Thursday 27 August 2020

The Boy Who Harnessed the Wind (2019) - චිත්‍රපටිය ගැන අදහස්

 



ස්පොයිල් විය හැක

මේ චිත්‍රපටිය බලන්න ගන්නෙ චිත්‍රපටි ගෘප් එකකින් ලැබෙන ඔත්තුවක් මත. චිත්‍රපටියෙ නමින්ම ඉඟි කරන විදියට මේක ධනාත්මක සිතුවිලි ඇති කරන චිත්‍රපටියක්. තමන්ගෙ සීමා බිඳගෙන ඉදිරියට යන ජීවිතයක් පිළිබඳ චිත්‍රපටියක්. එහෙම චිත්‍රපටි මහ ලොකු ගාණක් නැතත් තියෙන ඒව බැලුවම දැනෙන හැඟීම් ජීවිතේ ගැන සුබවාදී සිතුවිලි ඇති කරනව. ඒකට ඒ චිත්‍රපටිය හැදෙන්නෙ මොන රටේද, උන් කතා කරන්නෙ මොන භාෂාවද, උන් මොන පාටද, තේමා වෙන්නෙ මොකක්ද වගේ කිසි දෙයක් අදාළ නෑ. මිනිස්සු විදියට තමන් උපන් ජීවන තත්ත්වය ස්වෝත්සාහයෙන් වෙනස් කරගෙන වඩා පහසු ජීවන තත්ත්වයක් කරා යන චරිත අපිවත් දිරිගන්වනව. මේ චිත්‍රපටිය බලන්න ගන්නෙම ඒ අදහස ඇතිවයි.

Chiwetel Ejiofor කියන නළුවාගේ නම කවදාවත් මතක තිබුණේ නැහැ. ඔහු රඟපෑ මතක ඇති රංගනයක් තියෙන්නෙ 12 years a slave චිත්‍රපටියෙ පමණයි. නමුත් චිත්‍රපටි ගණනාවක සහය නළුවෙක් විදියට පෙනී සිටි ඔහුගේ පෞරුෂය හිතේ ඇඳිල තියෙන එකක්. මේ චිත්‍රපටිය ඔහුගේ අධ්‍යක්ෂණයක්. තිර රචනයත් ඔහුගේමයි. කරන චරිතයත් කරනව උපරිමයෙන්ම.

මලාවි රාජ්‍යයේ දිළිඳු ගොවි පවුලක අවුරුදු 13ක පුතා ඇහිඳගන්න දැනුමකින් තමන්ගෙ පියාගෙ වගාවට වතුර පොම්ප කරන්න සුළං මෝලක් නිර්මාණය කිරීම තමයි චිත්‍රපටියෙ තේමාව වෙන්නෙ. ඒක බැලූ බැල්මට මහ ලොකු දේකුත් නෙවෙයි වගේ පෙන්න පුළුවන්. නමුත් එහෙම තීරණයක් ගන්න ඔහුට සිද්ධ වුණේ ඇයි කියන එක චිත්‍රපටිය පුරාම විහිදුවන ඛේදනීය හේතුවක්. ඒ තීරණය ගන්නෙ ඔහුගෙ කුතුහලය නිසා විතරක්ම නෙවෙයි. කුතුහලය ඔස්සේ යන්න පුළුවන් යම් දුරකට. නමුත් බාධක නොසලකා මිනිහෙක් වෙනස් වැඩකට බහින්නෙ විකල්පයක් අවශ්‍ය නිසා. විකල්පයක් සෙවීම ඔහුගේ වැඩක් බවට පත් කරගත්ත නිසා. තමන්ට කල හැකි දෙයින් වැඩක් ගත්ත නිසා. මිනිස් ශිෂ්ටාචාරය ලෝකය වෙනස් කරන මට්ටමට සංවර්ධනය වෙන්නෙම එහෙම මිනිස්සු නිසා. ඒ අර්ථයෙන් ගත්තම විලියම් කම්ක්වම්බා කියන දරුවා මිනිහෙක්.

චිත්‍රපටිය පුරාම දකින්න ලැබෙන මානව බැඳීම් හා ඝට්ටනයන් ඉතාම සංවේදීයි. පවුල පිළිබඳවත් සාමූහිකත්වය සහ සහජීවනය පිළිබඳවත් මේ ජනතාව තුළ තියෙන ආකල්පය බොහොම ගෞරවණීය එකක් බව පේනවා. ඒ වගේම ඒක පාරම්පරිකව උරුමකරගෙන ආපු වටිනාකමක් බවත් පේනවා. ඉපදුන නිසා ජීවත් වෙනවාට වඩා වටිනාකමක් එකිනෙකා සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින බව පැහැදිලියි. නමුත් චිත්‍රපටියෙ කියවෙන කාල සීමාව වෙද්දි දේශපාලකයන් විසිනුත් ව්‍යාපාරික ප්‍රජාව විසිනුත් ජනතාව සතු ඒ වටිනාකම් වෙනස් කරමින් ලාභ ප්‍රයෝජන ලබා ගන්න විධිය චිත්‍රපටිය තුළට යොදාගැනීමෙන් චිත්‍රපටියේ වටිනාකම තව ඉහළ ගිහින් තියෙනවා.

චිත්‍රපටිය හැදෙන්නෙ පොතකින්. පොත ලියල තියෙන්නෙ විලියම් කම්ක්වම්බා විසින්ම තම අත්දැකීම ඇසුරිනුයි. පොත කියවන්න හොයාගැනීමේ උවමනාවකුත් තියෙනවා. අප්‍රිකානු කලාපයේ ජීවිත ගැන වඩා යථාර්ථවාදී විස්තරයක් චිත්‍රපටියටත් වඩා පොත තුළ විස්තර වෙනව ඇති කියල හිතෙනවා. කවුරුන් හෝ ඒක පරිවර්තනය කරනවානම් පැති කීපයකින් රස විඳින්න පුළුවන් කෘතියක් වෙයි කියලත් හිතෙනවා.

මේක නාට්‍යමය චිත්‍රපටියක්. දූවිලි පිරුණු කාෂ්ටක කැළඹිලි සහිත ගමනකින් ඔබව නිල්ලත් සැනසිල්ලත් පිරුණු අවසානෙකට ගෙන යන චිත්‍රපටියක්. එහෙනම් බලන්න!


https://www.imdb.com/title/tt7533152/

Tuesday 18 August 2020

මැගලන්

Source - https://www.historyextra.com/period/tudor/ferdinand-magellan-fatal-voyage-discovery-first-circumnavigation-globe/


තොරතුරුමය විපරිතබව නිසා විද්‍යාව, විද්‍යාත්මක චින්තනය, තාක්ෂණය වගේ දේවල් ආගම් සහ සංස්කෘති එක්ක පටලවගන්නව ඇතැම් උදවිය. ඒ ගැන තර්කත් සෑහෙන්න යනව පේනව. තමන් ඉන්න ෆ්‍රේම් එක අනුව මේ ගැන එකිනෙකා කියන දේවල් වෙනස් වෙනව. මේ ගැන මමත් කල්පනා කරන නිසා මම ඉන්න ෆ්‍රේම් එකේ ඉඳන් මේ ගැන මට හිතෙන දේවල් ටිකක් කියල දාන්න ඕන කියල හිතුවා.

මේ වෙනකොට ලෝකය සංස්කෘතිකමය සහ භූගෝලීය විදියට ධ්‍රැවීකරණය වෙන්න අරන්. එහෙම නැත්තං සමාජ මාධ්‍යවල ප්‍රබලත්වයත්, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පුවත්වලට ලැබිල තියෙන වටිනාකමත් එක්ක ඒ ධ්‍රැවීකරණය වීම් පේනව වැඩි වෙලා. අවුරුදු 10-15කට කලින් ලෝකයේ ඇස නොගැටුනු බොහොම සුළු සිදුවීමක් මේ වෙනකොට ලෝකයේම අවධානය ලබාගන්න ප්‍රවෘත්තියක් විදියට ඉස්මතු වෙනවා. ඒ නිසාම ලෝකයේ එක් එක් ජනවර්ගයන් තමන්ට අනන්‍ය ලක්ෂණ විශේෂ කරගෙන ඒකට අයිඩෙන්ටිටියක් හදාගන්න කරන උත්සාහ කිරීම් අපට පේනව වෙනදට වඩා. මිනිසුන් අතර සබඳතා හදාගැනීමේ හැකියාවන් දියුණු වීමත් එක්ක මේ කණ්ඩායම්ගත වීම් ගොඩක් තීවෘව සිද්ධ වෙනව. ලෝකෙ කොහේ හරි ඉඳන් තමන් අයිත් ජන කණ්ඩායම වෙනුවෙන් වැඩ කරන ඩයස්පෝරා තියෙනව.

