Saturday 27 April 2013

අර්ත් වයරයක් දිගේ ජාතික මව් ගුණ ගීයකට!


විදුලි බිල වැඩි වුණ එක වෙන කවදාටවත් වඩා මේ වතාවෙ හිට් වුණ වැඩක් වෙලා. හැබැයි ඒක තවත් නාට්ටියක් නෙවෙයි. (මේ වෙද්දි එහෙමත් හිතෙනවා) ඒ නිසා දැනටත් ටීවී එකේ හදන කෑම දිහා බලාගෙන ඉඳල ඒකෙන් කටට කෙල උනවගෙන යන්තං කාගෙන ඉන්න මිනිස්සුන්ට මේක හොඳටම දැණෙනවා. මොකද දැන් එහෙම ටීවී බලද්දි කරන්ට් එක නගිනවා. ‍

මේ ගැන ඇතිවුණ කතාවල් කීපෙකදි එක එක අය මේකට විකල්ප යෝජනා ගෙනාවා. කවුරුත් වැඩිවෙන ගාණ ගෙවන්න කැමති නෑ. නමුත් ඒ ගැන කතා කරන්නත් කැමැත්තක් නෑ. අර කියනව වගේ තමන් වෙනුවෙන් කතා කරන කොන්ත්‍රාත් එක කාට හරි දෙන්නයි කට්ටියගෙ කල්පනාව. කට්ටියම ප්‍රයිවෙට් බස් එකක යනව වගේ මේකට මූණ දෙන්නෙත්. (එහෙම නැත්තං ප්‍රයිවෙට් බස් එකේ මිනිස්සුන්ගෙ හැසිරීම අපේ ඇත්ත ජීවිතේමද? ඔය එක ඔන්ලයින් චණ්ඩියෙක්වත් බස්වල යනව වෙන්න බෑ.)

සමහරු කතා කලේ කරන්ට් එක මීටරේට එන්න කලින් ඒක බයි පාස් කරන්න. ඒක කරන අය දැනටත් ඕන තරං ඇති. නමුත් මණ්ඩලේ කට්ටියගෙන් බේරිලා කරගන්න එක ටිකක් අමාරු වැඩක්.

තව කෙනෙක් කිව්වා කාන්දමක් මීටරේ ගාවින් තියලා මීටරේ කැරකෙන එක ස්ලෝ කරන විධියෙ එකක්. ඒකත් හරියට වෙනව නං මරු වැඩේ. හැබැයි ඒ වැඩෙත් ටිකක් බැරෑරුම්. මීටරේ අවුල් ගිහින් මාට්ටු වුණොත් ඇරියසුත් එක්ක ගෙවන්න වෙයි.

තව යාළුවෙක් කියන්නෙ එයාගෙ කරන්ට් බිල රුපියල් සීයට අඩුයි කියල. ඒක ගෙදර වයරින් කරද්දි එකම විධියෙ විදුලි ප්‍රමාණයක් වැය වෙන විධියෙ උපාංග වලට වෙන වෙනම බ්‍රේකර් වලින්ම පවර් ලයින් වෙන් කරල හදපු සිස්ටම් එකක්ලු. ඒ ගැන ඌ දන්නෙත් නෑ. ඒත් අපිටනං සැකයි. ඒ වගේ ක්‍රමයක් දන්න කෙනෙක් මේක කියවන අය අතරෙ හිටියොත් ඒක කරන විධිය කියන්න!

බුකියෙ තිබුණා ඒ.සී. කරන්ට් එකෙන් වැඩ කරන එල්.ඊ.ඩී. බල්බ් සෙට් එකක් හදාගන්න සර්කිට් එකක් ගැන පින්තූරයක්. වැඩේ ඇත්ත නම් ඒක කරගන්න තරම් ඉලෙක්ට්‍රොනික් දන්නෙ කීයෙන් කී දෙනාද? ඒ නිසා ඔන්න වැඩ දන්න ඉලෙක්ට්‍රිකල් පොරකට බිස්නස් එකක් කරනව නං චෑන්ස් එකක් තියෙනවා එව්ව හදල විකුණන්න. දරන්න පුළුවන් ගාණකට ආවොත් වැඩේ නැගල යන්න ඉඩ තියෙනවා! ලොක්කට දුක හිතිලා බිල අඩු කළොත් විනාසයි නිසා දැන්ම බිස්නස් එකට බහින්න.

හැබැයි ‍කොයි කාලෙටත් විදුලිය ඉතිරි කරගන්න පුළුවන් අනවශ්‍ය විධියට ඒක පාවිච්චි කරන එක නතර කළොත්. ඒත් අපට තියෙන අවශ්‍යතාවල හැටියට දැං ඒක කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. අපිට කුප්පි ලාම්පුවෙන්වත්, ඉටිපන්දමෙන්වත් ජීවත් වෙන්න තවදුරටත් බැහැ. කවුරු හරි එහෙම ඉන්න පුළුවන් කියල කියන කෙනෙක් ඉන්නවනං මේ යන විධියට ඉදිරියෙදි එයාට දවසකට එක වේලක් කාල ජීවත් වෙන්න වෙන තරමටම ආශ්චර්යය ව්‍යාප්ත වෙන බව කියන්න ඕන.

