Friday 18 November 2022

ශ්‍රී කාන්ත/ ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මි පොත් ගැන...

 

ශ්‍රී කාන්ත/ ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මි පොත් යුගල ගෙදර පුස්තකාලෙ තියෙන්නෙ 2011 ඉඳන්. නමුත් මට ඒ පොත් යුගල කියවන්න ඕන වෙන්නෙ චිත්‍රපටියක් නිසා. (ශරත් චන්ද්‍ර චැටර්ජි, චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි)

ප්‍රදීප්ත භට්ටාචාර්ය කියන බෙංගාලි සිනමාකරුවාගේ Bakita Byaktigato (2013) චිත්‍රපටිය මායා යථාර්ථවාදී අරුම පුදුම චිත්‍රපටියක්. මේක බලන්නෙ 2020 කොවිඩ් කාලෙදි. මේකෙන් අධ්‍යක්ෂවරයා ගැන පැහැදිලා ඔහුගේ තව නිර්මාණ ගැන හොයන්න ගත්තම Rajlokhi O Srikantho (2019) චිත්‍රපටියත් හමු වෙනවා. චිත්‍රපටියෙ ඩිජිටල් පිටපතක් 2020 දි ම බාගන්න පුලුවන් වුනත් ගැලපෙන සබ්ටයිටල් එකක් නොතිබුණ නිසා බලන එක අතෑරලා තිබුණා. 2022 අගෝස්තු මාසෙදි විතර දාපු සර්ච් එකකදි ඉංග්‍රීසි සබ් එකක් ලැබෙනවා. හෙණ කට්ටක් කාලා ඒකෙ ටයිමින් ඇජස්ට් කරගෙන බැලුවට පස්සෙ මට පොත කියවන්න ඕන වෙනවා.

මේකෙ සයිකොලොජිකල් කෑල්ල මොකක්ද? රාජලක්ෂ්මි ශ්‍රීකාන්ත වෙනුවෙන් කැපවී සිටීම කියන කාරණය අස්සෙ පිරිමි ආස තැනක් තියෙනවා. ශ්‍රීකාන්ත සෑහෙන්න නිදහස් මිනිහෙක්. ඔහු තමන්ට උවමනා දේ හොයාගෙන යන පිහාටුවක් වගේ සැහැල්ලු මිනිහෙක්. ඒත් ඔහුට අවශ්‍ය මොහොතේ සල්ලිකාර, රූමත් කාන්තාවක් ඔහු වෙනුවෙන් ඉන්නවා. ඔහුට යන්තම් මතක, ඒත් ඇයට හොඳින් මතක ඉතිහාසයක් ඔවුන් දෙදෙනාටම තියෙනවා. ඒ මතකය ඇය සතුව හැමදාම තියෙනවා. ඒ නිසාම ඇය ඔහුව හොයාගෙන එනවා. ඒක එක විධියක පිරිමි ෆැන්ටසියක්. අවසානයට එද්දි ශ්‍රීකාන්තට රස්සාවකුත් නොකර පොත් කියවමින් විතරක් ඉන්න පුලුවන් ජීවිතයක් විවෘත වෙනව. ශ්‍රීකාන්ත වගේ පිරිමියෙක්ට ඔයිට අමතරව ඕන මොනවද?

ඔය අස්සෙ මට මෙහෙමත් කල්පනා වෙනවා. පොතේ කියවෙන රාජලක්ෂ්මි චරිතය ශ්‍රීකාන්ත ගැන දක්වන අසීමිත ආදරය සමහර විට මේ පොත් රචනා වුණ කාලෙ එක්ක ගත්තම කාන්තා ෆැන්ටසියක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ තමන් ආදරය කරන පිරිමියට සලකගෙන ඔහුගේ සියළු වතාවත් කරමින් එක්තරා ආගමික වර්ගයේ භක්තියකුත් එක්ක පවුල් කන්න කල්පනා කරන ගැහැණු කියන්නෙ ඒ කාලෙ උත්කර්ෂයක් වෙන්නත් ඇති. වර්තමාන කාලෙ වෙද්දි මේ තත්ව එහෙම්මම වලංගු නෑ. නමුත් පොත රස විඳින්න ඒක බාධාවක් නෑ.

