Tuesday 28 June 2011

බ්ලොග් කියවන දානපතියාගේ සමාජ සත්කාරය



කන්නංගර මාවතේ ඇවිත් හැමදාම ලිප්ටන් වටරවුමෙන් වාහනේ දානකොට දකින දැන්වීම් පුවරුවල වෙනසක් රාජරත්න මහත්තයට තේරෙන්න අරන් ටික දවසක්. ටිකක් කල්පනා කරල බැලුවමයි තේරුණේ ඒ හන්දියෙ තියෙන මහ විසාල ඇඳුම් කඩේ ඉස්සරහ අර සින්දු කියන කොල්ලො දෙන්නගෙ විසාල දැන්වීමක් ගහලය කියල. නිකංම නෙවෙයි, නාටු වුණාට ලස්සන බලු පැටියෙකුත් එක්ක. ඩ්‍රයිවර් ආරියපාලගෙන් ඕක ගැන ඇහුවට ඒ මනුස්සය දැනගෙන හිටපු දේකුත් නෑ. කාර්යාලෙට ගිහින් මේ ගැන හොයල බලන්න ඕන කියල රාජරත්න හිතාගත්තා.

ඔෆීසිය හැමදාම වගේ කාර්ය බහුලයි. ඒත් ප්‍රධාන විධායක නිලධාරිය විධියට සුපුරුදු අත්සන් ගැහිලි කීපයකට පස්සෙ රාජරත්නට ඉන්ටනෙට් එකේ එහෙ මෙහෙ කැරකෙන්න පැයක දෙකක සුපුරුදු අවස්ථාව ගන්න පුළුවන් වුණා. රැස්වීම් වුණත් හැමදාම නෑනේ.

ලොකු කොල්ල පිටරට ඉඳන් ලියන බ්ලොග් එක අහම්බෙන් ඇහැ ගැහිල රාජරත්න මහත්තයත් දැන් බ්ලොග් කියවිල්ලට ඇබ්බැහි වෙලා. සාමාන්‍යයෙන් මුලින්ම ගුගල් රීඩරේ ඇදගෙන ඒකට ආපු අප්ඩේට් බලන්නයි රාජරත්න පුරුදු වෙලා හිටියෙ. ඊට පස්සෙ පිළිවෙලින් එක එක සින්ඩිකේටරේ පලවෙන බ්ලොග් කියවන්නයි හොඳ ඒවා රීඩරේට දාගන්නයි තමයි දවසෙ පැයක් හමාරක් විතර වෙන් වුණේ.

ඒ වුණාට අද මුලින්ම බලන්න ගත්තෙ කොළඹ හතේ නෝනගෙ කඩේ ඉස්සරහ ගහල තිබුණ කටවුට් එක ගැන.

වැඩි අමාරුවක් නැතිව ගුණවර්ධන නෝනගෙ බලු සත්කාරය ගැන හොයාගන්න රාජරත්නට පුළුවන් වුණා. ඒක ඇත්තටම හොඳ වැඩක්... රාජරත්න හිතුවා. ඒත් ඉතිං කිසිම පිළිසරණක් නැති මිනිස්සු ඕන තරම් ඉද්දි බල්ලන්ට මොකටද මේ සත්කාරේ? රාජරත්න මහත්තයට පොඩියට ඉරිසියාවකුත් හිතුණා. පරම්පරාවෙන්ම උරුම වුණ ව්‍යාපාර ටික මේ තරම් දියණු වෙලා තිබුණත් තමන්ට බැරි වුණානෙ ඔහොම එකක්වත් පටංගන්න. යන තැනකටවත් වැඩක් වෙන්න!

රාජරත්න මහත්තයටත් ඕන වුණා තමන්ට තියෙන ධනස්කන්ධයෙන් ටිකක් වැය කරල ප්‍රජා සත්කාරයක් කරන්න.

ටික දවසකට පස්සෙ ආයෙමත් ඔය පස්සපැත්තෙ ගේට්ටුව ගැන බ්ලොග් ලියන චාමි කියන දරුපවුල්කාරයා ලියපු බ්ලොග් සටහනක් රාජරත්න මහත්තය දැක්ක. ඒක නිකං කැරකිල්ල හැදෙන විධියෙ සටහනක් වුණාට රාජරත්න මහත්තයට ඒක තේරුම්ගන්න තරම් ඔළුව කරකවගන්න වෙලාවක් තිබුණෙ නෑ එවෙලෙ.

ඊට පස්සෙ කාර්ය බහුල මාස කීපයක් ගෙවිල ගියේ අර කටවුට් එක ගැනවත්, බලු සත්කාරය ගැනවත් වෙන කිසිම සත්කාරයක් ගැනවත් මහන්සි වෙන්න රාජරත්න මහත්තයට ඉඩ නොදී. එක දිගට වැඩ ගොඩක් කරද්දි බ්ලොග් අස්සෙ කැ‍රකෙන එකත් ටිකක් විතර මගඇරිලයි තිබුණෙ. හැමදාම පුරුද්දට බැලෙන One|Zero|Zero එක්ක ගොසිප් සයිට් ඇරුණම වෙන කිසිම එකක් කියවන්න වෙලාවක් තිබුණෙ නෑ.

ආයෙමත් ඔය සත්කාරෙ ගැන රාජරත්න මහත්තයට කල්පනා වුණේ One|Zero|Zero එකේ ගිය තවත් මල විකාර පෝස්ට් එකක් දැක්කම.

පාරෙ ඉන්න බල්ලොන්ට වඩා කොයි කරම් අහිංසකද හරියට කන්නවත් නැතිව පාරෙ ඉන්න හිඟන්නො? බල්ලො නම් කුණු බාල්දියක් හරි පෙරලගෙන කනව. හිඟන්නන්ට ඒ විධියටවත් කිසිම පිළිසරණක් නෑනෙ.

රාජරත්න මහත්තයට ආවෙ නියම අදහසක්. අළුතෙන් කැස්බෑවෙ පටන්ගන්න ඉන්න ඇළුමිනියම් බඩු ෆැක්ටරියෙ වැඩටත් මිනිස්සු ඕන වෙලා තියෙන එකේ පාරෙ ඉන්න හිඟන්නු කීප දෙනෙක්ටවත් සත්කාරයක් කරන්න පුළුවන්නම්....

රාජරත්න මහත්තය දවස් ගානක් මේ ගැන කල්පනා කලා. එයාට හිතුණෙම ඒක නියම අදහසක් කියල. ඒක හොඳ අදහසක් නොවෙන්න හේතුවක් රාජරත්න මහත්තයට හිතුණෙම නෑ. අන්තිමේ එයා කල්පනා කලා මේ ගැන කතා කරන්න හිඟන්නෙක් එක්කම.

සෙනසුරාදා වරුවෙන් ගෙදර යද්දි පිළියන්දල පහු කරපු ගමන් ටිකක් නිදහස් තැනක හිටපු හිඟන මනුස්සයෙක් රාජරත්න මහත්තය දැක්ක. අවුරුදු පනහක විතර පෙනුමක් එක්ක බැලූ බැල්මට අතපය හොඳට තිබුණ නිසා මේ මනුස්සය එක්ක කතා කරන එක හොඳයි කියල එයාට හිතුණ. වහාම ආරියපාලට කියල වාහනේ නවත්තගෙන රාජරත්න මහත්තය හිඟන මනුස්සය හිටපු පැත්තට ගියා.

"මේ උන්නැහේ..."

"ආ... මහත්තයෝ..."

හිඟන මනුස්සයගෙ මූණට එකපාරම දුකක් ආරූඪ වුණා. අත් දෙක රාජරත්න මහත්තය දිහාවට පාමින් ඒ මනුස්සය ඉස්සරහට ආව.

"උන්නැහේ මොකද කරන්නේ?"

"අර නෝන කෙනෙක් ගෙනත් දුන්න පාර්සලේ ලෙහාගෙන දැනුයි කාල ඉවර වුණේ මහත්තයෝ..."

තාමත් මනුස්සයගෙ අත ආයාචනා ස්වරූපයෙන් යමක් ඉල්ලන විලාසයෙන්...

"හා... මේ.... ලොකු උන්නැහේ රස්සාවක් හෙම කරන්න කැමති නෑ...?"

"අනේ ඉතිං අපිට කව්ද රස්සා දෙන්නේ... තිවුණ රස්සා වලටත් හෙණගහපු නිසානෙ මහත්තයෝ මේ අතපාන්නේ..."

මනුස්සයගෙ අත්දෙක දිහා බලපු රාජරත්න මහත්තයගෙ අත ඉ‍බේම සාක්කුවට ගියා. පර්ස් එකේ තිබුණ අඩුම කොලෙන් එකක් හිඟන්නගෙ අතට. ඒක තැඹිලි පාටට හිඟන්නගෙ අතේ ගුළි වුණා. මූණට ආපු සන්තෝසෙකුත් එක්ක.

"එහෙම නෙවෙයි... රස්සාවක් දුන්නොත් කරගෙන ඉන්න පුළුවන්ද?"

"රස්සාවක් කිව්වෙ මහත්තයො මොන වගේ එකක්ද?"

"දැන් ඔහේගෙ අතේ පයේ අමාරුවක් නෑනේ... ඇළුමිනියම් කපන මැෂින් හසුරුවන එක තමයි රස්සාව... අළුත් ඇළුමිනියම් වැඩපලක."

"එතකොට මහත්තයො පඩියකුත් දෙනවද?"