තව කෙනෙක් කිව්වෙ බිල නොගෙවා ඉමු කියල. ආණ්ඩුවට දැණෙන්න. ඒ කතාව ජංජාලෙ අස්සෙත් කීප තැනකදි මම දැක්කා. ඒක කරන්න පුලුවන් වැඩක්ද කියල කල්පනා කරන්න වෙනව. මොකද මේක ඔන්ලයින් විතරක් කතා කර කර ඉඳල වැඩක් නැති නිසා. දැනට ඔන්ලයින් කමියුන්ටිවල ඉන්න අයගෙන් වැඩි ප්‍රතිශතයක් අවුරුදු 18-28 අතරෙ අය. උන් බිල් ගෙවන්නෙ නෑනෙ. ගෙදරක විදුලි බිල ගෙවන මනුස්සයෙක්ව මේකට පොළඹවගන්න පුළුවන් වෙයිද? බිල නොගෙවා ඉඳල ලයින් එක කැපුවොත් ඒක හදාගන්න අරටත් වඩා ගාණක් දෙන්න වෙයි නේද? ඒ නිසා දිගටම නොගෙවා ඉන්න එක ප්‍රායෝගික නෑ. ඒත් අඩු ගානෙ රතු බිල එනකල් නොගෙවා හිටියොත් මෙයාලා ඒකටත් අළුත් නීතියක් ගෙනෙයිද?

එහෙම නෙවෙයි කියල හිතෙනවනං මෙතනට ගිහින් බලන්න. මේ කමියුනිටි පේජ් එකෙන් නොනැවතී මේ කතාව දන්න අය අතරට අරන් යන්න.

කොහොම වුණත් තර්ක සේරම අන්තිමේදි ඇවිත් නතර වෙන්නෙ එක තැනක. අවසානෙදි බිල ගෙවන්න වෙයි. මාත් මේ පෝස්ට් එක දාල 'හඬක් නැගුවා' කියල හිතාගෙන පැත්තකට වෙයි. හැබැයි බිල ගෙවන එක ප්‍රමාද කරන්න මිනිස්සුන්ව පොළඹවන්න උවමනායි. මේ වෙද්දි මම මේ ගැන කතා කරල අඩුගානෙ කීප දෙනෙක්ට ටොකු ඇනල තියෙනවා. ඒ වෙලාවලදි මිනිස්සු එක්ක කතා කරාම තමයි උන්ගෙ ප්‍රශ්ණ තේරෙන්නෙ. අඩු ගානෙ මට මුකුත් කරන්න බැරි නම් ඉන්ටර්නෙට් එකට කෙලවලම දාන්න පුළුවන්. ඒකෙන් ගාණක් ඉතිරියි. ඒත් ගොඩක් අය අපි වගේ මේ කිසිම අවශ්‍යතාවයක් නැති ඉන්ටනෙට් එකේ අයිඩෙන්ටිටි පවත්වගන්න තියා ඒක මොකක්ද කියලවත් දන්න මිනිස්සු නෙවෙයි. ඒත් උන්ගෙ බිලත් 90 පනිනවා.

මිනිස්සු කොයි තරම් අසරණයිද? නමුත් තමන්ගෙ ඇත්ත තත්ත්වෙ කීයෙන් කී දෙනාටද තේරෙන්නේ? බහුතරයක් මිනිස්සු අන්ධයි. උන් ඉන්නෙ එක එක දේවල්වලට ප්ලග් හයි කරගෙන. ඒ මිනිස්සුන්ව පාලනය වෙන්නෙ ඒ ප්ලග් හරහා.

පහුගිය දවසක බුකියෙ වීඩියෝවක් ෂෙයා වෙලා තිබුණ. කොල්ලො දෙන්නෙක් ජාතික කොඩියෙ වරණ තීරු දෙක ඉරල පුච්චනවා. දැන් මුන්ට තියෙන ලොකුම ප්‍රශ්ණෙ රටේ එක එක මතවාද දරණ මිනිස්සු ජීවත් වෙන එකද?

මිනිස්සුන්ට නොදැනී උන්ව අන්ධ කරල ඉවරයි. උන් පණ නැති කරලා. ඇත්ත ප්‍රශ්ණෙ වෙනුවට බොරු ප්‍රශ්ණ මතු කරලා. බොරු ප්‍රශ්ණ උඩ දාන්න ඕන තරං කට්ටිය ඉද්දි ඇත්ත ප්‍රශ්ණෙ වෙනුවෙන් පෙනී ඉන්න කවුරුවත් නෑ. හැමෝම බලං ඉන්නෙ මුලින් කවුරු හරි ගලක් ගහනකල්. සමහර විට එතකොට කිසි දෙයක් ඉතිරි වෙලා තියෙන එකක් නෑ.