Rajlokhi O Srikantho (2019) චිත්‍රපටියෙ ශ්‍රීකාන්ත රඟපාන්නේ මේ වෙද්දි ඉන්න විශිෂ්ඨතම තරුණ ඉන්දියානු චරිතාංග නලුවා කියල මම පිළිගන්න රිත්වික් චක්‍රබෝර්ති. ඔහුට චරිත අස්සෙ දිය වෙන්න පුළුවන්. රාජලක්ෂ්මි චරිතය රඟපාන්නෙ කලින් දැකලාවත් නැති ජ්‍යෝතිකා ජ්‍යෝති කියන බංගලිදේශ නිලිය. කාලෙකට පස්සෙ ඇයත් මම කැමති වුණ නිලියක්. මේ චිත්‍රපටිය ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගෙ ශ්‍රී කාන්ත පොතේ චරිත සහ සිදුවීම් ආශ්‍රයෙන් ගොඩනගපු වර්තමානයෙ කතාවක්. ඒ නිසා පොතේ චරිත සහ සිදුවීම් එක්ක චිත්‍රපටිය ඒ විදියටම පෑහෙන්නෙ නෑ.

මගේ කාර්යාලීය මිතුරෙක් සහ මිතුරියක් අතර තියෙන දැඩි මිතුරුකම මට පේනවා. ඒ මිතුරුකම ගැන වෙනත් අය කියන කතාත් මම අහල තියෙනවා. මම ඒ දෙන්න අතර තියෙන්නෙ මොන විධියෙ සම්බන්ධයක්ද කියල හිතන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒ දෙන්නම දරුවනුත් ඉන්න පවුල් නඩත්තු කරන අය. හැබැයි මේ සම්බන්ධය අස්සෙ ඔවුන් දෙන්නම තමන්ට වෙන තැනකින් නොලැබෙන දෙයක් තෘප්ත කරගන්නවා කියල මට හිතෙනවා. දෙන්නා අතරෙ ඇතිවෙන රණ්ඩු සහ කතාබහ මට ඇහෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න ලැබුණොත් මට තේරෙන්නෙ ඒ දෙන්න අතර තියෙන්නෙ වේදනාත්මක බැඳීමක් කියල. පීඩාවෙන් තෘප්ත වීමක්. මට තේරෙන සරල දෙයක් ඒක. කිසිසේත්ම ඕවර් තිංකින් නෙවෙයි.

ඒ කතාව කියන්නෙ ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මි අතරත් එහෙම පීඩාකාරී බැඳීමක් නිරීක්ෂණය වුණ නිසා. දෙන්නා උවමනාවෙන්ම වෙන් වෙනව. දෙදෙනා අතර දුරස්ථ බවක් රඳවගන්නවා. ඒ නිසාම වේදනාවට පත් වෙනවා. හිස් තැන සම්පූර්ණ කරන්න තියෙන එකම හැකියාව අනෙකා විධියට තේරුම් අරන් ඒ ගැන කල්පනා කරමින් ඉන්නව. ඒත් තමන් විශ්වාස කරන වෙනත් දේවල් නිසා උවමනාවෙන්ම දෙන්නා අතර දුරස්ථ බව තියාගන්නව. සමහර විට ඒක වඩාත් තෘප්තිමත් තත්ත්වයක් වෙන්න ඇති.

මේක ලියවෙන්නෙ 1900 මුල් ගණන් වලදි වෙන්න ඇති. ඒ නිසා විසි එක්වෙනි ශතවර්ෂයේ ආරම්භයේ මානසික තත්වයකින් මේ කතාව තේරුම් ගන්න අමාරුයි. කොහොමත් පොතේ දැක්වෙන බ්‍රාහ්මණ පූජා අවස්ථා මම කියෙව්වෙ හිනාවක් එක්ක. භක්තියයි පාරම්පරික පුරුදුයි නිසා මිනිස්සු පියවි තත්වයෙන් කොයි තරම් වෙනස් වෙන්න පුලුවන්ද කියන එක ගැන මට ඕන තරම් උදාහරණ මතක් වුණත් පොතේ දැක්වෙන ඒවත් හරිම විහිළු සහගත වුණා. ආගමික භක්තිය තම තම නැණ පමණ කියල දැනගෙන හිටියත් හිනාවෙන්න තියෙන අවස්ථා මගහැර ගන්නෙ ඇයි ඉතිං.



Monday 14 November 2022

මැද!