"නැත්තං මනුස්සයෝ රස්සාවක් දෙන්න කතා කරයිද? රුපියල් 15000ක් මාසෙට දෙනවා. නවතින්න තැනකුත් හම්බවෙයි."

මොන ප්‍රජා සත්කාරෙ වුණත් මිනිහෙක් වෙනුවෙන් දරන්න පුළුවන් ප්‍රයෝජ්‍ය වටිනාකම ගැන රාජරත්නට දැනුමක් තිබුණා.

"එතකොට කෑම බීම?"

"ඒව සපයගන්න නෙව පඩියක් දෙන්නේ? මොකද කියන්නේ...? ඔහේට එහෙම වැඩ කරන්න පුළුවන් නම් රස්සාව තියෙනවා."

"අනේ මහත්තයෝ...."

හිඟන මනුස්සයගෙ මුහුණට ආවෙ පුංචි හිනාවක්!

"ඔය කියන විධියට මහත්තයො මට දවසකට පඩිය එන්නෙ රුපියල් පන්සීයක් විතරනේ... මම බස් වලට නැගල, පාරෙ හිඟා කාලත් දවසකට රුපියල් අටසීයට වඩා හොයනව මහත්තයෝ... අනික කෑම? උදේට නම් ඔය පාන් කෑල්ලක් කඩෙන් ගත්තට දවල්ට හම්බවෙනව රෑටත් හරියන්න හොඳ බත් එකක් දෙකක් හැමදාම. එහෙමත් දවසකට තමයි කඩෙන් කෑම ගන්න වෙන්නේ..."

"ඒ කියන්නෙ ඔහේට මේ රස්සාව හොඳයි මම දෙන්න යන එකට වඩා...?"

"ඒකනේ මහත්තයෝ.... වැඩක් කියල කරන්න දේකුත් නෑ නෙව... කම්මැලිනං නිකං හිටියා... අපේ එව්වො එකෙක්වත් මහත්තයගෙ රස්සාවට එන එකක් නෑ..."

රාජරත්නට බඩ කපාගන්න හිතුණා...

ආපහු වාහනේට නැගල ගෙදරට යන ගමන් රාජරත්න කල්පනා කලේ බල්ලො වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මිනිස්සු වෙනුවෙන් කරන්න බැරිවීම ගැනයි. ඒත් සමහර විට පාරෙ ඉන්න බල්ලෙක්ගෙන් ඔය කතාවම ඇහුවොත් සමහර විට උගෙ උත්තරෙත් ඔයිට වෙනස් වෙන එකක් නැති වෙන්න තිබුණා. උනුත් හිතපු තැන ලැග්ගා... හිතපු දේ කෑවා... හිතුණු බැල්ලියෙක් එක්ක පෙම් කෙලියා... ඉඳල හිටල ගල්පාරක් කෑවට නිදහසේ හිටියා... දැන් කොහෙද එහෙම නිදහසක්? ගුණවර්ධන නෝන කරන්නෙ බලු අයිතීන් උල්ලංඝනය කරන ඕනම නැති වැඩක්. රාජරත්න එහෙම හිතුව...

හිතේ තිබුණ බර ටිකක් හෑල්ලු වුණා.


-----------------------------------------------------------------------------------------

රාජරත්ත මුදලාලිට ප්‍රජා සත්කාරයක් කිරීමට අවශ්‍යයි නම් බ්ලොග් අවකාශය වෙනුවෙන් යමක් නොකරන්නේ මන්ද? හොඳ සින්ඩියක් වෙනුවෙන් වියදම් නොකරන්නෙ මන්ද? යුධ අනාථයින් වෙනුවෙන්, රණ විරුවන් වෙනුවෙන් වියදම් නොකරන්නේ මන්ද? වැනි ඕන නැති ප්‍රශ්ණ නොඅසන්න.

Tuesday 21 June 2011

කණේ වැටුණු එදිනෙදා කතාවක්!


මෙය කාර්යාලයේ දහවල් කෑම පැයේදී මතුවී පැමිණි එදිනෙදා කතාවක් මතින් හටගත් අදහසක් වන අතර කිසි සේත්ම සීරියස් නැති තවත් කතාවකි.

මාස කීපයකට පෙර මාගේ කාර්යාලීය මිතුරා උතුම් වූ පීතෘත්වය ලැබීය. ඔහු විසින් නිතර දෙඩීමේ යෙදෙන ඔහුගේ කුඩා දියණියගේ දඟකාරකම් දහවල් කෑම පැයේදී අප තුටු කරවන අංගයක් වෙමින් පවතී. අද දින ආහාර ගන්නා අතරතුර මා මිතුරා පැවසූවේ තව මසකින් පමණ දියණියගේ කණ් විදීමට අවශ්‍ය බවයි.

මම එයට එක හෙලා විරුද්ධ වීමි.

"ඒකි ලොකු වෙලා එයාටම ඕන කියල හිතුණොත් එයා විදගනියි."

මම කීවෙමි.

"ලොකු වුණාම විදින්න අමාරුයිනෙ. එතකොට වේදනාව වැඩියි."

"ඒ වුණාට එයාට ඕන නිසානෙ එතකොට විදගන්නේ..."

මිතුරා මා දෙස අවඥ්ඥා සහගත බැල්මක් හෙලීය.

"උඹ ඔය කියන එක ප්‍රායෝගික නෑ මචන්..."

ඔහු කීය.

"උඹල ඔය ඉන්න හීන ලෝක වල දේවල් හැබෑ ලෝකෙ කරන්න බෑ බං..."

ඒ ඔහුගේ බැල්ම තුල ගම්‍ය වූ ඔහු නොකී දේ ය.

ලබන මස ඔහු තම දියණියගේ කන් පෙති සිදුරු කිරීමට වග කියනු ඇත.

ලංකාවේ ගැහැණිය ගැහැණියක් කිරීම ඇරඹෙන්නේ එලෙසය.

මෙය අළුත් මාතෘකාවක් නොවේ.

වසර දොළහකට පමණ පෙර මා ඇතුළු එවක පාසල් අවදියේ හුන් මිතුරන් කීප දෙනෙකුගේම මොළයේ සාම්ප්‍රදායික මළකඩ සෝදා හරින ලද සඟරාවක කුඩා දියණියන්ගේ කන් විදීමේ අර්බුදය ගැන ලිපි කීපයක් පලවී තිබිණ. දැන් ඒවා මතකයට නැගෙන්නේ නැතත් බොහෝ ගැඹුරු දාර්ශණික හේතු සහ කාරණා සපයමින් අදාල කන් විදීමේ කටයුත්ත ගැහැණියට ස්ත්‍රීත්වය එබ්බවීමේ පුරුෂ ක්‍රියාවලියේ ආරම්භක අවස්ථාවක් ලෙස එහි විස්තර වී තිබුණි.

එකල වචනාර්ථයේ රැඩිකල් චින්තන සංකල්පයේ බැස හුන් අප එම අදහස් හිස් මුදුණින් ගෙන මහා සොයාගැනීමක් සේ සාකච්ඡා කල අයුරු මට මතකය.

ගැහැණිය සහ පිරිමියා යනුවෙන් මානසිකවම වෙන් කිරීමේ කටයුත්තට අත් පොත් තැබෙන්නේ දියණියන්ගේ කන් පෙති සිදුරු කිරීමෙනි. බොහෝ විට මෙය සිදු කිරීමට තීරණය කරන පියවරුන් ඉන්දියාවේ කාන්තාවන් විසින් සිදු කරන සති පූජාව පිළිබඳව උණුසුම් ලෙයින් ප්‍රකෝපිත වන්නවුන්ය. තමන්ගෙ දියණියට කිසිදු අනතුරක් සිදුවන්නට ඉඩ නොදෙමැයි සිතින් ගිවිස ගන්නා මව සහ පියා යන වධකයින් දෙදෙනා විසින්ම තම දියණියගේ කඳුලු දකිමින් ඇයගේ දෙකන් පෙති විද දමයි. එහෙත් එය සාධාරණය. මන්ද එළොවටත් මෙළොවටත් දෙළොවටම නැති අතරමැදියකු ලෙස තම දියණිය වැඩෙනවා දකින්නට දෙමාපියන් අකමැති බැවිණි.

මා හට ඇති ගැටළුව වන්නේද එයයි. දෙකන් පෙති නොවිදි ගැහැණු දරුවකු වර්ධනය වීමේදී අන් ගැහැණු ළමුන් අතර ඇයගේ පැවැත්මේ වෙනස ඇයට කෙසේ බලපානු ඇත්ද? ඇගේ කන් පෙති නොවිදීම පිළිබඳ ඇගේ මිතුරියනුත්, ගුරුවරියනුත් ඇයව ‍මුළුගත කිරීමට ඉඩ ඇත. නිවස අවට වෙසෙන්නන් ඇයව අමුතු සත්ත්වයෙක් ලෙස දකින්නට ඉඩ ඇත. ඥාතීන් අතර ඇය අවපස ලෙස සුවිශේෂ වනු ඇත. ඇය නිතර ඇයගේ අඩුවක් ගැන සිතමින් සිටින්නියක් වනු ඇත. එවිට ඇයට විසඳුමක් ලෙස ස්ව කැමැත්තෙන්ම කන් පෙති විදගැනීමට උවමනා වනු ඇත. එය අතිශය වේදනාකාරී දෙයක් වන නිසාම ඇය තම දෙමාපියන්ට ශාප කරනු ඇත.

