Tuesday 18 December 2018

සතුට හමුවන තුරු

සතුට එතනයි කියා
හතර අතම බලා
කූඩැල් අඩි තියමින්
කෙතෙක් දුර යන්නද?

ලස්සනම මල සොයා
ලෝකයම පීරමි කියා
මුලු පොලොවම වටේ
ආයෙත් මුලට එන්නද?

ජීවිතයෙ දුක වහන
එක එක වර්ණ ඇතිරිලි
සාප්පු පුරා ඇවිද
කෙතරම් ගන්න ඕනද?

ලෝකෙම පෙනෙන දෑසට
තමන්වම බලන්නට
කණ්නාඩියක් ම ඕන බව
ඇහැට කොහෙ දැනෙන්නද?

උදාවෙන මොහොත හැමවිට
එයට පෙර මොහොත සිඳ
නිබඳවම අලුත්වන බව
පරණ මතකයට සිහිවෙයිද?

Monday 13 August 2018

සැමරීමට ඇමතීමක්...


මිනිස්සු සමරන්න ආසයි. නැචුරල් හේතුවක් නැත්නම් මොකක් හරි හේතුවක් හදාගෙන හරි සමරන්නයි මිනිස්සු කැමති. මේ කියන්නෙ එක එක දින සමරන එක ගැන. ඒ අතරට උපන් දින, මරණ දින, සංවත්සර දින වගේ පෞද්ගලික සැමරීම්වල ඉඳන් ජාතික දින, ජාතික විරු දින, මව්වරුන්ගේ දින, කාන්තා දින, දූවරුන්ගේ දින, ප්‍රසිද්ධ පොරවල්ගේ ජන්ම දින වගේම ග්ලෝබල් දිනත් තියෙනව. සමහර අය ඒ සැමරීම් වෙනුවෙන් සූදානම් වෙන විධිය දැක්කම හිතෙනවා 'මෙහ්' කියලා. එහෙම කියන්නෙ සැමරීම්වලට විරුද්ධව නෙවෙයි. සැමරීම් වරදක් නෑ. ජීවිතේ පල්ස් එකේ වෙනසක් වෙනවනම් සැමරීම් වඩාත්ම හොඳයි. ඔය පල්ස් එක එකිනෙකාට දැණෙන විධිය වෙනස් වීම නිසයි මේ ප්‍රශ්ණ ඔක්කොම. අනික සැමරීම් කරන්න එක එක අය තෝරගන්න විධි අනුව සැමරීම ගැන ඒ අය හිතන්නෙ මොනවද, කොහොමද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.

මේ තියෙන්නෙ එහෙම ඒව ගැන පරණ අදහස් ටිකක්. ඒ හැටි වැදගත් නෑ.

ඔය එක එක කාරණේට දින වෙන් කිරීම එක අතකට ඒ කාරණේට අදාල පාර්ශවය අන්දන්න කරන වැඩක් විධියට දකින්නත් පුළුවන්. සමහර විට වෙනත් අරමුණකින් ආරම්භ වෙලා පස්සෙ සහමුලින්ම ඒ අරමුණ වෙනස් වුණ වෙනත් බොහොමයක් දේවල්වලට සිද්ධ වෙලා තියෙනව වගේ යම් දිනයක් නම් කිරීමේ මූලික අරමුණෙන් බැහැර වුණ දේවල් ටිකක් වෙනුවෙන් තමයි ඔය සැමරුම් දින පසු කාලීනව පාවිච්චි වෙන්නේ. උදාහරණෙකට අම්මාවරුන්ගෙ දිනේදි, රණ විරුවන්ගෙ දිනේදි ඒ ඒ අය ගැන කට්ටිය බොහොම සතුටින් කතා කරනව තමයි. මේක ආරම්භ වෙන්න ඇත්තේ ඒ අයට විශේෂ වටිනාකමක් දෙන්න ඕන නිසා. ඒක නිසා එයාලගෙ ජීවන තත්ත්වය දියුණු වෙයි කියල හිතලා. හැබැයි පසුකාලීනව ඒ ඒ දිනවලදි ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන බව පෙන්නන්න තමයි කැමති. අපි බොහොම දෙනෙක් නොහිතා කරන දෙයක් තමයි කතා කරන බව ප්‍රදර්ශණය කරන එක. අර මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය එතනමයි. මිනිස්සු ඒ දිනය පාවිච්චි කරන්නෙ ඉතිරි දින 364 පුරාම සිද්ධවෙන නොසැලකීමෙන් ගැලවෙන්න.

මිනිස්සු කැමතියි අවධානයට ලක් වෙන්න. එහෙම නැත්තං තමන්ගෙ හොඳ පැත්ත අවධානයට ලක් කරවන්න. හැබැයි තමන්ගෙ නරක පැත්ත පුළුවන් තරම් හංගන එකත් ඒකෙම කොටසක්. සාමාන්‍යයෙන් අපි මිනිස්සු එක් කතාබහ කරද්දි මේක තේරෙණවා. අපිට කතා බහ කරද්දි හම්බවෙන්නෙ බොහොම හොඳ මිනිස්සු. වැරදි නොකරන, එහෙම නැත්තං වැරදි අවම වශයෙන් කරන, වැරැද්ද පෙන්නුවොත් තේරුම්ගන්න විධියෙ, ඒ වගේම අනිත් අය වැරැද්දක් කරනව දකිද්දි ලේ කෝප වෙන නිවැරදිමාමක නිහතමානී අය. හැබැයි සමාජයක් විධියට ලංකාවෙ මිනිස්සු දිහා බැලුවම පේනවා පොදුවෙ ගත්තම උන් අවුල් කියලා. කෙරෙන්නෙම, තියෙන්නෙම අවුල් වැඩ. ඉහළ ඉඳන් පහලටම... එතකොට සමාජෙ ඉන්නෙ අපි නෙවෙයිද? අපි කරන වැරදි නිසා නෙවෙයිද සමාජෙ අවුල් වෙලා තියෙන්නෙ. තනි තනිව ගත්තම පට්ට හොඳ අපි පොදුවෙ ගත්තම අවුල් වෙන්නෙ ඇයි?

මට තේරෙන හේතුව සරළයි. මිනිස්සු කරන්නෙ මවාපෑමක්. මිනිස්සු කැමති මවාපාන්නයි. තමන් සතුව නැති දෙයක් වුණත් මවාපාන්න පුළුවන් නම් ඒකට මිනිස්සු කැමතියි. මේක දැනගෙන වෙන දෙයක් නොවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 'තමන් ප්‍රසිද්ධව හැසිරෙන විධිය ඔස්සේ වෙනත් මිනිස්සුන්ව හසුරුවන' දේශපාලකයො හෝ වෙනත් පබ්ලික් ෆිගර්ස් ඇරුණම සාමාන්‍ය මිනිස්සු නම් තමන් කරන්නෙ මොකක්ද කියල දැනුවත් නැති තරම්. එයාල අහිංසකයි. ඒ නිසා රැල්ලට ගිහින්. ඒ අයට සැමරීම් කියන්නෙත් එහෙම මවාපාන්න ලැබෙන අවස්ථාවක්.

මේක ටිකක් එහාට හිතුවොත් පේන්නෙ මිනිස්සුන්ගෙ හිස් කම. මිනිස්සු හිස් වෙන්නෙ කොහොමද? මිනිස්සු හිස් වෙන්නෙ හිතන්නෙ නැති නිසාම නෙවෙයි. සම්බන්ධතා ගෙවී යාම හින්දා. මේක අසාධාරණ කතාවක් විධියට බැලූ බැල්මට පේනවා. ඒත් කාලයත් එක්ක අපි ගනු දෙනු කරන හැම දේ එක්කම අපට තියෙන සම්බන්ධය ගෙවිල යනවා. ඒක අලුත් ෆෝන් එකක්, කාර් එකක් වගේ දෙයක් එක්ක මුලින් ඇතිවෙන බැඳීම සහ පසු කාලිනව වෙනස් වෙන බැඳීම ආශ්‍රයෙන් හිතන්න පුළුවන්. අලුත් ෆෝන් එකක් අපි ගන්නෙ ඒකෙ තියෙන ෆීචර්ස් ගැනත් හිතලා. හැබැයි කාලයක් යද්දි ඒ ෆීචර්ස් දැණෙන්නෙ නැතිව යනවා. එහෙම නැත්තං ඒ ෆීචර්ස් තියෙන ෆෝන් තව ඕන තරම් තියෙන බව දැණෙන්න ගන්නවා. අළුත් එකකට ආස වෙනවා. අපි ආසාවෙන් අයිති කරගන්න බොහොමයක් වස්තූන් සම්බන්ධයෙන් සිද්ධ වෙන්නෙ ඒක.