 

Source - https://www.bbc.com/news/world-australia-49589160

ලියන්න නොහිතෙන්නෙ ඇයි කියන එක හෙන ප්‍රශ්ණයක් නෙවෙයි මට. නමුත් ඒකට හේතුව ලියල තියෙන එක වටිනවා. යමක් ගැන මතයක් නැතිනම් ඒ ගැන ලියන්න බෑ. මම ටිකෙන් ටික මත දැරීමෙන් අයින් වෙමින් යනවද කොහෙද... ඒක තමයි දැනට ඒ ගැන මම දරණ මතය. කම්මැලිකම කෙසේ වෙතත් පොඩියට හරි ලියන්න බාධාවක් තියෙන්න විධියක් නෑ.

යමක් ගැන පාර්ශවික අදහසක් නැතුව ඒ ගැන ලියන එක හරිම කම්මැලියි. දෙපැත්ත හෝ කීප පැත්තක් බැලන්ස් කරලා අන්තිමට මම එන්නෙ තිසිම තේරුමක් නැති මැදකට. උනුත් හරි මුනුත් හරි වගේ තැනකට. සම්පත්ගෙ සාධාරණවාදය. ඒ නිසාම යම් දෙයක් ගැන අදහසක් එද්දිම ඒකෙ විලෝමය ගැනත් අදහසක් එනවා. ඉතිං මම දරණ අදහස ශුන්‍ය වෙලා යනවා.

හිතන්න ලංකාවෙ ඉන්නෙ මානසික රෝගියො කියල කිව්වොත් ඒක ජස්ටිෆයි කරන්න මට කරන්න තියෙන වැඩ ටික දරාගන්න බැරි තරම් ලොකුයි. දැන් එකෙක් දියසෙන් කියල ප්‍රමෝට් කරගෙන එනව. සිවුරක් දාගත්ත එකෙක්. ඒ මදිවට ඔටුන්නකුත් දාගන්නවා. ටික දවසකට කලින් පාස්ටර් ඩයල් එකක් මැච් දිනවන්න කතා කලා.

එහෙම මිනිස්සුන්ට ඕඩියන්ස් එකක් හැදෙන එකත් තියෙන අවුලත්. ඒක මට අවුලක් වුණාට සාධාරණවාදය අනුව ඒක උන්ගෙ අයිතිය. ලංකාව අජූත වෙලා තියෙද්දි සියළු මත දරන්නන්ට තම තමන් කැමති පිස්සු කෙලාගන්න අවස්ථාව තියෙනව. ඒ ගැන කතා කරන්න ගියොත් ඒකට විරුද්ධ මතත් ඒ තරමටම එන්න ගන්නවා. ඉතිං කතා කරන්නෙ නැති තරමට හොඳයි.

Thursday 3 November 2022

මරණය සමග කවි!

 



සිනා සිය දහසක් මැද
කඳුලක ලුණු රස දැණුනාද
පැටළුණු අත් දහසක් අතර
ඔබ දෑත් බැඳගෙනද
තරු පිරුණු අහසක් යට
පෙනෙන්නේ සඳේ තනිකමද
සොඳුරු මිහිරක් දකින්නේ
ගුප්ත අඳුරක් තුල විතරමද

පාලනය කල හැකිනම් සිහින
සදා නිදන් ඉන්න හිතෙනවද
අයිතියක් ඇත්නම් හැඟීම්වලට
උදුරා ගිණිබත් කරන්න හිතෙනවද
ගලන කඳුලක් සිසිල් කිව්වට
ලෝදිය මෙන් ගිණියම්ව දැණෙනවද
හයියෙන් කෑ ගහන්න ඕන වුණත්
හඬ නොඇසෙන්න උගුර වියලී ගිහින්ද

අගයන සිය ගාණක් අතර
දැණෙන්නේ හුදකලාවද?
පිරුණු ජීවිත ගොඩක
ඔබට ඇත්තේ හිස්කමක්ද?
ආදරේ කියන්නන් ළඟ
ඇත්තෙ තව බොරුවක්ද?
යුතුකම් ඉටු කරනු හැර
තව කුමක් කරන්නද?

ජීවිතය පුරවන්න
ගත් තැත ව්‍යර්ථද?
පුරවන්න ආ අය
තවත් හිස් කර ගොස්ද?
දැනුත් ළඟ ඉන්න අය
උනුත් ඒ පහුරෙමද?
ජීවිතේ හිස්කමින්
දැන් ඔබට තෙහෙට්ටුද?

