Saturday 11 October 2014

තාරා මගේත් දෙව් දුව

තාරා යනු කවුදැයි මා දන්නෙ නැත. එය සෙවීමටද උවමනාවක් මට නැත. එහෙත් සිත පැහැරගත් විජේමාන්නයන්ගේ තාරා ගැන බිඳක් ලියන්නට උවමනාය.

යුද්ධය හා උදාව ඇති එහි පශ්චාත් තත්ත්වයන් ගැටළු සියල්ලට විසඳුමක්ද යන්න ගැන විජේමාන්නයන් ප්‍රශ්ණ කරයි. එයට කිසිවකු පිළිතුරු නොදෙන බව දැන දැනම ඔහු එම ප්‍රශ්ණය නගයි. ඇත්තෙන්ම ඔහු පිළිතුර දනී. එක් පිරිසක් විජයග්‍රහණයෙන් උද්දාමව ජයපැන් බොන ඇසිල්ලේ තාරා සදහටම නික්ම යවන්නේ එහෙයිනි. ඇයට කල හැකි කිසිවක් නැත. හුදු සෞන්දර්යවාදී සාහිත්‍ය ලෝලීන් පිරිසක් මනෝ ප්‍රහර්ෂයට ලක් කරනු හැර තාරාට කරන්නට යමක් ඉතිරිව නැත.

තාරා ලංකීය සාහිත්‍යයේ පවතින තැන එතරම් ඉහල නොවිය හැක. ඉහත කී ප්‍රශ්ණ නැගීම හැර ඉන් එපිට දේශපාලනීය මැදිහත්වීමක්ද ඉන් සිදුවන බවක නොපෙනේ. සරාංශය ගත්විට එහි එතරම් ගත යුත්තක් ඇති බවක්ද නොදැණේ.

එහෙත් එය විශිෂ්ට ලිවීමක් බව කිව යුතුය.

එසේ කිව හැක්කේ මන්ද යන්න නැවතත් සිත අවදි කල යුතු කරුණකි. විජේමාන්නයන්ගේ වාග් කෞෂල්‍ය වෙනදා මෙන්ම ලගන්නා සුළුය. අන් කිසිදු කරුණකින් තොරව වුවද තාරා විශිෂ්ට ලිවීමක් ලෙස දැණෙන්නේ එබැවිනි.

තාරා අවදි කරන්නේ මාගේ කාන්සාමය මතකයන්ය යන්න ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. පැරණි ප්‍රේමයන් සම්බන්ධ එම මතකයන් බොහොමයක් අමතකවන්නට ඉඩ දී ඇත. එහෙත් මීදුමත්, කඳු වැටිත්, තේ වතුත්, සීතලත් කැටිවුණ මතකයන් කිසිදා අමතක වන්නට ඉඩක් නැත. එම තෙත් මතකයන්ගෙන් තොරව වුවද අතීත සුන්දර සිහිනයක් සැබෑ ජීවිතය තුල විඳින්නට අකමැති අයෙක් වේද?

තාරා පැහැරගන්නේ ඔබේ ඒ ආශාවයි.

ප්‍රියංගා යනු එම සිහිනය සැබෑව තුලද සිහිනයක් පමණක්ව විඳින්නට භාණුක බැඳ දමන්නියයි. ඇය භාණුකගේ බිරිඳව නොසිටියානම් මෙහි කියන්නට කතාවක් නැත. මන්ද ප්‍රියංගා නොවන්නට තාරා හා භාණුක දරුවන්ද පිරිවරා ගෙවන ඒකමිතික ජීවිතයක් අරඹන්නට ඉඩ ඇති බැවිනි. එහෙත් ප්‍රියංගා භාණුක ලිහා දැමිය යුතු වපරිසය දනී. මෙම තුන්කොන් ප්‍රේමය තුල ඇගේ චරිතය මා හට අභව්‍ය බව දැනෙන්නේ එහෙයිනි. නොඑසේ නම් ඇය තාරාටත් ඉදිරියෙන් රැඩිකල්ය. අවබෝධශීලීය. එවන් ගැහැණුන් සැබෑ ලොවේ සිටීදැයි මම නොදනිමි.

ගොඩගත් තාරා මා තෙහෙට්ටු කරවන්නීය. ඇය මාගේ මනසේ රූපගත කිරීම මට අපහසුය. මන්ද විජේමාන්නයන්ගේ තාරාට සම කර හැකි රුවක් මා අතීතයේද වර්තමානයේද දැක නැත. එය සිතින් මවාගන්නටද මා අපොහොසත්ය. නැතිනම් මා උවමනාවට වඩා ක්ෂුද්‍ර ලක්ෂණ ගැන උනන්දු වනවා වන්නට පුළුවන.

කෙසේ වුවද මට තාරා දෙව් දුවක් ලෙසම සිටින්නට අවශ්‍යය.

මට ඈ නැවත වලදමන්නට උවමනාය.

Saturday 20 September 2014

සොරොව්වෙන් එළියට කෝච්චියකින්

ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ සොරොව්ව පොතේ මුල් පිටු කීපය කියවද්දිම ඒක එක දිගට කියවගෙන යන්න පුළුවන් පොතක් බව මට තේරුණා. සුසන්ත කියන පාසල් ගුරුවරයගෙ සංකීර්ණ මනෝභාවයන් පිළිබඳ කතාවක් වුණත් ගුණසිරි මහතාගේ සරළ ලේඛණ විලාසය හින්දා ඔළුවට බරක් නැතිව කියවන ගමන් ආයෙ ආයෙමත් සුසන්තගේ ජීවිතේ මට දක්වන සමානකම් ගැන හිතන්න මට පුළුවන් වුණා. ඒක ඇත්තටම එක විධියකට මාවම නැවත කියවීමක් වගේ. සුසන්ත කියන්නෙ මම නෙවෙයි. නමුත් සුසන්තට සමාජය ගැන තියෙන ඇතැම් කියවීම්වලට සෑහෙන්න සමාන කියවීම් මටත් තියෙන බව මට තේරුණා. මම ටික වෙලාවක් සුසන්තවයි මාවයි ගලපන්න උත්සාහ ගත්ත. තම තමංගෙම ලෝක හදාගෙන බාහිර ලෝකයත් එක්ක සීමිත සම්බන්ධකම් විතරක් තියාගත්තු දෙන්නෙක්... ඒත් ටිකකින් මට වැටහුනේ සුසන්තගේ චරිතය වෙන ඕනම කෙනෙකුගේ චරිතය වෙන්න පුළුවන් කියල. පිටත සමාජෙ ගැන තියෙන අදහස් සුසන්ත හෝ මම දරනව වගේම වෙන ඕනම කෙනෙක් තමංගෙ ජීවිත කාලෙ කොයි මොහොතක හෝ දරල ඇති කියල මට හිතුණ.

රස්සාව කරන තැන වෙනස්වෙල සති කීපයක්ම ගතවෙලා තිබුණට තවමත් මට ඒ වෙනසට හුරුවෙන්න අමාරුයි. රස්සාවල් කරපු අවුරුදු දහයකට වැඩි කාලෙ පුරාම ගෙදර ඉඳන් රැකියා ස්ථානයට යන්න පැයකට වඩා කාලයක් ගත කරන්න වුණේ අළුත් සේවා ස්ථානයට ස්ථාන මාරුව ලැබීමත් එක්ක. කලින් වැඩ කරපු තැන් කීපයටම ගෙදර ඉඳන් විනාඩි දහයක් පහලොවක් විතර ගතකරල පයින් යන්න පුළුවන්. ඒ නිසා පාන්දර හයට නැගිටල හතට වාද්දුවෙන් කෝච්චියෙ නැගල අටට කොල්ලුපිටියෙන් බැහැල අටයි කාල වෙන්න කලින් ඇඟිලි සලකුණු මැෂින් එකේ ඇඟිල්ල තියාගන්න එක තවමත් අමාරු වැඩක්. එහෙම කරගත්තු දවස්වලදි හවස හතරට ඕෆ් වෙලා කොච්චියකින් ගෙදර යද්දි හවස හය වෙනවා. ගෙදර ගියාම තියෙන තෙහෙට්ටුව සිගරට්ටුවකිනුයි අම්මගෙ කිරි තේ එකෙනුයි නැති කරගන්න ගන්න උත්සාහය තවම ඒ හැටි සාර්ථක නෑ.

‘කෝච්චියෙ ඔයාට තවම යාළුවො ටිකක් නැද්ද පුතේ?‘

මම තේ එක තොලගාන අතරෙ අම්ම ඇවිත් ඉදගන්නව.

‘නෑ...‘

මම කියනව.

‘තවම අළුත්නේ. ටික දවසක් යද්දි කට්ටියක් හම්බවෙයි‘

‘හපෝ නැති එක හොඳයි. නැත්තං කච කචේ කච කචේ ඉවරයක් නැහැ. ඊට වඩා හොඳයි කල්පනාවක් දාගෙන යන එක‘

‘එහෙම තමයි පුතේ... ඒ මිනිස්සු දවසකට පැය දෙක තුනක් එකටම ඉන්න මිනිස්සුනේ...කියවන්න දේවල් ඇති ඕන තරං‘

‘ඒ වුණාට සමහර වෙලාවට වදයක්නේ. කියවන්නෙත් මෙලෝ වැඩක් නැති වල්පල්.‘

අම්මා නිහඬ වෙනවා. ඈ මුලදිම තර්ක කරන එක ඉවත දානවා. හරියට තර්කයේ නිශ්ඵලත්වය ඈ අත්දැකීමෙන් වටහාගෙන තියෙනව වගේ.

