Saturday, 26 May 2012

නිර්වාණය සහ ගුරුත්වාකර්ෂණය



මිනිහෙක් ආයෙ ඉපදෙන්නෙ නෑ කියල කියන අදහස කට්ටියට ප්‍රශ්ණයක්... මට ඇසුරු කරන්න වෙන ගොඩක් ආගමික මතධාරියො ‍ඉන්නෙ තමන් ෂුවර් ඇන්ඩ් ෂොට් ආයෙ ඉපදෙනව කියන මතයෙ. ඕක ගැන එයාල එක්ක තවත් කතා කරද්දි පින් පව් කතා ඇදිල එනව. ඊට පස්සෙ කර්මයයි තව එක එක කතායි... ඔය විධියට ගිහින් අන්තිමේදි එයාල නැවත ඉපදීමක් තියෙනවය කියන මතය සාධාරණීකරණය කරන්න තවත් මත ගොඩක පිහිට පතනව. ඒ වුණාට වැඩේ කියන්නෙ ඒ මතවාදයන් සේරම තියෙන්නෙ එක පද්ධතියක් ඇතුලෙ වීමයි. ඒ පද්ධතියෙන් එලියෙ ඒ මතවලට අර්ථයක් නෑ.

කොහොමත් ආගම් වලින් කියන දේවල් පවතින්නෙ ඒ ආගම තුලින්ම නිර්මිත රාමුවක් ඇතුලෙ විතරයි. ඒ ආගමේ නිර්වචන රඳා පවතින්නෙ ඒ ආගමෙන්ම කියවෙන වෙනත් නිර්වචනවල. ඒ වගේම ප්‍රා‍යෝගිකව ආගම කියන්නෙ ෆේල් වුණ සංකල්පයක් කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද ඒවයින් ලෝකයට වුණ අමුතු සෙතක් නෑ පිරිසකට බඩවියත රැකගන්න රස්සාවල් ලුබුණ එක ඇර. ආගම රැකගන්න කියල වෙන මිනිහෙක්ව විනාශ කරද්දිම ආගම ෆේල් වෙලා ඉවරයි. හැබැයි ආගම් අනවශ්‍යයි කියල කියන්නත් බෑ.

ගෞතම කියන්නෙ තනියෙම ලොකු දැණුමක් ගොඩනගාගත්තු මිනිහෙක්. ඔහු ඒ දවස්වල තිබුණ සංකල්පත් එක්ක මතවාදී ගැටුමක් නිරාකරණය කරගත්තෙ නිර්වාණය කියන අදහසත් එක්ක. ඔය දැනුම වර්තමානය දක්වා එද්දි වෙලා තියෙන වෙනස්කම් නිසා ඒ ගැන අදහසක ඉන්න එක අමාරු වැඩක්. ඔය 'වෙනස් වෙලා' කියන එකේදිම ආයෙමත් මුළු කතාවම අවුලකට යනවනේ. නමුත් ගවේශනයෙදි ගෞතම කියන්නෙ ගයිඩ් කෙනෙක්!

ගෞතමට එයා, ඔහු විධියට ආමන්ත්‍රණය කරනකොටම මතධාරියෙක්ගෙ ලේ රත්වීම තුල ඔහුට ගිලිහෙන්නෙ ගෞතමවමයි.

ඔහු නිර්වාණය හොයාගත්ත කියල කියමු. අඩු ගානෙ ඒ කාලෙදි තිබුණය කියල කියවෙන එක එක විධියෙ මතවාදයන් අතරෙ නිර්වාණය කියන්නෙ එක සිරා අදහසක්. ඒකෙන් කියවෙන්නෙ අත්හැරීම ගැන. නොඇලීම ගැන. නිදහස් වීම ගැන. හැබැයි එහෙම කියනකොට ගෞතමගෙ ඉගැන්වීම් හෙන බෝරිං වෙනව. ජීවිතේ ආතල් එහෙම කඩාගන්නෙ කොහොමද?

නැවත ඉපදීම කියන එක ඒ කාලෙත් තිබුණ අදහසක් කියල හිතන්න පුළුවන්. පළවෙනි හේතුව අදට වඩා කල්පනා කරපු මිනිස්සු හිටපු කාලෙක ඉපදීම සහ මරණය වගේ දේවල් ගැන මිනිස්සු තදින් කල්පනා නොකලා වෙන්න බැරි වීම. අනිත් හේතුව ගෞතම විසින් 'නැවත ඉපදීම' කියන මුදුන් පරාලය හෙවත් කැණිමඩල විනාශ කිරීම ගැන කතා කරල තිබීම. මේක මට තේරෙන්නෙ ගෞතමගෙ අදහස්වල වැදගත්ම කෑල්ල(ක්) කියල. ඔය නැවත ඉපදෙනවාය කියන අදහස ඔළුවෙ තියෙනතාක් කල් මිනිස්සු අත්හරින්න සූදානම් නෑ. ගෞතම විසින් විනාශ කරන්නෙ ඒ නැවත ඉපදීම කියන අදහස. ඒක ඔහු සමාන කරන්නෙ ‍ගෙයක මුදුන් පරාලයකට. මුදුන් පරාලය මතයි අනිත් හැම පරාලයක්ම රඳාපවතින්නෙ. මුදුන් පරාලය සිඳීමෙන් ඔහු මුළු වහලම විනාශ කරනවා. ඒ කියන්නෙ නැවත ඉපදීම කියන අදහස උඩ ආත්ම ගාණකට හිතේ පුරවං ඉන්න ආසාවල් සියල්ල ගලවල විසි කරනවා. ඔහු හිත විවෘත කරනවා බැඳීම් නැති නිදහස් අවකාශයකට... මේක ඇතුලෙයි නිර්වාණය කියන ‍ගෞතමගේ සංකල්පය පවතින්නේ.

