Thursday 26 February 2009

ගෙ ගෙ ගෙ ගෙ ගෙම්බෝ

මේක සෑහෙන්න කාලයකට කලින් අපි කීප දෙනෙක් අතර ඇති වුණ කතාවක්. හරිම මුග්ධ සටහනක් වෙන්න පුළුවන්...

පාරෙ යද්දි වාහනේකට අහු වෙල බැගෙට තැලිල දඟලන ගෙම්බෙක් දැක්කොත්?

නොදැක්ක වගේ යන එක හොඳම විසඳුම වෙන්න පුළුවන්.

මොකද බාගෙට තැලුණම ගෙම්බ සාමාන්‍ය තත්ත්වෙට ව‍ඩා ආතල් එකේ ඉන්නවද කියල අපි දන්නෙ නෑනේ.

ඕන නම් ගෙම්බාව වේදනාවෙන් මුදවාගන්න හොඳට තියෙන ටිකත් පාගල ගෙම්බව මරලම දානවද?

මොකද කරන්නේ?

Tuesday 24 February 2009

සතුට මා තුල...

සතුට තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ. අපි මොනව කලත් අවසානයේ සතුට මිස අපි වෙන යමක් ගැන හිතන්නෙ නෑ. සතුට ගැන නොහිතනවාය කියල වෙන මොන මොන දේවල් කලත් ඒ හැම දේම කෙලවර වෙන්නෙ අපි සතුට හඹා යාම හමුවේයි.

සතුට වෙනස් එකිනෙකාට. සතුට විවිධයි. ඒක අනෙක් ඕනම හැඟීමක් විඳිනවා වගේම එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඒ කොහොම වුණත් සතුට විධියට කෙනෙක්ට දැණෙන හැඟීමේ ලොකු වෙනසක් නැතිව ඇති.

සතුට දැණෙන්න නිදහස ඕන. නිදහස කියන්නෙ නිරායාස සතුටක් ලැබෙන දෙයක්. සතුට විඳින්න නිදහසක් නැත්නම් ඒ සතුටට අරුතක් නෑ.

ඒ අතරෙ අපි හිතන දේ ඒ විධියට ඉටු වීම තුල ආයෙමත් සතුටට අර්ථ තියෙනව.

අපි හිතන දේවල් සිද්ධ වීම තුල. හිතෙන අය එක්ක ඉන්න ලැබීම තුල. හිතන දේවල් ලැබීම තුල...

හැමෝගෙම ජීවිත වල හෙටක් තියෙනව. එහෙම නැතිව ඉන්න පුළුවන්. ඒ කියන්නෙ අද පමණක් ඉන්නවය කියන එකයි. අද පමණක් ඉන්න පුළුවන් වුණාට ඒ විධියට පවතින්න අමාරු වට පිටාවක් තමයි අපි අවට තියෙන්නේ. රස්සාවක් කරන්න වෙනව. මිනිස්සු ඇසුරු කරන්න වෙනව. සම්බන්ධතා ගොඩනගන්න සහ පවත්වගන්න වෙනව. එහෙම ඉන්න මිනිස්සු අතර අද විතරක් ජීවත් වෙන්න ඕන වුණොත් ලොකු කැපකිරීම් ටිකක් කරන්න වෙනව. එහෙම පුළුවන් වුණොත් නම් ඔය සතුට දුක කියන දේවලුත් වැඩක් නෑ තමයි. ඔය හැම දේකටම උපේක්ෂාව තුල විසඳුමකුත් තියෙනව.

ඒ වුණාට සතුට දැණෙද්දි ඒක නොවිඳ මොනව කරන්නද?

ඉතිං.....





රෑ සඳුත්
උදෑසන මල් පෙතිත්
දිවා තුරු යට සිසිල් සෙවණත්
මෙතුවක් කවියන් නුඹව සම කල සියල්ලත්
එක පෙළින් ගෙන...
ඒ නුඹට සම කරමි
බිය හැර

රෑ සඳු බැස ගොස්
උදා මල් පර වී
පත් හැලී තුර යට උණසුම් ව
කවි සිතිවිලි වියලී ගොස් වියැකුණත්
බියක් නෑ මට
නුඹ ඒ කිසිවකට
සම නොවන නිසාම

නුඹ අසම සම නුඹමයි
මා සිත ගෙන දොවා පිසදා
සියුම්ව දෑතින්ම ගෙන විමසිලි කොට
එහි වූ නෙක සියුම් සිතිවිලි බිඳිති කැටි කර
සුවඳ කවා හැඩ කල
නුඹම මිස අන් අයෙක් නැත
මා ඉදිරි මාවතේ අතර තුර




හික් හික්...

සතුට ඉස්මොල්ලෙ ගියාම ඔහොම වෙනවා. ගණං ගන්න එපා. ;)

Thursday 19 February 2009

සතුට සත්තු වත්තේ....

අපි සතුට ලබනව විවිධ ක්‍රමවලින්.

සත්තු වත්තෙදිත් අපි ලබන්නෙ සතුටක්ද?