මේ තත්ත්වෙ බලපාන්නෙ උපකරණ වලට විතරක් නෙවෙයි. අපේ ජීවිතවලට අළුතින් එන හැම එකකම ඇත්ත ඒකයි. අළුත් පිට දැණෙන ගතිය පහු පහු වෙනකොට දැණෙන්නෙ නැති වෙනවා. සම්බන්ධතා කියන්නෙත් කාලයත් එක්ක ක්ෂය වෙන ඝණත්වයක් තියෙන දෙයක්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. සම්බන්ධතා ගොඩක් සහිතව වුණත් කෙනෙක් තනි වෙන්න පුළුවන්. ෆෝන් එකේ කන්ටැක්ට් බරගාණක් තියෙද්දි කෝල් කරන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. දෙනෝදාහන් නුවන් අතර තමන්ගෙ නුවන් වටහගන්න දෙනුවනක් නැති මොහොතක් එන්න පුළුවන්.

අවුරුද්දක විතර අතීතයෙදි සිය දිවිනසාගත්ත කීප දෙනෙක්ගෙ සමාජ මාධ්‍ය භාවිතාව බැලුවම තේරෙන්නෙ ඒ අය බොහොම සාර්ථක සමාජ මාධ්‍ය ජීවියෝ බවයි. සන්තෝසෙන් සැමරීම් කල බවයි. හැබැයි ඒ අයට සැබෑ ජීවිතෙන් පලා යන්න ඕන වුණේ මේ සැමරීම් මවාපෑමක් වුණ නිසාද? තනි වීම දරාගන්න බැරි වුණ නිසාද?

තනි වීම සමහර විට ලෙඩක් වෙන තරමට එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ලෙඩේ සීරියස් වුණොත් ජීවිතේ තියෙන සම්බන්ධතා අරුම පුදුම හෝ අවුල් වියවුල් පැතිවලට යන්න පුළුවන් ලෙඩක්. ලෙඩේ හොඳ කරගන්න නම් සම්බන්ධතාවය අළුත් කරගන්න වෙනවා. එහෙම නොවුණොත් අවසානෙදි ක්‍රමයෙන් වෙන්නෙ ජීවිතේ ඒකාකාරීකමත් එක්ක හිස් වෙලා යන එක. අපි බැඳිල තියෙන වස්තූන් සම්බන්ධව තියෙන හැඟීම තුනී වෙලා යන එක. තව දුරටත් ඒ සම්බන්ධතාවල අරුමය, පුදුමය නැතිවෙලා යන එක. අන්න එතනදිත් ඔය සැමරීම් වැදගත් වෙනව. සැමරීමක් කියන්නෙ ඒ ඒකාකාරීත්වයෙන් ගැලවෙන්න ක්‍රමයක්. අඩු ගානෙ තාවකාලිකව ආයෙත් සම්බන්ධතාවය අළුත් කරගන්න මාර්ගයක්.

අර දහසක චුම්බන පිසදා ජීවිතේ ගොඩගන්න රෝමියෝ වගේ.

ඒ වගේම සැමරීම් තුලින් සම්බන්ධතාවයන් පවත්වගන්න පුළුවන් වීම සහ අළුත් කරගන්න පුළුවන් වීම සුභ පතන්න එකතු වෙන අයට හොඳ ඉල්ලමක්. වෙන දවස්වලට තමන්ට කිසි සේත්ම අදාල නැති දෙයක් සමරන්න එකතු වෙන එකෙන් මිනිස්සු ඒ "අදාල නැති කරගෙන තිබීමේ" වරදකාරී හැඟීමෙන් ගැලවෙන්න අවස්ථාවක් උදාකරගන්නවා. ඒ දේට තමන් තුල වටිනාකමක් තියෙනව කියල දනවගන්නවා. ඒ වගේම ඒක ප්‍රදර්ශණය කරන්න ගන්නවා.

මේකට කැප්ටන් පයිරේට් හදපු මීම් එක මරු!


Link

සමාජ මාධ්‍ය කියන්නෙ මේවට තව තල්ලුවක් දෙන එකක්. ෆේස්බුක් විශේෂයෙන්ම හිට් වෙන්නෙ මිනිස්සුන්ගෙ තියෙන ඔය ස්වභාවික ආසාවල් අඳුණගෙන ඒක සාර්ථකව ෆේස්බුක් තුලට ඇතුලත් කරන හින්දයි. සුභ පතන්න උවමනා නම් පෞද්ගලිකව සුභපතන්න පුළුවන්කම සහ පුළුවන් විධි ඕන තරම් තියෙද්දි 'ආහ් මම මෙයාට සුභ පැතුවා හොඳේ' කියල ලෝකෙට පේන්නම කියන්න මිනිස්සුන්ට අවස්ථාවක් ලබා දීල තියෙන්නෙ ඒක හින්දා. ඇත්තටම ෆේස්බුක් වෝල් එක කියන්නෙ එහෙම ලෝකෙට පේන්න තමන්ගෙ පැවැත්ම ප්‍රදර්ශණය කරන්න කැමති හැමෝම වෙනුවෙන් තියෙන එකක්.

ලෝකෙට පේන්න සුභ පතන්න කැමති අයත් ලෝකයේ අවධානය ඕන අයත් එකට සෙට් වෙන තැනකදි වෙනදා පෞද්ගලික වුණ සුභපැතීම් ලෝකෙටම පේන්න සිද්ධ වෙනවා. මෙතනදි මේ තත්ත්වය ගැන මිසක් ඒක හොඳද නරකද කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක හොඳ හෝ නරක වෙන්නෙ ඒ ඒ මනුස්සය අනුව. සමහරු ඒකට කැමති වෙන්නත් සමහරු අකමැති වෙන්නත් පුළුවන්.

මිනිස්සුන්ට සැමරීමට තියෙන මේ උනන්දුව පාවිච්චි කරන කොටසකුත් ඉන්නවා. ඒකෙන් දේශපාලනික අවශ්‍යතාවයක් හෝ වෙළඳ අවශ්‍යතාවයක් සපුරාගන්නවා. සමහර විට ඒක තවදුරටත් විවේචනය කරන්න බැරි තරමට සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා. රැවටිල්ල මත දුවන සිස්ටම් එකකදි ජස්ටිෆයි වෙන්නෙ රැවටිල්ල.

ඊළඟට තියෙන්නෙ මෙහෙම සැමරීම් දිනවලට දෙන වටිනාකම. එහෙම දිනයක් මාර දිනයක් කිරීම ඇතුලෙම අනිත් දින ටික නිකංම අප්සෙට් වෙනවා. ඒකම අනිත් පැත්තට ගත්තොත් අනිත් දවස් අප්සට් නිසාම සැමරීම 'මාර' කරගන්න වෙනවා. සැමරීමට තියෙන්නෙ මාර උද්‍යෝගයක්. අනිත් දවස් මලානිකයි. එතකොට අනිත් දවස් අප්සට් නොකරගෙන 'මාර' කරගන්න බැරිද? ඒක කරන්න ටිකක් අමාරුයි. හේතුව ජීවිතේ කියන්නෙ එහෙම උද්‍යෝගයක් නිතරම තියෙන්නෙ නැති එකක්.

ඒ උද්‍යෝගයක් නැති බෝරිං ජීවිතේට වෙනසක් කරගන්න සැමරීමක් ඕනම තමයි!

Tuesday 8 May 2018

ඇගේ සාරය සොයා


අඩක් දැවී ගොස් ඇති දුම්වැටිය සිය සියොළඟම මා වෙත පූජා කරන්නට දැල්වී බලා හිඳී. විනාඩි කීපයකට මා ගත සිත තැතිගැන්මෙන් මුදවා සමාපත්තියකට ගෙන එන්නට දුම්වැටිය ජීවිතය පුදන්නේය.

මා හාත්පස අඳුරු බිත්ති අතර කිසිදු ආලෝකයක් නැති අඳුරකට මුහුණ දී හිඳිමි. වියළී පිළිස්සී අඟුරුව ගල් වී ගිය හදවත් කුහරයක පතුලේ මම දුම්වැටියේ ආලෝකය පමණක් ඇතිව බලා හිඳිමි.

ඇගේ ආදරයේ තවදුරටත් සාරයක් නොමැති බව වැටහුණු ඇසිල්ලේම සියොළඟම පිපිරී අවකාශයට විසිරී ගියේය. එකෙනෙහිම කළු කුහරයක් පරිද්දෙන් මාගේ ආදරයේ සියළු ස්කන්ධය හදවතට කැටිව මා ද එතුල සිර වී ඇත. ආදරයේ අධික ස්කන්ධයම මා ඉන් මුදවනු නොහී ඒ වෙත අල්ලා තබාගෙන ඇත. ආදරයට පවතින්නේ කිනම් ස්කන්ධයක්ද යන්න ආදරය සෙලවෙන තුරු කිසිවකුට වැටහෙන්නේ නැත. එහෙයින් මා තුල වූ ආදරය කළු කුහරයක් නිපදවන්නට තරම් විසල් වන බවක් කිසි විටක මට වැටහී තිබුනේ නැත. එහෙත් නොවිය යුතු දේම සිදුව ඇත.

