කාලයක් තිස්සේ මේක වෙමින් තියෙනවා තවමත්.

ඒත් ඒ නිසා කියන්න බෑ ඒ හුරු වුණ දේවල් අපි තුල මුල් බැහැල කියල. අවස්ථාවක් ආපු ගමන් අපි ආයෙත් අර වනචාරී පිරිසම තමයි නේද? මේක මාත් ඇතුලත්ව හැමෝටම පොදුයි. ඉස්කෝලෙ යන කාලෙ පන්තියෙ ගුරුවරයෙක් නැත්නම් පන්තියෙ එකම ගාලගෝට්ටියක්. ආයතනයේ ලොක්ක නැත්නම් සේවකයො ඉන්නෙ ගෙදර ඉන්නව වගේ. නුගේගොඩ හන්දියෙදිත් ඒක හොඳටම පැහැදිලි වුණා. අන්තිමේ බලද්දි අපි හැමෝම මේ සිස්ටම් එක ඇතුලෙ තියෙන සීමා වලට හිර වෙලා තමයි ඉන්නෙ. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ පාලනය කරල තියෙන හැඟීම් සේරම එලි බහිනව අවස්ථාවක් ආ ගමන්. ඒ වෙලාවට අපි ඉගෙන ගෙන තියෙන, පුරුදු වෙලා තියෙන, අවබෝධ කරන් ඉන්න කිසි දෙයක් මතකවත් නැති වෙයි.

ආගමික අදහස් අනුව නම් කියවෙන්නේ ඒ නිසා පසුව පසුතැවිලි වෙන්න වෙන බවයි. මොකද මේ හිරවුන හැඟීම් ඔස්සේ තමයි පාපයන් සිද්ධ වෙන්නේ. ඒ පාපය සිදුවෙන අවස්ථාවෙදි ඉගෙන ගත්තු කිසිම දෙයක් හිතේ නෑනේ. ඉතිං සිද්ධ වෙන දේ ගැන වැටහීමක් නෑ.

හික් හික් කතාව ඉවර කලේ කිසිම තේරුමක් නැති දෙයක් ගැන කියවල. කවුරු හරි අහයි ආගම් තේරුමක් නැතිවෙන්නෙ කොහොමද කියල. ආගම් වල නම් ‍‍තේරුමක් තියෙනව තමයි. ඒත් අද කවුද ආගම් වල කියන ඒව හරියට තේරුම් ගන්නේ....




Tuesday 23 September 2008

විප්ලවය - මගේ විප්ලවීය මිතුරන්ට

විප්ලවය


නුඹත් මමත් එක්ව
නොපිට පෙරලුනු ලෝකය
පෙරලන්නට හොඳ පිටට
කරන විප්ලවය
ඇත්තටම කාටද
ලොවටද...
අපටද...

එසේ පෙරලුවත් අප
සිහිනෙන් හෝ ලෝකය
එය පෙරලී පවතීද
සදහටම...

ලොව එතෙක් මෙතෙක්
පිරිපුන් මිනිසුන් නොමැති කල
එසේ වන්නට තැත් දරා
පෙරලෙන්නේ අපම පමණද...

උපන් දා සිට
නා නා විසූක දස්සන
උදේ හවා පානය කොට
මත් වී හිඳින මිනිසුන්
කෙසේ පිලිගන්නද
ඔවුන්ගේ මත් බව...

රජ පෙල පතින් උරුම වූ
බුදුන් සතු වූ බලය
බුදුන් ජීවත් කරවූ සේම
අදටත් වලංගුද එලෙසින්ම
විප්ලවයට...

ජේසුන්ට නොමැති වූ එම බලයම
ජේසුන් කුරුසිපත් කරවූ ලෙසම
වලංගුයි අදටත්
බලය නොමැතිව
ලොව තනන්නන් සියල්ලට
එම සේම...

නමුත් මියැදෙන්නේ
කා වෙනුවෙන්ද
කැපවන්නේ කාහටද
බේබද්දන් වෙනුවෙන්
දිවි පුදන්නේ කුමටද

...

ලොව පෙරලා පලක් නැත
එය නිති ඒ මේ පෙරලෙන
ස්වභාවයේ නීතියට යටත් හෙයින්
ලොවින් එපිටට ගොස්
නුඹට යා හැකි බව දැන
නැවතත් එන්න කූඩුවට
ජීවිතය විඳින්න

ලොව දෙස බැලූ විට
විශ්වය හා සමව ගෙන
අත්‍යුනික කාලයක්
එහි වසන අප
සිහින පමණක් දකිමු

සිහින තුල අපවම සොයා
අපට හමුවූ පසු අප
නිහඬවම
වෙනස් වන ලොව දෙස බලා
සිනාසෙමු
විප්ලවය ඉවත හැර
වෙළෙඳුන්ට විකුණන්න දී එය
බේබදු ලෝකයට
බීමත් ආතල් වලට...


© හරේෂ් එරංග ද සිල්වා
2008-09-23





Sunday 21 September 2008

අපි පොත් අතර සහ ඇයයි මමයි

අද දවස (2008-09-20) මෑතකදි මම ගත කරපු හොඳම දවසක්...

සති කීපයක ඉඳන් කතා වුණ විධියට අද දිනය තුල අපේ හමුවීම සඳහා උදේ මම නුගේගොඩ බෝ ගහ ගාව හිටිය කට්ටිය එකතු වෙනකල්. උද්‍යෝගයෙන්. පාරෙ පන්ති ගිය නංගිලා මගේ ඇස් පිනවද්දි මම හිතුව කට්ටිය ටිකක් ප්‍රමාද වුණා නම් හොඳයි කියලා. :p ඒත් වැඩි වෙලාවක් නොගිහින් කළු ඇඳගත්තු උස හාදයෙක් ඇවිත් මට කතා කලා. ඒ පාකර් හෙවත් දම්ස් හෙවත් මහේන්ද්‍ර ධම්මික මල්ලි. හරිම ලස්සන හිනාවක් එක්ක සිහින් කටහඬක්. හරිම දැවැන්ත කසුන් කල්හාර කෙනෙක් කියල මට හිතුණ. අපි දෙන්න කදේ දාගෙන ඉද්දි මගේ දුරකථනයට බෝමන් කතා කලා අඩි කීපයක් එපිට ඉඳන්. හික් හික්... මට මායි බෝයි රවියි තුන්දෙනා සෙට් වීම මතක් වුණා. එදත් ඕකම වුණා මට. ඔන්න ඉතිං බෝ සහ සමීරම් දෙන්නත් ඇවිත්. බෝ ගැන කියන්න දෙයක් නෑනෙ ඉතිං. මාව කඳු තරණය කරන්න එක්ක යන මිතුරන් අතර තවත් එක පිස්සු කේස් එකක් හරිම ‍හුරතල් අර හිනාවයි රැවුලයි එක්ක. සමීරම් නම් කොණ්ඩෙ නැති මම වගේ. එයාට මටත් වඩා පිස්සු කියල මලී පසුව කිව්වා. සමීරම් ‍බෝ වගේම කට වාචාලයෙක්. එයා ටිකක් අර චිත්‍රපටි අධ්‍යක්ෂ සෙනේෂ් බණ්ඩාර දිසානායක වගේ කියල මට හිතුණ.