මෑතකදි මම මගේ ඥාතියෙක් (මෙතැන් පටන් ප්‍රියන්ත කියල ගමු) එක්ක කරපු කතාවක් මගේ කලින් බ්ලොග් සටහන ලියද්දි මතක් වුණා. ඔහු වතාවක් මගේ නුගේගොඩ කාර්යාලයට ආපු වෙලේක ඔහුගේ බිරිඳට සත්තු වත්ත බලන්න යන්න ඕන වුණා. ඔවුන්ගේ පදිංචිය ටිකක් ඈත නිසා කොළම එන්නෙ කලාතුරකින්. කොහොම වුණත් ප්‍රියන්ත මේ ගමනට කැමති වුණේ බොහොම අකමැත්තෙන්. ඔහුට සත්තු වත්තට යන්න කිසිම උවමනාවක් තිබුණෙ නෑ.

සත්තුවත්තෙදි අපි ලබන්නෙ කාලකණ්නි සතුටක්. ඔහු කිව්වා.

ඇත්තටම අපි නොදැනුවත්වම සත්තුවත්තෙදි ලබන දේ සතුට හෝ මොකක් වුණත් ඒක හරිම අසාධාරණ සතුටක් නෙවෙයිද? නිකමට හිතන්න අපි කූඩුවක ඉද්දි සත්තු වත්තෙ සත්තු අප දිහා බලමින් විහිළු කරමින් නිදැල්ලේ හැසිරුණොත්?

සමහර විට සත්තුන්ට කන්න බොන්න දෙනව නම් ඉන්න තැන කෘතිම පුංචි එකක් වුණාට කමක් නැද්ද දන්නෙ නෑ. මට
Madagaskar චිත්‍රපටිය මතක් වුණා. මේකෙ තියෙන සත්වෝද්‍යානයේ ඉන්න සිංහය මිනිස්සුන්ට පේන්න කෑගහල ෂේප් එකේ ඉන්න කෙනෙක්. තමන්ට වෙලාවට හම්බ වෙන මස් කුට්ටිය තමයි ඔහුගෙ එකම සිතිවිල්ල. ඉන්න පරිසරය ගැන ගානක් නෑ.

ඒ වුනාට ලංකාවෙ සත්වෝද්‍යාන වල නම් සත්තු ඉන්නෙ අතිශය සීමිත පරිසරයක. අපට වැඩිය ඇවිදින්න ඕන නෑ. ලේසියෙන් සත්තුන්ව බලල සතුටු වෙන්න පුළුවන්.

ඉතිං සතුටු වෙන්න....

Tuesday 17 February 2009

දැල් දැමීම

පුංචි කාලෙ ඉඳන් කියවල විතරක් තිබුණ සංසිද්ධියක් සතියකට විතර කලින් මම අත්වින්ද සජීවීව. බටහිර වෙරල තීරයේ පුංචි නගරයකට ගිය සවාරියකදි මුහුදෙ දැල් දාල මාළු අල්ලන විධිය මම දැක්ක. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ බොහොමයක් දෙනාට. ඒ නිසා මම ඒකෙ තාක්ෂණික දේවල් ගැන කියන්න යන්නෙ නෑ.

මොනව වුණත් එතන හිටපු කෙනෙක්ගෙන් මම දැනගත්තු කරුණු කීපයක් ඒ සිද්ධියත් එක්ක ගලපන්න හිතුවා.

වෙලාව දවල් 1ට කිට්ටුයි. අපි කීප දෙනෙක් වෙරලෙ එහෙ මෙහෙ ඇවිදිමින් හිටිය ටිකක් ඈත දැල අදිමින් ඉන්න අය දිහා බලාගෙන. එතනට නොයා ඉන්න බැරි වුණා මට. ඒ වෙලාවෙ දැල සෑහෙන්න තරමක් ගොඩට ඇදලයි තිබුණෙ. එතන ගැහැණු පිරිමි සෙරම 20කට වඩා හිටිය. දැලේ ලූපයේ කෙලවර මුහුදෙ මීටර 50කට වඩා ඈතින් තිබුණෙ. ඒ වුණාට බොහොම ඉක්මනින් දැල ගොඩට ආවා.

මම හිතපු තරම් මාළු හිටියෙ නෑ. ඒ වුණාට සට සට ගාමින් පණ ගැහෙන මාළු රොත්තක් ඒ දැලේ රැඳිල හිටිය. ඒ අතරෙ බොහොමයක් රිදී පාට අඟල් 6 කට වඩා දිග මාළු. අඩියකට වඩා දිග අය කීප දෙනෙකුත් දැල්ලො කීපදෙනෙකුත් හිටියා. කලබල වුණාම බඩ පිම්බෙන වර්ගයේ පුංචි මාළු හිටිය. මට මතක් වුණේ
Finding Nemo චිත්‍රපටිය. ඒකෙත් ඉන්නවා ඒ වගේ එක්කෙනෙක්.

කොහොම හරි මාළු ටික එතන හිටපු 20-30ක් මිනිස්සු බලන් ඉද්දි විනාඩියකට වඩා දඟලල මිය ගියා. ඒ අර මිනිස්සු 20-30 දෙනත් එයාලගෙ පවල් වල අයත් ජීවත් කරවන්න. මට මොහොතකට හිතුණා මම ලබන කාලකණ්නි සතුට ගැන. ඒත් ඒක එහෙම තමයි. ඒක තමයි ස්වභාවධර්මය. අපි ඒක වෙනස් කලාට තවමත් අපි ස්වභාවධර්මයට යටයි.