ලිංගික ඇසුරක් තුල එක් උපරිමයකින් නැවතී එහි තෘප්තිය මොහොතක් විඳ ඇකිලෙන පිරිමින්ට ගැහැණියගේ සුරතාන්තයේ අනන්තය නොපෙනී ගොස් ඇත්තේ එලෙසින්මය. ඇය පිරිමියා ඉක්මවා සැරිසරන්නීය. ස්ථානීය සුවය සැපක් යැයි විශ්වාස කර එහි තැන්පත් වන්නට කැමති පිරිමින්ට නොවැටහෙන්නේ එය ය. ආදරයේ සාරය අහිමි වන තුරු පිරිමින්ට ආදරය වැටහෙන්නේ නැත. එය වැටහුණු විට පිරිමින් හිස් ලූ ලූ අත දුවමින් ආදරයේ සාරය සොයන්නට නිරර්ථකව වෙහෙසෙති.

ඇයගේ ආදරයේ සාරය ඇත්තේ ඈ තුලමය. එය කිසිදු පිරිමියකුට හිමි නොවේ. එය ඇයට පමණක් වැටහෙන, ඇයට පමණක් අයත් වන, පිරිමින් තමන් සතු යැයි රැවටෙන එහෙත් කිසිදා සදහට පිරිමියකු හට හිමි නොවන්නකි. ඇයගේ ආදරයේ සාරය සරුංගලයකි. එහි නූල නොකඩා තමන් අත තබාගැනීමට ගැහැණිය දක්ෂය.

මා සාරය අහිමි හදවතක් තුල තනිව ඇත්තෙමි. ඒ හදවත තව දුරටත් මා වෙනුවෙන් උද්දීපනය නොවේ. එය හැඟීයාමම බියකරුය. ජිවිතය බැලූ බැල්මට කෙතෙක් උද්දාමව පැවතියද ජීවිතය කැප කළ අරමුණ අහිමිව ඇති බව පසක් වීම මරණය තරම්ම බියකරුය.

ඇගේ ආදරයේ සාරය කොහිද? ඒ සොයන්නට යාම ම මා විසින් ඈ වෙත දරනා ආදරයට කරන පිටුපෑමකි. මගේ ආදරය මා කෙරෙන් ඈ වෙත කොන්දේසි විරහිතව විහිදෙන්නකි. එය සජීවී අජීවී සියල්ලට හිරු රැසක් මෙන් සමව විහිදෙන්නක් වී ආත්මාර්ථකාමීව නොතිබුණේ නම් ප්‍රතිපලය අමතක කර වඩාත් උත්තම තැනක රැඳෙන්නට මට අවකාශ තිබුණි. එහෙත් මා උත්තම නැති ආත්මාර්ථකාමී මනුස්සයෙකි. එහෙයින් ඇගේ ආදරය නැවත මා වෙත විහිදෙන්නේද යන්න සියුම්ව නිරීක්ෂණය කිරීමේ පිරිමි ගොන්කම මම කරමි. ඇගේ ආදරය ඇත්තටම කොහිද? එහි සාරය මවෙතින් ඉවත්ව රැඳී ඇත්තේ කොහිද? නොඑසේනම් ඇගේ ආදරය එහි සාරය කිසි කලෙක මා වෙත හිමි නොවූ, ආදරයේ නාමයෙන් සිදු කල එදිනෙදා වතාවත් සහ ක්‍රියාවන් පමණක්ව පැවති මායාවක් පමණක්ද?

ඇගේ ආදරයේ සාරය කොහිද? එය ඈ කැමති තැනකය. ඇගේ කැමැත්ත තුල ඇයට සතුටක් ලැබෙයි නම් නැවත සාරය සොයමින් වල්මත් වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. සාරය අහිමි බුලත් විටක් මෙන් හපයක් වීමට සූදානමින් විකල්ප සෙවිය යුතුය. නැත්නම් මිය යා යුතුය. නොඑසේ නම් මල් උයන්, මත් ලැගුම්, තරු, සඳු, දේදුණු, වැසි, හිම රැඳුණු ඇගේ දිනයක අවසානයේ මේ කුටියේ ඇඳ මත ඇයගේ හුදෙක් වල්ලභයා ධුරය නොසිතාම භාර ගත යුතුය.

දුම්වැටිය නිවෙන්නට පෙර මම තවත් දුම් වැටියක් දල්වමි. එහි මඳ ආලෝකය අැය නික්ම ගොස් ඉතිරිව ඇති හිස්කම පමණක් නැවත නැවතත් පෙන්වමින් සිත පුළුස්සා දමයි.

ඒ හිස්කම නැවත නැවතත් දකින්නට අකමැත්තෙන් දුම්වැටියකුදු නොදල්වා මේ පාලුව ගෙවා දැමිය නොහැක. විකල්ප මහත් තරමක් නැත. මේ පාලු ගැඹුරේ මත්ව මෙහිම මිය යාමද, ඇගේ හදවතට ඈ හිත්ගත් කලාපයක නැවත පොපියන්නට ඉඩ දී නික්ම යාමද, තවමත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් බලගැන්වී ඇති ආදරය දරාගෙන රැඳී සිටීමද, නැතිනම් වඩා සාධනීය අවසානයක් වෙනුවෙන් කාලයට තවත් ඉඩ දීමද මා වෙත ඉතිරිව ඇති විකල්ප ය.

එහෙත් තීරණය ගන්නට නොහැකි දහසක් හේතු හිස මත හොවා මම හැකිලී හිඳිමි. එහෙයින් දැනට අඳුරේ ගැලී පැවතීම මිස අන් විකල්පයක් මට නැත. ආදරය ප්‍රබලවත්ම එහි වියෝවද ප්‍රබලය. අඳුරුය.

ගැහැණිය සතුව සාරයක් ඇතැයි පිරිමින් එය සොයන්නට යයි. ජීවිතය උහතෝකෝටික කරගනී. එහෙත් ගැහැණියගේ සාරය ඇයද නොදන්නා එකක් බවට කිසිදු සැකයක් නැත. ඇයට එය වගක් නැත. එහෙයින් ඈ සියල්ලට විවෘතය. සියල්ල දරාගන්නට මහා ලොකු වෑයමක් ඇයට අවශ්‍ය නැත. ගැහැණිය දුහුල් යැයි සිතන්නට පිරිමින් කැමති වුවද ගැහැණියගේ දෘඩ බව හමුවේ පිරිමින් පිදුරු ගසකට දෙවෙනි නැත. එහෙත් පිරිමි ලෝකය තුල ගැහැණියගේ අර්ථ දැක්වීම සහමුලින්ම වෙනස්ය. ඒ අර්ථ දැක්වීම තුල රැඳෙන්නට ගැහැණුන් කැමති වන තාක් පිරිමින්ට පාටි දැමිය හැක. හිත වියලා දැමීමට ඉන් පසු පිරිමි ඉගෙන ගනු ඇත.

මම තවත් දුම්වැටියක් දල්වමි. හාත්පස අඳුරට ඉන් එලියක් නැත.

Friday 6 April 2018

නිදි ලොවක සුරඟන


සුමුදුව පිරිමදිමි සෙමින්
දහදිය සුවඳ කෙස් රැළි අතර
නුඹ හිස ඇඟිලි තුඩින්

බලා හිඳිමි දෙස
වුවනේ වල ගොඩැලි
තවමත් සුමටව දැණෙන
කෙමෙන් නැගී එන රැළි
ජීවිතය ගෙවී යන බව
නොකියා කියන

දෙතොල් මත ඇඳී ඇති
මද සිනහව මා කෙරේ යැයි
සිත් දරමින් තුටු වෙමි
දෙතොල් මත තැබූ
හාදුවලට වඩා
දෙතොලේ රැළි ඇති බව දකිමි
එකිනෙක ගණින්නට ගොස්
අපොහොසත්ව විඩා වෙමි

කලක සිහින්ව හිඳ ඉඟි පෑ
නිකටත් කම්මුලත්
රවුම්ව වැඩී ඇති බව
නුහුරුවෙන් වුව පිළිගනිමි

දිවෙන් පිරිමැදි
අතීතයේද සිත් බැඳි
පුංචි රැවුල් ගස් කීපයක්
තවමත් එහි ඇති බව දකිමි

මට්ටම් සමමිතික දෙබැම යට
වැසී ඇති දෙනෙත් පිය තුල
දෑස් නලියනු දකිමි
නුඹ දකින සිහිනයේ
එක් පසෙක හෝ
මා සිටී යැයි තුටිමි

නුඹ මද සිනා නගනු බලමි
දකින සිහිනය සිතේ මවන්නට
නිරර්ථකව උත්සාහ දරමි
නුඹ දෙස බලා සැනසෙමි

දෙනෙත් දෙස බලා හිඳිමි
දෙනෙත් දෙස බලා හිඳිමි
නුඹ දෙනෙත් විවර කර
මා දෙස බලන තුරු

නුඹේ නින්දට බාධා නොකරමි
නින්ද හමාර කර යම් දිනෙක
නුඹ මදෙස බලන තුරු
නුඹ පසෙකින් වැතිර හිඳිමි


Monday 2 April 2018

අහිමි වීම් ගණනාවකට පසු...


