Wednesday 29 July 2020

The Newspaper (2020) - ද නිව්ස්පේපර් සිංහල චිත්‍රපටිය ගැන අදහස්




ස්පොයිලර්ස් අඩංගුයි

මේ සිංහල චිත්‍රපටිය හෝල් එකේ බලන්න උවමනාව ඇති වුණේ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරු අපිව අමාරුවේ දාපු අවස්ථා අවම නිසා. ඒ කියන්නෙ රංගනය පැත්තෙන්. අධ්‍යක්ෂකවරු විදියටත් එයාල සුපිරි වැඩක් කරයි කියන බලාපොරොත්තුව තිබුණා. ඒ නිසාම විවිධ සමූහවල මේක බලපු උදවිය පල කරපු එක සටහනක්වත් කියවන්නෙ නැතිවයි මම හෝල් එකට ගියේ. ට්‍රේලර් එක බැලුවෙත් මේ සටහන ලියද්දි. ඒක මට මගහැරිල තිබුණෙ.

මේක සෑහෙන්න පරිසමාප්ත හැඟීමක් ඇති කරපු චිත්‍රපටියක්. නියර්ලි පර්ෆෙක්ට්. ඒක මට තේරෙන මට්ටමින් රඟපෑම්, තිර රචනය, අදියුරුවම, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය හා සංගීතය වගේ කලාත්මක සහ තාක්ෂණික අංග සියල්ලම සමව සහ උපරිමයෙන් දායක වෙලා වුණ වැඩක්. අඩුපාඩුවක් නොපෙනුණ තරම්. ඒ කතාව මුලදිම කියල ඉන්න ඕන.

සිංහල චිත්‍රපටියක් විදියට මීට කලින් අවසානෙට මෙහෙම හැඟීමක් ආවෙ 'හෝ ගාන පොකුණ' චිත්‍රපටියෙන්. ලාංකික චිත්‍රපටියක් විදියට 'කෝමාලි කිංග්ස්' චිත්‍රපටියෙන්. ඔය කාල සීමාව ඇතුළත හෝල් එකකට ගිහින් සිංහල චිත්‍රපටියක් බලල නෑ. ඒ නිසා තිබුණත් මට අහුවෙන්න විදියක් නෑ.

මේක ඉදිරිය ගැන සුබවාදී බලාපොරොත්තු ඇති කරවන්නක්. සිංහල සිනමාව වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් තව දෙන්නෙක්ම ඉන්නවා. එයාලගෙ කුළුදුල් වැඩේ සාර්ථක වුණොත් ඉදිරියටත් එයාලා ලංකාවට වගේම ලෝකෙටමත් රසවිඳින්න තරම් කොලිටි වැඩ කරයි.

චිත්‍රපටියක් සාර්ථක වීමේ පළමු අවස්ථාව තිර රචනයයි බොහෝ විට. රටවල්, අනුව ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. නළු නිළියො නිසා හෝල්වලට ඇදෙන රසිකයො ලංකාවෙ නෑ මම හිතන්නෙ. එයාලට ඕන කතාවක්. තමන්ට කනෙක්ට් වෙන්න පුළුවන් කතාවක්. රජ කතා සහ ආගමික කථාවලට කොහොමත් ඇදෙන පිරිස ගැන නෙවෙයි මේ කියන්නේ. ඊට වෙනස් විදියකට ජීවිතේට මූණ දෙන, ජීවත් වෙන්න කට්ටක් කන අතරෙ පොඩි විනෝදෙකට, හෝ වෙනසකට චිත්‍රපටියක් බලන සැලකිය යුතු කොටසක් ගැන. ඒ කොටසත් අර කලින් කියපු ආගමික කතා රසිකයිනුත්, ඒ දෙගොල්ලොම නොවෙන රසිකයිනුත් එකතු කරගන්න පුළුවන් තිර පිටපතක් ලියන එක ලේසි වැඩක් නෙවෙයි. 'නිව්ස්පේපර්' ඒ මට්ටමේ වැඩක්.

අවුරුදු දෙක තුනකට කලින් මලයාලම් චිත්‍රපටිවල මැජික් නොවන මැජික් එකට මම අහුවෙන්නෙ අහම්බයකින් නෙවෙයි. ඒ චිත්‍රපටි අතරින් සැලකිය යුතු ප්‍රමාණයක තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වගේම ඒවා. ඒ කතා අපේම කතා. වෙන සංස්කෘතියක කතාවලට වඩා ගැමි මලයාලම් සංස්කෘතියෙ කතා ලංකාවෙම කතාවක් වෙනවා. ටැප් වතුරෙන් සැන්ඩි කරල අරක්කු බොන, සෙට් වෙනවයි කියල ප්ලෑන් ගහල සෙට් වෙන අවස්ථාවල ඉඳල ගඟෙන් රෙදි හෝදල රබර් සෙරෙප්පු දාගෙන චිරිස් චිරිස් සද්දෙ එක්ක ගෙට ගොඩ වෙන චරිත දක්වා දේවල් දකිද්දි ලංකාවෙ චිත්‍රපටි ගැන දැනෙන්නෙ හිස් හැඟීමක්. ඒ හිස්කම පුරවන චිත්‍රපටියක් විධියට දැනුණ එකක් තමයි ‘නිව්ස්පේපර්‘ කියන්නේ.