ඒ වෙන්නෙ ආර්ථික අවශ්‍යතාවයන් අනුව ලෝකය ගෝලීයකරණය වෙන ගමන්මයි. ලෝකය වෙළඳාම අතින් ගත්තම එකම පොළක් වගේ වෙමින් තියෙනවා. අන්තර්ජාතික වෙළඳාම නැතිව පවතින රටවල් තියෙනවද කියලත් සැකයි. මේ වෙළඳාම අනිත් සියලු දේට වඩා බලවත් බව නම් පැහැදිලියි. මොකද ලෝකය මෑත සියවස් කීපය තුළදි වෙනස් වෙන්නෙම ඔය අන්තර්ජාතික වෙළඳාම මූලික කරගෙනයි. ඒ ආර්ථික සාධකය විසින් අර සංස්කෘතික ඇකිළීම් යම් තරමකට අවශෝෂණය කරගෙන කියලත් පැහැදිලියි. ඒක පැහැදිලි කරගන්න ආසන්නම උදාහරණයක් පහුගිය දවසක දැක්කෙ බුකියෙදි. ඇමරිකානු ජනතාවට තියෙන චීන විරෝධය කියාපාන්න ඇමරිකානුවෝ පාවිච්චි කරන Boycott China කියල ගහපු සමහර කැප්, ටීෂර්ට් වගේ දේවල් නිපදවන්නෙත් චීනයේ බවයි ඒකෙන් කියවුණේ. මේක මේ විදියටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ දේශ මාමක කැම්පේන්වලදිත් වුණා කියලයි දැනගන්න ලැබෙන්නේ. Make America great again කියන පාඨය ඇතුළත් නිෂ්පාදන ඇමරිකාවට එන්නෙත් චීනය ඔස්සේ. අනිත් අතට ලංකාවෙ 'සිංහලේ' කැම්පේන් එකේ ස්ටිකර් අලෙවි කළ මුස්ලිමුන්ගෙ පින්තූර අපි දැකල තියෙනවා.

කොහොම නමුත් ලෝකය ආර්ථිකයෙන් ගෝලීයකරණය වෙද්දි සංස්කෘතිකව ඒ ඒ සංස්කෘතීන් තුළම හැකිලෙන බවක් පේනවා. තමන්ගෙ උරුමය හොයාගෙන වෙන් වෙන්න, තමන් අදහන ආගම අනුව වෙන් වෙන්න, තමන්ගෙ නිජ බිම් හරහා වෙන් වෙන්න වගේ විවිධ සංස්කෘතික සාධක ගොඩක් මේ වෙන් වීම්වලට හේතූන් වෙනවා. මේකට සෝෂල් මීඩියාවලිනුත් සමහර විට ඇතැම් දේශපාලන ප්‍රවාහයන්ගෙනුත් ලොකු උදව්වක් ලැබෙනවා.

ඒක එහෙම තියෙද්දි ලෝක පුරවැසි බව පිළිගන්න අතරම එක් එක් සංස්කෘතිවල වෙනස්කම් දිහා සෞන්දර්යාත්මකව බලන්න පුළුවන් මිනිස්සු කොටසකුත් ඉන්නවා. එහෙම රුචිකත්වයක් ලැබෙන්න කියවීම, සංගීතය, චිත්‍රපටි සහ තොරතුරු පරිශීලනය වගේ දේවල් ඉවහල් වෙනවා. ලෝක සාහිත්‍යය කියවන මිනිහෙක්ට ඒ සාහිත්‍යයට අදාළ සමාජයේ අයට තියෙන ප්‍රශ්න අපට තියෙන ප්‍රශ්නවලින් වෙනස් නොවන බව තේරෙනවා. ලෝකෙ හැදෙන විවිධ චිත්‍රපටි බලන, විවිධ සංගීතයන් අහන කෙනෙක්ට ලෝකය එකම ගමක් කියන එක තේරෙනවා. යූටියුබ් එකේ මාක් වීන්, ට්‍රෙවර් ජේම්ස්, සොනී සයිඩ් වගේ කෑම මූලික කරගත්ත සංචාරකයන්ගෙ වැඩසටහන් විතරක් ටිකක් විචක්ෂණව බලන කෙනෙක්ට වුණත් ලෝකය අවශ්‍යතා අතින් බොහොම සමානය කියල තේරෙන්න ඕන. මේ වැටහීම ඍජුව හෝ වක්‍රව ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. චිත්‍රපටියකින් කියවෙන සිදුවීම බොරුවක් වුණත්, ඒකෙන් නිරූපණය කරන්නෙ අර්ධ සත්‍යයක් වුණත් ඒ අස්සෙ කෙනෙක්ට අතුරු අර්ථ තේරෙන්න පුළුවන්. චිත්‍රපටියෙන් වැඩක් නෑ. ඒත් ඇයි එහෙම චිත්‍රපටියක් හැදෙන්නේ කියන එක අස්සෙ අල්ලගන්න තියෙනව පොටක්.

මේ හැමදේම ඇසුරු කරලත් ඒවයේ අතුරු කතා නොතේරෙන ගල් මිනිස්සුත් ඉන්නව වෙන්න පුළුවන්.

මේ වෙද්දි තොරතුරු අතිරික්තයි. තොරතුරුවල විශ්වසනීයත්වය දෙතුන්වතාවක් පරීක්ෂා කරන්න වෙනවා. මොකද තොරතුරු මූල ෂුවර් නැති වේගෙන එන්නේ. තොරතුරු කියන්නෙත් ආදායමක් (ආදායමක් කරගත නොහැකි දෙයක් නෑනෙ) වීම මත තොරතුරු වෙනස් කිරීම මගින් වක්‍රාකාරව ඉපයීම කරන්න පුළුවන්. ඉවක් බවක් නැතුව උපයන්න තියෙන පෙරේතකම නිසා ඕනම දේකට එහෙම වෙන එක ස්වභාවිකයි. උදාහරණ අවශ්‍ය නෑ. තොරතුරු මෙහෙයවීම ඡන්ද ව්‍යාපාරවලට යොදවගත්ත විදිය ගැන ෆේස්බුක්-කේම්බ්‍රිජ් ඇනලිටිකා සිදුවීමේදී හොඳින්ම අනාවරණය වුණා. ෆේස් බුක් ඇඩ් සිස්ටම් එක හැදිල තියෙන්නෙම පරිශීලකයන් විසින් ඇතුළත් කරන තොරතුරු පදනම් කරගන්න විදියටයි.

මැගලන් ගැන කියන්න අරන් මේව කියවන්න ගියේ ඇයි? විද්‍යාව සහ ආගම් අතර නොනැවතී පවතින පටලැවිල්ල ගැනනෙ මුලින් කියන්න ඕන කළේ. පළවෙනි එක තමයි ඔය දෙක තියෙන්නෙ අවශ්‍යතාවයන් දෙකක් උදෙසා වීම. ආගමක් මගින් වෙන්නෙ මිනිස්සුන්ගෙ මූලික දාර්ශනික ප්‍රශ්න තුනකට (මට දැනට හිතෙන තරමට) උත්තර දෙන එක. සාමාන්‍යයෙන් පට්ට අමු මිනිහෙක් ගත්තම ඌට උගෙ භෞතික අවශ්‍යතා ටික ඉෂ්ට වෙලා තියෙනවනං එන ප්‍රශ්න ටිකක් තියෙනවා.