සංවාදය වෙනුවෙන් ඇගේ තර්කය පිළි නොගත්තත් අම්මා නිවැරදි බව මම කතාව පටංගද්දිම දන්නවා. උදේ හවස කෝච්චියේ යන මිනිස්සු එකම පන්තියක මිනිස්සු ටිකක්. බාගෙට බාගයක් රජයේ සේවකයො සහ පෞද්ගලික සේවකයින්. කෝච්චියෙ ගමන්කරන අයගෙ කියුම් කෙරුම් ගැන ඕන තරම් කියවල තිබුණත් ඒක සැබෑ අත්දැකීමක් වෙන එක දිරවගන්න ටිකක් අමාරු වුණා මට. මුලදි දිගින් දිගටම දුර ගමන් දුම්රියවල තෙරපෙමින් තැම්බෙමින් ගිය මට කාර්යාල දුම්රියවලට මගේ කාල සටහන හුරු කරගන්න ටික දවසක් ගියා. ඒත් ඒ කෝච්චිවල යන මිනිස්සුත් එක්ක මුලදි ඒක ඒ තරම් ලේසි වුණේ නැහැ. එදිනෙදා සාමාන්‍ය වල්පල් එක්ක ටීවී එකේ මෙගා මලවිකාරත් ආයෙ ආයෙමත් රිපීට් වුණා. එක එකාව, විශේෂයෙන් ගෑණු අයව බයිට් වුණා. වතාවක් පානදුරෙන් නැගපු දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑණු කෙනෙක්ට පිරිමියෙක් නැගිටල සීට් එක දුන්නෙ ‘මේකි සීට් එක ගන්න ඕන නිසාම කොට්ටයක් බැඳන් එනවද කොහෙද?‘ කියලයි. කොල්ලුපිටිය දක්වාම ඔවුන් අතරෙ සිද්ධ වුන සුහද කතාවත් එක්ක මට තේරුණෙ ඔවුන් බොහොම සමීප මිතුරු කණ්ඩායමක් බවයි.

කෝච්චියෙ ඉන්න තනි තනි කණ්ඩායම් අතරෙ තියෙන සුහදකම ඒ අය අතරෙ වෙනම පුංචි ලෝක නිර්මාණය කරල තිබුණ. ඒත් තනිකම හැමදේටම වඩා වින්දනීය වුණ මට ඒක කරච්චලයක් වුණා. මම කල්පනා කළේ බ්ලොග් එකට ඒ ගැන කවියකුත් ලියන්න.

කාර්යාල කෝච්චියේ
එකම පන්තියක යන අපෙන්
කොටසක් සීට් වල ඉඳගෙන
කාපට් පාරවල් ගැන
කුඩු කන්ටේනර් ගැන
උස්සපු ළමයි ගැන
ස්ත්‍රී දූෂණ ගැන
සුදු නංගිලෙග ටෙලි ගැන
බුජුම්පියෝ ගැන
තළු මරන අතරෙ
සීට්වල ඉඳගන්න වරම් නැති
අපෙන් තවත් කොටසක්
සීට් අතරෙ හිටගෙන
බකං නිලාගෙන
කෝච්චියෙන් බහිනකොට
කැනිබලෙක්ට උවමනානම්
ගම්මිරිස් ඉහාගෙන
කන්න හැකි තරමට තැම්බීගෙන

සුසන්ත ටිකෙන් ටික සාමාන්‍ය මනුස්සයෙක් වෙනවා. ඒ කියන්නෙ එක විධියකට කපටියෙක්. සාමාන්‍යයෙන් නම් එක මිනිහෙක්වත් තමන් කපටියෙක් බව විශ්වාස කරන්නෙ නැහැ. නමුත් ජීවත්වීමට අපි කරන අරගලයම කපටි සහගතයි. සොරොව්ව පොතේ මහ ලොකු පිටු ගණනක් ඒ ගැන වෙන් නොවුණත් ජීවිතේට අපට තියෙන එකම විකල්පය විධියට ඉදිරිපත් වෙන්නෙ ඒක.

මගේ කල්පනා ලෝකය බිඳුණෙ නහය කඩාගෙන ගිය පල් ගඳකින්. කොහොමත් මුහුදුබඩ මාර්ගයේ ඔහොම පල් ගඳ එන තැන් කීපයක්ම කෝචිචිය පහු කරවනවා. අදාල නගරයේ සේරම කසල වතුර මූදට වැටෙන තැන් තමයි ඒ. කොයි තරම් ගැඹුරු කල්පනාවකින් වුණත් කෙනෙක්ව මුදවන්න ඒක සමත්.

කෝච්චියෙ මිතුරන් හමුවුණාද කියන එක ගැන අම්මා ආයෙ වතාවක් ඇහුවා දවසක්. ඒත් මට දෙන්න තිබුණෙ එකම උත්තරේ. මම දන්න කවුරුවත් කෝච්චියෙ නෑ. ඒ වෙද්දි හැමදාම හමු නොවුණට එදිනෙදා කෝච්චියෙ යන, එකම තැන්වලින් නගින බහින කීප දෙනෙක් මට නිච්චි වෙලා තිබුණත් ඒ අය එක්ක කතා කරන්න මට උවමනා වෙලා තිබුණෙ නෑ.

‘මිනිස්සුන්ව අඳුණගන්න එක වටිනවනෙ පුතේ‘

අම්ම කියන්නෙ එහෙම.

‘මිනිස්සු තමංගෙ වැඩේ හරියට කරනවනං පුද්ගලිකව දැන ගත්තෙ නැතිවට කමක් නෑ අම්මා. තමන්ගෙ වැඩේ හරියට නොකරන නිසා තමයි පෞද්ගලික දැන හැඳුනුම්කම් ඕන වෙන්නෙ‘

එතකොට මම කියන්නෙ එහෙම.

‘ඒ වුණාට ඔයා කට්ටිය එක්ක කතා කරල අඳුනගනියි පස්සෙ‘

අම්ම හදන්නෙ එහෙම කියල තමන් සැනසෙන්නද එහෙම නැත්තං ආදරණීය විධානයක් දෙන්නද කියන කතාව දන්නෙ අම්ම විතරයි.

ඒත් මට කිසිම උවමනාවක් නෑ මිනිහෙක් එක්ක බලෙන් කතා කරන්න. අවශ්‍යතාවයකට කතාකරන එක හෝ මිනිහෙක්ට උදව් අවශ්‍ය වෙලේක දැන හැඳුණුම් නොතකා උදව් කරන එක වෙනම කතාවක්. කොහොමත් රාජකාරියෙදි හෝ පෞද්ගලික ජීවිතේදිවත් දැන හැඳුනුම්කම්වලට වඩා අවශ්‍යතාවයට මුල් තැන දෙන එකයි මගේ පුරුද්ද. ඒ වගේම උදව්වක් උවමනා වෙලේක ඒ උදව්ව ඇත්තටම ඒ මිනිහට උවමනාද කියන කාරණාව ගැන මගේ විනිශ්චය මත ඒ මිනිහට උදව් කරන එක හෝ උදව් නොකරන එකට වෙන කිසිම සාධකයක් අදාල නෑ. ඒ නිසා මිනිහෙක් මාත් එක්ක එකම වෙලාවට වැඩට යනවා කියන කාරණය මත විශේෂයෙන් ඒ මිනිහව අඳුණගන්න මට උවමනා වුණේම නෑ.

නමුත් අම්මා ඒ වෙලාවෙදිත් හරි කියල මම දැනගෙන හිටිය. මේ වෙනකොට ජීවිතේ කියන්නෙ එහෙම එකක්. දැන හැඳීනීම් මත ඕනම දෙයක් ‘කරගන්න‘ පුළුවන්.

ගුණසිරි මහත්මයගෙ කලින් පොත්වලින් දෙකයි මම කියවල තියෙන්නෙ. හැබැයි මේ පොතේ රටාව කලින් පොත් ලියවිල තිබුණු සාර්ථක සහ කතාව පුරාම වගේ සංවිධානය වුණ විඥානධාරා ආකෘතියට ඒ තරමටම ගැලපෙන්නෙ නෑ කියල මට හිතුණ. චරිතයක් විධියට ගොඩනැගෙන්නෙ සුසන්ත විතරයි. ඒ අතින්නම් ඔහු බොහොම ගැඹුරකට ගිහිං තියෙනව. ඒත් සමහර වෙලාවලදි ටිකක් කෘතිම බවක් දැණෙන්න ගන්නව. ඒ එක්කම ඔහුගේ කතා ශෛලිය ගැන තියෙන පූර්ව දැනීම හින්දම කතාවෙ අවසානය ගැන මට දෙවෙනි පරිච්ඡේදය වෙනකොට ඉඟි ලැබුණා. ඔහුගේ අනිත් කතාවලත් චරිතවල හැසිරීම මම දැනගෙන හිටපු නිසා ඒ ඉඟි නිකංම ඉඟි නොවෙන බවට තිබුණ මගේ සැකය අවසානෙ නිරවුල් වුණා. කොහොම වුණත් ගුණසිරි මහත්තයගෙ මම කියවපු අනිත් පොත් වගේ සොරොව්ව පොත ප්‍රමාණවත් කාලයක් සැලසුම් කරල නෑ වගේ ගතියක් මට තේරුණේ. සුසන්තගේ චරිතය ගැන ඇතිවෙන බැඳීමට අමතරව පොත කියවන්න වාසියක් වෙන්නෙ ගුණසිරි මහතාගේ පහසු වාග් ශෛලිය විතරයි.

කාර්යාල කෝච්චියෙ යන මිනිස්සු ගැන මගේ ආකල්ප වෙනස් වෙමින් තියෙනවා. එහෙම වෙනස් වෙන්න කලින්ම අර වගේ කවියක් බ්ලොග් එකේ නොලියන්න මම තීරණය කළේ හැමෝටම අවස්ථාවක් අවශ්‍යයි කියන අදහස මට තියෙන නිසා. පුද්ගලික හෝ සංකල්පීය වෙනස්කම් මත මිනිස්සුන්ව කපල දාන එක මම නතර කරල නොසෑහෙන්න කාලයක් ගිහින්. හොරු, තක්කඩි වගේම ආගමික, ජෝතිෂ්‍යමය හැම මිනිහෙක් සම්බන්ධයෙන්ම අවසාන තීරණය මරණය විතරක්ය කියන එක තේරුම් අරගෙනත් සෑහෙන්න කාලෙකට පස්සෙයි එහෙම වුණේ. මිනිස්සුන්ව අයින් කරන එක ලස්සන චිත්‍රයක් හෝදල නිකංම නිකං කැන්වස්එක මතුකරගන්නව වගේ වැඩක්. ගහකොල කඳු වැටි කපල නිම්නවලට පුරවල ලෝකය පැතලි කරනව වගේ වැඩක්.