මේක දුවවන්නෙ සරත් සහ කුමාර දෙන්නත්, පසුව මාෂිත් වුණාට බොහොම සුළු චරිතෙකට ඉන්නෙත් රඟපෑමේ හොඳම ජීවය හිමි කලාකරුවන් වීම නිසා අපිට ගොඩනැගෙන විශ්වාසය වාසියක් වෙනවා චිත්‍රපටියට. ට්‍රේලර් එකට තියෙන යූටියුබ් කමෙන්ට් අස්සෙත් ඒක තමයි කියවෙන්නේ. ඒ විශ්වාසය චිත්‍රපටිය පුරාම පලුදු නොකර තියාගන්න කට්ටිය සමත් වෙලා තියෙනවා. විශේෂයෙන් සරත් කුමාර (තනි නමක්) රසායනය අස්සෙ අපට දැනෙන හෘදයාංගම මිත්‍රත්වය චිත්‍රපටිය පුරාම අපිව වශී කරන සාධකය වෙනවා. මොනව වුණත් උන් දෙන්නට උන් දෙන්න ඉන්නවා කියන අදහසින් අපට ආරක්ෂාවක් දැනෙනවා. රූප රාමුත්, අවශ්‍යම මොහොතේ යෙදවෙන සංගීතයත්, මට සිලුටු ඡේදනයත් මේ හැඟීම පවත්වගන්න දෙන්නෙ උපරිම සහයක්. මේ සියල්ලේ ගිනියම අවසාන ජවනිකාවෙදි ඔබේ දෑස් කෙවෙනි උණු කරමින් ගලා යන්න පුළුවන්.

මට හිතුණා ලුවිස්ගේ චරිතය තව ටිකක් සංවර්ධනය වෙන්න තිබුණ කියලා. සමහර අවස්ථාවලදි ඒ තරම්ම ඔහුව ගොන් නොකර දෙබස්වලින් වැඩි රසයක් දෙන්නත් තිබුණා කියල මට හිතුණා. මට ඒ චරිතය පැහැදිලිව විස්තර නොවෙන චරිතයක්. ඒක ගොඩ දාන්න ලේසි චරිතයකුත් නෙවෙයි. මොනව වුණත් තිරිමාදුර මහත්තයාගේ රඟපෑම ඉස්තරම්. කර්කශ අවස්ථාවක ලුවිස් කියන වචන රත්තරන්.

සාමාන්‍යයෙන් චිත්‍රපටියක එසෙන්ස් එක, එහෙම නැත්තං සාරය වචනවලට ගේන ඒම කරන්න අමාරු වැඩක්. ලොකු දාර්ශනික සහ සාමාජයීය හැදෑරීමක් එක්ක උත්සාහ කළයුතු දෙයක් ඒක. ඒ කොහොම නමුත් අවසානයෙදි චිත්‍රපටියෙ මතකයේ රැඳෙන සහ අපිව කම්පනය කරන කොටස ඒක. එහෙම සාරයක් නැති චිත්‍රපටි අපට ඉක්මනින්ම අමතක වෙලා යනවා. සාරවත් චිත්‍රපටි අපි නැවත නැවතත් බලනවා. අපේ ජීවිතවලට ඒ සාරයෙන් අංශුවක් හරි තව අරගන්න උත්සාහ කරනවා. ‘නිව්ස්පේපර්‘ චිත්‍රපටියත් ආයෙත් බලන්න තරම් ආත්මයක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය පුරාම දැනෙන හැඟීම ඒ අපිව ඒ චරිතවලට සම්බන්ධ කරනවා. එයාලගෙ හැඟීම් අපට දැනෙනවා. ඒ බැඳීම් අපේ බැඳීමක් වෙනවා. ඒ අස්සෙ සමහර මොහොතක අපට අපිවම විනිශ්චය වෙන මොහොතක් එළඹෙන්න පුළුවන්.

මේක දූවිලි ගැන චිත්‍රපටියක්. දූවිලි අපි කවුරුත් ගණං ගන්නෙ නැහැනෙ. මේකත් එහෙම ගණං නොගන්න මිනිස්සුන්ගෙ කතාවක්. ඕනම කෙනෙක්ට දූවිල්ලක් වෙන්න යන්නෙ සුළු මොහොතයි. බලය සහ ධනය තියෙන අය ඒකෙන් ගැලවුණත් සාමාන්‍ය අපිට ගැලවෙන්න ලේසි නෑ. අපි විශ්වාස කරන පරමාදර්ශවත්, අපේ පැමිණිලි අහන්න පඩි ගන්න අයවත්, අපි විශ්වාස කරන බොහොම අයවත් එහෙම මොහොතක අපි වෙනුවෙන් ඉදිරියට එන එකක් නෑ. එයාලත් ගොඩක් විට අපිව දූවිල්ලක් කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද බොහෝ විට ඒ අයටත් ඒ නිසා දූවිලි වෙන්න සිද්ධ වෙනවා. එහෙමයි සාමාන්‍ය අපට වෙන්නේ. ඒ නිසා මේක අපේ කතාවක්.