ඒ කියන්න ඌ හොඳ සනීප කාලගුණේක හොඳ වාසස්ථානෙක ජීවත් වෙන ගමන් හොඳට කාලා බීල ලිංගික උවමනාවලුත් ඉෂ්ට කරගෙන ඉන්නවනං ඌට මහ ලොකුවට වොරි වෙන්න දෙයක් ඇත්තෙ නෑ. ඒ නිසාම තව දේවල් හිතන්න ගත්තොත් ඌට එනවා ඔය කියන ප්‍රශ්න ටික.

මම ආවෙ කොහෙන්ද?
මම ඉන්න විදිය හරිද? ඉන්න ඕන කොහොමද?
මම මැරුණට පස්සෙ යන්නෙ කොහෙද?

ආගම් බිහි වෙන්න හේතු වුණ මූලික අදහස් බිහි කරපු මිනිස්සු ඒ කාලෙට සාපේක්ෂව ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න හිතන්න ඇති. පස්සෙ කාලෙක එයාලගෙ ෆෑන් බේස් එක විසින් ඒ අදහස් ව්‍යාප්ත කළා. ඒ අස්සෙ ඒ අදහස් ඔස්සේ ව්‍යාපාර ගොඩ නැගුණා. පූජක ව්‍යාපාර. මේ ඔස්සේ මිනිස්සුන්ට තව විදියක පාලනයක් යොදවන්න පුළුවන් කියල තේරුණ ගමන් ඒවට රාජ්‍ය අනුග්‍රහයත් ලැබුණා. ආගමික සංවිධාන බලවත් වුණා. මේ වෙද්දි ඒව විශාල ධනයක් සහිත ව්‍යාපාර බවට පත්වෙලා තියෙනවා. ඉපදෙන ඕනම මිනිහෙක් දෙමව්පියන්ගේ අනුහසින් ආගමිකයෙක් වෙලා ඉපදෙන නිසා ආගම කියන එක පොඩි කාලෙ ඉඳන්ම ජීවිතේට ගැටගැහෙන එකෙන් වළකින්න අමාරුයි. ඒ නිසාම ආගමික සේවාවන් ලබාගැනීමත්, සේවා සැපයීමත් එක්තරා විදියක පාරිභෝගිකයන්ගේ සහ සැපයුම්කරුවන්ගේ පද්ධතියක් වෙලා තියෙනවා. මේ ක්‍රමයෙන් තොර ලෝකයක් හිතාගන්නවත් බැරි තරමට මේ පද්ධතිය ප්‍රබලයි.

ඒ වගේම මේක තමන්ගෙ කැමැත්තෙන් ආගම අතහරින අය වෙත ලොකු පීඩනයක් එල්ල කරන්න තරම් බලවත් ව්‍යාපාරයක්. ඒ වගේම මිනිස්සුන්ව මෙහෙයවන්න මේ ආගමික පද්ධතීන්ට තියෙන හැකියාව නිසා තාමත් ආගමික ව්‍යාපාරවලට දේශපාලනික සහයෝගය ලැබෙනවා.

ආගමික පද්ධති කියන්නෙ ඒ තුළම ස්වාධීන පද්ධති. ඒ තුළින් සියල්ලටම පිළිතුරු තියෙනවා. බොහොමයත් පද්ධති අවුරුදු දාස් ගාණක් තිස්සේ තෙම්පරාදු වෙලා නිසා සහ පාරම්පරිකව ආගමෙන් තොර ජීවිතයක් හිතාගන්නත් බැරි තරමට මිනිස්සු ආගමීකරණය වෙලා තියෙන නිසා ඒවා ප්‍රශ්න කරන අය අඩුයි. ප්‍රශ්න කළත් ඒ හැම ප්‍රශ්නයකටම අදාළ පද්ධතිය තුළම උත්තරයක් තියෙන නිසා තවත් දීර්ඝ කාලයක් ඒවට පවතින්නත් පුළුවන්. හැබැයි ආගම් බිහි වීමේ ආරම්භක හේතු සහ අවශ්‍යතාවයන් ටික ටික සෑහෙන්න වෙනස් වෙලා. මේ වෙද්දි ආගම තමන්ගෙ මූලික දාර්ශනික ප්‍රශ්නවලට උත්තර දෙන මූලයන් විදියට ගවේෂණය කරන එක කරන්නෙ සුළු දෙනෙක්. බොහොමයක් අයට ඒක පූජනීය, ආරක්ෂා කළ යුතු, වතාවත් මගින් රැකිය යුතු දෙයක් විතරයි. එහෙම නැත්තං රස්සාවක් විතරයි.

විද්‍යාව කියන්නෙ ඒකට සෑහෙන්න වෙනස් දෙයක්. විද්‍යාව කියන එක උත්තර හොයන්නෙම වෙනස් විදියෙ ප්‍රශ්න වලට. ඒ වගේම ප්‍රශ්නෙට නිශ්චිත උත්තරයක් එනකල් ඒ හෙවිල්ල නවතින්නෙත් නෑ. ඒ නිශ්චිත උත්තරෙත් පසු කාලෙක වඩාත් සත්‍යාසන්න සොයාගැනීමකින් එළියට විසිවෙන්න පුළුවන්. ප්‍රශ්න ඇහිල්ලත් නවතින්නෙ නෑ.

දේවල්/ සිදුවීම් වෙන්නෙ කොහොමද?
දේවල් හැදිල තියෙන්නෙ මොනවයින්ද/ මොනවයින්ද?
අතීතය මොන වගේද?
අනාගතයෙ මොකක් වෙයිද?

මේ දැනට හිතුණ මූලික ප්‍රශ්න කීපයක් විතරයි. කෙනෙක් කුතුහලය මෙහෙයවන දිසාව ඔස්සේ හැමදාම අළුත් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නවලට කෙනෙක් හොයාගන්න උත්තර හිතුමතේ ප්‍රකාශ කරන්න බෑ. ඒව පදනම් වෙන්නෙ තහවුරු කල හැකි සාක්ෂි මත. ඒ වගේම එක සාක්ෂියක් මත හෝ එක ප්‍රතිඵලයක් මත තීරණය වන දෙයක් නොවිය යුතුයි. එකම තත්ත්වයන් යටතේ ප්‍රතිඵල සමාන විය යුතුයි. වෙනස් තත්ත්ව යටතේ ලැබෙන ප්‍රතිඵල පැහැදිලි කල හැකි විය යුතුයි.

ඉතිං සමහර වෙලාවට යම් ප්‍රශ්නෙකට විද්‍යාත්මක උත්තරයක් හොයන්න කෙනෙක්ගෙ ජීවිත කාලයක් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. කෙනෙක් හොයාගන්න මූලික දේ පසුව සාමූහිකව ගොඩනැගෙන දෙයක් වෙන්නෙ ඒක නිසයි. ඒකෙදි මේ වෙනකල් හරියටම පැහැදිලි කර නොගත් දෙයක් වෙනුවෙන් දැනට තියෙන වඩාත්ම තාර්කික පැහැදිලිකිරීම පිළිගැනෙනවා. මේක සිද්ධ වෙන ක්‍රමය ගැන මට තියෙන සාධනීය අදහස මිස ඇත්තටම සිද්ධ වෙන දේ නෙවෙයි. විද්‍යාත්මකව හිතුව කියල මිනිස්සු උත්තම වෙන්නෙ නෑ. ඉරිසියාව කුහකකම තියෙන නිසා අළුත් අදහස් ඕන තරම් නිෂ්ප්‍රභ වෙලා ඇති.

