Tuesday, 8 January 2013
කල්ලඩි පාළම යටින් මුම්බායට
දවස් කීපයකට පස්සෙ යන්තරේ ඉස්සරහ ඉඳගත්තෙ කිසි දෙයක් කොටන්න උවමනාවකින් නොවුණත් මොහොතකට කලින් හිතට දැණුන හැඟීම මාව ලියන්න පෙළඹෙව්වා.
දවස් දෙකක නැගෙනහිර සවාරියෙන් පස්සෙ මම ගෙදර ඇවිත් මුලින්ම අහන්න ගත්තෙ කපුගේගෙ කල්ලඩි පාළම පාමුල සින්දු කියපු මාළුවන්ගෙ සින්දුව. අද දවල් කල්මුණේ ඉඳන් මඩකලපු යන අතරෙ කල්ලඩි පාළම පහු වෙද්දි උවමනා වුණා ඒ සින්දුව හොයාගෙන අහන්න. මම හිතන්නෙ ඒක මම කවදාවත් හරියට අහල නෑ. තනුව මතක තිබුණට වචන ගැන කිසිම අදහසක් මට තිබුණෙ නෑ. ඒ නිසාමදෝ මන්ද අද ඒ සින්දුව අහද්දි ඇස් වලට කඳුළු ඉනුවෙ නොදැනීම.
එහෙම වෙන්නෙ කොහොමද කියල ටිකක් හිතුවමනම් ඒක මහ ලොකු දේකුත් නෙවෙයි. මේ දවස්වල ලංකාවෙ ආයෙ ආයෙමත් පෑරෙන වර්ගවාදී තුවාල දැකල හෙම්බත් වෙලා ඉද්දි කල්ලඩි පාලම සින්දුව තියෙන වචන මිනිහෙක්ව අඬවන්න තරම් ප්‍රබලයි. සංවේදීයි. හැබැයි ආගම් ජාති අතර තියෙන වෙනස්කම්වල සුන්දරත්වය වෙනුවට ඒවයෙ තියෙන අවුල්ම තැන් ඔස්සෙ හිතන්න පුරුදු වුණ මිනිස්සු අතරෙ අඬන මිනිහෙක් කියන්නෙ එක විධියක පරාජිතයෙක්. සමහර විට පහුගිය දින දෙකේදි මට මුණ ගැහුණු දෙමළ මුස්ලිම් මිනිස්සු කීප දෙනා අතරෙ භාෂාව මිසක් වෙන වෙනසක් දකින්න හැකියාවක් නොතිබීම ම මගේ පරාජිත බවට සාක්ෂියක්.
ඒ මුණ ගැහුණු උන් සේරම සිංහල මිනිස්සු වගේම ආත්මාර්ථකාමියො. මරිසියෝ. ප්‍රැක්ටිකල් නැති මෝඩ අන්ත ආගමිකයෝ. ඒකෙ කිසි වෙනසක් නෑ. අව්වට පොඩ්ඩක් කර වෙලා හිටියට, වෙන බාසාවකින් කතා කළාට උන්ගෙයි සිංහල මිනිහෙක්ගෙයි ඇති වෙනසක් නෑ. උන් දෙතුන්ගොල්ලොම ජීවිත කාලෙම එක එක ඒවට ඇන්දිලා රැවටිලා ඔහේ ජීවත් වෙනවා.
උඹ කියයි මම ප්‍රශ්ණෙ තේරුම් අරන් නෑ කියල. සමහර විට උඹ ප්‍රශ්ණෙ තේරුම්ගන්න විධිය මට තේරෙන්නෙ නෑ වෙන්න ඇති. මොකද උඹ මාර විසංවාද ගොඩක්. සාමය සහජීවනය ගැන බණ ටෝක් දෙන අස්සෙ මිනිස්සු සමූල ඝාතනය කරන්න කතා කරන වර්ගයේ එකෙක්.
