Wednesday 23 January 2013

අරිසාන කතා වස්තුව - පොතේ නැති වෙනම කතාවක්!


තවද එක් සමයෙක්හි අසම සම වූ මහා ප්‍රාඥයන් දඹදිව ද්වීපාරාමයේ වැඩවසන කල්හි දිනක් ධර්මාලෝක ලබනු පිණිස පිණිස රැස්ව හුන් දහසක් වූ ජනයා ධර්ම ශ්‍රවණයෙහි යෙදෙති. උන් සියල්ලෝ සාවධානයෙන් මත්ව මහා ප්‍රාඥයන් දෙස සවන් දෑස් අයා සිටින ඇසිල්ලේ ඒ මහ සෙනග අතරින් උන් ධර්ම සිත් සිඳවමින් පිලිකුල් ධවනිත කරමින් ධර්ම මණ්ඩපය වෙත රෝගී කුෂ්ඨයන්ගෙන් වැසි දුර්ගන්ධයෙන් පිරි කෘෂව ගිය දස දහසෙක පමණ වූ සූකර රැලක් පැමිණෙන්නට පටන්ගත්තේය.

ධර්ම සිත් සිඳී ගිය ජනයා කලබල කරන්නටත් ඒ මේ අත දිවෙන්නටත් ආක්‍රෝෂයෙන් පරිභව කරන්නටත් වූයේ ප්‍රාඥයන්ගේ එක් බැල්මෙකින් දැමුණු සිත් ඇතිව දුර්ගන්ධය ඉසමින් නැවත ධර්ම ශ්‍රවණයට පිලිපන්නාහුය.

උන් අතර වූ එක් වියපත් උපාසකයෙක් සකල ගුණ නිධාන වූ මහා ප්‍රාඥයන් අසබඩින්ම හිඳ ධර්ම ශ්‍රවණය කරන්නේ උන් වහන්සේ අමතා මෙසේ විචාරන්නේය.

"ස්වාමීනී භාග්‍යවතුන්වහන්ස අප දහසක් වූ ගම්වැසි ජනයා කිසිවකුට අවමන් නොකරන්නේය, කහටක් නොකරන්නේය. අප සියළු දෙනා මෙහි වැඩ සිටින ඔබ වහන්සේට අපමණ භක්ත්‍යාදර ‍වන්නෙමු. පැහැදුණු සිත් ඇති වෙමු. ඔබගේ ධර්මයෙන් බිඳකට සවන් යොමා ආලෝකය ලබන්නට අද ද මෙහි පැමිණියා වෙමු. එවුවද අපගේ පහන් සිත් බිඳවමින් මේ විසල් වූ කිලිටිව ගිය සූකර රැල මෙහි වැද ඇත. අතීතෙකදී අප මහා පාපයක කොටස් කරුවන් වී දැයි දෝමනස්සයක් දැනේ. මෙහි අරුමය කියා දෙනු මැනව."

එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් රැස්ව හුන් ජනයා අරභයා පහත වූ අරිසාන කථා වස්තුව වදාල සේක.

ඒ කෙසේද යත්,

පෙර එක් දවස සොලොසාසංක්‍ය කල්ප දෙලක්ෂයකට පෙර තිලෝ ප්‍රදීප වූ ගෞතම බුදුන් ලොව පහලව වසර දෙදහසකුත් පන්සියයක් ඉක්ම ගියා වූ කල එක් දුර්භාග්‍යමත් වූ කාලයක් පහල විය. එකල්හි සියළු ධර්මයෝ අමනයන් කෙරෙන් ප්‍රකාශිත හෙයින් අමනෝඥ වන්නාහ. අන්ධයන් සේ ධර්මයේ හැසිරෙන්නා වූ ජනයා ස්වයංවම ධර්මය කෙලෙසන්නේය. උන්ගේ ධර්ම ශාස්තෘන්ගේ ධර්මයන් අව්‍යක්තව ව්‍යාජයෙන් අර්ථ නිරූපණය කොට තූ තූ කොට හැරපියා ඇත්තේය. උන්ගේ රිසි ලෙස ධර්මය අර්ථදක්වමින් වියරුවෙන් අධර්මයේම හැසිරෙන්නෝය. ධර්මය වැපිරීම පිණිස සිටිනවුන් ධර්මයෙන් සුඛ විහරණයම උපයමින් අධර්මයම වපුරන්නේය. පාලකයෝද පාලිතයෝද අධර්මිෂ්ඨයන්ම වන්නේය. මිනිස් ලොව කහවණුව වැජඹෙන්නට ගෙන උතුම් වූ මනුස් දම් වියැකී ලොව මහත් වූ ව්‍යසනයන්ගෙන්ද අශ්ශීලයෙන්ද වහනයව පවතින්නේය.

