Tuesday, 22 March 2011

මිනිසා සම්පූර්ණ කිරීමට කියවීම! පිරිමියා සම්පූර්ණ කිරීමට ගැහැණිය!


ගැහැණිය සහ පිරිමියා කියන දෙපාර්ශවය එහෙම දෙපාර්ශවයක් විධියට වෙන් වෙලා තියෙන්න හේතු වෙන කාරණය සංස්කෘතික පසුබිමක කතාකරද්දි කියවෙන දෙයක් තමයි ගැහැණිය විසින් පිරිමියා සම්පූර්ණ කරනවා කියන එක. මේක අනිත් පැත්තට පිරිමියා ගැහැණියව සම්පූර්ණ කරනව කියලත් ගන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන පණ්ඩිත වාක්‍යය අනුව ඔය දෙගොල්ලොම හොඳට කියෙව්වානම් දෙගොල්ලොන්ටම දෙගොල්ලො නැතිව ඉන්න තිබුණ. මේ ලියන, කියන, ගායන, කන, බොන, ගිලින, රසවිඳින, වමනෙ දාන, කඳුළු උණන, හොටු පෙරන කතා වලින් සෑහෙන්න ටිකක් නැතිවෙන්න තිබුණ.

ඒත් ඒක එහෙම වෙන්නේ නෑ.

ඒ කියන්නෙ මිනිස්සු කියවන්නෙ නෑ කියන එක නෙවෙයි.

සමහර විට කියවලවත් මිනිහෙක්ට සම්පූර්ණ වෙන්න බෑ කියන එක වෙන්න පුළුවන් ඕකෙ යටි කතාව. කොහොමත් කියවන එකම කරන පොත්ගුල්ලන්ගෙන් ඇති වැඩකුත් නෑ. ඒත් පොත් කියෙව්වත් නැතත් මේ ගැහැණිය හෝ පිරිමියා භාවිතයෙන් එකිනෙකා සම්පූර්ණ වෙන්න දරන උත්සාහය ස්වභාවිකයි.

ඒත් සම්පූර්ණ වෙන්න උවමනාවක් ඇති වෙන්නෙ තමන් අසම්පූර්ණයි කියල හිතෙන නිසා.

ඒ කියන්නෙ තමන් සතු නොවෙන දේවල් ටිකක් තියෙන බාහිර පුද්ගලයෙක් යොදාගෙන තමන්ට නැති ටික වහගෙන තමන් සම්පූර්ණ වෙනවය කියන එක. ඒක හරියට වතුර පිරුනු වීදුරුවක් වගේ. පිරුනු වීදුරුවක් තවත් පුරවන්න බෑ. වීදුරුවක් පිරෙන්න නම් ඒක හිස් වෙන්න ඕන.

ඒත් එක්කම ඔය ගැහැණු පිරිමි සම්බන්ධයෙදි කියනව මේ ගැලපීම ගැන. කැමති පාටෙ ඉඳන් අහන්න ආසම සින්දුව දක්වාම මේ කතන්දරේදි ගැලපීම් තමයි හොයන්නේ. ඒක මහ තේරුමක් නැති වැඩක් කියල පස්සෙ කාලෙක ගොඩක් දෙනා තේරුම්ගන්නව වුණාට ජනප්‍රිය කතිකාවෙදි ඒක එහෙම තමයි.

තමන්ට සම්පූර්ණ වෙන්න තමන් නොවෙන කෙනෙක් හොයන අතරෙම ඒ වගේම උවමනාවල් ටිකකට තමන්ට ගැලපෙන එක්කෙනෙක් හොයනව. මේ ගනුදෙනුව සිද්ධ වෙන්නෙ හැඟීම් ස්ථරයක නිසා ඔය දෙක අතිපිහිත වෙන එක මොහොතකදි වැඩේ ගොඩ යනව.

මේ කතාව අනිත් පැත්තට හිතල මෙන්න මෙතනට එමු.