මෙහෙම වෙන්නෙ ඇයි? පළවෙනි හේතුව සාමාන්‍ය මිනිහෙක් මේ ගැන කතා කරල මහ ලොකු දෙයක් වෙයිද කියන අවිනිශ්චිත බව. සිවිල් බලයක් තියෙන මනුස්සයෙක්ට වුණත් මේ ගැන කරන්න පුළුවන් දේවල්වල සීමාව මොකක්ද?

ඒත් ඒ සේරටම වඩා අපිට අපිව ෂුවර් නැති ප්‍රශ්ණෙ නෙවෙයිද මෙතන තියෙන්නේ...

අද අපි ජීවත් වෙන්නෙ එකිනෙකා ගැන විශ්වාසය අවම වුණ, සමහර විට නැතිම වුණ සමාජෙක. හරියටම බඩු ෂුවර් කියල විශ්වාස කරන්න පුළුවන් කී දෙනෙක් තමන් දන්නවද කියල හිතල බැලුවම පුදුම හිතෙයි. එහෙම අය ඉන්නෙ අතක ඇඟිලි ගානටත් අඩුවෙන් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු බැලූ බැල්ම මාර එකමුතුයි වගේ පේනවා. හැමෝම හැමෝවම දන්නවා. ඒත් ඒ ගොඩක් සම්බන්ධ උවමනාවල් වෙනුවෙන් ඇතිකරගත්තු ඒවා. නිකං 'වැඩක් කරගන්න එයාව දැනගෙන ඉන්න එක හොඳයි' කියල ඇතිකරගත්තු සම්බන්ධ.

අවුරුදු ගානක් ඇතුලත අපිට තිබුණ විශ්වාසයන් සේරම විනාස වෙලා ගිහින් ඉවරයි. 'කවුද හිතුවෙ මෙහෙම වෙයි කියල' කියන කතාව දැන් හැමෝම කියනවා. සාමාන්‍ය මිනිස්සුන්ට අස්වැසිල්ලක් වුණ ආගම වගේ පරමාදර්ශී සංකල්ප පවා පිස්සු කෙලින්න අරන්. කරන්ට් බිල අඩු කරන්න කියල කතරගමට කියල වැඩක් නැතිබව ගැනත් මිනිස්සු දන්නවා.

ඇත්තටම ගත්තොත් කාටවත් කවුරුවත් නෑ.

එත‍කොට ඔය එකට බැඳිල තියෙන සංගම්, සමාජ, සේනා වගේ දේවල් පවතින්නෙ කොහොමද? හේතුව සරළයි. ඒව බැඳිල තියෙන්නෙ විශ්වාසය මත නෙවෙයි. ප්‍රතිපත්ති මත, බල ධූරාවලිය මත, සැලසුම් මත, එහෙමත් නැත්තං ලැබෙන කුට්ටිය මත. ඒ සංගම්වලට මහ ලොකු දේවල් නෑ පෞද්ගලිකව නැති වෙන්න. නැතිවුණත් ඒ ගොඩක් අයට ලැජ්ජාවකුත් නෑ. විදුලි බල මණ්ඩලේ ලාභ පිට ලාභ ලබන ආයතනයක් කියල පට්ටපල් බොරු ගොඩක් අපි පහුගිය කාලෙ අහලත් ඒව කියපු උන්දෙලා තාමත් ලැජ්ජාවක් නැතිව තවමත් බයිල ගහන්නෙ ඒකයි. මොකා ඇත්ත කියනවද මොකා බොරු කියනවද කියල හොයාගන්න බැරුව අපි තාමත් අන්දමන්දයි!

නමුත් ඇත්තටම පුද්ගලිකව ගත්තම හැමෝටම හැමෝවම ෂුවර් නෑ. ඒ නිසා මිනිස්සු මිනිස්සු එකතු වෙලා හඬක් නගන විධියෙ වැඩක් වෙයි කියල හිතන්න බෑ. ඕන තරම් ෆන් එකට සෙට් වුණාට එතනින් එහා යන ප්‍රැක්ටිකල් වැඩක් සිද්ධ වෙන එක විහිළුවක් වෙලා.

අන්තිමේදි අපට ඉතිරි වෙන්නෙ තමන් විතරක් වෙයිද?

‍තල්මස් කතා අස්සෙ හාල්මැස්සන්ගෙ ෂෝට් නෝට් කීපයක් කියෙව්වට සමා වෙන්ඩ!

අජිත් කියන මේ සින්දුව ඔයාට කොයි තරම් දැනෙයිද?


Friday 12 April 2013

ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද!


පහුගිය 06 වෙනි සෙනසුරාද කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක ‍වගේ නේ... මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.

සංගීතය, ලංකාවෙදි නං ගීතය, සින්දු ගැන අපි ඕන තරම් කතා කරනවා. ඕන තරං සින්දු අහනවා. සාමාන්‍යයෙන් සංගීතය කියන එක විතරක් අහන්න තරං ඇම්මක් තියෙන උන් නං ටිකක් අඩුයි. නමුත් කොයි කවුරුත් සින්දුනං අහනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට සින්දු අහන්නෙ අහන්නං වාලෙ කිව්වොත් හරි. කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි, බූට් එකක් එහෙම කෑවම නං සින්දු හිටු කියලා මතක් වෙනව වුණාට සාමාන්‍යයෙන් වෙන අවස්ථාවලදි අපි සින්දු සීරියස් ගන්නෙ නෑ.