අහිමි වීම තරම් ජීවත් වන පෘතග්ජනයකුට වේදනාකාරී දෙයක් නොමැත. එය නොසැලකිය හැකි කුඩා වස්තුවක සිට ආදරණීයයකුගේ අහිමිවීමක්, නැතිනම් හෘදයාංගම හැඟීමක අහිමිවීමක් යනාදී වශයෙන් ඕනෑම දෙයක අහිමි වීමක් විය හැක.

බොහෝ දෙනා තම ආදරණීයයෙක් මිය යාම දරාගත නොහැක්කැයි සිතති. එහෙත් ඊටත් වඩා රිදවනාසුලු අහිමිවීම් තිබේ. සදාකාලිකව නැත්තටම නැතිවී අහිමිවීමට වඩා දෑස් මානයේ පෙනි පෙනී දෑත් මානයේ දැවටෙමින් තිබියදී අහිමි වී තිබීම දරාගත හැක්කක් නොවේ.

මා සිවිලිම දෙස බලමින් කල්පනාකාරීව සිටිනා වාට්ටුවේ මට ඉදිරි ඇඳේ නිදනා හැත්තෑ විය ඉක්ම වූ ගුණසේකර අංකල් මා රෝහල්ගත වූ දින සිටම එහි රැඳී සිටින්නෙකි. ඔහුගේ ඇසක කාචය අලුත් කිරීම සඳහා ඔහු රෝහල්ගත වී ඇත. ඇස් තුල පීඩනය ඉහල ගොස් තිබීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් වන තුරු රැඳී සීටීමට ඔහුට සිදුව ඇත.

ගතවූ දින කීපය තුල ආශ්‍රය ඇතිවූ රෝහල් මිතුරන් අතර ගුණසේකර අංකල් අති විශේෂ නැත. ඇත්තෙන්ම මෙම දින කීපය තුල තදින් වැටහුණු කරුණක් නම් විශේෂ පුද්ගලයින් යනුවෙන් කිසිවකු නැති බවයි. සියල්ලන්ටම ඇත්තේ පුවත්පත්වල ප්‍රවෘත්ති මවනා සාමාන්‍ය මිනිසුන් සතු සාමාන්‍ය ජීවිතයි. ඒවා සුවිශේෂ නැත. එහෙත් අවශ්‍ය කෙනෙකුට හදාරන්නට තරම් වටිනා ඉතිහාසයක් සියලු ජීවිතවල ඇත.

ගුණසේකරගේ එකම පුතා බොහෝ කාලයක් වෑයම් කර වෛද්‍ය උපදෙස් පිළිපැද වදාගත්තකු වන අතර එකා යකා තත්ත්වයට පසු කාලීනව පත්ව ඇත. පුතා ඔහුගේ බිරිඳගේ පැත්ත ගැනීම දරාගත නොහැකිව ගුණසේකරගේ බිරිඳ මිය ගොස් වැඩි කාලයක් ඉක්ම ගොස් නැත. දින දෙකකට පමණ වරක් පුතා හෝ ලේලිය ගුණසේකර බලන්නට පැමිණේ. ඔවුන් සමග ගුණසේකරගේ වැඩි ඇයි හොඳැයියක් නැති බවද පෙනේ. එහෙත් ඒ පුතාගේ හෝ ලේලියගේ හැසිරීම් අනුව ඔවුන් නරුම මිනිසුන් යැයි මට හැඟෙන්නේද නැත.

ගුණසේකර අංකල්ගේ කතාව පමණක් අසා ඔහුගේ දරුවන් ගැන තීරණය කල නොහැක. සෑම කතාවක් සඳහාම අඩු තරමින් දෙපැත්තක් ඇත. ඒත් අප පුරුදුව ඇත්තේ එක් පැත්තක කතාවට විතරක් සවන් දීමටය.

රෝඩ් රනර් කාටුනයේ දක්ෂයා කොයෝටේ නම් වෘකයායි. තාක්ෂණික සැලසුම්කරුවකු හෝ ඉංජිනේරුවකු වශයෙන් කොයෝටේට හපන් කිසිවකු ලොව නැත. උත්සාහය අතින්ද ඔහුට සමවන කිසිවකු නැත. ඒත් නිරන්තරයෙන් ජය ගන්නේ රෝඩ් රනර් නම් පැස්බරායි. රෝඩ් රනර් කොයෝටේගේ උගුල්වලින් බේරී යාම ගැන සතුටු වන අප කොයෝටේගේ කතාව අසන්නට හිතන්නේවත් නැත. ඇත්ත වශයෙන්ම ඒක පාර්ශවිකව හිතන්නට අපව හුරු කල ළමා කාටුන් සියල්ලේම තත්ත්වය එකය. මෙම තත්ත්වය පෙන්වාදෙමින් නිර්මාණකරුවෙකු විසින් කරන ලද කාටුන් චරිතවල විකල්ප අවසානයන් දැක්වෙන පින්තූර ඇල්බමයක් බුකියේ සැරිසරනු පසු කලෙක දුටිමි. එහෙත් තීරණ ගැනීමේදී අපි තවමත් ඉන්නේ ඉතාම පටු සීමාවකය.

පසුගිය දින වාට්ටුවේ සිට ජාතික රෝහලේ අනතුරු ඒකකය වෙත මාගේ වැලමිට පෙන්වීම සඳහා ගිලන් රථය තුල ගමන් කල අවස්ථාවේදී හමුවූ මැදිවිය ඉක්ම වූ කාන්තාවගේ කතාවද ඇත්තෙන්ම සාමාන්‍යය. ඇගේ දෙවන සැමියාගේ බීමත් වීරකම් හේතුවෙන් ඇගේ දකුණු ඇස තුවාල වී ඇත. ස්වාමියා සැඟව ගොස් ඇති අතර ඇය තනිව විත් රෝහල්ගතව ඇත. ඇයට දරුවන් සිටින්නේ පළමු විවාහයෙනි. පළමු සැමියා හෝ දරුවන් ඇය පිළිබඳව දන්නා බවක් පෙනෙන්නට නැත. දෙවන සැමියා සමග පැන යාම නිසා ඇගේ නෑදෑ හිත මිතුරන් සියල්ලන්ද ඇයට අහිමිව ඇත. මට හැඟුනු ආකාරයට ඇයගේ දෙවන සැමියා නීත්‍යානුකූලද නැත. සැමියන් දෙදෙනෙක්, දරුවන් හා ඥාතීන් සිටියද ඈ මසක් පමණ තනිව රෝහල්ගතව සිටින්නීය.

එම කාන්තාව සමග ගිලන් රිය නැවත පැමිණෙන තෙක් ජාතික රෝහලේ ඉදිරිපස බංකුවක් මත හිඳගෙන සිටියදී එම බංකුවේම අනිත් කෙලවර හිඳගෙන සිටි තරුණිය හඬාවැටෙනු දුටිමි. ඇය මුස්ලිම් ජාතික තරුණියක් වූ බැවින් කාන්තාව දෙමළ බසින් ඇය ඇමතීය. පසුව ඈ මට විස්තර කල පරිදි තරුණියගේ මව නොසිතූ මොහොතක මිය ගොස් ඇත. මරණය සමග සමීප අත්දැකීම් කීපයක්ම පැවතියද මෙම සිදුවීම මා නැවතත් කම්පනය කලේය.

මරණය සම්බන්ධයෙන් 'නොසිතූ මොහොතක' යන්න අදාල නොවන බවද මට වැටහුනි. අහිමිවීම නොසිතූ මොහොතක නොසිතූ වේශයෙන් පැමිණිය හැක.

ඇසට කෝටුවක් ඇනීම නිසාද, ඇසට ඇසිඩ් බිඳුවක් වැටීම නිසාද, ඇණයක් ගසනා අවස්ථාවක එහි හිස ගැලවී ඇස මත වැදීම නිසාද, බිත්තියේ පොටි තවරන අවස්ථාවක එයින් බිඳක් ඇසට වැටීම නිසාද අක්ෂි රෝගීන් බවට පත් වූ කිහිප දෙනෙකු හා මුලින් කී ගුණසේකර අංකල්ද මාගේ වාට්ටු මිතුරන් බවට පත්ව ඇත. එයින් එකෙක් දැන් නැත. ඇතැම් විට අද මට මේ මිතුරන් හැර දමා යන්නට සිදුවනු ඇත.

