Thursday 2 December 2010

පහු වුණ මොහොතක...

මම තනියම

මමයි පෙම්වතියයි

මමයි පවුලෙ උදවියයි

මමයි යාළුවොයි

මමයි සමාජයයි

Friday 26 November 2010

ස්ත්‍රීන් නැති හෙටක්!


අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරල, පෙම්වතුන්ව පන්නල දාල, අම්මලට සාරි අන්දල, අක්කලට ඔසරි අන්දල, නංගිලට ළමා සාරි අන්දල, අබිසරුලියන් කූඩුවල දාල රටම සුද්ද කලත් කාන්තාවන්ට තිබුණ ලිංගික බලහත්කාරකමේ ප්‍රශ්ණ නැවතුණේ නෑ...

සංස්කෘතියයි, සභ්‍යත්වයයි, දේශීයත්වයයි, අපේකමයි, සිංහලකමයි, දෙමළකමයි, මුස්ලිම්කමයි, වෙස්ටන්කමයි අරවයි මේවයි මොකකවත් වෙනසක් වුණෙත් නෑ...

පත්තරවල හැමදාම ස්ත්‍රීන්ගේ පතිවෘත්තාව සිඳුණ කතා පල වුණා. සංස්කෘතිය, සභ්‍යත්වය වගේ ඉස්සෙල්ල කියපු සෙට් එකටම කෙලවගත්තු ප්‍රවෘත්ති හැමදාම පල වුණා.

දවසේ වැරැද්ද කොපි කරපු හැම ටීවී චැනල් එකේම දවසේ වැරද්ද කිය කිය පෙන්නන්න කාන්තා ප්‍රශ්ණයකුත් තිබුණා. අදාල නිව්ස් එකට මුල් වුණ කාන්තාවගේ හත්මුතු පරම්පරාවගේම අලගිය මුලගිය තැන් හොයමින් රබර් වෙවී නිව්ස් අයිටම් ගියා. ප්‍රවෘත්ති නිවේදකයො කම්මුල් වල අත් තියාගෙන දුක් වුණා. නිවේදිකාවො හොටු පෙර පෙර ඇඬුවා.

ඔහොම කාලයක් යද්දි කාන්තාවගේ ප්‍රශ්ණය කාන්තාවමයි කියල දොදොල් මූණක් තියෙන ලොක්කෙක් හොයාගත්ත.

ඉක්මනටම ඒක රටේ තියෙන ලොකුම ප්‍රශ්ණය වුණා. ටීවීවලින් ලොකු බඩවල් තිබුණ සුදු රෙද්දයි කෝට් එකයි ඇඳගත්තු පිරිමි හිටු කියලා කාන්තාවන්ට දෙහි කැපුවා. මනස්කාන්ත, අයස්කාන්ත, තරුණ, කඩවසම් නිවේදකවරු තම තමන්ගෙ ගැඹුරු, දාර්ශණික, විධග්ග වචන මාලාව දාල මේ සොයාගැනීමේ හිස්තැන් පිරෙව්වා. මේක ඊළඟ අවුරුද්දෙ නොබෙල් තෑග්ග දෙන්න වටින සොයාගැනීමක් කියල දේශපාලන විචාරකයො උදේ හවා ජප කලා.

අහා!චාර්යවරු, මහාචාර්යවරු, මනෝවිශ්ලේෂකවරු මේ නව සොයාගැනීම මනෝ විද්‍යාත්මකව, රසායන විද්‍යාත්මකව, අභ්‍යවකාශ විද්‍යාත්මකව සහ නිකං විද්‍යාත්මකව, විශ්ලේෂණාත්මකව, පච්චාත් පශ්චාත් නූතනවාදීව, ව්‍යවහාරික ගණිතමයව විග්‍රහ කලා. ‍ජෝතීර්වේදීල කුජ, බුධ, ගුරු, එක්ක ශුක්‍රත් ගාවගෙන මදිපාඩුවට කුයිපර් පටියත් අස්සට දාගෙන මේ නව ප්‍රවණතාවයට ජෝති‍ර්වේදී පැහැදිලිකිරීම් කලා. ‍

රේඩියෝවල හැමදාම පාන්දරට මලකඩ හඬවල් යටිගිරියෙන් බෙරිහන් දීල කාන්තාවන් සංකල්පීයව අතුගාල දැම්මා.

පත්තරවල කාන්තාවන්ගෙ පින්තූරයක්වත් පල වුණේ නෑ. රේඩියෝ වල කාන්තා හඬවල් යන්ත්‍රානුසාරයෙන් පිරිමි බවට පත්කරා.

ටීවී වල ‍තිබුණෙම කොටු විතරයි.

ඇ‍ඟේ මස්රොදක් නැතිව ඇට ගැහුණු මිනිස්සු රොත්තක් කාන්තාවට එරෙහිව කොඩි, බෝඩ් උස්සන් පෙලපාලි ගියා.

බ්ලොග්කාරයො දෙපැත්තකට බෙදිලා පරම්පරාවල් සිහි කලා. සමාජ ජාල අඩවි වලට ගිහින් පොඩි කොල්ලො අළුත් කුණුහරුප ඉගෙනගත්තා.

කාන්තාව කොටස් වශයෙන් තහනම් වුණා. කාන්තාව අප්‍රසිද්ධ වස්තුවක් වුණා. ප්‍රසිද්ධියේ කාන්තාබව නිරූපණය කිරීම මත කාන්තාවො හත්අටදෙනෙක් ගෝනි වලින් වහල උසාවි ගෙනිච්චා.

කාන්තාව කැබලිකර වහල දැම්මා..

අන්තිමේ කාන්තාවො සර්වාංගෙම ලෝගු පුරවගත්තා.

දැන්වීම්වල, ටෙලිවල, චිත්තරපටිවල කාන්තාවන්ට රඟපාන්න වුණෙත් පිරිමින්ට!

දැන් පිරිමින්ට කාන්තා අවස්ථා ඇවිත්. පිරිමි තරගෙට කාන්තාවො වෙන්නයි උත්සාහෙ.

පිරිමින්ගෙ රුව වඩවන ආලේපන වැහි වැහැලා. කලින් තිබුණ ජාති සේරගෙම ‘වොමෙන්’ කියල තිබුණ තැන් වල ‘වො’ කපල ‘මෙන්’ ඉතිරි කලා.

දැන් කාන්තා විලාසය ඇති පිරිමින්ට රජ මගුල්!

----------------------------
පින්තූරෙට අනුග්‍රහය - http://www.imagesofceylon.com/

Tuesday 23 November 2010

ලොරෙන්සෝ ද අල්මේදගෙ ගිටාර් එක…

ගනේගොඩ අයියට පොත් හම්බවුණ කතාව කලින් කිව්වනේ... මේ පාර කියන්ට යන්නේ ලොරෙන්සෝ ද අල්මේදගේ ගිටාර් එක ගැන. මේ කතාවට ගනේගොඩ අයියගෙ සම්බන්ධය තමයි ඒ ගිටාරය එයාගෙ ගෙදර තිබීම!

ලොරෙන්සෝ ද අල්මේද ගැන කට්ටිය අහල තිබුණට හරි මතකයක් නැතිව ඇති. උන්නාන්සෙ තමයි මුලින්ම ලංකාවට ගොඩ බැහැපු පෘතුගීසි නැව් කණ්ඩායමේ ලොක්ක. ඉතිං අපි කතාවට කියන්නෙ උන්දැ තමයි ලංකාවට මුලින්ම පය තිබ්බ පෘතුගීසිකාරය කියල. (එව්ව එහෙම තමා... දන්නවනේ හමුදාවෙ දුප්පත් කොල්ලො යුද්ධ කරල දිනාගත්තු සාමයට ලොක්කො අයිතිවාසිකං ගන්ට ඇදපු අංචි ;-) ) එව්වයෙන් දැන් වැඩක් නෑ.

ලොරෙන්සෝ ද අල්මේද ඉන්දියාවෙ පළවෙනි පෘතුගීසි ආණ්ඩුකාරය විධියට සැලකෙන ෆ්‍රැන්සිස්කෝ ද අල්මේද මහත්තයගෙ පුත්‍රයා. ඒ දවස්වල.... ඒ කියන්නෙ 15 වෙනි සියවසේදි මුස්ලිම් ජාතිකයො ඉන්දියාව ආශ්‍රිතව වෙළඳාමේ රජකොරපු කාලෙ... පෘතුගීසින්ට ඕන වුණා ඒ වෙළඳාමට අත පොවන්ට. ඒක කොරන්ට මුස්ලිම්වරුන් භාණ්ඩ ප්‍රවාහනය කරපු මුහුදු මාර්ගවල රැකවල් යොදන්ට සිද්ධ වුණා. ඒ දවස්වල තරුණ ගැටයෙක් වුණ ලොරෙන්සෝ ද අල්මේද තමන්ගෙම නැව් කණ්ඩායමක් එක්ක මේ කෙරුවාව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ කොරමින් හිටපු වෙලාවක නැව කුණාටුවකට අහු වුණා. කුණාටුවට අහුවෙලා නැව ඇදිල ආවෙ ගාල්ලට. ඒ 1505දි.

කුණාටුවට අහුවුණ වෙලේ ආතක් පාතක් නැතිව හිටපු ලොරෙන්සෝ ද අල්මේද කුකුලෙක් හඬලනව ඇහිල කෑගහපු කෑගැහිල්ල නිසා ගාල්ලට ඒ නම වැටුණාය කියන මතේ ජනප්‍රිය එකක්ය කියල  ගාලු නගර සභා අඩවියෙ තියෙනව ඕං.

ගාල්ලට නම ලැබුණු ආකාරය පිළිබඳ බොහෝ දෙනකු පිළිගත් මතය වන්නේ ක්‍රි.ව.1505 දී සැඩ සුළඟකට හසුවීම නිසා අහම්ඛෙන් ගාල්ලට සේන්දු වූ පෘතුගීසි නාවික ලොරෙන්සෝ ද අල්මේදා කුකුළකු හඬලනු අසා ගාලෝ, ගාලෝ කී යයි ද ඒ නිසා ගාල්ල වී යැයි යන කථාවයි. ගාල්ල නගරයේ සංකේතය ලෙස බොහෝ ස්ථානයන්හි කුකුළා සළකුණ යොදාගෙන තිබේ.

කොහොම හරි පස්සෙන් පහුවෙලා මනුස්සය දැනගන්නව තමං ගොඩබැහැල තියෙන්නෙ ලංකාවටය කියල. ඒ දවස්වල මුතු, කුළුබඩු වගේම ඇත්තු නිසාත් ලංකාව යුරෝපෙ ප්‍රසිද්ධ වෙලා තිබුණ නිසා අල්මේද කොල්ලගෙ කට ගියා කන් දෙකට! ඒ කාලෙ ඉලෙක්ට්‍රික් බල්බ් නොතිබුණ හින්ද ලොරෙන්සෝගෙ ඔළුව උඩ එකපාර 'ටිං!' ගාලා ඉටිපන්දමක් පත්තුවුණාය කියල හිතාගන්ටකෝ...

ඔය කාලෙ  ලංකාව කෝට්ටේ, නුවර සහ යාපනේ ප්‍රධාන වුණ ප්‍රාදේශීය රජවරු 7 දෙනෙක් යටතේ තමයි පාලනය වෙලා තියෙන්නෙ. එයිනුත් අගනගරය වුණේ කෝට්ටේ නිසා කුණාටුව හොඳ වුණ වහාම ආයෙත් නැව් නැග්ග ලොරෙන්සෝ සහ පිරිස කොළඹට ගොඩ බැස්සා... ඒ දවස්වල කොළොම්තොට ප්‍රධාන භාණ්ඩ අපනයන නැව් තොටක්. මුස්ලිම්වරුන් තමයි පණ කඩාගෙන බිස්නස් කොරල තියෙන්නේ...

කොළඹ තොටේ නැංගුරම් දාල වෙරළට වෙලා හිටපු ලොරෙන්සෝ ඇතුළු කණ්ඩායම ගැන රස කතා ඔයගොල්ල හොඳට දන්නවා... උන්දල පාන් කමින් වයින් ‍බීපු වෙලාවෙ ඒක දැකපු ස්වදේශිකයො වහාම රජතුමා ගාවට ගිහින් කිරිවාන ගල් එක්ක ලේ බොන අමුතු මිනිස්සු ජාතියක් කොළඹට ඇවිල්ල ඉන්නවය කියල කියපු කතාව සිද්ධ වුණේ එතනදි. ඒක අහපු රජුතුමා දූත පිරිසක් පිටත් කොරල ඒ අමුතු මිනිස්සු කෝට්ටෙට ගෙන්නෙව්වෙ ඊට පස්සෙ. පරංගියා කෝට්ටේ ගියා කියන කතාව හැදෙන්ට හේතු වුණ කාරණේ සිද්ධ වුණෙත් එහෙමයි... ඒ කියන්නෙ වරුවෙන් කෝට්ටේ මාලිගාවට යන්ට පුළුවන්කම තියෙද්දි දවස් තුනක් පුරා පෘතුගීසි දූත පිරිස දුෂ්කර ගමනක් එක්ක ගියේ ඒ දවස්වල ලංකාවෙ වාසලේ හිටපු අයියලා තමයි!