"අනේ ඔයාලගෙ කෙහෙල්මල් ආදරේ.... පුංචි කාලෙදිම මගේ කන් විද්දනම් ඉවරයිනේ...."

කඳුළු පිරි දෙනෙතින් ඇය නගන්නට ඉඩ ඇති මැසිවිල්ල එසේ නොවනු ඇතැයි කිව හැකිද?

දෙමාපියන් සැලිකිලිමත් වීමට අවශ්‍ය වනුයේ එය පමණක්ම නොවේද?

සියල්ලටම වඩා බියකරු සාධකය වනු ඇත්තේ ඇයගේ ස්ත්‍රීත්වයේ උවමනාවන් සහ ලක්ෂණයන්ද මෙකී කන් නොවිදීමේ අඩුව නිසා ඇයට අහිමි වන්නට හැකිද යන්නයි. එනම් ඇය පිරිමියකු ලෙස දැණෙන ගැහැණියක වේද යන්නයි. එය පිළිබඳව කීමට තරම් ඒ සම්බන්ධ දැනුමක් මට නොමැති බැවින් එම අවස්ථාව විශ්ලේෂණය කරගැනීම ඔබට බාරය. කන් නොවිදි ගැහැණු දරුවකුගේ මානසික ලිංගිකත්වය ඒ හේතුව නිසාම වෙනස් වන්නට ඉඩ තිබේද?

මට සිතෙන්නේ එසේ වීමට හැකියාවක් නම් නැති වග වුවත් දියණියන්ගෙ කන් පෙති විදින්නට පෙරුම් පුරන පියවරුන්ට නම් එය එසේ වනු ඇතැයි සිතීම වාසි සහගතය.

එසේ වුවත් මා පවසන්නේ සිය දියණියගේ සිඟිති කන් පෙත්ත සිදුරු කරන්නට පළමු සෑම දෙමාපියෙක් විසින්ම සිය කණ් පෙත්ත සිදුරු කරවා ගැනීමට උත්සාහයක් ගත යුතු බවය. නොඑසේ නම් කණ් විදීම යනු දරුවන් ආයෝජනයක් ලෙස දැකීමේම තවත් එක් පැත්තක්ද යන්න පිළිබඳව නැවත සිත අවදි කල යුතු බවය.

සියල්ල අවසානයේ කීමට තවත් යමක් ඇත. මේ සටහන ලියවෙන්නේ දිනක් තුල දෙවතාවක් මා ගැහැණු දරුවන්ගේ කන් පෙති සිදුරු කිරීමේ මානුෂික වෘත‍ය පිළිබඳ සිත් පහල කල බැවිණි.

පාසල් අවදියේ මා හා එක්ව පෙර කී රැඩිකල්මය නොයෙක් දේ හදාල සහ ඒ පිළිබඳව කථා කල මා මිතුරෙක් සිය දරු දෙදෙනාත් බිරිඳක් කැටුව අද දින මට සම්මුඛ විය. එකල ඔහු තමා දිනෙක දියණියකගේ පියෙකු වූ විටෙක කිසි කලෙකවත් ඇගේ කන් පෙති නොවිදින බවට කැඩ කැඩූවකු වූ අතර මෙකල ඔහු වසරකට මදක් වැඩි වයසැති කන් පෙති විදින ලද දියණියක් කරපින්නාගෙන සිටියේය.

Thursday 16 June 2011

පිටකොටුවේ සිට මහරගමට - From Pettah to Maharagama


මම කාෂ්ඨක ගිණි සුළඟ මැද අතින් ආවරණය කර පිටකොටුවට ගිණි තැබීමි. සියුම් දුමක් සමගින් හුස්මක් අභ්‍යන්තරගත විය.

මා සිහින් සැහැල්ලුවක් වෙත පාව ගොස් මදක් ඉහලින් නතර විය. ගුවනේ ලෑලි කඩේ කොලුවාගේ ප්ලේන්ටිය මා ඉදිරියේ පතිත විය. සීනි වැඩි උගුරක් දෙතොල් හරහා දිව මතට පැමිණ දිවේ රස ස්නායු සියල්ල කහටේ රසයෙන් උද්දාමයට පත්කරලීය. පැණි රසය තුල යටපත් කරන ලද විවිධ රසයන් ගණනාවක සාරය දිවෙන් උරාගත්තේ එම රසය වයින් උගුරක රසයට දෙවෙනි නොවන බව හඟිමිනි. එහෙත් වයින් යනු මාස කීපයකට වරක් ඇසුරු කරන්නක් බැවින් එහි රසය මට හරිහැටි මතකයට නගාගැනීමට අපහසුය. අතෙහි වූ ප්ලේන්ටියේ උගුරු කීපයක් වයින් වඩියකට වඩා මට සමීපය.

එකින් එක උගුරින් උගුර, දිව මතින් මසිත පුරවා දමමින් ප්ලේන්ටිය ආමාශය වෙත ඇදෙමින් පැවතිනි.. ‍

එහෙත් පැණි රසය සියල් රස අභිබවා අග්‍රස්ථ වී ඇති බව මොහොතකට මට මතක් විය.

එය ජීවිතය මෙනි. මා නොවන වෙනත් උන් විසින් සාදා මා වෙත පුදා ඇති මා ජීවත් විය යුතු විලාසය නම් වූ කරුමය ප්ලේන්ටියේ කහට රසය අභිබවන පැණි රසය මෙනි. පැණි රස යනු කහටේ කහට රසය යටපත් කර දමන ක්‍රමවේදයයි.

සිස්ටම් එක එවෙලේම බිඳ වැටුණි.

එහෙත් ඒ සුළු මොහොතකට පමණි. සිස්ටම් එකෙන් ගැලවීමට හැකි අයෙක් නැත්තා සේම බිහිවීද, බිහි වන්නේද නැත. නොයෙක් ලෝගුකාර සමාගම් මතින් උත්කර්ෂවත් කල පණ්ඩිතයන් සිස්ටම් එක අභිබවනය කල බව කීවද එය එසේ වන්නේ නැත. අනුන් විසින් තැනූ සිස්ටම් අතික්‍රමණය කර උන් උන්ගේම සිස්ටම් සාදා ඇත. එසේ සාදන ලද සිස්ටම් සියල්ල යසැයි සලකා අපි ඒ ගුලට වී නිදහ‍සින් යැයි කෙතෙක් කීවත් පාරම් බෑවත් එය එසේ නැත.

ඒ වන විට මා බොහෝ දුරක් ගෙවා තිඹිරිගස්යාය අසලින් ගමන් ගනිමින් සිටියෙමි. වරක් සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් තිඹිරිගස්යායේ රස්තියාදු වූ සැටි මට මතකය. එදා එම ආයතනයේ ලොක්කා මවිසින් නිර්මාණය කරන ලද විෂුවල් කීපයක් බලා බෙහෙවින් සතුටු විය. රැකියාව ඉතා විශ්වාස කටයතු ලෙසම මා අතට පත් වී තිබුණද ලොක්කාට තවත් එවන් නිර්මාණ කීපයක් බැලීමට අවශ්‍ය විය. ඔහු කීවේ ඔහුගේ නිර්මාණ ආයතනය වෙත අවශ්‍යව සිටියේද එසේ සිස්ටම් එකෙන් බැහැර නිර්මාණකරුවකු බවය. එය ඔහුගේ විනිශ්චය විය.

නමුත් මා එසේ නොවිණි. මා මෙහි වෙසෙන හැමකෙකු මෙන්ම අවිශ්වාසදායී පුද්ගලයකු විය. එම රැකියාවට එක් දිනක් පමණක් ගොස් මා එය අත්හැර දැමුවේ එබැවිණි. මිනිසුන් මිණුම්ගත කිරීම එලෙසින්ම දුෂ්කරය. මා ද මා වෙසෙන ජන කොටසේම නිපැයුමක් බැවින් මා ද එසේම විය.

තවත් කහට උගුරක් දිව තෙමා හැරියේය. පැණි රසය උවමනාවෙන්ම අමතක කොට මම කහට රසය දිව පුරා කැලතූයෙමි. අසාර්ථක වන්නට මොහොතකට පෙර මම එම කහට උගුරේ රසය විඳ අහවර කලෙමි.

නොදැනීම මා නුගේගොඩ සුන්දර මතකයන් පසු කරමින් හුන්නෙමි. ජීවිතේ වසර ගණනාවක් නිතර ඇසුරු කල නුගේගොඩ පරිසරය මා ජීවිතයේ වර්තමානය වෙත ගෙන එන්නට තදින් බලපෑ වටපිටාවකි. මිනිසුන්ද නොමිනිසුන්ද ස්පර්ෂ කරමින් උන් පසුකර මා ඇදී ගියේ මේ භූමිය මතිනි. සිස්ටම් එකත් ඉන් මිදීමත්, මමත් මම නොවන මමත්, ඇයත් ඇය සහ මමත් මා තුල රාමුගත වූයේ මෙහිදීය. සිස්ටම් එක මතින් ඉගිල දුම් රොටුවල නැගී අනන්ත අවකාශයේ සරා මම නැවත මේ භූමිය වෙත පැමිණ ඇත්තෙමි. නැවතත් සිස්ටම් එක වෙත පෙම් කරන්නට අරඹා ඇත්තෙමි. අවමඟුල් සභාවක සියළු පොර කතාවන් අවසානයේ මළ මිනියක ඉරණම මෙන් මාගේ ජීවිතයද මේ කතා තුල නැත. මිනියේ හිමිකරුවා සභාවේ කතාකරුවන් විසින් ඔසවා තබන්නාක් මෙන්ම මාද මා ගැන ම විසින්ම කියනා සහ අනුන් මා ගැන කියනා කතාවලට වග කීමට බැඳී නැත.