තව දෙන්නෙක් එන්න හිටිය. ඒ දෙන්න එනකල් අපි ඒ කඩ පේලිය කෙලවර ඉන්දියානු කෑම කඩේට ගිහින් එලවලු සහ මාංශ මිශ්‍රණයක් වටේ පිෂ්ඨය ඔතල තිබුණ කෑමකින් සප්පායම් වුණා. ඔය අතරෙ ආවා ඊළඟ සාමාජිකයා හෙවත් පමිත්... හප්පා එයා හරි ලොකු කඩවසම් හැඩි දැඩි සිරුරක් තියෙන මල්ලියෙක්. එයාගෙ මූණෙ හැඟීමක් තිබුණෙ නෑ. ඒත් එයාගෙ සිතිවිලි දන්න නිසා මම දැනං හිටිය එයා තුල ඉන්න පමිත්K ව බාහිරින් එයා ගල් කන්දක් වගේ.. එයත් අපිත් එක්ක කතාවෙන අතරෙ ශිවාගෙන් ඇමතුමක් ආවා. එයා එතනට ඇවිත් අපිව හොයනවා. එයා හෝටලය තුලට ගෙන්වාගත්තා. ශිවා හෙවත් ශිවන්ත සුදු මට වඩා ටිකක් මහත කණ්නාඩි මූණක් තියෙන හරිම සැහැල්ලුවෙන් හරිම සුහදතාවයෙන් ඉන්න කොල්ලෙක්. බොහොම සුළු දේට පවා මහ හයියෙන් හිනාවෙමින් එයා කතා කලා...

ඉතිං ඔන්න නුගේගොඩ ඉඳන් බස් දෙකක ඇවිත් අපි කට්ටියම පෝලිමට එකතු වුණා BMICH එක ඉදිරියේ. මේ වතාවෙ රුපියල් 10ක ටිකට් එකක් ගන්න වුණා අපට. ඒක හොඳයි කියල මට හිතුණෙ රුපියල් 10ක් ඇතිද කියන පුරස්ණයත් එක්කමයි. කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල විලාසිතාවක් විධියට වන්දනා කරන අය නිසා නිදහසේ පොත් තෝරන්න සහ මිලට ගන්න ඒ වෙත එන පාඨකයන්ගේ නිදහස ඇහිරුණා කියන චෝදනාව ඇත්තක්. සමහරු ඒකට යන්නෙ වෙන වෙන වැඩ වලට. ඒක හරහා තමන්ගෙ වෙනත් හිස්තැන් පුරවගන්නත් සමහරු ඒකට ආවා. මම දන්න පොත් පාඨකයින් කීප දෙනෙක් එක්කම කතා කරපු වතාවකදි එයාලත් මේ ටිකට් ක්‍රමය සාධාරණීකරණය කලා. කොහොම හරි මේ වතාවේ ඇතුල්වීමේ ගාස්තුව රුපියල් 10යි.

අපි පොකුණ පහු කරන් ඒකට පනින්න නොහැකි වීම ගැන පසුතැවෙමින් ප්‍රධාන ශාලාවට ඇතුලු වුණා. ටික දුරක් යන්න ලැබුණෙ නෑ. අපේ යාළුවෙක් අපට ඉදිරියෙන් ඇවිත් අපව පසු කලා ගෑණු ළමයෙක් එක්ක. අපි කට්ටියම හොඳින් දන්න නිසා අපි එයාට කතා කලාට එයා අපට හස්ත මුද්‍රාවෙන් කතා කරන්න බැරි බව කියල වහාම ගියා. අපි පුදුම වුණා. එයා ගැන තර්ක කලා. කොහොම හරි එතනින් එහාට ඒක අරන් යන්න ඕන වුනේ නෑ.

අපි පොත් අතරට එකතු වුණා. ප්‍රදර්ශණයේ පළමු දවස් වීමත් අපි ටිකක් උදෙන්ම පැමිණි නිසාත් වැඩිය සෙනගක් හිටියෙ නෑ. වෙන වතාවලදි ප්‍රධාන ශාලාවට ඇතුල් වුණ ගමන්ම තියෙන කොරිඩෝරය හරහා එහා පැත්තට යන්න පුදුම සටනක් කරන්න වෙනවා. අපි හිටපු වෙලාවෙ ඒ තරම් සෙනගක් නොහිටියත් වෙළඳ කුටි තුල නම් සැලකිය යුතු කොටසක් හිටියා.

ඔය අතරෙ අපේ එකම කාන්තා සාමාජිකය හෙවත් මලී මෙනෙවිය සම්ප්‍රාප්ත වුණා. :p එයාගෙ අම්ම එක්ක. එයා ගැන නම් නොකියන එක හොඳයි. මම කියන්න ගියොත් මොනා කියවෙයිද මන්දා.. හික් හික්.. වැඩිය කතා කරන්න ලැබුණෙ නෑ ඉතිං. ;) කොහොම වුණත් කලින් දැකල නැති නිර්මාණ සහ අදහස් හරහා අඳුණගෙන හිටපු යාළුවො ටික අඳුණ ගන්න ලැබීම සතුටක්. මම හිටියෙ උපරිම තෘප්තියෙන් ඒ මොහොතෙ. ඔය අතරෙ ආවා තවත් යාළුවෙක්. ඒ අපේ මහ ගෙදර අසිත-k හෙවත් අසි. සරල කොල්ලෙක් හරිම classic ගතියක් තිබුණා. පන්තියකට සහභාගි වෙන ගමන් අපිව බලන්නම ඇවිත්. හරිම සුන්දර හමුවීමක්...