මේ මාළු දැල දිනකට කීප වතාවක් එලනවා කියල එතන හිටපු ධීවර මහත්මයෙක් කිව්ව. ඒ වගේම පවුල් 10-15ක් මේ දැල නිසා ජීවත් වෙනවලු. පසුව දැනගන්න ලැබුණා මේ දැල අයිති මනුස්සයෙක් ඉන්න බව. දැල්ලො ටික එයා අරන්. ඉතිරි මාළු ටිකම රුපියල් 2000කට විකිණිලා. එහෙම විකිණුනේ නැති පුංචි මාළු වෙරලෙම ඉතිරි වෙන්න ඇති.

ඒක එතනින් ඉවරයි. මම ලබපු අත්දැකීම එපමණයි. ඊට පස්සෙ මම කැරකෙන්න ගත්තා. කලින් දා සමහර විට අර දැලෙන්ම ගොඩට ආපු පුංචි මාළු තෙලින් කර වෙල අපේ දිව පිනවන්න ගත්තා රසම රස සුදු ළූණු බයිට් එකක් එක්ක. හතරැස් බෝතලයක් රැස් විහිදුවමින් ඉවර වුණා.

ජීවිතේ එහෙමයි. මිනිස්සු දැල් දානවා. ඒ සල්ලි වලින් කාල බීල පවුල් නඩත්තු කරනවා. ගොඩ එන මාළු තෙල් නාගෙන ආයෙත් වෙරළට ගිහින් දැල් දානව බලන්න යන මිනිස්සුන්ගෙ බඩවල් වලට යනවා.

Monday 16 February 2009

අභිමානය

අභිමානය හැමෝටම තියෙන දෙයක්නේ. කවුරු මොනව කිව්වත් ඕනම කෙනෙක් තමන් ගැන, තමන්ගෙ හැකියාවන් ගැන, තමන්ට තියෙන පිළිගැනීම ගැන යනාදී නොයෙක් හේතු මුල් කරගෙන ස්වයං අභිමානයකින් තමයි ඉන්නේ. අභිමානයත් මිනිස් හැඟීමක්. ඒක මේ සමාජයේ තුලනයට උවමනා කරනවා කියලයි මට හිතෙන්නේ.

ප්‍රශ්ණෙ ඒක නෙවෙයි. හැම දේම වගේ මේක හින්දත් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. මේ අභිමානය ඉහවහා ගියාම තමයි ලොකුම ප්‍රශ්ණෙ. ඇත්තටම අද අපි මුහුණ දෙන ලොකු, පුංචි, දේශීය සහ ජාත්‍යන්තර, පවුල් සහ අසල්වැසි හැම ප්‍රශ්ණයක්ම නොවිසඳී පවතින්නත් මේ අභිමානය හේතුවක් වෙනව.

අභිමානය ඔළුව පුරා ඔඩු දුවපුවම ඕන කෙනෙක් අධිමානයකට පත් වෙනව. එතකොට මේ ලෝකෙ ඉන්න සිරාම සිරා පොර තමන්ය කියන හැඟීම එනව. ඒක ආවට පස්සෙ හැම වෙලේම අවට සමාජයෙන් තමාට ඒ ඉහල මානසික තත්ත්වයෙන් පවතින්න ඕන කරන පිළිගැනීම බලාපොරොත්තු වෙනව. ඒක නැති වුණාම යකා නැගල හතර වටේ දෙවනත් කරල එක එක විකාර කරනව.

අභිමානය බිඳ වැටෙද්දි ඕන කෙනෙකුට පවතින්න අමාරුයිනේ. ඒක ඉහවහ ගිය කෙනෙක්ට තමන් කවුද, ඉන්නෙ කොහෙද කියල පවා අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අභිමානයත් ඕනවට වඩා වැඩි වුණාම ඒක ලෙඩක් වෙනව.

මගේ ජීවිතේ මට හමුවුණ බොහොමයක් ලොක්කො මේ අභිමානය ඔළුවෙ තියාගත්තු උදවිය. ඒ නිසාම එයාල හැම වෙලේම නිවැරදියි. තමන්ගෙ වරදක් නිවැරදි කරනවටත් අකමැතියි. අතපසු වීමකින් හරි අපි වගේ පොඩි අය අතින් වෙන වැරැද්දක් නිසා එයාලගෙ අභිමානයට හානි වුනොත් ලොක්කො මුළු සේවා කාලය පුරාම අපව කපල දාන්නත් ඉඩ තියෙනව.

මොන විධියෙන් අභිමානය ගොඩනගාගත්තත්, ඒ පුද්ගලයගෙ තරාතිරම මොකක් වුණත් සරල සත්‍යය කියන දේ ඒ අභිමානයටවත් තරාතිරමටවත් යටත් නෑ. ඒ නිසා සත්‍යයට පුළුවන් අභිමානය බිඳින්න. නමුත් ප්‍රවේශමෙන්. අභිමානයෙන් පිරුණ අයත් එක්ක ඇත්ත කතා නොකරන තරමට හොඳයි. ඒ වගේ අයට තවත් අභිමානය ටිකක් දීල තමන්ගෙ වැඩේ කරගන්න එක තමයි කල යුත්තේ.