මේ වෙනසට බලපාපු තවත් එක සිදුවීමක් වුණේ දවසක් උදේ කෝචිචියෙ මිතුරු කණ්ඩායමක් සින්දු කියන්න ගත්තු එක. හැරෙන්නවත් බැරිවෙන්න තෙරපිල හිටපු මට ඒ කවුද කියලවත් දැනගන්න විධියක් තිබුණෙ නෑ. ඒක වුණේ කෝච්චි පෙට්ටියෙ අනිත් කෙලවරේ. මුලින්ම ඇහුනෙ ටී.එම්. ජයරත්නගෙ සින්දු ටිකක්. ලේසියෙන්ම පස් වෙනි වටය දක්වා යන්න පුළුවන් හඬවල් ටිකක් එතන තිබුණා. රත්මලාන පහුවෙද්දි ටී.එම්.ගෙන් ජෝතිට මාරු වුණේ තවත් සුන්දරම සින්දු පෝලිමක් එක්ක. මේ මිනිස්සු උදේ පහටවත් නැගිටිනව ඇති. හවසට ගෙදර යද්දි හය හතවත් වෙනව ඇති. අවදියෙන් ගෙදර ගත කරන පැය කීපයට අමතරව වින්දනයකට ඉඩක් තියෙන්නෙ කෝච්චියෙ මිතුරු හමුවෙ වෙන්නත් ඇති.

මම මේ ගැන හාමිනේට කිව්වම උන්දැ ඇහුවෙ ‘ඇයි ඉතිං ඔයා එතනට ගියෙ නැත්තෙ?‘ කියලයි. එහෙම අහනකල් මට ඒක කල්පනා වුණේ නෑ. යන්න විධියක් නොතිබුණත් උවමනාවක් තිබුණ නම් සෙනග මැදින් ගිහින් එතනට එකතුවෙන්න පුළුවන්කම තිබුණ නේද කියල මට හිතුණා. ඒත් උවමනාව විතරක් මදි. නොදන්න මිනිස්සු ටිකක් අතරට එකපාර එකතු වෙන්න ආත්ම විශ්වාසයත් ඕන.

සුසන්ත තියන්නෙ අතිශය ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙක්. නමුත් ඔහු ඒ ආත්ම ශක්තිය භාවිතා කරන්නෙ නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයක් ඔහුට නෑ. එදිනෙදා ජීවිතේදි ආත්ම ශක්තිය මත මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයන් දිනාගනිද්දි සුසන්තට දිනාගන්න තරම් අවශ්‍යතා නෑ. සුසන්ත තමන්ගෙ ඉස්කෝලෙදි බංකු තුනක් එකතු කරල හදාගත්තු ඇඳක නිදාගන්න එක ගැන දුක් වෙන්නෙ නෑ. ඒක ඔහු ජීවත් වෙන විධිය. නමුත් පොත දිගහැරෙන්නෙ ඔහු තමන්ගෙ ආත්ම ශක්තිය භාවිතා කරල මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගන්න අවස්ථාවල් එක්ක.

ඒ බව කියවද්දි මට මතක් වෙන්නෙ මගේ ජීවිතේ නුගේගොඩ නගරය වටේ ගැවසුන කාලය. එක පැත්තකින් බැඳුම් ලණු ලිහිල ගැලවිල තිබුණ පන් පැදුරුකුයි පෙරවන්න රෙද්දකුයි විතරක් එක්ක තට්ටු හතරක බිල්ඩිමක උඩම තට්ටුවෙ තුන් පැත්තකින් විවෘත ආලින්දයක මම නිදාගත්තු රාත්‍රීන් ගැන කිසිම දුකක් හෝ කණගාටුවක් මට නැහැ. ඒක ඒ කාලෙදි දැණුන ස්වභාවික ජීවිතයේ රසය විඳීමක් විතරක් වුණා. එහෙම නිදාගත්තු සමහර රාත්‍රීන්වල වහිනකොට ඒක දැණෙන්නෙ කකුල්වලට හිරිකඩ වැටෙද්දි. එතකොට බිත්තිය අයිනටම ගිහින් ගුළි වෙනවා. ඒව ජීවිත කාලෙම මතක තියෙන සුන්දර මතක. ජීවිතේ ඉදිරි කාලය ශක්තිමත් කරන්න පදනම් වුණ අත්දැකීම්.

කෝච්චියෙ ඒකමිතික ශබ්ද රටාව හිටිගමන් වෙනස්වෙන්නෙ පාලමක් උඩින් යද්දි. ආපහු ටිකකින් සුපුරුදු ශබ්දයම. ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ පොත් ලිවීමත් ඒ වගේ ඒකමිතිකයිද කියල මට හිතුණ. කියවපු පොත් තුනේම අඩු වැඩි වශයෙන් තියෙන ආකෘතිය ඔහු ලේඛණයට භාවිතා කරන සූත්‍රයක්ද කියල මට හිතෙනව. ඔහු චරිත කීපයක් සහ කතාවක් සහිත සැකිල්ලක් හදාගන්නව. කතාවේ ආරම්භය, ගලා යෑම සහ අවසානය සැකිලිගත කරනව. කතාව හැමවේලේම උත්තම පුරුෂයෙන් ලියවෙන හින්දා ඒ චරිතය වඩාත් ගැඹුරට සැලසුම් කරනව. අවශේෂ චරිත කීපයක් භාවිතා කරල ඔහුගෙ අවසානෙට ඍජුවම යන්න අපහසු විධියට කතාව විකෘති කරනව. චරිත තෝරගනිද්දි ඒ ඒ චරිත අතර සම්බන්ධයක් තිබීම හෝ නොතිබීම මත කතාවේ සිදුවීම් ගොඩනැගෙනව. ඉතින් අපි කියවන්නෙ විකෘති වුණ සාමාන්‍ය සරළ කතාවක්. කතාව තුල සිදුවීම් එකින් එකට මුහුණ දෙමින් අපි කරන්නෙ අර විකෘතීන් ටික ලිහාගන්න එක. ඒක කියවමින් අවසානය දක්වා යද්දි අදාල සම්බන්ධතා වටහාගැනීමත් එක්ක අපි පොතේ විකෘතීන් විසඳගන්නව. අන්තිමේදි අපිට කතාව ඉවර කරගන්න අවශ්‍ය වෙන විධියටම කතාව අවසාන වෙනවා.

ඒ ගැන ආයෙම හිතද්දි කල්පනා වුණේ කවුරුත් කරන්නෙ ඒ දේම නේද කියලයි.

මම පොත වහල බෑග් එකේ දාගත්තෙ පින්වත්ත ස්ටේෂම පහුවුණ බව දැණුන හින්දයි. සොරොව්ව ආයෙම වතාවක් මම මොනවද කරන්නෙ කියන එක ගැන සීරියස් වෙන්න අවස්ථාවක් දීල තියෙනවා. ඒ එක්කම එහෙම සීරියස් වෙන්න ඕනද කියන ප්‍රශ්ණෙත් ආයෙම එනවා. ජීවිතේට නිරපේක්ෂ තීරණ අවශ්‍යයි. ප්‍රතිපත්ති සහ මූලධර්මත් අවශ්‍යයි. නමුත් ජීවත් වෙනවා කියන්නෙ ඔය දෙක තුනම සහ තව තව ඒව ගොඩක් එක එක විධියට පාවිච්චි කරන්න වෙන අලකලංචියක්. මම බෑග් එකත් කරේ එල්ලගෙන සීට් එකෙන් නැගිට්ටා. සෙනග පොදියක් දොර ගාව පොදි කනවා බැහැගන්න. ඒ එක්කම වාද්දුව නැවතුමේ යකඩ කට බෙරිහන් දෙනවා.

‘පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ගාල්ල බලා ධාවනය වේ. මෙම දුම්රිය ගාල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...‘


ආශ්‍රිත සටහන් -

පොත් 10 අභියෝගය සහ ඔත්තු

මා වඩාත් සසල කළේ මෙහි නිරූපිත මානුෂීය බැඳීම්

සොරොව්ව නැවත හදන්න!

Friday 12 September 2014

පොත් 10 අභියෝගය සහ ඔත්තු

මේ දවස්වල සාමාන්‍යයෙන් හිට් කතාවල් සිද්ධවෙන්නෙ පොත් ගැනනේ. 2014 පොත් ප්‍රදර්ශනෙත් තියෙනවා. ඒ වගේම පහුගිය දවස්වල ෆේස්බුක් එකේ පටංගත්තු ප්‍රියතම පොත් ගැන චැලේන්ජ් එකත් ගති. ඒ චැලේන්ජ් එකේදි කට්ටිය කියවන්න ආස කරපු පොත් ගැන දකිද්දි මම කියවපු පොත් කීපයක් ගැනත් කියන්න හිතුණා. චැලෙන්ජ් එකට අදාලව නෙවෙයි. නමුත් අවශ්‍ය කෙනෙක්ට වැඩක් වෙයි කියල හිතෙන සටහනක් විධියට. මේක ෆේස්බුකියෙ නොදා මෙතන දාන්නෙ ඒකෙ ඉන්න මේක අදාල වෙන මගේ මිත්‍ර දහ පහලොස් දෙනාට වඩා වැඩිපුර කීප දෙනෙක්වත් මේක දකියි කියල හිතෙන නිසයි.

වැඩි කතා නොකර පටංගමු.


