Wednesday 31 May 2023

චූටි බුබුල


තව තව කුඩා කරමි
මා ආරක්ෂිත බුබුල
හිවලුන් වෘකයන්
සිංහ කෝට් කාරයින්
බූරූ මේස් කාරයින්
පඩ ෂෝ ආගමිකයින්
ආගමික නිරාගමිකයින්
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්
මැදවාසී අන්තවාදීන්
ගොබ්බ සමාජවාදීන්
හිඟන ධනවාදීන්
හැත්ත බුරුත්තම
පන්නා තනි වෙමි
චූටි බුබුල තුල
අහුමුළු අස්සෙන්
ජීවිතය සොයාගමි



2023-05-29

Monday 29 May 2023

තරිඳු ශ්‍රී ලොකුගමගේ ගේ ජීවිතයේ ඔයිල් පැල්ලම් - පොත ගැන අදහස්

 

ජීවිතයේ ඔයිල් පැල්ලම් කෘතිය ගැන ඒක ආපු කාලෙ සහ සම්මානයට නිර්දේශ වුණ කාලෙ කතාබහක් ඇතිවුණා මතකයි. පොත් සම්බන්ධයෙන් මට සමාන රහක් තියෙනවයි කියල හිතන යාළුවො කීප දෙනෙකුත් ඒ ගැන කියල තිබුණා. හැබැයි කියෙව්වෙ අවුරුදු ගාණකට පස්සෙ.

වැඩට යන එන ගමන් බස් එකේදි දවස් දෙකකදි පැය හතර පහක් ඇතුළත එක හුස්මට කියවගෙන ගියේ සෑහෙන කාලෙකින් ඒ විදියට කියවපු පොත බව මතක් කරමින්.

මම හිතන්නෙ දිනේෂ් කොළඹගේ ලියපු 'සුළඟ වගේ ඇවිදින්' පොතට පස්සෙ ඒ ආරේ ලිවිල්ලක් අහුවුණ පළවෙනි වතාව. පොතේ ප්‍රධාන චරිතය දිනේෂ් කෙනෙක් වීම අහම්බයක් නෙවෙයිද මන්දා.

ලංකාවෙ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ මෙහෙම මිනිස්සු. ගේම් කාරයෝ. ගේම් කාරයෙක් කියල මනුස්සයෙක් නාමකරණය වුණාම ඒක හෙණ ආඩම්බරයක්. ගේම් කාරයො අස්සෙන් රිංගලා යන්න පුළුවන් පොරක් වෙන එක හැමෝගෙම හීනයක්. කූඹියෝ වගේ ගේම්කාර ටෙලියක් ලංකාවෙ හිට් වෙන්නෙත් මේ ගතිය නිසා. ඒ නිසාම ලංකාවෙ පිරිමින්ට විශේෂයෙන් කතාව සෙට් වෙනවා.

තරිඳු යොදාගන්න උපමා මොඩර්න්. ඒක වෙනම සාහිත්‍යයක්. අළුත් සාහිත්‍යයක්. එක විදියකට පොත ඉතිහාසයෙන් ගැලවෙන්නෙ ඒකෙන්. ඒක පොතටම අනන්‍ය එකක්. එහෙම ඒවා දෙකක් නෑ. ඒ ගතිය 'සුළඟ වගේ ඇවිදින්' එකෙත් තිබුණා.

පොතේ එක ශුද්ධ චරිතයක්වත් දුෂ්ට චරිතයක්වත් නෑ. හැම කිල්ලෝටෙම හුණු තියෙන අළු පාට චරිත ගොඩක්. ගෑනු පිරිමි හුටපට, ළමා අපචාර, මරිසිකම්, මැරකම්, හොරකම්, බේබදුකම් සේරම එකට බ්ලෙන්ඩ් වෙලා. ඒ චරිත සහ සිදුවීම් අස්සෙ හැරි හැරී බම්ප් වෙවී අපි කියවගෙන යන්නෙ හරියට වාහනයක ගමනක් යනවා වගේ තමයි.

ලිවීම කියන්නෙ කොයි තරම් අභියෝගාත්මක දෙයක්ද කියලා දන්නෙ ලියන මිනිස්සු. එහෙම එකේ තව මනුස්සයෙක්ට එපා නොවී එක දිගට කියවන්න පුළුවන් විදියට ලියන්න පුළුවන් කියන්නෙ ඒක මාර වැඩක්. තරිඳුගේ ඊළඟ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්න ඕන ඒකයි.

Friday 26 May 2023

අම්මගෙ රොටිය

 


 

අම්මා රොටි හදද්දි
පැටි කාලෙදි ඉල්ලුවා මතකයි
අම්මා හීනි රොටියක් ඕන
කර කර ගාල හැපෙන්න
අම්මා කොහොම හරි
රොටියක් හදල දුන්නත්
සමහර වෙලාවට හිතපු තරම්
ඒක තුනී නැතිවෙනකොට
හිත නොරොක් වුණත් මතකයි

අද ඉඳහිට පවුලට
ගෑස් ලිපේ රොටී හදනකොට
තේරෙනවා අමාරුව
අඟුරු නොවී අමුත් නැතිව ගාණට
රොටි තුනී කරල පුච්චන
මතක් වෙනව අම්මව
අකීකරු ගින්දර එක්ක
දර ලිපේ රොටි පුච්චපු
හිත කඩා වැටෙනවා එතකොට

පවුලේ අය රොටි දෙක තුන
හරිම රහයි කියා කනකොට
හිත යටින් නැගෙන සතුටට
දැනෙනවා අම්මාත් හවුල් බව
අම්මා හදන විදියටම
ඒ රහටම සුවඳටම
රොටිය පිච්චිලා එනකොට
හිත පිරී සැනසෙන්නෙම
මතක් වෙලා අම්මාව

2023-05-21