මේතනදි මේ නිර්වාණය කියන අදහසේ පේටන්ට් එක ගෞතමට යනව වුණාට ඒ කාලෙ මේ ගැන කල්පනා කරපු අය ඕන තරම් ඉන්න ඇති. තනි තනිවමත් මේක හොයාගත්ත අය ඕන තරම් ඉන්න ඇති. නමුත් ලෙජන්ඩ් එකක් වුණේ ගෞතම. ‍පුරාවෟත්ත අනුව ඔහු රජ පවුලේ කෙනෙක් වීමම ඒකට හේතු වෙන්න ඇති. ඇත්තටම එහෙම ගත්තම ඔහුට "බුද්ධ" කියල කියන එකෙන්ම වැඩේ කෙලවෙලා ගිහින් ඉවරයි. බුද්ධ කියන්නෙ ඔහු ගොඩනගාගත්තු දැණුම නිසා ලැබුණ නමක්. ඇත්ත නම මොකක්ද කියල හොයාගන්න වෙන එකක් නෑ. හැබැයි ඇත්තටම අපට අනවශ්‍යම වෙන්නෙත් ඔහුගෙ අනන්‍යතාවයයි. සත්‍යය කියන දේ අනන්‍යතාවයක් මත රඳාපවතිනව වෙන්න බෑ.

ඉතිං ගෞතම මේක හොයාගත්තා. නමුත් අපි තවම ඒක අල්ලගෙන නෑ. ඒක හරි පුදුම විධියට සංකල්ප ගණනාවක් අස්සෙ හිර කරපු අදහසක් වෙලා. නිර්වාණය ඒ නිසාම තියෙන්නෙ මතවාදී විධියට සෑහෙන්න ඈතින්. ඒක වෙත යන්න මිනිහෙක්ට මාර කට්ටක් කන්න වෙනව. සෑහෙන්න වියදං කරන්න වෙනව. නොදන්නා ආත්ම ගාණක් දුක් විඳින්න වෙනව. හෙණ සයිස් පොත් බරගාණක් පාඩං කරන්න වෙනව. ඉතිං දැනටමත් හොයාගෙන තියෙන දෙයක් පවතින්නෙ මිනිස්සුන්ට අතගහන්න බැරි තරම් ඈතක. බණ පද ආලෝකවර්ෂ ගාණක් ඈතක!

ඒක ගැන කියන්න හොඳම උදාහරණයක් නොවුණට අපි නිර්වාණය සලකමු නටඹුන් පුරවරයක් විධියට. ඒ නටඹුන් පුරවරය පොඩි ගමක නිදහසේ තිබුණ එකක්. මිනිස්සු නිදහසේ ඒකෙ පරණ බිත්ති අතර සැරි සැරුවා. නටබුන් අතරෙ සුන්දරත්වය වින්දා. ටික ටික මිනිස්සු ගැවසීම වැඩිවෙන්න වෙන්න ආණ්ඩුවෙන් ඔතන කවුන්ටරයක් ගහල ටිකට් විකිණුවා... වටේට කඩ ටිකක් හැදුණා... ටික ටික ඒක වටේට නූතන නගරයක් හැදුණා. දැන් මිනිස්සු ඒ නගරයට එන්නෙ නටබුන් බලන්න නෙවෙයි. දැන් ඒ නටබුන් සහිත කොටස මිනිස්සුන්ගෙන් සෑහෙන්න ඈතයි. ඒකට යන්න ටිකට් ගන්නත් වෙනවා. නටබුන් නගරයට තිබුණ වටිනාකම වෙනුවට එතන දැන් තියෙන්නෙ වෙනත් වටිනාකමක්.

ඒ කියන්නෙ දැනටමත් හොයාගෙන තියෙන දෙයක් සහ ඒක ප්‍රයෝජනයට ගන්න අය අතරෙ වෙනත් දේවල් ගොඩක් සංවර්ධනය වෙලා. ඒ දේවල් අස්සෙ අපට ඔය කලින් හොයාගත්තු එක ආයෙමත් හොයාගන්න වෙලා.

අනිත් අතට ගුරුත්වාකර්ෂණය!!! අපි දන්නවා ඒක තියෙනවා කියල. ඒක කලිනුත් තිබුණා. නමුත් ඒක මුලින්ම පැහැදිලිව නිර්වචනය කලේ නිවුටන්. වචන වලින් නොනැවතී ඒක ගණිතයෙනුත් ඔප්පු කලා. ගණිතය විශ්වයේ භාෂාව. දැන් ඒක ගැන ඉගෙනගත්තු ඕන කෙනෙක් දන්නවා ගුරුත්ව බලය ගැන. ඒක මතවාද අස්සෙ හිර වුණ දෙයක් නෙවෙයි. සරලවම ගත්තොත් උඩ පැන්නොත් බිම වැටෙන බව. ඒක ගැන බොරු කරන්න අමාරු විධියෙ ගණිතමය නිර්වචනයක් ඒකට තියෙනව. සාමාන්‍ය වශයෙන් ලෝකයෙ තියෙන ඕනම වස්තුවකට ගුරුත්වයේ මූලධර්ම වැඩකරනව.

ගුරුත්වයේ මූලධර්ම භාවිතා කරන්න ආස කෙනෙක් ඒක නැවත හොයාගන්න යන්නෙ නෑ.

31 comments:

  1. ලොකු කතාවක් කියන්න උත්සහ කරල තියනව. සතුටුයි. හබැයි අාගමික ශෘස්තෘ කෙනෙක්ට ගරු සරු අැතුව කතා කරන්න! :)
    (අැත්තටම මමත් අාගමක් තියන කෙනෙක් නෙවෙයි!)

