Sunday 23 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමින් තටමමි


අලුතෙන් හොයාගත්තු තටමන ක්‍රමේ සාමාන්‍ය වෙලාවලදි බොහොම ප්‍රයෝජනවත්. ඒ උණාට අසාමාන්‍ය වෙලාවලදි ඒකත් හරියන්නෙ නෑ කියල මට මේ දැන් හිතුණා. ඇත්තට ඒකෙ අලුත් දේකුත් නෑ. ඉස්කෝලෙදි ඉගෙනගත්තු ආහාර මාර්ග පද්ධතියෙ රූපෙ අමතක වෙලා නැත්තං වැඩි ප්‍රතිඵල ලැබෙන විදියට තටමන්නෙ කොහොමද කියන එක ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඔය මහ බඩවැල කියන එක ඇඟ ඇතුළෙ විහිදිල තියෙන විධිය හොයාගත්තම හරි. ඒ අනුව සිරුර නම්‍යශීලීව හසුරවන්නෙ කොහොමද කියල අත්හදාබැලුවම ගොඩ!

දැන් මේ ඉඳගත්තු දෙවෙනි වතාව ගෙවෙන්නෙ. මුල් වතාවෙ ගොඩක් සැහැල්ලුවෙන් එළියට ගියාට පැය භාගයක් ඇතුළත ආයෙම ඇතුළට එන්න වුණා. අම්මට නෝටිෆයි කරගෙනම රිංගපු නිසා දැන් මට ඇහෙනව එයා බැදපු දුරු කොටන සද්දෙ. දාඩිය දාන්න තරං වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉද්දිත් අම්ම ගැන ආදරේ ෂොක් වෙන්න මට මොහොතක් ගියෙ නෑ. වැඩිය සමාජ ආශ්‍රයට කැමති නැතත් එයා ආදරේ කරන අය එක්ක විතරක් ජීවත්වෙලා ඉගෙනගෙන තිබුණු එයාගෙ සංවේදීකම හැමදාම එහෙමයි. ඒ නිසා එයා මටත් නොකියම බෙහෙත ලෑස්ති කරනව. තුන්වෙනි වතාවෙ ආයෙ ඉඳගන්න නොවෙන බව මට දැන් ෂුවර්. බඩේ අමාරුවට දුරු ටිකක් බැදල කුඩු කරල උණු වතුර ටිකක කලවම් කරල ටිකක් වෙලා තැම්බෙන්න තියල බොන එක ෂුවර් ෂොට්! හැබැයි හැම ජාතියෙම රුජාවලට ඒක සෙට් වෙනවද කියල මං දන්නෙ නෑ.

දවල් ඔපිස් එකටම කෑම ගෙනත් දුන්නෙ දානෙ ගෙදරකින්. සෙක්ෂන් එකේ වැඩ කරන ළඟපාත ගෙවල් තිබුණ පොරක් බාස්කට් තුන හතරකට බතුයි වෑංජනයි දාගෙන ඇවිත් තිබුණා. සාමාන්‍යයෙන් සෙනසුරාදාව කෑම සම්බන්ධයෙන් ආතල් දවසක්. එදාට හැමෝම කැෂුවල් එන්නෙ ගොඩක් රිලැක්ස් එකේ. සතියෙ දවස්වල කරල ඉවර කරගන්න බැරි වැඩ කොටස සෙනසුරාදා නිවි සැනසිල්ලෙ කරන්නෙ වෙනදට නැති සැහැල්ලුවකින්. ඒ සැහැල්ලුව වැඩි වෙන්නෙ කවුරු හරි ගෙදරින් හදාගෙන එන කිරිබතක්, රොටියක් වගේ එකක් සෙට් වුණාම. එහෙම නැත්තං දවල් එකයි කාලට රුහුණු බේකරියෙන් උණු උණුවෙන් දාන පාන් දෙක තුනක් කට්ටිය සල්ලි දාල ගේන්නෙ සිසිල හෝටලේ පරිප්පු මාළු හොදි මික්ස් එකත් එක්ක. පාං ගෙඩි තුන විනාඩි දහයක් ඇතුළත ඉවර වෙන්නෙ ඇඟට පතට නොදැනී. ඒකත් එක්කම හැදෙන ප්ලේන්ටියත් ගැහුවම මරු.

