සුමුදුව පිරිමදිමි සෙමින්
දහදිය සුවඳ කෙස් රැළි අතර
නුඹ හිස ඇඟිලි තුඩින්
බලා හිඳිමි දෙස
වුවනේ වල ගොඩැලි
තවමත් සුමටව දැණෙන
කෙමෙන් නැගී එන රැළි
ජීවිතය ගෙවී යන බව
නොකියා කියන
දෙතොල් මත ඇඳී ඇති
මද සිනහව මා කෙරේ යැයි
සිත් දරමින් තුටු වෙමි
දෙතොල් මත තැබූ
හාදුවලට වඩා
දෙතොලේ රැළි ඇති බව දකිමි
එකිනෙක ගණින්නට ගොස්
අපොහොසත්ව විඩා වෙමි
කලක සිහින්ව හිඳ ඉඟි පෑ
නිකටත් කම්මුලත්
රවුම්ව වැඩී ඇති බව
නුහුරුවෙන් වුව පිළිගනිමි
දිවෙන් පිරිමැදි
අතීතයේද සිත් බැඳි
පුංචි රැවුල් ගස් කීපයක්
තවමත් එහි ඇති බව දකිමි
මට්ටම් සමමිතික දෙබැම යට
වැසී ඇති දෙනෙත් පිය තුල
දෑස් නලියනු දකිමි
නුඹ දකින සිහිනයේ
එක් පසෙක හෝ
මා සිටී යැයි තුටිමි
නුඹ මද සිනා නගනු බලමි
දකින සිහිනය සිතේ මවන්නට
නිරර්ථකව උත්සාහ දරමි
නුඹ දෙස බලා සැනසෙමි
දෙනෙත් දෙස බලා හිඳිමි
දෙනෙත් දෙස බලා හිඳිමි
නුඹ දෙනෙත් විවර කර
මා දෙස බලන තුරු
නුඹේ නින්දට බාධා නොකරමි
නින්ද හමාර කර යම් දිනෙක
නුඹ මදෙස බලන තුරු
නුඹ පසෙකින් වැතිර හිඳිමි
++++++++++++++
ReplyDelete:-)
Delete