ඔය කිව්වෙ ලොරෙන්සෝ ද අල්මේදගේ ලංකා ආගමනය ගැන... ඒ ගැන ඩබ්ලිව්. ජයසිරි මහත්තය ලියපු ජිප්සීස්ල ගායනා කොරන අපූරු සින්දුවකුත් තියෙන්නේ... ඕන නං ගිහිං අහන්ට! පද වැල් ගත්තෙ මේං මෙතනින්!
ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා

ඉංගිරිසිය නැතිකරන්න ඉංග්ලිශ්ලම ගොඩ ගැහිලා
ටේල්කෝට් ටොප් හැට් එක සුදුරෙදිවල රෝල්කරලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

බ්‍රැන්ඩි බීලා නොන්ඩි ගහලා අම්බානක ගුස්ති දාල
ඉම්පෝටඩ් මොරිනාකා ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

හික් හික්! මේක ඉතිං කියන්නේ ලොරෙන්සෝ ගැනම නෙවෙයි...

ඉතිං ඔන්න ලොරෙන්සෝ ඔහොමයි... උන්දැගෙ ගිටාර් එක? :-O හප්පා තව ටිකෙන් අමතකම වෙනවා... කොහෙද කියන්න ආපු කාරණේ නෙවෙයිනෙ වැඩිපුරම කියවන්නේ... ජාන ජාන වෙන මොනාද?

මාස දෙකකට විතර කලියෙන් ගොඩගම ගනේගොඩ අයියලගෙ ගෙදර ගිහින් වෙලාව තිබුණ නිසා ගේ වටේ ඇවිදපු වෙලාවෙ ගේ පිටිපස්සෙ දොර ගාව පැත්තකිං ගිටාර් එකක් එල්ලල තියෙනව... ඒකෙ යටින් ගහල තියෙනව ලොරෙන්සෝ de අල්මේදා ක්‍රි.ව. 1505 කියලා...

දැක්ක ගමන් මට හිනා ගියා... ඒක ඇත්තටම එයා පාවිච්චි කරපු පරණ ගිටාර් එකක්! ජරාවාස වෙලා ගිහිල්ලා කෞතුක භාණ්ඩයක් වෙලා... ඔය කියන වෙලේ මමත් ලොරෙන්සෝ ද අල්මේද ගැන මේ කියෝපු තරං දැනං හිටියෙ නෑ. ඉතිං ගනේගොඩ අයියමයි කිව්වෙ පොර තමයි ඉස්සෙල්ලම ලංකාවට ගොඩබැහැපු පෘතුගීසිකාරය කියල... මම ඇහුව ඇයි ඉතිං මේක එයාගෙම වුණේ කියල.. එතකොට එයා කිව්වෙ පෘතුගීසිකාරයො හොඳට කාපු බීපු විනෝදෙන් හිටපු කට්ටියක් කියලා.. ඔය බයිල කියන සංගීත ක්‍රමයත් පෘතුගීසිකාරයංගෙලුනේ...

මමත් ඉතිං කාට කාටත් පෙන්නන්න වටින නිසා පිංතූර කීපයක් ගත්ත. ඇරපු අතක් නෑ ලොරෙන්සෝ මහත්තයගෙ එකම තමයි. බලන්ටකෝ...






ඒකෙන් මේකෙන් සෑහෙන්න කතාවක් කිව්ව නෙව! ඕං ඕන කෙනෙක්ට ලොරෙන්සෝ ලොක්ක ගැන විස්තර ඕන නං තව කියවන්ට තැං!

http://mahawansa.wordpress.com/2009/01/18/the-arrival-of-the-portuguese/

http://www.rootsweb.ancestry.com/~lkawgw/slm-portuguese.htm

http://www.sundayobserver.lk/2007/02/04/ind03.asp

http://www.divaina.com/2009/10/11/feature01.html

Friday 19 November 2010

සතුකරගත් වස්තුව...

මම නිවසට වස්තුවක් ගෙන ආමි. එය නැවුම්ය. නොයිඳුල්ය. සුවඳවත්ය. සුපිරිසුදුය. තවත් පොත් පත්තර පෙරලා සුන්දරත්වය විවරණය කරන වදන් සියල්ලක්ම ගෙන වර්ණනයේ යෙදෙන්නට තරම් එය මනරම්ය. එහෙත් මා මේ කතාව ඔබට කිව යුතුය. එහෙයින් මම පොත් පෙරලන්නට නොයමි.

එය ගෙන ඒමට මට මහා කර්තව්‍යයන් රැසක් කිරීමට සිදු විය. මෙ වූ මහාර්ඝ වස්තුව දුටු මොහොතේ පටන් නිවසට ගෙන ඒම දක්වා ගතවූ දිගු කාලය එලෙසින්ම කීම දුෂ්කර බැවින් සැකෙවින් කියමි.

එය දුටු මොහොත කාලානුරූපීව නිශ්චිත නැතත් එය දිස්වූ මොහොත මා විඳගත් අපූරුව මට හොඳහැටි මතකය. එහි සුවඳට රැවටී පියඹා ආ සමනළුන් රෑනක් ඒ අසලින් පියාඹා ගියේ මා වික්ෂිප්තවමිනි. විහඟ ගී රාවයක් නිරතුරුව ඒ අස රැඳුණේ එය නිරතුරු එලිමහනේ සොබාදහමේ රඳවමිනි... ඒ සියල්ල එක් ක්ෂණයකින් ම සිත වෙලා වශීකෘතකොට ශුන්‍ය වී ගියේ එයත් මාත් අතර හිඩැසද ශුන්‍ය කරමිනි. සමනළුන්ට කෙදිනකවත් පුරවා සැනසෙනු නොහැකි සෞම්‍ය වූ හැඟුම් රාශියක් විසින් එකී හිඩැස පුරවා දමන ලදී... ඉතින් මා ඒ වස්තුව අසල විය.

එතැන් පටන් දින ගණනක්ම මා ඒ අස රැඳුණු අතර නිරතුරුවම මාගේ පුද්ගලික සියලු දෑ නවතා දමා එකී වස්තුව වෙත ආශක්තව හුන්නෙමි. මා ඒ වටා ගී කීයෙමි. කවි ගැයීමි. ගිතාරය තාල භාණ්ඩයක් කොට නිතැතින් ඒ අස්වසනු පිණිස වැයීමි. මා ඒ අස වැතිරී දින ගණන් ගෙවීමි.

ම ජීවිතය මේ මනනන්දනීය වස්තුවෙන් විනිර්මුක්ත කරගත නොහෙන බැව් පසක් වන තුරුම මම ඒ අසල දැවටී හුන්නෙමි. අවසන මම ප්‍රත්‍යක්ෂයන් අත්විඳිමි. මා ඉන් තොරව ජීවිතයේ අර්ථ නොදකින බැව් මම ප්‍රත්‍යක්ෂ කළෙමි... ඉදින් වහා එහි අයිතිකරුවන් ඇමතීමි.

දිගු කලෙක මතවාදී වාග් සංග්‍රාමයන්ට පසුව මා ප්‍රමාණවත් තරම් මේ වස්තුව ම සතුකර ගැනීමේ කාරණා වලින් සන්නද්ධ වූයෙමි. එකල්හිම අයිතිකරුවන් වෙත ඉන් දමා ගසා උන් අවනත කරවා කෙටි උත්සව ශ්‍රීයක් මවා පා වස්තුව නිවසට පන්නා ගෙන ආමි.

ඉන් පසු මා නිරතුරුවම වස්තුව වටා ප්‍රීතියෙන් නැටීමි... නැවත නැවතත් ගී ගැයීමි... ඒ සනසාලීමි... ඒ දෝවනය කරලීමි... එය නැවුම්වම තාරුණ්‍යයෙන් තබා ගනු වස් නේක වූ වෛවාරන්න කොස්මෙටිකයන් ගෙනවුත් ගල්වාලීමි. ලත් ඇසිල්ලක පිරිසිදු කලෙමි.

දින සති මාස ගෙවී ගියේ මා හා වස්තුව අතර වූ කුහුල බිඳවමිනි. පෙර ඒ පිළිබඳ නොදැන හුන් අවදියේ චිත්ත මස්තකයේ මැවුම් පෑ දර්ශනයන් තවත් නම් අරුමයක් නොවී හුරු පුරුදු විය. එවිට වස්තුව පිළිබඳ මා නොදැන හුන්නක් නොවීය. මා පිරි නොමැදි තැනක් නොවීය. මා නොදැවටුණු තැනක් නොවීය. මා නුදුටු ඇස නොගැටුණු මුල්ලකුදු නොවීය. මා ආදරය නොකල පෘෂ්ඨයකුදු නොවීය.

අවසන ඒ මා හට කිසිවකුදු නොවීය. හුදෙක් ඒ මගේ අයිතියක් වූවා මිස තවත් මට ඒ සන්තානයේ ආදරයක් නොවීය. මුලින්ම වස්තුව දුටු‍ කෙනෙහි දැණුනු ආශ්වාදය එලෙසින්ම සිත්වදින එක් මොහොතක තෘප්තියක් පමණක් මා සතු විය. ඒ ද කෙමෙන් කෙමෙන් කල් ගනිමින් දැනී නොදැනී ගෙවෙමින් තිබූ දෛනික චර්යාවේ වර්තනයක් ඇතිකිරීමට අසමත් වී ය. සදාකල්ම ස්පර්ශ වේ යැයි උපකල්පිත සිතිවිලි කිසිවක් මා තුල ඉතිරි නොවී වියෝජනය වී යන්නට විය. මා වියවුල්ව තනිවන්නට වීමි.

සැකෙවින්ම මා වරෙක දැඩිව ලොල්ව විසූ වස්තුව කෙමෙන් කෙමෙන් මා තුල අවිශේෂව නිදන්ගතව ඇති සියල්ල මෙන් විශේෂණය නොවී පවතින්නට විය. එහෙයින්ම මා තුල ඒ කෙරේ වූ සැලකිල්ල මදින් මද වියැකී ඒ හුදෙක් මා මෙතෙක් නිවසට ගෙනා සෑම වස්තුවකටම අත්වූ ඉරණම වෙත අනාතගය හොවමින් වී ය.

කලෙක ඇවෑමෙන් මා තරුණ විය ඉක්මවා වයෝවෘධ විය. මාගේ මහාර්ඝ වස්තුවද කෙමෙන් දුහුවිලි නැගී, කඩතොලු වී, රැල් නැගී සුනම්‍ය වූ ලක්ෂණ වියැකී වන්නට විය. මා ඒ පිළිබඳ අවබෝධ හීන ව සිටි අතර තවත් ඒ මා නිවසේ අංගයක් දෝ යන්න නොනැගෙන තරමට ඒ මට එදිනෙදා පසුවන එක් සිද්ධියක් පමණක්ම වෙමින් හොත්තේය.‍ මේ සිතන ‍මොහොතේද එය මා පසෙක පවතින අතර ම සිතේ ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැත්තේ ය. දැන් ඒ ඉවත හෙලා විනාශ කිරීමට කාලයයි.

මා වෛරී නෙතින් ඒ දෙස බලමි. ඒත් මොහොතක් නැවතත් සිත් යොමා බැලිය යුතු බැව් මට හැ‍ඟේ.

මා ඉන් උගෙන ඇත්තෙමි. මා ජීවිතය තුල අත්පත් කරගන්නා ලද සියළු වස්තු කෙරෙන් මා අවශෝෂණය කොට නොගත් දෑ රාශියක් මා මෙකී වස්තුවෙන් උකහා ඇත්තෙමි. කලෙක මාගේ සමස්ත තෘප්තියම දරාගත් වස්තුව තවත් එක් වස්තුවක් පමණක්ම යන වග මා උගෙන ඇත්තෙමි. එය මාගේ පරිහරණයෙන් ඉඳුල්ව යන, කුණු වැකී දිරාපත් වන සේම මගේ මසැස තව වරක් රවටන එක් වස්තුවක් පමණක් වුව මට ඒ විනාශ කර දැමුමට සිත් නොදේ. වරෙක එය මාගේ ජීවිතය විය. එක් මොහොතක හෝ මාගේ ජීවිතයේ සමස්ථයම ඒ වස්තුව වෙන ඌණනය වූ නිමේෂයන් මා පසු කර ඇත. එහෙයින් එය ජීවී ලෙස මා පැවැත්වූ සාධකයකි. මාගේ සිහිය නොවිකල්ව පැවැත්වූ මාගේ නේක පිරිමැදීම් හා පෙම් කිරීම් සුවචව විඳගත් නිෂ්චලයකි. මාගේ ආදරය දරාගත් උසුලන්නකි.