විද්‍යාවත් බටහිර පෙරදිග විදියට වෙන් කරගෙන දඟලන පිරිසක් ඉන්නවා. වෙනස් තත්ත්ව යටතේ වෙනස් දැනුම් පද්ධතීන් ඔස්සේ එකම ප්‍රශ්නයට විවිධ විසඳුම් හැදිල තියෙනව වෙන්න පුළුවන්. හැබැයි එකිනෙක ගැටෙද්දි ඒ විසඳුම්වලින් වඩාත් සාර්ථක එක තමයි පවතින්නේ. යම් විසඳුමක් සාර්ථක වීම කියන එක, ඒක කොයි තරම් හොඳින් මාකට් වෙනවද කියන එක මතත් රඳා පවතිනවා. දැනුම සොරාගැනීම, සැඟවීම, වෙනස් කිරීම වගේ දේවල් නිසා යම් යම් දැනුම් පද්ධතීන් ක්‍රමයෙන් බිඳ වැටිලා තියෙනවා. උදාහරණයකට අසනීපයක් හැදුණ කෙනෙක් ගත්තොත් එයා ඒ අසනීපෙට විවිධ වර්ගයේ බෙහෙත් කරනව වෙන්න පුළුවන්. ඉංග්‍රීසි වෙදකමින් පටන් අරන්, දේශීය, ආයුර්වේද, චීන ආදී වෙනස් ප්‍රතිකාර විදි ගොඩක් කරලත් හොඳ නොවුනට තොවිලයක් කරල හොඳ වෙන්න පුළුවන්.

විද්‍යාවත් එක්ක ඇරගන්න එන කට්ටිය ගන්න සුලභ ප්‍රහාරාත්මක උදාහරණයක් තමයි නිව්ටන් සහ අයින්ස්ටයින්. ගුරුත්වය පිළිබඳව නිව්ටන් ඉදිරිපත් කරපු අදහස් දැන් වලංගු නැති බවත් ඒවා අයින්ස්ටයින් විසින් ප්‍රතිස්ථාපනය කරපු බවත් තමයි එයාල පුන පුනා කියන්නේ. වැඩේ කියන්නෙ ඒකම තමයි විද්‍යාව වඩාත් තාර්කික සත්‍යයක් කියන්න තියෙන සාධකය. නිව්ටන් ඔහු ජීවත් වුණ 17 සියවස වනවිට තිබුණ දැනුම සහ තාක්ෂණය ඔස්සේ හිතල දේවල් ටිකක් කිව්වා. ඒව වැරදි නැහැ. අදටත් ඒ ආශ්‍රයෙන් කරන ගණනය කිරීම් වලංගුයි. හැබැයි ඔහුට සම්පූර්ණ කරන්න නොහැකි වුණ කොටසක් තියෙනවා. ඔහු ප්‍රශ්නය දිහා බලපු විදියට බලලා ඒක සම්පූර්ණ කරන්න බැහැ. ඒ දියුණු කිරීම තමයි අයින්ස්ටයින් කරන්නේ. අයින්ස්ටයින් ප්‍රශ්නය දිහා බලන විදිය වෙනස් කරල වඩාත් තියුණු පිළිතුරක් හොයාගන්නව.

ගුරුත්වය අදාළ වස්තු අතර ඇතිවෙන ආකර්ෂණයක් විදියට තේරුම්ගන්න නිව්ටන් ඒ ආකර්ෂණය වස්තූන්වල ස්කන්ධය මත රඳා පවතිනව කියල පැහැදිලි කරනවා. අයින්ස්ටයින් ගුරුත්වය තේරුම් ගන්නෙ වස්තූන් විසින් අවකාශ කාලයේ ඇතිකරන වක්‍රතාවයක් විදියට. මේ අර්ථදැක්වීම නිව්ටන්ගෙ අර්ථදැක්වීමට වඩා පුළුල්ව සත්‍යාපනය වෙනව. ඒ ඔස්සේ අනුමාන කරන සිදුවීම් පසුව ඔප්පු වෙනව. ඒ නිසාම සාපේක්ෂතාවාදය කේන්ද්‍රගත වුණ දැනුම මේ වෙද්දි පැහැදිලිකිරීම් කරද්දි වඩාත් වලංගු වෙනව. ඒක නිව්ටන්ගේ අදහස්වලම එක්තරා දිගුවක්. නිව්ටන් ප්‍රතිස්ථාපනය වීමක්ම නෙවෙයි. මේ දිගු මිනිස් ශිෂ්ටාචාරය පවතින තුරාම දැනුම සම්බන්ධයෙන් සිද්ධ වෙන දෙයක්.

නිව්ටන් සහ අයින්ස්ටයින් කියපු දේවල් තවත් තියුණු වෙමින් සහ පැහැදිලිවෙමින් පවතිනවා. ඉදිරියේදී ගුරුත්වය වගේ අදහසක් පැහැදිලි කරන්න වෙනම මූලධර්ම නිර්මාණය වෙයි. විද්‍යාව වඩාත් නිවැරදි උත්තර හොයාගනියි. කවුරුවත් නිව්ටන් හෝ අයින්ස්ටයින් හෝ හෝකින්ස් හෝ දෙවිවරු කරගෙන නැති නිසා ඔවුන් ඉතිහාසයේ ඔවුන්ට හිමි ස්ථානයේ සලකුණක් විදියට අනාගතයට ඉතිරි වෙයි. මොකද නිව්ටන් කෙනෙක් නැතුව අයින්ස්ටයින් කෙනෙක් බිහිවෙන්න තියෙන අවකාශය වෙනස් වෙනවා. පයිතගරස් කෙනෙක් නොහිටියා නම් ඊට පස්සෙ ලෝකයේ චින්තනය විහිදුන විදියම වෙනස් වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නෑ ඒ අය නොහිටියාට වෙන කෙනෙක් ඒ තැනට නොඑයි කියලා. නිව්ටන් නොහිටියා නම් සමකාලීන හෝ පසුකාලීන වෙනත් විද්‍යාඥයෙක් නිව්ටන් කියපු දේම කියන්න පුළුවන්. පසු කාලෙක අයින්ස්ටයින් කියපු දේවල් වෙනස් කෙනෙක් කියන්න පුළුවන්.

මේකෙදි තේරුම් ගන්න ඕන වෙන්නෙ 'විද්‍යාව' කියන අදහස් ටික පුද්ගලයන් මත නොරැඳෙන බවයි. ඒක ඇත්ත හොයාගන්න කරන උත්සාහයක්. ඒ උත්සාහය නතර වෙන එකක් නෙවෙයි.

ලෝකය ගෝලාකාරයි කියල මුලින්ම කියල තියෙන්නෙ පයිතගරස් කියල කියවෙනවා. හැබැයි ඒක සැක සහිතයි. පසුව ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් වඩාත් නිවැරදිව ඒක අනුමාන කරනවා. පසුකාලීනව විවිධ විද්‍යාඥයින් ලෝකයේ ගෝලීය බව පැහැදිලි කරන සාධක හොයාගන්නවා.

15 සියවස වගේ වෙද්දි යුරෝපීයයන් මුහුද තරණය කරන්න පටන්ගන්නවා. පෘතුගාලෙ කොලොම්බස් ඇමරිකාව කිට්ටුවට යනවා. ඇමරිගෝ වෙස්පුචි කියන ඉතාලි ජාතිකයා ඇමරිකාවටම යනවා. පෘතුගීසිකාර වස්කෝ ද ගාමා ලෝක ගෝලයේ දකුණට යාත්‍රා කරලා දකුණු අප්‍රිකා මහද්වීපය යටින් ගිහින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට එනවා. ෆර්ඩිනන්ඩ් මැගලන් අත්ලන්තික් සාගරය හරහා දකුණු ඇමරිකා මහද්වීපය යටින් ගිහින් ආයෙත් පැසිෆික් සාගරයේ පොලිනීසියානු දූපත් හරහා පිලිපීනයට එනවා. පිලිපීන දූපත් අතර ක්‍රිස්තියානිය ප්‍රචාරය කරන වැඩේ අතරෙ ස්වදේශික ගෝත්‍රිකයන් අතින් මැගලන් මරා දැමෙනවා. ඔහු මිය ගියාට පස්සෙ ඔහුගෙ නාවික කණ්ඩායමේ කපිතන්වරයෙක් වෙන ජුවාන් සෙබස්තියන් එල්කානෝ විසින් ඉන්දියන් සාගරය හරහා අප්‍රිකා මහද්වීපයේ යට කේප් තුඩුවත් බැහැ දැකලා ආයෙත් අත්ලන්තික් සාගරය හරහා පෘතුගාලෙට යනවා. ඒ ඔස්සේ ලෝකයේ වටේ යන්න පුළුවන් කියන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් කියල පැහැදිලි වෙනවා.