මා තවමත් මගේ ලෝකයකය. මා එයට කෙතරම් අකමැති වුවත් ඉන් ගැලවී යාමට කෙතරම් අවශ්‍ය වුවත් ගැලවී යාමට තැනක් නැත. ඔබ කෙතරම් අකමැති වුවද එය මගේත් ඔබේත් ජීවිතයේ සැබෑ කතාවයි.

මම ඔබේ සිස්ටම් එකෙන් ගැලවී මගේම සිස්ටම් එකක් සාදාගෙන ඇත්තෙමි. එතුලට වී ඔබව විවේචනය කරමින් සාර්ථකව ගෙවන්නට උත්සාහ දරමින් එහෙත්, අසාර්ථකව ගෙවා දමමි. ඉතින් ඔබ මා වෙත නොඑන ලෙසින්ම මා ඔබ වෙත නොඑන වගද එසේමය.

මා මහරගමට පැමිණ ඇත. දැන් බිමට බැසීමට කාලයයි.

බී අවසන් වූ කහට වීදුරුවේ අඩියේ මැනර්ස් ටිකක් ඉතිරි වී ඇත. මැනර්ස් ඉතිරි කිරීම සිස්ටම් එකෙන් මට ඉගැන්වූ දෙයකි. සිස්ටම් එකට ඕන මගුලක් කරගන්නට කියා ඉතිරි තේ කොළ කැබලි සමග කහට උගුරු බාගයක මණ්ඩියේ රස බැලීමට මට තවමත් හැක.

එහෙත් මා ඔබේ සිස්ටම් එකෙන් ගැලවී නැවතත් මගේ සිස්ටම් එක තුල රාමු ගත වේ නම් ඉන් කිසි පලක් ඇත්තේද නැත.

මගේ සිස්ටම් එක....? රෙද්ද තමයි!

මම ‍වීදුරුවේ අඩියේ වූ මැනර්ස් වල ඔබා මහරගම නිවා දැමුවෙමි.

Sunday 12 June 2011

කවියට හැඩයක්! | කිසිම හැඩයක් නැතිව

මුළු ලෝකයමත්
ඉන් එහා විශ්වයත්
බ්‍රෑන්ඩ් නේම් අස්සට ගේන්න
තතනන මොහොතක
හිතයි ඩිංගක්
මිදී ඒ වියවුලෙන්
එපිට ගොස් හැරී බලන්නට
ආයෙමත්

දුටු, විඳි, කල නිර්මාණ සියල්ලම
අච්චු අස්සට ගෙන
නාමකරණය කොට
කැටගරි කරවා
ඩේටා බේස් වලට දමා
ඒ ‍ඒ දේ වලට කැමති
ඒ ඒ අයට
ඕනැ ඕනැ හැටියට
මුදා හරියි එකින් එක
යටින් ඇඩ් එක්ක...
'හායි මෙයාලා...
ඔන්න මම ඔයාල ආසම සින්දුව ගෙනාවා...'

ඒ අස්සේ
දකින අමුතු යමක් ගැන
වෙර යොදා හොයා බලා
එය විංසයෝජනය කොට
කෑලි වලට කඩා
කෑලි ගානට ගෙවා
පෙර සැදූ අච්චු අස්සට ඔබයි
"අහා මෙය මේකකි
අර අරකකි
ඔය ඕකය
ඔය ඔක්කොම මේකය"

ජීවිතය ස්ටෑන්ඩඩ් කරවා
කන බොන දකින විඳින
සියළු විලාසයන්ට
සෑදූ ආකෘතියෙන් පිට
පවත්නට නොහැකි වන
එක බින්දුවේ සිස්ටම් හැදෙන
වර්තමානය මෙයයි
අතීතයේදීත් මතකයි
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම
කැටගරයිස් කර
නූතන ගිරවුන්ට ගණින්නට
ගණන් ගැන අන් උන්ට බනින්නට
නාහන උන් නසන්නට
මරා ඇනිවසරියෙදි මස් බුදින්නට
නොදෙඩූ මහා දාර්ශනිකයා
අද වගේම අපූරුයි

එවිට එක මොහොතක
ඔය කියන ආකෘති
තූ තූ කොටපියා හැර
අමුවෙන් ලොවට විවරව
ඵල දරන බිජුවට ගෙන
"මෙය ලෙඩක් මෙය ලෙඩක්
කලින් අපි දැකල නෑ"
වාද බයිලා ගයා
ඒ නවමු බිජුවටම
තූ තූ කොටපියන
පොලිස් ජීවිත

ඒ අස්සේ
කඳු ගල් හෙල් අතර
අනන්ත හැඩ මවා
ගලා යන ගංගාව ගැන...
නොගිණෙන නා නා විසිතුරෙන්
දෑස් අයස්කාන්ත කරවන
වලා පෙල ගැටෙන සිඳු තරඟ ගැන...
සෙකන්ඩ් මොහොතක සිනාසී
මිලි සෙකන්ඩුවෙන් පුෂ්පාග්නිතව
නැවත ප්‍රේමීව උරේ හිස තබන ඇය ගැන...
මතවාද අස්සට ඔබන්නට වෙර දරා
එක ලෙස තබන්නට වෙහෙසුනද
එක ලෙස නොම ගලන
අනන්ත ක්ෂුද්‍ර කම්පනැති ජීවිත ගැන...

ලියන්නට වෙන කවියට විතරක්
මොකටද එක විධියක හැඩයක්?


2011-06-12

Friday 10 June 2011

කිං හන්තර් | ලංකාව ඇතුලෙදි ගොඩයන්න නම්!


ඔන්න ඉතිං අවුරුද්දකට වඩා කාලයක් එනකල් පෙරුම් පුරපු කිං හන්තර් චිත්‍රපටිය බලාගන්න මට අවස්ථාවක් ආවා. හොඳට හිතට වැදුන නිසාම මේ කියන්න යන්නෙ ඒ ගැනයි. මේක විචාරයක් නම් නෙවෙයි. විචාරය කරන්න තරම් චිත්තරපටි ගැන දැණුමක් මට නෑ. මම මේ ලියන්න යන්නෙ මට දැණුන හිතුන දේවල් ටිකක් විතරයි.

සාමාන්‍යයෙන් ලංකාවෙ සාම්ප්‍රදායික විකට චිත්‍රපටි ගොඩක් ඒකාකාරියි. බන්දු ටෙනී යුවල එකම ආකාරයේ විකට සිනමා ප්‍රභේදයක් බිහි වෙන්න දායක වීමත් එක්ක විකට සිනමාව කියන එක නිරස වෙන්න ගත්ත. බන්දු සහ ටෙනී මම කැමතිම විකට නළුවන් දෙදෙනෙක්. නමුත් එකම හොද්ද හැමදාම කද්දි හරි යන්නෑ වගේ ඒ දෙන්නගෙ සිනමාව තව දුරටත් විකටද කියන එක මට ප්‍රශ්ණයක්.

කොහොම වුණත් ගිරිරාජ්ගෙ 'සිකුරු හතෙන්' ඒ විකට සිනමාවේ මාවත සහමුලින්ම වෙනස් කලා. සිකුරු හත හොඳට රස විඳලා ඉද්දි කිං හන්තර් ගැන අහන්න ලැබුණම සතුට ඉහවහ ගියේ කිං හන්තර් අධ්‍යක්ෂ ජයප්‍රකාර් සිවගුරුනාදන් මහත්මය අධ්‍යක්ෂණය කරපු එතුමා, මෙතුමා (?) වගේ විහිළු ටෙලි නාට්‍ය හොඳම මට්ටමේ විහිළු නාට්‍ය නිසයි. කොහොමින් කොහොමින් හරි කිං හන්තර් බලන්න අවස්ථාව ලැබුණා කියමුකෝ.

චිත්‍රපටියෙ කතාවෙ සරලව ගත්තම ඇති දෙයක් නැති තරම්. සාමාන්‍ය මනුස්සයෙක් ලොක්කෙක් වෙන්න දෙන උත්සාහයක් ගැන චිත්‍රපටියක් කියල සරලව කියන්න පුළුවන්. ඒත් කතාව කොමඩියක් වෙන්න ඕන නිසා අතීතයේ හිටපු රජකෙනෙක්ගෙ කතාවක් සෙට් කරගෙන තියෙනවා. ඇත්තටම ඔරිජිනල් රජා වෙනුවට ඉන්නෙ ඩුප්ලිකේට් රජෙක්. අතීතයේ ඉඳන් වර්තමානයට එන ඩුප්ලිකේට් රජා වර්තමානය, එහෙම නැත්තං විපරිත ලෝකයෙ අභියෝග අතරින් තමන්ගෙ රජවීමේ සිහිනය සැබෑ කරගන්න දෙන ගේම් තමයි චිත්‍රපටියෙ කතා‍ව විධියට තියෙන්නේ.