අභිමානය දෙන්න. ඒත් ගනිද්දි සැලකිලිමත් වෙන්න. :D

Saturday 14 February 2009

මගේ තනි විනෝද ගමන

කොස්ලන්ද කියන්නෙ පුංචි නගරයක්. තියෙන්නෙ බෙරගල නගරයෙන් කන්ද පහලට වැල්ලවාය දක්වා දිවෙන පාරෙ හරි මැදක. එහෙම කියන්නෙ කොස්ලන්ද නගරයෙ ඉඳන් බෙරගලටත් වැල්ලවායටත් අය කරන බස් ගාස්තුව එකක් වීම නිසයි.

අද උදේ මම බදුලු කොළඹ බස් එකක බෙරගලට ගිහින් එතනින් වැල්ලවාය බස් එකක් අරන් කොස්ලන්දට ගියා. බෙරගල කියන්නෙත් පුංචි හන්දියක්. එතනින් කන්ද ඉහලට යන පාර යන්නෙ හපුතලට. කන්ද පහලට යන පාරෙ තමයි කොස්ලන්ද තියෙන්නේ. හපුතලේ ඉඳන් කන්ද බැහැගෙන එද්දි පහලින් පෙනෙන ඈත ක්ෂිතිජය දක්වාම දිවෙන කඳු වැටි පිරුණ නිම්නය වෙතට තමයි බෙරගලින් ඇරඹෙන කොස්ලන්ද පාර ඇදෙන්නේ.

මේ පැත්ත හරිම ලස්සනයි. කඳු මුදුන් මීදුමෙන් වැහිලයි තියෙන්නේ. පරිසර දූෂණයක් නෑ. මධ්‍යස්ථ කාලගුණයක් තියෙන්නේ. මිනිස්සු වුණත් අහිංසක දිළිඳු අය.

කොස්ලන්ද දිසා රෝහල ඉදිරිපිට තියෙන පුංචි කඩෙන් උදේ ආහාරය විධියට මම පොල් රොටි දෙකයි පැටිස් එකයි ලැවරියයි ප්ලේන්ටියයි සේරම රුපියල් 65කට ගත්තා. ගාණ අදහන්න බැරි නිසා මම ආයෙත් ඇහුවම ගාණත් වැරදි නෑ. කොළඹදි ඔය ටික කන්න රුපියල් 150ක් වත් යනව.

මම මං ගිය වැඩේ කරගෙන ආයෙමත් කොස්ලන්දෙන් වැල්ලවාය බස් එක අරන් මම වැල්ලවායට ගියා. ආ පාරෙම නොගියෙ රට තොට බලන්න ඕන නිසයි. ඒ මගදි තමයි දියළුම දිය ඇල්ල තියෙන්නෙත්. ඒක මහ විශාල කන්දක් මුදුනෙ ඉඳන් පහලට වැටුණෙ මාව මා තුලම හකුලවමින්. මොකද ඒක වැටෙන්නෙ හරිම ඉහලකින්. හරියට දුරකථන කුළුණක් ගාව ඉඳන් ඒකෙ මුදුන බලනව වගේ එකක් තමයි ඒකත්.



මට මතකයි හයේ පන්තියෙද කොහෙද සිංහල පාඩම් පොතක දියළුම ගැන පාඩමක් තිබුණා. ඒ වුණාට කවදාවත් මට ඒක බලන්න යන්න වුණේ නෑ. ඔන්න අද ගියා. :D

කොහොම හරි වැල්ලවායට ගිහින් එතනින් ආයෙත් ඇල්ල නගරය හරහා බදුල්ලට යන බස් එකක මං ගෙදර ආවා. ඒ පාරට කවුරුත් කට වහරේ කියන්නේ ඇල්ල-වැල්ලවාය පාර කියලා. ඒ පාරෙ තමයි රාවණ ඇල්ල තියෙන්නේ. ඒක නම් මම කලින් දැකල තියෙනවා. ඒක ඒ තරම්ම උස නැතත් ගලා යන රටාවෙ ලතාවක් තිබුණ.



රාවණ රජ මහ විහාරයත් තියෙන්නෙ ඊට ටිකක් නුදුරින්. ඔය එකක්වත් මම බැලුවෙ බස් එකෙන් බැහැල නෙවෙයි. බස් එකේම කවුළුවෙන්. කොහොම වුණත් ආයෙ විශේෂ අවස්ථාවකදි මිස ඔය පලාතෙ යන්න නොවෙන නිසා ඕන වුණෙත් දැනගන්නත් එක්ක මම ගිය ඒ චාරිකාවෙන් මම ලොකු තෘප්තියක් ලැබුව.

සමහරවිට දවසක ආයෙත් වඩා හොඳින් ඒ දේවල් විඳින්න පුළුවන් වෙයි.

බලාගෙන ඉමු.

Friday 13 February 2009

තාත්තයි මමයි වැඩට ගියා

අද උදේ මම නැගිට්ටෙ 4.15ට. තාත්තත් ඒ වෙලාවටම. දෙන්නම උදේ 5.45 වෙද්දි බස් එකේ නැගල පැය තුනකටත් වඩා දිග ගමනකින් පස්සෙ මාව අනුයුක්ත කරල තියෙන සේවා ස්ථානයට ගියා. ඇත්තටම තාත්ත ආවෙ එයාට ඒ පරිසරය බලන්න ඕන කියලයි. මීට කලින් එයා ඒ පළාතට ගිහින් නෑ. කොහොම හරි උදේ නැගිටල පැයගානක් බස් එකේම යන විධියෙ රාජකාරියකට මම කැමති වුණේ නෑ මුලින්. මම අර්ධ නිශාචරයෙක් නිසා කොයි තරම් රෑ වෙනකල් ඇහැරල හිටියත් උදේ නම් නිදාගන්න ඕන. මම දන්න තරමින් අපේ පරම්පරාවෙ බොහොම දෙනෙක්ගෙ තත්ත්වෙ ඒකයි.

