Thursday 22 September 2016

හිස් අවකාශයට කවි ලියන සහෘදයාට!

ඉතිං කොහොමද බං? මම දන්නෙ නෑ එහෙම උඹෙන් අහන්න තරම් මම උඹ ගැන දන්නව ඇති කියල. කොහොමත් මම අනිත් උන් ගැන බොහොම සුළුවෙන් දන්නෙ. අඩු තරමෙ මම මාවවත් හරියට නොදන්න එකේ උඹ ගැන කොහොම දැනගන්නද?

මේකයි... උඹ කියන, උඹ ලියන ගොඩක් දේවල් මට තේරෙන්නෙ නෑ තමයි. අඩු ගානෙ ඒව මගෙ කන් දෙකට, ඇස් දෙකට තේරෙන්නෙත් කලාතුරකින්. ඒ තරමට ඒව මට නුහුරුයි. අමුතුයි. අමුතුවට වඩා නුහුරුයි. හරියට මුල් වතාවෙ ගැහැණියක් එක්ක තනි වුණා වගේ පැත්තකට වුණ නුහුරු ගතියක් ඒවයෙ තියෙනව. හැබැයි ඔය ගැහැණියක් එක්ක තනිවෙන්න ගිය තරම් ආසාවෙන් මම උඹ කියන ඒව අහන්න, කියවන්න ආවෙ නෑ. ඒ නිසාම ගැහැණු මට දැන් හුරුයි. උඹ තවම මට නුහුරුයි.

සරලවම කිව්වොත් උඹව මට තේරෙන්නෙ නෑ.

හැබැයි එහෙම කියල මට උඹව අහක දාන්න පුළුවන්ද?

මම දන්නව උඹ යමක් දන්නව. දන්නව කියල කියවන ගොඩක් උන්ට වඩා උඹ දෙයක් දන්නව. ඒක උඹත් කියවනව තමයි. ඒත් ඒ උඹට විතරක් තේරෙන අපිට යාන්තම් තේරෙන භාසාවකින්. අඩු ගාණෙ කියවල, අහල යන්තම් හිත හදාගෙන යන්තම් තේරුනා කියල පිලිගන්න පුළුවන් තත්ත්වෙකටවත් පත් වෙන්න බැරි භාසාවකින්. ඒත් මම දන්නව උඹ ඒක කරන්නෙ අපට ආදරේට කියල. අපි හැමදාම කියවන, ලියන එකම කතාව වෙනුවට උඹ අපට එන්න කියන්නෙ වෙනස් යමක් විඳින්න. උඹගෙ කියවිලි අස්සෙ ලියවිලිවල අකුරු අස්සෙ අපට නොතේරෙන්නෙ උඹ අපට කරන ඒ ආරාධනය තමයි. ඒත් අපි ඒව අහන්නෙ නෑ.

මම වගේම අනිත් උන් හැමෝමත් ඔය කියන තරමට වෙනස් වෙන එක ගැන කයිවාරු ගැහුවට ඒක බොරුවක්. උන් සහ මම වෙනස් වෙනව මෙන්න මෙහෙම.

ඔන්න මම වෙනස් වෙනවා...
ඔන්න වෙනස් වෙන්නයි යන්නේ...
ඔන්න තව ටිකයි...
තව පොඩ්ඩයි...
ඇබිත්තයි....
චුට්ටම චුට්ටයි
තුත්තම තුත්තයි
මිලිමීටරයයි
තව ටිකයි
ඔන්න ඕන්න

ටිං ටොං ටිං...

අඩෝ මම වෙනස් වුණා ඩෝ... බලපං වැලමිටේ පච්චෙ... හැබැයි එහෙම වුණා කියල කලින් වගේම තවමත් මට වඩා චණ්ඩි නෑ ‍ඩෝ.... මට වඩා පොරවල් කොහෙද?

ඔන්න ඕක තමයි මගේ වෙනස් වීම. ඉතිහාසෙ දිහා හැරිල බැලුවම මම ඊට වඩා වෙනස් වෙලා නෑ. කවදාවත් ඊට වඩා වෙනස් වෙලා නෑ.

ඒත් උඹ වෙනස් වෙනවා. අළුත් හැඩේකට වෙනස් වෙනවා. වෙනස් වෙන්න බල කරනවා. මම ඒ නිසා උඹට ලයික් එකක් දාල සබ්ස්ක්‍රයිබ් වෙලා තියෙනවා. මම දන්නවා මේ උඹලගෙ අපේ කාලෙ නෙවෙයි. ඒ නිසා හොයාගන්න දෙයක් කාල බීල ඔහේ ඉන්නව ඇරෙන්න සිස්ටම් වෙනස් කරන්න මහන්සි වෙන එකෙන් දෙයක් වෙන්නෙ නැති තරම්. කාගෙ සිස්ටම්ද අපි වෙනස් කරන්නේ? අර මම කිව්ව කාල ඇඳල ඔහේ ඉන්න උන්ගෙ එකද? උන්ට වඩාත් හොඳට ජීවත් වෙන්න පුළුවන් සිස්ටම් එකක් වෙනුවෙන්ද උඹල අපි මැරෙන්න ඕන.

උඹ ගේමෙම ඉඳියි.

ඒත් මට බෑ.

ඒකයි මට උඹව අතාරින්න වෙන්නෙ. හැබැයි සදහටම නෙවෙයි. මම මගේ වැඩක් බලාගෙන ඉන්නයි යන්නේ. එතකොට උඹ උඹේ වැඩේ වුණ 'ජීවිතේ ගෙවීම' දිගටම කරයි. ලියයි. කතා කරයි. හිස් අවකාශයට.

කරන්න දෙයක් නෑ මචං. සිස්ටම් එකෙන්ම උන්ට වෙනසක් ඉල්ලුවොත්, ඒ වෙනුවෙන් විශ්වාසයෙන් එකතු වෙන්න පුළුවන් අවකාශයක් හැදුණොත් මමත් ඇවිත් උඹේ පැත්තකින් හිටගන්නං.

එතකල් මට ඔහේ ඉන්න දීපන්...