Sunday, 15 May 2011

ආයුබොවන් ගුඩ් මෝනින් ||| ත්‍රී ||| රන්වල බලකායෙන්


හරිම හොඳයි හැම බබාම අද ඇවිල්ල වේලසනින්
අපි පන්තිය පටන් ගනිමු ආයුබොවන් ගුඩ් මෝනින්

ආයුබොවන් ගුඩ් මෝනින්

අද පාඩම පටන්ගන්න කලින් සැවොම මේ අහන්න
ලොකු වුණාම වෙන්න කැමති කවුද කියල මට කියන්න
අත උස්සල මට කියන්න

කලින් ලියපු රන්වල බලකායෙ ත්‍රී ප්‍රසංගය ගැන සටහන කියෙව්වනම් මම ඒක කොහොම හරි බලන්න උවමනාවෙන් පෙලුන බව ගැන දන්නව ඇති. මගෙ චාන්ස් එකකටද කොහෙද ඒකෙ කමෙන්ට් එකක් දාපු නවීන් මාධව සහෘදයා ත්‍රී ප්‍රසංගයේ ඊලඟ දර්ශන වාරය ගැන ඔත්තුවක් දීල තිබුණ. ඒක අනුව අදාල දවස්වලදි ක්‍රියාත්මක වෙලා ත්‍රී බලන්න අවස්ථාවක් ලබාගන්න මට පුළුවන් වුණා. අපි කව්රුත් දන්න පොරක් නම් වියදම් කරපු සල්ලිත් අපරාදෙ කියල කිව්වට මටනම් එහෙම හිතුණෙ නෑ. මම සහ මාත් එක්ක ඒක බලපු එයා, මෙයා, මෙයා සහ මෙයා කියන හතර දෙනාම ත්‍රී හොඳට එන්ජෝයි කලා. ප්‍රේක්ෂකාගාරයෙන් ආපු ප්‍රතිචාර අනුවත් එහෙම අවුලක් නම් පෙණුනෙ නෑ. සමහර විට ඉතිං ජස්ටින් බීබර්, ලේඩි ගාගා, රිහානා අහද්දි දොම්කිට දොං තරිකිට වගේ සද්ද ටිකක් අජූත වෙන්න පුළුවන්... :ඇහැක් ගහමි.


මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කරවන
එන්ජීඕ එකක් දමා ගන්නෙමි එහි මුල් තැන


ත්‍රී කියන්නෙ ලංකාවෙ සිංහල ගැමියාගේ ජීවිතයේ සංස්කෘතික ප්‍රසංගයක්. දැන් ගැමියො නෑ කියල අපි හිතුවට අවුරුදු ගාණක් පරණ ගැමියන්ටත් වඩා පරණ අය තමයි දැන් ලංකාවෙ ඉන්නේ.... ඒව වැඩක් නෑ... ත්‍රී, ලංකාවෙ අක්මුල් විහිදුවල තියෙන සිංහල ජනගීය සහ වෙනත් සංගීතමය මූලාශ්‍ර ඇසුරු කරගනිමින් නිර්මාණය වුණ නූතන නිර්මාණ සරණියක්. රුහුණු මායා පිහිටි කියන තුන් සිංහලයේ උඩරට, පහතරට සහ සබරගමු කියන ත්‍රිවිධ සම්පුදායන්ගේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් තමයි ත්‍රී තුල නිරූපණය වෙන්නේ. ලයනල් රන්වල මහත්මයාගෙ අහසෙ ඉන්නවලු, ගම අවුලඤ්ඤං, යුද්දෙටත් ඇවිත් කියන ප්‍රසංග තුනම එහෙම ඒවා තමයි. නමුත් ත්‍රී කියන්නෙ ලයනල් රන්වල මහතාගේ ඝෘජු දායකත්වය අහිමි වුණත් එතුමා බිහිකරපු සම්ප්‍රදාය රැකගනිමින් සිංහල ජන නාද රටා නූතනය එක්ක එකතු වුණ අවස්ථාවක්.