නමුත් අපේ තාත්ත මට මතක කාලෙදි අවුරුදු 8ක් පැය තුනක කාලයක් ගෙවම්න් උදේ පාන්දර වැඩට ගියා. ඊට කලින් තව අවුරුදු දෙකක් ඊටත් වඩා ඈතක වැඩ කලා . ඊටත් කලින් තවත් අවුරුද්දක් විතර තව කොහේදෝ දුරක වැඩ කලා කියල කිව්වා. කොහොම හරි ඒ සේවා ස්ථාන සියල්ලටම ගෙදරින් පැය තුනකට එහා කාලයක් ගතකරලයි යන්න තිබිල තියෙන්නේ.

මට මතකයි මං අටේ පන්තියෙ ඉද්දි පන්තියෙ ටීචර්ගෙ පොත අත්සන් කරන්න ඕන නිසා පාන්දර 4.30ට විතර තාත්තට වඳින්න නින්දෙන් ඇහැරුණා. පස්සෙ තාත්ත ඒක නිකංම අත්සන් කලේ අපි උදේ නැගිටින්න ඕන නෑ කියල හිතල.

ඒ කාලෙ තාත්ත ගෙදර අවෙ රෑ 9ත් පහු වෙල. එයා රෑ වෙලා සුරුට්ටුවකුත් පත්තු කරන් ඇවිත් දොරේ සීනුව ගැහුව. ඒක පුරා අවුරුදු 8ක් මම අත්වින්ද. ඒ කාලෙ ඒක ගානක් නෑ. නමුත් පසුව මම ඒ හරහා මගේ තාත්තව සෑහෙන්න තේරුම්ගත්ත. මගේ තාත්ත ලෝකෙ ඉන්න හැම තාත්තෙක්ම වගේ ගොඩක් කැපකිරීම් අපි වෙනුවෙන් කරපු කෙනෙක්. යුතුකමක් විධියට සලකල හරි අපිව මිනිස්සු කරන්න එයා එයාගෙ ජීවිතයම පාරට වැය කරල තියෙනව යම් කාලෙකදි.

ඒ අතින් ගත්තම මාව එල්ලන්න වටිනව. රස්සාවකදි ඒ රස්සාවෙ සුදුසුකම් වලට අමතරව මම දාහක් දේවල් දිහා බලනව. අපිට ගානක් නෑ. මොකද අම්මල තාත්තල සැප දීලනෙ හදල තියෙන්නේ.

මේ තමයි පරම්පරා දෙකක් අතරදි ලෝකයේ වුණ වෙනස ඒ පරම්පරා වලට බලපාල තියෙන විධිය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි මේ විධියට හැදිල. යම් දවසක අපිටත් අපේ තාත්තගෙ/අම්මගෙ භූමිකාව රඟදක්වන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නොවුණත් අපේ කලින් පරම්පරාව ගෙවපු ජීවිතය ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් අපේ ජීවිතේ මීට වඩා හොඳ කරගන්න ගොඩක් දේවල් ගන්න පුළුවන්.

Thursday 12 February 2009

තාත්තයි මමයි SALE ගියා

අපේ තාත්ත සෑහෙන්න වැඩ කරනව. මේ වියපත් වයසෙදි පවා එයා නිකං ඉන්න කෙනෙක් නෙවෙයි. ගෙදර තියෙන සුළු සුළු වැඩවල ඉඳන් නොයෙක් වැඩ එයාට තියෙනව. එයා කරන වැඩ එක්ක බලද්දි මම එයින් දහයෙන් එකක්වත් කරන්නෙ නෑ. එක්කො පරිගණකය ඉදිරියෙ. නැත්නම් පොතක් බදාගෙන. මම ඒ ගැන කල්පනා කලාමයි හිතුණෙ ඒක බොහොමයක් දෙමව්පියන් සම්බන්ධයෙන් සාමාන්‍ය ඇත්තක් බව. අපේ අම්මල තාත්තල දැන් පවා කරන වැඩත් එක්ක අපට හැරෙන්නවත් බෑ.

හවස තාත්තයි මමයි ගියා බදුළු මහ රෝහලට තාත්තගෙ මිත්‍රයෙක් හම්බ වෙන්න. රෝහල් භූමිය තුල තියෙනවා ජනප්‍රිය ගෘහ විදුලි උපකරණ සමාගමක ජංගම අලෙවිසැලක්. අද මම ඒක දැකපු තුන්වෙනි දවස. මම දන්නෙ නෑ ඒක නිසා රෝහලට අමතර ආදායමක් ලැබෙනවද කියල. කොහොම හරි සනීප වෙලා ගෙදර යන ගමන් බ්ලෙන්ඩර් එකක්, ටෝස්ටරයක් වගේ දෙයක් ගෙදර අරන් යන්න කැමති රෝගීන් ඇති කියල මට හිතුණා.