දවල් දාණෙ ගිලල හවස ගෙදර ඇවිත් නෙට් එකෙත් එහෙ මෙහෙ රවුම් ගහලා මේ දවස්වල බලන එක්ස් ෆයිල්ස් එකෙත් තව එපිසෝඩ් එකක් දෙකක් බලාගෙන හිටියෙ බුදු ෆිට් එකේ. මායා දමයන්ති කියන 'පුරහඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ' සින්දුව මොකක්දෝ රියැලිටි ෂෝ එකක කෙල්ලෙක් කියනව නියමෙට. ඒක ඉස්සර ටීවි එකේ ගියා විෂුවල් එකකුත් එක්ක. මායා දමයන්ති සාරියකුත් පටලගෙන වැවක් අයිනට වෙලාද කොහෙද ඒ සින්දුව කියනවා. නළලෙ තිලකයක් තිබුණද කියල මතක නෑ. ඇත්තට මරු සින්දුව. ගී පැදුරට ලිව්වද මන්දා. මොනව වුණත් රියැලිටි කෙල්ලගෙ වොයිස් මරු. සින්දුව ඉවරයි. දැන් ඇහෙන්නෙ විනිශ්චය බුවාල ඒකිට මොනව හරි කියන්න ඕන කමට කියවන බයිල ටිකක්. අම්මල පැල් බැඳගෙන ඒව ෆලෝ කරනව. මම මගේ ලෝකෙ වෙනම ෆලෝ කරනව. අපි දෙන්නගෙ වෙනසක් නෑ. ඒ අතරෙ චිකන් ගන්න සල්ලි නැති නිසා ගෙනාපු චිකන් රසැති සෝයා මීට් එක්ක අම්ම අලුතෙන් හොයාගෙන තිබුණ බිත්තර පපඩං අනාගෙන රතු ලූණු ගෙඩි දෙක තුනකුත් හපාගෙන බත් ටිකකුත් කාල හැරෙද්දි තමයි අභ්‍යන්තර විප්ලවයක් පටංගන්නව කියල තේරුණේ.

දානෙට හම්බුණ කිසිම එකක් අවුල් වෙලා තිබුණෙ නෑ. මස් මාළු මුකුත් නොතිබුණ පියෝ වෙජිටේරියන් කෑමක් නිසා එහෙම අවුලක් වෙන්නත් බෑ. ඒත් මොකක් හරි අවුල් ගිහින් තියෙනවා. මුලින් වැඩේ සිම්පල් එකක් වගේ වුණාට පිඟාන හෝදන්න කුස්සියට ගිහින් ටිකකින් තමා බරපතල වෙන්න ආවෙ. හොඳ වෙලාවට වෙන කවුරුවත් ටොයිලට් එකට රිංගල නොහිටියෙ. ඇතුළට ගියෙ පැය බාගෙකට එන්නෙ නෑ කියාගෙන. කොහොමත් වැඩේ බරපතල වුණත් නැතත් ටොයිලට් එක කියන්නෙ පැය කාලක් බාගයක් නිදහසේ ගත කරන්න පුළුවන් තැනක්.

ඒක ගැන ගොඩක් ඉස්සර ඉඳන් අපි කතා කරල තියෙනව. ටොයිලට් එක මාර නිදහස් තැනක්. අතිශය පෞද්ගලික තැනක්. ඒකෙන් එළියෙදි ඕන කෙනෙක්ට, අපේ ජීවිතේට එබෙන්න පුළුවන්. අපිව මොනිටර් කරන්න පුළුවන්. අපි ගැන තීරණය කරන්න පුළුවන්. ඒත් ටොයිලට් එක එහෙම නෙවෙයි. දොර වහගත්තට පස්සෙ ඒක කොච්චර ගඳ ගැහුවත් ගාණක් නෑ. අපි බොහොම සැහැල්ලු වෙන තැනක් ඒක. මානසිකව ගත්තත් ශාරීරික ක්‍රියාවලිය පැත්තෙන් ගත්තත් ටොයිලට් එක අපිව බරකින් නිදහස් කරන තැනක්.

