Thursday, 9 October 2008

ගෙදර ප්‍රශ්ණ

මේක ගැන ලියන්න ඕන කියල scribefire එකේ කෙටි සටහනකුත් දාල තිබුණට උඩට මතු වුණේම නෑ. නමුත් මලීගෙ කෆ්කා සමග මුහුදු වෙරළේ සති අන්තයක් ‍කි‍යෙව්වම හිතුණ මේකත් ඒ එක්කම යයි කියල.


මම ජීවත් වෙන සහ වුණ ගෙවල් ඇතුළුව මම යන එන බොහෝ ගෙවල් වලදි මට පුරස්ණ ගොඩක් ඇවිත් තියෙනව. ඒ කියන්නෙ ගෙදර පේන්න තියෙන බඩු බාහිරාදිය සහ ඒව ඒ විධියට පිරිසිදුවට සහ මනා ලෙස පවත්වගන්න ගෙවල් හිමියන් දරන මහන්සිය ගැන.

බොහෝ මධ්‍යම ප්‍රාන්තික ගෙවල්වල සාලෙ තමයි පිඟන් කෝප්ප සහිත කැබිනෙට්ටුව තියෙන්නේ. අමුත්තෙක් ආවම කුස්සියෙ ඉඳන් සාලෙට ඇවිත් පිඟන් කෝප්ප අරන් යන්න ඕන කෑම පිලිගන්වන්න හෝ තේ එකක් දෙන්න වුණාම. මම මේ ගැන තනියම හිනා වෙලා තියෙනව ඇති තරම්. ගෙවල් වලට ගියාම දැන් දැන් නම් මේ ගතිය දකිනව අඩුයි. මොකද සාලෙ තියෙන කැබිනට් එකට අමතර එකක් කුස්සිය ආශ්‍රිතව තියෙනව. ඒ නිසා මේ දේ දැක්කෙ නෑ කාලෙකින්. නමුත් සාලෙ තියෙන කැබිනට් එක නම් එහෙම්මමයි.

මේ කැබිනට් එකට අමතරව සාමාන්‍ය ගෙයක කොයි තරම් බඩු කන්දරාවක් තියෙනවද? මේස පුටු නොයෙක් ඇතිරිලි වලට අමතරව ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ නිපුණත්වය නිසා එලියට නෙරපු සහ හිස් තැන් සහිත බිත්ති වල නොයෙක් සැරසිලි.

මේව පිරිසිදුව තියාගන්නත් මේ ගෙවල් වල ස්වාමිදූවරු දක්ෂයි. එයාලගෙ වැඩේම ඒක තමයි. එයා හදාගත්තු කූඩුව පිරිසිදුව තියාගන්න එක. මම දැන් ඉන්න වාස භවනේ පුංචි අම්මව මතක් වෙනව ආසන්නම උදාහරණෙ විධියට. අපේ ගෙදර කුණු රැ‍ඳෙන්නෙම නෑ. ගේ ඇතුලෙ කුණු දූවිලි ඇත්තෙම නැති තරම්. ඇහැට පේන දූවිලි තට්ටුවක් මතුවෙන්න සුමානෙකට වඩා කල් යනව කොහොමත්. නමුත් අපේ පුංචිට හැමදාම ගේ කොනක ඉඳන් සුද්ධ කරන්න ඕන. අර කැබිනට් උඩ තියෙන පින්තූරද අරවද මේවද සේරම පිස දමමින් එයා ගේ අතුගානව හැමදාම. එයාට ඒක කරන්න බැරි වුණ දාට ගෙදර මිනිස්සු ඉවරයි. තොපි නහය නැති එවුං එකෙක්ටවත් මේක සුද්ධ කරන්න බැරිද කියල බැනුම් කෝටියයි.

මම දන්න, විවාහ වෙලා දරුවො ලබල මැදි වයසෙ ඉන්න කාන්තාවො බොහොමයකගෙ ජීවිතේ දුඛාන්තයක්. බොහෝ දෙනා වර්තමාන යථා තත්ත්වය පිලිගන්නෙ ලොකු දුකකුත් දරාගෙන වෙන කරන්න දෙයක් නැති නිසා. එයාලට එයාලව අහිමි වුණ බවක් සමහරුන්ගෙ කතා වලින් මට තේරුණා. මේ දේ ප්‍රසිද්ධියේ නොකිව්වත් බොහොමයක් කාන්තාවන්ට මේ තත්ත්වය පොදුයි.