ඉන් පසු මුහුණ දීමට සිදුවන ලෝකය පිළිබඳ මට සියුම් බියක් ඇත. මට මුහුණ දෙන්නට වන්නේ අහිමි වූ ලෝකයකටද? කිසිවක් ගැන ඉක්මන් තීරණ ගැනීම සුදුසු නැත. එහෙත් අහිමි වීමේ වඩාත්ම වේදනාකාරී, හිමි වුවත් අහිමි වීමේ බියකරු අවදානමට මුහුණ දෙන්නට සිදු වේ යැයි මා නොසන්සුන්ව හිඳිමි. ළංව සිටියත් ඈත්ව ජීවත්වන්නට සිදුවන කෘතිම ජීවිතයක් හිමිවේ යැයි බියපත්ව හිඳිමි. එය වඩාත්ම බියකරු අහිමි වීමයි.

එහෙත් ජීවිතයට මුහුණ දෙන්නට සිදුවේ. ඒ ගැන සුභවාදී බලාපොරොත්තු දැල්වීම වඩා යහපත් බව මම සිතමි. එහෙයින් අහිමිවීම් දරාගෙන ජීවිතයට මුහුණ දෙන්නට මම ශක්තිය එක් කරමි. මරණය තෙක් හිතේ ගතේ පිරී තිබේ යැයි අපේක්ෂිත මාගේ ආත්ම ශක්තිය මම එක් කරමි.


Sunday 1 April 2018

ආදරයට පෙම් කරමින්...


යාන්තම් ආදරය යන වචනය කුණුහරුපයක් නොවන තරමට මුහුකුරා ගිය අවදියේ පටන් සිත තුල පමණක් ඵල නැගුණු ඒක පාර්ශවික ආදර කතන්දර ගණනාවකට පසු මම එහි ඊළඟ පියවර තැබුවෙමි.

සියල්ලටම හැකිතාක් විද්‍යාත්මක පැහැදිලි කිරීම් බලාපොරොත්තු වූ මා ආදරයටද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සෙව්වෙමි. බොහොම පසුකලෙක ගැහැණිය විද්‍යාවට හසු නොවන මානයේ පවතින්නියක් බවත් පිරිමි ආදරය හා ගැහැණු ආදරය දෙයාකාර විය හැකි බවත් තේරුම් ගතිමි. ඇතැම් විට ඒ වන විට මා ප්‍රමාද වී සිටියා වැඩිද යන්න කීමට මා තවම ඉක්මන් වැඩිය.

සුභාවිත ඇසුරු කර හිස් මුදුනේ තබා සිටි 'ආදරය රාගයෙන් තොරය' යන උපදේශය අහඹු, අසාර්ථක, හුදකලා තත්පර කීපයක් තුල ඈ තුරුල් කරගත් මොහොතක යට කලිසම තෙත් වූ දා මුසාවක් ලෙස පුස් වී විනාශ වී ගියේය. ආදරය රාගයෙන් වෙන් කල නොහැක්කකැයි එදින සිට මා වටහා ගතිමි. එසේ වන්නේ කෙසේද යන්න පිලිබඳ කුතුහලයෙන් එදින සිට මා ආදරයට සමීකරණ සොයන්නට පටන් ගත්තෙමි.

මූලික රසායනය වැනි පාඩමක විද්‍යුත් චුම්භක වර්ණාවලිය පෙන්වනවාක් මෙන් ඍජු දණ්ඩක් ඇඳ එහි දෙකෙලවර sex සහ soul ලෙස නම් කලෙමි. එක් කෙළවරක් රතු වර්ණයෙන්ද අනෙක් කෙලවර නිල් වර්ණයෙන්ද සංතෘප්තය. දණ්ඩේ එක් කෙලවරක සිට එහි අනෙක් කෙලවරට එම වර්ණ දෙක ක්‍රමයෙන් තුනී වී යයි. දණ්ඩ මැදදී වර්ණ දෙකම සම ඝනත්වයෙන් යුක්තය. සැබෑ ආදරය ඇත්තේ දණ්ඩේ හරි මැද බව මා ඊ තලයක් ගසා නම් කලෙමි. එම සටහනේ පිටපතක් එවක පිටු ගණන් ලියූ ලිපියකට ඇතුලත් කර ඇයට දුන්නෙමි.

ඒ ආදරය බීදී ගියේ ඒ පඬිකම් නිසා නොවේ. තවත් සැලකිය යුතු කලකට පසු කරන්නට යෙදුනු සැලකිය යුතු වෙනත් පඬිකම් හේතුවෙනි.

එය එවැනි රූප සටහන්ද සහිත පඬිකමක් කල පලමු හා අවසාන අවස්ථාව විය. ඉන්පසු ජීවිතය තුල විවිධ පිටු පෙරලුනු අතර ඒ ඒ පිටු අතර නොයෙක් වර්ගයේ ආදර කතා අත්දුටුවෙමි. ඒ එක් එක් ආදරයන් තුල ඊටම අනන්‍ය වූ සුවිශේෂකමක් සමග ඉතාම පොදු සාධකද ගණනාවක් ඇති බව දුටිමි. ආදරයට එකම රූප සටහනක් සැකසීමේ මගේ උවමනාව ක්ෂය වී ගියේය.

එහෙත් ආදරය යන්න තේරුම් ගැනීමේ නොඑසේ නම් එයට නිර්වචනයක් ලබා දීමේ වෑයම අත්හැරීමට හේතුවක් එවකට මට නොතිබුණි. ආදරය තුල දැනෙන සියල්ල 'machine' යන අදහසට ඇති නිර්වචනය මෙන් වචන ගණනාවකින් යුත් වාක්‍යයක් තුලට බහාලිය හැකි බවට මම විශ්වාස කලෙමි. ඒ මා ය. ඉතා සෙමෙන් පරිණාමයට ලක් වෙමින් නොයෙක් අතුරු මාවත් ඔස්සේද ගමන් කල මා ය.

කෙසේ වුවත් ආදරය යනු සියලු වර්ගයේ භෞතික මිනිස් බැඳිම්වල නරුමකම් වසාලීමට ශිෂ්ඨත්වය තුල උපත ලබා දුන් හැඟීමක්ය යන්න දැනටත් මම විශ්වාස කරන ආදරයේ නිර්වචනයකි.

පේන විධියට මා එතරම් පරිණාමය වී නැත. බිරිඳ යස අගේට විග්‍රහ කරන පරිදි මා සියල්ල පැහැදිලි, සියල්ල මනාව අර්ථ දැක්වුණු, අහම්බයක් හෝ පොලාපැනීමක් නැති ස්ථාපිත වටපිටාවක් තුල මාගේ සුව පහසු කලාපය ස්ථාපනය කරගෙන සිටින්නෙකි. ඇත්තෙන්ම එම කලාපයෙන් පිට මා ස්ථානගත විය හැක්කේ කොතැනකදී ද යන්න මා සිතා නැත. එය සිතීමම භයංකරය. මාගේ සුවපහසු කලාපයෙන් පිටතට එන්නට මට බල කරන්නන් පරිස්සම් විය යුතුය. කෙසේ වුවත් ඕනෑම මිනිසකුගේ සුව පහසු කලාපය ඔහුටත් වඩා ඔහුගේ බිරිඳ දන්නා බව නම් සහගහන ඇත්තකි. එය බොහෝ සැමියන් දන්නේද යන්න නම් සැක සහිතය.

එහෙත් ආදරය යනු පරිණාමය වන්නකි. එය නිතර බිඳෙමින් නැවත ගොඩනැගෙමින් කඳුලු සහ සිනා අතර එයට හිතුමතේ ජීවිතයක් එහෙ මෙහෙ යවමින් පරිණාමය වන්නකි.

එසේ පරිණාමය වන ආදරයක් කාලාන්තරයකදී ආදරය කරන්නා තුල තැන්පත් වේ. එය හදවතට, මොළයට, සිරුරට උරා ගනී. සියලු ශාරීරික සීමා අභිබවා පැලපදියම් වේ. දීර්ඝ කාලයක් පවතී. ලෝකයට බොරු කරමින් සිනා නොවුවද එකිනෙකා දෙස බලා ජීවිත කාලයක් සිනාසෙන බොහෝ යුවතිපතීන් ආදරයේ ඒ අඩියේ තැන්පත් වූ රසය විඳින්නෝය.