දොරක් සම්පූර්ණයෙන් වැහුණම තියෙන ආරක්ෂිත හැඟීමත් එක්ක මිනිස්සු වැඩි වෙලාවක් ටොයිලට් එකේ ඉන්න හින්දද මන්දා ඔය පොෂ් තැන්වල පොදු වැසිකිළිවල සම්පූර්ණ දොරක් වෙනුවට දො‍රේ යටින් හිස් ඉඩක් තියෙන බාග දොරක් තියෙන්නෙ. සමහර විට ඒකට වෙන හේතුවක් ඇති. නමුත් ඒක මානසිකවත් බලපානවා වෙන්න ඕන. මොකද සම්පූර්ණයෙන් නොවැහුණු දොරකින් කූඩු වෙල ඉද්දි ආරක්ෂිත හැඟීමක් දැනෙන්නෙ නෑ. ඒ නිසා එහෙම ටොයිලට් එකක් ඇතුළෙදි මනෝ ගහන්න වෙන්නෙ නෑ. ඒ නිසා පොෂ් තැන් වල තියෙන පොදු වැසිකිළිවල ට්‍රැෆික් හිටින්න ඉඩ අඩුයි. මොකද කට්ටිය ඒකට යන්නෙ වැඩේ කරන්න මිස සැහැල්ලු ‍වීමේ මානසික අවශ්‍යතාවය නිසා නෙවෙයි.

පින්තූර කඩේ වැඩ කරද්දි දවසක් රෙසිප්ෂන් එකේ වැඩ කරපු කෙල්ලෙක් පින්තූර කපල කොටල දාමින් හිටපු අපි ළඟට ඇවිත් හිනා වෙවී ආතල් කතාවක් කිව්ව. 'ලේඩීස් ටොයිලට් එක මාර සුවඳයි අප්පා... අර දැන් එළියට ගිය කස්ටමර් මගෙනුයි ලොකේෂන් අහගත්තෙ. එයා එළියට ඇවිත් හෙණ සන්තෝසෙං ගියේ. ලොකූ අමාරුවකින් ගැලවුණා වගේ...' ඒ දවස්වල ස්ටාෆ් එකට වෙනම ටොයිලට් තිබුණෙ නෑ. ස්ටාෆ් එකයි කස්ටමර්ලයි එකම ටොයිලට් සිස්ටම් එක තමයි පාවිච්චි කළේ. මොනව වුණත් අනුන්ගෙ ඒව තරං තමංගෙ ඒව ගඳ නෑ නේද කියල එදා අපි හෙණ වාදයක් පටංගත්තා.

ඒක කියද්දි තමයි ගනේගොඩයට මොරකැටිය හන්දියෙ තිබුණ ටොයිලට් හෝටලේ මතක් වෙන්නෙ. මිනිහට සෙක්ෂන් එකක හෙඩ් තනතුර දුන්නට පස්සෙ උදේ 8 වෙද්දි වැඩට එන්න ඕන වුණා. වෙනද මිනිහ ආවෙ 9 ට. මාසයක් දෙකක් යනකල් මිනිහ 8 ට ආවා. හැබැයි එන අතරමග මොරකැටියෙදි බස් එකෙන් බැහැල අර හෝටලේ ටොයිලට් එකටත් ගිහින් තමයි පොර එන්නේ. මොකද මාසයක් විතර යනකල් මිනිහට ටොයිලට් ටයිම් එක ටියුන් කරගැනීමේ ප්‍රශ්නෙ ආවා. පස්සෙ හෝටලේ මිනිස්සු ගනේගොඩයව දකිද්දිම 'ආ එන්න මහත්තයා' කියල කෙළින්ම ටොයිලට් එක ක්ලියර් කරල දුන්නලු. කොහොම වුණත් පස්සෙ කාලෙක දුමක් ගන්න හෝටලේට ගියත් ඒකෙ කොල්ලො බුවා දිහා බැලුවෙ නෝන්ඩි හිනාවකින්.

