Tuesday 8 May 2018

ඇගේ සාරය සොයා


අඩක් දැවී ගොස් ඇති දුම්වැටිය සිය සියොළඟම මා වෙත පූජා කරන්නට දැල්වී බලා හිඳී. විනාඩි කීපයකට මා ගත සිත තැතිගැන්මෙන් මුදවා සමාපත්තියකට ගෙන එන්නට දුම්වැටිය ජීවිතය පුදන්නේය.

මා හාත්පස අඳුරු බිත්ති අතර කිසිදු ආලෝකයක් නැති අඳුරකට මුහුණ දී හිඳිමි. වියළී පිළිස්සී අඟුරුව ගල් වී ගිය හදවත් කුහරයක පතුලේ මම දුම්වැටියේ ආලෝකය පමණක් ඇතිව බලා හිඳිමි.

ඇගේ ආදරයේ තවදුරටත් සාරයක් නොමැති බව වැටහුණු ඇසිල්ලේම සියොළඟම පිපිරී අවකාශයට විසිරී ගියේය. එකෙනෙහිම කළු කුහරයක් පරිද්දෙන් මාගේ ආදරයේ සියළු ස්කන්ධය හදවතට කැටිව මා ද එතුල සිර වී ඇත. ආදරයේ අධික ස්කන්ධයම මා ඉන් මුදවනු නොහී ඒ වෙත අල්ලා තබාගෙන ඇත. ආදරයට පවතින්නේ කිනම් ස්කන්ධයක්ද යන්න ආදරය සෙලවෙන තුරු කිසිවකුට වැටහෙන්නේ නැත. එහෙයින් මා තුල වූ ආදරය කළු කුහරයක් නිපදවන්නට තරම් විසල් වන බවක් කිසි විටක මට වැටහී තිබුනේ නැත. එහෙත් නොවිය යුතු දේම සිදුව ඇත.

ලිංගික ඇසුරක් තුල එක් උපරිමයකින් නැවතී එහි තෘප්තිය මොහොතක් විඳ ඇකිලෙන පිරිමින්ට ගැහැණියගේ සුරතාන්තයේ අනන්තය නොපෙනී ගොස් ඇත්තේ එලෙසින්මය. ඇය පිරිමියා ඉක්මවා සැරිසරන්නීය. ස්ථානීය සුවය සැපක් යැයි විශ්වාස කර එහි තැන්පත් වන්නට කැමති පිරිමින්ට නොවැටහෙන්නේ එය ය. ආදරයේ සාරය අහිමි වන තුරු පිරිමින්ට ආදරය වැටහෙන්නේ නැත. එය වැටහුණු විට පිරිමින් හිස් ලූ ලූ අත දුවමින් ආදරයේ සාරය සොයන්නට නිරර්ථකව වෙහෙසෙති.

ඇයගේ ආදරයේ සාරය ඇත්තේ ඈ තුලමය. එය කිසිදු පිරිමියකුට හිමි නොවේ. එය ඇයට පමණක් වැටහෙන, ඇයට පමණක් අයත් වන, පිරිමින් තමන් සතු යැයි රැවටෙන එහෙත් කිසිදා සදහට පිරිමියකු හට හිමි නොවන්නකි. ඇයගේ ආදරයේ සාරය සරුංගලයකි. එහි නූල නොකඩා තමන් අත තබාගැනීමට ගැහැණිය දක්ෂය.

මා සාරය අහිමි හදවතක් තුල තනිව ඇත්තෙමි. ඒ හදවත තව දුරටත් මා වෙනුවෙන් උද්දීපනය නොවේ. එය හැඟීයාමම බියකරුය. ජිවිතය බැලූ බැල්මට කෙතෙක් උද්දාමව පැවතියද ජීවිතය කැප කළ අරමුණ අහිමිව ඇති බව පසක් වීම මරණය තරම්ම බියකරුය.