හැබැයි ඩවුන් ටවුන් පල්ස් කියන්නෙ සීරියස් වැඩක්. අඩු ගානෙ මම එහෙම හිතන්න කැමතියි. ඒ නිසාම ඒක අළුත් වැඩක් විධියට අඳුණගන්න තවත් සාධකයක් එකතු වෙනවා. රහක් නැති දියාරු බෝරිං සංගීත ව්‍යාපෘති අතරෙ මේක දැණෙන වැඩක් වෙන්නෙ ඒක නිසයි.

මුල්ම කාරණේ ම‍ට මේක සම්පූර්ණයෙන්ම ජීර්ණය කරගන්න බැරිවීම. ඒ කියන්නෙ ගෙදර ඉඳන් නිදහසේ අහන තරම් අවබෝධයෙන් මේක පහලට යවාගන්න බැරි වීම. දැනීම්, විඳීම් අතින් නම් වැඩේ යන්තම් ෂේප් කරගත්තා. නමුත් මේක එතනින් නතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැනිලා විඳලා එතනින් නතර කරන්න නම් මේ ගැන මෙහෙම කතා කරන එකෙත් වැඩක් නෑ.

ඒ නොහැකි වීමට හේතු වෙන පළවෙනි එක කොළඹ ආවම හැදෙන හිසේ ඇම්ම. සාමාන්‍යයෙන් ඇම්ම තියෙන්නෙ වෙන තැනක වුණාට කොළඹදි හිසේ ඇම්මකුත් එනවා. ඒක මට මෙතනට සෙට් වෙන්න ලොකුම බාධකය වුණා කියල මට හිතෙන්නෙ. අනිත් කාරණේ ඒක බලන්න යන්න සෙට් වුණ උන් ටික. උන්ගෙ රහ තිබුණෙ වෙන තැනක ;-) එතන වෙන ප්‍රොජෙක්ට් එකක් තිබුණ නිසා ඒකට සෙට් වෙන එක ප්‍රධාන වුණා. ඒ නිසා මේ සටහන ලියන්නෙ ඩවුන් ටවුන් පල්සෙදි රැප් කියපු drill team එකේ සින්දු එකහමාරක් විතර යද්දි නැගිටල ආපු එකෙක්.

ඩවුන් ටවුන් පල්ස් නිකංම නිකං සංගීත ප්‍රසංගයකින් වෙනස් වෙන්නෙ කොහොමද? මේ ගැන දැනටමත් තැන් කීපයක කතා කරල තියෙනව මම දැක්ක. ප්‍රධානම දේ මේ ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් වුණ ශිල්පීන් ප්‍රධාන ධාරාවේ නිර්මාණකරුවො‍ නොවීම. ඔවුන් විකල්ප සංගීතවේදීන් වීම. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල මේක කියවගෙන යනකොට සමහර විට පත්තු වෙයි. අනිත් කාරණේ ලංකාවෙ අපි ඉන්න සමාජ තලයෙදි ලයිව් නෑසුණ සංගීතයක් වෙනුවෙන් ඉඩක් ලැබීම. ඒ සංගීතය තුල සිංහල චවන මීට පෙර ඇහුණට වඩා වෙනස් විධියකට හඬනැගීම.

ප්‍රසංගය සම්බන්ධ මතකය පින්තූර ටිකකට එහා ගෙනියන්න අවස්ථාවක් ලබා දීම තමයි අනිත් විශේෂත්වය. ඒ තමයි මහා Down Town Pulse පුස්ථකය.

පොත


මේ වැඩේ කරන බේකරියෙ සෙට් එකේ විරාජ් මහත්තය මෙතන කියල තියෙන විධියට ලංකාවෙ විකල්ප සංගීතයේ මෑත යුගයේ තදයො විධියට අපි දන්න ඉන්ද්‍රචාප, නදීක වගේ අයගෙ අදහස් නම් පොතේ නැති වුණාට ප්‍රමාණික දැනුමක් තියෙනවයි කියල හිතන්න පුළුවන් කට්ටියක් පොතේ ගොඩක් දේවල් කියල තිබුණ. මම හැමදාම හිතනව වගේ මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි. ඒ නිසාම පොත මරු! ඇරියස් ටික ඊළඟ පාර අල්ලමු!