මුළු සිනමා පටය පුරාම අපිව ඒකට අල්ලල රඳවගන්නෙ විජය නන්දසිරිගෙ රඟපෑම කියන එක අනිවාර්යයක්. ඔහුගේ නිරායාසාත්මක වචන උච්ඡාරණය එක්ක හැඟීම් නිරූපණයෙන් අදාල මූඩ් එක හරියටම එලියට දෙන එක තමයි ෆිල්ම් එකේ ප්‍රධාන සාධකය කියල මට හිතෙන්නෙ. සිකුරු හතේ චිත්‍රපටියෙ මංගල ජය කපු මහත්තයගෙ චරිතයෙදිත් ඒක හොඳටම පේන්න තිබුණා. කොහොම වුණත් විජයගේ රඟපෑමට චිත්‍රපටියෙ තිර පිටපතේ ලිහිල් බවත් ලොකු දෙයක් එක් කරන්න ඇති. ඒ එක්කම ජයප්‍රකාශ්ගෙ අධ්‍යක්ෂණය යටතේ රඟපාල විජය හොඳට පොලිෂ් වෙලා තිබීමත් බලපාන්න ඇති. කොහොම හරි විජය නන්දසිරි බොහොම නිදහසේ ඒ චරිතය තුල ඉන්නව කියල කියන්න පුළුවන්.

ඔහුට සහය දෙන නළු නිලියො සෙට් එකත් එහෙමයි. මහේන්ද්‍ර පෙරේරා හැමවෙලේම වගේ මහන්සි නොවී තමන්ගෙ චරිතය රඟපෑවා. ඔහුගේ චරිතයේ ඒ තරම්ම ‍අළුත් බවක් මට දැණුනෙ නැතත් ඔහු සහ විජය අතර දෙබස් වලදි ඔවුන් දෙන්නම අපිව හොඳට හිනස්සවනවා. ඒ එක්කම අනර්කලීගෙනුත් ඒ චරිතයට හොඳටම සාධාරණයක් වෙනවා. ජනිත් වික්‍රමගේ රඟපාන පුංචි චරිතය තුලත් ඔහු ඒක ගොඩක් ස්වභාවිකව කරනවයි කියල මට හිතුණ.

හැබැයි විජය නන්දසිරිට අමතර නළු නිලියන්ගෙ රඟපෑම් වලින් මට හොඳටම වැදුනෙ කුමාර තිරිමාදුරගෙ රඟපෑම. ජනතාවට හිනා වෙන ගමන් ජනතාවට ඇඬෙන්න සලකන, තමන්ව ප්‍රමෝට් කරගන්න එක එක සෙල්ලම් දාන සාමාන්‍ය ලාංකික දේශපාලකයගෙ චරිතය ඔහු හොඳට වැදෙන්න නිරූපණය කරනවා. ඔහුගේ රඟපෑමට අපූරු සහයක් දෙන්නෙ ගිරිරාජ් කෞෂල්‍ය. ඇමති‍වරු සම්බන්ධ චරිත වල රඟපාලා ඔහුටත් හොඳ පුහුණුවක් තියෙන නිසා මේ චරිතයෙදි ඔහුත් විශිෂ්ඨ විධියට රඟපානවා කියල මට හිතෙනවා.

චිත්‍රපටියෙ සංගීතයෙත් මට කියන්න තරම් වරදක් පේන්න නෑ. මහේෂ් දෙනිපිටියගෙ නිර්මාණ වැඩිය නැති නිසා ඒකට ‍+1 එකක් දෙන්නම වෙනව. මොනව වුණත් හිනායන්නෙ නැති තැන් වලදි ඔය අමතු මියුසිකල් සද්ද දාල අපිව හිනස්සවන්න යෑමේ විකට චිත්‍රපටිවල පොදු කතන්දරේනම් එහෙම්මම තියෙනව තමයි.

චිත්‍රපටියෙ සින්දු 3ක් තියෙනවා. ඒ තුනම හොඳයි අවස්ථාව අනුව. ගයාන් පෙරේරගෙ කටහඬ චිත්‍රපටි එක්ක යන්නෙ නෑ වගේ ගතියක් තේරුණා. උරේෂා එක්ක නලින් පෙරේරගෙ සින්දුව ශේප්. ඒත් චිත්‍රපටියෙ අන්තිමට තිබුණ සුනිල් පෙරේරගෙ සින්දුව නම් පට්ට කියල කියන්න පුළුවන්. ඒ සින්දුවට රූප රචනා කිරිල්ලත් නියමයි.

චිත්‍රපටියෙ සිදුවීම් අතර සම්බන්ධය ගොඩනගන විධියත් සෑහෙන්න හොඳයි. සාමාන්‍යයෙන් ලංකාවෙ ගොඩක් විකට චිත්‍රපටි වගේම වෙන වර්ගවල චිත්‍රපටි වලත් තර්කය නැති වෙන තැන් ගොඩක් තියෙනවනේ. ඒකෙදි නරඹන්නා අතරමං වෙනව මේක කොහොමද මෙහෙම වුණේ කියල. ඒත් ඒ අඩුපාඩු මේකෙදි ගොඩක් දුරට පේන්න නෑ. නැත්තං මට පෙණුනෙ නෑ. හැබැයි රිමෝට් එක උඩ ඉඳගත්තම සෙටප් එක වැඩ කරන එක සහ නැගිට්ටම සෙටප් එක නවතින එක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෙ නෑ. කො‍හොම වුනත් චිත්‍රපටිය සැලකිය යුතු මට්ටමින් ලොජිකල්! ඒ වගේම අන්තිම වෙනකල් රැඳිල ඉන්න පුළුවන් විධියට කතාව ගලාගෙන යනව. ඒකට ඉතිං සංස්කරණයේ සාර්ථකත්වයත් බලපාල ඇති. කොහොමින් හරි සාමාන්‍යයෙන් අපේ ගමේ චිත්‍රපටි ශාලාවෙ මට මතක ඇති කාලෙක හිටපු සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් මුල ඉඳන් අග වෙනකල් හොඳට හිනා වුණා.

කලින් කිව්ව ලොජිකල් ගතිය නැති වෙන තැන් නැත්තෙමත් නෑ. උදාහරණෙකට රජාගේ දැණුම ගැන කියන්න පුළුවන්. වර්තමානයට ඇවිත් කරකවල අතෑරිය වගේ ඉන්න සෙට් වෙන රජතුමා සමහරක් දේවල් ගැන ඉක්මනටම ඉගෙනගන්නව වුණාට සමහර වෙලාවට සමහර දේවල් ගැන නොදැනුවත්. ඒක එහෙම වෙන එක අවුලක් වගේ පෙණුනා. ඒ වගේම බයික් එකේ බ්රේක් අල්ලන්න නොදන්න නිසා කඩාගෙන ගිහින් ඇමතිතුමාව බේරගන්න සෙට් වුණාට ඒ වෙලාවෙ රූපරාමුවෙත් හොඳට පේනවා රජතුමා බයිසිකලේ බ්රේක් අල්ලගෙන යනවා. ඒත් ඒක එකපාරම පේන දෙයක් නොවෙන නිසා හිනාවෙන්න ඒක බාධාවක් වෙන්නෙ නෑ.

ඒ වගේම මෝඩ ජෝක් ටිකකුත් තිබුණට සාමාන්‍යයෙන් ඔය ෆාස්ට් ෆෝවඩ් කරන එක වගේ පරණ ජෝක් නම් නැති එක ලොකු දෙයක්. ඉස්සර මට මතකයි ඔය ෆාස්ට් ෆෝවඩ් කරල නළුවො දෙගුණයක වේගෙන් එහෙ මෙහෙ දුවද්දිත් මිනිස්සු හිනා වෙනවා. දැනුත් එහෙම හිනා වෙන අය ඉන්නව වෙන්න ඕන. කොහොම වුනත් එහෙම අවුල් ජෝක්නම් ඒ තරම් තිබුණෙ නෑ.

මේ චිත්‍රපටියෙ පිටපත සංවර්ධිත එකක් කියල ජයප්‍රකාශ් කියල තිබුණට තව ටිකක් සංවර්ධනය කරන්න තිබුණා කියල මට හිතෙනව. උදාහරණෙකට ගත්තොත් මේකෙ මේ රජා අතීතෙන් ඇවිත් වර්තමානයේ විපරිත ලෝකෙත් එක්ක ගැටෙන තැන් කීපයක්වත් යොදල තවත් හාස්‍යය මතු කරන්න තිබුණ. ඒකෙදි මට මතක් වෙන්නෙ Borat චිත්‍රපටිය. කසකස්ථානෙ ඉඳන් ඇමරිකාවට යන ජනමාධ්‍යවේදියෙක් ඇමරිකාවෙදි ඔහුට ආගන්තුක වෙන දේවල් එක්ක ගනු දෙනු කරන විධිය බොහොම හාස්‍යජනක විධියට ඒ චිත්‍රපටියෙදි පෙන්නනව. ඒ වගේ අවස්ථා ටිකක් කිං හන්තර්ගෙ චරිතයටත් එකතු කරන්න තිබුණා තවත්. මොකද කිං හන්තර්ගෙ කතාව අභව්‍ය කතාවක්. මවපු කතාවක්. ඔහු වර්තමාන ලෝකෙ ගැන කිසි දෙයක් නොදන්න නිසාම ඔහුට ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතිං ඒ අභව්‍ය ගතියෙන් තව වැඩ ගන්න තිබුණා. ඒ එක්කම ඔය අපි අහල තියෙන විහිළුවක් දෙකක් චිත්‍රපටියට යොදාගත්තට අවුලක් නැති වෙන්න තිබුණා. හරියට 3 Idiots එකේදි යාළුවො තුන් දෙනා විභාග උත්තර පත්‍ර කළවම් කරපු අවස්ථාව, නැත්තං ඉන්ඩක්ෂන් මෝටරේ ස්ටාට් කරපු අවස්ථාව වගේ. ඒව අපි කලින් ඊ මේල් වලින්, පත්තර වලින් කියවපු ජනප්‍රිය විහිළු කතානේ... ඒ වගේ දෙක තුනක්වත් කිං හන්තර්ටත් රිංගවන්න තිබුණා නම් හානියක් නෑ...