කොරල් දූපත - ආර්.ඇම්. බැලන්ටයින් / කේ.ජී. කරුණාතිලක

මේක තමයි මම වැඩිපුරම වාර ගණනක් කියවල තියෙන පොත. සම්පූර්ණ පරිවර්තනයක් නෙවෙයි. හැබැයි සංක්ෂිප්ත එකක් වුණත් සෑහෙන්න රසවත්. පැසිෆික් සාගරයේ දූපතක අතරමං වෙන ස්කොට්ලන්ත ජාතික යොවුන් වියේ තරුණයො තුන් දෙනෙක් වටා ලියවුණ කතාවක්. ඔවුන් අතරෙ මිතුරුකම ලියලන විධිය, දූපතේ ජීවිතය හුරුකරගන්න විධිය වගේම මිණී කන ගෝත්‍රිකයන් සහ මුහුදු කොල්ලකාරයන් පිරුණු කතාව මුල ඉදන් අගටම මගේ හිතේ ලස්සන චිත්‍ර ගොඩක් ඇන්දා. මේක මුලින්ම කියවද්දි මම සෑහෙන්න පොඩියි. ඒ නිසාම මේකෙ කියවුන ඇතැම් දාර්ශණික දේවල් තේරුණේ නැහැ. නමුත් පොත හමගැහෙන තරමටම නැවත නැවත කියවද්දි මුලින් නොතේරුණ බොහොම දේවල් තේරුණා වගේම ඒ හැම වෙලේකම පොත මට අළුත් වුණා.


පාළු දූපත - එච්.ජී. ජයසුමන

මේකත් අර මුල් පොත වගේම පොතක්. හයේ පන්තියෙදි විතර කියවපු එකක්. අනුරාධපුරේ සහ පොල්ගහවෙල කොල්ලො දෙන්නෙක් පුත්තලම පැත්තෙ දූපතක කරවල වාඩියක අතරමං වෙලා ගෙවන ජීවිතේ ගැන තමයි කතාවෙ තියෙන්නෙ. මේක වඩාත්ම හිතට වැදුනෙ ‘නන්දන‘ කියන වැඩිමහල් තරුණයා ‘නිමල්‘ කියන බාල තරුණයට විවිධ කරුණු ගැන විද්‍යාත්මකව කියා දෙන විධියයි. හෙන ඇඩ්වාන්ස්, සීරියස් දේවල් නොවුණත් ඒ දේවල් ඒ වයසෙදි පට්ට කියල මට හිතුණා.


පෙරළූ නැවුම් පස - මීහයිල් ෂෝලහොව් / සිරිල් සී. පෙරේරා

මේ පොත ගැන කලිනුත් කියල තියෙනවා කියල මතකයි. නමුත් මෙතනදිත් කියන්න ඕන පොතක්. මොකද කට්ටිය දාල තිබුණ ලැයිස්තුවල මේක දැක්කෙම නෑ. මේක වෙළුම් දෙකකින් තියෙන පොතක්. රුසියානු විප්ලවයෙන් පස්සෙ සමාජවාදී රජයක් යටතේ රුසියාවෙ ගමක් ගොඩනැගෙන විධිය ගැන කතාවක්. චරිත ගොඩනැංවීම සහ උපහාසය ව්‍යංගයෙන් මතු කරන එක සම්බන්ධයෙන්නං මේක සුපිරියි කියල කියන්න පුළුවන්. නම ගිය ලොකු රුසියානු පොත් ගොඩකට වඩා මේක මට හිතට වැදුණා. ඒ හින්දම මම ෂෝලහොව්ට නොබෙල් තෑග්ග ලැබුණ ‘දොන් නදිය නිසලව ගලා බසී‘ පොතේ සිංහල පරිවර්තනේ වෙළුම් දෙකකුත් ගත්තා (සම්පූර්ණ පොත වෙළුම් 4) ඒත් මුල් පොතේ පරිච්ඡේද දෙක තුනකට පස්සෙ කියවන එ්ක එපා වුණා. පරිවර්තකයා අනුව පරිවර්තනයක් කොයි තරම් වෙනස් වෙන්න පුළුවන්ද කියන එක මේ නිසා හොඳට තේරුම්ගන්න මට පුළුවන් වුණා. පෙරළූ නැවුම් පස ගැන ගැන වේජනාත් මෙතන කියල තියෙනවා. තව විස්තර මෙතනත් තියෙනවා.


සෝර්බා නම් ග්‍රීකයා - නිකොස් කසන්ට්සාකිස් / සද්ධාතිස්ස වඩිගමංගාව

මේක නිදහසේ ජීවත් වෙන, සිංහලෙන් කිව්වොත් ‘හිතේ දුකක් නැති මිනිහෙක්‘ ගැන කතාවක්. දෙතුන් වතාවක් කියවපු, චිත්‍රපටියත් හොයාගෙන බලපු එකක්. මෙතනදිම කලිනුත් කතා කරල තියෙනවා. මෙතනත් තව විස්තර තියෙනවා.


තුඹස සහ මෙරු / සින්නදොරෙයිගේ පුංචි ලෝකය - ගුණසිරි ජයවර්ධන

ගුණසිරි ජයවර්ධන කියන්නෙ ලංකාවෙ ඇතුලෙ වුණත් වැඩි දෙනෙක් නොදන්න ලේඛකයෙක් වුණාට ඔහු මම කැමති ලංකාවේ ලේඛකයො අතරෙ ඉන්නෙ ඉහළම තැනක. ඔහුගෙ ලේඛණ රීතිය යථාර්ථවාදී රීතියක්. හැබැයි ඔය ඉන්ද්‍රජාලික ගාර්සියා මාකේස්, මිලාන් කුන්දේරා වගේ ලේඛකයො ලියන අහඹු පොලාපැනීම් ශෛලියෙන් ඔහු සෑහෙන්න ආභාශයක් අරන් තියෙන බව නම් පැහැදිලියි. ඒකට කියන්නෙ ‘විඥාන ධාරා සන්ධර්භය‘ කියලලු. ඒ ඒ චරිතවල කල්පනා ලෝකවල අතීතයෙ සහ වර්තමානයෙ සිද්ධි මතින් අපිව අපිටත් නොදැනි අරන් යන අතරෙ ඔහු කතාව ගොතන්නෙ අපේ ඔළුව ඇතුලෙත් සෑහෙන්න වැඩක් කරගන්න ඉඩ සලසන ගමන්.

තුඹස සහ මෙරු කතාව ගෙතෙන්නෙ මධ්‍යම ප්‍රාන්තික පවුලක් සහ ඔවුන්ගේ මිතුරෙක් ඇතුලු වටපිටාවෙ සිදුවීම් වටායි. දරුවෙක් නොමැති වීම නිසා මේ පවුල ඇතුලෙ යාන්තම් ගිණි පුපුරු දැල්වෙමින් තියෙද්දි බොහොම අහඹු නමුත් එකට එක පෑහෙන සිදුවීම් ගණනාවක් එක්ක ඔවුන් නැවතත් සතුට හොයාගන්න විධිය තමයි කතාවෙ සාරාංශය වෙන්නෙ. වෙන කෙනෙක් ලිව්වනං මේක අතිශය සරල කතාවක් වෙන්න පුළුවන්. නමුත් ගුණසිරි මහත්තයගෙ ලේඛණ ශෛලිය නිසා කතාව ගලපගන්න උත්සහ කිරීමත් එක්ක අපිට ලැබෙන අත්දැකීම වෙන සිංහල ලේඛකයෙක්ගෙන් නොලැබෙන තරම්.

සින්නදොරෙයිගේ පුංචි ලෝකය ගැන මලී කතා කරල තියෙනවා. සිළුමිණේ ලිපිය තාක්ෂණිකව වඩාත් විස්තරාත්මකයි. ගුණසිරි ජයවර්ධන මහත්මයා කතාව ලිවීමට වඩා කතාවක් ගෙතීම කියන කාරණය කොයි තරම් සීරියස් විධියට අරන් තියෙනවද කියල හොඳටම පැහැදිලි වෙන පොතක් මේක. ‘තුඹස සහ මෙරු‘ පොතටත් වඩා මේකෙ ඒ ගතිය තියෙනවා. අහම්බෙන් ත්‍රිකුණාමලේට යන දකුණෙ තරුණයෙක් එහෙදි දෙමළ පවුලක් සමග ජීවත්වෙන හැටි සහ ඔහු නැවත ගමට පැමිණෙන අතරෙ ඔහුට හිතෙන සිතිවිලි අතරෙ තමයි මුළු කතාවම දිවෙන්නෙ. අවසානයේදි ආයෙමත් අහඹු සිදුවීම් පෙලක් ගලපලා අපේ හිතේ බලාපොරොත්තු ඇති කරවමින් ඔහු කතාව අවසන් කරනවා.


පොඩි ඇඩ් එකක් - ගුණසිරි ජයවර්ධන මහතා 2013 අවරුද්දෙදි ලියපු ‘සොරොව්ව‘ පොත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණේ Fast Publishing ආයතනයෙන් මිලට ගන්න පුළුවන්. කියවීම එක්ක ඔළුවෙ registers වෙනස් කරගන්න කැමති ඕනම කෙනෙක්ට පොත අල්ලල යයි. මේ පොත ගැන මෙතන තියෙන විචාරය කියවන්න කලින් පොත කියවන්න.


අද්භූත විශ්වය / විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා - හර්ෂ පෙරේරා

මේ පොත් දෙකම මම ගොඩක් පොඩි කාලෙ කියවපු සහ නැවත නැවතත් කියවපු, ලංකාවෙ ලේඛකයෙක් ලියපු විද්‍යා ප්‍රබන්ධ ගනයේ පොත්. මේව මිලට ගන්න තියෙනවද කියලනම් කියන්න දන්නෙ නෑ. මොකද මම අවුරුදු ගාණකින් මේ පොත් දෙකම කඩවල තියෙනව දැකල නෑ. ඒත් මේ වර්ගයේ පොත්වලට කැමති කෙනෙක් දැක්කොත් ගත්තට පාඩු නෑ.