පොත කියවද්දිත්, වෙනත් ලිවීම් කියවද්දිත් මට තේරුණේ අපි ඕනම දෙයක් තේරුම්ගන්න කලින් ඒව අපි දන්න ආකෘතිවලට රිංගවන්න යනවය කියන එක. ඒක අපි හැමෝම කරන වැඩක්. ඒ ගැන ඉස්සර දවසක ලිව්ව මතකයි මෙතන සහ ඊටත් ඉස්සර මෙතන. (දැන් ඒ අතීතය ගැන ඉරිසියයි ඕයි!) අපි ලේසියටයි එහෙම කරන්නෙ. මොකද අපි දන්නෙ නැති, ඉගෙනගෙන නැති දෙයක් ගැන තේරුම්ගන්න කරන්න වෙන හැදෑරීම කරන්න අපි මාර කම්මැලියි. නැත්තං එහෙම හැදෑරීමක් ඕනය කියල අපිට හිතෙන්නෙ නෑ. ඒ නිසාම අපි දන්න ස්ට්‍රක්චර්ස් කීපයක් අස්සට දාල හැමදේම තේරුම්ගන්න යනව. ‍

ඩවුන් ටවුන් පල්ස් කණ්ඩායම් ගැනත් එහෙම කියවීම් කීපයක් මම දැක්ක. නිර්මාණකරුවා ගේන යෝජනාව අහනව වෙනුවට තමන් හිතං ඉන්න එක ඇතුලට නිර්මාණකරුවව ගේන්න යන එක. හරියට අපිට ඉන්න බොස්ල වගේ. එලියට බැහැල කල්පනා කරන්න කැමතිම නෑ. කොහොම වුණත් ඒ හින්ද සමහර කියවන්නන්ට ‍ඩවුන් ටවුන් පල්ස් නිර්මාණකරුවන්ව අහුවෙන්නෙ නෑ. ඕනවට වඩා ගොඩක් පොත් කියෙව්වමත් ඔහොම ඒව වෙනව මගෙ හිතේ.

එකපාර පොතට පැන්නට මට මුලින්ම කියන්න ඕන එතනදි සහ පසුව හිතුණ අමු දේවල් ටිකක් ගැන. මට මුලින්ම හිතුණෙ ‍ඩවුන් ටවුන් පල්ස් අතරෙදි ඔය කියන පල්ස් දෙකක් අතරෙ හෙන පත සානුවක් තියෙනව නේද කියලයි. ඒ කියන්නෙ ලොකු පල්ස් දෙකක් අතර ලොකු ෆ්ලැට් ගතියක්. එහෙම වුණේ ගොඩක් සංගීත කණ්ඩායම්වල නිර්මාණ එකම ටෝන් එකකින් තිබීම. සමහර විට ඔවුන්ට තියෙන එකම නිර්මාණ ටික ඒව වෙන්න පුළුවන්. නමුත් මේක අළුත් වැඩක්, සහ ප්‍රසංගයක් නිසා තෝරගන්න ගීත අතරෙ පොඩි ටෝන්මය විවිධත්වයක් තිබුණ නම් හොඳයි කියල හිතුණ.

ගෝෂා - චින්තක ගීතදේව


අජිත් කුමාරසිරි මේ කැටගරියෙ තදයා හෙවත් ආරම්භකයා කිව්වොත් හරි. ඔහු ගැන අපි දන්නෙ අවුරුදු ගාණක ඉඳන්. ඒ නිසාම මේ විධියෙ සංගීතෙකට කැමති අය අතරෙ අජිත් දැන් ස්ටාර් කෙනෙක්. එදා ඒක මට තේරුණා. ඔහුට එහෙම වෙන්න ඕනවට වඩා අවශ්‍යතා සම්පූර්ණයි. නමුත් ඔහු ගායනා කරපු ගීත ගැන මගෙ කැමැත්තක් නෑ නයි නටවන එක ඇරුණම. මේ දවස්වල ජිනීවා කේස් එක ආයෙමත් නැගල යන නිසා මාත් එක්ක හිටපු එක්කෙනෙක් පෙරුම් පුරාගෙන හිටියෙ ඒක කියයි කියලා. ඒ කොහොම වුණත් ඒ වගේ තැනකදි කලින් අපි අහපු දන්න සින්දුවක් කිව්වනං ‍වඩා හොඳ වෙන්න තිබුණා.

අජිත් කුමාරසිරි


කලිනුත් කිව්ව වගේ ‍ඩවුන් ටවුන් පල්ස් අවබෝධයෙන් ජීර්ණය කරගන්න විධියක් නෑ එතන තත්ත්වෙ උඩ. ඒ නිසා අළුත්ම සින්දු යූ ටියුබ් හරි මොකක් හරි එකකින් අහනකල් දිරවගන්න එක ලේසි වෙන එකක් නෑ.

අනිත් එක ඩ්‍රිල් ටීම්. එයාල එනව කිව්වම මම සතුටු වුණා. නමුත් එයාල වෙනුවෙන් තිබුණ ඇරෙන්ජ්මන්ට් එක ටිකක් අවුල් වගේ. ඒ නැතත් මොකක්දෝ අවුලක් තිබුණා. එතන හිටපු ක්‍රවුඩ් එකට එයාලව අල්ලගන්න පුළුවන් වුණාද මන්දා. අපිත් රැඳිල හිටියෙ එයාල එනකල්. නමුත් මැදදි නැගිටින්න වුණා.

