අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර තවමත් මට මතක තිබේ. ඔවුන් ගොවිතැනින් දිවි ගෙවූ අහිංසක මිනිසුන් ලෙස මා සිතේ තැන්පත්ය.
එම පවුල් දෙකම වෙසෙන්නේ එකම ඉඩමකය. එය වර්තමානයේදී ඔවුන්ගේ දරුවන්ගේ වාසභූමීන් ලෙස බෙදී යමින් තිබේ. නමුත් ගහ කොලින් වට වූ අඳුරු පාළු ස්වභාවයකින් යුතු වූ එම ඉඩම මට තවමත් මතකය.
සුදු නැන්දාගෙත් කළු නැන්දාගෙත් දරුවන් මටත් වඩා වැඩිමහලුය. ඔවුන්ගෙන් ඇතැමෙක්ද දැන් තරමක දරුවන් සිටින දෙමාපියෝ වෙති. ඒහෙත් කළු නැන්දාගේ පුතුට අමතර එකම දියණිය වයස අවුරුදු 40ක්ද ඉක්මවමින් අවිවාහකව වෙසෙන්නීය. මා කළු නැන්දාගේ දුව ලෙස හඳුන්වන්නේ ඇයවයි.
හිටි අඩියේ කළු නැන්දාගේ දුව මතක් වීම අහම්බයක් නොවේ. ඇය කොහොමත් සුනිල් එදිරිසිංහයන්ගේ 'චන්ද්‍රමඬල' ගීතය හේතුවෙන් සැලකිය යුතු කාලයක් අමරණීය වී සිටිනු ඇත. චන්ද්‍රමඬල ගීතය ගී පැදුර වෙත ලිවීම සඳහා සොයන්නට වූ විට මට යූ ටියුබයේ තිබී හමුවුණේ නිධානයකි. සුනිල් එදිරිසිංහයන්ගේ ජව සම්පන්න හඬ සදා නොමැකෙනු ඇතැයි විශ්වාස කිරීමට මා කැමති වුවද එය වියැකෙන දිනක් පැමිණෙන බව මම දනිමි. සුනිල් එදිරිසිංහයන් සහමුලින්ම අමතක වන අනාගතයක්ද වන බව මම දනිමි. එහෙත් චන්ද්‍රමඬල ගීතය ගුවන්විදුලියේදී කුඩා කල සවන් විඳි වතාවලදී මෙන්ම වර්තමානයේදීත් මා වෙත කළු නැන්දාගේ දුව සිහිගන්වයි.
කළු නැන්දාගේ දුව රැකියාවක් කරයි. එය සුවිශාල වැටුපක් හෝ සමාජ තත්ත්වයකට හිමිකම් ලබන්නක් නොවේ. ඇගේ රාජකාරි ස්ථානයට යාමට සිදුවන අවස්ථා වලදී ඇතැම්විට ඇය මට හමුවේ. එවිට ඇය 'කොහොමද මල්ලී' යැයි මා අමතා කල හැකි උදව්වක් කරයි. සාමාන්‍යයෙන් කාර්යාලයෙන් ප්‍රමාද වී පැමිණෙන දින වලදී මා ගම මැදින් නිවසට පැමිණෙන අතරමග ඈ පසු කර යමි. ඇය තමන්ගේ නිල ඇඳුම වූ නිල් පැහැ සාරිය හැඳ ඇගේ මිතුරියක්ද සමග ගමන් ගන්නීය. ඇය අහම්බෙන් හෙළන බැල්ම විටෙක මා නෙත ගැටෙන අතර ඒ බැල්ම මතින් ඇය බෙහෙවින් තෘප්තිමත්ව සිටින බවක් මම හඟිමි. අවස්ථාව අනුව ඇයට සිනාවකින් සංග්‍රහ කරමි.
වසරකට පමණ පෙර මාගේ නැන්දණියගේ අභාවයේ සත්දින පිංකම දැනුම්දීම සඳහා මා කළු නැන්දාගෙ නිවසට ගියෙමි. එය පෙර කී ඉඩමේ කෙළවර කඳු බෑවුමක පිහිටා ඇත්තකි. මෝඩ ගඩොලින් බැඳ වැලි මිශ්‍ර මැටි බදාමයෙන් කපරාරු කර ඇත. විමසිල්ලෙන් බැලූ විට එය එකම එක කාමරයක් පමණක් බව පෙනේ. නමුත් පැරණි ගැමි නිවසක මෙන් විවෘත කුඩා ආලින්දයක් එහි විය. ගෙබිම ගොම ආලේපනයකි. ඒ ආලින්දය කෙළවරක පොළොවේ මැටියෙන්ම සාදා ගොම ආලේප කල ලිප් දෙකකි. ඒ මත දැල්වී අවසන් වූ දර අඟුරුය. පසෙකින් දර කැබලි කීපයක් සහ මැටි හට්ටි කීපයකි.