සුදු වැද්දා නොලියූ කතා - ආර්.එල්. ස්පිටල් / ජයවීර විජයපාල

මේක ආර්.එල්. ස්පිටල් මහතා ලියපු පොතක් නෙවෙයි. නමුත් ඔහුගේ සටහන් හෝ අත්දැකීම් ආශ්‍රයෙන් ජයවීර විජයපාල මහතා ලියපු එකක්. පොතේ මුල් පරිච්ඡේදයෙ තියෙනවා ඔහු ස්පිටල් මහතා හමුවන අවස්ථාවක් ගැනත්. මේ පොත කෙටි කතා පොතක්. ස්පිටල් මහතාගේ අත්දැකීම් ආශ්‍රයෙන් විවිධ භාෂා ශෛලීන් අනුව ලියවුන පොඩි පොතක්. මට හොදටම හිතට ඇල්ලුවෙ කැලේක මැද ඉන්න වෙද හාමුදුරු කෙනෙක් හමුවෙන්න යන සුද්දෙක් සහ ඔහුගෙ සහායක වැද්දන් ගැන කතාවයි. කතාව වගේම කතාව මැදදි ඔවුන් කන කෑමත් මගෙ හිතට ඇල්ලුවා. පුළුස්සපු, දුම් ගහපු, වේලපු, මී පැණි වල දාපු මස් සහ අල වර්ග ගැන කියවද්දි හැම වෙලේම ඉවසගෙන ඉන්න අමාරු වුණා.


රොබින්සන් ක්රූසෝ - ඩැනියෙල් ඩැෆෝ / කේ.ජී. කරුණාතිලක

මේක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. නමුත් ජීවත් වෙන්න තනි මනුස්සයෙක් දරන උත්සාහය ගැන හිතන්න අවස්ථාව ලැබුණ පොතක්. පොතට අමතරව පරිවර්තන කාර්යය ගැන කේ.ජී. කරුණාතිලක මහතා ලියපු දීර්ඝ රචනයකුත් පොතේ ඇතුලත්. ඒකත් මරු.


ග්‍රහ ලෝකයක විනාශය - අලෙක්සාන්දර් කසාන්ට්සෙව් / දැදිගම වී. රුද්රිගු

මේකත් අපේ තාත්තගේ අනුභාවයෙන් ගොඩක් පුංචි කාලෙදිම මට කියවන්න ලැබුණ පොතක්. අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතරෙ තියෙන ග්‍රාහක වලල්ල බොහොම ඉස්සර කාලෙක ග්‍රහ ලෝකයක් විධියට පැවතීම සහ එහි විනාශය සිදුවීමත්, ඒ ග්‍රහලෝකයෙන් පෘථිවිය වෙත පැමිණෙන කණ්ඩායමක් මගින් පෘථිවිය ජනාවාස වීමත් තමයි පොතේ පදනම වෙන්නෙ. නමුත් ඒ අතරෙ කියවෙන යුද්ධයේ සංකීර්ණතාවයන් අපටත් අදාල වෙන විධිය උවමනා කෙනෙක්ට ඕන නම් හිතල බලන්න අවස්ථාව තියෙනවා. මේ ගැන පැතුම්ගෙ බිත්තියෙ ලොකු විස්තරයක් තියෙනවා.


වානරයා - වූ චෙං එන් / ඒ.පී. ගුණරත්න

ගනේගොඩයා නිර්දේශ කරපු පොත් අතරෙ එකක් මේක. විවිධ විධියට වර්ෂන් ගණනාවකින් මේ කතාව අපි පුංචි කාලෙ ඉඳන් අහල තියෙනවා. මුලින් ටිකක් සංකීර්ණයි කියල හිතුණත් කියවගෙන යද්දි, පොතේ රාටාව අහුවෙද්දි පොත පැත්තකින් තියන්න හිතෙන්නෙ නැතිවෙයි.


මීට අමතරව කියවපු හොඳම පොත් කීපයක් වැඩි විස්තර නැතිව පහතින් දානවා. මේ පොත්නම් ගන්න තියෙනවා දැනටත්. ඒ වගේම ගොඩ දෙනෙක් මේ පොත් කියවලත් තියෙනවා. ඒ නිසා විස්තර අවශ්‍ය නෑ.

සියක් වසක හුදකලාව - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස් / අ‍බේ දිසානායක, පසන් කොඩිකාර
සිද්ධාර්ථ - හර්මන් හෙස / දයාරත්න ගරුසිංහ
සුළඟ වගේ ඇවිදින් - දිනේෂ් කොළඹගේ (මේක මේ පාරත් බුක් ෆෙයා එකේ තිබුණා. එන්න එන්න පොත මහත් වෙනවා)
පිටස්තරයා - ඇල්බෙයා කැමූ / සෝමරත්න බාලසූරිය
ආතර් සී. ක්ලාක් ලියපු පොත් (සිංහල පරිවර්ථන සියල්ලම වගේ)
මඩොල් දූව - මාර්ටින් වික්‍රමසිංහ
සාර භූමි - පර්ල් එස්. බක් / ඌරාපොල හේමාලෝක, හේමපාල විජයවර්ධන
අහිංසාවේ උල්පත (ආචාර්ය ඊ.ඩබ්ලිව් අදිකාරම් ගේ ජීවිත කතාව) - දෙනගම සිරිවර්ධන
කල්කි - ගෝර් විදාල් / ගාමිණී වියන්ගොඩ
සොෆීගේ ලෝකය - යුස්ටයින් ගෝඩර් / රාණි සේනාරත්න රාජපක්ෂ

Sunday 23 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමින් තටමමි


අලුතෙන් හොයාගත්තු තටමන ක්‍රමේ සාමාන්‍ය වෙලාවලදි බොහොම ප්‍රයෝජනවත්. ඒ උණාට අසාමාන්‍ය වෙලාවලදි ඒකත් හරියන්නෙ නෑ කියල මට මේ දැන් හිතුණා. ඇත්තට ඒකෙ අලුත් දේකුත් නෑ. ඉස්කෝලෙදි ඉගෙනගත්තු ආහාර මාර්ග පද්ධතියෙ රූපෙ අමතක වෙලා නැත්තං වැඩි ප්‍රතිඵල ලැබෙන විදියට තටමන්නෙ කොහොමද කියන එක ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඔය මහ බඩවැල කියන එක ඇඟ ඇතුළෙ විහිදිල තියෙන විධිය හොයාගත්තම හරි. ඒ අනුව සිරුර නම්‍යශීලීව හසුරවන්නෙ කොහොමද කියල අත්හදාබැලුවම ගොඩ!

දැන් මේ ඉඳගත්තු දෙවෙනි වතාව ගෙවෙන්නෙ. මුල් වතාවෙ ගොඩක් සැහැල්ලුවෙන් එළියට ගියාට පැය භාගයක් ඇතුළත ආයෙම ඇතුළට එන්න වුණා. අම්මට නෝටිෆයි කරගෙනම රිංගපු නිසා දැන් මට ඇහෙනව එයා බැදපු දුරු කොටන සද්දෙ. දාඩිය දාන්න තරං වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉද්දිත් අම්ම ගැන ආදරේ ෂොක් වෙන්න මට මොහොතක් ගියෙ නෑ. වැඩිය සමාජ ආශ්‍රයට කැමති නැතත් එයා ආදරේ කරන අය එක්ක විතරක් ජීවත්වෙලා ඉගෙනගෙන තිබුණු එයාගෙ සංවේදීකම හැමදාම එහෙමයි. ඒ නිසා එයා මටත් නොකියම බෙහෙත ලෑස්ති කරනව. තුන්වෙනි වතාවෙ ආයෙ ඉඳගන්න නොවෙන බව මට දැන් ෂුවර්. බඩේ අමාරුවට දුරු ටිකක් බැදල කුඩු කරල උණු වතුර ටිකක කලවම් කරල ටිකක් වෙලා තැම්බෙන්න තියල බොන එක ෂුවර් ෂොට්! හැබැයි හැම ජාතියෙම රුජාවලට ඒක සෙට් වෙනවද කියල මං දන්නෙ නෑ.

දවල් ඔපිස් එකටම කෑම ගෙනත් දුන්නෙ දානෙ ගෙදරකින්. සෙක්ෂන් එකේ වැඩ කරන ළඟපාත ගෙවල් තිබුණ පොරක් බාස්කට් තුන හතරකට බතුයි වෑංජනයි දාගෙන ඇවිත් තිබුණා. සාමාන්‍යයෙන් සෙනසුරාදාව කෑම සම්බන්ධයෙන් ආතල් දවසක්. එදාට හැමෝම කැෂුවල් එන්නෙ ගොඩක් රිලැක්ස් එකේ. සතියෙ දවස්වල කරල ඉවර කරගන්න බැරි වැඩ කොටස සෙනසුරාදා නිවි සැනසිල්ලෙ කරන්නෙ වෙනදට නැති සැහැල්ලුවකින්. ඒ සැහැල්ලුව වැඩි වෙන්නෙ කවුරු හරි ගෙදරින් හදාගෙන එන කිරිබතක්, රොටියක් වගේ එකක් සෙට් වුණාම. එහෙම නැත්තං දවල් එකයි කාලට රුහුණු බේකරියෙන් උණු උණුවෙන් දාන පාන් දෙක තුනක් කට්ටිය සල්ලි දාල ගේන්නෙ සිසිල හෝටලේ පරිප්පු මාළු හොදි මික්ස් එකත් එක්ක. පාං ගෙඩි තුන විනාඩි දහයක් ඇතුළත ඉවර වෙන්නෙ ඇඟට පතට නොදැනී. ඒකත් එක්කම හැදෙන ප්ලේන්ටියත් ගැහුවම මරු.