පහුගිය දින දෙකේදිම කල්මුණේ සවාරියට එකතු වුණ මගෙ යාළුවො දෙන්න කරපු ගොඩක් සාකච්ඡා වලදි මම නිහඬව හිටියෙ ඒවට එකඟ වෙනවද නොවෙනවද කියන එක මට ෂුවර් නැති වුණ නිසයි. එහෙම නැත්තං ඒ අය කතාකරපු වර්ගවාදී අදහස් එක්ක ගැටෙන්න මට උවමනා නොවුණ නිසයි. ගැටුණත් මම පරදින එක ෂුවර්. උන් දිනපතා පත්තර බලන නූතන අපරාධකාරී දැනුමින් සන්නද්ධ උන්. ලංකාවෙ ප්‍රශ්ණෙට උන් ගේන හේතුව සහමුලින්ම වෙන රටක එකක්. හැබැයි මම දන්නෙ හැමෝම මිනිස්සුය කියන එක විතරයි. ඒක බොහොම පරණ යල් පැනපු තර්කයක්.
හැමෝම තමන් කලින් පිලිඅරන් ප්‍රක්‍යක්ෂ කරපු මතයක් තහවුරු කරන්න කරුණු එකතු කරනව කියලයි මට හිතෙන්නෙ. ඒ නිසාම ඔය කාටවත් අනිත් මනුස්සයව පේන්නෙ නෑ. එහෙම නැත්තං උවමනාවෙන්ම අමතක කරල දානව. ඒ නිසාම කවුරුවත් කියන දේවල් එකපාර පිලිගන්න බෑ. මම කියන ඒවත් එහෙමයි.
ක්ලාක්ගෙ 2001 පොතේ හේවුඩ් ප්ලොයිඩ් හඳට යන ගමනෙදි ඩිජිටල් පත්තරයක් බලනව. ඒ පරිච්ඡේදය 9/10 වගේ පංතියකදි අපේ සිංහල පාඩම් පොතක තිබුණ. ප්රවෘත්ති බලල හේවුඩ් හිතන්නෙ යුද්ධයක් නැති ලෝකයක ප්රවෘත්ති නිරස වෙයි කියල. නමුත් දැන් වෙන්නෙ ප්රවෘත්ති නිසා යුද්ධ ඇතිවෙන තරමට වැඩේ දරුණු වෙමින් යන එක.
කීප දෙනෙක්ගෙ වැඩ නිසා දහස් ගාණක් මිනිස්සුන්ට දුක් විඳින්න හෝ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වීම ඉතිහාසය පුරාම අපට පේන්න තියෙන දෙයක්. ලෝකෙ කොයි තරම් දියුණු වෙලා මිනිස්සු අතරෙ තියෙන වෙනස්කම් නැති වෙන තරමට ලෝකය පුංචි වෙලා තිබුණ වුණත් මිනිස්සු හැම වෙලේම ජීවත් වෙන්නෙ බයෙන්, ඉරිසියාවෙන්.
බය සහ ඉරිසියාව වගේ හැඟීම් මිනිස් වර්ගයාගේ ඉදිරි ගමන හොඳින් හෝ නරකින් වෙනස් කරන එක වෙනම කතාවක්. පාලකයෝ කියන අය මේ බය සහ ඉරිසියාව වපුරමින් සත්ත්ව සංහතියෙ ඉතිහාසයේ ඉඳන් අවසානෙ දක්වාම රජ කරන එකත් වෙනම කතාවක්. අවසානයේ දුබලයා පරාජය වෙලා ප්‍රබලයා ඉතිරි වීමත් වෙනම කතාවක්.
ඔය වෙන වෙන කතා සේරම එදා මෙදා තුර ලෝකය පැවතුන විධිය ගැන එකම එක කතාවක්.
ඒ ගැන මේ විධියට කතා කරන එක මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් නැති වෙනම ම කතාවක්.