ඉතිං අපි පොත් කුටි අතර සරමින් පොත් බලමින් සහ මිලදී ගනිමින් රවුම් ගැහුවා. බෝ ජීවිතය පිළිබඳ පොත් හොයන අතරෙ මම හෙව්වෙ කාලයකට කලින් කියවපු පොත් නැවත මුද්‍රණය කරල තියේද කියලයි. සමීරම් මාර්ටින් වික්‍රමසිංහගෙ පොත් එකතුවක් හෙව්ව. අනිත් අය මොනා හෙව්වද මන්දා. මලී මොනවදෝ පොත් ලැයිස්තුවක්ම උස්සන් ඇවිත් තිබුණ. අපි වගේයැ ගෑණු. ඒ පොත් සේරම ගත්තද කොහෙද. සමීරම් මං වගේම විද්‍යා පුබන්ධ රසිකයෙක් කියල මට වැටහුණා. එයත් ආතර් සී. ක්ලාක් පිස්සෙක්. දෙන්නම සිංහලට පරිවර්තිත විද්‍යා පුබන්ධ සියල්ලක්ම වගේ කියවල තිබුණ. මට මාර ගතියක් ආව ඇඟට. එක වගේ ගස් ටිකක් අන්තිමේ මෝලෙදි සෙටා වෙලා... හික් හික්..

අපි 2 විතර වෙනකල් හිටියා පොත් අතර. විවිධ විකාර දොඩවමින් අපි ඇවිද්දා කකුල් රිදෙනකල්. අවසානෙදි කෝක් වඩියකින් තොලකට තෙමාගෙන අපි ආවා...

------------------------------------

සතුට සොයා යාම පිළිබඳ සටහනක් ලියන්න සෑහෙන කාලෙක ඉඳලා උත්සාහ දරමින් සිටියත් කාලය සහ නිර්මාණාවේශය පිළිබඳ ගැටළු නිසා ඒක ටිකෙන් ටික යට ගැහුණා. ලඟදීම බලන්න පුළුවන් වෙයි. අද දවස පුරා මම ලැබුවෙ මම හොයාගෙන ගිය, ඒ හරහාම පරිසමාප්ත වුණ සතුටක්. එක වගේ යාළුවො ටිකක්. විවිධ දේවල් හදාරන, දැනුම සොයන කට්ටියක්. ඒ නිසාම කවදාවත් කතා කරන්න දේවල් නැතිව ගොළු නොවෙන පිරිසක්. එකම දෙයක් වෙනුවෙන් කතිකාවතක්. විවිධ තර්ක විතර්ක තියෙන නමුත් ගැටීම අවම සම්බන්ධ ටිකක්. හරිම අපූරුයි. මම ගෙවපු හරිම සුන්දර උදය වරුවක්. ඇත්තටම මම හරිම සන්තෝෂයෙන් ගෙවපු උදය වරුවක්...

ඒත් ඒ සතුට එක්කෙනෙක් නිසා සවස් වරුවෙදි අහිමි වුණා මට. :( සවස් වරුවෙ මම වෙනම මම කෙනෙක් වුණා. මම ඒ තුල වෙනම සතුටක් ලැබුවා. කිලෝමීටර කීපයක් ඇවිදල අපි අපේ සුපුරුදු අවන්හලට ගියා සප්පායම් වෙන්න. ඒ වෙලාවෙ සම්පූර්ණ අවන්හලම පිරිල තිබුණ මොහොතක අපි දෙන්නා අසරණව ආයෙත් යන්න සූදානම් වෙද්දි අපට අඬගහල අසුන් දෙකක් දීපු අයියට ගොඩක් ස්තූතියි. අපි දෙන්නම එයාට හිනාවකින් ස්තූති කලා. ඉතිං ආයෙත් මට උළුදු වඩේ පාරක් දාන්න ලැබුණා ප්ලේන්ටි වීදුරු 1½ක් එක්ක. ඒ එක්කම පලතුරු ආශ්‍රිත කෑම වර්ග දෙකක්ම අපි බඩට දාගත්තා.

අන්තිමේ අපේ අත් අතර පැටලිලා අයෙත් අපි පාරට බැස්සා. ඇය මාව නැවතත් ඇයත් මාත් තනිව ඉන්න ලෝකයට ගෙන ගියා. මිනිස්සු අපට හිනා වුණා. අපි දිහා බැලුව කන්න වගේ. ඒ සේරම මට වැ‍ටහුණා. ඇයටත් ඒ වගේම වැ‍ටහෙන්න ඇති. ඒත් ඇය මාත් එක්ක ඇවිද්දා මුළු ලෝකෙම අමතක කරල. ලෝකයට අනුව අපි පරිසමාප්ත පෙම්වතුන් නොවෙන්න ඇති. ඒත් අපි දන්නවා අපි කවුද කියලා... ඇයයි මමයි අපේ යාළුවොයි.

ඒක එහෙම තමයි ඉතිං.

අන්තිමේදි හික් හික් තමයි කියන්න වෙන්නේ.



Thursday 18 September 2008

මගේ පරිපූර්ණ ප්‍රේමය - now online

මගේ පරිපූර්ණ ප්‍රේමය - now online

අප තුලම අප නසා
උනුන්ගෙන් පුරවා
ලබන සෙල්ලම් වින්දනය
අප අපට අහිමි කරවන බව දැන

පෙර විඳි ඒ විසල්
ලොවට පිදූ ප්‍රේමයත්
දියව ගොස් අප තුලම
ගුලිව හැකිලෙන අරුම දැන

මහා සිතුවිලි දරන්
අ‍ප ගෙතූ කව් පියලි
එකම එක් අබැටකට
අර අදින බවද දැන

පුංචි කව්ලුවක් තුල
දොඩමලුව විකාරව
මකුළුවන් අන් කවුළු
දැල් බඳින බවත් දැන

විමසුවා ඇය මගෙන්
දෑස් හැර බලන්නට
නැවත ලෝකය දෙසම
ගිණි දැලින් අළුව යන

මා සිතූ සියල් දෑ
ඈ ම කී නියාවෙන්
ප්‍රමෝදව ඈ මතින්
මා ද ඈ සිතින් සිඹ

තෙපලුවා රහසින්ම
ඇත්තමයි...
නුඹ මගේ
පරිපූර්ණ ප්‍රේමයයි!





Wednesday 17 September 2008

කැබලි

කැබලි


නුඹ

මා
අවුල් වියවුල් කර
මා සුනු විසුණු කර
කැබලි දසත විහිදුවා

නැවත

ඒ බිඳිති

දෑතින් එකින් එක
ගෙන හෙමින් සීරුවට

මා නැවත
පිළිවෙලට

ගොඩනගන අපූරුව




Friday 12 September 2008

කියාගන්න බැරි එක...

කියාගන්න බැරි‍ තරම් විශාලව සහ වදන් විරහිතව හිර වෙන ආදරය.....

හික් හික්.. මේක කවදාවත් වචන වලින් කියන්න බෑ තමයි... නමුත් ඉතිං පොදුවෙ හඳුන්වන්න ඕන හින්දා ආදරේ කියල නමක් දාගෙන ඉන්නව වුණාට සහ ඒ තුල විවිධ යෙදුම් එක්ක ඒ පිළිබඳ පොදු කතිකාව පවතිනව වුණාට ඇත්තටම නම් ඒක අතිශය පුද්ගලිකව දැණෙන වෙන කෙනෙක්ට දැණෙන විධියෙන් සහමුලින්ම වෙනස් හැඟීමක්...

එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් ආදරය තුල ඒක පොදු වෙන්නෙ ඒක තුල ඉන්න දෙන්නට විතරයි. මොකද ඒකනේ එයාල ආදරය කරන්නේ.. ඒක එයාලට දැණෙන්නෙ එයාල ඇසුරු කරපු, කරන දේවල්, පුංචි කාලෙ ඉඳන් ජීවත් වුණ විධිය, ආදරය කරන වෙනත් දේවල් වගේ විශාල පරාසයක දේවල් ටිකක් එක්කයි. ඒ දේවල් අනන්‍ය වෙන්නෙ එයාලට විතරයි. ඒ නිසා ඒ ආදරය එයාලට පුද්ගලිකයි. හැඟීමක් විධිය‍ට පවා එහෙමයි.

හැඟීමක් කියන්න වචන තියෙනවද? මං දන්න තරමින් නෑ. මට මතක් වෙනව මගේ භෞතික විද්‍යා ගුරුතුමෙක් වන පතිරණ සර් කියපු කතාවක්. එයාගෙ එකක් නෙවෙයි. එයත් කොහෙන්දෝ උපුටගත්තු එකක්. නන්දදාස කෝදාගොඩ මහත්තයගෙන්ද මන්දා. කොහොම හරි මට මුලින්ම ඇහුණෙ මගේ සර්ගෙන්.

"වේදනාව විග්‍රහ කරන්න පුළුවන්ද මේ වගේ අහවල් එකක් කියලා. බෑ. ඒත් අපට පුළුවන් කෙනෙක්ව කොනිත්තල ඒ දැනෙන හැඟීම වේදනාව ය කියල කියන්න. ඒ හැර වේදනාව හෝ වෙනත් ඒ වගේ හැඟීම් විග්‍රහ කරන්න වචන නෑ. ඒව දැණෙන්නම ඕන"

ආදරෙත් ඒ වගේ තමයි. ඒක දැණෙන්න ඕන. කවදාවත් කවි වලින්‍ හෝ සංගීතය, චිත්‍රය වෙනත් කිසිම කලාවකින් ඒක ඒත්තු ගන්වන්න බෑ. ඒත් ඒක දැණෙන කෙනෙක්ට මේ සකලවිධ කලාව හරහාම ආදරය විඳින්න පුළුවන්. ඒකට ආදරය දැණෙන්න ඕන. ඒක විඳින්න ඕන.


හිටපු ගමන් මේ බයිල කියවන්න ගත්තෙ අද දවසෙ මම ආදරයෙන් උපරිමව මත් වුණ හින්දයි. ලෝකෙ මෙතෙක් ඒ වගේ මත් වෙන්න පුළුවන් ආදේශකයක් හදල නෑ. හැදෙන්නෙත් නෑ. ආදරයම පමණයි. අද දවසෙ කාලෙකට පස්සෙ දිගු කාලයක් අපි දෙන්නා කතා බහ කරල බොහොම අමාරුවෙන් වෙන් වෙලා යන්න ගියා. බස් එකේ යද්දි මම හිටියෙ දැකපු හීනයකින් නැගිටගන්න බැරිව වගේ. මත් වෙලා.

මම වහාම ඇයට මිනි කවියක් යැව්වා දුරකථනයෙන්...


නුඹෙන් සිත පිරී...


මට මා...


අහිමි වන මොහොත...
...
..
.

නිවනටත් ඉහල යැයි


සිතේ මට...



මේකෙ මේ පේලි අතර ඉඩ ඕනමයි.. ඒ තුල මට කියාගන්න බැරි දෙයක් හැංගිල තියෙනව. ඔයාලට ඒක දැණෙනව නම් මරේ මරු.

කතාව ඉවර නෑ. අපේ උන්දැත් ඉතිං ම‍ට දෙවෙනි වෙන්න කැමති නෑ. මගේ කෙල්ලනෙ ඉතිං! හික් හික්.... එයත් අනිත් පැත්තට එව්වා කවියක්. ඒ වුණාට එයා ලියන කවි. :p මෙලෝ රහක් නෑ.. මම ඉතිං එයාගෙ අවසරය පිට ඒක ටිකක් ඔප මට්ටම් කලා. එයා මොකද මම මොකද.. හික් හික්...


මුළු ලොවම
පාට තැවරූ සිත්තමක් සේ
නිශ්චලව බොඳව යයි...

මම

නුඹ අසල

රැ‍ඳෙන විට



හ්ම්...


අදට මේ සිහිනයෙන් මිදෙමි
නැවත ලොවම බොඳ වී
අප පමණක් සිටින දිනක්
යලි විඳින්නට
උදා වන තුරු...



මට නම් මේ කවිය හරහා මගේ පෙම්වතියව නැවත කියවන්න පුළුවන්. ඇයත් මම වගේම මත්වෙලා ඉන්නෙ. මට කිව්වා තවම කැ‍රකෙනවා කියලා.. හික් හික්...

ඉතිං මේ සටහන ඇය වෙනුවෙන්.. අපේ ආදරය වෙනුවෙන්.. කවදාවත් කියාගන්න අපොහොසත්, ඒත් අපේ හිතේ පූදින හැම සිතිවිල්ලක් පුරාමත්, අපේ ඇ‍‍ඟේ හැම රුධිර බිඳුවක් පුරාමත්, ඇ‍ඟේම තියෙන සෛල ඇතුලෙ තියෙන පරමාණුවල බිඳින්න බැරි පුංචිම කොටස දක්වාමත් කා වැදිල ජීර්ණය වෙලා තියෙන අපේ ආදරය වෙනුවෙන්...

මේ ගීයත් ඇය වෙනුවෙන්. තිබුණෙ kasshapa කියන යාළුව‍ගෙ ඔබනල නිවසේ. එයාල ‍වගේ අය ඉන්න එක කොයි තරම් දෙයක්ද? එතනට ගියොත් තවත් ලස්සන සිංහල ගීත ගොඩක් බලන්න පුළුවන්.



Sasara Serisaranathek - Victor Rathnayaka

Thursday 11 September 2008

රවි මත් වී - මොහාන් හොඳින් - අබා පැත්තක

මේක අපේ රවි මහත්තය ටිකක් මත් වෙලා ආපු දවසක අපේ තවත් පාරිභෝගික මිතුරෙක් වන මොහාන් හෙට්ටිආරච්චි අයිය එක්ක කරපු දෙබසක්. කොහොමත් රවි මහත්තය බිව්වම මාර ගති. හරියට අපේ තාත්ත වගේ. වටේම අය‍ට සතුට බෙදනවා. එයා තුල කොහොමත් වැඩ වාසය කරන විනෝදකාමියාගෙත් හොඳම කොටස එලියට එනවා දෙකක් දැම්මම. හික් හික්...