එසමයෙහි එක් විභූතීය වූ දිළිඳු රාජ්‍යයක තරුණියන් හා කාන්තාවන් තම රාජ්‍යය විභූතික වුවද එහි ජීවිකාවෙන් සුඛය සෙවීම දුෂ්කර වූ හෙයින් වඩා උසස් වූ දිවි ගෙවුමකට රිසිව වෙනත් පොහොසත් රාජ්‍යයන්හි බැල මෙහෙවරට පැමිණ බැල මෙහෙ කරන්නට හුරුව සිටින්නේය. ඒ පොහොසත් රාජ්‍යයන්ද උක්තවූ ලෙසින්ම අධම මිසදිටු අධර්මයෙන් දූෂිත වන්නේ හෙයින් ඒ තරුණියන් විඳින්නට වන දු:ක්ඛ දෝමනස්සයෙන් ඍජුව ගිය හිතැත්තේ ඒ පොහොසත් හාම්පුතුන්ගේ පෙළීම් ගර්ජනයන් ඉවසා වදාරමින් බැල මෙහෙ කරන්නේය. උන්ගේ දාහයෙන් උපයන කහවණුවෙන් උන් උපන් රාජ්‍යයේ පවුල පෝෂණය කරන්නේය.

උන් අතර එක් දුගී බමුණු කුළයක අරිසාන නම් වූ දැරියක තම සොයුරු සොයුරියන්ගේ ශිල්ප හැදෑරීමේ උවමනාවද, කැලෑ දර කහවණු කොට පවුල රැක්කා වූ ස්ව පියාණන්ගේ දුක්බර ස්වභාවයද වටහා තම පවුල රක්ෂා කරනු වස් එපරිද්දෙන් වෙනත් රාජ්‍යයක බැල කෙරුමට පිටව ගොස් සිට්න්නේය. ඈ ඒ රට සුඛිත හාම්පුතුන්ගේ දරු නලවමින් කහවණු උපයන්නේ දිනක සිය මනෝඥහානියෙන් හේතුප්‍රාප්තව මහත්ව අභාග්‍යමත් වීය. එනම්, ඈ නලවමින් හුන් දරුවා කිසියම් හේතුවකින් නාසයෙන් මුඛයෙන් කිරි වමනය කර ක්ෂණයකින් මරුමුවට පත්වූයේ උහු රකිමින් හුන් අරිසාන දැරිය එහි දෝෂයට පාත්‍රවීය.

පුරා පස් වසක් මතු නඩු අස්සවා ඇය දෝෂ මුක්ත කෙරුමට හේතු හිස්ව ගියෙන්ද ඒ අධම හාම්පුතුන්ගේ ක්ෂමා හීනව ගියෙන්ද අරිසාන තරුණිය දඬුවමට පාත්‍රවූයේ දින ස්වල්පයක් මත්තෙන් ඇගේ හිස කඳෙන් වෙන්වන්නටම ගසාපියාලීය. එකී අකටයුත්තට හේතු වූ අධමයන් හට උන්ගේ අමනුෂ්‍යය වූ නීතිය මිනිස්කම දෙවෙනි වන තරමට විසල් වූයේ නිර්දෝෂී තරුණිය හිස් සිඳුමෙන් මහත්ම වූ පාපයකටම වග කියන්නේය.

මෙකල්හි මෙසේ වූ මහත් අපරාධය ඒ තරුණියගේ උපන් බිම කැළඹූයේ දෙකෝටික වූ ජනයා තුඩග රැව් දෙවමින් උනුන් බේද භින්න කෙරෙමින් කම්පාවෙන් වියවුලට පත්වීය. ඇසූ ඇසූ තැනැත්තේ තරුණිය නැසූ අධම රාජ්‍යයට දෝෂ පහ කලේ ඇයගේ විමුක්තිය මත්තේ හඬ නොනැග නිෂ්චලව හුන් රටේ පීතෘ වූ මහ රජුන් කෙරේද සිත් බිඳවා ගත්තේය.