මා නැවත ඒ වස්තුව දෙස දෙවූ දෑසින් බලමි.

දකින්න එය!

එසේය. එය ‍මුල් වර මෙන් පැහැපත්ය. නොයිඳුල්ය. මනරම්ය. සුපිරිසිදුය. සුවඳවත්ය.

එය නැවතත් නැවුම්ය.

.............................

සේයාව මෙතනිං

Tuesday 16 November 2010

ඇය වෙන්ව යන විට...



දවසම බිඳී ගොස් ඔබේ හිත රිදී...
ඇගේ කරුණාබර කියුම් දැවටෙන බව දැනෙද්දි
ඇයට ඔබව එපා වෙලා...

ඇය පිබිද හැඩ ගැන්වෙයි
ඇගේ වේලාව ගෙන කිසි හදිසියක් නැතිව
ඇයට ඔබ උවමනා නැති නිසා..

ඇගේ දෑසේ ඔබට පේන්නේ නෑ කිසිවක්...
කිසිවෙකු වෙනුවෙන් නොහැඬූ
කඳුළු බින්දුවක් පසුපස ආදරේ ගැන සඳහනක්වත්...
වසර ගණනක් පැවතිය යුතුව තිබුණ ආදරයක්...

ඔබට ඇයව උවමනයි අවශ්‍යයයි
ඒත් ඇයගේ ආදරය මියගොස් බව ඈ කියද්දි ඔබ ඇයව විශ්වාස කරන්නෙත් නෑ
ඔබ හිතන්නෙ ඈට ඔබ උවමනායි කියල...

නුඹ ගෙදර ඉද්දි ඇය පිටව යනවා
ඇය කියනව කාලෙකට කලින් ඇය කෙනෙක් දැන හිටි බව
දැන් ඔහුව ඇයට උවමනා නැති බව...

නුඹේ දවසම බිඳී ගොස් ඔබේ හිත රිදී...
ඇය කියූ හැමදේම ඔබේ හිස පුරවන වෙලාවක
ඔබ ඇයව අමතක නොකරාවි...

.............................................

මේ වෙන්වීම ගැන මම විඳපු හොඳම සින්දු අතරෙ එකක මගේ දැණුම අනුව පරිවර්ථනයක්... සින්දුවෙ නම For no one. කියන්නෙ පෝල් මැකාර්ට්නි. බීටල්ස්ලගෙ Revolver ඇල්බම් එකේ තමයි සින්දුව තියෙන්නේ... මේක මේ මම ලියපු එක අමතක කරලා අහන්න... සින්දුව අහද්දි තමයි දැණෙන්නේ...

සරල වෙන්ව යාමක් මේ වගේ වචන සුන්දර පෙලකින් කියන එක මාර වැඩක්... වැදගත්ම දේ කතාව ගොඩක්ම සරල වීම...

මේක ලියල තියෙන්නෙ Paul McCartney වුණාට පොදුවෙ බීටල්ස්ලගෙ ගොඩක් නිර්මාණ Lennon/McCartney සුසංයෝගයෙන් ලියවිලා තියෙන බව තමයි පිලිගන්නේ.

කැමතිනං බලන්න...



The day breaks, your mind aches
You find that all her words of kindness linger on
When she no longer needs you

She wakes up, she makes up
She takes her time and doesn't feel she has to hurry
She no longer needs you

And in her eyes you see nothing
No sign of love behind her tears
Cried for no one
A love that should have lasted years

You want her, you need her
And yet you don't believe her when she says her love is dead
You think she needs you

And in her eyes you see nothing
No sign of love behind the tears
Cried for no one
A love that should have lasted years

You stay home, she goes out
She says that long ago she knew someone but now he's gone
She doesn't need him

Your day breaks, your mind aches
There will be times when all the things she said will fill your head
You won't forget her

And in her eyes you see nothing
No sign of love behind her tears
Cried for no one
A love that should have lasted years

................................

හෙම්බා එක්ක ඔට්ටු අල්ලලා ඔළුව කැක්කුමත් හදාගෙන ගෙදරට වෙලා ඉන්න අතරෙ මොනව හරි ලියන්න කියල තරවටුවක් ආපු හින්ද මේ සටහන ලියන්න හිතුවා. කොහොමත් මේ සින්දුව ගැන හැඳින්වීමක් කරන්න ඕන කියල හිතිල සෑහෙන්න කල්...

පින්තූරෙ මෙතනින්...

Friday 5 November 2010

මාළුකාරයා සහ කපු‍ටෝ…

මම බයිසිකලය පැදගෙන ගෙදර එන්න ආවෙ ටිකක් කලින්! ටවුමට ගිහින් කරගන්න තිබුණ වැ‍‍ඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණේ මාව ටිකක් දන්න ඇමතිගෙ පොරක් මගෙ හොඳ වෙලාවට ඉඩම් කාර්යාලෙට ඇවිත් හිටපු හින්දයි.

නැත්තං ඔය ඔෆිස් එකෙන් වැඩක් කරගන්න යන එක නං දෙපාරක් හිතන්න ඕන වැඩක්!

ගෙට එන්න තියෙන තාර පාරෙ අයිනක අපේ ගමේ මාළු විකුණන මාළු කාරය බයිසිකලේ නවත්තගෙන කපුටො පිරිවරාගෙන මිසිස් පෙරේරට මාළු කපල දෙනව... ගමේ අනිවාර්ය මාළු ගැණුම්කාරයො කීප දෙනෙක් මේ මාළු කාරයට හිටිය... උදේම හම්බන්තොටින් වෑන් වල එන මාළු කිලෝ දහයක් පහලොවක් බයිසිකලේ ලී පෙට්ටියෙ දාගෙන මිනිහ දෙවෙනි රවුම පෑගුවෙ අපේ ගමට... කොහොමත් තියෙන මාළු වලින් බාගෙකට වැඩිය හැමදාම අපේ ගමේ කට්ටිය ගත්තු නිසා මනුස්සයගෙ කෑ ගැහිල්ල උදේ 10 විතර වෙද්දි දැන් ගමට පුරුදු සද්දයක්!

ඉස්සර ටිකක් පුංචි කාලෙ නං මාළුව කපන විධිය අපි බලං හිටියට දැන් ඒවට වෙලාවක් නෑ අපට...

මම මාළු කාරයට හිනාවක් දාගෙන එතනින් බයිසිකලේ පැදන් ආවා...

"ඒ පැත්තට එනව මහත්තයා..."

මිනිහ මගෙ දිහා බලල උඩු රැවුල අස්සෙන් කහට දත් එක්ක හිනා වුණා...

කැපිල අයින් වෙන කොර පොතු, බඩවැල්, කරමල වලට වහ වැටිල මිනිහ පස්සෙන් ගම වටේ පියාඹන කපුටො රංචුව මගේ ගමන නිසා පාරෙන් ඉවතට පියෑඹුවා...

.......................

ගෙදර ගිහින් ෂර්ට් එක ගලවන අතරෙ මට පාර පැත්තෙන් මාළු කාරයගේ සද්දෙ ඇහුණා...

"මාලො... මාලෝ...."

ඒක කියන්නෙ මිනිහගෙම තාලෙකට... අයිස්ක්‍රීම් වාහනේ නලා සද්දෙ වගේ ඒ හඬ මිනිහටම තිබුණ හඬක් වුණා... සමහර විට ගමේ ගෑණු ඔය සද්දෙ නිසාත් මාළු ගන්න හිතන්න ඇති...

ඒ සද්දෙ හොඳට අඳුරණ ගෙදර පූස පාරට දිව්ව. අපෙ ආච්චිත් නෑඹිලියක් අරන් පාරට දුවනවා මම දැක්ක... හැමදාම වගේ ආච්චි තමයි ගෙදරට මාළු අරගන්නේ... එයා ඔය මාළු කාරයගෙ යාවජීව කස්ටමර් කෙනෙක්!

මමත් එයා පස්සෙන් එළියට ගියා... දොර ගාවට!

මාළු කාරය ගේ ඉස්සරහ බයිසිකලේ නතර කලා... කපුටො රංචුව අවට ගස් වල වැහුව....

මාළු කාරය අපේ ආච්චි ගත්තු මාළු කූරි දෙන්නව කපන්න ගත්තා... කොරපොතු සුද්ද වෙලා වරල්, වලිග කෑලි කැපිල මාළුවගෙ තොල් දෙකයි කරමල කෑලියි ගැලවිල පැත්තකට විසි වුණා... පූස ඒවට කිට්ටු වුණා...

මාළුවගෙ බඩ කපල බඩවැල් එක්ක අතුණු බහන් සේරම ටික පාරෙන් එහාපැත්තට විසි කලා.. කපුටො රංචුව ඔන්න ඒකට එකතු වුණා... උන්ගෙ ගෝරනාඩුව එක්ක උන් තම තමන්ගෙ කොටස් වෙනුවෙන් දඟලන්න ගත්තා...

උන්ට කොච්චර තිබුණත් මදි! මල පෙරේතයෝ...

සේරම ටික ඉවර වෙනකල් උන්ගෙ ගෝසාව තිබුණා...

අත් දෙක ‍සරමෙ පිහිදල සල්ලි අරගත්තු මාළු කාරය බයිසිකලේ නැගල යන්න ගියා...

කපුටො රංචුවත් ඒ පස්සෙන් පියෑඹුවා...

Wednesday 27 October 2010

සිංහලෙන්ම ගිටාර් ගහමුද?


මේක අපේ අවකාශේ යාළුවො සෙට් එක කරන අළුත් වැඩක්... සිංහලෙන් ගිටාර් එක වාදනය කරන්න උගන්වන වීඩියෝ ටියුටෝරියල් පෙලක්!

කවදත් අළුත් දෙයක් කරන අපේ කට්ටියට මේ වතාවෙ උදව් කරන්නේ දයාල් ප්‍රනාන්දු සොයුරා!

මේ තියෙන්නෙ හඳුන්වාදීමේ වීඩියෝව...



මේකෙ Coming soon කියල තිබුණට කට්ටිය දැනටමත් වැඩ පටන් අරගෙන...

ඉගෙනගන්න ආසකෙනෙක් ඉන්නවනං මෙන්න මෙතනට ගිහින් පදිංචි වෙලා බලන්නයි තියෙන්නේ...



පරිපාලනමය හේතු මත දැනට මෙම අඩවිය ඉවත්කරගෙන ඇති බව සලකන්න.

Tuesday 26 October 2010

පණුවන්ට බෙහෙත්…!

"කුමාරෝ... මේං මේ පොඩි එකාව ඉස්පිරිතාලෙට අරන් පලයන්..."

ලොකු අක්ක ජනේලෙන් ඔළුව දාගෙන බෙරිහන් දෙනකොට කුමාර මෙලෝ සිහියක් නැතුව සල් ගහ යට බංකුවෙ දිගෑදිලා කකුල් දෙක සල් අත්තක තියන් බයිල රිමික්ස් එකක් අහන් හිටියේ... කොලිටි අඩු ඉයර් ෆෝන්... ඒවයෙ සද්දෙ කඩාගෙන ලොකු අක්කගෙ කෑගැහිල්ල ඇහුණා... කුමාර සල් ගහ යට බංකුවෙන් නැගිට්ට.

"ෂිට්... නිවාඩු දවසෙවත් පොඩ්ඩක් ආතල් එකේ ඉන්ඩ දෙන්නෙ නෑනේ..." කුමාරට කියවුණා...

රබර් සෙරෙප්පු දෙක කකුලෙ පටලගත්ත කුමාර හෙමින් හෙමින් ගේ දිහාට ඇදුණා...

"ඇයි මොකද මේ....? පෝය දවසෙ කියලවත් බලන්නෙ නැතුව පව් වැඩ කරනව..."

"මොකක්ද බං පව් වැඩේ.... මේ පොඩි කොල්ල ඊයෙ හවස ඉදන් ‍බඩ රිදෙනව කියල කෙඳිරිගානව.... මූට ගිහින් බෙහෙත් ටිකක් අරන් දියං..."

ලොකු අක්ක කොස් පළුවක් කපාගෙන මදුළු ගලවනව...

"ෂික්...! මම මගේ පාඩුවෙ ඉද්දි උදැල්ල දාන එක පව් වැඩක් නෙවෙයිද? කෝ අයිය නැද්ද?"

"එයා අම්මට දානෙ අරං පන්සලට ගියෙ දැක්කෙ නැද්ද? උන්දැ හිටියනං මං උඹට කියනවද බං... මෙන්න මූව එක්ක පලයන් හොඳ එකා වගේ... තෙල් ගහන්න රුපියල් සීයක් දෙන්නං ආවම..."