මේකට නිදාන කතාවක් තියෙනවා. මූල බීජය ආයෙත් අබා. අබාට විරුද්ධව පුංචි පුංචි සංස්කෘතිකමය විසංවාද මතු වුණානේ. මොහාන් මහත්මය මේ විසංවාද වලට එකඟව අබාට බැන්නා අපිත් එක්ක. එයා වැඩ කරන්නෙත් චිත්‍රපට කෙෂ්ත්‍රයේ නිසා අපි නම් ඒව ගනන් ගන්නෙ නෑ. එයා හරිම හොඳ මනුස්සයෙක්. ඒ වුණාට විෂයානුබද්ධ සාකච්ඡා වලදි එයත් ඉන්නෙ කණ්නාඩි දාගෙන. ඒව එහෙම තමයි.

කොහොම හරි මොහාන් අබාට බැණපු කතාව අපි රවිට කිව්ව. රවි අබා බලල නෑ මේ වෙනකල්ම. ඒත් එයා සංවේදී මනුස්සය නිසා අබා නොබැලුවත් කලාව කලාව විධියට රස විඳින්න තියෙන හැකියාව උඩ අබාට විවේචන ගෙනාවෙ නෑ. මේ දෙන්නම මගේ හොඳම පාරිභෝගිකයෝ. රස්සාව වෙනම සහ මිත්‍රත්වය වෙනම පවත්වගන්න මෙයාල දන්නවා. ඒ නිසා ඕන දෙයක් මම සහ මගේ දෙපස ඉන්න සගයො එක්ක කියවන්න මෙයාල මැලි නෑ. වැ‍ඩේ කෙරුණත් නැතත් මෙයාල අපේ ළඟ ඉඳන් මොනා හරි දේවල් ටිකක් කියෙව්වොත් ඒ දේවල් වල ගන්න දේවල් සහ පැලෙනකල් හිනාවෙන්න දේවල් තියෙනවා. ඒ නිසා මෙයාල දෙන්නටම අපි කැමතියි.

මට මතකයි මොහාන් මහත්තය අර රූපවාහිනී චැනලයක නර්තන තරුව තෝරපු දවසට පහුවදා කියපු කතාව.

"අද මට මාර සතුටුයි අප්පා.. දැන් අපට ඩාන්සින් ස්ටාර් කෙනෙකුත් ඉන්නව. දැන් තව මොනවද අපට අඩු"

හික් හික්....

ඒක අපේ නලින්ට කිව්වම එයා කිව්ව,

"ඇයි හෙට අනිද්දට ටාසන් ස්ටාර් කෙනෙකුත් හම්බ වෙනව අපිට"

ආයෙත් හික් හික්...

ඔන්න ඉතිං රවි මහත්මයා දෙකක් දාල ආපු වෙලේක මොහාන් මහත්මයව හමු වුණා. මේක මේ විධියටම නෙවෙයි වුණේ. මම මේක ටිකක් සංස්කරණය කලා ලියන්න පුළුවන් විධියට. ඒත් දෙබසට බාධාවක් නෑ.

රවි - ආ... මිස්ට මොහාන් කොහොමද?

මොහාන් - ආ හලෝ.. ඉතිං.. කාලෙකට පස්සෙ නේ..

රවි - මම ඔයාව හම්බ වෙන්නමයි හිටියෙ... ඒක නෙවෙයි.. මම අද ටිකක් බීල ඉන්නෙ හරිද?

මොහාන් - ආ නියමයිනෙ ඉතිං...

රවි - ඒ වුණාට කියන්න එපැයි.. මොකද මම සාමාන්‍යයෙන් දවල්ට බත් කෑවට කාල ඉන්නව කියල විශේෂයෙන් කියන්නෙ නෑනෙ. බිව්ව කියල විතරයි කියන්න පුළුවන්..

මොහාන් - හහ් හා.. ඒකත් එහෙමයි නේ.. මොකෝ හම්බ වෙන්න ඕන වුණා කිව්වෙ?

රවි - ඔයා අබාට දෝෂාරෝපණය කලා කියල ආරංචියි..

මොහාන් - කවුද කිව්වෙ? මුං සෙට් එකද? අම්මපා මුංව..

රවි - නෑ නෑ නෑ... අපි මෙහෙම ගමු..

මොහාන් - කියන්නකො බලන්න

රවි - ඔයා අබාව දන්නවද?

මොහාන් - නෑ

රවි - ඒකනේ.. මම දන්නෙත් නෑ..

මොහාන් - හික් හික්..

රවි - වැඩේ කියන්නෙ ජැක්සන් දන්නෙත් නෑ...

මොහාන් - ඒක හරි... ඒත් මූලාශ අනුව...

රවි - නෑ නෑ නෑ... ඔය මූලාශ්‍ර ලියපු අය දන්නෙත් නෑ... ඒ විතරක් නෙවෙයි පරණවිතාන මහත්තය දන්නවද? නෑ... ආනන්ද කුමාරස්වාමි මහත්තය දන්නවද? ඒත් නෑ.. මහාවංශය ලියපු එක්කෙනා? එයත් නෑ...

මොහාන් - බලාගෙන යනකොට කවුරුවත් දන්නෙ නෑ..

රවි - ඒකනේ වැඩේ! කවුරුවත් ඒ කාලෙ ඇත්තටම වුණ කතාව දන්නෙ නෑ..

මොහාන් - ඒ වුණාට මේකෙන් කියන යටි පෙල..

රවි - මොන යටි පෙලක්ද මගුලක්ද මන් දන්නෙ නෑ. මේක නිකං පරම්පරා ගානක් මිනිස්සු අතරෙ විවිධ විධියට පැවතුණ කතාවක්.. ඒක ගැන ඔච්චර වද වෙලා වැඩක් නෑ. අනික ඕක ගැන ඔහොම දුක් විඳිනව නම් තව මොන තරම් දේවල් තියෙනවද මිනිස්සුන්ට කෑ ගහන්න. හිහ් හිහ්...

මොහාන් - ඒකත් ඇත්ත නේද?

රවි - .....

මොහාන් - ...




තව දිගට ගියා කතාව. ඒත් ඕන ටික තමයි ඔය. අන්තිමේදි අපි කවුරුවත් හරි කතාව දන්නෙ නෑ. ඒත් අනේමන්දා එක එක රාමු ඇතුලෙ කතාව අල කරන් අපි කරන්න වැඩ නැතිවට වැඩ හදාගෙන.