මෙකල්හි රූපවහර්ණිකාව නම් වූ අරුම වූ උපාංගයක් වන්නේ මාර්ගඵල ලද්දෙක් ඍධි ප්‍රාතිහාර්යය පාන්නේ යම් සේද එවූ ලෙසින් යම් තැනෙක යම් දෙයක් සිදුවන්නේද ඒ දසුන ඒ ලෙසින්ම වෙනත් තැනෙක ප්‍රාදුර්භූත කරන්නට සමත් වන්නේය. මෙවූ රූපවහර්ණිකා එකල නෙක දනන් මනස් විසූක දස්සනයෙන් විකෘත කරවමින් උන් කෘරත්වයටම මෙහෙයවන්නේ කහවණු අපේක්ෂාවෙන්ම මිනිස් ගති අම‍තක කරදමන්නට දනන් පොළඹවමින් හුන්නේය.

එවන් එක් වහර්ණිකාවක් තරුණිය හිස සිඳින්නේ මෙපරිද්දෙන් යැයි මහ ජනයා මුලා කොට වෙනත් වූ අපරාධයක් ප්‍රාතිහාර්යයෙන් පෙන්වන්නේ අවබෝධ හීන ජනයා මුලාවෙන් මුලාවටම ඇද හෙලන්නේය. එකල්හි රටේ ජනයා ඉන් පෙර කලෙක පුරා තිස් වසක් මුළුල්ලේ පැවතුනා වූ යුධයෙන් මනෝ විපරිතව අපරාධයම දකින්නට අසන්නට ඉඳුරන් ගෝචරව හිඳින්නේ මහත් අභිරුචියෙන් අපරාධය රූපවහර්ණිකාවෙන් නැරඹීය.

උන් එපමණකිනුදු නොනැවතී එය නැවත නැවත නරඹන්නටත්, නොනැරඹූවන් නරඹන්නට පොළඹවන්නටත් අපරාධය කෙරේ සිතමින් සිත් දූෂ්‍ය කරගන්නටත් සමත් වී මහත්ම වූ පාපකර්මයකටම මග පාදාගත්තේය.

එහි ඇවෑමෙන් උන් සියළු දෙනා මරණින් මතු දුගතියෙහි ඉපිද වසර සොලොසාසංක්‍ය කල්ප දෙලක්ෂයක් පුරා අපා දුක් විඳිමින් තවමත් නිරයේම වෙසෙන්නේය. උන්ගෙන් ඇතැමෙක් මරණය එක් වරක් පමණක් දැක පිළිකුල් සහගතව එය සිතෙන් ඉවතලන්නට තැත් දැරීම හේතුවෙන්ද හුදු අකුසල සිතක් පමණක් ඇතිකරගැනීමෙන්ද අකුසල කර්මය දුර්වල වූයේ නිරා දුක් අවසන්ව මේ භවයේදී කුෂ්ඨයෙන් වෙලී දුක් විඳින සූකරයන් ලෙසට උපත් ලබා ඇත්තේය. අද දින මාගෙ දහම් පඬුරෙන් මුන් සිත් පිරිසිදුව වඩා උසස් කුලයක උපත ලබන්නට පින් ලබන්නේ දුක් සහිත භවයන් අවසන් කොට සුඛිත වූ භවයන්හි උපත ලබන්නේය. මුන් සමගම නිරයේ උපන් තවත් කෝටියකට අධික වූ මිනිසුන් කොටසක් මරණයේ ආරංචිය පැතිරූ හෙයින්ද, නැවත නැවත ඒ නරඹමින් දූෂ්‍ය වූ හිත් ඇත්තේ වූ හෙයින්ද උන්ගෙ අකුසලය විසල්ව ඇත්තේ තවත් මහත් වූ කාලයකට දුකෙන් නොමිදෙන්නේය. එමෙන්ම අරිසාන තරුණිය මරණයට කැප කල වූවන් තවත් කල්ප ගණනාවකට අපා දුකෙන් නොමිදෙන්නේය.

ශ්‍රාවකයෙනි, මේ සූකරයන් මාගේ ධර්ම ප්‍රකාශයෙන් මතු වනයට නික්මෙන්නේය. උන්ගෙ විමුක්ති මාර්ගයේ ඇරඹුම වන්නේ අද දින ලබන ධර්ම අවබෝධයේ බිජුවටම වන්නේය. උන්ගෙන් පසෙකට වී ධර්ම ශ්‍රවණය කරනු මැනවයි වදාලා ප්‍රාඥයයන් අතීත කළාව නිමා කල සේක.

