Tuesday 3 January 2012

අවස්ථිතියෙන් මිදී....




පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.

සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.

විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....

ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...

ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...

ඔහු මුලින් හිතුවෙ එහෙම.

එහෙම හිතලා ලියන්න හිතපු ලියවිල්ල තවම ආරම්භ වෙලා නෑ... ලියන්න ඕන විධිය ගැන හිතුනට පේන්නෙ නම් ලියන්න දෙයක් හිතට නොඑන බවක්... තවමත් කොලයයි පෑනයි අතරෙ අඟලක ඉඩක්...

ඉලව් අවස්ථිතිය... පැතිකඩ රූපයි, විදුලි එලියයි, දුමයි එක්ක ඉදිරියට නොයන්නම හිරවුණ හිත...

ඔහු ඉරියව්ව වෙනස් කරල දුම්වැටියෙ අළු කැඩුවා.

ඊට පස්සෙ දිග දුම් උගුරක්. පෙනහළු වල ගර්ත සේරම පිරිල යන්න...

වෙනස්ම ලියවිල්ලක්? හැම වෙලේම ලියන්න පටන්ගන්නෙ එහෙම. ඒත් ලියවෙන්නෙ හැම වෙලේම එකම දේවල් ටිකක් ගැන. එකම විධියට. වෙනසක් නැතුවම...

සමහර විට ඒ චරිත එකිනෙකින් වෙනස් ඇති. මිනිස්සු ඒ චරිත වලට කැමති ඇති. ඉතිහාසෙ පුරාම වෙන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති.

අවසන් වුනු දුම් වැටිය නිවල පොඩි කරපු ඔහු පුටුවෙන් නැගිට්ටා. බෝල රාමුවෙ එල්ලුණ කෝට් එක දාගෙන කාමරයෙන් එලියට අඩිය තිබ්බා. ඔහුගෙ ගත පුරා දැවටුණෙ උහුලගන්න අමාරු දෙසැම්බර් සීතලක්. ඒක තෙතමනයක් නැති වියලි සීතලක්. ඒ සීතලේ ගැහෙන්න පටන්ගන්න කලින් ඔහුගෙ අත ආයෙමත් දුම් වැටියක් හෙව්වා.

නිවසේ ඉදිරි වැට උඩ ඉඳගත්තු ඔහු වලාකුළෙන් වැහුණු අඳුරු අහසට දුම් උගුරක් විද්දා... ඒ දුමින් කිසි දෙයක් මැවුණෙ නෑ. පාවෙන රුවල් නැවක්, මායාකාරියක්, හිම මිනිහෙක්.... කිසි දෙයක් මැවුණෙ නෑ...

ඒත්  ඒ දුම වියැකිලා යද්දි වලාකුළු අතරෙ ඔහුට එක තරුවක් පෙණුනා.

ඔහු ඒක දැක්කෙ අද. මේ දැන්.

ඒක අළුත් තරුවක්.

ඒත් ඒ තරුව ඊයෙත් පායන්න ඇති... හැමදාම පායන්න ඇති. ඒක ඔහුට අළුත් වුණේ ඔහු ඒක අද දැකපු නිසා මිස තරුව අළුත් නිසා නෙවෙයි.

ඒ මොහොතෙදි ඒ තරුව කවදාවත් නොදිලුණ තරම් දිලිසෙන්න ගත්තා. තරුවේ එලියෙන් ආයෙමත් ඔහුගෙ අනර්ඝ පැතිකඩ රූපයක් මැවුණා.

වෙනස් වෙන්නෙ මම! වටපිටාව හැමදාම එකවගේ... නැත්තං අඩුගානෙ වටපිටාවෙ වෙන වෙනස්කම් දිග කාලයක් පුරා වෙන නිසා ඒව එකපාරම දැණෙන්නෙ නෑ.

ඔහුට එහෙම හිතුණ. ඒක බොහොම වතාවක් හිතිල තියෙන දෙයක් බවත්, මේ මොහොතෙ ආයෙම ඒක මතක් වුණ බවත් ඔහුට ඒ එක්කම මතක් වුණා.

මල ඉලව්ව!

ඔහු දුම් වැටියෙ කොටේ ඉවතට විසි කරල නැගිට්ටා... ආයෙමත් කාමරේට වැදුණ.

පෑනයි කොලයයි අතරෙ ඉඩ ආයෙමත් විනාඩි ගාණක තිස්සෙ පැවතුණා....

ඊට පස්සෙ කොලය මත ගැටුණ පෑනෙ තීන්ත නොකඩවා ගලාගෙන ගියා.