ගොඩක් ඉස්සර දවසක මහ රෑ ගමේ ඉඳන් කොළඹ එද්දි රෑ එකොළහට විතර කුරුවිට හරියෙදි මටත් අද වගේම පෙරළිල්ලක් ආවා. දෙතුන් වතාවක් ඉවසල බැරි තැන 'ඉස්සරහ දාල යන්න' කියල බැහැල කෙළින්ම ගියෙ වහන්න ඔන්න මෙන්න කියල තිබුණ සිල්ලර කඩේකට. මං හිතන්නෙ ඒක සිගරට් විකුණන්නම රෑ වෙනකල් ඇරගෙන හිටපු කඩයක්. හොඳ වෙලාවට පිටිපස්සෙ මෝඩ ගඩොල් බිත්ති තිබුණ ටොයිලට් එකක් තිබුණා. ඒක ලෑල්ලක් හේත්තු කරල දොර වහගන්න වෙන විදියෙ එකක්. ලෑල්ලත් දොරට හේත්තු කරලම දියවෙලා ගිහින්. ඇතුළෙ ලයිට් එකකුත් නෑ. ඒ දවස්වල මගෙ ෆෝන් එක ටෝච්, ෆ්ලෑෂ් තිබුණ එකක් නෙවෙයි. ස්ක්‍රීන් එකේ එළියෙන් වැඩ ටික කරගත්ත. මුදලාලි මහත්තය මොනව වුණත් වතුර එකත් ගෙනත් තිබ්බ දොර ගාවින්. මිනිහට ස්තූති කරල මදි හින්දා මම ක්‍රිස්කො පැකට් එකකුයි රට ඉඳි පන්සීයකුයි ගත්ත. සිගරට් ගන්න ඇවිත් හිටපු තවත් හොඳ කොල්ලෙක් උගෙ මොපෙඩ් එකේ දාගෙන ගිහින් මාව කුරුවිට හන්දියෙන් බැස්සුවා.

ඵලදායි තැටමිල්ලත් හරි යන්නෙ නෑ වගේ. මම ආයෙමත් ඉරියව්ව වෙනස් කළේ ඒකෙන්වත් සෙතක් වෙයිද බලන්න.. ම්හු... ඒක හරියන්නෙත් නෑ... උණ්ඩුකපුච්චෙ හරියෙ ඉඳන් මහාන්ත්‍රය දිගේ එහෙ මෙහෙ හතර අතට අඬු විහිදුන ලොකු යකඩ බැකෝ එකක් හිමින් හිමින් බඩවැල් බිත්ති හාරගෙන එනවා. මට දාඩිය දානවා. අම්ම උණු වතුර බෝතලෙන් කෝප්පෙට වතුර වක් කරනවා. ඇඟ ඇතුල ත්‍රීඩී බලන්න පුළුවන් සයිට් එකකින් දැකපු අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතියෙ රූපරාමු හතර පහක් වේගෙන් හිතේ මැවෙනවා. අන්තිමේ රූපයි සිතුවිලියි නැති වෙලා වේදනාව ඉතිරි වෙනවා. කොමඩ් එක උඩ මම ඇඹරෙනවා.

අන්තර්ජාල වැසියෙක් වුණ මුල්ම කාලෙක ලියපු ජරාම ජරා කවිය මගේ නිර්මාණයක්මත් නෙවෙයි. ඒක රවි මහත්තයගෙයි මගෙයි සම නිර්මාණයක්. අයියෝ මිස්ටර් රවි... මට මගඇරුණු සිරා පොරවල් අතරෙ තවත් එකෙක්. ටොයිලට් යන එක සිල්ගන්න එකට වඩා ප්‍රැක්ටිකල් බව කියනව ඇහුණ මුල්ම මනුස්සයා. ඒ වෙද්දි වාක්‍යයක් නොවී මගේ හිතේ තිබුණ ඒ අදහස මගේ පිස්සු අදහසක් නොවෙන බව කියපු මනුස්සයා.

වේදනාව ගුද මාර්ගයේ කෙළවරට ඇවිත් නතර වෙලා තියෙන්නෙ මොන කෙහෙල්මලකටද?.. සාමාන්‍යයෙන් අන්තිම හරියෙදි සාම්ප්‍රදායික තැටමිල්ල හොඳට වැඩකරනව වුණාට මේ පාර ඒකටත් උත්තර නොදී ඉන්න තරං හයිය තියෙන්නෙ මොන විධියෙ එකකටද? මම කාපු මොකක්ද මේ පිස්සු කෙළල තියෙන්නෙ... බැකෝ එකේ දිග අඬුව මොකක හරි පැටලිලාද? මොන මල මගුලක්ද... මට තේරෙනව මේකෙන් පස්සෙ බඩු ඉවරයි කියල. ආයෙ කොහෙවත් වේදනාවක් දැනෙන්නෙ නෑ. ඉතිං මේකෙන් පස්සෙ සම්පූර්ණයෙන් මං නිදහස් කියල මං දන්නව. මට ස්වර්ගස්ථ වෙන්න පුළුවන් කියල මං දන්නව. මට මොහොතකට නිර්වාණයට සමවදින්න පුළුවන් කියල මං දන්නව. මං ඉන්නෙ ඒකෙ දොර ගාව කියලත් මට තේරෙනව. අයියෝ..හ්... ඉක්මනට එළියට පලයංකො බෙට්ට!

