Friday, 20 May 2011

අනේ ඒකත් කරල දෙන්න...



ගිය පාර වර්ල්ඩ් කප් එක දිනවන්න කියල සක්‍ර දේවෙන්ද්‍රව හොයාගෙන ගිය ලාසිංහ දෙවියන්ව ඔයාල දන්නවනේ. පහුගිය වතාවෙ වැඩේ අප්සෙට් වුණ හින්දා උන්නැහේ කාලයක් ඉහල පාලනාධිකාරිය ගැන කලකිරිල තමයි හිටියෙ. පස්සෙ බැලින්නම් ඔය ඉහල පාලනාධිකාරි කියන ඒව සේරම එකයි කියල උන්නාන්සෙට තේරුණා. කොහෙද ඉතිං උදේ ඇහැ ඇරුණු වෙලේ ඉඳන් රෑ සැතපෙනකල්ම ඇසිල්ලක් ලද ඇසිල්ලේ රූප පෙට්ටියට ඔළුව ඔබාගෙන ඉන්නව මිසක් බ්ලොග් එකක්, පොතක් පත්තරයක් කියවනව කියලයැ. ඔය නිසා උන්නාන්සෙ හිතාගෙන හිටියෙම රූප පෙට්ටියෙන් පෙන්නන තරමටම පාලනාධිකාරිය සුන්දරයි කියලා. අනික ගතවුණ කාලෙ ඇතුලත ලංකාවෙ මිනිස්සුන්ට ඒ තරම් යාතිකා කරගෙන ඉන්න තරම් දෙයකුත් ලැබුණෙ නෑ වෙන්න ඇති. මොකද ඊට පස්සෙ උන්නාන්සෙට ලක්වැසියන් කෙරෙහි නැමී ඉන්න වුණේ නෑ...

ඉතිං ලාසිංහ දෙවියො තමන්ගෙ වාසභවනෙ ස්විමිං පූල් එකට වෙලා ලෝකල් අමෘතය ටිකක් තොලගාන ගමන් දිව්‍යාංගනාවන්ගෙ සුමුදු පිරිමැදීම් විඳගෙන ඉන්න අතරෙ උන්නාන්සෙගෙ මොබයිල් එක කෑගහන්න ගත්තා. ෂුවර් එකට පහල ලංකා පුරේ දේවාලෙකින් ඇමතුමක්‍. ඉස්සරනම් ඕවට මොබයිල් ෆෝන් තිබුණේ නෑ. සක්‍රතුමාගෙ වගේම පඬුපුල් පුටුවක් තමයි තිබුණෙ. ඒත් ඒකත් සක්‍රතුමාගෙ එක වගේම ඔරිජිනල් එකක් නෙවෙයි. ඔය චීන දෙයියො ටිකක් ආධාර වශයෙන් මවල දීපුවනේ... හත් අටවතාවක් රත්වෙද්දි ඒකෙත් ෆියුස් ගියා. ඒ නිසා සක්‍රතුමාගෙ නියෝගය මත හැම දෙයියෙක්ටම හායි කියල කට ඇරල කියන්න පුළුවන් ගොඩ්ඩ්‍රොයිඩ් කිරි ටොයියා ෆෝන් එක ගානෙ හම්බ වුණා.

ලාසිංහ දෙවියො ෆෝන් එක දිහා බැළුව. දෙයියන්ටම තියෙන ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් කෙලින්ම දෙයියො බැලුම් දානව වගේ ලයිව් ලෝකෙ වෙන දේවල් බලන්න පුළුවන්. කොළොම්පුරේ පොරසිද්ධ දේවාලෙක මහා යාතිකාවක්. කපුවා රෙදි ගලවගෙන කන්නලව් කරනවා. පණ යනකල් නටනවා.. දිගටම නැටුවොත් හන්දි ගැලවිලා විසිවෙන තරමට. දේවාලෙ වටේ සෙනගත් ටිකක් ඉන්නවා. අත්වල පඬුරුත් යහමින් තියෙනව වගේ. ලාසිංහ දෙයියො ක්ෂණයෙන් ඇඟ පිහිදගෙන දේවාලෙට වැඩම කරා.