මේක අපි බැලුවෙ වාද්දුවෙ නිව් වින්ස් සිනමාහලේ. කොවිඩ් වසා දැමීමෙන් පස්සෙ විවෘත කරල දවස් දෙකයි. බලන්න හෝල් එකේම හිටියෙ අපේ පවුලෙ හතර දෙනා විතරයි. හෝල් එක වායු සමණිත රු. 250 ටිකට් එකට සරිලන එකක්. චිත්‍රපටිය බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් අඩු පතෝලමය පෙනුමකින් බලන්න ලැබුණෙ. ලෙන්ස් එකේ අවුලක් කියල ඔපරේටර් මල්ලි කිව්වා.

අවසාන වශයෙන්, මේක විචාරයක් නෙවෙයි. රස කෑමක් ලැබුණ කපුටෙක්ගෙ කෑ ගැසීමක්. ඔබ ලංකාවෙ සිනමාවක් දකින්න කැමති කෙනෙක්නම් අනිත් අයටත් ඒ පෙළඹීම කරන්න. මේක හොඳ කාලයක් නෙවෙයි. ඒ නිසා තමන්ගෙත් අනිත් අයගෙත් ආරක්ෂාව තහවුරු වෙන විදියට ගිහින් නිව්ස්පේපර් බලන්න.

https://www.imdb.com/title/tt9711868/

Komaali Kings (2018) - කෝමාලි කිංග්ස් - හඳුන්වාදීම



පහුගිය වසර කීපය තුල ලංකාවෙ හැදුණු චිත්‍රපටි අතර ශාලාවකට ගිහින් බලන්න තරම් හොඳයි කියල හිතුණ චිත්‍රපටි අතලොස්ස අතරින් හොඳම එක මොකක්ද කියල ඇහුවොත් ඒ අනිවාර්යයෙන්ම කෝමාලි කින්ග්ස් කියල කියන්න මට පුළුවන්. ඒක කියන්න පුළුවන් වෙන්නෙ චිත්‍රපටිය ඔන්ලයින් බලාගන්න දීල තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් දෙවෙනි වතාවටත් චිත්‍රපටිය බැලුවට පස්සෙයි. මොකද දෙහිවල කොන්කෝඩ් එකේ චිත්‍රපටිය බලපු අත්දැකීම ඒ තරම් හොඳ එකක් වුණේ නෑ. වෙහෙසකර දවසකට පස්සෙ කීප වතාවක් නින්ද යෑම එක්ක කතාවෙ හොඳම ප්ලොට් පොයින්ට් ටිකක් මගඇරිල තිබුණ. ඒ වගේම සබ් එක්ක හෝල් එකේ චිත්‍රපටියක් බලද්දි නතර කරල කියවගන්න ඕන වෙලාවලදි ඒක කරගන්න බැරි වීමත් ඒකට එක හේතුවක්. මොකද කොන්කෝඩ් එකේ පෙන්නුවෙ සිංහල සබ් තියෙන වර්ෂන් එක නෙවෙයි.

නමුත් දැන් එයාල චිත්‍රපටිය ඔන්ලයින් බලන්න අවස්ථාව දීල තියෙනව. කැමති නම් සිංහල හෝ ඉංග්‍රීසි සබ් එක්කම https://ceynema.com/ සයිට් එකේ. ගෙවන්න වෙන මුදල ඒ හැටි ගාණක් නෙවෙයි.

කෝමාලි කිංග්ස් චිත්‍රපටිය ඊට කලින් 1976 නිපදවුණ කෝමාලිකල් චිත්‍රපටියෙන් ආභාශයක් ගත්ත බවක් කියවෙනවා. ඒ වුණත් මේක බොහොම සාර්ථකව නිපදවුණ, අධ්‍යක්ෂණය වුණ චිත්‍රපටියක්. කිං රත්නම් ඒ අතින් ඇත්තටම වැඩකාරයෙක්. පොඩි පොඩි අවුල් තැන් අතාරින්න පුළුවන් තරම්.

වැඩියෙන්ම මගේ හිත ගත්තෙ සිවාට රඟපාන රාජා ගනේෂන් මහතාගේ රඟපෑම. ඒ එක්කම රොසාන්ට රඟපාන කමල්රාජ් බාලක්‍රිෂ්ණන් හොඳටම වැඩේ ගොඩ දානවා. තව අර ටැබ් එක උස්සන් බ්ලැක්මේල් කරන පොඩි එකත් මරු.

මේක සිම්පල් කතාවක්. සිම්පල් කතාවකින් පැය දෙකක චිත්‍රපටියක් ගොඩදාන හැකියාව මීට කලින් දැනෙන්න දැකල තිබුණෙ මලයාලම් චිත්‍රපටිවලින් විතරයි. නමුත් ඒ වැඩේ කරන්න පුළුවන් ලංකාවෙ එවුනුත් ඉන්නව කියල දැණෙන එක මාර හැඟීමක්.

https://www.imdb.com/title/tt7977914