    ReplyDelete
  2. ආගම කියන්නෙ ෆේල් වුණ සංකල්පයක් කියල ඔයා කියනව. මම කියනව ඒක ෆේල් වුණ සහ ෆේල් වන සංස්කෘතියක් කියල.
    ඒත් මේ ආගම් කියන ආයතන සම්පූර්ණයෙන්ම ඒවට මුල් කරගෙන තියෙන පුද්ගලයන්ගෙන් ස්වායත්තයි. ගෞතම බෞද්ධයෙක් නෙවෙයි. ජේසුස් ක්‍රිස්තියානුවෙක්ද‍ නෙවෙයි. ඔවුන්ට ආගම් පිහිටුවීමේ පිස්සුවක් තිබුණෙ නෑ. ඔවුන්ගේ මරණින් පස්සෙ අන්ධ භක්තිය විසින් ආගමික ආයතන බිහි වෙලා තියෙනව.
    නැවත ඉපදීම වගේ දේවල් ගැන ස්ථිර නිගමන වල සිට කතා කරන්න අපිට හැකියාවක් නෑ. අපිට තවම අව‍බෝධ වෙන්නෙ භෞතික මට්ටම් විතරයි. පාරභෞතික ස්වභාවයන් ගැන අපිට තර්ක කරන්න පුඵවන්. මතවාද වලට ඇලෙන්න පුඵවන්. නිගමන වල පිහිටන්නත් පුඵවන්. ඒත් ඒ සියල්ල භෞතික ස්වභාවයක සිට කරනතාක් ඒ සියල්ලට අපි සාක්ෂි දරන්නන් නෙවෙයි. ඒ නිසා ඒ කිසිවක් අපේ අවබෝධයක් නෙවෙයි.
    නිර්වාණය කියන එක ගෞතම පළමු වරට හෙළිදරව් කලාද කියන එකවත් අපිට කියන්න බෑ. ඒ වගේම ආගමික සිද්ධාන්ත දෙස නිශ්චිත ආගමකට ඇලීමකින් තොරව බැලුවොත් මේ කවුරුත් කියන්නෙ එකම දෙයක් ගැන කියන එක යන්තමින් හෝ වටහා ගන්න පුඵවන්. ජේසුස් ඒකට ස්වර්ග රාජ්‍ය කියනව. ගෞතම නිර්වාණය කියනව. මහාවීර මෝක්ෂය කියනව. ඒත් "මම" කියන දේ අහෝසි වූ විට පවතින තත්වය ගැන තමයි මේ හැම ඉගැන්වීමක කියවෙන්නෙ.
    ඒත් මේ සියල්ල ආගම් කියන ආයතනගත සංස්කෘතිකාංග වලට ලඝු‍ වෙලා නිසා මිනිස්සුන්ට කෙලින්ම ගෞතම බුද්ධ, ජේසුස්, මහාවීර හෝ එවැනි කිසිවෙක්ම දිහා සෘජුවම බලන්න බැරි වෙලා තියෙනව. අතරමැදියො, ඒජන්තවරු හරහා ඒ අයව තේරුම් ගැනීම දැනුම රැස් කර ගැනීමක් මිස "මම" කියන දේ බැහැර කිරීමක් වෙන්නෙ නෑ. ඉතින් අපිට වෙලා තියෙන්නෙ මේ විදියට අපිට දැනෙන හැගෙන දේ කතා කරන්න විතරයි ‍ගෞතම ගැන, ජේසුස් ගැන හෝ එවැනි ඕනෑම ගැන. නැත්නම් නිර්වාණය ගැන, ස්වර්ගය ගැන, මෝක්ෂය ගැන.

    ReplyDelete
  3. (මේ දවස් වල දිගටම ඇහුනේ ආගම් ගැන පුහුවට කියවන කතා විතරමයි....)
    කාලයකට පස්සේ කියෙව්ව බොහොම වටිනා කියන විග්‍රහයක්....

    ++++++++++++

    ඉබේ පහල වෙනකම් බලන් ඉඳලා සංස්කෘතියයි අරවායි මේවයි කරේ තිය අදම විශ්වාස වල ඉන්නවට වඩා ආගම නිදහස්ව දකින්න ගත්තොත් හැමෝඅටම මෙහෙම හිතෙයි.......

    ReplyDelete
  4. / ඔහු නිර්වාණය හොයාගත්ත කියල කියමු. අඩු ගානෙ ඒ කාලෙදි තිබුණය කියල කියවෙන එක එක විධියෙ මතවාදයන් අතරෙ නිර්වාණය කියන්නෙ එක සිරා අදහසක්. ඒකෙන් කියවෙන්නෙ අත්හැරීම ගැන. නොඇලීම ගැන. නිදහස් වීම ගැන. හැබැයි එහෙම කියනකොට ගෞතමගෙ ඉගැන්වීම් හෙන බෝරිං වෙනව. ජීවිතේ ආතල් එහෙම කඩාගන්නෙ කොහොමද? /

    ගෞතමගෙ දර්ශනය එක්ක මටත් තියන ප්‍රධාන ගැටළුව ඔන්න ඕක.

    සියළුදේ අතහරින්න ඕන නම් මිනිසාගෙ පැවැත්මෙ තේරුම මොකක්ද? බැඳීම් කියන්නෙ මිනිස්සුන්ට ආවේණික අත්‍යාවශ්‍ය දෙයක්....ආශාවන් කියන්නෙ මිනිස් ස්වභාවය....මිනිස් ස්වභාවයට විරුද්ධව නොයා විමුක්තිය ලබන්න බැරිද?...එතකොට එන ඊළඟ ප්‍රශ්නෙ තමයි මොකක්ද ඒ විමුක්තිය?

    ReplyDelete
  5. නිර්වාණය ගැන සඳහන් වෙන්නේ බුදුදහම තුල විතරක් නෙමේ. හින්දු, ජෛන ආගම වලත් ඔය වචනේ තියන හින්ද කව්රු මුලින් කිව්වද කියන්න පැහැදිලි නෑ. මම හිතන්නේ ආගම් (විශේෂයෙන් ගෞතමගේ දර්ශනය) සංවිධානාත්මක වීමම ඒකෙ හරයට පටහැනියි කියල. රාජ්‍ය අනුග්‍රහය ලැබිල 'ප්‍රධාන' ආගම බවට පත්වෙද්දී වෙන්නේ දේශපාලනික උවමනාවන්ට යොදාගැනීම. කාලයක් පවතිනවා තමයි, ඒත් නමට විතරයි.

    ReplyDelete
  6. සිරා පෝස්ට් එකක්!
    එත් ඔය නිර්වාණය පුනර්භවය කිව්ව ගමන් අද පොත් වල තියෙන්නේ එදා ගෞතම, ජේසු කිව්ව දේවල්මද කියලා මට අවුලක් එනවා. හරියට නිකං නිති පන්සිල් පෝයට අට සිල් වගේ. ඒවා ගෞතම කියපුවාද?