"පස්වාන්දහසකට බුදුවන්ඩ දෙවියනේ... ගැත්තන්ට අනුකම්පා කර මේ කන්නලව්වට හිත් යොමන ‍සේක්වා...
උඩ උඩ වර බිම බිම වර පොළොව යටින් වර...
අහ අහ වර කහ කහ වර ගන්ධ බලන් වර...
ලැට්ටොප් ගෙන අයි පෝන් ගෙන වයර් ගහන් වර...
ලිමෝ කෘසර් හැමර් පොෂේ ඕන එකක වර...
නා නා නා නා නා නා නා නා නා නා නා..."

කපුවා කියවන්න ගත්තා... මොඩන් යාතිකාවක් නිසා දෙයියන්ට ටොක්කක් ඇන්න වගේ තේරුණා. ඉතිං දෙයියො කපුවට ආවේස වුණා ඔහෙ හිටු කියලා. දැන් කතාව යන්නෙ කපුවගෙ හඬින් ලාසිංහ දෙයියො අර දේවාලෙ ඉදිරිපිට හිටපු මහජනතාව අමතන විධියට.

"මෙතරම් ජන පිරිසක් එකතු වී මාගේ උපකාරය බලාපොරොත්තු වෙන කාරණේ කුමක්ද?"

අර ජනතාව සේරම දෙනා බිම බලාගෙන දොහොත් මුදුන් දීල වැඳගත්තා. ඒ අතරෙ හිටපු ප්‍රධාන සංවිධායක වගේ පෙණුන මනුස්සයෙක් දෙකට නැමීගෙන ඉදිරියට ආවා.

"අවසර දේවයිනේ... අපි මේ සමස්ථ ලංකා සිල්ලර කඩහිමියන්ගේ සංගමයෙන්..."

ඒ මනුස්සය බැගෑපත්ව කිව්වා...

"ඔව්... කාරණාව කියන්න..."

"අනේ දේවයිනේ... ඔබ වහන්සෙ දන්නවනෙ පෝය දවසෙ මත්පැන් විකුණන්න නීතියෙන් තහනම් කියල."

සංගමේ සභාපති බිම බලාගෙන වැඳගෙන කිව්වා...

"ඔව් ඔව්... අපට දිවැස් කියා එකක් තියෙන්නේ අල්මාරියේ දා තියන්ට නොවෙයි නරය! ඒක බොහොම අගේ ඇති නීතියක්. තොපලාගේ පාලකයින්ගේ අලංකාරවත් ධාර්මික රාජ්‍ය පාලනකෘත්‍යය මැනවින් විදහාපාන අවස්ථාවක්."

"එහෙමයි එහෙමයි... අපි මේ ආවෙ ඔබ වහන්සේට කියල පෝය දවස් වලට මේ...."

"තෙපර බාන්නේ නැතිව වහා කියනු කාරණය..."

"නෑ දේවයිනේ... අපි මේ සිල්ලර කඩ හිමියන්ගේ සංගමය විධියට මේ ඉල්ලීම කරන්න වෙන කෙනෙකුත් නෑ... ඔබ වහන්සේට කන්නලව්වක් කරන එක විතරයි අපට ඉතිරි වෙලා තිබුණේ..."

"අගෙයි අගෙයි.. දෙවියන් ජෝකර්ලා වී ඇති රටක මා හට තවමත් මෙතරම් භක්ත්‍යාදරයක් දැක්වීම ඔබගේ හිතසුව පිණිසම වන්නේය... ඉතින් කාරණය කියව..."

ලාසිංහ දෙයියන්ට පුංචි ආඩම්බරයක් දැණුනා...

"දෙවියනේ අපේ පාලක උන්නාන්සෙල ලව්වා පෝය දවස් වලට දුම්වැටි විකිණීමත් තහනම් කොරල දෙන්ට ඇහැක්නං.."

"මොනවා...? දුම්වැටි? ඇයි එව්ව විකුණන්න තහනම් කරන්නේ...?"