Tuesday 10 February 2009

නිදහස

මම තාමත් හිතන්නෙ පාරෙ සින්දු කියන, බස් වල සින්දු කියන සහ හිඟා කෑම වගේ එදා වේල පමණක් ගැන කල්පනා කරන්න වෙන තනි ජීවිතයක් තුල මම බලාපොරොත්තු වෙන නිදහස මට ලැබෙයි කියලයි. කාලයක් මම හිතුව ඇත්තටම හිඟා කන එක පවතින්න හොඳ ක්‍රමයක් කියලයි. ඒ කාලෙ මට ජීවිතේ වෙනත් බලාපොරොත්තුවක්වත් රක්ෂා කරන්න තියෙන අය ගැන ලොකු හැඟීමක්වත් තිබුණෙ නෑ.

නමුත් දැන් තත්ත්වෙ වෙනස්. මං වෙනුවෙන් වෙහෙසෙන අය වෙනුවෙන් කැපවීම මගේ ජීවිතේ අරමුණ වෙලයි තියෙන්නෙ. තාමත් මං වෙනුවෙන් මහන්සි වෙන මගෙ අම්මයි තාත්තයි ඒ අතරින් ඉහලින්ම ඉන්නව. මං හැමදේම කරන්නෙ එයාල වෙනුවෙන්. ඒ ඔස්සේ එයාල දකින හීනය තමයි මං ඇත්තක් බවට පත් කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ජීවිතේ යම් කාලෙක තනියෙන් ඉන්න වුණ වෙලාවක පාරට බහින එක කෙසේ වෙතත් දැනට මට විධිමත් රස්සාවක් කරන්නම වෙනව. ඒ ඔස්සේ බලාපොරොත්තු ගොඩනගන්න සහ ඒ වෙනුවෙන් කැපවෙන්න සිද්ධ වෙනව මට.

ඉපදීම නම් දුකක්. ඒක දුකක්ය කියල තේරෙණ එක තව දුකක්. එහෙම තේරෙන එක වරදක්ද? උදේ හවස ඉර පායල බැහැල යනව වගේ ඔහේ ජීවත් වෙන එකද මම කල යුත්තේ? අයි මට බැරි මට ඕන විධියකට ඉන්න මේ බැඳීම් වලින් ගැලවෙලා.

ජීවිතේ විඳින්න කියල තමයි හැම වෙලේම හැමෝම කියන්නේ. ඔව්! ජීවිතේ විඳින්න ඕන තමයි. භෞතික දේවල් ගොඩක් එක්ක ජීවිතේ සංකීර්ණ වෙලා තියෙද්දි ජීවිතේ තවත් විඳින්න දෙයක් නම් නෑ. භෞතික වට පිටාව හැමවෙලේම වින්දනීය ලෙස ජීවිතේ එහෙට මෙහෙට ගෙනියනව හුස්මක්වත් ගන්න ඉඩ නොදී.

ජීවිතේ නියම සුවය සහ අර්ථය දැනෙන්න අපි නිදහස් වෙන්න ඕන බොහොමයක් දේ වලින්. ඒ වුණාට එහෙම නිදහසක් නම් නෑ පේන තෙක්මානෙක.

දැන් මට ජීවිතේ අභියෝගයක්! දිනන්න ඕන තරගයක්. අනිත් බොහෝ දෙනා දුවනව වගේ මාත් දුවන්න පටන්ගන්නව. මෙතෙක් කල් මට ඕන පාරවල දුවපු මම දැන් දුවනව අනිත් අය ඇඳපු පාරක. බලමු මම දිනයිද කියල.

Friday 6 February 2009

එකම කතාවක්

මං දන්නව මගේ ආදරේ මම කියන්න ඕන මේ විධියට නෙවෙයි කියල. ඒත් මං දුප්පත්. මට තියෙන ටික තමයි මේ. මීට වඩා දෙයක් මම දන්නෙ නෑ. මං දන්නෙ නෑ තව දුරටත් ඒකට ලස්සන එකතු කරන්න. මං දන්නෙ නෑ තවදුරටත් ඒක සුමට කරන්න. මං දන්නෙ නෑ ආදරය දිහා ආදරෙන් බලන්න. මං දන්නෙ නෑ තව දුරටත් ආදරේ කරන්න. මට දැණෙන ටික වත් කියාගන්න මට දැණුමක් නෑ.

මං මෝඩයෙක්!

මං ඉගෙනගත්තෙ නෑ.මට ඉගැන්නුවෙත් නෑ. මට ජීවිතේ ගැනත්, ආදරේ ගැනත්, මරණය ගැනත් කියන්න තියෙන්නෙ මං දන්න ටිකක් විතරයි. ඉතිරිවා මං කොහෙන් ඉගෙන ගන්නද? මට ඒවා කියල දුන්නෙ නෑ. මං තරහයි ඒ ක්‍රමය එක්ක. මට ඒක පේන්න බෑ. මට කියල දුන්නෙ උදේම නැගිටල දත් මැදල මූණ හෝදල ඉස්කෝලෙ යන්න. රෑට නිදියන්න. මට මගේ ආදරේ හොයාගන්න ආදරේ කරන්න ඉගෙනගන්න වුණා තනියම. පාරවල් දිගේ ඔයාගෙ අතින් අල්ලන් ඇවිදින අතරෙ මං හීන දැකපු ආදරය ඒකය කියල හිතන්න මං මටම බලකලා. මං ඒ වෙනුවෙන් මාව නැති කරගත්ත. දැන් මට මාවවත් නෑ.