ලොකු අක්කට ඕන කොහොම හරි කුමාර එක්කම පොඩි එකාව බෙහෙත් ගන්න යවන්නයි...

"මංජු ලැට් එකට ගියෙ නැද්ද?"

කුමාර ඇහුවෙ ඒක තුරුම්පුවක් කියල හිතාගෙන...

"එහෙම එකක් නෙවෙයි මං හිතන්නෙ... අසමෝදගම් බෝතලේ බාගයක්ම ඉවර කලානේ... පණුවොද කොහෙද.."

"හා හා... කෝ එහෙනං මංජුව ලෑස්ති කරල ගන්න..."

කුමාර පල්සරේ එලියට ගත්ත. කණ්නාඩිය වගේ දිලිසෙනවා... ඊයෙ හවස ඇවිත් සයිකලේ හොඳට හෝදල පිහිදල තිබ්බෙ හවස වත්සලාව බලන්න පංසල පැත්තෙ රවුමක් දාන්න. දැන් ඉස්පිරිතාලෙට ගිහින් ඇවිත් ආයෙ පිහිදන්න වෙනව...

කුමාර හෙල්මට් දෙකත් එලියට අරන් එන අතරෙ මංජුල කොට කලිසමයි ටී ෂර්ට් එකයි ගහගෙන මූණ බෙරි කරගෙන ආව...

"උඹ අඬනව හෙම නෙවෙයි පුතේ... මට බෑ උඹව නලවන්න... කෝ  නගින්න පරිස්සමින්..." කුමාර පුංචි තරවටුවක් එක්ක සයිකලේ ස්ටාට් කලා...

පන්සලේ සිල් ගන්න අයට දානෙ අරන් ඉස්පිරිතාලෙ ඉස්සරහින් ගිය උපාසිකාවො දිහා බල බල කුමාර ඉස්පිරිතාලෙට ඇතුල් වුණා... පෝය නිසා ඉස්පිරිතාලෙත් පාළු වෙලා... වැඩ කරන එවුනුත් නැද්ද මන්දා... හැමදාම බුදු මැදුර ඉස්සරහ වැලි මිදුලෙ ඉන්න බලු නඩේ නං අද අඩු වෙලා එකෙක් දෙන්නෙක් වැතිරගෙන හිටියා... අනිත් එවුන් දන් සුවඳ එක්ක පන්සලට ගිහින් වෙන්න ඇති....

"කෝ එන්න මංජු...."

කුමාර මංජුගෙ අතින් අල්ලන් ඕපීඩිය පැත්තට ගියා...

ඉස්පිරිතාලෙ පාළු ගතිය නිසා පෝය දවස් වලට මිනිස්සු ලෙඩ වෙන්නෙ නැද්ද මන්දා කියල කුමාරට හිතුණත් ඕපීඩිය ඇතුලෙ පුටු වල ගෑණු පිරිමි හතර පස් දෙනෙක් ඉඳගෙන හිටිය. කුමාරත් තුණ්ඩුවක් අරන් ඊලඟ පුටුවෙ වාඩි වුණා.... දොස්තර මහත්තයෙක් නං ඉන්න වගක් පේන්න නෑ...

පැය කාලක් විතර ගෙවුණා...

"නංගි දොස්තර මහත්තය දැන්ම එන එකක් නැද්ද...?"  කුමාර බැරිම තැන ගිහින් තුණ්ඩු කවුන්ටරේ හිටිය නංගිගෙන් ඇහුවා... ලස්සන නංගි කෙනෙක්. ටිකක් සැර පාටයි...

"එනකල් ටිකක් ඉන්න... දැන් එයි..."

නංගි හිතපු තරම්මත් සැර නෑ...

ආයෙත් ඇවිත් ඉඳගත්ත.... ‍ඉස්පිරිතාලෙ ලොකු දොස්තර මහත්තයගෙ ඩිස්පැන්සරියනං අල්ලපු වත්තෙ. ඒක තිබුණෙ ලොකු දොස්තර මහත්තයගෙ ක්වාටස් එකේමයි... ගරාජ් එකේ පැත්තක් ලෑලි වලින් වෙන් කරල තමයි එක හදල තිබුණේ... ගියානං දැන්ම බෙහෙත් ගන්න තිබුණ... ඒත් රුපියල් දෙසීයක්වත් එපැයි ඒකෙන් බෙහෙත් ගන්න...

කුමාර ටිකක් ඉස්සිල ජනෙල් පියන් අතරින් අල්ලපු වත්ත දිහා බැළුව... ලොකු මහත්තය එතන බෙහෙත් දෙනව වෙන්න ඕන... දෙතුන් දෙනෙක් ක්වාටස් එකේ ගරාජ් එකේ බංකුවෙ ඉඳගෙන ඉන්නව කුමාරට පෙණුන... දෙවෙනි වතාවෙ බලද්දි හන්දියෙ ප්ලාස්ටික් මාළ වළලු කඩේ සුමියගෙ නෝන පොඩි එකීවත් උස්සගෙන එළියට එනව දැක්ක...

තවත් විනාඩි දහයක් පහලොවක් විතර ගෙවුණා...

දෙවෙනි දොස්තර මහත්තය මෝටර් සයිකලේ ඇවිත් පෝටිකෝවෙම සයිකලේ නතර කරල ඇතුලට ආව... අද එයා වෙන්න ඕන වැඩ බලන්නේ... කොහොමත් ඒ මහත්තය පැයකට දෙකකට සැරයක් ඇවිත් ඕපීඩී එකේ ඉන්න ලෙඩ්ඩු ටික බලල යනව. එයාගෙ ඩිස්පැන්සරිය නං තිබුණෙ ටවුමෙ කන්නංගර මාවතේ උඩහට වෙන්න... කිලෝමීටරයක්වත් නැති නිසා ඒ දොස්තර මහත්තයට එහෙම කරන එක ලේසි වුණා... කොහොමත් ගමේ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු හැම වෙලේම නැති එකේ නිකං කාමරේට වෙලා ඉඳල වැඩකුත් නෑනේ...

තවත් විනාඩි දහ පහලවකට විතර පස්සෙ කුමාරට මංජුව තල්ලු කරගෙන දොස්තර මහත්තයගෙ කාමරේට යන්න පුළුවන් වුණා...

දොස්තර මහත්තයත් පොඩි එකාගෙ බඩ මිරිකල නලාවෙනුත් බලල බෙහෙත් ලියල දුන්නා...

"පණුවො තමයි... මේ බෙහෙත ඔය කියල තියෙන විධියට තුන් වේලක් අරන් බලන්න ඕන හො‍ඳේ..."

"හොඳමයි..."

කුමාර මංජුවත් එක්කන් එලියට ආව. ඕපීඩී එකේම මංජුව ඉන්දවල බෙහෙත් දෙන කවුන්ටරේට ගියා. කලින් බෙහෙත් ගත්තු කීප දෙනා එතන පෝලිමේ හිටගෙන...

"කෝ ඩිස්පැන්සර් මහත්තය නැද්ද...?" බෙහෙත් දෙන තැන කවුළුවෙන් ඇතුලෙ කවුරුවත් පේන්න නොහිටපු නිසා කුමාර ඉස්සරහින් හිටපු මැදිවියේ කාන්තාවගෙන් ඇහුවා...

"දැන්ද කොහෙද කෑමට ගිහින් ආවේ... අත් සෝද‍න්ඩ ගියා මයෙ හිතේ..."

ආයෙත් එතන තව වෙලාවක් පෝලිමේ ඉන්න කුමාරට සිද්ධ වුණා... අන්තිමේ දොස්තර මහත්තය මංජුලට ලියපු බෙහෙත් තුණ්ඩුව කවුන්ටරේට දුන්නා...

"මේක නං හෙට තමයි ගන්න පුළුවන්"

ඩිස්පැන්සර් මහත්තය තුණ්ඩුව ‍යකඩ කූරෙ ගැහුවා...

"ඇයි මහත්තය බෙහෙත් නැද්ද?"

"බෙහෙත් තියෙනව... ඒ වුණාට ඉතිං පෝය දවසට පණු බෙහෙත් දෙන්න හොඳ නෑනේ..."

"එහෙමත් එකක්ද?" කුමාරගෙ කට කොණට හිනාවක් ආව...

"එහෙමත් එකක්ද අහන්නේ..? එහෙම තමයි.... දැන් ගිහින් හෙට ටිකට් එක අරන් ඇවිත් බෙහෙත් ගන්න..." ඩිස්පැන්සර් මහත්තයටත් හිනාවක් ගියා...

"ඉතිං මහත්තයො බෙහෙතුත් තියෙනවනං ආයෙ හෙට එන්න ඕන නෑනේ...." කුමාර ටිකක් බැගෑපත් වුණා... එහෙම නොවී වැඩේ වෙන පාටක් නෑ... මේ මනුස්සය විහිළු කරනවද කවුද දන්නේ...

ඒත් ඩිස්පෙන්සර් මහත්තයත් එයාගෙ එතික්ස් වලටයි වැඩ...!

"කිව්වම තේරෙන්නෙ නැද්ද මහත්තයෝ... පෝය දවස්වලට පණු බෙහෙත් නිකුත් කරල පවු පුරවගන්නද කියන්නේ...?  හෙට ටිකට් එක අරන් එන්න. බෙහෙත් තුණ්ඩුව මං ගාව තියාගන්නවා..."

ඩිස්පැන්සර් මහත්තය කරන්නෙ විහිළුවක් නෙවෙයි කියල කුමාරට හොඳටම පැහැදිලියි... කරන්න දෙයක් නෑ...

කුමාර ආපහු මංජුල ගාවට ගියා...

"මාමෙ අපි යමු? දැන් රිදෙනවා ටිකක් අඩු වෙලා...." මංජුල එහෙම කිව්වෙ එතනින් පැනගන්න ඕනවට මිස ඇත්තටම රිදිල්ල හොඳ වුණ නිසා නෙවෙයි කියල මූණ බෙරි වෙලා තියෙන හැටියෙන් කුමාරට තේරුණා. පැයක් විතර ඉස්පිරිතාලෙ රැඳිල ඉඳල පොඩි එකා හිටියෙ හෙම්බත් වෙලා...

කුමාර පර්ස් එක අතට ගත්තා... රුපියල් සීයෙ කොල තුනකුයි පණහෙ කොලේකුයි තියෙනවා... දවස් හතරකින් පඩි හම්බවෙනකල් සයිකලේට තෙල් ගහන්න තියෙන්නෙත් ඔච්චරයි...

"මොකද කරන්නේ....???" කුමාර කල්පනා කරමින්ම මංජුගේ මූණ දිහා බැලුව... ඌ තාමත් මූණ ඇඹුල් කරගෙන සයිකලේ දිහාව බලන් හිටියෙ ඉක්මනට ගිහින් ඒකෙ නැගල මෙතනින් පැනල යමු කියන්න ව‍ගේ...

ඒත් පොඩි එකා ඉන්නෙ වේදනාවෙන් කියල කුමාරට තේරුණ...

"අපි බෙහෙත් අරගෙනම යමු..."

කුමාර මංජුලගෙ අතින් අල්ලන් ලොකු දොස්තර මහත්තයගෙ ක්වාටස් එක පැත්තට ගියා...

Sunday 24 October 2010

ගනේගොඩ අයියාට FM එකෙන් පොත්…!

උදේ ඉඳන් වැස්ස... පොත් ප්‍රදර්ශනේ බලන්නත් කට්ටිය අද දවස වෙන් කරගෙනයි හිටියෙ. ඒත් වැස්ස ඇවිත් අපි ඒකට යන්න යොදාගත්තු වෙලාව පරක්කු කරන්න අරන් තිබුණා. හැමෝම වැස්සෙන් හිර වෙලා හිටිය.

මම ගනේගොඩ අයියත් එක්ක කදේක වැටිල එයාගෙ යන්තරෙන් බ්ලොග් අස්සෙ ඇවිදිමින් හිටිය. මාරුවෙන් මාරුවට දුමක් එහෙ මෙහෙ ගියා...

"මචං හර්ෂ උඹ දැන් යන්නෙ BMICH විතරද?" ගනේගොඩ අයිය ඇහුව...

"ඇයි වෙන කොහෙවත් යන්න ඕනද? මේ වැස්ස නිසා සේරම අප්සෙට්නේ.."

"නෑ බං අර FM එකෙන් අහපු ප්‍රශ්ණෙකට උත්තර දීල දයාවංශ එකෙන් රුපියල් දාහක පොත් ගන්න පුළුවන් මට... දයාවංශලගෙ ස්ටෝල් එකක් BMICH එකේ තියෙනවනං එතනින් ගන්න පුළුවන්නේ... මට ආයෙ මරදානෙ යන්න කම්මැලියි බං ඕකටම කියල"

"මම දන්න තරමින් මේ පාර දයාවංශලගෙ ෂොප් එකක් නෑ ප්‍රදර්ශනේ... එයාල වෙනම එකක් කරනවලු මරදානෙම"

"අපරාදෙ බං චාන්ස් එක...  "

"හි හි... දැං FMවලටත් උත්තර දෙනවද? මොකක්ද අහපු ප්‍රශ්නේ...?"