ඩ්‍රිල් ටීම්


සමහර වෙලාවට සින්දුවලට පොලිටික් කෑලි උවමනාවෙන්ම දාලද මන්දා කියලත් හිතුණා. ඒ වෙලාවෙ හිතුණෙ. දැන් මතක නෑ මොනව ගැනද හිතුණෙ කියල. සමහර විට විකල්ප වීමේ උවමනාවම ඒකට පෙළඹෙව්වද මන්දා. ඔතනදි විකල්ප වෙන්නෙ කොහොමද, ඇයිද කියන එකත් හිතන්න වෙනවා. ලෝකෙ එක එක කාලෙදි ඒ ඒ තත්ත්වයන්ට අදාලව විකල්ප සංගීතඥයො බිහි වෙලා ඇති. ඒ කියපු විකල්ප සංගීතය කියල අපි දන්නෙ සංගීතෙ ප්‍රධාන ධාරාවකට අභියෝගයක් කරන වෙනත් සංගීතයක් කියල නම් ඒක ‍මෙතනදි හරි. මොකද මෙතනදි එලියට ආපු වචන සහ සංගීතය අපි සාමාන්‍යයෙන් සින්දුවලින් අහන වචන හෝ සංගීතය නෙවෙයි.

සාම්ප්‍රදායිකව අපි අහපු සිංහල ගීතයෙ වචන වෙනස් කලේ චාමින්ද රත්නසූරිය කියලයි මට හිතෙන්නෙ. අජිත් කුමාරසිරිව මට අහුවෙන්නෙ ඊට පස්සෙ. ඩැඩීල අහුවෙන්නෙ ඊටත් පස්සෙ. වෙන කව්රු නව රැල්ලට සින්දු කිව්වත් ඒ වචන හරිම සාම්ප්‍රදායිකයි. හැමදාම අපිට ආදරේ විග්‍රහ කරගන්න හඳයි, වැවයි, ඇසුයි නැතිව අමාරුයි. දැන් දැන් මේ සංකේත ටික නාගරීකරණය වෙලා වුණාට යොදාගන්නෙ අර අර්ථයෙන්මයි. පැහැදිලි චිත්‍රයක් වගේ දර්ශණය ගානට මවල දෙනවා. ඇස් දෙක පියාගත්තම සමනල්ලු පියාඹනවා. දැන් නං සමහරු මුලින් වීඩියෝ එකට නටලා ඒකට හරියන්න තනුවක් දාලා ඒකට වචන දාලයි සින්දු හදන්නෙ කියල තේරෙනවා.

මොනව වුණත් අපි විඳින හැඟීම් අමාරුවෙන් හරි වචන කරන එක චාමින්දට, අජිත්ට සහ ඩැඩීට පස්සෙ මට ටොප් එකටම අහුවුනේ ‍ඩවුන් ටවුන් පල්ස් වලින්. ඒ වචන අළුත්!

ඒ එක්කම අමිල සඳරුවන් ගැන මට තිබුණ අදහස තව පළල් වුණා කියල හිතෙනවා මේකෙන්. එයාගෙ ස්වභාවික ගැයිල්ල මට මතක් කලේ බොබ් ඩිලන්ව. ඩිලන්ගෙ අහල තියෙන සින්දු අතරෙ ඔහුත් බොහොම ස්වභාවිකව හඬ හැසිරෙව්ව කියල මතකයි. අමිල කියන මේ සින්දුව ඊයෙ පෙරේදා දවසක හමුවීම ආයෙමත් අමිලව අළුත් කලා.




කව්රු මොනව කිව්වත් මෙහෙම තැනකට ආපු ‍ඩවුන් ටවුන් පල්ස් සංගීතවේදීන් ගැන මට තියෙන්නෙ ලොකු පැහැදීමක්. සංගීතය කියන එක අවශ්‍ය අයට ඒක පිපාසයක් වගේ එකක්. එහෙම එකේ මිරිඟු ගොඩක් එක්ක ඉඳල හිටල වතුර වලක් හම්බවෙන කාන්තාරෙක උන් කරන වැඩේ සිරා.

මම දන්නෙ නෑ එතන හිටපු කී දෙනෙක් කවදා වෙනකල් වැඩේ දිගටම කරයිද කියලා. මොකද ලංකාවෙ නෙවෙයි කොහෙදිත් ජීවත් වෙද්දි මාකට් එක ඕන වෙනවා. ජීවිතේ එක්ක ගනුදෙනු කරද්දි පැෂන් එක අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. මමනං කියන්නෙ එහෙම වෙන දවසක අතෑරලා දාන්න කියලයි. නිකං පඩ ෂෝ සහ බයිල ගගහ අසාර්ථක ප්‍රොජෙක්ට්වල රැඳිල ඉන්න එපා.

මට අහුවුණ තව එකක් මේ විකල්ප කියන අයගෙ තියෙන සමාජ භීතිකාව ගැන කතා. මීඩියා භීතිකාව හෝ මීඩියා වලින් හැංගීම හෝ වෙනම කොටසක් විධියට කැපිල පෙන්න තියෙන උවමනාව කියල ගමු. ඒක මානසික අසහනයක්? මටනං එහෙම හිතෙන්නෙ නෑ. ඒ තරං මම එක්කෙනෙක්ගෙවත් ඇත්ත ජීවිතේ දන්නෙ නෑ. අර කලින් කියපු විරාජ්ගෙ ඉන්ටවිව් එ‍කේ තිබුණ විධියටනං මාධ්‍යවලට විකිණෙන්න ඕන නෑ කියල කට්ටිය කිව්වලු. අනේ මන්දා ඕවා.