ඒ පාඩම මට කියා දුන්නේ මාගේ විවාහය පිලිබඳව කරන ලද පූර්ව සාකච්ඡාවකදී මාගේ පොඩි මාමා විසිනි. ආදරය යනු ඔය දැන් දැනෙන එකම නොවන බවත්, පවුලක් වීම තුල එයට අලුත් අර්ථ ලැබෙන බවත් ඔහු පැවසීය. ගෑණි මහත් වෙනවද, කොණ්ඩෙ ඉදෙනවාද, පඩ අරිනවද, රෑට ගොරවනවද, කට ගඳද වගේ ඒවා ගණන් නොගන්න මට්ටමක් දක්වා ආදරය ගමන් කරන බවත්, දිවි හිමියෙන් කැපවීම දක්වාත් ඉන් ඉදිරියට සියලු කොන්දේසි අභිබවමින් උත්කර්ෂය දක්වාත් ආදරය ගමන් කරන බව ඔහු කියා දුන්නේය. මව්පියන් තම දරුවන්ට දක්වන්නාක් මෙන් කොන්දේසි විරහිත අපිරිමිත ආදරයක් දක්වා එය ගමන් කරන බවත් ඔහු තමන්ගේ වචනවලින් කියා දැම්මේය.

මා එය අත් විඳිමින් සිටිමි. අවම වශයෙන් එහි බෝතලය අරින ශබ්දය මම රස විඳිමි. බෝතලය රස විඳින්නට ලැබේවායි ඉත සිතින් බලාපොරොත්තු දල්වා සිටිමි. හිත තුලට කිඳා බැස ඇති ආදරය විවිධ වර්ණයෙන් දිදුලනු අත් විඳින්නට පෙරේතකමේ සිටිමි.

ඇය කෙරෙහි මා තුල අපිරිමිත ආදරයක් පවතින බව මම දනිමි. එය ඇයටම පමණක් විවරව මියෙනා තෙක් පවත්වාගන්නට මට ආත්ම විශ්වාසයක් පවතින බව මම දනිමි. මෙලෙස ලියා දමනවාට වඩා වෙනස් කිසිදු ක්‍රමයකින් ඒ බව ප්‍රකාශ කරන්නට මට නොහැකි බව මම දනිමි. එය දැනෙන්නට හඟවන්නට, බෙදාගන්නට හෝ ඒ මත නැහෙන්නට තියරටිකල් පඬියකු වන මා අසමත් බව මම දනිමි. ඒ සඳහා මා දන්නා ක්‍රම අල්පය. සිතා මතා වචන තෝරා ජීවිතය ගැන මෙසේ සටහන් ලියූවද ඇත්ත ජීවිතය තුල වචන මුමුණද්දී මා ඉතා රළුව අමු වචනයෙන් සියල්ල එකවර කියන්නට ගොස් අනාගන්නෙක් වෙමි. වචනවලට අයිසින් දමා කියන්නට දන්නා චාටු කතාකාරයෙක් නොවීම නිසාම අහිමිව ඇත්තා යැයි මා සිතන බොහෝ දේවල් අතරට ඈ අයත් නොවීම මාගේ වාසනාවකි. අඩු තරමින් මම එසේ විශ්වාස කරන්නට කැමැත්තෙමි.

මන්ද ආදරය ඒක පාර්ශ්විකය. එසේය. කෙතරම් හිත රිදවනසුලු වුවත් ආදරය ඒක පාර්ශ්වික වීම වැලැක්විය හැක්කක් නොවේ. ඇවටාර් චිත්‍රපටියේ ජීවීන් සතු වනවා මෙන් ස්නායු පද්ධතිය එක් කරන ජෛව සම්බන්ධයකින් තොරව ආදරය ද්වි පාර්ශවීය ද යන්න සොයත හැකි අන් ක්‍රමයක් නැත. ආදරයක් නොහැඳිනූ, ගොරෝසු කැලෑවෙන් එලි බැස ශිෂ්ඨ වී ආදරයට වහල් වූ මිනිසා ලද සාපය එයයි. හුදෙක් වචනයෙන් කියනා, චුම්භනයෙන්, ලිංගික ආලෝලනයෙන් දැනෙනා, හැඟෙනා, ලැබෙනා සියල්ල සැබැවින්ම ආදරය නිසා හටගත්තේ දැයි සොයාගැනීමට ක්‍රමයක් නැත.

එහෙයින් ආදරය 'විශ්වාසය' නම් වචනයෙන් අදහස් කරන කොන්දේසි ගොන්නක්ද සමග එන ටෝටල් පැකේජයක් ලෙස බාරගැනීමට මිනිසාට සිදුව ඇත. ආදරය හුදෙක් ආදරය මතම නොරැඳී වෙනත් අටමගල් ඔස්සේද කිරා මැන ගන්නට මිනිසාට සිදුව ඇත.

ආදරය ඒ තුලම සාපයක් වන්නේ එහෙයිනි.


Friday 30 March 2018

ඇඳක් මත ජීවිතය


සාමාන්‍ය ජීවිතය අහිමිවන රෝහල් ඇඳක් මතදී ජීවිතය නැවතත් හමුවීමට ඉඩ තිබේ. කල්පනාවක්, සිතිවිල්ලක් නොනැගී පීඩා වුන හිතකින් ආයෙත් ජීවිතේ ගැන හිතන්නට පුංචි අවස්ථාවක් එමගින් ලැබේ.

ඕනෑම මිනිසෙක්ට ජීවත්වීමට උවමනා කරන ශක්තිය ලැබෙන්නේ ඔහු තුල ඔහු ගැනම පවතින ආත්ම විශ්වාසය, ගර්වය වැනි සාධක ගණනාවක් නිසා බව මම සිතමි. ආහාර නැති වූ පමණින් මිනිසකු මියගිය යන්නේ නැත. එහෙත් ජීවිතයට ඇති ආදරය බිඳුණු මිනිසකු එක් මොහොතක් වත් ජීවත් වේ යැයි මම නොසිතමි.

ජීවත්වීම ශාරීරීක සාධකවලට වඩා මානසික සාධක මත රැඳී පවතින්නකි. මිනිසා 'මිනිසා' වීම හේතුවෙන් උරුමයෙන් ලැබී ඇති තවත් එක් තත්ත්වයකි එය.

පසු ගිය සති කීපය ගෙවී ගියේ නොසිතූ පරිදි ඇවිලුණු ගිණි නිවන්නට උත්සාහ දරමින් ය. ඉතාම විශ්වාසයෙන් තීරණය කල ඇතැම් දේවල් සියයට සියයක්ම විශ්වාසදායී නොවන බව හෙලි වීමත් සමග ජීවිතයට ගිණි ඇවිලීම සාමාන්‍ය දෙයක්දැයි කියන්නට ප්‍රමාණවත් අත්දැකීම් මට නැත.

වල දැමූ අතීත ඩ්‍රැකියුලාවකු නැවත උත්ථානය වී ඇත. ඩ්‍රැකියුලාට එක් ක්ෂණයකින් ඔබේ ජීවීතය සුනු විසුනු කොට එහි සාරය උරා බීමට හැක. පෙනෙන හැටියට අතීතයේදී වල දමන්නට පෙර ඩ්‍රැකියුලාගේ හදවත පසාරු කර රිදී උලක් යවා නැත. ඉතින් නියමිත මොහොත පැමිණෙන තෙක් බලා සිටි ඩ්‍රැකියුලා ජීවීතය උරා බොන්නට වලෙන් නැගිට පැමිණ තිබේ.

ජීවීතය පිළිබඳ තීරණය කරන්නට පෙර ඒ ගැන ස්වයං ඇගයීමක් කල යුතුය. කිසිසේත්ම සාධාරණ නොවුනත් එය කල යුතුය. එය ලියා දැක්විය හැක්කක් නොවේ.

කෙතරම් රැඩිකල් අදහස් දැරූවද සියලුම දෙනා උත්සාහ කරන්නේ සාමාජික වශයෙන් 'හොඳ' යැයි සම්මත දිවියක් ගෙවන්නටය. අපරාධකරුවන් යනු ඒ හොඳ පෙනුම නඩත්තු කරන්නට වෙනම වෙහෙසෙන පිරිසකි. වක්‍රාකාරයෙන් සමාජයට අහිතකර දෑ කරන බොහොමයක් ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්නට පිංකම් කරති. ඇත්ත ජිවිතේ ජඩකම් සමාජ මාධ්‍ය හරහා වසා ගන්නට උත්සාහ කරන නූතන වංකයින්ද සිටිති.

මා සියයට සියයක් සාධාරණ පට්ට පර්ෆෙක්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් සමාජයට අවම කරදරයක් කරමින් ජීවත් වෙන්නට උත්සාහ දරන්නෙක්මි. සල්ලි තියෙන විට විනෝදයත්, සල්ලි නැති විට ඔහේ ජීවීතයත් ගෙවන්නෙමි. අවාසනාවකට නිතර මුදල් අත නොරැඳීම නිසා මගේ ජීවීතය බොහෝ විට ඒකාකාරී ය. ජීවිතය ගැටලුවක් වීමට එයද එක් හේතුවක් බව මම දනිමි.