"නිකං බං... මම කෝල් කලේ කරලම නැති නිසා... උන්ට කවුරුත් කතා කරන්නෙ නැද්ද කොහෙද එක පාරම කනෙක්ට් වුණා... අනිත් එක මං දුන්න උත්තරේ වැරදියි බං... ඒක උත්තරේ කිව්වටත් පස්සෙයි මට මීටර් වුණේ... ඒ වුණාට උං කියනව ඒක හරි කියල..."

"මොකක්ද ඉතිං ඇහුවේ...?"

"දුම්රිය එන්ජිම සොයාගත්තේ කවුද? කියලයි ඇහුවේ... මං කිව්ව ජෝජ් ස්ටීවන්සන් කියල..."

පොඩි කාලෙ පාඩම් කරපුව හරි නම් ජෝ‍ජ් ස්ටීවන්සන් හොයාගත්තෙ වාෂ්ප එන්ජිම... දුම්රිය එන්ජිම හොයාගත්ත කෙනාගෙ නම විධියට තිබුණ නම නම් ම‍ට පොඩ්ඩක්වත් මතක තිබුණෙ නැතත් ඒ ජෝජ් සිටීවන්සන් නම් නෙවෙයි කියල දැනං හිටිය.

"ඉතිං උන් මොකද කිව්වේ...?"

"උන් කිව්ව ඒක හරි කියල... මගෙ ෆෝන් නම්බරෙයි ID නම්බරෙයි ලියාගෙන පැයකින් විතර කතා කරල කිව්ව සතියක් ඇතුලත ID එකත් අරන් දයාවංශ එකට එන්න කියල..."

"හි... හි..."

"ඔව් බං... මං එකටම කිව්ව මගේ උත්තරේ වැරදියි කියල දෙවෙනි පාර කතා කලාම... උන් කියනව ඒක හරිලු.. ඇවිත් තෑග්ග ගන්නලු."

"එහෙනම් ඕක ගමු කොහොම හරි... මොකද අඩු ගානෙ හොඳ පොත් දෙකක්වත් ගන්න පුළුවන් වෙයිනේ..."

"මට යන්න කම්මැලියි බං... උඹ BMICH යනවනෙ දැන්... එතන තියෙයිද දන්නෑනේ..."

"ඕන නං නම්බරයක් හොයාගෙන කතාකරල බලමු..."

මම ජාලය පීරල දයාවංශලගෙ නම්බරේ හොයල දුන්නත් ඒක වැරදි අංකයක් වුණා.. ඊට පස්සෙ පොත් සම්බන්ධව ඕන එකක් ඇහුවම කියන ‍ෂෝයි ළමයෙක්‍ට කෝල් එකක් දුන්නම එයා ඒ වෙලේම රාක්කෙ තිබුණ දයාවංශලගෙ පොතකින් අංකය හොයල දුන්න...

ගනේගොඩ අයිය කතා කලා...

"හලෝ.... මම මේ පෙරේද අර FM එකේ අහපු ප්‍රශ්ණෙට උත්තර දුන්න කෙනා කතාකරන්නෙ... මට ඔයාලගෙන් රුපියල් 1000ක වවුචරයක් ගන්න තියෙනවා. ඒ ගැන කතා කරන්න පුළුවන් කාටද?"

මම හිතන්නෙ අදාල තැනට ඇමතුම යන්න ඇති...

"ආ... හලෝ.. මම අර FM එකට උත්තරේ දීල තෑග්ග ගන්න තියෙන කෙනා කතා කරන්නේ... ඔව් ඔව්... පෙරේද තමයි... මේකයි මල්ලි... ඔයාලගෙ ස්ටෝල් එකක් නැද්ද BMICH එකේ... හා.. නැද්ද... ආ... ඇවිත් නැද්ද... හරි මල්ලි.... ආ... මේ මල්ලි තව එකක්... ඔහෙට වහිනවද?"

ෆෝන් එක තිබ්බා හිනාවීගෙන..

"උන් දන්න කෙහෙල්මලක් නෑ බං... දෙවෙනියට කතා කරපු එකා කියනවා FM එකෙන් තාම ලිස්ට් එක ඇවිත් නෑ කියල... ඌ නිකං උගෙන් යනව වගේ කතා කලේ.... මම වැස්සද කියල ඇහුවම ෆෝන් එක තිබ්බා..."

"එහෙනං ඕක අතෑරල දාමු. දීපු උත්තරෙත් වැරදියිනේ...'

"ඒක තමයි බං..."

ගනේගොඩ ආයෙත් ගිණි පෙට්ටිය හෙව්වා...
....................................

මේ සටහන ලියද්දි මම දුම්රිය එන්ජිමේ නිර්මාතෘ කවුද කියල හොයන්න උත්සාහ කලත් මට පැහැදිලි නමක් හොයාගන්න වුණේ නෑ... දුම්රිය එන්ජිම කියන්නෙත් කෙමෙන් සංවර්ධනය වුණ දෙයක් නිසා එක නිර්මාපකයෙක් නැති බව තමයි අන්තිමේ තීරණය වුණේ. ජෝජ් ස්ටීවන්සන් කියන්නෙත් වාෂ්ප එන්ජිමේ එක සාර්ථක පියවරක් ඉදිරියට ගත්තු පුද්ගලයෙක් කියලයි සඳහන් වුණේ...

කොහොම හරි අපට FM එකෙන් පොත් හම්බවුණේ නෑ අන්තිමට... මම 10.30ට විතර BMICH එන්න පිටත් වුණා... ගනේගොඩ අයිය එයා ගාව තිබුණ පොතක් එක්ක ඇ‍ඳේ ඇලවුණා...

Tuesday 19 October 2010

කම්කරුවාගේ ණය අයදුම්පත

“පුළුවන් දෙයක් කරල දෙන්න සර්...”

රත්නපාල ණය අයදුම්පත මගේ මේසෙ උඩින් තිබ්බා...

ඔහුගේ මුහුණේ තිබුණෙ යටහත්පහත් බවයි, බයාදුකමයි එක්ක මුසු වුණ හිනාවක්. ජීවිතේ දශක පහකට ආසන්න වෙන්න ගෙවපු මනුස්සයෙක්ට වඩා වයස්ගත බවක් ඔහුගෙ මුහුණෙන් පෙණුන.

“මට ඉතිං ‍මේක අනුමත කරන එක තීරණය කරන්න බෑනේ....”

මම කෘතිම හිනාවක් එක්ක වැටුප් ලේඛණය අතට ගත්තා.

“පඩියෙන් සීයට හතලිහ ඉක්මවද්දි ණය වලට කපල යවන්න බෑනෙ රත්නපාල...”

“සීයට හතලිහ යනවද සර්...?”

“ඉන්නකෝ බලන්න... ම් ම්... පනිනව නේන්නම්.... මොකද කරන්නේ...?”

“අනේ සර් පුළුවන් දෙයක් කරල දෙන්න...”

“මට මොනවද කරන්න පුළුවන්? මම කරන දේටත් සීමාවක් තියෙනවනේ...”

“පුළුවන් නම් එකවුන්ටන් සර්ට කතා කරල බලන්න සර්... ‍දුවගෙ කසාදෙ ලබන මාසෙ තියෙන හින්දයි සර් මේ ලෝන් එක දාන්නේ...”

“ඔහොම ඉන්නකෝ ටිකක්”

මම ගණකාධිකාරිගේ කාමරයට එබුණා. මම දැණගෙන හිටිය ඒ වෙද්දිත් ඔහු ප්රධාන අධ්යක්ෂ කාර්යාලයේ රැස්වීමක බව. ඒත් කාමරයට නොඑබී රත්නපාලට කටින් ඒක කිව්වට විශ්වාස කරන්නෙ නෑ...

“සර් නං නෑ රත්නපාල... රැස්වීමක... පුළුවන් නම් එනකල් ඉන්න”

“හා සර්...”

දෙකට නැමිල ගෞරවය උපරිමව දක්වමින් ආපහු ණය අයදුම්පත ගත්ත රත්නපාල අපේ අංශයෙන් පිටත සේවාදායකයන්ගෙ පුටු තිබුණ පැත්තට ඇදුණා.
.........................

මම මේ කාර්යාලයේ රාජකාරි ආරම්භකරල වැඩි කාලයක් නැතත් රත්නපාල කියන සාමාන්ය කම්කරු තනතුරේ වෘත්තිකයා මම හොඳට දැනගෙන හිටිය. මම රාජකාරි කරපු පරිපාලන කාර්යාලය යටතේ තිබුණ උප කාර්යාලයක සේවය කරපු ඔහු එම කාර්යාලයේ සියළුම සේවකයන්ගෙ රාජකාරිමය අවශ්යතා වෙනුවෙන් මගේ කාර්යාලයට නිතර පැමිණියා. ඔහුගේ රාජකාරි සගයන්ගෙ සියළු දුක්ගැනවිලි වාර්තා කලේ ඔහු. ඒ පැමිණි හැම වෙලේම තමන්ගෙ දරුවන් දෙදෙනා ගැනත් ඔහුට තේරෙන දේශපාලනය ගැනත් වචනයක් දෙකක් කියවන්න ඔහු පුරුදු වෙලා හිටිය. මම මගේ වැඩේ කරමින් වුණත් ඔහුට ඇහුම්කන් දුන්න නිසා (අඩු තරමෙ එහෙම පෙන්නපු නිසා) ඔහු ‍මාව ගෞරවණීය මිතුරෙක් කරගත්ත. වෙන නිලධාරියෙක් හමුවෙන්න පැමිණියත් ඔහු මට වචනයක් කතා කරල යන්න අමතක කලේ නෑ. මාසෙක දෙකක ඉඳන් ඔහු ඔහුගේ දියණියගේ විවාහය වෙනුවෙන් වෙහෙසුණා.

සාමාන්යයෙන් රජයේ සේවකයෙක්ගෙ වැටුපෙන් ණය සඳහා බැංකුව වෙත යවන්න පුළුවන් වෙන්නෙ ඔහුගේ වැටුපෙන් සියයට හතලිහක උපරිමයක් විතරයි. ආයතන සංග්‍රහය කියල අපි පාවිච්චි කරපු නීති පොතේ මේ බව පැහැදිලිව කියල තිබුණ. ඒ නිසාම කෙනෙක්ගෙ මූලික වැටුපෙන් සියයට හතලිහ ඉක්මවල ණය වාරික යවන්න අනුමත වෙන්නෙ නෑ කොහොමත්...

මාසෙකට රුපියල් දොලොස්දාහක මූලික වැටුපක් අරගන්න රත්නපාලගේ වැටුපෙන් දැනටත් සියයට හතලිහේ සීමාව සුළු ගණනකින් ඉක්මවල ණය සඳහා කැපෙමින් තිබුණ.

‍රාජකාරිය නීතියට කරනවද නැත්තං මනුස්සකම වෙනුවෙන් කරනවද කියන එක හැමදාම උහතෝකෝටිකයක්...

වතාවක් එක උසස් නිලධාරියෙක් තමන්ගෙ කතාවකදි ඔහුටත් අහන්න ලැබුණ කතාවක් කිව්ව. ඒ අනුව ලංකාවෙ රාජ්ය සේවකයෝ වර්ග තුනක් ඉන්නව. එක් වර්ගයක් කිසිම වැඩක් කරන්නෙ නෑ... ඔවුන් හදන්නෙ පුළුවන් තරම් වැඩේ නොකර ඉන්න. අනිත් වර්ගය වැඩ කරනවා. ඒත් නීති රීති අකුරටම ක්රියාත්මක කරන්න යාම මත ඔවුන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑ... අනිත් පාර්ශවය කොහොම හරි වැඩේ වෙන තැනට වැඩ කරන අය. ඔවුන් නීතියේ සිදුරු වලින් රිංගල හරි වැඩේ කරන්න උත්සාහ කරන අය.

මට ඕන වුණේ ඔය තුන්වන කණ්ඩායමේ ඉන්න. ඒත් ඒක හිතන තරම් ලේසි නෑ... හැම වෙලාවෙම අභ්‍යන්තර කැපිල්ල එක්ක පරෙස්සම් වෙන්න වෙනව. වරදිනකල් බලන් ඉන්න අර මුල් කණ්ඩායමේ අය ඉන්නව. ඒ මදිවට විගණන විමසුමක් වගේ දේකදි මොන දේ කිව්වත් වරද වරද විධියට අරන් අර නීති පොත් වල වගන්ති අතර අපව හිර කරල රස්සාවත් නැති කරන තත්ත්වයක් තියෙනව.