ගයන නටන ඉස්ටාර්ල දැක මගෙ බඩ දනවා
සීසන් ටෙන් එකේදි හරි මම තරුවක් වෙනවා


මේකෙදි තර්ක කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. නිකං ජන ගීයක කෑල්ලක් දාපු පමණින් කොහොමද ඒක සිංහල ජන ගීතය වෙන්නෙ කියලා... ඒ තර්කෙ හරි. සමහර විට එහෙම කෙරුණ නිර්මාණත් අපට අහන්න තියෙනවා. බෙර සද්දයක්, තම්මැට්ටමක් දාපු පමණින් සංගීතය ජන ගී ආරක් ගන්නෙ නෑ. එහෙම ගත්තොත් භාතිය සන්තුෂ්, සෙන්ටිග්‍රේඩ්ස් වගේ අයත් එහෙම නිර්මාණ කරල තියෙනවනේ. නමුත් ඒ නිර්මාණ සේරම ජන ගී විලාසයකින් ගැයෙන්නෙ නෑ. ත්‍රී සහ රන්වල බලකායෙ වෙනත් නිර්මාණ විශේෂ වෙන්නෙ එතනදි. ඒ නිර්මාණවලදි ගීත ගැයෙන රටාව, හඬ උස් පහත් වීම්, එතකොට අර මල ඉලව් ශ්‍රැතිය කියන එක සහ සංගීත රටාවන් වගේ අංග තියෙන්නෙ විවිධ ජන ගී නිර්මාණ වල ඒ ඒ ලක්ෂණ අනුව.

එහෙම කියලා ත්‍රී එකෙත් හැම නිර්මාණයක්ම එහෙමය කියල කියන්නත් බෑ.


තම තමාගෙ ගැන විතරක් දරුවනි හොඳ නෑ හිතන්න
ආස කෙනෙක් නැද්ද මෙතන රටට සේවයක් කරන්න


රඟපෑම් වලදි නළු නිලියන් සියළු දෙනාම සෑහෙන්න කැපවෙලා තිබුණ. වෙනස් නාට්‍යමය අංග ගණනාවකදි ඒවයෙ ප්‍රධාන චරිත නිරූපනය වුණ විධිය සහ පසුබිම් රඟපෑම් අති විශිෂ්ඨයි. කොහොමත් ඔය පසුබිම් රංගනය රන්වල බලකායෙ නිර්මාණ වල ‍ලොකු දෙයක් කරනවා. එක් එක් රංගන ශිල්පායා‍ට එක එක නිර්මාණයෙදි කරන්න වෙනම චරිතයක් තියෙනවා. උවමනා කෙනෙක්ට මේ වීඩියෝවෙන් ඒ ගැන සහතික කරගන්න පුළුවන්.


මම ඉපදුණ මගේ රටට නිහඬ සේවයක් කරන්න
මම ආසයි ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න


මුළු ශාලාවම දෙදුරුම් කවපු බෙර සද්දෙ නම් අමතක කරන්න බෑ. නම් වලින් මතක නැති එක එක බෙර වර්ග කීපයකින් සහ තම්මැට්ටම්, වයලින්, බටනලා එක්ක ගිටාර් සහ ඩ්‍රම් ඇතුළු වෙනත් අපරදිග භාණ්ඩ පාවිච්චි කරල සංගීතය කම්මැලි නැති ගති තැනක පවත්වගන්න ඒ නිර්මාණකරුවො සමත්වෙලා තිබුණ. කලින් සටහනෙත් කියපු විධියට පැරණි දේ පැරණි විධියටම තිබීමෙන් ඒවට සෙතක් වෙන්නෙ නෑ සමහර දේවල් සැලකුවම. පැරණි ගෘහ නිර්මාණ වගේ එව ඒ විධියටම තිබීම මත ජනප්‍රිය වුණාට සංගීතය ඇතුළු වෙනත් ඇතැම් කලාවන් පැරණි වේශයෙන් පවතින්නෙ නෑ. විශේෂයෙන් ලංකාව වගේ රටවල ඒක එහෙම වෙන්නෙ නෑ. ඒව අළුත් වෙන්නෙ නූතනත්වය එක්ක එකතු වුණාම විතරයි. ඒකෙදි පැරණි දේ සමහරක් නැති වෙනවා. නමුත් කිසි දෙයක් එකම විධියෙන් දීර්ඝ කාලයක් පවතින්නෙ නෑනේ. එහෙමවත් ඒ දේවල් ඇහුණෙ නැත්තං ඕව කට්ටිය අහයිද? ඒව සිංහල දෙමළ අවුරුදු කාලෙට ඔහේ ඇහෙනව විතරනේ සහ කලම්බෝ කලම්බෝ බලපු තරම් පිරිසක් ත්‍රී නොබැලුවෙ ඒ නිසා නේ...