ගැහැණියට එයාවම අහිමි වෙන කැප කිරීම් ටිකක් ලියාපදිංචි වෙලා තියෙනව නේද මේ සංස්කෘතිය තුල. ඒ කැප කිරීම් එයාලගෙ කාන්තා ස්වභාවය උත්කෘෂ්ඨ කරනවය කියල එයාලව මුරුංගා අත්තේ පිහිටුවීමක් නේද තියෙන්නේ. ඒ නිසා ඒ කැප කිරීම් හරිම පූජනීයයි. හරිම අව්‍යාජයි. හරිම විශිෂ්ඨයි. ඇගේ පවුලේ ආරක්ෂාව ගැන ඇයමනේ හොයා බලන්න ඕන. ඇගේ නිවස සුන්දර කරගන්න ඇයමනේ කැපවෙන්න ඕන. ඇගේ වැසිකිලිය පිරිසිදුව තබාගන්න ඇයමනේ කෙමිකල් හොයන්න ඕන. දරුවන්ගෙ පෝෂණය ගැන, ආරක්ෂාව ගැන ඕනවටත් වඩා ඇය තමයි වෙහෙසෙන්නේ. ඔය අතරේ ඇගේ රූ සපුව මනාව පවත්වාගන්නත්, දත් සහ අස්ථි ශක්තිමත්ව තියාගන්නත් ඇයට ගේමක් දෙන්න වෙනව. අන්තිමේ ඇයට තමයි හැම දේම.

නමුත් ඇයට ඇය අහිමි වෙලා කියල ඈ දැනගද්දි කතාව ඉවරයි!

මම හිතන්නෙ කාන්තාවො බොහොමයකට මේ ‍දේ වෙන්නෙ එයාල හොයන්නෙ නැති හින්දයි. පුංචි කාලෙ ඉඳන් ගැහැණියකගෙ හීනය හැදිල තියෙන්නෙ ජීවිතෙන් බාගෙකට. සුදු අස්සයෙක් පිට එන කුමාරය හාද්දක් දීල ඇයව කැන්දන් ඈතට යද්දිම හීනය ඉවර වෙනව. එතනින් එහාට නිවන් යනවද මන්දා. නැත්නම් මම දැනටමත් මේ ගැන ඕනවට වඩා මමත් නොදන්න වැල් වටාරම් ඇද බෑවද?

කාන්තාවො ඉන්නෙ වැඩ වවාගෙන. එයාලට එයාලව හොයන්න තියෙන වෙලාවෙත් එයාලට කරන්න දාහක් වැඩ එයාලම වවාගෙන. පොතක් කියවන්න පත්තරයක් බලන්න එයාලට වෙලා නෑ. රූපවාහිනී නම් බලයි. බලන්න ඕනම නැති ටික හොයාගෙන බලයි. පොත් පත්තර තියෙනවනේ එයාලටම කියවන්න. වැල් වගේ ඇදෙන නව කතා සහ උයන පිහන නාන මහන ඒව ගැනම තියෙන පත්තර.

කාන්තාවකට මේ දේවල් පැහැදිලි කරල දෙන්නවත් බෑ. මොකද ඒ තරමට ‍එයාල හිර වෙලා. නැත්නම් ආයෙත් පටන්ගන්න කම්මැලිකම. නූතන තරුණියො නම් මේක තේරුම් අරගෙනද තවත් අනාගෙනද මන්දා ඉන්නේ. මට නම් පේන්නෙ තවත් අනාගෙන වගේ. නමුත් දැන් මේ කාරණා ගැන සාකච්ඡා වෙනව බොහෝ විට නූතන මාධ්‍ය වල යන්තමින් හරි.

ඒ නිසා ඉදිරියේදි මොලා වෙයිද දල්ලෙ ලෑ.