ඉක්බිත්තෙන් මැද පෙළක හිඳි තරුණ කොළු ගැටයෙක් අතීත කතාවේ වූ අරුමයෙන් ඉවසා සිටිනු නොහැක්කේ මෙසේ විචාලේය.

"ස්වාමීනී රූපවහර්ණිකාව පිළිබඳව විස්තර කරනු මැනව. මාර්ගඵල නොලබාම එසේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑ හැකි වේද? නොඑසේ නම් ඒ කිනම් අරුමයක්ද?"

මෙයට කරුණා බැල්මක් හෙලූ ප්‍රාඥයයන් තරුණයාගේ විමසිල්ල පාදක කර ගනිමින් මනා වූ ධර්ම කතිකාවක නියැලෙන්නට වී ය.

ශ්‍රාවකයෙනි, රූපවහර්ණිකාව උපාංගයකි. එය අදින් වසර ගණනාවක් මත්තේ නැවත ලොව වෙනස් මගක් ගත් කළෙක නැවත බිහිවනවා ඇත. එය වටහා ගැනීම අර්ථ ඇත්තක් නොවේ.

මිනිසුන් සියල්ල අවබෝධ කරගැනීමට වෙහෙසෙන්නේය. උන් දැනුමින්ද, සෙවීමෙන්ද සන්නද්ධ වන්නටත් සියල්ල සතු කරගන්නටත් වෙහෙසෙන්නේය. එහෙත් පරම සත්‍යය වූ 'අවබෝධ කරගැනීමටත් සතු කරගැනීමටත් කිසිවක් නොමැති බව' අවබෝධ කරගන්නට උන් වෙහෙස නොවේ. සියල්ල අවබෝධ කිරීමට වඩා කිසිවක් නොමැති හිස් බව අවබෝධ කිරීම වඩා ප්‍රඥා ගෝචර නොවන්නේද?

Tuesday 8 January 2013

කල්ලඩි පාළම යටින් මුම්බායට


දවස් කීපයකට පස්සෙ යන්තරේ ඉස්සරහ ඉඳගත්තෙ කිසි දෙයක් කොටන්න උවමනාවකින් නොවුණත් මොහොතකට කලින් හිතට දැණුන හැඟීම මාව ලියන්න පෙළඹෙව්වා.

දවස් දෙකක නැගෙනහිර සවාරියෙන් පස්සෙ මම ගෙදර ඇවිත් මුලින්ම අහන්න ගත්තෙ කපුගේගෙ කල්ලඩි පාළම පාමුල සින්දු කියපු මාළුවන්ගෙ සින්දුව. අද දවල් කල්මුණේ ඉඳන් මඩකලපු යන අතරෙ කල්ලඩි පාළම පහු වෙද්දි උවමනා වුණා ඒ සින්දුව හොයාගෙන අහන්න. මම හිතන්නෙ ඒක මම කවදාවත් හරියට අහල නෑ. තනුව මතක තිබුණට වචන ගැන කිසිම අදහසක් මට තිබුණෙ නෑ. ඒ නිසාමදෝ මන්ද අද ඒ සින්දුව අහද්දි ඇස් වලට කඳුළු ඉනුවෙ නොදැනීම.

එහෙම වෙන්නෙ කොහොමද කියල ටිකක් හිතුවමනම් ඒක මහ ලොකු දේකුත් නෙවෙයි. මේ දවස්වල ලංකාවෙ ආයෙ ආයෙමත් පෑරෙන වර්ගවාදී තුවාල දැකල හෙම්බත් වෙලා ඉද්දි කල්ලඩි පාලම සින්දුව තියෙන වචන මිනිහෙක්ව අඬවන්න තරම් ප්‍රබලයි. සංවේදීයි. හැබැයි ආගම් ජාති අතර තියෙන වෙනස්කම්වල සුන්දරත්වය වෙනුවට ඒවයෙ තියෙන අවුල්ම තැන් ඔස්සෙ හිතන්න පුරුදු වුණ මිනිස්සු අතරෙ අඬන මිනිහෙක් කියන්නෙ එක විධියක පරාජිතයෙක්. සමහර විට පහුගිය දින දෙකේදි මට මුණ ගැහුණු දෙමළ මුස්ලිම් මිනිස්සු කීප දෙනා අතරෙ භාෂාව මිසක් වෙන වෙනසක් දකින්න හැකියාවක් නොතිබීම ම මගේ පරාජිත බවට සාක්ෂියක්.