මාධ්‍යවේදියෙක් වෙනව මමනම් ලොකු වීලා
රටට සේවෙ කරනව ඉල්ලන සින්දුව දීලා

කැමතිම සින්දුව දීලා


කොහොමත් මම ත්‍රී බලපු බිෂොප් විද්‍යාලයේ රංග පීඨය ඒ නළු නිලියන්ට පුමාණවත් මදි බවක් දැණුනා. ඔවුන්ගෙ මුල් ප්‍රසංගයේ වීඩියෝ ට්‍රේලරයෙදි ඔවුන් දුව පැන නටපු තරමට නටන්න බිෂොප් වේදිකාවෙදි ඉඩක් ලැබුණෙ නෑ වගේ. කොහොමත් මට දැණුනු එක අඩුවක් වුණේ නර්තනයන්ගේ අඩුව. ඇතැම් ගීත වලට මීට වඩා ප්‍රසාංගික බවක් එකතු කරන්න තිබුණා නම් හොඳයි වගේ කියල මට හිතුණ. ගම අවුලඤ්ඤං ප්‍රසංගයේ ගීත රූපවාහිනියෙන් බලල තියෙන මට ඒ නිර්මාණ නර්තණ සහ නාට්‍යමය අංග වලින් ගොඩක් පොහොසත් කියල හිතුණ. ඒ අතින් ත්‍රී ට තවත් පියවරක් දෙකක් ඉදිරියට යන්න අවකාශ තියෙනවා.


මෙගා නාට්ටියක් කරමි කොටස් දෙතුන්දහක
එහෙන් මෙහෙන් රඟපානව මමත් එහෙක දෙහෙක

අනෙ අපිත් එහෙක දෙහෙක



හැබැයි ඒක ගැන එහෙම චෝදනා කරන එකත් වැරදියි. මොකද නළු නිලියන් 15ක් පමණ පිරිසක් නිර්මාණ 10ක් 12ක් අතරෙ විවිධ රංග වේශයන්ට මාරු වෙමින් ඇඳුම් මාරු කරගනිමින් රඟපාද්දි ඔවුන්ට ඒ මත නියැලෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ හින්දා හැම නිර්මාණයකදිම දැණෙන්න නටයි කියල බලාපොරොත්තු වෙන එක තේරුමක් නෑ. නමුත් ත්‍රී වඩා නාට්‍යමය වීමේ අවශ්‍යතාවය නම් මට පසුවත් දැණුනා. අපි හිතමු ආයෙ බලන්න අවස්ථාවක් ලැබුණොත් මොකක් හරි වෙනසක් :D මොනව වුණත් ත්‍රී තුල තිබුණ නිර්මාණ විවිධත්වය සෑහෙන්න හොඳයි. බොහොම මන්දගාමී වගේම නටන්න ඕන නම් කෙනෙක්ට නටන්නත් පුළුවන් රිද්මයේ නිර්මාණ කීපයක්ම තිබුණා. ඒ එක්කම ඒ නිර්මාණ වල අවස්ථාවන් නිරෑපණය සෑහෙන්න හොඳින් වුණා කියල මගේ දුර්වල නිරීක්ෂණ වලදි තේරුණා. අනාගතේ කවුද වෙන්නෙ කියන නිර්මාණයේ පුංචි එවුන්ගෙ මවා නොගත් සජීවී රඟපෑම් හැමෝටම දැණුනා. මම හිතන්නෙ වයස් බේදයකින් තොරව හැමෝම ඒකට කැමති වුණා. ගාමින්ද ප්‍රියවිරාජ්නෙ ලියල තියෙන්නෙ. මේ සටහනේ මැද්දෙ තැනින් තැන තියෙන්නෙ ඒ සින්දුව තමයි. ඊට අමතරව සිහිගිරි පුරේ කියන චිත්‍රපටි ගීතයෙ රංගනයට මම සෑහෙන්න කැමති වුණා. දිලීපගෙ ලිවිල්ලයි, සහන්ගෙ සංගීතයයි සුරේන්ද්‍ර එක්ක උරේෂාගෙ ගැයිල්ලයි ගැන කියන්න දෙයක් නෑ. ඊ ළඟට මහ බඹාට මූණු දෙකයි, මං මැරිලා, අනේ රකෝ (අනේ යකෝ?) එක්ක නැගෙනා හිරු කියන නිර්මාණයත් මගේ හිතට හොඳටම වැදුණා. ඔය මං මැරිලා කියන සින්දුවත් අපි කරන වැඩවලටම හිනා වෙන්න පුළුවන් සින්දුවක්. අනේ රකෝ කියන සින්දුව බොහොම ලස්සනට ගැයෙන ලස්සන තනුවක් තියෙන ප්‍රේම ගීතයක්. අවසාන අංගය විධියට තිබුණ බෙර වර්ග වලින් කෙරුණ නිර්මාණය විශිෂ්ඨයි. මට මතක් වුණේ හික්කඩුවෙ Elephant Foot බෑන්ඩ් එකේ නිර්මාණ. තම්මැට්ටම් දවුල් සහ උණ කඳන් වලින් නැගුණ සද්ද සේරම එක තාලයක් හදන්න සුසර වුණා හරිම සීරුවට... Tyronne Silvaගෙ ඩ්‍රම්ස් වල සද්දෙ වගේ දැණෙන්න තම්මැට්ටම ගහපු අයිය ගැන මාත් එක්ක හිටපු එක්කෙනෙක්ගෙ හිත ගිහිං තව පොඩ්ඩෙන් ලොකු අලකලංචියකුත් වෙන්න තිබුණා.