දවල් දාණෙ ගිලල හවස ගෙදර ඇවිත් නෙට් එකෙත් එහෙ මෙහෙ රවුම් ගහලා මේ දවස්වල බලන එක්ස් ෆයිල්ස් එකෙත් තව එපිසෝඩ් එකක් දෙකක් බලාගෙන හිටියෙ බුදු ෆිට් එකේ. මායා දමයන්ති කියන 'පුරහඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ' සින්දුව මොකක්දෝ රියැලිටි ෂෝ එකක කෙල්ලෙක් කියනව නියමෙට. ඒක ඉස්සර ටීවි එකේ ගියා විෂුවල් එකකුත් එක්ක. මායා දමයන්ති සාරියකුත් පටලගෙන වැවක් අයිනට වෙලාද කොහෙද ඒ සින්දුව කියනවා. නළලෙ තිලකයක් තිබුණද කියල මතක නෑ. ඇත්තට මරු සින්දුව. ගී පැදුරට ලිව්වද මන්දා. මොනව වුණත් රියැලිටි කෙල්ලගෙ වොයිස් මරු. සින්දුව ඉවරයි. දැන් ඇහෙන්නෙ විනිශ්චය බුවාල ඒකිට මොනව හරි කියන්න ඕන කමට කියවන බයිල ටිකක්. අම්මල පැල් බැඳගෙන ඒව ෆලෝ කරනව. මම මගේ ලෝකෙ වෙනම ෆලෝ කරනව. අපි දෙන්නගෙ වෙනසක් නෑ. ඒ අතරෙ චිකන් ගන්න සල්ලි නැති නිසා ගෙනාපු චිකන් රසැති සෝයා මීට් එක්ක අම්ම අලුතෙන් හොයාගෙන තිබුණ බිත්තර පපඩං අනාගෙන රතු ලූණු ගෙඩි දෙක තුනකුත් හපාගෙන බත් ටිකකුත් කාල හැරෙද්දි තමයි අභ්‍යන්තර විප්ලවයක් පටංගන්නව කියල තේරුණේ.

දානෙට හම්බුණ කිසිම එකක් අවුල් වෙලා තිබුණෙ නෑ. මස් මාළු මුකුත් නොතිබුණ පියෝ වෙජිටේරියන් කෑමක් නිසා එහෙම අවුලක් වෙන්නත් බෑ. ඒත් මොකක් හරි අවුල් ගිහින් තියෙනවා. මුලින් වැඩේ සිම්පල් එකක් වගේ වුණාට පිඟාන හෝදන්න කුස්සියට ගිහින් ටිකකින් තමා බරපතල වෙන්න ආවෙ. හොඳ වෙලාවට වෙන කවුරුවත් ටොයිලට් එකට රිංගල නොහිටියෙ. ඇතුළට ගියෙ පැය බාගෙකට එන්නෙ නෑ කියාගෙන. කොහොමත් වැඩේ බරපතල වුණත් නැතත් ටොයිලට් එක කියන්නෙ පැය කාලක් බාගයක් නිදහසේ ගත කරන්න පුළුවන් තැනක්.

ඒක ගැන ගොඩක් ඉස්සර ඉඳන් අපි කතා කරල තියෙනව. ටොයිලට් එක මාර නිදහස් තැනක්. අතිශය පෞද්ගලික තැනක්. ඒකෙන් එළියෙදි ඕන කෙනෙක්ට, අපේ ජීවිතේට එබෙන්න පුළුවන්. අපිව මොනිටර් කරන්න පුළුවන්. අපි ගැන තීරණය කරන්න පුළුවන්. ඒත් ටොයිලට් එක එහෙම නෙවෙයි. දොර වහගත්තට පස්සෙ ඒක කොච්චර ගඳ ගැහුවත් ගාණක් නෑ. අපි බොහොම සැහැල්ලු වෙන තැනක් ඒක. මානසිකව ගත්තත් ශාරීරික ක්‍රියාවලිය පැත්තෙන් ගත්තත් ටොයිලට් එක අපිව බරකින් නිදහස් කරන තැනක්.

දොරක් සම්පූර්ණයෙන් වැහුණම තියෙන ආරක්ෂිත හැඟීමත් එක්ක මිනිස්සු වැඩි වෙලාවක් ටොයිලට් එකේ ඉන්න හින්දද මන්දා ඔය පොෂ් තැන්වල පොදු වැසිකිළිවල සම්පූර්ණ දොරක් වෙනුවට දො‍රේ යටින් හිස් ඉඩක් තියෙන බාග දොරක් තියෙන්නෙ. සමහර විට ඒකට වෙන හේතුවක් ඇති. නමුත් ඒක මානසිකවත් බලපානවා වෙන්න ඕන. මොකද සම්පූර්ණයෙන් නොවැහුණු දොරකින් කූඩු වෙල ඉද්දි ආරක්ෂිත හැඟීමක් දැනෙන්නෙ නෑ. ඒ නිසා එහෙම ටොයිලට් එකක් ඇතුළෙදි මනෝ ගහන්න වෙන්නෙ නෑ. ඒ නිසා පොෂ් තැන් වල තියෙන පොදු වැසිකිළිවල ට්‍රැෆික් හිටින්න ඉඩ අඩුයි. මොකද කට්ටිය ඒකට යන්නෙ වැඩේ කරන්න මිස සැහැල්ලු ‍වීමේ මානසික අවශ්‍යතාවය නිසා නෙවෙයි.

පින්තූර කඩේ වැඩ කරද්දි දවසක් රෙසිප්ෂන් එකේ වැඩ කරපු කෙල්ලෙක් පින්තූර කපල කොටල දාමින් හිටපු අපි ළඟට ඇවිත් හිනා වෙවී ආතල් කතාවක් කිව්ව. 'ලේඩීස් ටොයිලට් එක මාර සුවඳයි අප්පා... අර දැන් එළියට ගිය කස්ටමර් මගෙනුයි ලොකේෂන් අහගත්තෙ. එයා එළියට ඇවිත් හෙණ සන්තෝසෙං ගියේ. ලොකූ අමාරුවකින් ගැලවුණා වගේ...' ඒ දවස්වල ස්ටාෆ් එකට වෙනම ටොයිලට් තිබුණෙ නෑ. ස්ටාෆ් එකයි කස්ටමර්ලයි එකම ටොයිලට් සිස්ටම් එක තමයි පාවිච්චි කළේ. මොනව වුණත් අනුන්ගෙ ඒව තරං තමංගෙ ඒව ගඳ නෑ නේද කියල එදා අපි හෙණ වාදයක් පටංගත්තා.

ඒක කියද්දි තමයි ගනේගොඩයට මොරකැටිය හන්දියෙ තිබුණ ටොයිලට් හෝටලේ මතක් වෙන්නෙ. මිනිහට සෙක්ෂන් එකක හෙඩ් තනතුර දුන්නට පස්සෙ උදේ 8 වෙද්දි වැඩට එන්න ඕන වුණා. වෙනද මිනිහ ආවෙ 9 ට. මාසයක් දෙකක් යනකල් මිනිහ 8 ට ආවා. හැබැයි එන අතරමග මොරකැටියෙදි බස් එකෙන් බැහැල අර හෝටලේ ටොයිලට් එකටත් ගිහින් තමයි පොර එන්නේ. මොකද මාසයක් විතර යනකල් මිනිහට ටොයිලට් ටයිම් එක ටියුන් කරගැනීමේ ප්‍රශ්නෙ ආවා. පස්සෙ හෝටලේ මිනිස්සු ගනේගොඩයව දකිද්දිම 'ආ එන්න මහත්තයා' කියල කෙළින්ම ටොයිලට් එක ක්ලියර් කරල දුන්නලු. කොහොම වුණත් පස්සෙ කාලෙක දුමක් ගන්න හෝටලේට ගියත් ඒකෙ කොල්ලො බුවා දිහා බැලුවෙ නෝන්ඩි හිනාවකින්.

ගොඩක් ඉස්සර දවසක මහ රෑ ගමේ ඉඳන් කොළඹ එද්දි රෑ එකොළහට විතර කුරුවිට හරියෙදි මටත් අද වගේම පෙරළිල්ලක් ආවා. දෙතුන් වතාවක් ඉවසල බැරි තැන 'ඉස්සරහ දාල යන්න' කියල බැහැල කෙළින්ම ගියෙ වහන්න ඔන්න මෙන්න කියල තිබුණ සිල්ලර කඩේකට. මං හිතන්නෙ ඒක සිගරට් විකුණන්නම රෑ වෙනකල් ඇරගෙන හිටපු කඩයක්. හොඳ වෙලාවට පිටිපස්සෙ මෝඩ ගඩොල් බිත්ති තිබුණ ටොයිලට් එකක් තිබුණා. ඒක ලෑල්ලක් හේත්තු කරල දොර වහගන්න වෙන විදියෙ එකක්. ලෑල්ලත් දොරට හේත්තු කරලම දියවෙලා ගිහින්. ඇතුළෙ ලයිට් එකකුත් නෑ. ඒ දවස්වල මගෙ ෆෝන් එක ටෝච්, ෆ්ලෑෂ් තිබුණ එකක් නෙවෙයි. ස්ක්‍රීන් එකේ එළියෙන් වැඩ ටික කරගත්ත. මුදලාලි මහත්තය මොනව වුණත් වතුර එකත් ගෙනත් තිබ්බ දොර ගාවින්. මිනිහට ස්තූති කරල මදි හින්දා මම ක්‍රිස්කො පැකට් එකකුයි රට ඉඳි පන්සීයකුයි ගත්ත. සිගරට් ගන්න ඇවිත් හිටපු තවත් හොඳ කොල්ලෙක් උගෙ මොපෙඩ් එකේ දාගෙන ගිහින් මාව කුරුවිට හන්දියෙන් බැස්සුවා.

ඵලදායි තැටමිල්ලත් හරි යන්නෙ නෑ වගේ. මම ආයෙමත් ඉරියව්ව වෙනස් කළේ ඒකෙන්වත් සෙතක් වෙයිද බලන්න.. ම්හු... ඒක හරියන්නෙත් නෑ... උණ්ඩුකපුච්චෙ හරියෙ ඉඳන් මහාන්ත්‍රය දිගේ එහෙ මෙහෙ හතර අතට අඬු විහිදුන ලොකු යකඩ බැකෝ එකක් හිමින් හිමින් බඩවැල් බිත්ති හාරගෙන එනවා. මට දාඩිය දානවා. අම්ම උණු වතුර බෝතලෙන් කෝප්පෙට වතුර වක් කරනවා. ඇඟ ඇතුල ත්‍රීඩී බලන්න පුළුවන් සයිට් එකකින් දැකපු අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතියෙ රූපරාමු හතර පහක් වේගෙන් හිතේ මැවෙනවා. අන්තිමේ රූපයි සිතුවිලියි නැති වෙලා වේදනාව ඉතිරි වෙනවා. කොමඩ් එක උඩ මම ඇඹරෙනවා.