විසි වෙනි සියවසේදි රොකට් තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු පොළොවේ තල පෘෂ්ටයේ සීමාවෙන් මිදිලා ගුවනට ගිහින් පොළොවේ ගෝලාකාර බව නිරීක්ෂණය කළා. මූලධර්ම ඔස්සේ හෝ නිරීක්ෂණයන් ඔස්සේ දැකපු ගෝලාකාර ලෝකය ඇත්තටම ගෝලීයයි කියල ඇහින් දැක්කා.

මේ සියලු දේ බටහිර විද්‍යාවෙන් කරපු රැවටිලි ගානට දාල කතා කරන පිරිස් ඉන්නවා. ඒ අය තමන් ඉන්න භාජනේ ඇතුලෙම ඉන්න එක හොඳයි. දැනුම කියන දේට සංස්කෘතිය, ජාතිය, ආගම වගේ බේද තවරනකල් ලෝකය අස්සෙ තව පොඩි කෑලි වෙන් වෙලා තියෙන එක වළක්වන්න බෑ.

මැගලන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ලෝකය වටේ යාම හේතුවෙන් එතෙක් ලෝකය ගැන තිබුණ දැනුම වඩා නිවැරදි වුණා. විද්‍යාත්මක චින්තනය කියන පද්ධතිය ඔස්සේ ලෝකයේ දැනුම වඩාත් නිවැරදි වෙමින් තියෙන එකට සීමාවක්වත් නැවතීමක්වත් නෑ. ඕනම දැනුම් පද්ධතියක් දිගටම පවතින්නෙ විද්‍යාත්මක තර්කයට අදාළ නම් විතරයි.


Friday 14 August 2020

ඇවිලෙනසුලුයි (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්

 

ස්පොයිල් වීමට ඉඩ තිබේ!


ලංකාවෙ වර්තමාන චිත්‍රපටි ලෝලියො චිත්‍රපටිවලට ලොල් වෙලා තියෙන්නෙ සිංහල චිත්‍රපටි නිසාවත් චිත්‍රපටි ශාලාවල චිත්‍රපටි බලලවත් නෙවෙයි. බොහොම දෙනෙක් බලල තියෙන සිංහල නොවන චිත්‍රපටි ප්‍රමාණය වැඩියි වගේම හෝල්වල බලනවට වඩා ගෙදර ඉඳන් චිත්‍රපටි බැලෙන වාර ගණනත් ඉතාම වැඩියි. ඒ නිසාම හෝල් එකක් අස්සෙදි වෙනම ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙනවා. උදාහරනෙකට සිංහල නොවන චිත්‍රපටියක් සබ් එක්ක බලද්දි බැරි වෙලාවත් දෙබසක් මිස් වුණොත් ආපහු තප්පර ගාණක් බැක්වර්ඩ් කරල බලන්න විදියක් නෑ. ඒ වගේම භාෂා භේදයකින් තොරව බැරි වෙලාවත් යම් දර්ශනයක් තුළ සිද්ධ වෙන දේ ප්‍රොසෙස් කරගන්න ඕනවට වඩා කල් ගත්තොත් චිත්‍රපටිය මිස් වෙනවා. ඔහොම දේවල් නිසා හෝල් එකක චිත්‍රපටියක් බැලීම වෙනත් විදියකින් ඒ චිත්‍රපටියම බලනවට වඩා වෙනස් අත්දැකීමක්. හෝල් එකක් තුළදි අපේ තේරුම් ගැනීමේ හැකියාවත්, ප්‍රොසෙසිං හැකියාවත් පරීක්ෂාවට ලක් වෙනවා.

මේ කතාව කියන්න ඕන වුණේ ඇවිලෙනසුලුයි නරඹද්දිත් ඒක ආයෙම බැක්වර්ඩ් යවලා බලන්න ඕන කියලා හිතුණ අවස්ථා ගාණක්ම තිබුණ නිසා. එහෙම වුණේ ප්‍රොසෙසිං ප්‍රශ්නෙකට වඩා රූපරාමුව හෝ අදාළ දර්ශනය ආයෙම බලන්න උවමනා වීම නිසයි. ඒක සිංහල චිත්‍රපටියක් සම්බන්ධයෙන් පළමු වතාවට වුණ දෙයක්. රූප රාමු සහ කැමරාව හැසිරවීම තදින් හිතට වැදුණ නිසයි ඒ. ඉතිං අනාගතේ යම් දවසක එහෙම බලනකල් චිත්‍රපටිය ගැන හිතුණ දේවල් සටහන් නොකර ඉන්න හේතුවකුත් නැහැ. ඇත්තටම මේ ලියවෙන්නෙ චිත්‍රපටිය ගැනමත් නෙවෙයි. චිත්‍රපටියෙ වටපිටාව ගැන පසුව හිතුණ දේවල් ටිකක්.

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය දවල් 1.30ට බලද්දි අපි ඊට කලින් 10.30 දර්ශනයෙදි ‘සූස්ති‘ චිත්‍රපටිය බලලයි හිටියෙ. මේ චිත්‍රපටි දෙකම රෝඩ් ට්‍රිප් ගණයට දාන්න පුළුවන්. දෙකම ටිකක් එකම ආකෘතියක චිත්‍රපටි. හැබැයි තේමාවන් ඉතාම වෙනස්. චිත්‍රපටි දෙකේම සමනලී සිටීම එක්ක එක්තරා විදියකට එකම ගලායාමකුත් නොදැනුණා නෙවෙයි.

ඇවිලෙනසුලුයි තුළ දර්ශන දිගහැරෙන ස්ටයිල් එක, පර්ච්ඡේද වෙන් කර තිබීම, වර්ණ භාවිතය, යොදාගන්න සංගීතය, සිදුවීම්වල ස්වභාවය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් අස්සෙ ටරන්ටිනෝ සහ ඩේවිඩ් ලින්ච් හමුවීම මට විතරක් වුණ දෙයක් නෙවෙයි කියලා පසුව විස්තර කියවද්දි තේරුණා. ටරන්ටිනෝගෙ චිත්‍රපටි සේරම වගේ බලල තිබුණත් ලින්ච්ගේ චිත්‍රපටි අතරින් කීපයක් විතරයි මම බලල තියෙන්නේ. ඒ බලපු චිත්‍රපටි ගැන පැහැදිලි කරගන්න ඕන නිසා කියවපු සහ නරඹපු අමතර දේවල් අස්සෙ ලින්ච් ගැන දැනගත්ත දේවල් ‘ඇවිලෙනසුලුයි‘ තේරුම්ගනිද්දි උදව් වුණා. මේ දේවල් ගැන මම ඉගෙනගෙන නැහැ. ඒ නිසා මුලධාර්මිකව මේ අදහස් 100%ක් නිවැරදි නොවෙන්න වෙන්න පුළුවන්. වඩා නිවැරදිව දන්න කෙනෙක් කියල දුන්නොත් අපි හැමෝටම ඉගෙනගන්න පුළුවන් වෙයි.

ලින්ච් සැලකෙන්නෙ අතාත්විකවාදී (surrealist) සිනමාකරුවෙක් විදියට. ඔහුගේ නිර්මාණ අස්සෙ සැබැවින් පේන දේට එපිටින් හෝ ඇතුළතින් පවතින අදහසක් ගැන ඔහු කතා කරනවා. චිත්‍රපටිය බලන මනුස්සයා චිත්‍රපටිය අස්සට ගන්න අවස්ථා තියෙනවා. අභව්‍ය සිදුවීමක් හෝ වස්තුවක් විසින් චිත්‍රපටියට අදාළ සිදුවීම් ගොඩනගනවා. ඒව තේරුම්ගන්න එකත් එකිනෙකාගෙ කියවීම් ප්‍රමාණය අනුව තීරණය වෙනවා. මුල මැද අග පිළිවෙළට ගැළපුණ කතා කීමකට වඩා ඔහු සිදුවීම් පෙළක් ඉදිරිපත් කරනවා. ඒ සිදුවීම් ඔස්සේ එකිනෙකාට දැනෙන තේරෙන දේවල් ඔස්සේ අර්ථ දක්වගන්න දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගෙ නිර්මාණ ගැන පැහැදිලි කිරීම් ලින්ච් විසින් කළා කියල මම කියවල නෑ. ඔහු කියන්නෙ තමන් චිත්‍රපටියක් නිර්මාණය කරන්නෙම චිත්‍රපටි භාෂාවෙන් කියල. ඒව තේරුම්ගන්න වෙන භාෂාවකින් බෑ. ඒ අතින් ඔහු ප්‍රේක්ෂකයාට කිසිම අවස්ථාවක් හෝ සමාවක් නොදෙන අධ්‍යක්ෂවරයෙක්.