අබා ගැන ආයෙම කතා කරන්න හිතුවෙ ලඟදි මට නැවතත් අවස්ථා දෙකකදි අබා බලන්න වෙන හින්ද. එකක් මගෙ යාළුවො එක්ක. අනෙක ගෙදර කට්ටිය එක්ක. එයාල දන්නෙ නෑ මම තනියම බලපු බව. මොකද වෙන අවට ගැටලු වලින් මිදිල චිත්‍රපටියක් බලන්න තනියම යන්න එපැයි. කොහොම හරි මේ ඉදිරි වතා දෙකේදිම මට සජීවී සාකච්ඡා කරන්න පුළුවන් චිත්‍රපටිය නිම වුණ ගමන්ම. ඒකට පූර්විකාවක් විධියට සහ ඉදිරියෙදි මගේ වමනෙ පිටුවෙදි හමුවෙන්න නියමිත මගේ මිත්‍ර රවි සහ මොහාන් යුග්මය ගැන අදහසක් ගන්නත් මේ වැමෑරිල්ල යොදාගත්තා.

Tuesday 9 September 2008

වැස්ස...

අද (2008-09-08) මම හිටියෙ ගනේගොඩ අයියලගෙ ගෙදර මුළු දවසෙම. දවසෙම වැස්සා විටින් විට. හෙන හයියෙන් වෙලාවකට. වෙලාවකට හෙමින්. ගනේගොඩ අයියලගෙ ගෙදර මිදුල පුරා තියෙන තණකොල පිරුණ පොලොව දිහා මම පැලැල්ල අස්සෙන් බලා‍ගෙන හිටියා පැදුරෙ ඇලවීගෙනම. වැස්සත් නැතත් ඒ තණකොල හැමදාම කොල පාටයි. ඒ තණ බිස්ස මගේ හිතේ කවි සිතුවිලි පූදවපු තැනක් අපේ සම්පත්ට රුවන්වැලි සෑය වගේ. වැස්සත් එක්ක හිතේ පිරුණ හරිම නිදහස් හැඟීම හරියට ආදරය වගේ හැඟීමක් දුන්නා. නිදිමතයි තනිකමයි එක්වරම පිරුණ නවමු බවයි එක්ක මම ලොකු නිදහස් හැඟීමක් ලැබුව. ඒ එක්කම මම මගේ අත්දැකීමක් මතක් කලා. මේ වෙලාවෙ ලිව්වෙ නැත්නම් ලියවෙන්නෙම් නෑ. මේක ලියල සෑහෙන කල්. වෙනසක් නොකරම දැම්මා.


නුඹ දැනට වැස්ස වගේ

එක් වැසි දිනෙක මා තෙමුණා
තෙත්බරිතව දියවන තෙක්ම

නුඹ උන්නා මට ලංව
තුරුලු ව නැතත් මා දෙස බලාන

වැස්ස ඇද හැලුනා සීරුවට ගීයක්ව
සිහින් සර මවා අවටින්

නුඹ මිමිනුවා නුඹේ සිත හිමි හිමින්
නුඹ නොවන සහ නුඹ වන

ගුගුරවා අහස් ගැබ මහා වූ කුණාටුව
දෙසවන් ද අගුලු ලා බියෙන් මා සලිත විට

නුඹත් කීවා විටෙක නුඹත් ඒ වගේ බව
ගුගුරවා හඬ මවා නැවත කිංකිණි සලන

එවිට එක් මොහොතක
මා කීවා නුඹ වැස්ස බව
නුඹ කීවා මා පො‍ළොව බව

ආයෙමත්
නුඹ ඇද හැලුනා මා තෙතබරි වුණා
අපි සිනා සුනා...

ජීවිතේ තවත්
සුන්දර මොහොතක් ගෙවුණා..

Saturday 6 September 2008

ප්‍රමෝදය බිඳ වැටී...

ප්‍රමෝදය බිඳ වැටී...


සිහින කන්දේ මුදුනේ
සදාකල් රැ‍ඳෙන්නට
නොහැකි බව
නොදැණුනිද නුඹට...
ඒ මුදුන
අල්පෙනිති තුඩක් මෙන්
තියුණු වන විට...

ඒ මත පය තබනු නොහී
බිමට බට කල
කඳු පාමුල නිමක් නැති
වියලි කතර නිමා නොවන
නොදුටුවාද නුඹ
කඳු නගින්නට පෙර..

සිත දුකෙන් පිරෙන බව
නොසිතුනිද නුඹට
නැවත ඒ කර්කශ
යථාව පසක් වන විට...

වරෙක මහා සයුරක්ව
නෙක දනන් පිහිනූ ඉමක්
කාලයෙන් විපරිතව
නොපිට පෙරලී
කතරක් වූ අයුරු
නොදනීද නුඹ...

ඒ කන්දත්...
ඝන කතරත්..
මහ සයුරත්...
ඉන් අපිට
ක්ෂිතිජයෙනුත් එහා
කඳු මුදුනේ සිට නැරඹූ
නිම් නැති විශ්වයත්...

නුඹේ සිත අද්දර
අත්ලට ගත හැකි බව
නොදනීද නුඹ
තවමත්...

Friday 5 September 2008

මොසාර්ට් සහ ස්කොච් විස්කි වලින් පටන් අරන් අමරදේව සහ මහගමසේකර වෙත...

ඊයෙ (2008-09-04) අපේ යාළුවෙක්ගෙ අවුරුදු 55 උපන් දින සාදයට මටත් තවත් තුන් දෙනෙකුටත් ලැබුණ ඇරයුම පිළිඅරන් අපි එහෙ ගියා. නොයෙක් විධියෙ කෑම වර්ග කීපයක් එක්ක තිබුණෙ මීට කලින් ඇසුරු කරල නැති ස්කොච් විස්කි වර්ගයක්. අඳුරු කොලපාට බෝතලේ ලා කහ පාට සැර බීම අපේ උගුර හරහා ගියා. දිවේ ගෑවුණා තවත් සැර මසවුළු. ලොකු උද්‍යෝගයක් එක්ක කට්ටියම චිත්‍රපටි සහ සංගීතය ගැන කතාවකට සෙට් වුණා. අපි සහභාගි වුණ පැදුරු පාටි වලදි ඒව මධුවිතත් එක්ක පැදුරු ජෝගි වුණ හැටි, නැවත ඒ වගේ එකක් කරන හැටි, එදිනෙදා දකින සිදුවීම් සහ අපේ ලොක්කන්ගෙ බයිලා ව‍ගේ නොයෙක් දේවල් අතරෙ අපේ යාළුව‍ ගෙනාව මොසාර්ට්ගෙ ඇල්බම් එකක්. එයා ඒ සංගීතය අහන කෙනෙක් නෙවෙයි. මිල්ටන්, ජෝති රසිකයෙක්. එයා‍ට කොහෙන්දෝ හමු වෙල තිබුණ ඒක. අපි වත් හරියට මොසාර්ට්ව ඇසුරු කරල නෑනේ. ඒ නිසා වහාම අපි ඒක දැම්ම ධාවකයට.