වචන ගොඩක් ලියවුණ රෙගුලාසි පොත් දෙකක් මගේ මනුස්සකම කියන එක දෙපැත්තෙන් තෙරපන්න අරන් තිබුණ.
.........................

“එකවුන්ටන් සර් ඇවිල්ලද සර්?”

රත්නපාල ආයෙත් මගෙ මේසෙ ගාව හිටගෙන.

“ආ.. ඔව් ආවා... ගිහින් කතා කරල බලන්න”

මට සිදුරක් විධියට පෙණුනෙ ගණකාධිකාරීගෙ කාර්යාලයේ යතුරු සිදුර.... ඔහුගේ අනුමැතිය මගේ සීමාව ලිහිල් කරන බව මම දැනගෙන හිටිය.

රත්නපාල හෙමින් හෙමින් ගණකාධිකාරිගේ කාර්යාලය පැත්තට ගියා...

Monday 18 October 2010

ආදරයක් වෙනුවෙන්… සතුටින් ඉතිරී..

අපි පන්තිය අවසන් වෙලා හෙමින් හෙමින් පාර දිගේ ගියේ එදා දවසෙ ඉස්කෝලෙදි වුණ සිදුවීම් ගැන කතාවක් එක්ක. පන්තියට ආපු එක එක ඉස්කෝල වල ළමයි අතරෙ ඈත් ඇගේ යෙහෙළියන් කණ්ඩායමත් අපට ඉදිරියෙන් යමින් හිටිය. ඉස්කෝලෙ ඇඳුම් වලට දෙගුණ වුණ සුන්දරත්වයක් එක්ක උන් හිනා වුණේ පිටිපස්ස බලමින් අපි ගැන කතා කරමින් කියල අපට තේරුණ.

මම හිටියෙ මට පිටුපාගෙන ඉදිරියෙන් යමින් හිටපු ඈ දෙස බලාගෙන... තව වංගු දෙකක් පහුවුණ ගමන් ඇයටත් මටත් තනිව කතාකරන්න තියෙන දේවල් ගැන හිතමින්... හැමදාම වගේ කියන්න ඕන කියලා හිතාගෙන එන දේවල් මට අදත් අමකත වෙන්න අරන්. ඊයෙ රෑ කරුණු විධියට මතක තියාගත්තු එකක්වත් දැන් මට මතක නෑ...

මම ඇගේ මිතුරියන් දිහා බලන්න ගත්තා... කෙලිලොල් වියේ යෞවනය තමයි ඔය...

ඇගේ මිතුරියන් සියළු දෙනාට පෙම්වතුන් හිටිය නිර්මලීට හැර...

මගේ වම්පසින් ගමන්ගත්තු සංජුල හැර මගේ අනෙක් මිතුරන් හැමෝමත් පෙම්සුව විඳිමින් හිටිය එක එක මට්ටම්වලින්...

“සංජු උඹට අරය ගැන මුකුත්ම හිතෙන්නෙ නැද්ද බං?”

මම නිර්මලීව පෙන්නල සංජුට තට්ටුවක් දාල ඇහුවා...

“අනේ බං මම කවදාවත් එයා ගැන හිතල නෑ...”

“උඹට හිතුණ දවසක කියහං. ඒකි හොඳ කෙල්ලක්...”

එතනින් පස්සෙ අපි වෙන්වෙන හන්දියට යනකල් අපි අතරෙ කතාවක් ඇති වුණේ නෑ... යාළුවෝ සේරම එක පැත්තට වෙන්වුණා... මමයි ඇයයි අපි යන පාරට වැටුණා...

...........................

සති කීපයක් ගෙවුණා. ආයෙත් අපට පන්ති තියෙන දවසක්... ඉස්කෝලෙදි සංජු මට කිට්ටු වුණා...

“හර්ෂ, මචං අරයට කොල්ලෙක් නැද්ද ඇත්තටම?”

කොල්ල ඇහුවෙ හෙණ ලැජ්ජාවෙන් වගේ...

“උඹට එයා ගැන හිතුණද අන්තිමේදි....? නෑ.. නෑ... මම දන්න තරමින් අහලකවත් නෑ... මොකද උන් සෙට් එකේ සංගමේ අනුමැතිය අනුව තමයි කොල්ලො approve වෙන්නේ... ඉතිං ඉන්නවනං මම දන්නවා...”

“උඹ කතා කරල බලනවද උඹේ එක්කෙනා එක්ක?”

“හරි මම කතා කරන්නම්... ඒත් ඉතිං ඒක උඹ ඒකිගෙන්ම ඇහුවනම් ඉවරයි...”

“ඉස්සෙල්ල හොයල බලමු”

...........................

සංජු මගේ බයිසිකලේ ගත්තා... මම නැග්ග ඒකෙ බාර් එකට... මාවත් දාගෙන සංජුවා පැද්දා නිර්මලී ගෙදර යන පාර දිගේ... එයා එයාගෙ ලැසි ගමනින් හෙමින් හෙමින් යමින් හිටිය. සංජු එයා ගාවදි බයිසිකලේ තිරිංග තද කලා...

“ඔයාගෙ ජීවිතේට වසන්තය ඇවිත් තියෙනවද නිර්මලී”

මම කෑ ගැහුවා... නිර්මලී බය වෙලා වගේ... අපි දිහා බලාගෙන පාර මැද ගල් පිළිමයක් වෙලා...

“ඔන්න මම වසන්තය අරන් ආවා”

සංජු බයිසිකලේ මගෙ අතට දීල නිර්මලී ගාවට ගියා... මම උන් දෙන්නට යන්න දීල පැත්තකට වුණා...
...........................

ඊට පස්සෙ ගෙවුණෙ අවුරුදු කල්පයක් තරම් දිග කාලයක්... ඒ කාලෙදි වරින් වර කොළඹ රොටරියෙදි සක්‍යා සහ නුගේගොඩ ගම්සභා හන්දියෙන් හැරිල යන පාරෙ පන්ස‍ලේ ටියුෂන් පන්ති වලදි සංජුගෙයි නිර්මලීගෙයි ආදර කතාව ගලාගෙන ගියා... වතාවක් කඳුළු, තව වතාවක් හිනාව...

අතරින් පතර මම ඒ දෙන්නගෙ කතාව පැත්තකින් අහගෙන හිටියා... කැමතියි අකමැතියි... ජීවිතේ සරල රේඛාවක් නෙවෙයි...

ආදරේ, අධ්‍යාපනේ, ජීවිතේ හැමදේම අවබෝධ වෙමින් ගෙවපු කාලයක ම‍ගේ ජීවිතේ පැත්තක බිත්තියක් පාමුල ඉඳගෙන මේ දෙන්න එයාලගෙ ආදර කතාව ලියමින් හිටිය...

සංජු විශ්ව විද්‍යාලයට ගියා...

නිර්මලීට හොඳ රස්සාවක් හම්බ වුණා...

අළුත් යාළුවො, අළුත් වාසස්ථාන සහ අළුත් ‍පෙම්වතියන් එක්ක මම ටික ටික ඒ අයගෙනනුත් තවත් බොහෝ දේවල් වලිනුත් ඉවත් වුණා... මම වෙනත් මාර්ගයක මගේ ගමන යමින් හිටිය...

අතරින් පතර ගමේදි සංජු හමුවුණ වෙලාවලදි ඒ දෙන්න හොඳින් ඉන්න බව ආරංචි වුණා...
...........................

අද දවල් මට නොදන්න අංකයකින් ඇමතුමක් ආව.

“හලෝ...”

“හර්ෂ?”

“ඔව්...”

“මම මේ සංජුල. ඔයා ගෙදරද ඉන්නේ?”

“හප්පා... මම නං දැන් ඔෆිස් එකේ... මේ දවස්වල ඉරිදත් වැඩ... ඇයි ඇයි?”

“හවස කීය වෙයිද ගෙදර යද්දි?”

“මම කොහොමත් පහමාර හය වෙද්දි ගෙදර යනවා... ඇයි?”

“හරි මම එන්නම් ඒ වෙලාවට”

“හා හරි.. අවුලක් නෑ...”

“හරි එහෙනම් තියන්නං”
...........................

හවස හයයි කාල වෙද්දි සංජු අපේ ගෙදර ආවා.

“මම මේ ආවෙ උඹට මුලින්ම ආරාධනාව කරන්න”

සංජු මගේ අතට කවරයක් දුන්නා.

“හිහ්... මට හිතුණා ඔහොම එකක්! තැංක් යූ...”

මට දැණුනේ කියන්න බැරි තරම් ලොකු සතුටක්...

“ඔයාට සෑහෙන්න වගකීමක් තියෙනවනේ.. ඒ නිසා මුලින්ම කියන්න ඕන කියල හිතුවේ... එන්නම ඕන හරි”

“අවුලක් නෑ එදාට එන්න පුළුවන්...” මම කැලැන්ඩරේ බලල කිව්ව...

අපි දෙන්න හරි බරි ගැහිල ලොකු කතාවක් පටන් ගත්ත.
...........................

සංජු ගිය වෙලේ මට හිතුණෙ මේ ගැන ලියන්න ඕන කියලා... ඒ මේ ලෝකෙ ප්‍රේමය සපථ කරගෙන ඒක විවාහය දක්වා අරන් ගිහින් සතුටින් පවත්වගන්න පෙම්වතුන් වෙන්වෙන්... ඒ වගේ විවාහය දක්වා යන ප්‍රථම ප්‍රේම ගොඩක් අඩු එකේ මේ අවස්ථාව ගොඩක් විශේෂයි.. ඒ නිසා මම මේ සටහනින් සුභ පතනවා ඔවුන් දෙදෙනාට සුභම සුභ යුග දිවියකට...


ඕං කමිං!

ප.ලි. අර ඒ දවස් වල මගේ ජීවිතේ හිටපු ඇය තවත් ඇයවලුන්ගෙන් ප්‍රතිස්ථාපනය වුණා... එක එක පැතිවල සැරිසරල ගොඩනැගිල තියෙන මගේ ජීවිතේට වෙන්න පුළුවන් හොඳම දේ දැන් මට සිද්ධ වෙලයි තියෙන්නේ... ඇය මේ සටහන කියෙව්වම අද මට මොනව අහගන්න වෙයිද මන්දා... ඔන්න කෝල් එකක් කියනකොටම...

Wednesday 13 October 2010

ආදරය සහ කසිප්පු...

ගමේ හැමෝම ලීල ආච්චිට ලීල අක්කය කිව්වට අපේ ආච්චිට තරම්ම වයස නිසා මම කිව්වෙ ආච්චි කියලා‍.

සති දෙක තුනකට විතර සැරයක් කුමාර අයියලගෙ ගෙදර නැවතෙන දවස්වල කුමාර අයියත් එක්ක බයික් එකේ ගම වටේ රවුම් ගහද්දි එයාට අඩියක් ගහන්න ඕන වුනාම යන්නෙ ලීල අක්කගෙ කසිප්පු තිප්පොලට‍. මම සිගරට් එකක් දල්වගෙන එතන ඉන්න මිනිස්සු දිහා බලාගෙන ඉද්දි ලීල ආච්චි කට්ටියට මෙගා බෝතලේකින් වීදුරුවලට වක්කරල දුන්නා...

ඒ අතරෙ වතුර එක උණු වුනාම මට හම්බ වෙනව රස ප්ලේන්ටියක්. ඒකෙන් බාගයක් බීල ඉතිරිය ලීල ආච්චිට දෙන්නෙ ඒක අපි දෙන්න අතර පුරුද්දක් වෙලා තිබුණ නිසා. බුලත් කහට රැඳුණ දිරාපත්වුණ දත් එලියට දාල හිනා වෙන්න පුළුවන් උපරිමෙන්ම හිනාවෙලා තමයි මගේ අතින් තේ එක ගන්නෙ‍... එහෙම වෙලාවට හිතන්න බෑ ලීල ආච්චි ගම දෙවනත් වෙන්න කුණුහරුපෙන් මිනිස්සුන්ට බණින ගෑණියෙක් කියල... ඒ ඒ ප්‍රශ්ණ වලට ඒ ඒ විසඳුම් කියන තියරිය එයා ජීවිතෙන් ඉගෙනගෙන තිබුණා... එහෙම නොවී කසිප්පු වාඩියක් පාලනය කරන්න බෑ පිරිමියෙක්ටවත්...

තේ එක කියන්නෙ අපි දෙන්නට කතාවට ඉඩ සලසන අවස්ථාවක්...

'වැඩේ නැගලම යනව නේද?' මම අහන්නෙ කොතනින් හරි කතාව පටන්ගන්න ඕන නිසා...