කොහොම හරි අන්තිමේ කිං හන්තර් අපිට දෙන පණිවුඩය තමයි ලංකාවෙ තැනකට එන්න නම් මරිසියෙක් එහෙම නැත්තං චිත්‍රපටියෙ වචන වලින්ම ගඩ්ඩෙක් වෙන්න ඕන කියන එක. සමහර විට අපිත් ගොඩක් එහෙම වෙලා හෝ වෙමින් ඉන්න නිසා ඒක දැනගන්න කිං හන්තර් බලන්නම ඕන වෙන්නෙ නැති වෙන්න පුළුවන්.

ඒ වුණත් ඉතිං මම කියන්නෙ හිනාවෙන්න කැමති ඕනම කෙනෙක් බලන්න වටින චිත්‍රපටියක් තමයි කිං හන්තර්. ඒ තරම් දෙයක් නෑ වගේ පේන්න පුළුවන් වුණාට තියෙන ටික ලංකාව ඇතුලෙ සිරා වැඩක් කියල තමයි කියන්න තියෙන්නේ.

එහෙනම් ගිහින් බලන්න. ඇවිත් අපටත් කියන්න :D

මේ තියෙන්නෙ ට්‍රේලර් එක. ස්ක්‍රීන් කැප්චර් එකක්. නිෂ්පාදක ධම්මික සිරිවර්ධන ඔන්ලයින් පබ්ලිසිටි ගැන ඒ තරම්ම උනන්දුවක් නෑ වගේ...


අනුග්‍රහය jwickramage

මෙන්න මේ තැන් වලත් කිං හන්තර් ගැන ලියවෙලා තියෙනවා. උවමනා කෙනෙක් ගිහින් බැලුවට පාඩු නෑ...

  • Facebook - කිං හන්තර් ඔයාල ආසම තැනක.
  • දිවයින - කිං හන්තර් ගැන.
  • සිළුමිණ - ජයප්‍රකාශ් සිවගුරුනාදන් සමග.
  • දිනමිණ - වෙනස් වචන වලින් කලින් කතාවම.
  • සරසවිය - මේකෙ ටිකක් පහලට ස්ක්‍රෝල් කරල බලන්න.

Tuesday 7 June 2011

ඔළුව උඩ පොතක්!


ඔළුව උඩ පොතක් තියාගෙන හැමෝටම බැණ බැණ ඇවිදපු මිනිහෙක් හිටියා.

ඒ පොතේ තිබුණෙ ජීවත් වෙන විධියලු.

අවුරුදු ගාණකට කලින් කවුදෝ පඬිවරයෙක් ලියපු පොතක්ලු.

අර මිනිහට ඒක දෙමව්පිය උරුමයෙන් හමුවුණ එකක්... පුංචි කාලෙදිමයි මිනිහ ඒක ඔළුව උඩ තියාගත්තෙ. හරි හැටි දැණුමක් නැති කාලෙදිම ඒකෙ තියෙන දේවල් කියවල පුදුම වෙලා, වික්ෂිප්ත වෙලා, සලිත වෙලා, වෙලිල, මුකුලිත වෙලා, භක්තිමත් වෙලා අන්තිමේ මිනිහ ඒක එයාගෙ පරමාදර්ශය කරගෙන...

දැන් එයා හිතන්නෙ මිනිස්සු හැමෝම ඒක අනුව ඉන්න ඕන කියලයි.

මිනිහ පොත ඔළුව උඩ තියාගෙන හැම තැනම යනව. මිනිස්සු දිහා ඇස් දෙකින්, මොළයෙන් බලනව වෙනුවට මිනිහ අනිත් මිනිස්සු දිහා බැලුවෙම පොත අනුව! ඉතිං දකින හැම මනුස්සයගෙම මොකක් හරි අල්ල ගෙන මිනිහ වැරදි කියවනව.

පඬිවරයෙක් ලියපු පොතක් ළඟ තියෙන නිසා මිනිහට මුකුත් නොකියා ගොඩක් අය එහෙයි කිව්වා.

ඒත් කිසි දෙයක් කණටනම් ගත්තෙ නෑ කවුරුත්...

හැමෝම මිනිහ එද්දි පේන්න ඔළුව නැමුවට මිනිහ ගිය ගමන් දුන්නක් වගේ ඔළුව ඉස්සුවා.

ඒත් පොත ඔළුවෙ තියාගත්තු මිනිහ හිතාගෙන හිටියෙ තමන් මාර වීරයෙක් කියල...

මැරෙණකල්ම පොත තිබුණ මිනිහගෙ ඔළුව උඩ...

මිනිහ ඒක කවදාවත් හරියට කියෙව්වෙ නැද්ද මන්දා...

කොහොම වුණත් මිනිහගෙන් පස්සෙ ඒ පොත එයාගෙ දරුවෙක්ට උරුම වුණා.

දරුවත් ගත්තගමන් පොත තියාගත්තෙ එයාගෙ ඔළුව උඩ!

Sunday 5 June 2011

කැත නළුවෙක් එක්ක දිග...... ටෙක් කතාවක්!




සුරින්දර් සේරම අතෑරල දාල හිටියත් චිත්‍රපටි බැලිල්ල නතර කලේ නෑ. හැමදාම රෑ එක දෙක වෙනකල් චිත්‍රපටියක් දෙකක් බලල මිස සුරින්දර්ට නිදාගන්න බැරි වුණා. රඟපාන්න තිබුණ සුළු අවස්ථාවත් නැත්තටම නැතිවෙලා නිසා චිත්‍රපටි වින්දනයෙන් උපරිම තෘප්තියක් ලබන්නයි ඔහුට උවමනා වුණේ.

සුරින්දර් මුම්බායි නගරයේ නළුකම් හොයාගෙන ආවෙ බැංග්ලෝරයේ කරමින් හිටපු පරිගණක ඉන්ජිනේරු රස්සාව අතෑරලා. ඒ නළුවෙක් වෙන්න තිබුණ ආසාව හින්දමයි. ඒ ආයතනය ඔහුගෙ ඥාතියෙක්ගෙ වීම නිසා ආයෙ වතාවක් එතන රස්සාව ගන්න අමාරු නැති වග ඔහු දැනගෙන හිටියා. දන්න අඳුරණ යාළුවො එක්ක නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ගණනාවක් පස්සෙ අවුරුදු කීපයක්ම ඇවිද්දත් සුරින්දර්ගෙ රළු පෙනුම මොනම චරිතයකටවත් ගැලපුනේ නෑ. යාන්තම් අඬල දොඩල ලැබුණු සුළු චරිතයත් කරන්න බැරි වුණේ සුරින්දර්ට සිද්ධ වුණ හදිසි අනතුර නිසා. නොහිතපු වෙලාවක ලිස්සල වැටුණු වෙලේ මේස රෙද්ද පැටලිලා උණු වතුර පෝච්චිය බිමට වැටුණෙ උණු වතුර සුරින්දර්ගෙ කම්මුලේ තවරමින්. වතුර ගලාගෙන ගියේ කවදාවත් හොඳ කරන්න බැරි රුදුරු කැළලක් සුරින්දර්ගෙ දකුණු කම්මුලේ ඉතිරි කරමින්. සැත්කම් කීපයකින් පස්සෙ ආරෝග්‍ය ශාලාවේ ගෙවුණ සතී කීපය තුල සුරින්දර්ගෙ හිතේ ඉතිරි වෙලා තිබුණ නළුකම් බලාපොරොත්තු ටිකත් දියවෙල ගියා.

ඒ අවුරුදු එකහමාරකට කලින්. නොදැනුවත්වම තමන්ගෙ චිත්‍රපටි හීනය වෙනුවෙන් සුරින්දර් ජීවිතේ අවුරුදු කීපයක්ම වැය කරල තිබුණ.

ඔහුට යාන්තමින් අදහසක් පහල වුණේ හ‍යවෙනි වතාවටත් ලගේ රහෝ මුන්නා භායි බලද්දි. සුරින්දර් ඒ චිත්‍රපටියට අතිශයින් ප්‍රිය කලත් ඔහුට කවදාවත් ඒ චිත්‍රපටිය තමන්ගෙ පෙම්වතියට පෙන්නගන්න බැරි වුණා. ඔහු චිත්‍රපටිය ගැන ගුණ උපරිමයෙන් වර්ණනා කලත් පෙම්වතිය ඒ කිසි දෙයක් කණකට ගත්තෙ නෑ. ඇයට තිබුණ එකම හේතුව වුණේ ඇය සන්ජේ දත්ට අකමැති වීම. ඒ නිසාම ඇය සන්ජේ රඟපාන කිසිම චිත්‍රපටියක් බැලුවෙ නෑ.

සුරින්දර් කල්පනා කලා...

ඇයි හැමදාම එකම අය රඟපාන චිත්‍රපටි බලන්නෙ? රඟපාන නළු නිලියො වෙනුවට අපට කැමති කෙනෙක්ව ආදේශ කරගන්න විධියක් නැද්ද?

ඔහු හිතුවා...