ඒ මුණ ගැහුණු උන් සේරම සිංහල මිනිස්සු වගේම ආත්මාර්ථකාමියො. මරිසියෝ. ප්‍රැක්ටිකල් නැති මෝඩ අන්ත ආගමිකයෝ. ඒකෙ කිසි වෙනසක් නෑ. අව්වට පොඩ්ඩක් කර වෙලා හිටියට, වෙන බාසාවකින් කතා කළාට උන්ගෙයි සිංහල මිනිහෙක්ගෙයි ඇති වෙනසක් නෑ. උන් දෙතුන්ගොල්ලොම ජීවිත කාලෙම එක එක ඒවට ඇන්දිලා රැවටිලා ඔහේ ජීවත් වෙනවා.

උඹ කියයි මම ප්‍රශ්ණෙ තේරුම් අරන් නෑ කියල. සමහර විට උඹ ප්‍රශ්ණෙ තේරුම්ගන්න විධිය මට තේරෙන්නෙ නෑ වෙන්න ඇති. මොකද උඹ මාර විසංවාද ගොඩක්. සාමය සහජීවනය ගැන බණ ටෝක් දෙන අස්සෙ මිනිස්සු සමූල ඝාතනය කරන්න කතා කරන වර්ගයේ එකෙක්.

පහුගිය දින දෙකේදිම කල්මුණේ සවාරියට එකතු වුණ මගෙ යාළුවො දෙන්න කරපු ගොඩක් සාකච්ඡා වලදි මම නිහඬව හිටියෙ ඒවට එකඟ වෙනවද නොවෙනවද කියන එක මට ෂුවර් නැති වුණ නිසයි. එහෙම නැත්තං ඒ අය කතාකරපු වර්ගවාදී අදහස් එක්ක ගැටෙන්න මට උවමනා නොවුණ නිසයි. ගැටුණත් මම පරදින එක ෂුවර්. උන් දිනපතා පත්තර බලන නූතන අපරාධකාරී දැනුමින් සන්නද්ධ උන්. ලංකාවෙ ප්‍රශ්ණෙට උන් ගේන හේතුව සහමුලින්ම වෙන රටක එකක්. හැබැයි මම දන්නෙ හැමෝම මිනිස්සුය කියන එක විතරයි. ඒක බොහොම පරණ යල් පැනපු තර්කයක්.

හැමෝම තමන් කලින් පිලිඅරන් ප්‍රක්‍යක්ෂ කරපු මතයක් තහවුරු කරන්න කරුණු එකතු කරනව කියලයි මට හිතෙන්නෙ. ඒ නිසාම ඔය කාටවත් අනිත් මනුස්සයව පේන්නෙ නෑ. එහෙම නැත්තං උවමනාවෙන්ම අමතක කරල දානව. ඒ නිසාම කවුරුවත් කියන දේවල් එකපාර පිලිගන්න බෑ. මම කියන ඒවත් එහෙමයි.

ක්ලාක්ගෙ 2001 පොතේ හේවුඩ් ප්ලොයිඩ් හඳට යන ගමනෙදි ඩිජිටල් පත්තරයක් බලනව. ඒ පරිච්ඡේදය 9/10 වගේ පංතියකදි අපේ සිංහල පාඩම් පොතක තිබුණ. ප්‍රවෘත්ති බලල හේවුඩ් හිතන්නෙ යුද්ධයක් නැති ලෝකයක ප්‍රවෘත්ති නිරස වෙයි කියල. නමුත් දැන් වෙන්නෙ ප්‍රවෘත්ති නිසා යුද්ධ ඇතිවෙන තරමට වැඩේ දරුණු වෙමින් යන එක.

කීප දෙනෙක්ගෙ වැඩ නිසා දහස් ගාණක් මිනිස්සුන්ට දුක් විඳින්න හෝ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වීම ඉතිහාසය පුරාම අපට පේන්න තියෙන දෙයක්. ලෝකෙ කොයි තරම් දියුණු වෙලා මිනිස්සු අතරෙ තියෙන වෙනස්කම් නැති වෙන තරමට ලෝකය පුංචි වෙලා තිබුණ වුණත් මිනිස්සු හැම වෙලේම ජීවත් වෙන්නෙ බයෙන්, ඉරිසියාවෙන්.