Wednesday 5 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි


එය 2005 හෝ 2006 වර්ෂයේ වෙසක් පෝය දිනයයි. මා පෝය සමග පැමිණි නිවාඩු දින කීපයම ගොඩගම ගනේගොඩයාගේ නිවසට වී සිටියෙමි. ඒ දින කීපය පුරාම විටින් විට දුමින් මත් වෙමින්ද, නිද්‍රාගත වෙමින්ද, මිදුලේ ගල් තලාව මත 'මහා ධීවරයාණෝ' පොතේ පිටු අතර පේදුරු සහ ෆාරා සමග වයින් බොමින්ද රොටී අනුභව කරමින්ද විසූයෙමි. පසු කලෙක ප්‍රත්‍යක්ෂ කල, 'ජීවිතේ සුන්දරම කාලය වර්තමානයයි' යන අදහස මට දැනෙන්නට ඇඹෙමින් තිබූ කාලයකි එය.

රාත්‍රිය එළඹි පසු නින්දෙන් නැගිටගත් ගනේගොඩයා මා ද ඔහුගේ ට්‍රේලේ නංවා ලීල අක්කාගේ පොට් එකට ඉගිලුණේය. ඔහු සුපුරුදු පරිදි සුදුවා වඩියක් දෙකක් උගුරෙන් පහළට යවද්දී ලීල අක්කා මට ම කියා හදනා වැඩි සීනි ප්ලේන්ටියට මම වග කීවෙමි. විනාඩි කීපයක් එහි ගතකොට අප ආයෙත් ඉගිල්ලුණේ 'සම්පත්' සෙවීමටයි.

ගොඩගම නගරයෙන් එපිට අතුරු මාවත් ඔස්සේ ට්‍රේල මතින් ඉගිලෙමින් අපි සේන්දු වූයේ එක් කුඩා හන්දියකටයි. එහි පාරේ පසෙකට වන්නට අටවා තිබූ තාවකාලික මඩුවක් තුළ මහ හයියෙන් එවකට අතිශයින් ජනප්‍රියව තිබූ දමිත් අසංක හෝ චාමර වීරසිංහ වැනි ගායකයකුගේ කැසට්පටයක් වාදනය වෙමින් තිබුණි. ගැටවර වයසේ කොල්ලන් දහ දොළොස් දෙනෙක් මහ පාරේ ඒ සංගීතයට නටමින් සිටියෝය. උන්ගෙන් ඇතැමෙක් ඒ වන විටත් හැකි උපරිමෙන් මත්වී සිටිනු මම දුටිමි.

ගනේගොඩයා මා ඇදගෙන මඩුව තුළට ගොඩවිය. ඒ තුළ හිඳගෙන සිටි මදක් වැඩිමහලු තරුණයන් අතරින් එකෙකු ඔහු සමග කතා කළේය.

'ආ... ගනේගොඩ අයියා... කෝ උඹ හත වෙද්දි එනව කිව්වනේ...'

'නින්ද ගියා මල්ලි... කෝ...දන්සල ඉවරද?'

'ඔව් බං.. හතාමාර වෙද්දි බඩු ඉවරයි.'

'ච: අපරාදෙ'

'හිටපං... මුට්ටියෙ අඩියෙ ටිකක් තියෙනව'

තරුණයා මඩුව පසෙක ගඩොල් කැට වටකොට සෑදූ තවමත් ගිනි අඟුරු දැල්වෙමින් තිබූ ලිපක් මත වූ විශාල ඇලුමිනියම් මුට්ටියකින් ප්ලාස්ටික් කෝප්ප දෙකකට ද්‍රවයක් වත් කළේය. මාගේ නහය විනිවිද ගියේ අවුරුදු ගණනකින් අත්විඳ නොමැති බෙලිමල් සුවඳකි. ස්වල්ප වේලාවකින් මා අතට තරමක කිතුල් හකුරු කැබැල්ලක් හා උණු බෙලිමල් කෝප්පයක් ලැබිණි. සෙමෙන් එය තොල ගා හමාර වෙත්ම ගනේගොඩයා මා අත තැබුවේ දැල්වෙමින් තිබූ කන්සා සුරුට්ටුවකි. එය කීප දෙනෙකු අතර බෙදී යාමට නියමිත වූ බව වටහාගත් බැවින් මම වහා උගුරු කීපයක් උරා එය මා අසල පොරොත්තුව සිටි තරුණයා අතට දුනිමි. වමතේ ඉතිරිව තිබූ කිතුල් හකුරු කැබැල්ල දිව යට තබාගතිමි. ගනේගොඩයා මට සමීප විය.