8 comments:

  1. ඔය කියන විදිහේ ආදර්ශමත් කාන්තවො දැන් හිඟයි. වැඩ ඇරිල ඉවර වෙලා ගෙදර ඇවිත් රූපවාහිනියේ නාට්‍ය ටික බලලා ඉවරන වෙනකොට වෙන වැඩ කරන්න වෙලවක් නැහැ. උදේටත් හැඩවැඩ වෙල රාජකාරියට යන්වා මිසක් වෙන දේවල් වලට වෙලාවක් නැහැ. ලඟදි හාමුදුරු කෙනෙක් බණට කියනව වැඩ පහසු කරන සේරම විදුලි උපකරන කුස්සියේ තියෙන්වලු ඒත් කන්නෙ කඩෙන් කියල

    ReplyDelete
  2. ඔබ කියන දේ හරි. හැබැයි මේ දේ කාන්තාවට පමණක් සීමා වෙලා නෑ. බලන්න කාන්තාව උනත් පිරිමියා උනත් යමක් කරන්නෙ ඒ ගැන කැමැත්තක් ඇති නිසා නේද?ඒකට කියන්නෙ ඡන්දරාගය කියල. කැමති දේ තුල කොටුවී සිටීම එහි ස්වභාව ලක්ෂණයක්.ඒකට කියනව අජ්ජෝසාය තිට්ඨති කියල.ඒකියන්නෙ ඒ තුල බැසගන්නවා. ඊට පස්සෙ ඒ දේ ගැන අභ්‍යන්තරයෙන්ම අභිවදති අභිනන්දති..එය අගය කරනවා එය පිළිගන්නවා..
    කොටුවීම කියන්නෙ මේකටයි. යම් විටක අකමැත්තක් දුකක් පෙන්නුවත් එයා ඒ දේට මනසින් බද්ධවෙලා.

    ReplyDelete
  3. ඔබ හරි, රටේ දියුණුව, නාගරීකරණය, සහ නව තාක්ෂණය භාවිතය නිසා ‍නගරබද කාන්තාවන් ගැන නම් කියල වැඩක් නෑ. නමුත් ගම්බද නම් පිළිවෙලකට වැඩක් කරගෙන ඉන්න අය සිටී යන්නයි මගේ හැගීම

    ReplyDelete
  4. අම්මෝ හරේෂ් මට කියාගන්න වචන නෑ...බොහොම වටින ලිපියක් ඔයා කියලා තියෙන එක ඡේදෙන් ඡේදෙට මම එකග වෙනවා...මේකයි අර හදලා දීලා තියන රාමු ඇතුලේ ගැහැණියව කාලයක් හිර කරලා තිබ්බා ඊට පස්සේ කට්ටිය බලෙන්ම හිර වුනා...ඒකයි හැමදේටම මුල....හැබැයි මේවා මේ විදියට කියද්දි...සංස්කෘතිය,පවුල් බැදීම් විනාශ කරන්න හදනවා කියන චෝදනාව එල්ල වෙන්නත් පුළුවන්

    ReplyDelete
  5. හරේශ් අයියගෙ රැඩිකල් කතාවට මාත් එකගයි. ගල් මුල් වැදෙන්න පුලුවන් අදහසක් ඔය ඉදිරිපත් කරලා තියෙන්නෙ. හබැයි ඕක කාන්තාවට විතරක් නෙමෙයි පිරිමියාටත් අදාල දෙයක්.
    එයාලා ඒකෙන් වින්දනයක් ගන්නවනම් ඉතින් අපිට මොකෝ :P

    ReplyDelete
  6. මම අලුත් කෙනෙක් මම ලියන්න ආවෙ වෙන දෙයක් ඒත් දැන් මගේ ප්‍රශ්නෙ කොහොමද නැවතීමෙ තිත සිංහල යුනිකෝඩ් වලින් තියන්නෙ කියලා

    ReplyDelete
  7. මේක print කරල බෙදන්න වටිනව ඕයි...පිරිමිය ඔය කියන කැපකිරීම බලාපෙරොත්තු වෙන්න වෙන්න ඕකට අයුෂ වැඩි වෙයි...මම ඕනෙ තරම් අහල තියෙනව අපේ කෙනා මට කිසි උදව්වක් කරන් නෑ කිය කිය හෝ ගාල වැඩ කරනව...හරියට බැන්දාම ,house cleaning job එකක් හම්බුනා වගේ දේවකාරියට වඩි රාජ කාරිය ලොකුයි කියල නහිනව...ගෙයක් උනාම පිළිවෙලකට තියෙන්න ඕනෙ නම්ත් ඉතින් අපේ xp හැමතිස්සෙම කියනව වගේ extremeness නම් ජීවිත අනනව....

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!