    කොහොම හරි මම දන්නේ මෙච්චරයි. ඔය නැවත ඉපදීමවගේ, එහෙම දෙයක් තියෙන බව හෝ නැති බව ඔප්පු කරන්න බැරි සාධක අතර අපූරු කතා මවන්න පුළුවන්. හොඳම කතාව මවන කෙනාට අනුගාමිකයන් පිරිසක් ඇති කරගන්නත් පුළුවන්!

    ReplyDelete
  7. Aththatama loku ganitha gataluwak tikak sarala karala dan ithin hadapan ithiri tika kiyanawawage danuna. mama kamathi oyage sarala bhashawata (gawthama) ow ehema thamai kiyanna ona. gothamige putha gawthama una. obata subapathanawa.

    ReplyDelete
  8. මේ හිතන විදියට නම් මමත් හරිම කැමතියි. පුනර්භවය වගේ සිද්ධි මම පිළිගන්නෙත් නැහැ. හැබැයි බුදු දහමේ කියන මූලික කරුණු මම අනුමත කරනවා. ඒ දැන් ඉන්න බෞද්ධයෝ පිළිගන්න අකමැති දේවල්. ඔබ කියන නිර්වාණය මතයත් මට එකඟ වෙන්න පුළුවන්.
    හැබැයි බුදු දහම තුල සමහර ෆේල් වීම් ඇති. සමස්ථයත් එක්ක ගත්තම මට නම් හිතෙන්නේ බුදු දහම තුල තිබෙන නියම සත්‍ය සොයා ගන්න අපි තව මහන්සි වෙන්න ඕනෙ කියලා.

    ඒත් එක්කම අවුට් සයිඩර්ගේ මේ කතාවට මම එකඟයි. ඇත්තටම ඒක තමයි ඇත්ත.

    "ඒත් මේ ආගම් කියන ආයතන සම්පූර්ණයෙන්ම ඒවට මුල් කරගෙන තියෙන පුද්ගලයන්ගෙන් ස්වායත්තයි. ගෞතම බෞද්ධයෙක් නෙවෙයි. ජේසුස් ක්‍රිස්තියානුවෙක්ද‍ නෙවෙයි. ඔවුන්ට ආගම් පිහිටුවීමේ පිස්සුවක් තිබුණෙ නෑ. ඔවුන්ගේ මරණින් පස්සෙ අන්ධ භක්තිය විසින් ආගමික ආයතන බිහි වෙලා තියෙනව."
    ජය මෙවැනි ලිපියකින්ම හමුවෙමු.

    ReplyDelete
  9. // ඔහු නිර්වාණය හොයාගත්ත කියල කියමු. අඩු ගානෙ ඒ කාලෙදි තිබුණය කියල කියවෙන එක එක විධියෙ මතවාදයන් අතරෙ නිර්වාණය කියන්නෙ එක සිරා අදහසක්. ඒකෙන් කියවෙන්නෙ අත්හැරීම ගැන. නොඇලීම ගැන. නිදහස් වීම ගැන. හැබැයි එහෙම කියනකොට ගෞතමගෙ ඉගැන්වීම් හෙන බෝරිං වෙනව. ජීවිතේ ආතල් එහෙම කඩාගන්නෙ කොහොමද? //

    රවියො,
    ඉස්සෙල්ලාම කියහං ජීවිතේ පට්ට ආතල්ද කියලා?
    මට නං චා...... පොඩි ආතල් ටිකක් ගැනීමේ ආසාව හින්දා හද්ද චාටර් වෙනවා.

    කොටින්ම මෙහෙම ගනිංකො. ජොබක් කරනවා. සීයට අනූගානකට ඕක ආතල් නෑනෙ. ඉතින් දවසෙ හොඳම පැය අට/දහය ඉන්නෙ වලකනෙ. මොකද්ද බං ආතල්එක?

    (තැංකූ මේ පෝස්ටුවට. ඔද්දල් හිත වෙන ඉසව්වකට ගෙනිච්චට)

    ReplyDelete
  10. නිව්ටන් හොයාගන්න කලින් ගුරුත්වාකර්ෂණය කියල එකක් තිබ්බේ නැ. එක නිව්ටන්ගේ ඔලුව උඩට ඇපල් ගෙඩියක් වැටුනේ ඇයි කියල හොයල බලද්දී නිව්ටන් එකට දුන්න හේතුව. නිව්ටන් ගණිත ක්‍රම වලින් එක ඔප්පු කර කියල එහෙම එකක් තියෙනවාම කියල කියන්නේ කොහොමද ? පස්සේ අයින්ස්ටයින් කිව්වා වස්තු පොලවට වැටෙන්නේ අවකාශ කාලයේ වක්රතාවය නිසා කියලා. ගුරුත්වාකර්ෂණය කියලා එකක් ඇත්තටම තියෙනවනම් නිව්ටන්ගේ නියමය ප්‍රතික්ෂේප වෙලා අයින්ස්ටයින් නියමය පිළිගැනෙන්නේ කොහොමද?

    ReplyDelete
  11. අනේ වෙද මහත්තයෝ ඔයා තැන් තැන් වල පරස්පර විරෝදි කතා ලිය ලියා යනකොට ඒවා කියවන අයට ඔයා ගැන තියෙන විස්වාසේ නැතිව යයි. මේ බලන්නකෝ මෙතන ඔයා පුනර්භවය ගැන කියන ලස්සන

    ReplyDelete
  12. බොහොම නිවහල් මනසකින් බුදුන් වහන්සේ කියපු දෙයක් ගැන ලිව්ව සටහනක් කියෙව්වාමයි.

    බොහෝ දෙනා බුදුන් දැක ඇත. නමුත් ධර්මය දැක නැත

    ReplyDelete
  13. ඔබේ මේ වියමණ බ්ලොග් අවකාශයේ දුටු ඉතාම ගැඹුරු එකක්. එසේම ගෞතම දේශනා කළ, එසේත් නැතිනම් දේශනා කරන්නට අදහස් කළ (අද අප භාවිතා කරන වචන වෙනස් නිසා අපට තේරුම් ගැනීමට බැරිවී තිබෙන) ධර්මයට ඉතාම සමීප වීමක්.