බය සහ ඉරිසියාව වගේ හැඟීම් මිනිස් වර්ගයාගේ ඉදිරි ගමන හොඳින් හෝ නරකින් වෙනස් කරන එක වෙනම කතාවක්. පාලකයෝ කියන අය මේ බය සහ ඉරිසියාව වපුරමින් සත්ත්ව සංහතියෙ ඉතිහාසයේ ඉඳන් අවසානෙ දක්වාම රජ කරන එකත් වෙනම කතාවක්. අවසානයේ දුබලයා පරාජය වෙලා ප්‍රබලයා ඉතිරි වීමත් වෙනම කතාවක්.

ඔය වෙන වෙන කතා සේරම එදා මෙදා තුර ලෝකය පැවතුන විධිය ගැන එකම එක කතාවක්.

ඒ ගැන මේ විධියට කතා කරන එක මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් නැති වෙනම ම කතාවක්.

ඔය කල්මුණේ ට්‍රිප් එක ගිහින් මාසෙකට විතර පස්සෙ ආයෙත් බාගෙට ලියල දාපු මේ සටහන සම්පූර්ණ කරන්න හිතුණා...



මුම්බයි මෙරි ජාන් [Mumbai Meri Jaan (2008)] චිත්‍රපටිය ගැන මට මුල්ම ඔත්තුව දුන්නෙ රෑ රූ ලියන චමිල. ඒ අවුරුද්දකටත් කලින්. හින්දි චිත්‍රපටියක් බලන්න නිරායාසයෙන්ම එක කම්මැලිකම හින්දා ඒක බාගන්න එක මේ තරම් කල් ගියා. ඒ වුණාට මුම්බයි මෙරි ජාන් චිත්‍රපටිය බැලුවට පස්සෙ ඒක බැලීම කල් යවපු එක ගැන මට පොඩි කණගාටුවක් ඇති වුණා. ඒක ඒ තරමටම විශිෂ්ඨ මට්ටමේ චිත්‍රපටියක්.

ප්‍රධාන චරිත කීපයක්, ඒ ඒ අයට අදාල වෙනස් කතා කීපයක් ඔස්සේ කියවෙන එකම කතන්දරයක්.

කතාවට තේමාව වෙන්නෙ 2006 ජූලි 11 වෙනිද මුම්බායි නගරය අවට දුම්රිය ස්ථාන හතක සිද්ධ වෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය. ඒ සිදුවීමත් එක්ක ගැටෙන චරිත කීපයක ජීවිත ඒ පිපිරීමත් එක්ක කම්පනය වෙනව. ඒ කම්පනයට ඔවුන් ප්‍රතිචාර දක්වන විධිය චිත්‍රපටිය පුරාම දිව යනවා. අවසානයේ ඇතැම් අයට ඒකෙන් ගැලවෙන්නත් අනිත් අයට අවනත වෙන්නත් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය චිත්‍රපටියෙදි පෙන්වන්නෙ නරඹන්නන්වත් කම්පනය කරලා. ඔවුන්ගෙ ගැටළුවට අපිව මැදි කරලා. ඒක බොහොම තදින් දැණෙනවා.

මම චිත්‍රපටිය ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. නමුත් ඉර්ෆාන් ඛාන් රඟපාන තෝමස්ගේ චරිතය මාව බොහොම තදින් වැළඳගත්තා. ඔහු දුප්පතෙක්. තමන්ගෙ පවුලේ සතුට වෙනුවෙන් දුක් මහන්සි වෙන දුප්පතෙක්. අවසානයේ ඔහුට ඉතිරි වෙන්නෙ බොහොමයක් දුප්පතුන්ට වගේ තමන්ගෙ හිතේ සතුට විතරයි. පරේෂ් රවාල් කියන නම මම දැනගත්තෙත් මේ චිත්‍රපටිය නිසා. මොකද ඔහු නැති හින්දි චිත්‍රපටියක් 90 ගණන්වල තිබුණෙ නැතිම තරම්. ඒත් ඒ ‍බොහොමයක ඔහු හිටපු චරිත අනුව ඔහුව මම ඒ තරම් අඳුණගන්න උත්සාහ කළේ නෑ. නමුත් මේ චිත්‍රපටියෙ විශ්‍රාම ගන්න ආසන්නව ඉන්න පොලිසියෙ පටිල් රාළහාමි විධියට කාලෙකට පස්සෙ ඔහුගෙ දක්ෂ රඟපෑමක් මම දැක්කා. ඔහු අර දුප්පතුන් ඇරුණම රටේ බහුතරයක් මරිසියන්ව නිරූපණය කරනව කියල මට හිතෙනව. ඇත්තටම වැල යන පැත්තට මැස්ස ගහනව වගේ ජීවත් වෙනව ඇරෙන්න ඔහුටත් විකල්පයක් තිබිල නෑ කියල චිත්‍රපටිය අවසානෙදි අපට තේරෙනව.