උඹලට සල්ලි නෑ කියලනං මට හිතෙනව. තිබුණ නම් වීඩියෝවක් කරල දායි. මොකද ඇත්තටම එහෙම මීඩියාවලට ගියා කියල අවුලක් නෑ. සමහර විට යම් දවසක උඹල බලපෑමක් කරන්න පුළුවන් කොටසක් විධියට හැදෙද්දි ඒ අවකාශය ඕපන් වෙයි. එතකොට හැංගිල වැඩක් නෑ. හැබැයි මීඩියාවලට තමන්ව උරාගන්න දුන්නොත් විනාසයි. ඒක ගානට වෙන්න ඕන වැඩක්. පුළුවන් නම් මීඩියා එක්ක ගනුදෙනු කරන අළුත් විධියක් හොයාගනිල්ලා.

කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා උඹල කරන විධියට හරි කරන එක ලොකු දෙයක් කියල මම හිතන්නෙ. මොකද එහෙම නොකර ඉන්න අය ඉන්නවා. උන් වෙන වෙන බිස්නස් කරනවා. නැත්තං කම්මැලිකම හරි වෙන මොකක් හරි නිසා උන් මෙහෙම වැඩ කරන්නෙ නෑ. ඔය රියැලටි ප්‍රෝග්‍රෑම්වලින් එහෙම කුණු මුල්ලට වෙලා හිටපු උන්ට තල්ලුවක් දුන්නා. නමුත් අපි දන්නව රියැලටියෙන් එලියට එද්දි ගොඩක් විට උන් ආයෙත් හරි යන්නෙ කුණු මුල්ලටම තමයි කියල. මොනව වුණත් රියැලටියටවත් නොයා අතෑරල දාල ඉන්න උන්ට පට්ට මානසික අසහනයක් තියෙනව වෙන්න ඕන.

මේ ලියවිල්ලෙ තරංග ආයාමය සෑහෙන්න දිග නිසා නතර කරන්න වෙලාව හරි. අන්තිමේදි කියන්න තියෙන්නෙ කතා කාරයො මොනව කිව්වත් තමන්ට දැණෙනකල් වැඩේ ඇදගෙන යමු කියලයි. කොහොමත් අපේ රටේ න්‍යායකාරයො වැඩියි. ඒකට මාත් ඇතුලත්. දන්න මගුලකුත් නෑ කොරන උලව්වකුත් නෑ. දන්නෙ රටේ නැති මල විකාරවලින් කොල පුරවන්න විතරයි. ඒ පුරවන‍්නෙත් අනිත් මිනිස්සු කරපු කියපුව ගැන. ඒවත් ඕන තමා. හැබැයි ඒව බේස් කරගෙන වෙනස් වෙන්න උවමනාවක් නෑ. ඒ නිසා මම කියපුවවත් ගණං ගන්න එපා.

පුළුවන් තාක් දිගටම ගේමෙ ඉමු! ජය වේවා!



-----------------------------------------------------------------
පින්තූරවලට අනුග්‍රහය ලබා දුන් ලිෂාන්ට ස්තූතිය!

ඩවුන් ටවුන් පල්ස් පස්සෙන් යන්න ඕන නම්!
down town pulse on FB

Thursday 4 April 2013

ඩවුන් ටවුන් පල්ස් බලමුද?


සංගීතය කියන එකට පැහැදිලි ඩෙෆිනිෂන් එකක් කවුරුවත් දීල තියෙනවද කියල මම දන්නෙ නෑ. මේ වෙනකොට කියවල තියෙන හැම ඩෙෆිනිෂන් එකක්ම තියෙන්නෙ එක රාමුවකට කොටු වෙලා. ඒ කියන්නෙ එක්කෙනෙක් උත්තර භාරතීය රාගධාරී සංගීතය යනු සංගීතය වේ කියල කියද්දි තව කෙනෙක් යුරෝපීය සංගීතය යනු සංගීතය වේ කියල කියනවා. ඔය හැම සංගීතෙකටම වඩා දකුණු ඇමරිකානු සංගීතෙ සංගීතෙ තමයි කියන කට්ටියකුත් ඇති.

ඔය ගොඩ දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්ණෙ ඔය සංගීත නිර්වචනයෙදිත් එනවා.

අපේ එක චෝයි ඔයාගෙ එක කක්කි!

අපේ එක තමා හොඳ කියන එක අපේ ඔළුවට අමුණපු සර්කිට් බෝඩ් එකක්.