    "නිර්වාණය" කියන්නෙ හින්දු/ජෛන සංකල්පයක්. ඒක ගෞතම බිහිවීමට බොහෝ කාලයකට ඉහත තිබුණ දෙයක්. (හරියටම ගුරුත්වාකර්ෂණය කියන්නෙ නිව්ටන් බිහිවෙන්න බොහෝ කාලකයට ඉහත තිබුණු සංකල්පයක් වගේ. නිව්ටන් ඒක "හොයා ගත්තෙ" නැහැ. නිව්ටන් කළේ ගුරුත්වාකර්ෂණයට ගණිතමය මොඩලයක් හදපු එක විතරයි.) ගෞතම කියන්නෙ තමන් අහල තිබිච්චි මේ සංකල්පය කරා ගමන් කරන්න උත්සාහ දරපු කෙණෙක්. ඔහු වැරදි පාරවල් ගණනක ගියා. නමුත් එක අවස්ථාවක ඔහුට වැටහෙනවා නිර්වාණය කියන්නෙ ඔච්චර මහන්සියෙන් කට්ට කාගෙන සොයා යන්න ඕනැ නැති දෙයක් බව. ඒ එක්කම ඔහුට වැටහෙනවා මේ සංසාරය කියන දේ තියෙන බොරුව.

    දැන් අපි සියවස් විසි ගණනක් ඉස්සරහට පැනලා එමු ඩාවින්ට. ඩාවින් හොයා ගන්නෙත් ඔය ටිකම තමයි. ඇත්තටම ඩෝකින්ස් ඒක වඩා පැහැදිළිව ලියනවා. අපි මේ ජීවත්වෙන්නෙ අපට ඕනැවට නෙවෙයි. Selfish gene එකකින් අපව මෙහයවනවා, අපට කඩේ අරිනවා වර්ගය පවත්වා ගැනීම වෙනුවෙන්. අපට එතුළ ඇති තෘප්තියක් නෑ. අපට තාවකාලික තෘප්තියක් කියලා දෙයක් දෙන්නෙ දේශපාලකයන් ඡන්දය ගන්න දාන උප්පරවැට්ටියක් වගේ තාවකාලිකව අපට රැවටීමට.

    ආයෙත් ගෞතමට. ගෞතම ඒ හැටියටම නොවුණත් මේ Selfish gene එකේ කට්ට වැඩේ දකිනවා. අවුරුදු මිලියන ගාණක් තිස්සෙ එන මේ "සංසාරික පුරුද්ද" නිමා කළ යුතුයි. කොහොමද නිමා කරන්නෙ? ප්‍රජනනය නතර කිරීමෙන්. (Gene ගේ ඒකායන අරමුණ තමා ප්‍රජනනය මාර්ගයෙන් නව ජීවියකු තැනීම.) අපි අනුන්ට කඩේ යන එක නතර කරලා අපේ විමුක්තිය හොයා ගනිමු. ගෞතම කියන්නෙ ඔච්චරයි. ඔහු හොයා ගත්තෙ මොන නිර්වාණයක්ද මා දන්න් නෑ. නමුත් මා දන්නවා මට හොයා ගන්න පුළුවන් නිර්වාණය.

    ඇයි මා එතැනට යන්නෙ නැත්තෙ? ගෞතමට මෙන් ජීවිතයේ බැඳි එකපාරටම කඩා දමන්න මට පුළුවන්කමක් හෝ චිත්ත ශක්තියක් නැති නිසා. ඒ ධෛර්යය මට ලැබුණු දවසක මාත් ගෞතම ගත් මාර්ගය ගනීවි.

    ඇනෝ ලිව්වට තරහ වෙන්න එපා. මමය මාගේය යන මමත්වය ඉවත් කරන්න කිව්වෙත් ගෞතමමනෙ.

    ReplyDelete
  14. මම හිතුවා මගේ වෙනත් පෝස්ට් එකක් ගැන මෙතැනදි කතා කරයි කියලා. නමුත් මේ කියන්නෙ වෙන එකක් ගැන දෙකෙදිම ගන්ධබ්බයා කියන සංකල්පය තමයි මම විස්තර කලේ. හොදට කියවල බලන්න. ගන්ධබ්බයා විඤ්ඤාණය සහ ප්‍රතිසන්ධිය කියන්න්නේ පුනර්භවය නෙමේ. ඒක වරදවා වටහා ගැනීමක්. ඒ ගැන මම නම් කියන්නේ ඔතැන තියන්නේ ඇක්ටිවේෂන් පවර් එකක් කියලා. ඔය සූත්‍ර හොදින් කියවා බලන්න.

    ReplyDelete
  15. ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නම් නෑ... කාලෙකට පස්සේ උඹෙන් හොඳට දැනෙන වර්ගයේ
    පෝස්ට් එකක් කියෙව්වා..

    ReplyDelete
  16. /ගන්ධබ්බයා විඤ්ඤාණය සහ ප්‍රතිසන්ධිය කියන්න්නේ පුනර්භවය නෙමේ./

    අනේ මේ වෙද මාමෙ උඹ දන්න දෙයක් ගැන කතා කරපන්. ඔය කෑ ගැහුවට ඔය එකක් වත් උඹට තේරෙනවද බං? නිකං බොරු සෝබන දාන්න එපා.

    ReplyDelete
  17. 1. පුනර්භවය ඔප්පු කරන්න බෑ. ඒ වගේම පුනර්භවය නෑ කියලත් ඔප්පු කරන්න බෑ.

    2.ආගම විතරක් නෙවේ හැම දෙයක්ම ෆේල් වෙච්ච සංකල්ප තමයි. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ශනය වලංගු උනේ අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතා වාදය එනකල් විතරයිනේ. තවත් කෙනෙක් තවත් නියමයක් හොයාගෙන සාපේක්ෂතාවාදය තල්ලු කරන්නත් පුළුවන්. එහෙම නොවෙන සංකල්ප මේලෝකෙ නෑ.

    3.හෑම ආතල් එකක්ම අවසන් වෙන්නෙ දුකකින්. ඉතිං ඒක ආතල් එකක් කියල කියන්නෙ කොහොමද? මට නං මේ ජීවිතේ ආතල් 1ක් නෑ.