'අපෝ නෑ හර්ෂ මල්ලි... ගිය සතියෙත් ලොකු පුතා පොලීසියෙ දවසක් හිටිය'

ලීල ආච්චිගෙ ලොකු පුතා තමයි බිස්නස් එක පැත්තකින් අරන් ගියේ. මාරුවෙන් මාරුවට ලීල ආච්චියි ලොකු පුතයි හිරේ හිටිය. පොඩි පුතත් වාරෙන් වාරෙට ‍කන්ස විකිණුව‍. කට්ටියම කලේ පොලීසියෙන් පන්නන රස්සාවල්...

'පොලීසියෙන් හැම වෙලේම පන්නනවද?'

'එහෙම නෑ ඉතිං... කට්ටිය ඉන්නවනෙ කියන්න... පොලීසියෙන් එනව වගේ සැක තියෙනවනම් කෝල් එකක් එනවා... එතකොට කෑන් එක හංගන්න ඕන' ආයෙත් කට පුරා හිනාවක්...

'එහෙනං ඉතිං ගිය පාර අහුවුණේ කොහොමද?'

'පො‍ලිසියෙන් සිවිල්නෙ මල්ලි එන්නෙ. ඔය ණයට බඩු ඉල්ලල හම්බුන්නැති අළුගුත්තේරුවෙක් ටිප් එක දෙන්න ඇති...'

'ඉතිං හෙන බයෙන්නෙ වැඩේ කරන්න වෙන්නේ...'

'මේ බිස්නස් එක එහෙම තමයි‍. නීති විරෝදීනෙ මොනා වුණත් ඉතිං... පොලිසිවල උන්ට ගාන දුන්නනම් කාලයක්‍‍‍ ඉන්න පුළුවන්.... ඒත් උං ඉතිං හිතුණ වෙලාවට පණිනව'

......................

ලීල ආච්චි එක්ක මගේ සම්බන්ධය බිඳුණ මම මගේ රැකියාව මාරු කරල පැමිණීමත් එක්කම... මාස දෙකකට විතර කලින් ලීල ආච්චි ආයෙම මට හම්බවුණා. එයා කුමාර අයියලගෙ ගෙට එහා පැත්තෙ ගෙදර වත්තෙ සිලි බෑග් එකකට මල් කඩනවා. අවුරුදු දෙකකින් මාව දැකල නොතිබුණත්, කොණ්ඩෙ කොටටම කපල මගේ ස්වරූපය වෙනස් වෙලා තිබුණත් එයාට එකපාරම මාව අඳුණගන්න පුළුවන් වුණා.

'ආ හර්ෂ මල්ලී...'

'හප්පා... කොහොමද ඉතිං... වයසට ගිහිල්ලා...'

'ඔහෙ ඉන්නවා... ‍මේ.. පන්සල් යන්න හවසට'

ඇගේ හිනාව නම් වෙනස් වෙලා තිබුණෙ නෑ...

'ෂා... හොඳයි හොඳයි... කළු අයිය එහෙම ඉන්නවද?'

'එයා තමයි දැන් දිගටම වැඩේ කරන්නේ... මම ඒක නතර කලානෙ'

'අර මොකෝ...?'

'දුවට රස්සාවක් හම්බවුණා... අනික මේ වයසට බයෙන් බයෙන් ඕව කරන්න බෑ මල්ලි'

.......................

ළඟදි ආරංචි වෙන නිව්ස් වල හැටියට දැන් පෙම් කරන්නත් නීතියෙන් තහනම් වෙලා... ජීවිතේම ප්‍රශ්ණයක් වුණ පෙම්වතුන් යුවලක් එකිනෙකා එක්ක ජීවිතේ ප්‍රශ්ණ නැති මොහොතක් ගතකරන එක නීතියට ප්‍රශ්ණයක්... එක මකුණෙක් කෑවම දඬුවම් ලැබෙන්නෙ සනුහරේටමයි කියන එක පෙම්වතුන් දැනගන්න ඕන කාරණයක් වුණාට ඒක දැනගත්තත් තමන්ට දැණෙන ප්‍රේමය විඳගන්න පෙම්වතුන්ට කිසිම විකල්පයක් නෑ...

ඒ පැත්තෙන් සංස්කෘතිය, තව පැත්තකින් පොලිසිය සහ තව කාලෙකින් ත්‍රිවිධ හමුදාවම, තව පැත්තකින් දෙමව්පියෝ, අනිත් පැත්තෙන් කවදාවත් ආදරේ නොකරපු කුහක මිනිස්සු, පෙම්වතුන්ට තමන් හැර වෙන අතක් නෑ...

ඒත් දැන් ආදරය කියන්නෙ බයෙන් බයෙන් කරන්න ඕන දෙයක් වෙලා...

දැන් ආදරේ කරන එකත් ලීල ආච්චිගෙ කසිප්පු බිස්නස් එක වගේ....

Monday 11 October 2010

චන්ද්‍රයන් තුනක් එක්ක බෝගහකුඹුරට...

මම මගේ රාජකාරියට කැමති එක හේතුවක් තමයි ඒක නිසා මට රාජකාරි ගමන් විධියට දිස්ත්‍රික්කයේ එක එක පැති වල ගමන් බිමන් යන්න ලැබීම. ඒක ඇරුනම රාජකාරියෙන් තෘප්තිමත් වෙන්න තවත් බොහොම සුළු දේවල් ටිකක් තියෙනව. කොහොමත් කාර්යාලය තුල හිර වෙලාම ඉඳල වෙනත් තැනක රාජකාරියක් යෙදුණම ඒක එක වගේ ගෙවෙන ජීවිතේට ලොකු වෙනසක් ගේනව.

මේ වතාවෙ මට යන්න පුළුවන් වුණා රාජකාරියක් වෙනුවෙන් බෝගහකුඹුරට. යන්න වුණේ හඳවල් තුනක් එක්ක. ලොක්ක තමයි 'චන්ද්‍ර', අනිත් දෙන්නා 'චන්ද්‍රිකා' සහ 'චන්ද්‍රානි'. තුන් දෙනාම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරින්. මම විතරක් මුකුත් දන්නැති බබා වගේ ගියා. හැබැයි රාජකාරිමය දේවල් සෑහෙන ප්‍රමාණයක් ඉගෙනගන්න මේක අවස්ථාවක් වුණා මට. 2010 සැප්තැම්බර් මාසෙ 22 සහ 23 දිනවල සහ 2010 ඔක්තෝබර් 9 සහ 10 විධියට අවස්ථා දෙකකදි අපි බෝගහකුඹුරට ගිහින් 22 සහ 09 රාත්‍රීන් දෙකත් නැවතිල අපේ රාජකාරිය අවසන් කලා...

නුගතලාව හන්දියෙ හෝටලෙන් උදේට පොල් රොටී

බෝගහකුඹුර කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ ඉඳන් නුවර එළිය පැත්තට ටික දුරක් යද්දි තියෙන කැප්පෙටිපොල නගරයෙන් හැරිල හපුතල පැත්තට එද්දි හමුවෙන පුංචි නගරයක්. එහෙම නැත්තං හපුතලේ ඉඳන් බොරලන්න පහුකරලා බෝගහකුඹුරට එන්න පුළුවන්. බදුල්ලෙ ඉඳන් වැලිමඩට කිලෝමීටර් 23ක් විතර තියෙනව. එතන ඉඳන් බෝගහකුඹුරටත් කිලෝමීටර් 17ක් වගේ තියෙනව. මේ හරියෙ ඉඳන් හෝර්ටන් තැන්නට තියෙන්නෙත් හෝර්ටන් තැන්නේ බලපෑම දැණෙන දුරක්. බෝගහකුඹුරෙ ඉඳන් බොරලන්දට කිලෝමීටර් 7ක් වගේ සහ බොරලන්දෙ ඉඳන් හෝර්ටන් වලට කිලෝමීටර් 22ක් විතර තියෙනවලු. ඒ කියන්නෙ බදුල්ල නුවර එලිය සීමාව ආසන්නව නිසා බෝගහකුඹුර නගරය මුහුදු මට්ටමෙන් සැලකිය යුතු තරමින් උසකින් තමයි පිහිටල තියෙන්නේ. මගේ දැණුම අනුව වැලිමඩ සානුවේ හෝ ඒ ආසන්නවයි පිහිටීම තියෙන්නේ. ඒ නිසාම හෝර්ටන් තැන්න හරහා හමාගෙන එන හුළඟ බොහොම සැරට මේ පැත්තෙදි දැණෙනවා...

බෝගහකුඹුර නගරයේ පිහිටීම

ගුගල් වලින් තැන හොයාගන්න මම මහන්සි වුණත් පැහැදිලි සටහනක් ‍නොතිබීම නිසා සිතියමක් ලබාදෙන්න අමාරුයි. නමුත් මේ ප්‍රදේශය පුරාම ගොවිබිම් විසිරිලා තියෙන විධිය හොඳටම දැකගන්න පුළුවන් වුණා.

මග දෙපස වගාව

අවුරුද්ද පුරාම සීතල කාලගුණයක් තියෙන බෝගහකුඹුර ප්‍රදේශයට අපි ගියේ සාමාන්‍යයෙන් සීත කාලය පටන්ගන්න මේ කාලෙ නිසා අපට නම් හොඳටම සීතල දැණුනා... සීතලත් හුළඟත් මේ පැත්තෙ මිනිස්සුන්ට නම් හොඳට හුරුයි.

මීදුම් ගලා කන්දේ...

මේ ප්‍රදේශය ප්‍රසිද්ධ අල වගාවට. වෙන මොන රස්සාව කලත් ගෙදර පුංචියට හරි අල පාත්තියක් එක්ක මිරිස්, සලාද, ගෝවා මාළු මිරිස් වගේ එලවළුවක් ගොඩක් ගෙවල්වල වගා කරල තියෙනවා. අපටත් අපට නවාතැන් ලැබුණ, කණ්ඩායමේ සාමාජිකාවකගෙ ‍සොයුරියගෙ ගෙදරින් හොඳ අළුත් අර්තාපල්වල රස බලන්න ලැබුණා.

තේ වත්තක් පසු කරමින්

ප්‍රදේශයේ ජනගහනය ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විතයි. රජයේ රෝහලක්, තැපැල් කන්තෝරුවක් වගේම රජයේ ප්‍රධාන බැංකු සහ ආගමික ස්ථාන පිහිටා තියෙනව. හුළඟට ගස් වල අතු කඩාගෙන වැටීම නිසා නිතරම විදුලිය සැපයුමේ දෝශ ඇතිවෙන බව අපිටත් හොඳටම තේරුණා...

මේ ඈත පේන්නෙ වැලිමඩ සහ හැටන් පැත්ත වෙන්න ඕන

හපුතල පැත්තෙ ඉඳන් නුවර එලියට යනවනම් ළඟම පාර තියෙන්නෙ බෝගහකුඹුර හරහා වෙන්න ඕන. පාරවල් ගැන මගේ දැණුම බින්දුවයි හින්දා ඊට වඩා දෙයක්නම් මම දන්නෙ නෑ.

යන අතරමග හාලි ඇල - වැලිමඩ අතර තැනක්

වැලිමඩ ඉඳල එනවනම් බෝගහකුඹුර හරහා බොරලන්ද කියන බස් එකේ එන්න වෙනව. බොරලන්දෙ ගියත් බෝගහකුඹුර හරහා නොයන බස් එකකුත් තියෙන නිසා පරෙස්සම් වෙන්න වෙනව හරි බස් එක තෝරගන්න. චන්ද්‍ර අයියත් එක්ක සයිකලේ ආපු නිසා මට නම් යන එන ගමනෙ පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුනා....

පින්තූර සෙට් එකම මෙතනින් බලන්න.

බෝගහකුඹුර ආශ්‍රිතව තිබුණ ලිපි කීපයක්

Saturday 9 October 2010

කම්මැලිත්වය සහ ජෝන් ලෙනන්


මේ සටහනට කම්මැලිත්වය කියල නම දාල සතියක් ‍විතර draft එකක් විධියට තිබුණා. කම්මැලිත්වය නිසා ඒක ලියන්න වුණේ නෑ. ඕන් අද දානවා අද දවස විශේෂ කම්මැලියෙක්ගෙ උපන් දිනයක් නිසා...

කම්මැලිත්වය කියන්නෙ අපි දන්න කම්මැලිකම, නැත්තං අලසකමටම කියන වෙනත් වචනයක් විධියට ගන්න පුළුවන්. ඒක කලින් අහල නෑ වගේ දැණෙන්නෙ එහෙම වචනයක් නැති නිසා. ඒ වුණාට වචනෙ වරදින්න විධියක් නෑ. ටිකක් විතර විධග්ගයි වගේ වුණාට ඒක සුන්දර වචනයක්...