හරිම විවෘත සංගීතයක් අපිව උපරිමයෙන් සුමට කරමින් අපේ පසුබිමින් වාදනය වුණා. අපේ කතාව කිසිම හැල හොල්මනක් නැතිව ගලාගෙන ගියා. කතාව නතර වෙන තැන හිස්තැන් වල තිබුණෙ සංගීතය ආයෙමත්. කොහොම හරි ඊට පස්සෙ ගෙවුණ පැයක විතර කාලය දැණුනෙම නෑ. මම අර කලින් වමනෙ දාපු කවියෙ කිව්ව වගේ මම හිටියෙ මිතුරු කැල අතර ප්‍රේමනීය ප්‍රමෝදයෙන් පූර්ණ වෙලා. මම ඒ ඇල්බම් එක ඉල්ලගත්තා...

ඔයාලට එයින් එකක් දෙන්නම්....

mozart - magical music - energizing the mind body - track 01.mp3


කොහොම හරි නැවත නවාතැනට ආව‍ට පස්සෙ මම ඇහුවෙ මගේ යාළුවෙකුගෙ ප්‍රේම වෘත්තාන්තක්. මධු විතෙන් මත් වෙලා ඒ මොහොතෙ හිටපු හැඟීමත් එක්ක මම ආයෙමත් උපරිමව පිරුණා. යාළුවා එයාගෙ ආදරවන්තිය ගැන කියාගෙන යද්දි වෙනදට මම ගනන් ගත්තෙ නැතත් මේ මොහොතෙ මම සාවධානව අහගෙන හිටිය. එයා ඒක කිව්වෙ හරියට කවියක් වගේ. ඉතිං මම සහ වෙනත් මිතුරන් ප්‍රේමය කවි කල විධිය මට සිහි වුණා. කියලම වැඩක් නෑ. ඒ එක්කම මට මතක් වුණේ මේ සින්දුව. මේක මේ තරම් සුමටව ලියල තියෙන්නෙ අපි කවුරුත් දේවත්වයෙන් සලකන මහගමසේකර. මේ තරම් ලයාන්විතව කි‍යන්නේ ඉතිං අමරදේව මාස්ටර් තමයි.

මුලින්ම ඒකත් අරන් ඉන්නකෝ.

ගී ‍පොතයි මී විතයි



ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි ඔබ සතුයි
ගී පොතයි මී විතයි...

අවන්හල නැති සුරා
ලවන් විත උර උරා
වහස් බැල්මෙන් නුරා
රහස් ගී කිය කියා
ගී පොතයි මී විතයි

මගේ හදවත එයින්
සදාකල් මත් කරන්
කිසිම ගීයක් නොවේ
ඒ තරම් රස නොවේ

ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි
ඔබ සතුයි


මට හිතෙන්නේ සේකර මේ මුළු ජීවිතයෙන්ම මත් වුණ කෙනෙක් කියලයි. එයා එයාගෙ ගැහැණියත් එක්ක ගෙවන්න ඇත්තෙ නිරන්තරයෙන් අළුත් වෙන දිවියක්. නදීක කියනව වගේ...

මේ මනරම් ගීයෙන් කියන්නෙ ගැහැණියක් හරහාත් මත් වීමට ඇති හැකියාවයි. ගැහැණියත් අපේ සම්පත්ගෙ මනෝ කන්ද නගින්න භාවිතා කරන දෙයක්. ගැහැණිය මධුවිත තරම්ම පිරිමි අපව මත් කරනවා. සමහර විට ඊටත් වඩා. ළඟදි මට යාළුවෙක් පෙන්නුව එයා‍ට මාර්ගගතව සම්බන්ධ වුණ පරාජිත පෙම්වතෙක්ගෙ අතක පින්තූරයක්. ඒකෙ හැම තැනම ලේ. අතේ අකුරු කොටාගෙන. මම ඒක දැක්කෙ මල විකාර විධියට මධුවිතටම ඇබ්බැහි වීමක් වගේ. ඒකත් අවශ්‍ය දෙයක් නෙවෙයි ඇත්තටම ගත්තොත්. ජීවිතේ කියන්නෙ ‍එක දෙයක් නෙවෙයි. සමස්තයමයි. ඒ තුල දේවල් අපට හිමි වීම සහ අහිමි වීම හරහා අපි තෘප්තිය හෝ වේදනාව ලබනව වුණාට ඒක ජීවිතයෙන් පලායන්න හේතුවක් නෙවෙයි. ඒ හරහාත් අපට ජීවිතේ විඳින්න පුළුවන්.

අළුතින් ජීවිතය අරඹන්න මොනම මොහොතකවත් කෙනෙක් ප්‍රමාද නෑ.


Thursday 4 September 2008

ප්‍රමෝදයෙන් පරිසමාප්තව

ප්‍රමෝදයෙන් පරිසමාප්තව

දැනී තිබේද නුඹට
කෙදිනකවත්...
නුඹට තවත්
පිරෙන්නට ඉඩ නැති බව
මොහොතකටවත්...

එක්
ක්වොන්ටමයකින්වත්...

....
...
..
.

එක් නිමේෂයක
නුඹ සිත තෙරපෙන
සියළු ආවේග
සියළු සිතිවිලි
පරයා නැගී
නුඹ වෙලා අවුළුවා
නුඹෙන් නුඹ
සොරකම් කොට
නුඹව පුරවන
ඒ පිටස්තර
සිතිවිල්ල

නොදමන්නේද
නුඹව ගෙන
මහා සාගරයකට
අත් ගසා පීනන්න
ඉමක් නොපෙනෙන
ක්ෂිතිජයත් පසුකරන්
නිමක් නැතිවම
උතුරා යන
මහා විශ්වයකට
නුඹ මැවූ...




Wednesday 3 September 2008

ප්‍රකාශන හරහා පොර වීම

වසර ගාණක් මම තුරුදැල භාවිතා කලේ විවිධාකාර අධ්‍යාපනික දේවල් වලට සහ විවිධාකාර විනෝදාශ්වාදී දේවල් වලට විතරයි. ඒක තුල තියෙන මිනිස් සමාජ ඇසුරු කිරීමක් වුණේම නෑ. මේ සයිබර් සමාජය මිනිස් චරිතත් එක්කම ඇසුරු කරන්න අරන් වැඩි කාලයක් ගිහින් නෑ තවම. ඒ නිසා මෙහෙම දෙයක් කියන එක හොඳද මන්දා. මේ කියන්න යන දේ හොඳක් හෝ නරකක් කියන්න යන්නෙ නෑ මම. ඒත් මේ කියන දේ හරහා මම වර්තමානෙ අපට හමුවන විවිධ විධියෙ මිනිස්සු ගැන යම් විධියක අදහසක් ගන්නයි උත්සාහ කරන්නේ.