    4."නිර්වානයේ පේටන්ට් එක" කියල එකක් නෑ. ගුරුත්වාකර්ශනය වගේම තමයි. ගුරුත්වාකර්ශනය කියන දේ ලෝකය පවතින කාලයේ ඉදල තිබුන දෙයක්. නිව්ටන්ල අයින්ස්ටයින්ල කලේ ඒක පැහැදිලි කිරීමක් විතරයි. නිර්වානය කියන එක ඒ විදියට බුදුහාමුදුරුවො පැහැදිලි කලා එච්චරයි.(ඒ වගේම මීට කලින් බුදු වරුත් පැහැදිලි කලාලු)

    5. නිර්වානය කියන දේ අල්ලගන්න කවුරුවත් උත්සාහ කලාද? නෑ. ඒක හරියට වතුරට බහින්නෙ නැතිව පීනන්න හදනව වගේ.

    ReplyDelete
  18. පුනර්භවයක් ඇත්ද නැත්ද කියන මාතෘකාව ගැන පායාසි රාජන්‍ය සහ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ අතර ඇතිවුණු සංවාදය ඇතුළත් දීඝ නිකායේ එන පායාසි රාජඤ්ඤ සූත්‍රය කියවන්න පුලුවන් නම් මේ කරුණු ගැනැ යම් අවබෝධයක් ගන්න පුලුවන් වෙයි

    ReplyDelete
  19. ' ''''''ඔහු ඒ දවස්වල තිබුණ සංකල්පත් එක්ක මතවාදී ගැටුමක් නිරාකරණය කරගත්තෙ නිර්වාණය කියන අදහසත් එක්ක.''''''

    නිර්වානය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ සංකල්පයක් නෙවේ..සමකාලින භාරත සාමාජය තුල තිබ්බ අදහසක්...උදාහරනයක් විදිහට බුදුහාමුදුරුවන්ගේ සමකාලීනයෙක් වෙච්ච මහාවීර තුමත් නිර්වානය ලබා ගත් අයෙක් ලෙස එතුමන්ගේ අනුගාමිකයන් සලකනවා...බුදුහාමුදුරුවගේ නිර්මාන උනේ පටිච්ච සමුප්පාදයයි, චතුරාර්්‍ය සතයයි, ආර්ය අශ්ඨාංගික මාරගයයි විතරයි..අනිත් ඔක්කොම සමකාලීන හෝ ඊට පෙර පැවති අදහස්.....පුනුරුප්පතිය..කර්මය වගේ ඒවා කොහොමත් ඊට පෙර තිබූ අදහස්...

    ඔයා කොහොමද ලමයෝ ගුරුත්වාකර්ශණය තියෙනවා කියලා දන්නේ...උඩ පැන්නොත් බිම වැටෙන නිසාද? :) ඒ ඔයාට හිතන්න පුරුදු කරලා තියෙන විදිහ...නිවටන් මහත්තයා හිතන විදිහට වස්තු කාලය අවකාශයේ පවතිනවා කියලා හිතනව වෙනුවට, අයින්සටයින් මහත්තයා හිතන විදිහට කාලය අවකාශය වස්තූන්ගේ පැවැත්ම නිසා ඇතිවෙන්වා කියලා හිතන්න...එතකොට ඔයාට ඔය ගුරුත්වාකර්ශන තියෙන්වයි කියලා හිතෙන එක වෙනස් විදිහකට හිතෙයි......

    ''''ඒ වුණාට වැඩේ කියන්නෙ ඒ මතවාදයන් සේරම තියෙන්නෙ එක පද්ධතියක් ඇතුලෙ වීමයි. ඒ පද්ධතියෙන් එලියෙ ඒ මතවලට අර්ථයක් නෑ.'''''
    මේ කියන කථාව ඔයා ඉතා ඉහලින් සලකන ගණිතයටත් , නිව්ටන්ගේ ගෞරුතවාකර්ශනයටත් සත්‍යය වේ .

    ReplyDelete
  20. හරේ විසින් පවසන්නට උත්සාහ කර ඇති දේ සමස්ථ බ්ලොග් සටහන සමාලෝචනය කර වටහා නොගෙන කොටස් වශයෙන් වටහාගන්නට යාම නිසා බොහෝ දෙනා වල්ගය පාගාගෙන ඇති හැඩයි. මට වැ‍ටහෙන පරිදි ඔහු කියන්නෙ නිර්වාණය යන්න මතවාද ‍රාශියක් තුල සැඟවී තිබීමත් ගුරුත්වය යන්න නිදහස් මූලධර්මයක් ලෙස විවෘතව තිබීමත් පිළිබඳවය. මෙහිදී ඔහු එම සන්සන්දනයට ගුරුත්වාකර්ශණය යොදාගැනීම හේතුවෙන් බොහෝ දෙනා නොමග ගොස් ඇත. හරේට වඩාත් සාර්ථකව යොදාගන්නට තිබුණේ වෙනත් සොයාගැනීමකින් තවමත් බොරුවක් බවට පත් නොවී ඇති පයිතගරස් ප්‍රමේය වැන්නකි.

    ගුරුත්වය පිලිබඳව ක්වොන්ටම් භෞතිකව සිතන්නන් ගුරුත්වය ඉවත්කර පයිතගරස් නියමය ආදේශකර නැවත කියවා බලන්න.

    ගණිතයද අයත්වන විද්‍යාත්මක ක්‍රමය දැනුමේ අළුත්වීමත් සමග නැවත නැවත නිවැරදි වන බැවින් එය පද්ධතියක් තුල පිහිටන බව කීම අසීරුය. ගණිතය වැනි විෂයක් ඇත්තේ පද්ධතියේ කෙලවරකය. නව වෙනසකට සූදානම්වය. නමුත් ආගම් එසේ නොවී සංවෘතව පවතින්නකි. ආගමික න්‍යායන් ආගමික න්‍යායන් තුලින්ම ඔප්පු කරවන්නකි. ආගමික පද්ධති සහ විද්‍යාත්මක පද්ධති අතර වෙනස එය වේ.