මං දන්නෙ නෑ මගේ ආවේග කියන්න. ඒව මාව විනාශ කරල දානව. මාව පුච්චල දානව අළු වෙනකල්. ඒත් මංවත් මගේ වේදනාවවත් නැති වෙන්නෙ නෑ. මං දැවෙමින් ආයෙත් පණ ගහල නැගිටිනව. මං දන්නෙ නෑ මට දැණෙන වේදනාවෙ තරම හිතාගන්න. මට දැණෙන තරහ, මගෙ දුක මං දරාගෙනයි ඉන්නෙ. හරියට ලොකු යකඩ කිණිහිරක් මගේ පපුව උඩ තියාගෙන ඉන්නව වගේ. ඒක රත් වෙලා මගේ පපුව ගිණි ගන්නවා.

එන්න බිත්තර බදින්න.

මං හිතුව මං මැරෙන්න යනව කියල. ෂික්! ඒකවත් වෙන්නෙ නෑ. මං මහ බූරුවෙක්. මං දන්නව ඔයා ගැන සිතිවිල්ල මට වෙඩි තියනව කියල. ඒකෙන් ගැලවෙන්න මම දඟලනව. මම ඔයාට වෛර කරන්න පටන්ගන්නව. මට පේන්න බෑ ඔයාව. උදේ නැගිටිනකොට ඔයාගෙ ලස්සන ඇස් ය කියල මම හිතාගෙන හිටපු ඇස් වල කබ පිරිල තියෙනව. ඔයාගෙ නහය ලස්සනයි කිව්වට ඒක එහෙම නෑ. මට පේන්න බෑ ඒක. කවුද කියන්නෙ ඔයාගෙ දෙතොල් ලස්සනයි කියල මං වගේ මෝඩයෙක් මිස. දැන් මං ඒක දන්නවා. මට හිතාගන්න බැරි තරම් ගඳ ගහන දේවල් ඔයා තොලගානව. ඔයා ඇවිදින විධිය මට පේන්න බෑ. මට මතක් වෙනව පඹයෙක්. ඔයා පඹයෙක්. ගඳ ගහන මස් ගොඩක්. ඔයාට රවටගන්න පුළුවන් ඕන නෝට්ටුවක් එක්ක ඔයා බුදියනව. ඔය මුදල් එක්ක විවාහ වෙලා. ඒද දැන හෝ නොදැන තාමත් ඔයා එහෙමමයි. ඔයාට ඒක කොයි තරම් ගැලපෙනවද කියල ඔයා දන්නෙ නෑ.

මං දන්නව ඔයා හැරෙනකොට, ඔයාගෙ දහදිය වදිනකොට ඔයා රත් වෙලා කියල. මට මැවෙනව ඔයා ජීවිතේට බය වෙනව. ඔයා විනාශ කරගත්ත ජීවිතේට. හැමදාම ඔයා සතු හැමදේම පවතින්නෙ නෑ. ඔයා දන්නෙ නෑ ඒක. ඔයා මහ ආඩම්බරකාරියක්. මගෙන් ඔයා සතුවුණ කිසිදෙයක් තව දුරටත් ඔයාගෙ නෙවෙයි. මට දැනෙනව ඔයා සතුටු වෙනව. ඔයාගෙ ඇස් සතුටින් දිලිසෙනව. ඔයා බලාපොරොත්තු වෙන මරණය ඔයා ගාවට එනව. ඔයාට අවසානයෙ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක විතරයි.

ඒක විතරයි ඔයාට සුදුසු.

ඊට කලින් මට නෝට්ටුවක් හොයාගන්න පුළුවන් වුණොත් මම එන්නම්.

Tuesday 3 February 2009

රාජ්‍ය සේවය පිණිස මහත්මයෙක් වීමි!

මම රාජ්‍ය සේවයට ගියේ මගේ උවමනාවට නෙවෙයි. ඒ තුල හිමිවෙන අමතර වාසි නිසා දැන් ඒක මගෙත් උවමනාවක් බවට පත් වෙමින් තිබුණත් රජයේ රැකියාවකට ඉල්ලුම් කිරීමේ සිට දැනටත් හරියටම නිශ්චිත නැති මගේ සේවා ස්ථානය ගැන වෙහෙසෙන්නේ මගේ දෙමාපියන් සහ ඥාතීන්.