'මෙතන පොරක් ගාව බඩු නං තියෙනවා. අරහෙ යන්න ඕන නෑ. උඹ සල්ලි ගෙනාවද?'

- - - - - -

නිවසට යන අතුරු මාර්ගයේ එක් තැනකදී අපට විශාල වෙල් යායක් හමුවේ. මීටර දෙසීයක පමණ දුරක් පටු පාර වැටී ඇත්තේ එම වෙල් යාය මැදිනි. පාරේ පසෙකින් එම වෙල් යාය වෙත ජලය සපයන දිය පාර ගලා යයි. ඒ වන විට පුර හඳ ක්ෂිතිජයෙන් ඉහළට විත් බැබළෙමින් තිබූ අතර අවට පරිසරයේ ගුප්ත නිහඬ බව මට හැ‍ඟෙන්නට ඇරඹී තිබිණි. කන්සා උගුරු කීපය මාගේ සිතුවිලි ඉතා සියුම් දේ වෙත නාභිගත කරවමින් පැවතිණි. මොහොතක් මෙහි ගෙවන්නට මට උවමනා විය.

මාගේ උවමනාව වැටහුණාක් මෙන් ගනේගොඩයා ට්‍රේල නතර කළේය. ඒ පාරේ යටින් දිය පාර ගලනා බෝක්කුවක් අසලය. එම ස්ථානයේ පාර මදක් පුළුල්ය. කොන්ක්‍රීට් යොදා තැනූ වැටි දෙකක් පාරේ දෙපස වෙයි. බෝක්කුව යටින් දිය පාර ගලන හඬ රැහැයි හඬ පරයා නැගී සිටියි. එම හඬ කුමනාකාර වේදැයි ලිවීම අපහසුය. දිය පාරක් ගලන්නේ 'සිලි සිලි' හඬින් බව වෙනත් ලේඛකයන් ලියා තිබෙනු මා කියවා ඇත. ඒත් මට ඇසෙන්නේ සිලි සිලි හඬක් නොවේ. ඒ හඬ මෙයාකාර වේ යැයි කියන්නට භාෂාවේ අකුරු නැත.

මෙම ස්ථානය අපට නුපුරුදු තැනක් නොවේ. මෙයට පෙරද කීප වතාවකදීම අපි දෙදෙනා මෙම ස්ථානයේ පැයක් දෙකක් වල්පල් දොඩවමින් හිඳ ඇත්තෙමු. කුඹුරු යාය අවසන් වන සීමාවේ ගස්කොළන් අතරින් පෙනෙන නිවෙස්වල විදුලි එළියත් පාරේ දෙතැනක පහන් කණුවල දැල්වෙන විදුලි එළියත් හැරුණුකොට මෙහි ඇත්තේ අඳුර පමණි. දිය පහරේ හඬත්, රැහැයි හඬත් පරයමින් විටින් විට ඈත හයිලෙවල් පාරේ දික්හැතැක්ම ඔස්සේ වේගයෙන් ඇදෙනා පරණ බස් රථයක හඬක් ඇසේ. හඳ නොමැති දිනක වලාකුළු සහ ක්ෂිතිජය දක්වා විහිදෙන තරු වියනකි. ඒ වෙනත් දිනවල මෙහි තනිවීමට සිත ලොල් කරවන ලක්ෂණ වේ. අද එයටත් අමතරව වලාකුළක් තරුවක් නොමැති අහසක පුර හඳ දිදුලමින් ඇත.

මම කොන්ක්‍රීට් වැටියේ හිඳගෙන හඳ වෙත නෙත් හෙළුවෙමි. ගනේගොඩයා අතින් පොඩි කල කන්සා පත්‍රිකා රළුවට කඩදාසියක ඔතා සුපුරුදු පරිදි සුරුට්ටුවක් සෑදීය. ඇසිල්ලකින් දැල්වුණු එය අප දෙදෙනා අත හුවමාරු වෙන්නට විය. මාගේ සිත මහා ධීවරයාණන්ගේ සිට ‍ටයිකෝ චුම්බක අනියමයද ඉක්මවා වෝප් වේගයෙන් අවකාශය වෙත ඇදෙන්නට විය. ගිණිය නොහැකි තරම් හැඟීම්, සිදුවීම්, කියවීම් ගණනාවක් ඇසිල්ලකින් සිතින් වින්දනය වන්නට විය. මම කටහඬ අවදි කළෙමි.