කම්මැලිත්වය ගැන ලියන්න හිතුණේ පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් මම හෙනම කම්මැලියෙක් විධියට හිටපු එක ගැන කියන්න ඕන කරපු නිසයි. 2009 මැයි මාසෙන් බ්ලොග ලිවිල්ල නතර කරල ආයෙම 2010 සැප්තැම්බර් වල පටන්ගන්නකල්ම අතරින් පතර ඔය කමුබොමු, බයිස්කෝප්, ෆිට් එක සහ one|zero|zero වගේ බ්ලොග් වලට ලිව්ව මිස මම වෙන මුකුත් ලිව්වෙ නෑ...

ජාලයෙන් බාහිර මගේ ජීවිතේ ඒ කාලෙ ඇතුලත එක එක විධියට ගලාගෙන ගියත් ජාලය තුල අතරින් පතර එක්කෙනෙක්ට දෙන්නෙක්ට කමෙන්ට් දමමින් මම ගත කලේ පට්ට ලෙසම කම්මැලි ජීවිතයක්... ඇතිවෙන්න චිත්‍රපටි බලපු ඇතිවෙන්න සින්දු අහපු ඒ කාලෙ නම් තාම ඉවර නෑ. ඒත් බ්ලොග ලිවීම සඳහා කම්මැලිත්වය මැඩලා නැගී සිටින්න පටන් අරන් මම :P

ඒ වුණත් කිසි දෙයක් නොහිත ඇඳකට වෙලා පොතක් බැලීම, නැත්තං චිත්‍රපටියක් දිහා බලාගෙන ඉඳීම, නැත්තං ඔය කිසි දෙයක් නොකර දවසක් විතර නිදාගැනීම කියන දේවල් කම්මැලිකමේ ආසන්නතම ලක්ෂණ විධියට තාම මං සතුව තියෙනව. එයිනුත් නින්ද කියන්නෙ ජීවිතයේ මම ලබන උපරිම තෘප්තියයි.

කම්මැලිකම සහ නින්ද ගැන කියද්දි අනිවාර්යයෙන්ම බෙදාගන්න උවමනා කරන මගේ ප්‍රියතම සින්දුවක් තියෙනව.



The Beatles - I'm only sleeping



මේකෙන් කියවෙන්නෙත් කම්මැලියෙක් ගැන... මම දන්න තරමින් තේරුම් කරන්න බලන්නම්...

මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈනු
ම් අරිනව

මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා, හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන විධියට හැමෝම හිතන්නෙ මම කම්මැලියෙක් කියල
මට කමක් නෑ, මං හිතන්නෙ උන්ට පිස්සු
වේගයෙන් හැමතැනම දුවනවා...
උන්ටම තේරෙනකල් ඒකෙ කිසි වැඩක් නෑ කියල
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ ජනේලෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මෙතනම වැතිරිලා සීලිම දිහා බලාගෙන
නිදිමත එනකල් මම ඉන්නේ
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ කවුළුවෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈණුම් අරිනව
මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන තේරුමට වඩා දෙයක් මේ සින්දුවෙ තියෙනව වුණාට ඒක කෙලින්ම ‍කම්මැලිකමට අදාල නෑ. ‍කොහොම හරි මේ කියන්නෙ නිදාගන්න එක පරම සුවය කරගත්ත කම්මැලියෙක් ගැන... මේක බීටල්ස්ලගෙ Revolver ඇල්බම් එකේ තියෙන තවත් එක සුන්දර සින්දුවක්.

.........

මුලින්ම කිව්ව අද දවසේ (ඔක්තෝබර් 09) විශේෂත්වය තමයි මේ සින්දුව කියන ජෝන් ලෙනන්ගෙ 70 ‍වෙනි උපන් දිනය අද වීම. ඒක මට මතක තිබුණෙ නැතත් ගුගල් ඩූගල් එක වෙනස් වෙලා තිබුණම මට හිතුණා මේ සටහන ඔහු වෙනුවෙන් වෙන් කරන්න. කොහොමත් අර කම්මැලි සින්දුව මේ සටහනට ඇතුල් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණනේ...

ජෝන් ලෙනන් ‍අපට හිටපු සංගීතමය මානව හිතවාදීන් කීප දෙනෙක් අතරින් ඉදිරියෙන් හිටපු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඔහු බීටල්ස් සමග කරපු නිර්මාණ දැනටත් සංගීතමය විප්ලව. ඔහුගේ සිහිනය වුණේ කවදාවත් උදා වෙයි කියල හිතන්න බැරි සුන්දර ලෝකයක්. ඒ වගේ ලෝකයක් බලාපොරොත්තු වෙන අය පිස්සො විධියට ගණන් ගන්න බව ඔහු දැනගෙන හිටිය.




කම්මැලිකම නැතිව මේ ලිපිය පල කරන්න පුළුවන් වීම ගැන මාර සන්තෝසයි....

Saturday 2 October 2010

කසාදයක් කරගත් ගැහැණියක්…

මේක මට ලියන්න විශේෂ හේතුවක් නැතත් අපේ මරේ එක දිගට කාන්තා විමුක්තිය ගැන කතා කරද්දි මේක ගැනත් කිව්වොත් හොඳයි කියල හිතුණා. කතාව සත්‍යයි නම් ගම් මනඃකල්පිතයි.

සාවිත්‍රිගේ වයස අවුරුදු 27යි. බැඳල මාස හයයි. එයා දැන් මාස හතරක ගැබක් තියෙන, අම්ම කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න සුන්දර ගැහැණියක්.

අද උදේ සාවිත්‍රි වැඩට ඇවිත් හොඳටම ඇඬුවා. හේතුව කෙලින්ම අපට කිව්වෙ නැතත් අපේ ඕපදූප මීටර් වලට අහුවුණ විධියට කලින් දා රාත්‍රියේ සාවිත්‍රිගේ සැමියා ඇයට පහර දීල තිබුණ.

මේක ගැන යාළුවො ටික කතා වෙද්දි අපේ ලාබාල ගයාන් කිව්ව "සාවිත්‍රිටත් හැරිච්චගමන් එකක් දෙන්නනේ තිබුණේ" කියල.

එතකොට සුජානි මිස් කිව්වෙ "ඒ මිනිහ රළු හැඩිදැඩි මිනිහෙක්. ඒ නැතත් පිරිමින්ට එහෙම ගහන්නෙ නෑනෙ ගෑණු" කියල.

ආයෙ ගයාන් කියනව "ඒක තමයි ලංකාවෙ ගෑණුන්ගෙ වැරුද්ද" කියල.

මෙතන තියෙන්නෙ ගුටිකෑම හා ගුටි දීම ගැන ප්‍රශ්ණයක් නෙවෙයි. මේ පේන විධියට මේ යුවතිපතින්ට තියෙන ගැටළුව මොකක් වුණත් පළවෙනි කාරණය විධියට ගහ මරාගන්න ගානට ප්‍රශ්ණ ඇදෙන්න තරම් දෙන්න අතර අවබෝධයක් නැද්ද? ඊළඟ එක මේ දරුවෙක් දරාගෙන ඉන්න අම්ම කෙනෙක්ය කියන එක ඒ තාත්තටම අමතක වීම මාර අවුලක් නේද?

ඇත්තම කතාව ඒකත් නෙවෙයි කියලයි අපි තර්ක කලේ... මේ විවාහය මොකක් වුණත් යෝජිත විවාහයක් වෙන්න ඇති. නැත්තං තමන් ජීවිත කාලෙම ඉන්න කියල කසාද බඳින මනුස්සයගෙ හැටි ස්වභාවය නොදැන ඉන්න විධියක් නෑනේ ප්‍රේම කරල විවාහ වුණා නම්...

යෝජිත විවාහයකින් පස්සෙ දෙන්න තම තමන් ගැන හරියට අඳුනගන්නෙවත් නැතිව ළමයි හදන්නත් කල්පනා කරලා... දැන් තමයි කසාදෙ ර‍ඟේ තේරෙන්නේ. ඒත් දැන් කෝච්චිය ගිහින් ඉවරයිනේ.

කසාදෙකදි අන්‍යෝන්‍ය අවබෝධය කියන දේ වැදගත්ම සාධකය කියලයි මම නම් දන්න තරමින් හිතෙන්නේ. ප්‍රමාණවත් අවබෝධයක් නැතිව ඉදිරි පියවර තිබ්බොත් අවුලක්. හරියට කඹයක් උඩ ඇවිදිනව වගේ වැඩක් ඒක.

මම මේක මේ තරම් දෙයක් කරගත්තට ඇත්තටම මේක මේ තරම් දරුණු නැතිව ඇති. සමහර විට අද රාත්‍රියෙ සාවිත්‍රිගෙ සැමියා එයාගෙන් සමාව අරන් වැඳවැටිල ෂේප් වෙලා දෙන්න කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල කෑම ගන්නත් ඇති. නමුත් එහෙම වුණාය කියල මේ වුණ සිදුවීම ලෝකෙ ඕනම තැනක ආයෙ සිදුවෙන්‍නෙ නෑ කියන්න බෑනේ....

Thursday 30 September 2010

ආයෙත් ලිවිල්ල...

ආයෙත් ලිවිල්ල පටන්ගන්න කලින් ආයෙත් ලිවිල්ල ගැනම කලින් කියපු කතාවක් මෙතනම දැම්ම නම් හොඳයි කියල හිතුණ. මේක කලින් පල වුණේ අපේ Fit එකේ යාළුවො සෙට් එකේ මූලිකත්වයෙන් සහ ලියන හැමෝගෙම දායකත්වයෙන් පවත්වගෙන යන සීයගෙ බ්ලොග් එකෙයි.

මමත් දැන් categorized


කාලයක් තිස්සෙ නොලියපු බ්ලොග් එක ආයෙත් ලියන්න උවමනාවක් සෑහෙන්න ඈතක ඉඳන් ළඟටම ඇවිත්.
බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට import කලාම ‍දාල තිබුණ සටහන් සේරම uncategorized කියන ප්‍රවර්ගයට එකතු වෙලා තිබුණ.
මනෝ තෘප්තියටත් එක්ක මම category cloud කියන විජට්ටුවත් දැම්ම.
මුලින්ම ඒකෙ uncategorized කියල විතරක් ලොකුවටම තිබුණ.
එක එක සටහන නැවත කියවන ගමන් එක එක ප්‍රවර්ග වලට වෙන් කලා.
එතකොට වෙනත් ප්‍රවර්ග එකතු වෙලා uncategorized කියල ලොකුවට පෙන්නපු ප්‍රවර්ගය පුංචිම වුණා ටිකෙන් ටික.

................

මමත් මටවත් අයිති නැති මනුස්සයෙක් වෙලා හිටිය ජීවිතේ එක කාලයක්!
දැන් මම එක එක වෙලාවට එක එක අයට ඕන විධියට.
මගේය කියන ලෝකය දැන් ටික ටික පුංචි වීගෙන යනවා...

තාමත් කැටගරි වලාවෙ uncategorized කියන එක ලොකුවට තියෙනවා... ඉදිරියෙදි මම ලිව්වොත් සහ මේ බ්ලොග් එක පවත්වගත්තොත් ඕක ටික ටික පුංචි වෙයි.

එහෙම අවිශ්වාසෙට කිව්වෙ කලින් කිව්ව වගේ ළඟටම ආපු ලිවීමේ උවමනාව ඉක්මනටම ආයෙත් ඈතට යන්නත් පුළුවන් නිසයි. කාලයක් එක දිගට කිසිම දෙයක් කරන්න තියෙන අකමැත්ත ලිවිල්ලටත් ඒ වගේම අදාලයි හැම වෙලේම. ඒ නිසා ලියන එක දැනට ස්ථිර වුනාට ඉදිරියෙදි ඒ ගැන කියන්න බෑ.

ඇත්තටම ලියනවට වඩා කල්පනා කරල මා තුලම දේවල් විසඳගන්න එකට මම කැමති වෙලයි ඉන්නේ. ලිවිල්ල කිසිම තේරුමක් නෑ වෙලාවකට. ඒකෙන් අපි හිතන දේ මොට්ට වෙලා ලියවෙනව හැර වෙන දෙයක් වෙන්නෙම නෑ ‍බොහොම වෙලාවට. ඒ නිසා ලියන එකත් නවත්තලා කල්පනා කරන එක විතරක් කරන්න ගත්ත මම. ඒකත් ඇති වෙලා ආයෙත් ලියන්න හිතුණ කියමුකෝ...

ඉතිං බලමු අනාගතේදි හම්බවෙන්න... ජීවිතේ හරිම කොටයි. ඒකෙ කිසිම තේරුමක් නැති වුණත් ජීවත් වෙනතාක් අපි හැමෝම කරන්නෙ ජීවිතේ තේරුමක් දකින්න යන එකනේ...


මෙම සටහන ලියන අවස්ථාවේදී මෙම බ්ලොගය සෙවාදායකයක් මත පිහිටවූ වර්ඩ්ප්‍රෙස් සංස්කරණයක් මත ගොඩනැගෙමින් තිබූ බව කරුණාවෙන් සලකන්න.