සුරින්දර්ගෙ අනාගතේම වෙනස් කරපු අදහස ඔහුට ආවෙ එතනදි.

ඔහු ආයෙම සියල්ල දමල ගහල බැංග්ලෝරයට ගියේ ඒ අදහස ක්‍රියාත්මක කරවන්න.

ඊට පස්සෙ ඔහු තමන්ගෙ අදහස ක්‍රියාත්මක කරවන්න පුළුවන් පද්ධතියක් සැලසුම් කලා.

දැනටත් චිත්‍රපටි වලදි යොදාගන්න motion capture ක්‍රමවේදයම සෑහෙන්න දියුණු කරන්නයි සුරින්දර් සැලසුම් කලේ. මේ ක්‍රමයෙදි නළුවෙක් අවශ්‍ය වුණේ අවශ්‍ය චලනයන් ලබාගන්න විතරයි. සියළුම රඟපෑම් සිදු කලේ ත්‍රිමාණ අංකිත අවකාශයක. ඒ දත්ත සියල්ල අවශ්‍ය පරිදි සංශෝධනය කරලා ගබඩා කලා. ඒ ඒ නළුවන් වෙනුවෙන් නිමැවුණ ත්‍රිමාන චරිත තමයි අවසාන රංගනයෙ හිටියෙ. ඒ ඒ අවස්ථා වලදි තිබුණ හැඩ ගැන්වීම්, හැඟීම් නිරූපනයන්, ඇඳුම්, ආලෝකය වගේ වෙනස් වෙන සාධකත් වෙනම ගබඩා වුණා. වෙනම tracks වල!

සුරින්දර් සැලසුම් කලේ ඔහුගේ ක්‍රමය චිත්‍රපටි ශාලාවලට පාවිච්චි කරන්න නෙවෙයි. ඔහු ඉලක්ක කලේ නිවාස සිනමා පද්ධති. ඔහු ගබඩා මාධ්‍යය විධියට පාවිච්චි කරන්න හිතුවෙ blue-ray තැටි හෝ HD-DVD තැටි. සිනමා ශාලාවලට චිත්‍රපටියෙ සාමාන්‍ය පිටපතක් සකස් වුණා.

සුරින්දර්ගෙ අදහස වුණේ ඕනෑම කෙනෙක්ව චිත්‍රපටියෙ නළුවෙක්ට ආදේශ කරගැනීමේ අවස්ථාවක් දෙන්නයි. චිත්‍රපටියෙ චරිත වල රඟපෑම් අංකිතව ගබඩා වෙලා තිබුණ නිසා වෙනත් ඕනම කෙනෙක්ගෙ මුහුණේ ත්‍රිමාණ සැකසුමක් චිත්‍රපටියෙ නළුවෙක්ගෙ මුහුණට ආදේශ කරගන්න පුළුවන් වුණා. උවමනා වුණේ කෙනෙක්ගෙ මුහුණෙ ත්‍රිමාණ අංකිත පිටපතක් විතරයි. ඒ පිටපත නිපදවගන්න මෘදුකාංගයක් ඔහුට ලේසියෙන් හදාගන්න පුළුවන් වුණා. අමතර දෙයක් විධියට අවශ්‍ය වුණේ පරිගණකයකට සවි කරපු කැමරාවක් විතරයි.

ඔහුම ඔහුගේ පද්ධතිය මුල් වතාවට පරීක්ෂා කලා.

තමන්ගෙ ලැප්ටොප් එක ඉදිරියේ ඔහු ඉඳගත්තා. ඒකෙ තිබුණ වෙබ් කැම් එකෙන් ඔහුගේ මුහුණේ ඉදිරිපස සහ පැති පෙනුමෙ පින්තූර ගත්තා. ඒ පින්තූර දෙක මෘදුකාංගයට ලබාදුන්නම මෘදුකාංගයෙන් ඔහුගෙ මුහුණෙ ත්‍රිමාණ ආකෘතියක් හැදුවා.

ඊට පස්සෙ ඔහු චිත්‍රපටියට චරිත ආදේශ කරන්න හදපු මෘදුකාංගය විවෘත කලා. ඒකෙ ඒ වෙද්දිත් පරීක්ෂණ සඳහා නිපදවුණ ඔහුගෙ චිත්‍රපටිය ප්‍රවේශනය කරල තිබුණා. ඔහුට තිබුණෙ ඒකෙ ඕනෑම චරිතයක් තෝරන්න. ඊට පස්සෙ ඔහු ඒ චරිතයේ පෙනුම වෙනුවට තමන්ගෙ ස්වරූපය ආදේශ කරගන්න කියල විධානයක් දුන්නා. එතනදි ඔහුගෙ ත්‍රිමාණ මුහුණු අනුරුව චිත්‍රපටියෙ චරිතයට ආදේශ වුණා. ඒ ඒ අවස්ථාව අනුව ගබඩා වෙලා තිබුණ රඟපෑම්, හැඟීම්, වෙස් ගැන්වීම් වගේ දේවල් චරිතයට එකතු වුණා.

කල යුතු වුණේ එපමණයි. චිත්‍රපටිය ධාවනයට අණ දුන්නට පස්සෙ ටික වෙලාවකින් සුරින්දර් චිත්‍රපටියේ රඟමින් හිටියා. සැබෑ නළුවෙක් වගේම.

චිත්‍රපටිය render වුණේ තථ්‍ය කාල හෙවත් real time ක්‍රමයට. පුංචි pre buffering ක්‍රමයකුත් තිබුණා. වානිජ වශයෙන් මේ ක්‍රමය හඳුන්වල දෙනකොට ඒ තාක්ෂණික දේවල් ගැන වැඩි අවධානයකින් සලකන්න සුරින්දර් හිතුවා. ඇත්තටම ඔහුට උවමනා වුණේ තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට මේ ක්‍රමයේ පහසුව සලසවන්න.

වසර ගානකට පස්සෙ සුරින්දර් සිනමාව සහ විද්‍යුත් චලන රෑප කලාව අළුත් මාවතකට යොමු කරපු නිර්මාණ ශිල්පියෙක් විධියට ඉහලම ගෞරවයට පාත්‍ර වුණා. තමන්ගෙ නිර්මාණයේ පේටන්ට් අයිතිය ලබාගෙන ඔහුම අදාල තැටි ධාවන යන්ත්‍ර නිපදවන්න පටන් ගත්තා. ඔහුම චිත්‍රපටි නිෂ්පාදකයෙක් වුණා. ඔහුම රඟපෑවා. ඔහුගේ අළුත් චරිත ආදේශන ක්‍රමය ඉක්මනින් මිනිස්සු වැළඳගත්තෙ හැමෝටම නළුවො වෙන්න උවමනාවක් තිබුණ හින්දා සහ ඒක බොත්තම් කීපයක් එබීමෙන් කරගන්න පුළුවන් දෙයක් වෙන තරමට සරල වෙලා තිබුණ නිසයි.

ඇත්තටම සුරින්දර්ගෙ සැලසුම සරල එකක් වුණා. ඔහුගේ වාණිජව නිපදවපු යන්ත්‍රය සාමාන්‍ය blue-ray හෝ HD-DVD ධාවන යන්ත්‍රයක් වගේමයි. ඒකෙ USB සම්බන්ධක කීපයක් තිබුණා. ඒ එක්කම ස්පර්ශ සංවේදී පුංචි වර්ණ තිරයකුත්. චිත්‍රපටිය තිබුණ තැටියෙ render කරපු චිත්‍රපටියෙ මුල් පිටපත වගේම චරිත හැර පසුබිම පමණක් render කරපු පිටපතකුත් තිබුණා. ඒ එක්කම රඟපෑම්, හැඟීම්, චරිත වල ලක්ෂණ, ආලෝකය වගේ වෙනස් වෙන සාධක අඩංගු ගොනු සහ ඒව එකිනෙක සම්බන්ධ කරන විධාන අඩංගු ගොනුත් තැටියෙ තිබුණා. මුල් අවස්ථා වලදි චරිත වෙනස් කරන්න අවස්ථාව ලැබුණෙ ප්‍රධාන චරිත සඳහා විතරයි.

චිත්‍රපටිය බලන මනුස්සයට උවමනා වුණේ අර USB සම්බන්ධකය හරහා කැමරාවක් හෝ flash drive එකක් යන්ත්‍රයට සම්බන්ධ කරලා තමන්ගෙ මුහුණෙ ඉදිරි සහ පැති පෙනුමෙ පින්තූර දෙකක් මෘදුකාංගය වෙත ලබා දෙන එකයි. ඊට පස්සෙ ඒ පින්තූර දෙක පාවිච්චි කරලා යන්ත්‍රය තුල තිබුණ මෘදුකාංග වලින් ස්වයංක්‍රීයව මුහුණේ ත්‍රිමාන අනුරුවක් නිර්මාණය වෙනවා. චිත්‍රපටියෙ අදාල චරිතයකට මේ මුහුණ සම්බන්ධ කලාට පස්සෙ pre rendering වලට තත්පර කීපයක් ඉන්න වෙනවා. ඊට පස්සෙ තමන්ම රඟපාන චිත්‍රපටියක් බලන්න ප්‍රේක්ෂකයට පුළුවන්.

ඊට පස්සෙ සුරින්දර්ට පුළුවන් වුණා නළුවෙක් වීමේ හීනය සැබෑ කරගන්න. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු ඔහුව හොයාගෙන ආවා. මූණෙ පැත්තක ලොකු කැලලක් තියෙන නළුවා විධියට සුරින්දර් ලෝකෙම ජනප්‍රිය වුණා.