මේ ලින්ච් ගැන කතාව කිව්වෙ ‘ඇවිලෙනසුලුයි‘ ගැන කියවන්න ලැබුණ වෙනත් සටහනක අතාත්විකවාදය ගැනත් කියල තියෙන නිසා. ඒ ගැන දැනගෙන චිත්‍රපටිය බැලීමෙන් චිත්‍රපටිය විඳින්න පහසුවක් වෙන්න පුළුවන්. දැනටමත් බලලා තියෙනවනම් ඒ අත්දැකීම තව තීවෘ කරගන්න පුළුවන්. එහෙම නැත්තං චිත්‍රපටිය අස්සෙ අතරමං වීම ම චිත්‍රපටිය මගින් ලැබෙන දේ විදියට තේරුම්ගන්න පුළුවන්. 

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය මම බලල තියෙන සිංහල චිත්‍රපටි අතර තාක්ෂණිකව ආසන්නයෙන් පරිසමාප්ත එකක්. කැමරාව මෙහෙයවෙන්නෙ කලින් ලංකාවෙ නිර්මාණයක නොදැකපු පරාසයක. සිංහල චිත්‍රපටියක් අස්සෙ එහෙම ෆ්‍රේම් දකින්න ලැබුණ එක අලුත්ම අත්දැකීමක්. පාටවල් අස්සෙ දැනෙන්නෙ එක්තරා තනිකමක්. එහෙම වර්ණවලින් ප්‍රකාශනයක් කරන දේශීය සිනමාවේ අවස්ථා ඉතාම විරලයි. කලිනුත් කිව්ව වගේ ආයෙම බලන්න ඕන කියල හිතුණ දර්ශන ගාණක්ම තිබුණා. සමස්තයක්  විදියට ඇවිලෙනසුලුයි රූපාවලිය ඉතාම ආකර්ෂණීයයි. ඒක කොලිටි වැඩක්. 

ඒ කොලිටි එකම මට මියුසික් අස්සෙත් ඇහුණා. ‘මැණිකෙ මම ආයෙ ගෙදර එනවා‘ එක විදියකින් තීම් එකක්. චිත්‍රපටිය තුළ සිදුවන නැවත මුණගැහීම් සින්දුවට ලින්ක් කරගන්නත් ඕනනං කෙනෙක්ට පුළුවන්. රඟපාන උන් අතරෙ ප්‍රියන්ත සිරිකුමාර ඉන්න සුළු කොටස අනිත් කොටස්වලින් වෙන්වෙලා පේනවා. මීට වඩා අවස්ථා දෙන්න ඕන ඔහුට.

සාමාන්‍යයෙන් සංස්කෘතිය අස්සෙ මිනිස්සුන්ගෙ ෆැන්ටසිය හදන්නෙම කසාද බඳින්න. 'ඊට පස්සෙ' ළමයි හදාගෙන උන්ව බලා කියාගෙන ස්වභාවධර්මයේ චක්‍රය ගත කරන්න. හැබැයි ඔය 'ඊට පස්සෙ' කොටස අස්සෙ තියෙන අභියෝග ගැන සංස්කෘතික කතා බහ ඉතාම අඩුයි. කතාවට කියන්නෙ පවුලෙ ගිනි පිටට දෙන්න එපා කියල. ඒ නිසා දීර්ඝ කාලීනව එකට ජීවත් වෙද්දි සමහර විට මුහුණ දෙන්න වෙන අමිහිරි තත්ත්වයන් ගැන, පීඩනය ගැන අත්දැකීමකින් මිස කෙනෙක්ට දැනගන්න තියෙන ඉඩ අඩුයි. පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ට මේක බොහෝ දුරට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒත් එහෙම නොවෙන අවස්ථා ඉතාම වැඩියි කියල හිතෙනවා. මේ වෙද්දි සෝෂල් මීඩියා විසින් ඒ පීඩනය යම් තරමකට උරාගන්නවා. පණ දීගෙන ලව් කරලා බැඳලා අවුරුද්දකින් දෙකකින් මිනිහට/ ගෑනිට කොමික් හින්ට් ගහපු පෝස්ට් ශෙයා වෙනවා. බැලූ බැල්මට ඒව විහිළු තමයි. හැබැයි එහෙම එකක් ප්‍රකාශ කරන්න උවමනා වීමේ මානසිකත්වය ටිකක් සීරියස් එකක්. කොහොම නමුත් සෝෂල් මීඩියාවලට රිලීස් කරලත්  දරාගන්න අමාරු ජීවිතයක් සම්බන්ධයෙන් කෙනෙක් ගන්න තීරණ කලින් කියන්න බෑ. මේක සුළුවෙන් වුණත් චිත්‍රපටියෙන් පස්සෙ හිතන්න පෙළඹුණ දෙයක්. මෙතනම කියල දැම්මා. 

අපි කතා අහන්න හුරු වුණ මිනිස්සු පිරිසක්. මුල මැද අග පිළිවෙලින් තියෙන කතා තමයි පුංචි කාලෙ ඉඳන් අහන්නෙ. මූලික වශයෙන් ජාතක කතා, ජන කතා, ආරබි නිශොල්ලාසය වගේ පොතකින් ආපු කතා, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලියපු කතා පුංචි කාලෙ ඉඳන්ම අහලා ඒ කතා රස විඳීමේ ආශාවෙම දිගුවක් විදියටයි හුඟ දෙනෙක් චිත්‍රපටි ලෝලියෙක් වෙන්නේ. සීරියස් චිත්‍රපටි ලෝලීන් එතනින් නොනැවතී විවිධ චිත්‍රපටි වර්ග හොයාගෙන යනවා. ඒ ඔස්සේ විවිධ රසයන් විඳිනවා. ඇවිලෙනසුලුයි කියන්නෙත් සිංහල සිනමාවට හැදුණ වෙනස්ම රසයක චිත්‍රපටියක්. ඒක අස්සෙ කතාවක් හොයන්න ගියොත්නම් අවුලක් වෙනවා. කතාවක් කියනවට වඩා මේකෙ තියෙන්නෙ සිදුවීම් පෙළක්. ඒ අස්සෙ කතා කීපයක් තියෙන බවක් දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ එකම කතාවක අවස්ථා දෙකක්ද? එහෙමත් නැත්නම් එකම කතාවේ නිරූපණයන් දෙකක්ද? වර්තමානයට අතීතය හමුවීමක්ද? ඔය එකක්වත් නැති පේන දේවල් විතරක් ඇතුළත් සිම්පල් කතාවක්ද?

ඒක බේරුම් කරගන්න එක තනි තනි ප්‍රේක්ෂකයගෙ වැඩක්. ඔබ චිත්‍රපටි ශාලාවට යන්නෙ කණ්ඩායමක් එක්ක වුණත් චිත්‍රපටිය ඔබට දෙන්නෙ පුද්ගලික අත්දැකීමක්.

චිත්‍රපටිය බලල නැති කෙනෙක් මේ සටහන මේ තරම් දුර කියෙව්වනම් දැන් තියෙන්නෙ වහාම ඒක බලන්න. මේක හැමෝටම හරියන චිත්‍රපටියක් නෙවෙයි. හැබැයි ලංකාවෙ සිනමාව දියුණු වෙනවනම් මේ ආකාරයේ චිත්‍රපටිත් ඕනමයි. විවිධ විදියේ අන්තර්ජාතික සිනමා නිර්මාණ රස විඳින ලාංකික චිත්‍රපටි රසිකයින් ලංකාවෙ සිනමාවට ආකර්ෂණය වෙන්න ඒ විවිධත්වය අත්‍යවශ්‍යයි.