අන්තර්ජාල වැසියෙක් වුණ මුල්ම කාලෙක ලියපු ජරාම ජරා කවිය මගේ නිර්මාණයක්මත් නෙවෙයි. ඒක රවි මහත්තයගෙයි මගෙයි සම නිර්මාණයක්. අයියෝ මිස්ටර් රවි... මට මගඇරුණු සිරා පොරවල් අතරෙ තවත් එකෙක්. ටොයිලට් යන එක සිල්ගන්න එකට වඩා ප්‍රැක්ටිකල් බව කියනව ඇහුණ මුල්ම මනුස්සයා. ඒ වෙද්දි වාක්‍යයක් නොවී මගේ හිතේ තිබුණ ඒ අදහස මගේ පිස්සු අදහසක් නොවෙන බව කියපු මනුස්සයා.

වේදනාව ගුද මාර්ගයේ කෙළවරට ඇවිත් නතර වෙලා තියෙන්නෙ මොන කෙහෙල්මලකටද?.. සාමාන්‍යයෙන් අන්තිම හරියෙදි සාම්ප්‍රදායික තැටමිල්ල හොඳට වැඩකරනව වුණාට මේ පාර ඒකටත් උත්තර නොදී ඉන්න තරං හයිය තියෙන්නෙ මොන විධියෙ එකකටද? මම කාපු මොකක්ද මේ පිස්සු කෙළල තියෙන්නෙ... බැකෝ එකේ දිග අඬුව මොකක හරි පැටලිලාද? මොන මල මගුලක්ද... මට තේරෙනව මේකෙන් පස්සෙ බඩු ඉවරයි කියල. ආයෙ කොහෙවත් වේදනාවක් දැනෙන්නෙ නෑ. ඉතිං මේකෙන් පස්සෙ සම්පූර්ණයෙන් මං නිදහස් කියල මං දන්නව. මට ස්වර්ගස්ථ වෙන්න පුළුවන් කියල මං දන්නව. මට මොහොතකට නිර්වාණයට සමවදින්න පුළුවන් කියල මං දන්නව. මං ඉන්නෙ ඒකෙ දොර ගාව කියලත් මට තේරෙනව. අයියෝ..හ්... ඉක්මනට එළියට පලයංකො බෙට්ට!

Wednesday 5 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි


එය 2005 හෝ 2006 වර්ෂයේ වෙසක් පෝය දිනයයි. මා පෝය සමග පැමිණි නිවාඩු දින කීපයම ගොඩගම ගනේගොඩයාගේ නිවසට වී සිටියෙමි. ඒ දින කීපය පුරාම විටින් විට දුමින් මත් වෙමින්ද, නිද්‍රාගත වෙමින්ද, මිදුලේ ගල් තලාව මත 'මහා ධීවරයාණෝ' පොතේ පිටු අතර පේදුරු සහ ෆාරා සමග වයින් බොමින්ද රොටී අනුභව කරමින්ද විසූයෙමි. පසු කලෙක ප්‍රත්‍යක්ෂ කල, 'ජීවිතේ සුන්දරම කාලය වර්තමානයයි' යන අදහස මට දැනෙන්නට ඇඹෙමින් තිබූ කාලයකි එය.

රාත්‍රිය එළඹි පසු නින්දෙන් නැගිටගත් ගනේගොඩයා මා ද ඔහුගේ ට්‍රේලේ නංවා ලීල අක්කාගේ පොට් එකට ඉගිලුණේය. ඔහු සුපුරුදු පරිදි සුදුවා වඩියක් දෙකක් උගුරෙන් පහළට යවද්දී ලීල අක්කා මට ම කියා හදනා වැඩි සීනි ප්ලේන්ටියට මම වග කීවෙමි. විනාඩි කීපයක් එහි ගතකොට අප ආයෙත් ඉගිල්ලුණේ 'සම්පත්' සෙවීමටයි.

ගොඩගම නගරයෙන් එපිට අතුරු මාවත් ඔස්සේ ට්‍රේල මතින් ඉගිලෙමින් අපි සේන්දු වූයේ එක් කුඩා හන්දියකටයි. එහි පාරේ පසෙකට වන්නට අටවා තිබූ තාවකාලික මඩුවක් තුළ මහ හයියෙන් එවකට අතිශයින් ජනප්‍රියව තිබූ දමිත් අසංක හෝ චාමර වීරසිංහ වැනි ගායකයකුගේ කැසට්පටයක් වාදනය වෙමින් තිබුණි. ගැටවර වයසේ කොල්ලන් දහ දොළොස් දෙනෙක් මහ පාරේ ඒ සංගීතයට නටමින් සිටියෝය. උන්ගෙන් ඇතැමෙක් ඒ වන විටත් හැකි උපරිමෙන් මත්වී සිටිනු මම දුටිමි.

ගනේගොඩයා මා ඇදගෙන මඩුව තුළට ගොඩවිය. ඒ තුළ හිඳගෙන සිටි මදක් වැඩිමහලු තරුණයන් අතරින් එකෙකු ඔහු සමග කතා කළේය.

'ආ... ගනේගොඩ අයියා... කෝ උඹ හත වෙද්දි එනව කිව්වනේ...'

'නින්ද ගියා මල්ලි... කෝ...දන්සල ඉවරද?'

'ඔව් බං.. හතාමාර වෙද්දි බඩු ඉවරයි.'

'ච: අපරාදෙ'

'හිටපං... මුට්ටියෙ අඩියෙ ටිකක් තියෙනව'

තරුණයා මඩුව පසෙක ගඩොල් කැට වටකොට සෑදූ තවමත් ගිනි අඟුරු දැල්වෙමින් තිබූ ලිපක් මත වූ විශාල ඇලුමිනියම් මුට්ටියකින් ප්ලාස්ටික් කෝප්ප දෙකකට ද්‍රවයක් වත් කළේය. මාගේ නහය විනිවිද ගියේ අවුරුදු ගණනකින් අත්විඳ නොමැති බෙලිමල් සුවඳකි. ස්වල්ප වේලාවකින් මා අතට තරමක කිතුල් හකුරු කැබැල්ලක් හා උණු බෙලිමල් කෝප්පයක් ලැබිණි. සෙමෙන් එය තොල ගා හමාර වෙත්ම ගනේගොඩයා මා අත තැබුවේ දැල්වෙමින් තිබූ කන්සා සුරුට්ටුවකි. එය කීප දෙනෙකු අතර බෙදී යාමට නියමිත වූ බව වටහාගත් බැවින් මම වහා උගුරු කීපයක් උරා එය මා අසල පොරොත්තුව සිටි තරුණයා අතට දුනිමි. වමතේ ඉතිරිව තිබූ කිතුල් හකුරු කැබැල්ල දිව යට තබාගතිමි. ගනේගොඩයා මට සමීප විය.

'මෙතන පොරක් ගාව බඩු නං තියෙනවා. අරහෙ යන්න ඕන නෑ. උඹ සල්ලි ගෙනාවද?'

- - - - - -

නිවසට යන අතුරු මාර්ගයේ එක් තැනකදී අපට විශාල වෙල් යායක් හමුවේ. මීටර දෙසීයක පමණ දුරක් පටු පාර වැටී ඇත්තේ එම වෙල් යාය මැදිනි. පාරේ පසෙකින් එම වෙල් යාය වෙත ජලය සපයන දිය පාර ගලා යයි. ඒ වන විට පුර හඳ ක්ෂිතිජයෙන් ඉහළට විත් බැබළෙමින් තිබූ අතර අවට පරිසරයේ ගුප්ත නිහඬ බව මට හැ‍ඟෙන්නට ඇරඹී තිබිණි. කන්සා උගුරු කීපය මාගේ සිතුවිලි ඉතා සියුම් දේ වෙත නාභිගත කරවමින් පැවතිණි. මොහොතක් මෙහි ගෙවන්නට මට උවමනා විය.

මාගේ උවමනාව වැටහුණාක් මෙන් ගනේගොඩයා ට්‍රේල නතර කළේය. ඒ පාරේ යටින් දිය පාර ගලනා බෝක්කුවක් අසලය. එම ස්ථානයේ පාර මදක් පුළුල්ය. කොන්ක්‍රීට් යොදා තැනූ වැටි දෙකක් පාරේ දෙපස වෙයි. බෝක්කුව යටින් දිය පාර ගලන හඬ රැහැයි හඬ පරයා නැගී සිටියි. එම හඬ කුමනාකාර වේදැයි ලිවීම අපහසුය. දිය පාරක් ගලන්නේ 'සිලි සිලි' හඬින් බව වෙනත් ලේඛකයන් ලියා තිබෙනු මා කියවා ඇත. ඒත් මට ඇසෙන්නේ සිලි සිලි හඬක් නොවේ. ඒ හඬ මෙයාකාර වේ යැයි කියන්නට භාෂාවේ අකුරු නැත.

මෙම ස්ථානය අපට නුපුරුදු තැනක් නොවේ. මෙයට පෙරද කීප වතාවකදීම අපි දෙදෙනා මෙම ස්ථානයේ පැයක් දෙකක් වල්පල් දොඩවමින් හිඳ ඇත්තෙමු. කුඹුරු යාය අවසන් වන සීමාවේ ගස්කොළන් අතරින් පෙනෙන නිවෙස්වල විදුලි එළියත් පාරේ දෙතැනක පහන් කණුවල දැල්වෙන විදුලි එළියත් හැරුණුකොට මෙහි ඇත්තේ අඳුර පමණි. දිය පහරේ හඬත්, රැහැයි හඬත් පරයමින් විටින් විට ඈත හයිලෙවල් පාරේ දික්හැතැක්ම ඔස්සේ වේගයෙන් ඇදෙනා පරණ බස් රථයක හඬක් ඇසේ. හඳ නොමැති දිනක වලාකුළු සහ ක්ෂිතිජය දක්වා විහිදෙන තරු වියනකි. ඒ වෙනත් දිනවල මෙහි තනිවීමට සිත ලොල් කරවන ලක්ෂණ වේ. අද එයටත් අමතරව වලාකුළක් තරුවක් නොමැති අහසක පුර හඳ දිදුලමින් ඇත.