Friday 3 June 2011

ගොඩගම එලිමහන් පිරමීඩයේ චිත්‍ර ඇඳිල්ල!


මාතෘකාවෙන්ම වැඩේ අල වෙනව කියල තේරෙණව වුණත් ලියනව ඇර කරන්න දෙයක් නෑ.

දන්නවනෙ ගනේගොඩ අයියව. එයා මේ බ්ලොග් එකේ රැඳිල ඉන්න චරිතයක්. මගේ ජීවිතේ ඇතුලෙත් හැමවෙලේම රැ‍ඳෙන කෙනෙක්. මෙයාගෙ ගෙදර සම්පූර්ණයෙන්ම හදල ඉවර වුණේ මෑතකදි. ඒ කියන්නෙ ආලින්දය විධියට පාවිච්චි කරන්න යොදාගන්න කොටස අළුතින් හැදුවෙ ගෙදර ඉතිරිය සම්පූර්ණ කරලා අවුරුදු 12කට විතර පස්සෙ. හේතුව කම්මැලිකම. එයයි නෝනයි විතරක් ඉද්දි මොකටද ඔය තරම් උජාරුවට ගෙවල් කියල තමයි ගේ නොහදාම හිටියේ.

මේ ආලින්දය කොටසෙ වැඩි යමක් නැති එකම තමයි ගතිය. දකුණු පැත්තෙ තියෙන කොටසෙ උස් බිත්තියක් නෑ. කොට බිත්තියත් එක්ක ඉඳගන්න, නිදාගන්න ඉඩකඩ සහිතව පූර්ණ පහසුකම් තියෙන සිමෙන්ති බංකු කොටසක් තමයි තියෙන්නේ. මේ බංකුවෙ හැඩය අර්ධ වෘත්තාකාරයි. අර්ධ වෘත්ත කොටසෙත් වෘත්ත හැඩය තියෙන්නෙ බාගෙක විතරයි. අනිත් ටික හරියට වෘත්ත චාපයක් කැපුව වගේ තනි බිත්තියකින් වැහිලයි තියෙන්නෙ.

මේක හදල තියෙනව දැක්ක ගමන් මම කිව්වෙ මේක එලිමහන් රංග පීඨයක් වගේ කියල. මොකද මැද තියෙන්නෙ ලොකු ඉඩක්. ඉඳගන්නත් හොඳ තැනක් තියෙනවා. බිත්ති දෙකකින් ඇරුණම අනිත් දෙපැත්තෙන්ම පරිසරයට විවෘතයි.


මෙහෙම හදන්න ඒ දවස්වලම පැලෑනක් තිබිල තියෙනව. මොකද දන්න කාලෙ ඉඳන් ගෙදර ඔය කියන අළුත් කොටසෙ අත්තිවාරම තිබුණෙත් ඔය හැඩේට තමයි. අවසානෙදි කියන්න වෙන්නෙ මේ විධියට මේක හදල තියෙන්නෙ තනිකර සෙට්වීමේ ආතල් එක උදෙසාමයි. ඊට අමතරව අර බංකුව උඩට වෙලා හුළං වැදි වැදී දුමක් එක්ක පොතක් කියවන එක, නැත්තං රස්නෙ දවසක හොඳට දිගෑදිලා දපන එක වගේ ආතල් වලටත් මේක කියාපු පොට් එක කියලයි ගනේ කියන්නේ.

මට සෙට් වුණේ අර තනි බිත්තියෙ චිත්‍රයක් අඳින්න. නිකං නෙවෙයි පිරමීඩ චිත්‍රයක්. අර ඔළුවට වෙස්මූණු දාගෙන අත් පය කොකා මාක් ගහගෙන ඉන්න පිරමීඩ චිත්‍ර. බිත්ති වල ඇඳිල්ල කලින් කරලම නැති වැඩක් වුණාට ගනේ ඉතිං කියන්නෙත් එහෙම වැඩක් විතරයි නිසා මගෙත් තෘප්තිය වෙනුවෙන් ‍වැඩේ කරමු කියල සෙට් වුණා.

මුලින්ම කලේ ජංජාලෙ සැරිසරල ‍අඳින්න තරම් නීට්, පැහැදිලි පින්තූරයක් හොයාගන්න එක. ඒක ඒ තරම් අමාරු වු‍ණේ නෑ. අඩි 4x8 වගේ සයිස් එකකට කරමු කිව්ව නිසා මම ඒ පරිමාණයට අර හොයාගත්තු පින්තූරය එහෙ මෙහෙ කරල හැදුවා. ඊට පස්සෙ ඒකෙ අඟල් බාගෙ කොටු වලින් ග්‍රිඩ් එකක් දැම්මා. ඒ කිව්වෙ බිත්තියට ට්‍රේස් කරගන්න ලේසි වෙන්න පින්තූරෙ පුරා කොටු ගැහුවා. පස්සෙ ඒක ප්‍රින්ට් එකක් ගත්තා.


මේකත් අරන් ගිහින් අදාල පුද්ගලයට පෙන්නුවමයි මිනිහ ඔළුවෙ අතගහගත්තෙ.

"අම්මේ මචෝ මේක උඹ මේ තරම් සිරාවට ගත්තට මෙච්චර ඕන නෑ... අපි මෙන්න මුන් තුන්දෙනා විතරක් අඳිමු."

එහෙම කියලා පොර මට චිත්‍රයෙ කොටසක් පෙන්නුවා. ඊට පස්සෙ අඩි 4x8 ප්‍රමාණයට ඒ කොටස ආයෙත් ස්කේල් කරන්න වුණා.


චිත්‍රයෙ සේරම හදාගත්තට පස්සෙ දෙන්නත් එක්ක මනින ටේප් එකයි ඇළුමිනියම් මට්ටම් ලීයයි එහෙ මෙහෙ කරකවමින් බිත්ති කොටසෙ හරි මැදට වෙන්න අපට ඕන කොටු ටික ඇඳගත්තා. ඒක ඒ තරම් අමාරු වැඩක් වුණේ නෑ. දෙන්නම අති පණ්ඩිතයො වුණ නිසා දෙතුන්පාරක් අල වෙන්න ගිහින් තමයි ෂේප් කරගත්තෙ. :P

ඊට පස්සෙ මම පැන්සලක් අරන් අර කොලේ බලාගෙන ඒකෙ කොටුවෙන් කොටුව බිත්තියට කොපි කරමින් වැඩේ කරන්න පටන්ගත්තා. එතකොට තමයි වැඩේ බරපතලකම තේරුණේ. අර ගයිඩ් එකට ගත්තු කොලේ කොටු හැමතැනම. මුල් වර්ශන් එකේදි මම දාපු කොටු ටිකයි පස්සෙ ස්කේල් වෙනස් කරපු වතාවෙ පැන්සලෙන් ඇඳපු කොටු ටිකයි සේරම ටැපලෙනවා අඳින්න ගියාම. දෙතුන් වතාවක්ම වරද්දගත්තත් මකන කෑල්ලක බාගයක් ගෙවෙනකල් මකල ආයෙත් හරියට ඇඳගත්තා. කොහොමින් හරි අන්තිමේ ඇදක් නැතිව වැඩේ කෙරුණා.


ඊට සති දෙකකට පස්සෙ තමයි මම ආයෙත් ඒ පැත්තෙ යැවුණෙ හරියටම පහුගිය මැයි 30 වෙනිදා. එදා ගනේගොඩ අයියා පින්සල් දෙකක් එක්ක තීන්ත ටිකත් ලෑස්ති කරල තිබුණ. ඊට අමතරව එයා අර චිත්‍රවල ඉරි ඉතිරි කරල අනිත් වැඩක් නැති ඉරි සේරම බිත්තියේ පාට තීන්ත වලින් වහල තිබුණ. ඉතිං මම කෙලවරක ඉඳන් පටන්ගත්ත වැඩේ. අතරින්පතර දුමක් දෙකක් එහෙ මෙහෙ ගියා.


අන්තිමේ final, last අවසාන ප්‍රඩක්ට් එක විධියට කළු දාර සහිත පිරමීඩ චිත්‍ර සම්පූර්ණ වුණා. පාට කරන්නත් මුලින් අදහසක් තිබුණට පස්සෙ හිතුණා පාට කරනවට වඩා නිකංම තියෙන එක හොඳයි කියලා. මදි පාඩුවට ‍‍මෝස්තරයක් දාමු කියලා ෆයිල් කවරෙකින් අච්චුවක් කපාගෙන බෝඩරෙකුත් ගැහුවා යටට වෙන්න. දැන් වැඩේ හරි. හොඳ නෑ වගේනම් ආයෙ ඒ පැත්තෙ ගිය දවසක මට වැඩ තියෙයි.


ඔන්න ඔහොම තමයි ගොඩගම එලිමහන් පිරමීඩයෙ චිත්‍ර ඇඳුණෙ. වැඩේ පොඩි අවුලක් මාට්ටු වුණා පස්සෙ. ඒක ඒ හැටි ගාණකුත් නෑ. ඇහැක්නං හොයාගන්ට! තව ඉතිං බිත්තිවල චිත්‍ර ඇඳිල්ල ගැන ලියන්න හිතාගෙන ඉන්නකොට මකුළු පැංචිත් ඒ ගැන ලියල තිබුණා. ඒකත් බලන්නකෝ.