Monday 10 August 2020

Nagarkirtan (2017) - බෙංගාලි චිත්‍රපටය



මේක බෙංගාලි චිත්‍රපටිවලට, හරියටම කිව්වොත් රිත්වික් චක්‍රබෝර්ති  කියන නළුවා රඟපාන චිත්‍රපටිවලට වහ වැටුණ කාලෙ ඉඳන් බලන්න හොයපු චිත්‍රපටියක් වුණත් බාගන්න පුළුවන් කොපියක් අප්ලොඩ් වෙලා තිබුණෙ මෑතකදි. ඒ නිසා වහාම බලන්න ඕන වුණා. 

ඉන්දීය සිනමාවෙ සංක්‍රාන්ති ලිංගිකත්වය ගැන කතා කරන චිත්‍රපටි ඕන තරම් ඇති. එහෙම අයට ඒ සංස්කෘතිය ඇතුලෙ තියෙන පිළිගැනීම මොකක්ද කියන එකත් රහසක් නෙවෙයි. මම හිතන්නෙ කෙනෙක්ගේ ලිංගික නැඹුරුව ඒ පුද්ගලයාගේ පාලනයෙන් තොර දෙයක්. ඒක කිසිසේත්ම වෙනත් අයගෙ පාලනයට නතු වෙන එකක් නෙවෙයි. පුංචි කාලෙ සිද්ධ වෙන මානසික ගොඩනැගීම් නිසා හෝ උපතින්ම ලැබෙන ස්වභාවික හේතු නිසා කෙනෙක් ‘සම්මත‘ මොඩල් එකෙන් පිට පනින්න පුළුවන්. නමුත් ඒ කියලා ඒ අයට දැණෙන හැඟීම්වල කිසිම වෙනසක් නෑ. 

මේ චිත්‍රපටිය බලන්න ගත්තෙ ඇත්තටම කලින් කියපු නළුවා නිසා වුණාට මේක මට මාර චිත්‍රපටියක් වෙන්නෙ Riddhi Sen කියන නළුවා නිසා. ඒක මේකප් එකෙන් එහා ගිය සීරියස් රඟපෑමක්. ඒ නිසාම ඔහු මේ වෙද්දි ඉන්දීය ජාතික සම්මානය දිනාගත්ත ලාබාලම නළුවා වෙලා ඉවරයි. ඒ වගේම කියවන්න ලැබුණ විධියට යම් ශ්‍රේණිගතකිරීමකදි ඒ රංගනය පසුගිය දශකයේ ඉන්දියාවේ හොඳම රංගනයන් සීයටත් ඇතුලත් වෙලා තියෙනවා. 

සංගීතය කොහොමත් චිත්‍රපටියක් එක්ක වෙලෙන්න ලබා දෙන්නෙ අරුම සහයෝගයක්. මම මේ චිත්‍රපටියෙදිත් අත්වින්ද දෙයක් ඒක.

මේක අතිශයින් නාට්‍යමය චිත්‍රපටියක්. මේ දක්වා බලපු බෙංගාලි චිත්‍රපටි අනුවනම් ඒ නිර්මාණකරුවන් මිනිස්සුන්ගෙ ජීවිතයේ ගැඹුරුම තැන් ගැන කතා කරන්න පුදුම දක්ෂයින්. මේ චිත්‍රපටියෙදිත් සාමාන්‍ය මිනිස් හැඟීම් ගැන වෙනස්ම දෘෂ්ඨියකින් දැකල ගොඩනංවපු පරිසමාප්ත සිදුවීම් පෙළක් දැකගන්න පුළුවන්. 

1337x අඩවියේ තියෙනවා. නාට්‍යමය චිත්‍රපටි රසිකයින්ට මේක සෑහෙන්න වටියි.

Monday 3 August 2020

සූස්ති (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්


ස්පොයිල් වීමට ඉඩ තිබේ.

මේ චිත්‍රපටිය හෝල් එකකට ගිහින් බලන්න පුළුවන් වෙයි කියල හිතුණ එකක් නෙවෙයි. ඒකට විවිධ හේතු කීපයක්ම තිබුණා. නමුත් කලින් සැලසුම් කරගෙන හිටපු දේවල් කීපයක් වෙනස් වීම නිසා සූස්ති චිත්‍රපටියත් ඇවිලෙනසුලුයි චිත්‍රපටියත් එකම දවසක එකම ශාලාවක 10.30ට සහ 1.30ට බලන්න පුළුවන් වුණා.

සූස්ති චිත්‍රපටියෙ ට්‍රේලර් එකවත් නොබල ඒ ගැන කිසිම දෙයක් කියවන්නෙවත් නැතුව හිටි පසුබිමකයි මම හෝල් එකට ගියේ. රෝඩ් ට්‍රිප් වර්ගයේ චිත්‍රපටියක් බවත් දසුන් පතිරණ රඟපාන බවත් විතරයි මට මතක තිබුණෙ. චිත්‍රපටියෙ විනාඩි පහළොවක් විතර යනකල්ම මම හිතුවෙ දසුන් ප්‍රධාන චරිතෙකට ඇති කියලයි :P

චිත්‍රපටිය ගැන මට හිතුණ සමස්ත අදහස ගත්තොත් කියන්න වෙන්නෙ ‘මරු! තව පොලිෂ් වුණා නං මරේ මරු‘ වගේ එකක්. එහෙම එකක් ඉබේම දැනෙන එක වළක්වන්න බෑ. මේ වෙද්දි ලංකාවෙ මිනිස්සු සැලකිය යුතු පිරිසක් අඩු ගානෙ චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඇසුරු කරන අය. ඒ නිසා එයාලව රවට්ටන්න බෑ.  ඒ නිසා ඒක සාමාන්‍යයෙන් හැම විදියෙම චිත්‍රපටි බලන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන් දෙයක්. ඉතිං මට හිතෙන දේ ඒක. වැඩේ මරු. තව ටිකක් පොලිෂ් වුණානං තවත් මරු. හැබැයි ලංකාවෙ වැඩක් විදියට නියමයි. සූස්ති කොහොමත් බහුතරයක් මිනිස්සු නරඹන්න ඉඩ තියෙන වර්ගයේ චිත්‍රපටියක් නෙවෙයි. නමුත් බහුතරයකගේ රසාස්වාදය විවිධත්වය දිශාවට තවත් නැඹුරු කරන්න කරන වෑයම දිගටම සිදුවිය යුත්තක්. දෙදාස් පන්සීයේ සහ පන්සිය පනහේ ම හිරවෙලා ඉන්න ඕන නෑ. සූස්ති කියන්නෙ ඒ විදියෙ සාම්ප්‍රදායික ප්‍රේක්ෂකයිනුත් ආකර්ෂණය කරගන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්. ඉතිං ඒක බලල රස විඳපු බහුතරයක් නොවන අය විසින් පෙළඹවීමක් ඇති කල යුතුයි. මේ වෑයම ඒ වෙනුවෙන්.

‘සූස්ති‘ සිනමාවේ විවිධත්වය හොයන ප්‍රේක්ෂකයා නොරවටන චිත්‍රපටියක්. මේ වගේ බටහිර හෝ යුරෝපීය චිත්‍රපටි ගණනාවක් බලල තිබුණත් මේක ඊට වෙනස්. මොකද මේ රෝඩ් ට්‍රිප් එක අස්සේ ලංකාවෙ මේ මොහොතේ ඇත්ත අල්ලගෙන තියෙනවා. ‘සූස්ති‘ අපි ජීවත් වෙන සමාජය නිරුවත් කරල අපේ මූණටම දමල ගහන චිත්‍රපටියක්. සිංහල සිනමාව කියන එක මේ හැරෙන පැත්ත, එහෙම නැත්තං බෙදෙන අත්ත ශක්තිමත් වෙන්න ඕන කියන එකයි මගේ එකම පැතුම. මොකද මේක ෆිල්ම් ගැනත් සමාජය ගැනත් ස්ටඩි එකකින් එන එකක් මිස ෆිල්ම් හදන්න උපකරණ තියෙන නිසා එළියට ආපු වැඩක් කියල පේන්නෙ නෑ. එහෙම එකක් සම්පූර්ණයෙන් ගොඩ යන්නෙ මිනිස්සු ඒක බැලුවොත් තමයි.