චිත්‍රපටියෙ මම කැමතිම දෙබස් ඛණ්ඩය කියන්නෙ ඔහු විසින්.



ඒක සිංහලට කරකවන්න කම්මැලියි...

This is Aadam Sheikh, a Muslim.

And I am a Hindu, Tukaram Patil.

Now suppose I push him. And he pushes me back.
Then one Hindu stands by my side in support.
And two Muslims stand by his side.
Four Hindus appear here, eight Muslims there!

Hindus versus Muslims!

Everyone pushing each other.
It never stops.

It starts when you are young... and doesn't stop even
when you get old. Right?

I have grown old but I'm still being pushed around.
I will retire soon.

But will you young men think of finding a solution for this game before you grow old?


අන්තිමේදි කාවවත් සුද්ද කරන්නවත් කාටවත් ඇඟිල්ල දික් කරන්නවත් මට උවමනාවක් නැති බව කියන්න ඕන. ජීවිතේ කියන්නෙ බයෙන් ගෙවන්න ඕන එකක් නෙවෙයි. කවුරු හරි බය වෙලා ඉන්නවනං තමන් කාටද බය වෙලා ඉන්නෙ, ඇත්තටම කවුද තමන්ව බය කරන්නෙ කියල හොයල බලපල්ලා කියල විතරයි මට කියන්න ඕන.


Wednesday 2 January 2013

ඉතිරි පෙරේතයා


පොඩි කාලෙ ටීවී එකේ තියෙන ටෙලි නාට්‍ය බලද්දි මේ වැඩේ ගොඩක් දෙනෙක්ට වෙලා ඇති. ඔය ඒවයෙ කෙල්ලො කොල්ලො, යාළුවො එහෙම හෝටලේක මේසයක් වටේ ඉඳගෙන බීම බොන සීන් තියෙනවනේ. ඒවයෙදි සමහර වෙලාවට එයාල එතනින් නැගිටල යන්නෙ අර බීම වීදුරුවෙ බාගයක් විතර ඉතිරි වෙලා තියෙද්දි. ඒක දකිද්දි පුංචි කාලෙ මටනං තද වුණා.

ඇයි උන් ඒ ටිකත් බීල නැගිටින්නෙ නැත්තෙ? මං හිටියනං අනිත් උන්ගෙ ඒවත් එක්ක බොනව. උන්ට ඕන තරං ඇති සල්ලි බීම බොන්න. උන් කො‍හොමත් හැම සතියෙම ඔහොම බීම ඉතිරි කරල යනව. ෂික්... අපට නෑනේ...

ඒ දවස්වල පැණි බීම කියන්නෙ ටිකක් විතර පොෂ් බීමක්. අපේ ‍තාත්තලට කවදාවත් ඒව බොන්නවත් අපට අරන් දෙන්නවත් උවමනාවක් වෙලා නෑ. ඒ වුණාට තාත්ත එක්ක ටවුමෙ රවුමක් දාපු දවසකටනං සමහර වෙලාවට එහෙම චාන්ස් එකක් වදිනව. ඒ දවස්වල තිබුණෙ ඒවට පෙරේතකම. ඒ කාලෙ හිතුවෙ රස්සාවක් කරල සල්ලි හම්බ වුණාම මුළු කඩේම තියෙන බීම සල්ලි වලට ගන්න ඕන කියලා.

ඒ වුණාට රස්සාවල් කරන්න ගනිද්දි අපේ අවශ්‍යතාවයන් වෙනස් වෙලා...

හැබැයි තාමත් ඔහොම ටෙලිවල, චිත්‍රපටිවල බීම ඉතිරි කරල නැගිටල යන එක මාව අවුස්සන සීන් එකක්.

පොඩි කාලෙ ඇපල් ගෙඩියක් කියන්නෙ මාර දුර්ලභ පලතුරක්. ටවුමෙ බස්ටෑන්ඩ් එක ගාව ලොකු පළතුරු කඩේ විතරයි ඇපල් තිබුණෙ. ඒවත් අර නියම ඇපල් හැඩේ තියෙන රතු පාට ඒවා. ඒ කාලෙ ඒව අපට අරන් දෙයි කියල හීනෙන්වත් අපි හිතන්නෙ නෑ.