'මෙහෙම ඉඳල හරියන්නෙ නෑ... මොනව හරි කරන්න ඕන'

'මොනවද උඹ කරන්න යන්නෙ?'

'අඩුගානෙ ෂෝට් ෆිල්ම් එකක්වත් හදන්න ඕන'

'ඉතිං හදපං. මහ ලොකු දෙයක් නෙවෙයිනෙ'

'මොනව ගැනද හදන්නෙ?'

''දැන් උඹ කිව්වෙ හදන්න ඕන කියලනේ... අදහසක් නැද්ද ඉතිං?'

'අදහසක් නෑ. ෂෝට් ෆිල්ම් එකක් හදන්න ඕන. එච්චරයි'

'එහෙම වැඩක් නෑනෙ බං. ඉස්සෙල්ල උඹට අදහසක් ඕන. ඒක ෂෝට් ෆිල්ම් එකක් විදියට කරන්න පුළුවන්. එහෙම නැතිව ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන කිය කිය ඒකට අදහසක් නැතුව ඉඳල වැඩක් නෑනෙ'

'හ්ම්ම්'

'උඹ අදහස අවුට් කරන මීඩියා එක ගැන වදවෙනව. ඒකෙන් දෙන්නෙ මොනවද කියන එක ගැන හිතලවත් නෑ. ඉස්සෙල්ල මිනිස්සුන්ට කියන්න හොඳ කතාවක් හදන්න ඕන. ඒක අවුට් කරන්නෙ කෙටි කතාවකින්ද කවියකින්ද ෆිල්ම් එකකින්ද කියන මීඩියා එක පස්සෙ කරදර වෙන්න තියෙන වැඩක්...'

'හ්ම්ම්. මට ඕන ෂෝට් ෆිල්ම් එකක් කරන්න'

මද වෙලාවක් නිහඬතාවය පැවතිණි. එක්වරම ගනේගොඩයා නැවත මා ඇමතීය.

'චෙකොෆ්ගෙ පොතක් තියෙනව 'කළු සිවුරුදර භික්ෂුව' කියලා. උඹ කියවල තියෙනවද ඒක?'

'නෑ...'

'උඹ ඉතිං අඟල් ගණනංවල පොත් හොය හොය කියවනව මිස පොඩි පොත් කියවන්නෙ නෑනෙ. ගෙදර තියෙනව. අරං කියවපං.'

'ඒක අදාළ වෙන්නෙ කොහොමද?'

'දැන් උඹට ඕන උඹෙ නම තියන විදියෙ වැඩක් කරන්නනේ...'

'නෑ එහෙම නෙවෙයි.'

'හරි එහෙම නෙවෙයි කියමුකෝ... උඹ ෆිල්ම් එකක් හදල නම නැගල ගියා කියලත් කියමුකෝ.. හැබැයි ඒ කොච්චර කාලෙකටද?'

'ඒ කිව්වෙ?'

'අපි ජීවත්වෙන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේනෙ බං. අපි අපේ නම තියන්න වැඩ කරනවා. මැරුණට පස්සෙ අපේ නම මතක තියෙන්න ඕන විදියෙ සිරා වැඩ කරන්නනෙ මිනිස්සු හැමවෙලේම ට්‍රයි කරන්නේ?'

'සාමාන්‍යයෙන් මිනිස්සු ඒකට කැමතියි නේද? මැරුණට පස්සෙත් තමන් ගැන මිනිස්සු කතා කරනවයි කියල දන්න එක මිනිස්සු විඳින්න කැමති හැඟීමක්'

'ඔව්.. හරි... ඒත් හිතපං කොයි තරං කාලයක් මිනිහෙක්ව එහෙම මතක තියෙයිද?'

'අවරුදු දෙදාස් ගණං මතක තියාගෙන වඳින පුදන ඩයලුත් ඉන්නවනේ...'

'අවුරුදු දෙදාස් ගාණක් තිස්සෙ ඒ මිනිස්සු ඒ විදියටම මතක තියාගෙන නෑනෙ බං...'

'ඒකනං එහෙම තමයි. කාලයත් එක්ක ඒව වෙනස් වෙනවා...'

'ඒක තමයි. එහෙනං තමන්ව කවද හරි අමතක වෙනව කියන එක දැන දැන තමන්ගෙ නම තියන්න වැඩ කරන එකේ වැඩක් තියෙනවද බං?'