කරන්නට ඇති හැමදේම
අවසන්ය හිතෙනවද?
අන් අයට වදයෙකැයි
ඔවුන් මගැර හිඳියිද?
එදිනෙදා දේවල්
නොසිතාම ඔහේ වෙනවද?
ජීවිතේ හෙට දවසට
අරමුණක් නැද්ද තව?

ජීවිත් වෙන්නට අරමුණක්
ඕනෑ කියූවන් කොහෙද?
අරමුණක් නැති ජීවිතය
අභියොගයක්ව ඇත්ද?
අන් අය කරදර වන දේ ගැනම
කරදරවන්නට තිබුණා නම් හොඳද?
ජීවිතේ ගත් අතීත තීරණ
ආයෙත් විනිෂ්චය වෙනවාද?

අහිමි දේවල් ගැන
විටින් විට හිතෙනවද?
හිමිකරගන්නත් ඒත්
ආසාවක් නැතිද?
ආසාවෙන් කල හැමදේම
දැන් තේරුමක් නැද්ද?
ගසා බසා හැමදේම
යන්නම හිතෙනවද?

ජීවිතේ හිස්කම
තදින්ම දැනෙනවද?
සතුට මුහුණු සියල්ල
ඇත්තටම සතුටින්ද?
මරණයේ ගිණි දෑස
හැඟීම් පුබුදයිද?
ආදරෙයි මරණයට
දැන් ඒක දැණෙනවද?



Tuesday 1 November 2022

බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව ගැන අදහස්


අසිරිමත් ඉන්දියාව කියවන්නත් කලින් ඉන්දියාව මට ප්‍රේමනීය රටක්. සමහර විට දේශපාලනිකව සහ හැම විටම කලාත්මකව. ඉතිහාසෙට යද්දි ඔය දෙකේ වෙනස හොයන්නත් බෑ. කොහොම වුණත් ඉන්දියාව නිසා මම රසවිඳපු රසවිඳින දේවල් තියෙන්නෙ උපරිමයන්ගෙ. ඒක ඉන්දියානුවන්ගේ ආභාෂයෙන් ලංකාවෙ මට උරුම වෙලා තියෙන සංස්කෘතියෙ විචිත්‍රවත් ගතියෙ ඉඳන් මේ වෙද්දි ඉද්දියානුවන්ගෙ සංගීතය, නර්තනයන්, ක්‍රීඩාව, චිත්‍රපටි, ගණිතය සහ තව නොයෙක් දේ වගේම කෑම බීම දක්වාම දිව යන පැතිරුණු එකක්. හිතට සතුට සහ මොළයට දැනුම ගේන දේවල් බොහොමයක් ඉන්දියාවෙන් මට ලැබෙනව. ඉතිං ඉන්දියාවේ අසිරිය ගැන කියවීම තවත් ඒ ආදරය වැඩි කිරීමක්. ගොන් කතාවක් වුණත් ඉන්දියාව අසල රටක ජීවත් වීම සහ ඉන්දියාව විඳින්න තරමට රසයක් දියුණු කරගන්න පුළුවන් වීම ගැන ආඩම්බර වෙන්න පුළුවන්.

ඉන්දියානු ඉතිහාසය මුලදි විග්‍රහ කළේ බොහෝ දුරට යුරෝපීය ඉතිහාසඥයන් නිසා සමහර දේවල් වල ක්‍රෙඩිට් එක ඉන්දියාවට හරියට ලැබිලා නෑ කියන එක ඇත්තක්. (ලංකාව සම්බන්ධයෙනුත් එහෙම දේවල් තියෙනව) ගණිතය, තාරකා ශ්‍රාස්ත්‍රය වගේ දේවල් සම්බන්ධයෙන් ඉන්දියානුවන් දියුණු කරපු දැණුමත් ඒ වගේ. උසස් පෙලට අපට භෞතික විද්‍යාව උගන්වපු ගංඇති සර් තමයි මුලින්ම ශ්‍රීනිවාස් රාමනුජන් ගැන කියල දෙන්නෙ. ඒ ඔස්සෙ අමතර කියවීම් වගේම දෙව් පටෙල් රඟපාන The Man Who Knew Infinity චිත්‍රපටියත් පසුකාලෙක පෙරේතකමේ බලන්නෙ ඉන්දියාවට නැති වුණ දේ ගැන දැනගැනීමේ ආසාව නිසා වෙන්න ඇති. සමහර විට ඉන්දියානුවන්ම තමන්ගෙ දේවල් අතෑරලා ලෝකෙයේ වෙනස් වීම් ඉක්මනින් වැළඳගන්නවා වෙන්නත් පුළුවන්. ආචාර්ය බර්ට්‍රම් ලියනගේ කරන දේශනයකදි ඔහු කියන විධියට මරාති වගේ භාෂාවක් තවමත් පවතින්නෙ භාවිතා කරන මිනිස්සු ප්‍රමාණය වැඩි හින්දා විතරයි. නමුත් භාෂාව විතරක් සැලකුවොත් ස්වභාෂා අමතක වෙන තරමටම ඉංග්‍රීසිය වේගයෙන් සාමාන්‍ය ඉන්දියානුවන් අතරට පිවිසෙමින් තියෙනවා.