"මේකයි දේවයිනේ... ඔය මත්පැන් විකුණන උදවිය පෝය දවස් වලට තමයි වැඩියෙන්ම ආදායම ලබන්නේ... මොකද එදාට බෝතලේ විකිණෙන්නෙ බෝතල් දෙකේ මිලට නෙව... ඉතිං අපිත් කල්පනා කළේ සංගමයක් විධියට සංවිධානය වෙලා දුම්වැටි තහනමකුත් පෝය දාට ඉල්ලගන්න. එතකොට අපිට එව්වත් දෙගුණෙකට විකුණලා හොඳ ගාණක් හෙව්වෑකි..."

ලා සිංහ දෙයියන්ට තරු පෙණුනා... උන්නාන්සෙ කොයිතරම් කම්පනය වුනාද කිව්වොත් වහාම එතනින් චුත වුණා. කපු උන්නැහේ ඇදගෙන වැටුණා.

සිල්ලර කඩහිමියන්ගේ සංගමයේ උදවිය සෑහෙන්න වෙලාවක් බිම බලාගෙන වැඳගෙන හිටියා...

13 comments:

  1. පට්ට ස්ටෝරි එකක්නෙ ......... එල එල .....

    ReplyDelete
  2. ලස්සන කතාව...

    ReplyDelete
  3. පිස්සු ඩබල්.....නියමයි නියමයි....

    ReplyDelete
  4. තුන්දෙනාටම තැංකූ වචනයක් කියල ගියාට හො‍ඳේ.....:D

    ReplyDelete
  5. අනේ ඇත්තමයි දෙයියන්ට බැරි උනානේ මේ අහිංසකයින්ගේ අහිංසක ප්‍රාර්ථනාව ඉශ්ඨ කරලා දෙන්න ශිහ්

    ReplyDelete
  6. නුඹේ ඉල්ලීම මම වහා ම ඉටු කර දෙමි.., වහා ඉස්සරහ කඩේ ලෝබ සුදාගෙන් සිකැරැට්ටුවක් ඉල්ලා බලව.., තට වෙනස වැටහෙනු ඇතැ..!

    ReplyDelete
  7. මෙන්න බොලේ ඉල්ලන පරක්කුවෙන් දීලා . .

    ReplyDelete
  8. හෆොයි වැරදි දෙයියන්ගෙන නොව ඉල්ලලා තියෙන්නේ ? ඕක ඉල්ලන්න යන්න ඕනේ අර කැලණියට අදිගෘහිත දිවිය රාජයා ළඟටනේ ? උන්නැහේ තිත තියයි මොහොතින්

    ReplyDelete
  9. දුකා - ඔයා පර්සනලි සක්‍රතුමාට කිව්වවත්ද ඇ? ඒක නොවෙයි මොකෝ ඔයාගෙ පොටෝ කෑල්ල පේන්නෙ නැත්තේ?

    සක්‍රතුමා - හප්පා ඒ ඩිංගට වැඩි කරලද?

    සරත් - හි හී.. ඒකත් හැබෑව.. කොහෙද මේ සිල්ලර කඩ සංගමේ උදවිය කිසිම ප්‍රායෝගික දැණුමක් නැති උදවියනේ...

    ReplyDelete
  10. දෙවියන්ගේ මොබයිල් අංකය දෙනව ද?

    ReplyDelete
  11. සො - එහෙම කියන්න දන්නෙ නෑ... ඔයත් ඔය දේවාලෙකට ගිහින් මොබයිල් එක ඉල්ලලා යාතිකාවක් කරන්න... ගෑණු ළමයෙක්ටනම් නොදී ඉන්න එකක් නෑ ;-)

    ReplyDelete
  12. ළමයිනේ, ඇයි ඒ දවස වෙනකම්ම ඉන්නේ සැලසුම් කිරීම කියන එක දන්නේ නැද්ද?

    ReplyDelete
  13. ඒ කියන්නෙ ඒජන්ට් කෙනෙක් වීම වගේ ;-)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!