Tuesday 16 February 2021

විලියම් ගෝල්ඩින් - මිතුරු දම් බිඳුණු පසු පොත ගැන අදහස්


මේ පොත 2007 පොත් ප්‍රදර්ශනයෙන් ගත්තත් කියවන්නෙ 2020 දි. ඒ අතරෙ කීප දෙනෙක් අතරෙ පොත ගමන් කරල තියෙනවා. ආපදාවලටත් ලක්වෙලා තියෙනවා.

මට මතක විදියට පොත ගන්න බලපාපු හේතුව ඒක 'කොරල් දූපත' පොතට සම්බන්ධයි වගේ අදහසක් තිබීම වෙන්න ඕන. සමහර විට ප්‍රදර්ශනයෙදි පිටුවක් දෙකක් කියවද්දි දැනුණ නම්ගම්වල හුරුව නිසා ක්ෂණයෙන් ගන්න හිතන්නත් ඇති.

ආර්. එම්. බැලන්ටයින්ගෙ 'කොරල් දූපත' යොවුන් නවකතාව ලංකාවෙ පරිවර්තකයන් කීපදෙනෙක්ම පරිවර්තනය කරල තියෙනවා. ඒ අතරින් කේ.ජී. කරුණාතිලක සූරීන් කරපු සංක්ෂිප්ත පරිවර්තනය මං පොඩි කාලෙ ඉඳන් නැවත නැවතත් කීප වතාවක් කියවපු රසවත්ම පොතක්. ජැක්, රැල්ෆ් එක්ක පීටර් සහ ඔවුන්ගේ අත්දැකීම් අමතක නොවන රූප සහිත මතකයන් නිර්මාණය කරල තියෙනවා.

'මිතුරු දම් බිඳුනු පසු' කියන්නෙ ඒ විදියෙම නම් ඇති චරිත සහ ආකෘතියකින් යුතු වුණත් ඒ වගේ පොතක් නෙවෙයි. මෙතනදි මිනිස්සු අතර අවබෝධය ගිලිහීම එක්ක ඇතිවෙන අර්බුදය ගැනයි කතා කරන්නෙ. ඒක එක පැත්තකින් ගත්තොත් කොරල් දූපතේ ප්‍රතිලෝමය. කැමතිනම් ඒක දේශපාලනිකව අර්ථ දක්වගන්නත් පුළුවන්.

පොතේ පරිවර්තනය ඉතාම හොඳයි කියල කියන්න බෑ මට. සමහර අවස්ථාවන් කිසිම පැහැදිලි අදහසක් ජනිත නොකරන වචන විදියට ලියවිලා තිබුණ බවයි තේරුණෙ. ඒක ලොකු බාධාවක් නෙවෙයි. නමුත් පොත වඩාත් සාර්ථකයි කියල කියන්න තිබුණා ඒ අවුල නොපෙනුනා නම්.

ඔබ Battle Royale හෝ ඒ ආකෘතියේ චිත්‍රපටි නරඹලා තියෙනවනම් 'පැවැත්ම' වෙනුවෙන් මිනිස්සුන්ට යන්න පුළුවන් අන්තයක් මොන වගේ ද කියල අදහසක් ඇති. එක අතකට ඒක තේරුම් ගන්න චිත්‍රපටි බලන්න අවශ්‍යත් නෑ. තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් පාවාදීමේ ඉඳලා මිනීමැරීම දක්වා ඕන තරම් දේවල් මිනිස්සුන්ට කරන්න පුළුවන්. අපි ශිෂ්ටත්වය කියල කියන්නෙ මායාවකට. සමහර විට ශිෂ්ටත්වය දුර්වලයො හොයාගත්ත අදහසක් වෙන්න ඇති.

මිතුරු දම් බිඳුනු පසු කියවන ඔබට බොහොම දේවල් හිතෙයි. ඔබ කොරල් දූපත පොතේ කුමන හෝ පරිවර්තනයක් කියවල තියෙනවනම් ඒක අමතර පහසුවක් වෙයි. එහෙම නැතිව අනිත් අතට යන්න ඔබ අදහස් කරනවනම් ඔබට විඳින්නන්ට ලැබෙන රස අසීමාන්තික යි.