එහෙත් හැකි හැම විටම මා මානුෂික වෙන්නට උත්සාහ දරමි. බොහොමයක් තැන්වලදී අත්හරින්නට සිදුවුවද තීරණය මා සතු වන හැමවිටම මා සාධාරණ වෙන්නට උත්සාහ දරමි. මේ සටහන රෝහල් ඇඳක් මතදී දුරකථනයෙන් කොටන්නට සිදුව ඇති කාරණය සම්බන්ධයෙන්ද එවන් තත්ත්වයක් පවතී.

මා අනතුරට පත්කල කොල්ලා ගැන මට දුකක් ඇත. ජීවීතය ඇරඹූ විගස අනතුරකින් චෝදනාවකට ලක් වීම තරුණයෙකුට විය හැකි අවාසනාවන්තම දෙයකි. එම තරුණයාගේ පියා යන්තම් තරුණ වියේ්දී විවාහ වු අවුරුදු පනහක්වත් නැති පහල මධ්‍යම ප්‍රාන්තිකයකු බව පෙනේ. අනතුර සැලවූ විගස රෝහලට පැමිණ මා පිලිබඳව සොයා බලා අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට ඔහු වග බලා ගත්තේය.

ඇතැම් විට ඒ ඔහුගේ කපටිකම වෙන්නට හැකිය. එහෙත් ඔහු වඩා ප්‍රායෝගිකය. ඔහු කපටියෙක් බව කියන්නට තරම් මුහුණ බලා අභ්‍යන්තරය කියන්නට මා පුහුණු වී නැත.

ඔහු තුලින් තමන්ගේ දරුවා වෙනුවෙන් කල හැකි සියල්ලම කරන පියෙක්ව මම දකිමි. මට මගේ පියාද, බිරිඳගේ පියාද ඇතුලු බොහෝ පියවරුන් සිහිවේ. ඔවුන්ගේ දුක සිහිවේ. සියලු දේ කලමනාකරණය කරමින් තම දරුවාගේ අනාගතය ආරක්ෂා කරගන්නට උත්සාහ දරන මේ පියා විඳින දුකෙහි වෙනසක් මට නොදැනේ.

සංවේදීකමත්, උවමනාවට වඩා කල්පනා කිරීමත් කඩා දැමිය නොහැකි තරමට ජීවිතයට බද්ධ වී ඇති පුරුදු බැවින් ඒ තුල ඕනෑම වෙලාවක ගිලී යන්නට මට හැක. මා එයින් දුක් විඳිමි.

මිනිසුන්ව උවමනා තරමට වඩා විශ්වාස කිරීමෙන්ද මා බැට කමි. එයින්ද දුක් විඳිමි.

දුක නැති කරගන්නට එහි මූලය සොයා එය අතික්‍රමණය කල යුතුය. රෝහල් ඇඳෙන් එපිට ලෝකය තුල කරගන්නට වැඩක් ඇත.

ප.ලි. - මේ සටහන ඉතාම ඉහල බලාපොරොත්තුවකින් අවසන් වුවද අසනීප තත්ත්වය සුව වූ විගස නැවතත් සුපුරුදු ජීවිතයට මා හැඩ ගැසෙන බව මටද රහසක් නොවේ. එහෙත් තවත් බලාපොරොත්තුවක් ඇත.



Sunday 25 March 2018

ආගාධයක් තුල...

සියල්ල උපරිම උද්වේගයකින් අවසන් වුවත් ඔහු සතුටට පත්වෙලා හිටියෙ නැහැ. ඇත්තෙන්ම කලින් ඉඳන් ඔහුගේ හිතේ තිබුණු බර තවත් තදින් දැණෙන්න අරන් තිබුණා. ඇගේ නිරුවත් ළමැද මත එක් අතක් ඔබා ඈ පසෙකින් මුණින් අතට වැතිරී හිඳිද්දී තවමත් ඇගේ හදවත වේගයෙන් ගැහෙන බව ඔහුට දැණුනා. ඇගේ මුහුණෙන් දාඩිය බිඳු කීපයක් වැගිරෙමින් තිබුණා. අඩවන් දෑසෙන් පෙණුනෙ තෘප්තිමත් බවක්. ඒත් ඈ සහමුලින්ම තෘප්තිමත්ද කියන එක ඔහු කොහොම දැනගන්නද? සංසර්ගයකට බිඳුණු හදවත් පාස්සන්න කොහෙත්ම පුළුවන්කමක් නෑ.

ලෝකයම නිහඬ වෙමින් මහා පාළුවක් ඇදීයන්න පටන් අරන්. ඒක හදවත ඉරාගෙන යන්න තරම් ප්‍රබල එකක්.... නෑ... හදවත ඉරිල ගියානම් එක පාරින් වේදනාව ඉවර වෙන්න තිබුණා. ඒ හැඟීම ඊටත් දරුණුයි. වේදනාව ඊටත් රෞද්‍රයි. ඒක ඉතිහාසෙ ඉඳන් වර්තමානෙ දක්වා ඈත මෑත සිදුවීම් මතක් කරමින් හදවතට අනින්න පටන් අරන්... වරින්වර සිහි නැගෙමින් ආයෙත් හිස්කමේ තුනී වෙමින් මේ පාළුවේ වේදනාව හදවත වටේ ඇවිදිමින් හදවතට ඉව ඇල්ලුවා. වේදනාවට හදවත ලේසියෙන් ගොදුරු කරගන්න පුළුවන්.

විශ්වාසය පළුදු වෙන එක තරම් ආදරේ වේදනාවක් බවට පත් කරන තව දෙයක් තියෙනවද කියල ඔහුට හිතාගන්න බැරි වෙලයි හිටියෙ. ඒ තරමටම ඔහු එහෙම වෙයි කියල බලාපොරොත්තු වුණ කෙනෙක් නෙවෙයි. ආදරේ කියන වචනය අළුතින් නිර්වචනය කරපු හැඟීමකින් ඔහු එක්ක එකට බැඳුණු ඇය තමන්ගෙ විශ්වාසය බිඳින බව ඔහුට කිසිම විධියකින් පිළිගන්න කැමති වුණේ නැහැ. ඒත් අවසානයේ සිද්ධ වෙලා තිබුණෙත් ඒකයි. ඈට තිබුණා ඔහුගෙන් සඟවන්න දෙයක්. වෙන කෙනෙක්, වෙන ආදරයක් නෙවෙයි. ඒක එච්චර සංකීර්ණ කරගන්න ඔහුට ඕන වුණේ නෑ. ඒත් හංගන්න දෙයක්? ඔහු ගැන තවදුරටත් විශ්වාසයක් නැතිකමක්? තව දුරටත් ඇගේ සියළු අදහස්, වේදනාවන්, මනස්ගාත ඔහේ අතාරින්න පුළුවන් කුණු කූඩය විධියට ඔහුව අවශ්‍ය නැති බවට ඇය තීරණය කර තිබීමක්?

ඔව්... විශ්වාසය බිඳෙන්න අරන් තිබීමක්... ඈ ඔහුගෙන් ගිලිහී ගිහින් තිබුණා. කොයි තරම් වේදනාවෙන් වුණත් ඒක පිළිගන්න ඔහුට සිද්ධ වෙලා තිබුණා. ඒක පිළිගන්න වෙනව කියන එක තරම් වේදනාකාරී දේකට ඔහු මුහුණ දීලම තිබුණෙ නෑ.

ඈ ඔහුට කතා කළේ වෛරයකින් නෙවෙයි. ඇගේ ජීවිතේ විනාස වෙලාය කියන කනස්සල්ලෙන්. කලකිරීමෙන්. ඒක ඇගේ වරදක් නෙවෙයි. අතීතයේ ඈත් ඔහුත් හීන මවපු වර්තමානය කරා ඈව එක්ක යන්න ඔහු අසමත් වෙලා හිටියා. අඩු තරමෙ ඒකට ඈට උදව් කරන්න ඔහු අසමත් වෙලා හිටියා. අවුරුදු කීපයක් ගෙවෙද්දි තමන්ගෙ ජීවිතේ එකම තැනක පල් වෙමින් තියෙන බවත්, තමන් දැකපු හීනවල කොටසක්වත් සැබෑ කරගන්න පුළුවන් තරමකට ජීවිතේ වෙනස් වෙලා නැති බවත්, වෙන්නෙත් නැති බවත් ඇය පසක් කරගෙන හිටියා. ඇගේ ජීවිතේට ශක්තියක් විය යුතුව තිබුණ ඔහුගේ ආදරය අවුරුදු ගාණක් පුරාම ඈව හිර කරගෙන හිටියට වඩා දෙයක් කරල නැති බවයි ඇගේ අදහස.