'එහෙම ගත්තොත් කවුරුවත් කරන කිසි දේකින් වැඩක් නෑනෙ.'

'ඒක තමයි පොයින්ට් එක. ඒ හින්දා නම තියන්න වැඩ කරල වැඩක් නෑ. වැඩ කරපං. තියෙන කාලයක් නම තියෙයි.'

'දැන් මට ෂෝට් ෆිල්ම් එකක් හදන්න තියෙන උවමනාවට මේ කතාව අදාළ වෙන්නෙ කොහොමද?'

'ඒකෙ එකපාර පේන අදාළ වීමක් නෑ. උඹට ෂෝට් ෆිල්ම් එකක් හරි මොකක් හරි දෙයක් කරන්න උවමනාව එන වෙලාවට ඒක වෙයි.'

'සමහර විට උවමනාවක් නැති වෙන්නම ඉඩ තියෙනවා...'

'ඉතිං මොකද? උඹ හෙණ සිරා වැඩක් කරලා ඒකෙන් ලෝකෙ අම්බානක් වෙනස් වෙයි කියලද උඹ හිතන්නේ?'

'නෑ එහෙම හිතන්නෙ නෑ...'

'උඹේ ආතල් එක වෙනුවෙන් වැඩ කරපං. වෙන වෙන ගයිඩ්ලයින් වැඩක් නෑ. ලෝකෙ කොහොමත් හොඳ නරක දෙක බැලන්ස් එකේ තියෙනව. කාලෙකදි හොඳයි. කාලෙකදි නරකයි.'

මම නැවතත් හඳ දෙස බැලීමි. ජීවිතේ පූර්ණ වශයෙන් වටහාගැනීම කිසිවකුට කල හැක්කක් නොවේ. අප පරිපූර්ණත්වය වශයෙන් හඳුනාගන්නා බොහෝ දේවල් ඒ තුළම බිඳවැටී ඇති තර්කයන්ගෙන් ගොඩ ඒමට නොහැකිව වැල්වටරම් රාශියකින් වටවී බොරු පරිපූර්ණත්වයක් මවා පායි. දෙවියන්ද, බලාපොරොත්තුවද අපගේ වර්තමාන දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් පමණි. බොහෝ දේ සැලසුම් කරන්නේ යැයි සිතුවද අවසානයේ කර ඇති දෙයක් නොමැත. වෙන අයෙකුගේ අදහසකට වඩා මා දරන අදහස උසස් හෝ වෙනස් යැයි සිතන්නට උත්සාහ කළද අවසානයේ මා යනු තවත් එක් වංචාකරයකු පමණි. සමස්තය එයට අවශ්‍ය ලෙසින් වෙනස් වෙමින් පවතී. මා එහි එක් සංඝටයක් පමණි.

පුර හඳ තවත් ඉහළට නැග ඇත. ක්ෂිතිජය කෙළවර තනිව දැල්වුණු එක් තරුවක් විය. ඒ තරුව වටා භ්‍රමණය වන ‍ග්‍රහළොවක විශාල වෙල් යායක් මැද හිඳිමින් මා දෙස බලා සිටිනා පිටසක්වලයෙකි. එක් ක්ෂණයකින් ඔහුගේත් මාගෙත් නෙත් ගැටුණි. මාගේ සිතෙහි වූ ප්‍රශ්න කීපයම ඔහුගේ දෑස තුළ මම දුටුවෙමි. අඳුර නිවමින් අලුත් එළියක් දැල්විණි. හිස මත වූ යම් බරක් ඉවත ලූවා වැනි හැඟීමක් මට දැනේ.

'තනියෙන් හිතන්න එපා බං'

ගනේගොඩයා කියවයි.

'නෑ මං නිර්වාණයේ මොහොතක් අත්වින්දා'

'හෙහ් හෙහ්... මට කිව්වට කමක් නෑ... ඒ වුණාට වචන පාවිච්චි කරද්දි පරෙස්සං වෙයං. ඕව සමහර අයගෙ ට්‍රේඩ් මාක් ගහපු වචන. ඕවට අයිතිකාරයො ඉන්නවා'

ගනේගොඩයා ම වෙත ඇසක් වසා මහ හඬින් සිනහ විය. මමත් ඔහුට එක් වීම්. අපි දෙදෙනාම සිනහසෙන්නට වීමු.