ගෙතුළ සිට සමස්ත හිසම ඇතිරිල්ලකින් ආවරණය කරගෙන කළු නැන්දා පිටතට පැමිණියාය. ඇයගේ මුහුණුවර කුඩාකල මතකයන් අතුරින් මතුකර ගැනීමට මා දැරූ තැත ව්‍යර්ථ විය. දැන් ඇයගේ මුවේ ඇත්තේ එක් දතකි. ඇය උපැස් පලඳින්නීය. කාලවර්ණව තිබූ කෙස් සැලකිය යුතු තරමක් සුදු වී ඇත.
මා ඇයට දානය ගැන පවසා ඇගේ සහභාගීත්වය අපේක්ෂා කරන බැව් පැවසීමි. දානය කෙසේ වෙතත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට තමා පැමිණෙන බව දන්වමින් ඇය ආගිය තොරතුරු කියවන්නට විය.
ඇයත් දියණියත් එම නිවසේ වෙසෙයි. දිනපතා උදෑසන 6ට රාජකාරියට වාර්තා කිරීමට දියණිය පිටව යන්නීය. ඇය ඊට ප්‍රථම ආලින්දයේ ඇති ලිපේ බතක් සහ එළවළුවක් දෙකක් පිසියි. දිවා ආහාරය ලෙසද මුලක් බැඳගන්නා ඇය නික්ම ගිය පසු කළු නැන්දා නැවතත් විවේකයෙන් වෙසෙයි. උදේ දවල් දෙක එක් වේලකින් පිරිමහගනියි. දියණිය සවස 5-6 අතර සේවය නිමවී පැමිණෙන තුරු බලා හිඳියි.
ඇය තම අවිවාහක දියණිය පිළිබඳ දුක් වන්නීය. නමුත් ඇයටද විකල්පයක් නැති සෙයකි. දියණිය තම තනිකම රැකියාවට දියකර හරී. නිවසට පැමිණ ගුවන් විදුලියෙන් සිත මොට්ට කරගනියි. සිත මුළා කරගනියි.
කළු නැන්දාගේ දියණිය කාලවර්ණය. උසය. සිනාව පියකරුය. ඇය පිළිබඳ අනුකම්පාත්මක හැඟීමක් මට ඇත. එය දැනෙන්නට පටන්ගත්තේ ඇයගේ දින චර්යාව පිළිබඳ කණ වැකුණු දා පටන්ය. ජීවිතයේ තනිකම දිනයේ සිදුවීම් තුළ බොඳකරගන්නට ඇය උත්සාහ දරයි.
ඇයගේ ජීවිතය කුමන අතකට යන්නේද යන්න පිළිබඳ මට අදහසක් නැත. කළු නැන්දාත් ඇගේ දියණියත් පිළිබඳ මට ඇත්තේ දුකකි. අසංවේදී වීම දුක නැති කිරීමේ මග ලෙස මට වැටහී යමින් ඇත. මන්ද මා ඉපදෙන්නටත් පෙරම මාගෙන් සැලකිය යුතු කොටසක් මට අහිමිව ගොස් තිබේ.
තවමත් සතියකට දෙකකට වරක් කළු නැන්දාගේ දුව බැල්ම හෙළා සැඟව යන්නීය. දැන් ඇගේ බැල්ම තුල මට සතුටක් පෙනෙන්නේ නැත.
හරේ ජීවිතය දෙස උපේක්ෂා සහගතව බලන්න පුළුවන් නම් ලොකු දෙයක්. නමුත් අප හැමෝටම එහෙම කරන්න බැහැ. ඔබ කියෙව්වනේ මගේ අන්තිම සටහන. එකෙත් මා මේ ගැන කියනවා. රැකියාවක් පවා කරන මේ වගේ කාන්තාවකගේ ඉරණම එක අතකින් කනගාටුවට කරුණක්. මේ වගේ යුවතියන් මෙන්ම පිරිමින්ද අප සමාජයේ විරල නැහැ. මා කලින් හිතුවේ ලංකාවේ තියන පොරොන්දම්, නැකත් ආදිය කෙරෙහි තියන අධික විශ්වාසය නිසා මෙහෙම වෙනවා කියල. නමුත් එවැනි විශ්වාස මත රඳා පැවතිලා වැඩ කරන්නේ නැති මෙහෙත් ඔවැනි අය ඉන්නවා. මගෙත් එක්ක වැඩ කරන සුද්දෙක් මේ වගේ එකෙක්.
ReplyDeleteමෙහෙම අය කොච්චර ඉන්නවද ඇත්තට..