ඔබේ ගැහැණිය විසින් ඔබව සම්පූර්ණ කිරීම ඔබේ බලාපොරොත්තුව නම් ඔබ තෝරාගන්නා ගැහැණිය ඔබ සතු නොවන දේවලින් සමන්විත විය යුතුයි. එනම් ඔබේ සම්පූර්ණ විරුද්ධ ස්වභාවයන්ගෙන් යුක්ත විය යුතුයි. ඒ අනුව ඔබත් ඇයත් එක් වූ විට අන්‍යෝන්‍ය වශයෙන් ඔබලා දෙදෙනා එකිනෙකා හේතුවෙන් සම්පූර්ණ වේ.

ඒ අනුව පිරිමියාට ගැලපෙන ගැහැණියකගෙන් ඔහුට සම්පූර්ණ වෙන්න ලැබෙන්නෙ නෑ. පිරිමියෙක්ට සම්පූර්ණ වෙන්න ඕන නම් ඔහු හොයාගන්න ඕන ඔහුට නොගැලපෙන ගැහැණියක්!

ඔව්.. මේ වචන සෙල්ලම් අස්සෙ අතරමං වෙනවට වඩා ඒක ලේසි වෙයි...

8 comments:

  1. සම්පූර්ණ උනාට එකට ඉන්න බැහැ බන් එතකොට

    ReplyDelete
  2. ඔය වැඩෙන් එකිනෙකා සම්පූර්ණ වීම කෙසේ වෙතත් මරා ගන්න එකනම් ෂුවර්.
    සෙකන්ඩ් රවුන්ඩ් එ‍කේ හොටු පෙරාගෙන අඞන සෙට් එකකුත් බිහිවෙයි හිටු කියල. නියමයි එතකොට මෙන්න තව නවකතා, කවි, නාට්‍ය, චිත්‍රපටි වගේ මහ සාහිත්‍ය බිහිවෙයි ඔවුන්ගෙනුත්. එතකොට පස්සෙ එවුන්ට කියවන්න ඇති තරම් දේවල් තියෙන නිසා උන්ට පුඵවන් කියවීමෙන් සම්පූර්ණ වෙන්න. හොඳයි යෝජනාව ඔයාගෙ...

    ReplyDelete
  3. සම්පූර්ණ අසම්පූර්ණ ගතියක් නෙ එතකොට

    ReplyDelete
  4. තව හුඟාක් දේවල් තියනවා.. මෙහෙම කියල ඉවර කරන්න බෑ..

    ReplyDelete
  5. කට්ටියටම...
    මේ මාතෘකාවෙදි අපට ගොඩක් වෙලාවට හම්බවෙන්නෙ වචන හරඹ නිසා ඇත්තටම තත්ත්වෙට මුහුණ දීල මිස ඕක මොකක්ද කියල හිතාගන්න බෑ..

    ReplyDelete
  6. ගොඩක් දුර කතා කරන්න පුළුවන් මාතෘකාවක්... අනෙ මන්දා ගැහැණියද කියවිමද මිනිසා සම්පුර්ණ කරන්නෙ කියන එකනම් දන්නෑ මම...

    ReplyDelete
  7. කාන්තාවෝ එක්ක වැඩ කරද්දී නිකම් වීදිරු එක්ක වැඩ කරනවා වගේ පරිස්සම් වෙන්න ඕන පොඩ්ඩ මිස් උනොත් කැපිලා යන්න පුලුවන් , සමහරවිට බිඳෙන්නත් බැරි නෑ . හැබැයි ලස්සනයි .

    නොගැලපෙන කෙනෙක් එක්ක තත්පරයක් ගත කරන එකත් බොහෝම අමාරු වැඩක් වේවි .

    ReplyDelete
  8. දිනේෂ් - ඔය දෙකත් එක්ක චිත්‍රපටි බැලිල්ලත් මත් වීමත් එකතු වුණාම මිනිහෙක්ට යන්තං බාගයක් විතර සම්පූර්ණ කරගන්න පුළුවන්ද කොහෙද


    සඳරු - ඔය ‍කියන්නෙ නියමෙට. කාන්තාවො නිකං තියුණු දියමන්ති වගේ... :D

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!