ඔය කල්මුණේ ට්‍රිප් එක ගිහින් මාසෙකට විතර පස්සෙ ආයෙත් බාගෙට ලියල දාපු මේ සටහන සම්පූර්ණ කරන්න හිතුණා...
මුම්බයි මෙරි ජාන් [Mumbai Meri Jaan (2008)] චිත්‍රපටිය ගැන මට මුල්ම ඔත්තුව දුන්නෙ රෑ රූ ලියන චමිල. ඒ අවුරුද්දකටත් කලින්. හින්දි චිත්‍රපටියක් බලන්න නිරායාසයෙන්ම එක කම්මැලිකම හින්දා ඒක බාගන්න එක මේ තරම් කල් ගියා. ඒ වුණාට මුම්බයි මෙරි ජාන් චිත්‍රපටිය බැලුවට පස්සෙ ඒක බැලීම කල් යවපු එක ගැන මට පොඩි කණගාටුවක් ඇති වුණා. ඒක ඒ තරමටම විශිෂ්ඨ මට්ටමේ චිත්‍රපටියක්.
ප්‍රධාන චරිත කීපයක්, ඒ ඒ අයට අදාල වෙනස් කතා කීපයක් ඔස්සේ කියවෙන එකම කතන්දරයක්.
කතාවට තේමාව වෙන්නෙ 2006 ජූලි 11 වෙනිද මුම්බායි නගරය අවට දුම්රිය ස්ථාන හතක සිද්ධ වෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය. ඒ සිදුවීමත් එක්ක ගැටෙන චරිත කීපයක ජීවිත ඒ පිපිරීමත් එක්ක කම්පනය වෙනව. ඒ කම්පනයට ඔවුන් ප්‍රතිචාර දක්වන විධිය චිත්‍රපටිය පුරාම දිව යනවා. අවසානයේ ඇතැම් අයට ඒකෙන් ගැලවෙන්නත් අනිත් අයට අවනත වෙන්නත් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය චිත්රපටියෙදි පෙන්වන්නෙ නරඹන්නන්වත් කම්පනය කරලා. ඔවුන්ගෙ ගැටළුවට අපිව මැදි කරලා. ඒක බොහොම තදින් දැණෙනවා.
මම චිත්‍රපටිය ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. නමුත් ඉර්ෆාන් ඛාන් රඟපාන තෝමස්ගේ චරිතය මාව බොහොම තදින් වැළඳගත්තා. ඔහු දුප්පතෙක්. තමන්ගෙ පවුලේ සතුට වෙනුවෙන් දුක් මහන්සි වෙන දුප්පතෙක්. අවසානයේ ඔහුට ඉතිරි වෙන්නෙ බොහොමයක් දුප්පතුන්ට වගේ තමන්ගෙ හිතේ සතුට විතරයි. පරේෂ් රවාල් කියන නම මම දැනගත්තෙත් මේ චිත්‍රපටිය නිසා. මොකද ඔහු නැති හින්දි චිත්‍රපටියක් 90 ගණන්වල තිබුණෙ නැතිම තරම්. ඒත් ඒ බොහොමයක ඔහු හිටපු චරිත අනුව ඔහුව මම ඒ තරම් අඳුණගන්න උත්සාහ කළේ නෑ. නමුත් මේ චිත්රපටියෙ විශ්‍රාම ගන්න ආසන්නව ඉන්න පොලිසියෙ පටිල් රාළහාමි විධියට කාලෙකට පස්සෙ ඔහුගෙ දක්ෂ රඟපෑමක් මම දැක්කා. ඔහු අර දුප්පතුන් ඇරුණම රටේ බහුතරයක් මරිසියන්ව නිරූපණය කරනව කියල මට හිතෙනව. ඇත්තටම වැල යන පැත්තට මැස්ස ගහනව වගේ ජීවත් වෙනව ඇරෙන්න ඔහුටත් විකල්පයක් තිබිල නෑ කියල චිත්‍රපටිය අවසානෙදි අපට තේරෙනව.