පොතේ තියෙන සමහර කාරණා ගැන දැනුම මේ වෙද්දි යාවත්කාලීන වෙලා තියෙනවා කියලත් හිතෙනවා. මහාචාර්ය රාජ් සෝමදේව කියන විධියට ආර්ය කියන සංකල්පයම යුරෝපීය ඉතිහාසඥයන් ගොතපු ප්‍රවාදයක්. ඉන්දියානු විශිෂ්ථත්වයේ මූලයන් යුරෝපයට ගෙනයෑමේ උවමනාවෙන් ව්‍යවහරයෙන් පූර්ව වර්ෂ 2000-1500 විතර කාලයෙදි මධ්‍යම යුරෝපීය ජන කණ්ඩායම් විසින් පැරණි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයන් පෙරලගෙන වයඹ දිග ඉන්දියාවෙන් උතුරු ඉන්දියාවට ඇතුල් වීම ආර්ය සංක්‍රමණය විධියට පුරාවිද්‍යාත්මකව ඉදිරිපත් කල බවත්, ඒ දිහා විවෘතව බැලිය යුතු බවත් තමයි ඔහු කියන්නේ.

කොහොමත් ඉතිහාසය කියන්නේ කරුණු හෝ අවස්ථා විධියට සලකනවට වඩා 'විශාල අදහසක්' (big picture) විධියට සැලකිය යුතු විෂයයක් කියලයි මට හිතෙන්නෙ. කරුණු සහ අවස්ථා විධියට සැලකුවොත් ඉතිහාසෙ අවස්ථා හේතුවෙන් වර්තමානය විනාස කරගන්නයි වෙන්නෙ. මොකද මිනිස්සු ඉතිහාසය අනාගතයට ආයෝජනය කරනවට වඩා ඉතිහාස නිසා මරාගන්න ආසයි.

ලංකාවෙ X කියන හිටපු ජනාධිපති හොරෙක් කියන්න සාධක තියෙනව වගේම ඔහු අග්‍රගනයේ නායකයෙක් කියන්නත් කරුණු තියෙනවා. අවුරුදු 20ක විතර ඉතිහාසය ගත්තත් හරියටම වුණ දේට වඩා වාර්තා වෙලා තියෙන කරුණු වෙනස්. ඉතින් අවුරුදු දහස් ගණනක ඉතිහාසය ගැන කතා කරල වැඩක් නෑ.

අසිරිමත් ඉන්දියාව ශ්‍රාස්ත්‍රීය ලේඛණයකට වඩා සරල බසින් ලියවුණු එකක්. ඉතිහාසය කියවන්න කැමති උදවිය නැතුව වෙන කෙනෙක්ට වුණත් කැමති හිතෙන තොරතුරු ඇතුලත්. කියවන්න ලේසි නොවුණෙ සමහර කරුණු ගැන ඉන්ටර්නෙට් එකේ හොයමින් ඒවයෙ පින්තූර බලමින් අතුරු කියවීමකුත් කරමින් කියවන්න වුණ නිසා. එහෙම නොවී කියවල වැඩකුත් නෑ. ආසන්නව 13වන සියවසේ ඉඳන් ක්‍රමයෙන් ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණවලට ලක් වෙනව. ඒ දක්වා ඉන්දියානු භූමියේ සිදු වුණ විවිධාකාර වෙනස්කම් මාතෘකා ගණනාවක් ඔස්සෙ කතා කරනවා පොතේ.