සරළවම, ඇද වැටෙමින් හිටි ඇගේ ජීවිතේට ඔහු තවත් බරක් විධියට එකතු වෙලා හිටියා. ඈට ගොඩ එන්න බැරි තරම් ගැඹුරු ආගාධයකට ඔහු ඇයත් සමග වැටෙමින් හිටියා. විවාහය කියන දම්වැලෙන් ඇය ඔහුට ගැටගැහිල හිටිය.

ඒ බව බොහොම සීරුවෙන් වියාගත්තු වචනවලින් ඈ ඔහුට කියල දැම්මා. පුළුවන් තරම් ඔහුගේ හිත නොරිදෙන්න සුමටව කරුණු පැහැදිලි කරමින් ඇය තමන්ගෙ ප්‍රශ්ණය ඔහුට කියල දැම්මා. ඔහුගෙන් වෙන් වෙන්න ඕන වුණත් ඒකට ඇයට තියෙන නොහැකියාවේ අසරණකම ඇය කියා හිටියා. ඈට සමාජය කියන බාධකය එක්ක ගැටළුවක් තිබුණා. සමාජය නොතිබුණා නම් ඈ දැනටත් තීරණයක් අරන් ඉත්ත තිබුණා. මේ සේරම ඈ කියල දැම්මා... ඇයට පුළුවන් තරම් ආදරය කැටි කරගෙන සුමටව. ඒත් කොයි තරම් සුමට වුණත් ඔහුට ඒ වචන දරුණු වුණා. ගිණි කන්දක් පුපුරා ගිය තරම් ක්ෂණයකින් ඔහු කිසිසේත්ම නොහිතපු අහම්බයක් විධියට ඒ වචන ඔහුව පුළුස්සමින් ඔහු මත ඇද වැටුණා.

රුචිරාණනි අහන්න... එකපාර මා මරන්න...

ඔහුට ඒ ගීතය නරක විධියට විවේචනය කරපු පඬියන් ගැන තරහක් ඇති වුණා.

ඇගේ ජීවිතේ අලුත් වෙන්න පටන් අරන් තිබුණ බව ඔහුට නොදැණෙන තරමටම ඔහු ඇගෙන් ඈත් වෙලයි හිටියෙ. ඇත්තටම පවුලක් නොවුණ, කෙමෙන් කෙමෙන් වියළි විවාහ දිවියක් බවට පත්වෙමින් තිබුණ ජීවිත දෙකක හිමිකරුවන් වෙලා ඔහේ මැරෙනකල් ජීවත් වෙන ගාණට ඔවුන්ගේ ජීවිත දිරා ගොසින් තිබුණා.

හීනවලට වඩා යථාර්ථය එක්ක ඔට්ටු වෙමින් ඔහු තව තවත් ඒ නිද්‍රාශීලී කාල සටහන් ජීවිතේ ගැඹුරට කිඳා බහිමින් හිටියා. හීන යථාවන් බවට පත් කරගන්න ක්‍රමයක් ගැන හිතන්නවත් වෙලාවක් නැති කාර්ය බහුල ජීවිතයක ඔහු පැටළිලා හිටියා. ඒ අතරෙ ආදරේ වියළෙමින් තිබුණ බවක්වත් නොදැණෙන තරමට ඔහුත් ඇයත් අතර ආත්මීයත්වය මිය යන්න පටන් අරන් තිබුණා.

ඒත් ඈට තවමත් හීන තිබුණ. ඈ තවමත් හීන දැක්කා. වේලෙමින් තිබුණ හීන සැබෑ කරගැනීමේ මාර්ගය වෙනස් කරන්න වුණත් ඇයට පුළුවන් බව ඇය තේරුම් අරගනිමින් හිටියා. ඇයට ඔහුගේ ආදරය හුදෙක් වචනයක් බවට පත්වෙමින් තිබුණා. එහෙම නැත්නම් ඔහු ඇගේ ආදර කලාපයේ පොදු තැනකට තල්ලු වෙමින් හිටියා. තවත් ඔහු හීන මැව්වෙ නැහැ. ඔහු වියලී ගොස් අප්‍රාණිකව වැතිරී හිටියා.

ඈට තව දුරටත් ඒ බව හිතේ තියාගෙන දුක් වෙන්න උවමනා වුණේ නෑ. එහෙම නැත්නම් වේදනාව තද කරගෙන පිපිරෙන්න කොහෙත්ම උවමනා වුණේ නෑ. ඒ නිසා ඈ කතා කලා. තවමත් ගැහෙන ඇගේ හදවතේ රුධිර නාල ඔස්සේ ජීවිතේ ගැන අළුත් බලාපොරොත්තු ගමන් කරන බව ඈ ඔහුට පෙන්නුවා. ඈට ඔහුගෙන් ගැලවෙන්න උවමනා බව ඈ කියල දැම්මා. වර්තමානයේ සිටින අසුබවාදී දුර්වල ඔහු වෙනුවට අඩු තරමෙ ජීවිතේ ගැන සුබවාදීව ඈ සමග ආදරෙන් බැඳුණු පැරණි ඔහු ඇයට උවමනා බව ඈ කියා හිටියා. ඈට ඔහුගෙන් සඟවන්න තිබුණෙ ඔහුගේ නොහැකියාව ගැන ඇගේ කාංසාව විතරයි. ටිකෙන් ටික ඔහුගෙන් ගිලිහෙද්දී යම් මොහොතක ඔහු තමාගෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත බවත්, ඔහුටත් කණ පුරා දෝෂාරෝපණය කරන්න පුළුවන් තරමට ඔහුගෙන් ඈ ඈත්ව ඇති බවත් ඇයට දැණුනා.

ආදරේ කියන්නෙ වචනයක් විතරද කියල ඈ හිතුවා. සැබෑ ආදරය කියන්නේ විහිළුවක්ද කියල ඈ හිතුවා. ඒක වචනෙකින් එක් අයෙකුටත්, හැඟීමෙන් වෙනත් අයෙකුටත් ලබා දෙන්න පුළුවන් දෙයක්. ඇත්තටම ඒක මිනිස්සු දෙදෙනෙක් වෙනුවෙන් සීමා විය යුතු නෑ. අවශ්‍යනම් උවමනා තරම් ආදරය කල හැකිව තිබුණා. වචනයෙන් හෝ හැඟීමෙන්.

විවාහය කියන ‘පද්ධතියේ ආකෘතික බැඳීම‘ වචනවලින් විතරක් පවත්වගන්න පුළුවන් එකක් වෙලා තිබුණා. ආදරය නැතත් වෙන් වීමක් නැහැ. ඒක ඔහේ තියෙනවා. ඒත් පද්ධතිය විසින් විවාහය තුල පාලනය කරගන්න බල කරන දේවල් කිසිවක් පද්ධතියට අනුකූල නැති ඇයට අදාල වුණේ නෑ. ඇයගේ ආදරය විවෘත එකක්. අඩු ගණනෙ ඔහු ඒක විශ්වාස කරන බව ඈ හිතුවා. ඔහුට ආදරේ ප්‍රකාශ කිරීම තුල පමණක්, එහෙම නැත්නම් ඔහුගේ ලිඟුව ප්‍රාණවත් වන විට ඔහු වෙනුවෙන් සැදී පැහැදී සිටීම තුල පමණක් විවාහය පවත්වාගත හැකි බව ඈ හිතුවා. වචනයෙන් ආදරේ ප්‍රකාශ කරන තෙක් ආදරේ නොනැසී පවතියිද?

ඒත් ආදරේ කියන්නෙ වචන විතරක්ය කියන එක පිළිගන්න ඈටත් කැමැත්තක් තිබුණෙ නෑ. තවමත් ඈ තුල ගැඹුරු පතුලක ඔහු වෙනුවෙන් යලි ඇවිලිය හැකි ආදරයක් ඈ සතු වුණා.

ඈ ඔහුව තුරුල් කරගත්තා.


Wednesday 14 March 2018

නිහඬවම...



කවුළුවේ කම්බි කූරු අතරින්
ඇදී එන හඳ එළියට
මුහුණේ රටා මවන්නට ඉඩ දී
ඉර බැහැපු රාත්‍රියක
වැතිරී හිඳියි ඇය

ඈත ඒ තරු දෙස බලා
ඇය හෙලන සුසුම්
නොදැනෙන තරමට
ඈත්ව ගොස් ඇත ඔහු

අනුකම්පාවක යදම් බිඳ
ඒ සිර මැදිරියෙන් මිදී
පලා යන්නට එපිට ලෝකෙට
හිතේ වීරිය නැතිව
තනිව හඬයි ඇය

ඇගේ කම්මුලක ගලා යන
කඳුළු බිඳු දැන ඒ පිසින්නට
ඉඩ නොදෙන ආත්මාර්ථ හිතින්
ගොළු වී හිඳියි ඔහු