චිත්රපටියෙ මම කැමතිම දෙබස් ඛණ්ඩය කියන්නෙ ඔහු විසින්.
ඒක සිංහලට කරකවන්න කම්මැලියි...
This is Aadam Sheikh, a Muslim.
And I am a Hindu, Tukaram Patil.
Now suppose I push him. And he pushes me back.
Then one Hindu stands by my side in support.
And two Muslims stand by his side.
Four Hindus appear here, eight Muslims there!
Hindus versus Muslims!
Everyone pushing each other.
It never stops.
It starts when you are young... and doesn't stop even
when you get old. Right?
I have grown old but I'm still being pushed around.
I will retire soon.
But will you young men think of finding a solution for this game before you grow old?
අන්තිමේදි කාවවත් සුද්ද කරන්නවත් කාටවත් ඇඟිල්ල දික් කරන්නවත් මට උවමනාවක් නැති බව කියන්න ඕන. ජීවිතේ කියන්නෙ බයෙන් ගෙවන්න ඕන එකක් නෙවෙයි. කවුරු හරි බය වෙලා ඉන්නවනං තමන් කාටද බය වෙලා ඉන්නෙ, ඇත්තටම කවුද තමන්ව බය කරන්නෙ කියල හොයල බලපල්ලා කියල විතරයි මට කියන්න ඕන.
Subscribe to:
Post Comments (Atom)
මේ වගේ හිතට කතා කරන ලිපියක් කියෙව්වාම ඕනෑම කෙනෙක්ට තමන් අයිතිවෙන්නේ මොන ගොඩටද කියලා හිතන්න පෙළඹවීමක් එනවා.
ReplyDeleteතමන් කවුද කියලා දැනිච්ච හැඟීම සමහර විට හරියටම කියා ගන්න බැරි ගතියක් ආවොත් හිතට එකඟව සහ පොඩ්ඩක් විරුද්දව අතරමැද ඉඳගෙන ලියන්න පුලුවන් වුනු නිසා මම මං ගන මෙහෙම කියන්න හිතුවා.
මම ටිකක් ජාතිවාදියෙක් . . මට කියලා ජාතියක් ලැබුනේ අම්මයි තාත්තයි ඒ ජාතියේ නිසා. ආගමත් එහෙමයි.
ඒ දෙකම මම දැනුම් තේරුම් තියෙන කාලෙදි උනත් අනිත් ඒවට සාපේක්ෂව හොඳද නරකද කියලා හොයලා බලලා හොඳයි කියලා හිතෙන එකක් තේරුම් ගන්නවා වෙනුවට එයාලගේ එකම මගේ එක කියලා තෝර ගත්තා.
ඒ ජාතිය ආගම අනෙක් ඒවට වඩා උසස් කියලා හිතන්න ගත්තා. ඒ ජාතියේ උන් වැඩි දෙනෙක් මේ රට ඇතුලේ ඉන්න නිසා උන්ට වැඩි වරප්‍රසාද තියෙන්න ඕන කියලා මගේ හිතේ ඇතුලේ තියෙනවා. (ආත්මාර්තකාමී කම වෙන්න පුලුවන්)
මෙහෙම මෙහෙම කියාගෙන ගියොත් මගේ කොමෙන්ටුව උඹේ පෝස්ට් එකට වඩා දිග එකක් වේවි . .
ඒක නිසා මමත් අර උඹ කියපු මරිසි ගොඩේම එකෙක් විතරක් කියලා කොමෙන්ටුව නවත්වන්නම්.