කළණගෙ ලිවීම් ගැන මම දැනගෙන හිටියෙ ඔහු කවි පොතක් පළ කරපු බව කියවල තිබුණ නිසා. යූටියුබ් එකේ දැක්ක සම්මුඛ සාකච්ඡාවකදි ඔහු උත්තර දෙන විදියෙන් ඔහු කියවීමක් හැදෑරීමක් සහිතව වැඩේ ඇතුළෙ ඉන්න මනුස්සයෙක් කියන අදහසත් මට තිබුණා. ඒ නිසා ඔහුගේ ලිවිල්ල ගැන බලාපොරොත්තුවක් තිබුණා.

ලිවිල්ල ඉතාම හොඳ තැනක තිබුණත් තවත් මටසිළුටු කරන්න තිබුණා කියන අදහස මට තියෙනවා. චිත්‍රපටිය තුළ ගොඩනැගෙන සංවාදය දියුණුයි. ඒත් සමහර දෙබස් අස්සෙ ප්‍රායෝගික නැති තැනක් දෙකක් බලද්දි අහු වෙනවා. ඒක වෙන්නෙ චිත්‍රපටියට යොදවාගෙන ඉන්න මයින්ඩ් එක බිඳවැටීම නිසා. හරියට වීඩියෝ එකක ග්ලිච් එකක් වගේ එහෙම ස්වභාවික නොවෙන පොලාපැනීම් තේරෙනවා. ඒ සංවාදය තව ටිකක් බිමට ගේන්න පුළුවන්ද කියල මම දන්නෙ නෑ. සමහර විට පිටපත් ගැන තව තවත් සාකච්ඡා කළා නම් එහෙම වෙනස් වෙන්න තිබුණා. සමහර විට මෙ චිත්‍රපටිය ගැන ඔවුන්ගේ සාකච්ඡාවල දිගුව එළියට එන්න ඉඩ තියෙන්න ඊළඟ නිර්මාණයේදි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න කියන එකත් මගේ පැතුමක්.

ඒ උඩින් කියපු දේ සෑහෙන්නෙ මගඇරෙන්නෙ කළණ සහ සමනලීගෙ රඟපෑම නිසා. කලින් සමනලී රඟපාපු එකක් බලල නෑ වගේම කළණව ගත්තොත් මම ඔහුගේ කූඹියෝ ටෙලියවත් සම්පූර්ණයෙන් බලල නෑ. මට හිතෙන්නෙ සමනලීගෙ රඟපෑම චිත්‍රපටිය පුරාම අපූරුයි. කළණගේ දෙබස් ඩිලිවරිය සමහර විට ඔහුම ලියපු නිසාද මන්දා ඉතාම ස්වභාවිකයි. දෙන්නම චරිතය තේරුම් අරන් සීන් එකේ ඉන්න බව තේරෙනවා.

අනිත් අතට මට හිතෙන්නෙ මේකෙ ඉන්න දෙමව්පියො දෙන්න ඕනම නෑ කියලයි. ඒ දර්ශන කීපය විසින් ෆ්ලෝ එක කඩල දානව වගේම ඒ ටික නොතිබුණා කියල කතාවෙ තීම් එකට ලොකු බාධාවක් වෙන්නෙ නෑ. සමහර විට ප්‍රධාන නළු නිළි දෙපළගේ සාකච්ඡා අස්සෙ නොකියවෙන කෝණයකුත් චිත්‍රපටිය අස්සට දාන්න කුෂාන් සහ කළණ දෙන්නට ඕන වෙන්න ඇති. සාමාන්‍යයෙන් මුලින්ම නිර්මාණයක් කරද්දි වෙන ප්‍රශ්නයක් ඒක. තියෙන ඔක්කොම රිංගවන්න යන එක. සමහර විට චිත්‍රපටියේ ගලායාම කඩල පොඩි විවේකයක් දීම අරමුණක් වුණා වෙන්නත් ඇති.

මේකෙ සංගීතයත් ගීතයත් ගේන වයිබ් එක නියමයි. කැමරාව මෙහෙයවීම වෙනම වැඩක්. එක දිගට සෑහෙන්න වෙලාවක් රූපගත කරපු දර්ශන කීපයක්ම තිබුණා. කලින් එහෙම වැඩ තියෙන සිංහල චිත්‍රපටි දැකල තිබුණෙ නැහැ. ඒ දීර්ඝ දර්ශන අස්සෙ ඇදෙන දෙබස් තියෙනව කියන්නෙ කට්ටිය වැඩේ ෆුල් සීරියස් අරන් කියන එකයි.

අපේ රටේ (ලෝකෙමත් සමහර විට) මේ වෙනකොට තියෙන සමාජ විපරිත බව ඇතිවෙන්නෙ අධ්‍යාපනය අවුල් වීම නිසා කියල මට හිතෙනව. ඉවසීම, විනය වගේ වචන නොදන්න, ප්‍රශ්නයක් දිහා විවිධ පැතිවලින් බලන්න නොතේරෙන, අන්‍යෝන්‍ය ගෞරවය රැකගෙන වැඩ කරන්න නොතේරෙන මිනිස්සු පේනව වැඩියි. ඒක ක්ෂණිකව වුණ දෙයක් නෙවෙයි. ආර්ථික සමාජ පද්ධතීන් වෙනස් වීමත් එක්ක ඒකට හැඩගැහෙන ක්‍රමවේද අප්ඩේට් නොවීමේ අවුලක්. ඒක මේ වෙද්දි අපේ සමාජෙ පුරාම පැතිරුණු එකක්.  එපා වෙන තරමට හැම තැනකදිම හමුවෙන, රිපීට් වෙන දෙයක්. ඒ අස්සෙ ඔය සේරම එපා වෙලා ඉන්න කෙනෙක්ට බොහොම සුළු සිදුවීමක් ඇති ජීවිතේ එපා වෙලා මැරෙන්න ඕන වෙන. එහෙම වෙලාවක ජීවිතේ වෙනස් විදියකට දකින්න පෙළඹවීමක් ඇති වෙන්න තප්පරයක් ප්‍රමාණවත් වෙයිද?

මේ චිත්‍රපටිය එක්තරා විදියක පරීක්ෂණයක් කියල මට හිතෙනවා. ලංකාවෙ මේ වගේ ස්ක්‍රිප්ට් එකකට යන්න පුළුවන් දුර මොන වගේද කියන එක පරීක්ෂාවට ලක් වෙන තැනක්. දේශපාලනය ගැන ඇක්ෂන් මට්ටමේ නිර්මාණ බිහි වෙලා තිබුණත් ඒක දාර්ශනික පැත්තකින් ගොඩනගමින් බිහිවුණ චිත්‍රපටියක් මම බලල නෑ. මම හිතන්නෙ මේක ඒ වගේ වැඩවලට හොඳ ප්‍රවේශයක්. සමාජය ගැන කියවීමක්, සංවාදයක් ඔළුවට දාන චිත්‍රපටියක්. මේ කාලෙ හැමෝම සමාජ දේශපාලනික විශ්ලේෂකයෝ වෙලා ඉන්න නිසා මෙහෙම එකකට වටිනාකමක් ලැබෙයි කියල හිතනවා. මේ ලංකාවට අවශ්‍ය ටිත්‍රපටියක්. අපේ ජීවිත ගැන සංවාද කරන අපේ චිත්‍රපටියක්.

හැබැයි ඒ සංවාදය හෝල් එකෙන් එළියෙත් සිද්ධ විය යුතුයි. නිර්මාණය මගින් ඇති කරන සමාජ බලපෑම ක්‍රමයෙන් සමාජයේ වෙනස් වීමට බලපෑ යුතුයි. ඉතින් ඔබ සූස්ති නැරඹිය යුත්තේ ඒ නිසයි.

https://www.imdb.com/title/tt10827784/