හැබැයි තාත්ත රාජකාරිවලට කොළඹ ගිහින් එනකොටනං ඇපල් ගෙඩි දෙක තුනක්, රඹුටන් වල්ලක් වරදින්නෙ නෑ. හොඳම වැඩේ ඒ ඇපල් කන්න ලැබෙන විධියයි. කවදාවත් අපට ඇපල් ගෙඩියක්ම කන්න අවස්ථාවක් නෑ. අර අඹ කනව වගේ. ඒ කාලෙ අඹනං ඕන තරං. සත විසිපහ, පණහ වගේ ගණංවලටයි මතක කාලෙදි අඹ කෑවෙ. නමුත් අපට ඇපල් නං හම්බවුණේ කෑල්ලක් විතරයි. තියෙන ගෙඩි කීපය ‍කට්ටිය අතරෙ බෙදෙද්දි එහෙමයි වුණේ.

ඒ නිසාම ඇපල් කෑල්ලෙ ඇටයි නැට්ටයි ඇර අනිත් සේරම කනව. ඇට තියෙන හරියෙ කන්න බැරි විධියෙ කොටස් ටිකත් කාල දානව.

ටීවී එකේ කට්ටිය ඇපල් කන්නෙ මැද නාරටියක් වගේ ඉතිරි කරල. හරියටම ඇපල් ගෙඩිය වටේට කෑලි කඩාගෙන කාල. සෑහෙන්න ඉතුරුයි. උන් ඒ ඉතිරි කෑල්ල නිකංම විසි කරනව. මගේ ගණනය කිරීම් අනුව ඒ කොටසෙ ඇපල් ගෙඩි බාගයක්ම තිබුණා. ඒ නිසා ඒව දකිනකොටත් මාව ඇවිස්සුනා...

පස්සෙ කාලෙදි අපි ඇවිස්සුනෙ මිනිස්සු සිගරට් කොට බාගෙට බීල විසිකරන එකට. අපි කිව්වෙ ඔය චිත්‍රපටිවලට නිතර සෙට් වුණ ගනේගොඩ, නලිය සහ මම. ඔය කව්බෝයි චිත්‍රපටිවල පේන්නම බැරි එක තමයි සිගරට් එක බාගෙට බීල විසි කරන එක. සමහර වෙලාවලදි නළුවො සිගරට් එක පත්තු කරල අතේ තියාගෙන වෙන කතාවක් දාගෙන ඉන්න එකටත් අපට තද වුණා. අඟලක් විතර අළු වෙනකල් ඌ ඒක අතේ තියාගෙන කතාව. සමහර වෙලාවට සිගරට් එක ඈෂ් ට්‍රේ එකේ තියල යන එකටත් අපි නොසන්සුන් වුණා. උන්ට කිසි අගයක් නෑ...

අනිත් කාලකන්ණි තමයි බොනකොට කට වටේ හලාගන්න උන්. ඒක මාර අපරාදයක්. සමහර උන් බෝතලේ කටේ තියාගෙන කට දෙපැත්තෙං වැක්කෙරෙන ගමන් බොනවා... පොඩ්ඩක් විනයක් ඇතිව බිව්වනං තව ෂොට් එකකට බඩු ඉතිරි කරගන්න තිබුණා. බොන්නෙ විනය ටිකක් කඩාගන්න වුණාට බොද්දි විනයක් තියෙන එක හොඳයි.

ආයෙත් හිතට දුකක් දැණෙන වෙලාවක් තමයි යෝගට් එකක් හෙම කන වෙලාව. යෝගට් එක කාලා අඩියෙ ඉතිරි වෙන ටික හැන්දෙන් ගන්න අමාරු වෙද්දි ටිකක් අවුල්. හරකෙක්ට වගේ දිවක් නැති එක ගැන දුකක් දැණෙන වෙලාවක් ඒක. එහෙම තිබුණ නම් මූණෙ ගාගන්නෙ නැතිව යෝගට් කෝප්පෙම පොලිෂ් කරා වගේ ඉවර කරන්න තිබුණා. ඒහෙම කියලා දැනටත් තැන නොතැන නොබලා පෙරේතකම ආවොත් යෝගට් කෝප්පෙ අඩිය දිවෙන් සුද්ද කරන්න ට්‍රයි කරන එක ජොලි වැඩක්.

ඔයිට අමතර සමහර දේවලුත් කිසි ගානක් නැතිව පාවිච්චි වෙනව මට පේනව. හැබැයි ඒව තාම තද වෙන විධියෙ ඒව නෙවෙයි.