ReplyDeleteහ්ම්ම්... කලු නැන්දාගේ දුව දැකගතිමි... ඔවුන්ට යහපතක්ම වේවා...
ReplyDeleteසමහර වෙලාවට කළු නැන්දගේ දුව තොරණ ප්‍රමාණය වැඩියි.. ඒ හින්දා සහකාරයෙක් නැතිවෙනවා. එහෙම කළු නැන්දගේ දුවලා මම දන්නවා. උස වෙන්නත් බහ කොට වෙන්නත් බහ සුදු වෙන්නත් ඕන ලස්සන වෙන්නත් ඕන හොඳ රස්සාවකුත් ඕන පවුලත් හොඳ වෙන්න ඕන. වයසත් වැඩිව එන්න බහ..කේන්දරෙත් ගැලපෙන්න ඕන. ඔන්න ඔහොම බැලුම් බලන අතරේ වයස යනවා. බහුතරයකට බලපාන්නේ ආර්ථිකය තමයි.. අද කාලේ සමහරක් පිරිමි බඳින්න හොයන්නේ සියල්ලෙන්ම අංග ස්මපුර්ණ අය.. තමුන්ගේ සියලු ප්‍රශ්න නිවාරණයට බෙහෙත් මිස ගැහැනියක් නොවෙයි..
ReplyDelete"අසංවේදී වීම දුක නැති කිරීමේ මග ලෙස මට වැටහී යමින් ඇත. "
ReplyDeleteමමත් මෙන්න මේ ක්‍රමේට දුක තරහව නැති කරගන්නවා මල්ලී . . ඒක හරිම ලේසි ක්‍රමයක් . .
සියල් සපිරි ළොවක් කිසි දින බිහි වන්නේ නැත.
ReplyDeleteනිවසට පැමිණ ගුවන් විදුලියෙන් සිත මොට්ට කරගනියි. සිත මුළා කරගනියි
ReplyDeleteහොඳ වෙලාවට ගුවන් විදුලියක් විතරක් තිබුනේ.........
කඵ නැන්දලාගෙ දුවලටනම් ආයෙ මේ කපේ ගොඩඒමක් නෑ මේ පොළොවෙනම්..
ReplyDelete'මි' අකුරෙන් අවසන් කරන්නට නම් උක්තය ලෙස මම තිබිය යුතු ය. මා ලෙස අනුක්තය කතෘ කර 'මි'යන්නෙන් අවසන් කිරීම දෝෂ සහිත ය. ඒ ගැටළුව තැන් කිහිපයක දැක්කෙමි.
ReplyDeleteඔබගේ භාෂා ශෛලිය බෙහෙවින් ම අගය කරමි. මෙය අපුර්ව තැනකි! සැබවින් ම අපුර්ව ය..
//මා ඉපදෙන්නටත් පෙරම මාගෙන් සැලකිය යුතු කොටසක් මට අහිමිව ගොස් තිබේ.// කොටස වැටහුණේ නැත!
ජය වේවා!!
සියල්ලන්ටම ස්තූතිය... සැමගේ අදහස් ගරු කරමි.
ReplyDeleteරැංගෝ දුටු අඩුව ගැන කියන්නට උවමනාය. ඔබ කියූ 'මම' > 'මි' වරද මෙන්ම තවත් උක්තය සහ ආඛ්‍යාතය නොගැලපෙන තැන් ගණනාවක් මේ සටහනේ ඇත. ආරම්භක වාක්‍යයම ව්‍යාකරණානුකූලව වැරදිය.
සාමාන්‍යයෙන් නම් මම දන්නා තරමින් ව්‍යාකරණ දෝෂ පිලිබඳ උනන්දු වෙමි. ලිපිය පල කිරීමට පෙර කීප වරක්ම කියවා නිවැරදි කරමි. ඇතැම් විට 'සුබස' වැන්නක් භාවිතා කර දෝෂ නිවැරදි කරගනිමි. නමුත් මෙවර මම උවමනාවෙන්ම ලියද්දීම ව්‍යාකරණය අමතක කර දැමුවෙමි. ඔබට හසුවූ පැහැදිලි දෝෂමය අවස්ථාව මෙන්ම තවත් බොහෝ දෝෂ ඇත්තේ එලෙසිනි. මා තැත් කලේ එසේ වීමෙන් සටහනේ අදහස ප්‍රකාශ වීමේ බාධාවක් ඇත්දැයි දැනගැනීමටය. මේ ලිපිය යම් කාත් දුරකට ලේඛණමය සිංහලයෙන් වියුනක් වුණත් ව්‍යාකරණානුකූලව එය කථනමය ව්‍යවහරයේ භාවිතාවන්ගෙන් යුක්තය.