    ReplyDelete
  21. @ ඇනෝඅ...දන්නේ නැත්හි නිසයි අහන්නේ....ඉලක්කම් කිව්වම පද්ධතියක් කියලයි අපට උගන්වලා තියෙන්නේ..ඒකේ බිංදුව නිර්වචනය කරලා තියෙන හැටි දන්නවනම් කියලා දෙන්නකෝ.(a+0=0 or ax0 = 0).

    තවත් එකක් අර ජ්‍යාමිතියේ උගන්වන ලක්ෂ්‍ය...ඒකත් අර බිංදුවේ කථාව වගේම තමයි
    Mayya

    ReplyDelete
  22. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරනවා. නමුත් ශාස්තෘ කෙනෙක්ට ‍‍ගෞරව කිරීමටත් ඉගන ගන්න. ඔබත් මේ ලිපිය ලියල තියෙන්නේ රාමුවක් ඇතුලේ. වෙන නම් කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  23. ඉලක්කම් යනු පද්ධතියක් නොවන බව මම නොකීවෙමි. මම කීවේ ගණිතය පිළිබඳවයි. එය පද්ධතියක සීමාවේ ඇති බවයි. ඔබ කියූ බින්දුවේ අර්ථකථනය මා ඉගෙන නැත. අවුරුදු බර ගාණකට පෙර කල උසස් පෙළින් පසු ගණිතය ඉගෙනීමට නොහැකි විය.

    නමුත් බින්දුවට වර්තමානයේ ඇති අර්ථකථනය යම් වඩා නිවැරදි අර්ථකථනයකින් ප්‍රතිස්ථාපනය වන්නට හැකියාවක් නිරතුරුවම තිබේ. උදාහරණයකට ඉහත ගෙන ඇති ගුරුත්වාකර්ෂණය නම් මූලධර්මය පසුව වෙනත් අර්ථයන් හරහා වෙනස් වී ඇති අයුරු සලකන්න. එම අර්ථයෙන් ගණිතය හා විද්‍යාත්මක නියමයක් නිරතුරු වෙනසට ලක්වේ. එය පද්ධතියක නීති රීතීන්ගෙන් සීමා වී නැත.

    සරලව තේරුම් කිරීමටනම් මෙය පිළිබඳව මෙසේ සැලකිය හැක. ගණිතය යන්න ‘ගණිතය‘ නම් පද්ධතිය තුල පමණක් පවතින්නක් නොවේ. එය ජීවිතයේ සෑම විටම භාවිතා වන දෙයකි. අද පිලිගන්නා ගණිතයෙන් තොරව වුවද අපට ඒ හා සමාන ක්‍රමයකින් තොරව ජීවිතය ගෙවීම දුෂ්කරය. නමුත් ආගම් එසේ නොවේ. අල්ලාහ් දෙවියන් විශිෂ්ඨ වන්නේ ඒ තුල පමණි. කිස්තුන් විශිෂ්ඨ වන්නේ ක්‍රිස්තු දහම තුල පමණි. බුදුන් ගැන කීමට ඇත්තේද එපමණය. ආගමක් තුල යමක් නිර්වචනය කිරීමට යොදාගන්නේ එම ආගමෙන්ම නිරිවචනය කල නිර්නායකය. උදාහරණයක් ලෙස කර්මය යන්නට පුනර්භවය ආශ්‍රෙයන් නිර්වචනයක් ඇති අතර පුනර්භවය නැවත කර්මය හරහා නිර්වචනය වේ. කාලාන්තරයක් පුරා ඒ සියලුදේ බැහැර කල නොහැකි ලෙස විශ්වාසයට යටත්ව ඇති බැවින් දැන් ප්‍රශ්ණ කල නොහැක. ස්වාධීන පද්ධති ලෙස ආගම් වසර දහස් ගණනක් පවතින්නෙ එබැවිනි.

    මා කියූ දේ වචනාර්ථයෙන් පමණක් ගෙන සැලකුවහොත් ඔබට ප්‍රශ්ණය වඩාත් සංකීර්ණ කරගත හැකිවනු ඇත.

    ReplyDelete
  24. මේ පොස්ට් එකේ බුද්ධට අගෞරවයක් වෙලා තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
  25. කාලෙකට පස්සෙ... මරු මරු...

    වෙන වෙනම කාටවත් කියන්න ඕන නෑනේ... සේරම දෙනාට ස්තූතියි කියවල අදහසක් දක්වල එක එක පැති වලට සටහන අරගෙන ගියාට....

    අවසානයේ සියල්ල තම තම ණැන පමණින්නේ... :-)

    ReplyDelete
  26. `කර්මය යන්නට පුනර්භවය ආශ්‍රෙයන් නිර්වචනයක් ඇති අතර පුනර්භවය නැවත කර්මය හරහා නිර්වචනය වේ. කාලාන්තරයක් පුරා ඒ සියලුදේ බැහැර කල නොහැකි ලෙස විශ්වාසයට යටත්ව ඇති බැවින් දැන් ප්‍රශ්ණ කල නොහැක.`

    ඉතින් ගණිතය සම්භන්දයෙනුත් කියන්න තියෙන්නේ ඕකමනේ....නිසියාකාරබ අර්ත නොදක්වන ලද ලක්ෂ්ය කියන එක අරගෙන රේඛාව අර්ත දක්වනවා...ඊට් පස්සේ පෛතගරස් අරව මේව කියල ගොඩයි.....අර්ථ නොදක්ල්වන ලද බිංදිව අරගෙන සංඛයා පද්ධතිය අර්ථදක්වනවා...
    ඔයා ආගම් සංව්ත පද්ධතියක් කියන කොට මම කියනව ගණිතයත් එහෙමයි කියලා...ආගම් අන්තවාදියෙක් ආගමේ ඇලිලා ඉන්නවා වගේ ඔයත් නොදන්න ගණිතයක අන්තවාදීව ඇලිලා ඉන්නවා...