ඇගේ ආදරයේ සාරය කොහිද? ඒ සොයන්නට යාම ම මා විසින් ඈ වෙත දරනා ආදරයට කරන පිටුපෑමකි. මගේ ආදරය මා කෙරෙන් ඈ වෙත කොන්දේසි විරහිතව විහිදෙන්නකි. එය සජීවී අජීවී සියල්ලට හිරු රැසක් මෙන් සමව විහිදෙන්නක් වී ආත්මාර්ථකාමීව නොතිබුණේ නම් ප්‍රතිපලය අමතක කර වඩාත් උත්තම තැනක රැඳෙන්නට මට අවකාශ තිබුණි. එහෙත් මා උත්තම නැති ආත්මාර්ථකාමී මනුස්සයෙකි. එහෙයින් ඇගේ ආදරය නැවත මා වෙත විහිදෙන්නේද යන්න සියුම්ව නිරීක්ෂණය කිරීමේ පිරිමි ගොන්කම මම කරමි. ඇගේ ආදරය ඇත්තටම කොහිද? එහි සාරය මවෙතින් ඉවත්ව රැඳී ඇත්තේ කොහිද? නොඑසේනම් ඇගේ ආදරය එහි සාරය කිසි කලෙක මා වෙත හිමි නොවූ, ආදරයේ නාමයෙන් සිදු කල එදිනෙදා වතාවත් සහ ක්‍රියාවන් පමණක්ව පැවති මායාවක් පමණක්ද?

ඇගේ ආදරයේ සාරය කොහිද? එය ඈ කැමති තැනකය. ඇගේ කැමැත්ත තුල ඇයට සතුටක් ලැබෙයි නම් නැවත සාරය සොයමින් වල්මත් වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. සාරය අහිමි බුලත් විටක් මෙන් හපයක් වීමට සූදානමින් විකල්ප සෙවිය යුතුය. නැත්නම් මිය යා යුතුය. නොඑසේ නම් මල් උයන්, මත් ලැගුම්, තරු, සඳු, දේදුණු, වැසි, හිම රැඳුණු ඇගේ දිනයක අවසානයේ මේ කුටියේ ඇඳ මත ඇයගේ හුදෙක් වල්ලභයා ධුරය නොසිතාම භාර ගත යුතුය.

දුම්වැටිය නිවෙන්නට පෙර මම තවත් දුම් වැටියක් දල්වමි. එහි මඳ ආලෝකය අැය නික්ම ගොස් ඉතිරිව ඇති හිස්කම පමණක් නැවත නැවතත් පෙන්වමින් සිත පුළුස්සා දමයි.

ඒ හිස්කම නැවත නැවතත් දකින්නට අකමැත්තෙන් දුම්වැටියකුදු නොදල්වා මේ පාලුව ගෙවා දැමිය නොහැක. විකල්ප මහත් තරමක් නැත. මේ පාලු ගැඹුරේ මත්ව මෙහිම මිය යාමද, ඇගේ හදවතට ඈ හිත්ගත් කලාපයක නැවත පොපියන්නට ඉඩ දී නික්ම යාමද, තවමත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් බලගැන්වී ඇති ආදරය දරාගෙන රැඳී සිටීමද, නැතිනම් වඩා සාධනීය අවසානයක් වෙනුවෙන් කාලයට තවත් ඉඩ දීමද මා වෙත ඉතිරිව ඇති විකල්ප ය.

එහෙත් තීරණය ගන්නට නොහැකි දහසක් හේතු හිස මත හොවා මම හැකිලී හිඳිමි. එහෙයින් දැනට අඳුරේ ගැලී පැවතීම මිස අන් විකල්පයක් මට නැත. ආදරය ප්‍රබලවත්ම එහි වියෝවද ප්‍රබලය. අඳුරුය.

ගැහැණිය සතුව සාරයක් ඇතැයි පිරිමින් එය සොයන්නට යයි. ජීවිතය උහතෝකෝටික කරගනී. එහෙත් ගැහැණියගේ සාරය ඇයද නොදන්නා එකක් බවට කිසිදු සැකයක් නැත. ඇයට එය වගක් නැත. එහෙයින් ඈ සියල්ලට විවෘතය. සියල්ල දරාගන්නට මහා ලොකු වෑයමක් ඇයට අවශ්‍ය නැත. ගැහැණිය දුහුල් යැයි සිතන්නට පිරිමින් කැමති වුවද ගැහැණියගේ දෘඩ බව හමුවේ පිරිමින් පිදුරු ගසකට දෙවෙනි නැත. එහෙත් පිරිමි ලෝකය තුල ගැහැණියගේ අර්ථ දැක්වීම සහමුලින්ම වෙනස්ය. ඒ අර්ථ දැක්වීම තුල රැඳෙන්නට ගැහැණුන් කැමති වන තාක් පිරිමින්ට පාටි දැමිය හැක. හිත වියලා දැමීමට ඉන් පසු පිරිමි ඉගෙන ගනු ඇත.

මම තවත් දුම්වැටියක් දල්වමි. හාත්පස අඳුරට ඉන් එලියක් නැත.