මම කොන්ක්‍රීට් වැටියේ හිඳගෙන හඳ වෙත නෙත් හෙළුවෙමි. ගනේගොඩයා අතින් පොඩි කල කන්සා පත්‍රිකා රළුවට කඩදාසියක ඔතා සුපුරුදු පරිදි සුරුට්ටුවක් සෑදීය. ඇසිල්ලකින් දැල්වුණු එය අප දෙදෙනා අත හුවමාරු වෙන්නට විය. මාගේ සිත මහා ධීවරයාණන්ගේ සිට ‍ටයිකෝ චුම්බක අනියමයද ඉක්මවා වෝප් වේගයෙන් අවකාශය වෙත ඇදෙන්නට විය. ගිණිය නොහැකි තරම් හැඟීම්, සිදුවීම්, කියවීම් ගණනාවක් ඇසිල්ලකින් සිතින් වින්දනය වන්නට විය. මම කටහඬ අවදි කළෙමි.

'මෙහෙම ඉඳල හරියන්නෙ නෑ... මොනව හරි කරන්න ඕන'

'මොනවද උඹ කරන්න යන්නෙ?'

'අඩුගානෙ ෂෝට් ෆිල්ම් එකක්වත් හදන්න ඕන'

'ඉතිං හදපං. මහ ලොකු දෙයක් නෙවෙයිනෙ'

'මොනව ගැනද හදන්නෙ?'

''දැන් උඹ කිව්වෙ හදන්න ඕන කියලනේ... අදහසක් නැද්ද ඉතිං?'

'අදහසක් නෑ. ෂෝට් ෆිල්ම් එකක් හදන්න ඕන. එච්චරයි'

'එහෙම වැඩක් නෑනෙ බං. ඉස්සෙල්ල උඹට අදහසක් ඕන. ඒක ෂෝට් ෆිල්ම් එකක් විදියට කරන්න පුළුවන්. එහෙම නැතිව ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන කිය කිය ඒකට අදහසක් නැතුව ඉඳල වැඩක් නෑනෙ'

'හ්ම්ම්'

'උඹ අදහස අවුට් කරන මීඩියා එක ගැන වදවෙනව. ඒකෙන් දෙන්නෙ මොනවද කියන එක ගැන හිතලවත් නෑ. ඉස්සෙල්ල මිනිස්සුන්ට කියන්න හොඳ කතාවක් හදන්න ඕන. ඒක අවුට් කරන්නෙ කෙටි කතාවකින්ද කවියකින්ද ෆිල්ම් එකකින්ද කියන මීඩියා එක පස්සෙ කරදර වෙන්න තියෙන වැඩක්...'

'හ්ම්ම්. මට ඕන ෂෝට් ෆිල්ම් එකක් කරන්න'

මද වෙලාවක් නිහඬතාවය පැවතිණි. එක්වරම ගනේගොඩයා නැවත මා ඇමතීය.

'චෙකොෆ්ගෙ පොතක් තියෙනව 'කළු සිවුරුදර භික්ෂුව' කියලා. උඹ කියවල තියෙනවද ඒක?'

'නෑ...'

'උඹ ඉතිං අඟල් ගණනංවල පොත් හොය හොය කියවනව මිස පොඩි පොත් කියවන්නෙ නෑනෙ. ගෙදර තියෙනව. අරං කියවපං.'

'ඒක අදාළ වෙන්නෙ කොහොමද?'

'දැන් උඹට ඕන උඹෙ නම තියන විදියෙ වැඩක් කරන්නනේ...'

'නෑ එහෙම නෙවෙයි.'

'හරි එහෙම නෙවෙයි කියමුකෝ... උඹ ෆිල්ම් එකක් හදල නම නැගල ගියා කියලත් කියමුකෝ.. හැබැයි ඒ කොච්චර කාලෙකටද?'

'ඒ කිව්වෙ?'

'අපි ජීවත්වෙන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේනෙ බං. අපි අපේ නම තියන්න වැඩ කරනවා. මැරුණට පස්සෙ අපේ නම මතක තියෙන්න ඕන විදියෙ සිරා වැඩ කරන්නනෙ මිනිස්සු හැමවෙලේම ට්‍රයි කරන්නේ?'

'සාමාන්‍යයෙන් මිනිස්සු ඒකට කැමතියි නේද? මැරුණට පස්සෙත් තමන් ගැන මිනිස්සු කතා කරනවයි කියල දන්න එක මිනිස්සු විඳින්න කැමති හැඟීමක්'

'ඔව්.. හරි... ඒත් හිතපං කොයි තරං කාලයක් මිනිහෙක්ව එහෙම මතක තියෙයිද?'

'අවරුදු දෙදාස් ගණං මතක තියාගෙන වඳින පුදන ඩයලුත් ඉන්නවනේ...'

'අවුරුදු දෙදාස් ගාණක් තිස්සෙ ඒ මිනිස්සු ඒ විදියටම මතක තියාගෙන නෑනෙ බං...'

'ඒකනං එහෙම තමයි. කාලයත් එක්ක ඒව වෙනස් වෙනවා...'

'ඒක තමයි. එහෙනං තමන්ව කවද හරි අමතක වෙනව කියන එක දැන දැන තමන්ගෙ නම තියන්න වැඩ කරන එකේ වැඩක් තියෙනවද බං?'

'එහෙම ගත්තොත් කවුරුවත් කරන කිසි දේකින් වැඩක් නෑනෙ.'

'ඒක තමයි පොයින්ට් එක. ඒ හින්දා නම තියන්න වැඩ කරල වැඩක් නෑ. වැඩ කරපං. තියෙන කාලයක් නම තියෙයි.'

'දැන් මට ෂෝට් ෆිල්ම් එකක් හදන්න තියෙන උවමනාවට මේ කතාව අදාළ වෙන්නෙ කොහොමද?'

'ඒකෙ එකපාර පේන අදාළ වීමක් නෑ. උඹට ෂෝට් ෆිල්ම් එකක් හරි මොකක් හරි දෙයක් කරන්න උවමනාව එන වෙලාවට ඒක වෙයි.'

'සමහර විට උවමනාවක් නැති වෙන්නම ඉඩ තියෙනවා...'

'ඉතිං මොකද? උඹ හෙණ සිරා වැඩක් කරලා ඒකෙන් ලෝකෙ අම්බානක් වෙනස් වෙයි කියලද උඹ හිතන්නේ?'

'නෑ එහෙම හිතන්නෙ නෑ...'

'උඹේ ආතල් එක වෙනුවෙන් වැඩ කරපං. වෙන වෙන ගයිඩ්ලයින් වැඩක් නෑ. ලෝකෙ කොහොමත් හොඳ නරක දෙක බැලන්ස් එකේ තියෙනව. කාලෙකදි හොඳයි. කාලෙකදි නරකයි.'

මම නැවතත් හඳ දෙස බැලීමි. ජීවිතේ පූර්ණ වශයෙන් වටහාගැනීම කිසිවකුට කල හැක්කක් නොවේ. අප පරිපූර්ණත්වය වශයෙන් හඳුනාගන්නා බොහෝ දේවල් ඒ තුළම බිඳවැටී ඇති තර්කයන්ගෙන් ගොඩ ඒමට නොහැකිව වැල්වටරම් රාශියකින් වටවී බොරු පරිපූර්ණත්වයක් මවා පායි. දෙවියන්ද, බලාපොරොත්තුවද අපගේ වර්තමාන දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් පමණි. බොහෝ දේ සැලසුම් කරන්නේ යැයි සිතුවද අවසානයේ කර ඇති දෙයක් නොමැත. වෙන අයෙකුගේ අදහසකට වඩා මා දරන අදහස උසස් හෝ වෙනස් යැයි සිතන්නට උත්සාහ කළද අවසානයේ මා යනු තවත් එක් වංචාකරයකු පමණි. සමස්තය එයට අවශ්‍ය ලෙසින් වෙනස් වෙමින් පවතී. මා එහි එක් සංඝටයක් පමණි.

පුර හඳ තවත් ඉහළට නැග ඇත. ක්ෂිතිජය කෙළවර තනිව දැල්වුණු එක් තරුවක් විය. ඒ තරුව වටා භ්‍රමණය වන ‍ග්‍රහළොවක විශාල වෙල් යායක් මැද හිඳිමින් මා දෙස බලා සිටිනා පිටසක්වලයෙකි. එක් ක්ෂණයකින් ඔහුගේත් මාගෙත් නෙත් ගැටුණි. මාගේ සිතෙහි වූ ප්‍රශ්න කීපයම ඔහුගේ දෑස තුළ මම දුටුවෙමි. අඳුර නිවමින් අලුත් එළියක් දැල්විණි. හිස මත වූ යම් බරක් ඉවත ලූවා වැනි හැඟීමක් මට දැනේ.

'තනියෙන් හිතන්න එපා බං'

ගනේගොඩයා කියවයි.

'නෑ මං නිර්වාණයේ මොහොතක් අත්වින්දා'

'හෙහ් හෙහ්... මට කිව්වට කමක් නෑ... ඒ වුණාට වචන පාවිච්චි කරද්දි පරෙස්සං වෙයං. ඕව සමහර අයගෙ ට්‍රේඩ් මාක් ගහපු වචන. ඕවට අයිතිකාරයො ඉන්නවා'

ගනේගොඩයා ම වෙත ඇසක් වසා මහ හඬින් සිනහ විය. මමත් ඔහුට එක් වීම්. අපි දෙදෙනාම සිනහසෙන්නට වීමු.