    ඔයා අන්තිමට ලියලා තියෙන අර 'වචනාර්ත' තර්කය ගොඩක් දෙනෙක් කර කියා ගන්න දෙයක් නැති උනාම දමලා ගහන ජනප්‍රිය තර්කයක්නේ...ඔයා හරි ඉහලින සලකන නූහ්ටන විද්්‍යාවේ මහ මොලකරු වන අයින්සට්යින් මහත්තය වරෙක මෙහෙම ප්‍රකාශ කරලා තියෙන්වා....'ඔබට යමක් සරලව තේරුම් කර දිය නොහැකි නම් එය ඔබට හරියට තේරුම් ගොස් නැත කියලා....'

    mayya

    ReplyDelete
  27. Me prashna walata pilithuru denna wei rachakayata.

    ReplyDelete
  28. වැදගත් ලිපියක්, සමහර කරුණු තේරුනත් නැහැ ඇත්තටම ...

    ReplyDelete
  29. ඉෂාර රණවකආරච්චි9 June 2012 at 15:46

    අදහස හොදයි එත් අපි ඉන්න තැන ඉදන් බුදු දහමට චැලේන්ජ් කරන්න බෑ මොකද අපිට තාම පන්සිල් ටිකවත් හරියට රැකගන්න බෑනේ තවත් ආත්මයක් ගැන මගෙත් විශ්වාසයක් නෑ එත් ආශාවල් අතහරිනකොට සැපයි කියලනම් දන්නවා වගේම අත්විදිනවා. මොනවා උනත් ඔය වගේ රාමුවෙන් එලියට බැහැල හිතන යට මම කෙමතියි මොකද අපිව පොඩි කාලෙදිම අපේ සමාජයෙන් සංස්කෘතියෙන් රාමුවක් ඇතුලට දාල තියෙන්නේ අපි හිතන්නේ ඒ රාමුව ඇතුලේ ඉදන් විතරයි පෙර ආත්මයක් හෝ ඊලග ආත්මයක් අපි අහල තියනවා මිසක හෙනෙකින්වත් දැනිල නෑ නේද ? පෙර ආත්මයක් හෝ ඊලග ආත්මයක් ගැන හිතන්න කලින් මේ ආත්මේ ගොඩ දාන්න ඕනේ. සිංහල ට්ය්පේ කලේ අදමයි මචන් එකයි නිකන් බබා වගේ ලියල තියෙන්නේ මේ ටික ලියන්නත් පය 0.5 විතර ගියා තව ලියන්න අපි ඉන්නවා කියවන්න ඔහොම යන්

    ReplyDelete
  30. හොඳ ලිපියක්, තර්ක ගොඩක්.....මටත් තියනවා අදහසක්.නිර්වාණය,පුනර්භවය,ආගම, වගේ අපේ හිතට අපැහැදිලි සංකල්ප,කොටින්ම "දැනුම" කියන දේ අතහැරලා ලෝකය දිහා බලන්න පුලුවන්නම් නිදහස වැඩි ඈතක නෙවෙයි.ලෝකය කියන්නේ පුද්ගලයාට මිසක් ඇත්තටම පවතින දෙයකට නෙවෙයි.පුද්ගලයා යනු ඔහුගේම සිතයි.ඉතින් සිත ගැන විමසිල්ලෙන් බලා එය තේරුම් ගතහොත් ඔය කියන නොතේරෙන ගොඩක් දේ තේරුම් යාවි.තර්කය විතර්ක දහසකට වඩා එක් විනාඩියක් ඔබ යනු කුමක්දැයි සොයා වෙහෙසීම වටිනා බව මගේ අදහසයි.(මම තර්ක විතර්ක වලින් හති වැටුණු කෙනෙක්).

    ReplyDelete
  31. මේ වගේ දෙයක් ගැන කතා කලාම වෙන දේ මේක තමයි. කාටවත් එක වගේ පිළිගන්න පුළුවන් තැනක් නෑ. විෂමතා ගොඩයි. ඒ නිසා කලිනුත් කිව්ව වගේ තම තම ණැන පමණින් තේරෙණ දේවල් විශ්වාස කරගෙන හිටියම හරි. ඔතනදි විශ්වාසය විතරයි වැදගත්. ඕනම බොරුවක් විශ්වාසය හරහා ඇත්ත වෙනවනේ. අනික කවුරු මොනව විශ්වාස කලත් මේ වගේ මාතෘකාවකදි ඒකෙ අවුලකුත් නෑ. මොකද රාජ් කිව්ව වගේ මොකක් වුණත් ඔප්පු කරන්න බෑ.

    ඔප්පු නොවී අපි දේව භාෂිත (මෙතනදි නම් බුද්ධ ඉන්නෙත් එතන) විධියට ගොඩක් දේවල් විශ්වාස කරනව. ඒකෙ වරදක් නෑ පොදු සමාජයට ඒක හානියක් නෙවෙයිනම්. ඕන කෙනෙක්ට ඕන දෙයක් විශ්වාස කරගෙන සමාජයෙ ඉන්න පුළුවන් නම් අවුලක් නෑ.

    මේ වගේ සංකල්ප විචල්‍යය ගණනාවක් තියෙන සමීකරණ වගේ. ගොඩක් විට අපට අහු වෙන්නෙ ඒ විචල්‍යය වලින් එකක් දෙකක් විතරයි. අනිත්වා නොදන්න නිසා අපි දන්න දෙක තුන අල්ලගෙන කෑ ගැහැවට වැඩක් නෑ. මේව තර්ක කරල විසඳන්න බැරි ඒ නිසයි. එකිනෙකාට අහුවෙන්නෙ විවිධ විචල්‍යය.

    ඔය සමීකරණය එදා මෙදා තුර කවුරුවත් විසඳපු එකක් නෙවෙයි. එදා ඉඳන් හිටපු විවිධ දාර්ශණිකයො තම තමන්ගෙ දැණුම අනුව ඒවට උත්තර හොයන්න උත්සාහ කරල තියෙනව. ඒ අයගෙ අනුගාමිකයො විධියට පැවතුනු මිනිස්සුත් ඒව විශ්වාස කරනව. නමුත් ඇත්ත කතාව ඕක අපට කවදාවත් දැනගන්න වෙන්නෙ නැති එක. අපි දන්නෙ ඒ ගැන ලොකු උදවිය කියපු කතා විතරයි.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!