මාර්ගගත සමාජ වලදි (Online Community) අපට හමුවන බොහෝ මිතුරන්ගෙ හැඳුණුම්පත්වල එහෙම නැත්නම් සිග්නේචර් හෙවත් සිගි වල නොයෙක් ලෝ ප්‍රකට විද්වතුන්, දාර්ශණිකයන්, කවියන් සහ ලේඛකයන් කරපු ප්‍රකාශ තියෙනව. එහෙම උදාහරණ දෙන්න නම් ඕන තරම් පුළුවන්. ඒත් ඒක හොඳ නෑ සහ මගේ මේ ලියවිල්ල කියවන්න තරම් දැනුවත්ව තුරුදැල සෙවණේ ඉන්න අය මේ කියන දේවල් ගැන දන්න නිසා මම උදාහරණ දෙන්න යන්නේ නෑ.

බොහොමයක් දෙනා තමන්ගෙ සිගිය අමතක කරලයි ඉන්නෙ හැබැයි. යටින් හරිම සරලව දාගෙන ඉන්නව

"I respect all the <community> members" කියල.

හැබැයි තමන් කියන දේට විරුද්ධ මතයක් ඉවසගන්න හරිම අමාරුයි. දුර දිග ගියොත් බණින්නෙ කුණුහරුපෙන්. කුණුහරුප කියල දෙයක් නැති වීම වෙනම දෙයක්. මම කියන්නෙ ද්වේශ සහගත වීමේ උපරිමය අර විධියෙ වචන වලට කැටි වීම ගැනයි. මම දැකල තියෙනව ඒ වගේ ඒව බොහොමයක්. මෑතකදි අපි කවුරුත් දන්න කීපදෙනෙක්ම තවත් මිතුරෙක්ගෙ සිංහල බ්ලොග් සටහනකින් අනවසයෙන් උපුටාගත්තු එකක් තමන්ගෙ වගේ ප්‍රසිද්ධ කරල ඒ ගැන හොඳට පහදල දෙන්න ගියාම කියපු කරපු දේවල් දන්නෝ දනිති! නොදන්නෝ අවැසි නම් අසා දැනගනිත්වාහ්! ;)

අනිත් කාරණේ අර කියපු විධග්ග ප්‍රකාශන. බොහෝ දෙනා කලින් කිව්ව වගේ විශිෂ්ඨයන්ගෙ ප්‍රකාශන තමන්ගෙ සිගියෙ දාගෙන ඉන්නව. තමන්ව ඒ හරහා නිරූපනය කරමින්. එහෙම වෙනව කියල හිතමින්. ඒව කියපු අයගෙ නමත් දානව වටිනාකම වැඩි කරගන්න. හැබැයි එයාල හැසිරෙන්නෙ නම් ඒ ප්‍රකාශන වලට අදාලව නෙවෙයි. හැමෝමත් නෙවෙයි. හික් හික්...

මේක තියෙන අවුල මේකයි. මේ සමහර ප්‍රකාශන (සම‍හර ඒව හො‍ඳේ) ඒ ඒ විද්වතුන් ප්‍රකාශ කලේ යම් යම් සිද්ධීන්ට අදාලව. යම් නිෂ්චිත කාල වකවානුවකට අදාලව. ඒව විශ්වීය ප්‍රකාශ නෙවෙයි සමහර විට. ඒව පොදු ප්‍රකාශ විධියට තමන් හරහා නාමිකව ප්‍රදර්ශනය කරල ඒ අය ලබාගන්න යන්නෙ මොකක්ද? යම් සිදුවීම් හරහා ඒ විද්වතුන් කරපු ප්‍රකාශ හැම දේටම පොදුවේ භාවිතා කිරීම හරහා පොරත්වය මිස අනෙකක් නොලැබෙන බවයි මට හිතෙන්නේ. මොකද ඒ වගේ ප්‍රකාශයක් හරහා තමන් එක්ක ගනු දෙනු කරන අයට තමා ගැන පූර්ව අදහසක් දෙන්න පුළුවන්නේ. ඔයා මේ කතා කරන්නේ මේ වගේ දරුණු ප්‍රකාශන කරපු කට්ටිය ඇසුරු කරන සිරා‍ පොරක් එක්ක හරිද වගේ එකක්. ;) ඉතිං මට නම් හිතෙන්නෙම මේ ප්‍රකාශන හරහා පොර වෙන්න දරන වෑයමක් කියලයි. තමන්ගෙ මෝඩකම වහගන්න පිට අයගෙ ප්‍රකාශන අමු අමුවෙ කොල්ලකනවා. අනික සමහර ප්‍රකාශ වලින් යම් ආකාරයක පිරිසකට චෝදනා එල්ල කරද්දි ඒක භාවිතා කරන අය දන්නෙ නෑ තමන් ඉන්නෙත් ඒ ගොඩේ කියල. සමහරු ඒ කියල තියෙන දේවල්වල තේරුම දන්නවද කියලත් සැකයි.

තමන් කාගෙන් හරි උපුටල කරන ප්‍රකාශනය පිළිබඳව වගකියන්න පුළුවන් විධියට හැසිරෙන අයට මේක අදාල නෑ. මොකද මමත් මේ කරල තියෙන්නෙ ප්‍රකාශන හරහා පොර වෙන අය ගැන කතා කිරීම හරහා පොර වීමක්නේ එහෙම බැලුවම. හික් හික්... ඒ නිසා තමන් භාවිතා කරන ප්‍රකාශනයට අදාලව ජීවත් වෙන අය මේ වාචාලයගෙ කටමැත දෙඩවිල්ලට සිත් අමනාපකම් ඇතිකරගන්න එපා.

මාර්ගගත සමාජවල සාමාජිකයො මේ මම කතා කරපු දේ ගැන හොඳටම දන්නව. මම කියන්නෙ මොන වගේ අය ගැනද කියලත් එයාල දන්නව ඇති. මොකද එහෙම අය ඉන්නව. කොහොම වුණත් ඒක ලොකු ගැටළුවක් නෙවෙයි. කොටින්ම ‍ඒ ගැන වමනෙ කරල කතා කරන්න තරම් ඒක වටින්නෙත් නෑ. නමුත් එහෙමත් එකක් තියෙනව.