ලෝකේ කිසිම ගෝත්‍රික, ජාති, ආගම්, කොටින්ම කිසිම බෙදීමක් නැතුව මිනිස්සු හැමෝම මිනිස්සු විදිහට පිලිගන්න දවසක් උදාවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විෂ පිරුනු ලෝකේ විෂ වලින් අපි මැරෙන එක සතුටින් විඳගමු බන්
ජාතිවාදය කියන්නෙ චුවින්ගම් එකක් වගේ දෙයක්..දුප්පත්ම ලේයර් එකේ මිනිස්සුන්ට චුවින්ගම් කන්න වෙලාවක් නැහැ...
ReplyDeleteපෝසත්ම මිනිස්සුන්ට කන්නෙ වෙන දේවල් තියන නිසා චුවින්ගම් කන්නෙ නැහැ...
නමුත් සරල මධ්‍යම පාන්තිකයින්ට වැඩ නැතිවෙලාවට ෆන් එකක් ගන්න ජාතිවාදය භාවිත කරනවා....තමුං මේක කරන්නෙ තමුංගේ වින්දනය පිණිසයි කියන එක ගොඩක් අය පිලිගන්න ආස නැහැ..
අයියෝ මම මේ මම මහ ජාතියේ කියලා සොමියක් ගන්න හිතහදාගත්තා විතරයි.. සික් ආතල් කේවා..
ReplyDeleteෆිල්ම් එක ගැන දුන්නු ඔත්තුවට තෑන්ක්ස්......
ReplyDeleteඅර ෆොටෝ එක නම් මාරම හිතට වැදුනා
ReplyDeleteඅයියා හලාල්ද? :D
ReplyDeleteයුද්ධේ නැතුව පාළු නිසාලු මේ අලුත් අලුත් ඒවා හොයා ගන්නේ! :D
ලෝකෙ කවමදාවත් ජාති, ආගම්, ගෝත්‍ර එ වගේම කුල භේද නැත්තටම නැති වෙන එකක් නෑ. එහෙම සර්ව සාධාරණ ලෝකයක් කියන්නෙ හීනයක් ......සහ ඒ වගේම ඉලක්කයක් කියල කියන්නත් පුළුවන් මම හිතන විදිහට.....උත්තර භූමිය, රාම රාජ්‍යය Utopia කියන්නෙ ඒකට..මනුෂ්‍ය වර්ගයාගෙ පැවැත්මේ ඉලක්කය ඒ උත්තර භූමියට සැපත් වෙන එක..ඒත් එතනට කිට්ටු වෙනව මිස කිසිම දාක එතනට යන්න බෑ. ..( හරියටම සමාන නොවුනත් Absolute Zero වගෙ එකක්ය කියල කියමු ) .....එතනට ලඟා උනාය කියන්නෙ මනුෂ්‍ය වර්ගයාගෙ පැවැත්ම එතනින් ඉවරයි.
ReplyDeleteආතර් සී. ක්ලාක් ලියපු Childhood's End කතාවෙ එන්නෙ අන්න ඒ වගෙ තත්වයක්…A near Utopia.
අදහසක් දක්වපු හැමෝටම ස්තූති වේවා.
ReplyDeleteමමත් අම්බානක මරිසියෙක්. ඒ නිසා මෙහෙම සටහනක් ලියල හිතේ අවුල් ටික ටිකක් ලිහාගන්න මට පුළුවන්.
මම කවදාවත් හිතන්නෙ නෑ ආගම හෝ ජාතිය හෝ මිනිස්සු සංස්කෘතියෙන් වෙන් වෙලා ඉන්න කිසිම දෙයක් අවශ්‍ය නෑ කියල. ඒව ඇති වෙන්නෙ මිනිස්සුන්ගෙ උවමනාවට. සමහර විට අපි එක ගොඩකට වැටෙද්දි අපි දන්නෙ නෑ තව ගොඩක් තියෙනව කියල. එහෙම දැනගත්තම අපි කරන්නෙ ඒ අනිත් ගොඩ එක්ක වලි ඇදගන්න එක. ඒකයි අවුල. නැත්තං මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙන තරමට ලෝකය වෙනස් වෙනවා.