පුංචි කාලෙ ඉඳන්ම රජයේ රැකියාවක තියෙන දූරදර්ශී වාසි ගැන වරින් වර මගේ ඔළුව පුරවල තිබුණත් රාජ්‍ය සේවය ගැන දන්න කාලෙක ඉඳන් මගේ හිතේ පැහැදීමක් තිබුණෙ නෑ. පොඩි කාලෙ රජයේ ආයතනවලට ගිය හැම වෙලේකම මට ලැබුණෙ අප්‍රසන්න අත්දැකීම්. රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම වෙන රස්තියාදුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ ලංකාවෙ මිනිස්සුන්ට :)

මම දැනට ඉන්න ආයතනයට මාත් ඇතුළුව අළුත් පත්වීම් ලබපු කීප දෙනෙක්ම ගියා. දැනටත් ස්ථිර දෙයක් කරන්න නෑ. තවම අනිත් අය නාගෙන ගූ කරගත්ත කුණු වැඩ ටික අපි කරනවා. ඒව මහලොකු දේවල් නෙවෙයි. නමුත් එකම ඉලක්කම පොත් හතර පහක තියෙන වගු වල වාර්තා කරමින් බොහොම පුංචි දේ ලොකු කරගෙනයි ඉන්නේ කට්ටිය. ඇත්තටම කිව්වොත් පරිගණක පද්ධතියක් හරහා ඒ දේවල් කරන්න දැනට ඉන්න කාර්ය මණ්ඩලයෙන් ¼ ක් ඇති කියල මට හිතුණා. මොකද අළුතෙන් ඒ ස්ථානයට ගිය අපි ‍සියළු දෙනා මේ දිනවල කලේ වැරදි නිවැරදි කිරීම් තමයි.

කොහොම වුණත් පරිගණක භාවිතා වෙන්නෙ හරිම සුළුවෙන්. word, excel පාවිච්චි වුණත් excel වලින් කරන්න පුළුවන් සරල එකතු කිරීම්වත් මෙයාල කරන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම පොත් වල තියෙන අංක නැවත වගු වලට ඇතුලත් කරල දෘඩ පිටපත් අරන් වාර්තා සැකසීම පමණයි මම ඉන්න කොටසේ තියෙන පරිගණක වල කාර්යභාරය. කොහොම නමුත් ඉදිරියෙදි ඒක වෙනස් වෙන්න පුළුවන්.

මේ සේවා ස්ථානයේ මුළු සේවක සංඛ්‍යාව 50 ඉක්මවනවා. ඒ සියළු දෙනා කතාබහෙන් හරිම සුහදශීලීයි. හිනාව පිරිලා. ඒ වුණාට වැඩ කරන්න අරන් ගෙවුණ සති දෙක තුළ අපිට තේරුණා මේ බොහොමයක් දෙනා තුල එකිනෙනකා කෙරේ ක්‍රියාත්මක වෙන සීතල යුද්ධයක් තියෙනව කියල. මෙතෙක් මම වැඩ කරපු පුද්ගලික ආයතන වල නම් එහෙම එකක් ලොකුවට තිබුණෙ නෑ. කරන්න වැඩත් තිබුණ නිසා ඕප දූප වලට ඉඩක් නෑ. නමුත් රාජ්‍ය සේවයේ තත්ත්වය වෙනස්. කරන්න වැඩ ඕන තරම් තිබුණත් හදිසියක් නෑ. කල් අරන් හෙමිහිට කරන්න පුළුවන්. කීපදෙනෙක් 1.30ට යනව ළමය ගන්න ඉස්කෝලෙට. දරුවව ආයතනයට ගෙනත් කවල පොවල ආයෙ පන්ති එක්ක යනව 2.30ට. පස්සෙ රවුමකුත් දාල 3.30ට විතර ඇවිත් 4.15 වෙනකල් කහට කෝප්පයක් සමග ඕපයකට ‍ස්ටෙලා වෙලා ගානට 4.15 වෙද්දි ගෙදර යනව. සමහරු උදේ ඉන්නව. දවල් පේන්න නෑ. ආයෙ හවස ඉන්නව. තවත් අය වැඩ කරන්නෙ 4.15න් පස්සේ. ඊට අමතරව සිකුරාද දිනවල නිවාඩු යන තවත් අය සෙනසුරාද ඉරිද වැඩ කරනව.

මම ඒ ගැන හොඳ නරක කියන්න යන්නෙ නෑ. තමන්ගෙ වැඩේ එයාල අතින් හරියට වෙනව ඇති. අනික එයාල කිසිසේත්ම පීඩනයෙන් (stress කියන්නේ) තොරයි. මොකද ඔළුව කචල් වෙන තරම් වැඩක් නෑනේ. ඒ නිසා බොහෝ විට හිනාවෙනවා.

හිනා වෙන අතරෙම තමයි යටින් ගේම දෙන්නේ. ඒ නිසා අළුත් අපි පරිස්සමින් තමයි කතා කරන්නේ.

මේ රැකියාව නිසා මට මාව බාහිරින් වෙනස් කරගන්න වුණා. මගේ කේෂ කලාපය කපන්න වුණා. රැවුල අඩු තර‍මේ මාස කීපයක්වත් කපන්න වෙයි. කොහොම වුණත් මම මම ම තමයි. පෙනුමෙන් මහත්තයෙක් වෙලා. මගේ රස්තියාදුකාර නිදහස් විලාසිතා වලට සමු දීලා අත් දිගට ඇඳලා මැදපු සපත්තු දාල ජෙන්ටල්මෑන් වගේ තමයි මම වැඩට යන්නේ.

ඒ වුණාට ඒ තැන එහෙම යන්න වටින තැනක් නෙවෙයි. කොහොම වුණත් පඩ ෂෝ කියන්නෙ අපේ රටේ අළුත් දෙයක් නොවෙන නිසා ඒක එහෙම තමයි.

ඔන්න ඔහොමයි මං මහත්තයාගෙ දැං රැකියාවෙ වග තුග. තව ඒවා උගුරට එන විධියට වමනෙ දාන්නම්.