හැබැයි ඔය සර්කිට් ගලවල ටිකක් නිදහසේ හිතුවම සංගීතය කියන්නෙ අපි හිතනවට වඩා ලොකු එකක් කියල තේරෙන්න වැඩි කාලයක් යන එකක් නෑ. අපට ඒ සම්පූර්ණ ටිකම දැණෙන්නෙ නැති වෙන්න පුළුවන්. හැබැයි අනිත් මිනිහ අහන එව ගැන ඉවසන්න අපට පුළුවන් වෙනව එහෙම වුණාම.

සමහර විට අපි කවදාවත් කැමති වෙයි කියල හිතන්න බැරි සංගීතෙකට අපි කැමති වෙන්නත් පුළුවන් එතකොට.

ලංකාවෙත් සංගීතෙ කියල අපි දන්න කාලෙ ඉඳන් පවතින ධාරාවක් තියෙනවා. ඒක ඔය ඉස්සර කෝලම්, ටීටර් වල ඉඳන් චිත්‍රපටි ඔස්සේ ජෝතිවික්ටර්ල හරහා ඇවිත් භාතිය සංතුෂ්ඉරාජ්ශිහාන්ලගෙනුත් පස්සෙ මේ වෙද්දි ඔය රුවන් හෙට්ටිආරච්චි වගේ කෙනෙක් ගාවට ඇවිත් තියෙනවා.

හැබැයි ඒ මේන් ස්ට්‍රීම් එක.

ඔයිට විකල්ප ස්ට්‍රීම් කීපෙකුත් තියෙනවා. කසුන් කල්හාර, නදීක ගුරුගේ වගේ අය එයිට විකල්ප වෙන ස්ට්‍රීම් එකක යනවා. ඇත්තටම ඒව විකල්පමයි කියල කියන්නත් බෑ.

ඔය ස්ට්‍රීම් කිව්වට ඒව මේ වෙන වෙන ම ගලාගෙන යන ඇල පාරවල් නෙවෙයි. මම කැමතියි ඒව වෙන් වෙන්ව ගලන ඒත් යම් අවස්ථාවලදි එකට එකතු වෙමින් ආයෙම වෙන් වෙමින් ගලන ඇල පාරවල් කියල හිතන්න.

හරි... බයිල නොගහ කියන්න ආපු වැඩේ කියඤ්ඤං!

ඉතිං ඔය කියපු ඇල පාරවල් අතරින් වෙනස්ම වුණ ඇල පාරවල යන සෙට් එකක් අප්‍රේල් 6 වෙනිද කොන්සර්ට් එකක් කරනවා. තියෙන්නෙ කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව හවස 7 ඉඳන්!
ඒකෙ නම තමයි Down Town Pulse කියන්නේ. වැඩි විස්තර ඕන අයට පහලම දීල තියෙන සම්බන්ධතා පාවිච්චි කරල ඒ ගැන දැනගන්න පුළුවන්. ඒ වුණාට මුකුත්ම නොකියත් බෑනෙ.


ඩවුන් ටවුන් පල්ස්

2013 අප්‍රේල් 06 හවස 7 සිට

මහල්වරාව බේකරිය අසල

ගාස්තු කිසිවක් නැත


මේක මේ පවත්වන්නෙ දෙවෙනි වතාවට. ගිය අවුරුද්දෙත් අපේ කට්ටියටම මේක ගැන ඔත්තුව ලැබුනෙ බොහොම කලින්. ඒ වුණාට අපි ඒක ගණං ගත්තෙ නෑ. මොකද සහභාගි වෙන සංගීත ශිල්පීන්ගෙන් කලින් නම හරි අහල තියෙන අය හිටියෙ කීප දෙනයි. ඒ වුණාට පස්සෙ ඒ ගැන විස්තර ඇහුවම නොගිය ගොන් කම ගැන කම්පා වෙන්න වුණා. ඒ නිසා මේ පාරනං අතාරින්න හිතක් නෑ.

මෙන්න මේ අය තමයි එදාට සින්දු කියන්නේ...


අමිල සහ ගිහාන් ප‍්‍රමුඛ HAPPY JOURNEY

ගීතදේව සහ ෂැගී සමඟ GHOSHA

ඉසුරු කුමාර සමග MIXMASTER BLONG

සරා සමග WANTED

සාක්‍යා සහ චරිත් සමග WAKHAN THANKA

අජිත් කුමාරසිරිගේ NO BAND WITH AJITH

මාධව සමඟ SKITZO

WESTනාහිර DRILL TEAM

O2 හෙවත් අම්ලකර


අපි කීප දෙනෙක් නම් සැට් වෙන්න පතාගෙන ඉන්නවා... හැකියාවක් තියේනං සංගීතෙ වෙනම විධියෙ අත්දැකීමක් විඳින්න කැමතිනං යන එකයි ඇත්තෙ ඕං...



ඩවුං වටුං පුල්සේ විස්තරේ ‍මෙව්වයිං බලාගන්ට!


‍මූනත්තහඩු පුස්තකේ විස්තරේ

සංවිධායක විරාජ් අයියගේ මාධ්‍ය සාගජ්ජාව

කල්ට් ලියන ධර්මෙ අයියගෙ අටුවාව

කුරුළු නාදේ

ගූ ගල් පුල්සේ

ඔබ නළයෙන් ගලයි...