කෙනෙක් කරන දේ වැදගත් තමන්ට වාගෙම රටටත්
තමන් කැමති දේ කියන්න අත උස්සල කෙනෙක් තවත්


ත්‍රී ප්‍රසංගයේ නිර්මාණ අඩංගු සංයුක්ත තැටියේ සඳහන් විධියට ඒ හැම නිර්මාණයකම ජන ගී මූලයන් අඩංගුයි. ඒ සංයුක්ත තැටියෙ තියෙන නිර්මාණ බොහොමයකට මම දැන් වහ වැටිලා. විශේෂයෙන් ප්‍රදීප් මුතුකුඩආරච්චි සහ ශිරාණි වික්‍රමසිංහ දෙපලගේ කට හඬ එක්ක මම හොඳටම බැඳිලා. ප්‍රසංගය අතර මිලට ගත්තු රන්වල බලකායෙ කලින් ප්‍රසංග වල නිර්මාණ ඇතුලත් වුණ ගම අවුලඤ්ඤං ඩීවීඩී තැටියෙ තිබුණ විධියට ප්‍රදීප් මුතුකුඩආරච්චි කියන්නෙ ලංකාවෙන්ම විශිෂ්ට ස්ථාන ලබපු ගායන ශිල්පියෙක්. තරුවක් වීම අත්හැරල ඔහු ඉන්නෙ ලාංකික ජන සංගීතය පවත්වාගැනීමේ ව්‍යාපෘතියක. ශිරාණිගේ ක‍ට හඬ ජන ගී ආරටම ගැලපෙන තියුණු හඬක්. ඒ හඬෙන් කුෂානි සඳරේකා, ඉන්දිකා උපමාලි වගේ කෙනෙක්ගෙ සින්දුවක් අහන්න ඇත්නම්...


මම කැමතියි ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න
ලොකු වුණාම හරි ආසයි ක්‍රිකට් වලට යන්න


කෙනෙක්ට හිතන්න පුළුවන් මෙතන තියෙන්නෙ මරිසියක් කියලා. රන්වලලා ජනගීය මාකට් කරල සල්ලි හොයනව නේද කියල කෙනෙක් කියයි. ඒක එහෙම තමයි. එහෙම වටිනාකමකින් තොරව කිසිම දේකට පවතින්න බැරි තර්කයක් ඇතුලෙ ඔවුන් කරන දේ වෙනුවෙන් ඔවුන්ගේ පැවැත්ම ස්ථිර කර ගන්න මූල්‍යමය ගණුදෙනු පැවතීම අවුලක් නෙවෙයි. ඒක අවුලක් නම් ඒ සිස්ටම් එක හැදිල තියෙන විධියෙ අවුලක් මිස රන්වලලගෙ අවුලක් නෙවෙයි. දන්න තරමින් රජය හෝ කිසිම සංවිධානයක් හෝ ආයතනයක් ඔවුන්ට අනුග්‍රහය දක්වන්නෙ නෑ මේ නිර්මාණවල නියැලෙන්න. ඔවුන්ගෙ ප්‍රසංගය යම් අනුග්‍රහයක් මත සිද්ධ වුණාට ඔවුන්ගේ ජීවිත වලට අනුග්‍රහයක් වෙන්නෙ ඔවුන්ගෙ නිර්මාණ විතරයි. ඒකෙදි මැසිවිල්ලක් නැතිව ඔවුන් කරගෙන යන වැඩේ ප්‍රශසංසනීයයි. සමහර විට ජන ගීය හරහා නිර්මාණකරණයේ යෙදෙන එක ඔවුන්ට ආර්ථිකව වාසියක් දෙන කාරණයක් වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට තරගයක් නැති නිසා.


ක්‍රීඩාවත් හොඳයි පුතේ පෙරටම යන්න
උපන් රටට ගෞරවයක් අත්කර දෙන්න


ප්‍රසංගය බලන්න ඇවිත් හිටපු අයගෙන් සැලකිය යුතු කොටසක් අවුරුදු 15ට විතර අඩු දරුවන්. අපට ඉදිරියෙ හිටියෙ එක් දරුවෙක් කරපින්නගෙන තවත් දඟ මලු දෙකක් පාලනය කරගෙන හිටපු තරුණ යුවලක්. ඔවුන්ගේ රසය පවතින තැන සහ ඔවුන්ගේ දරුවන් ඒ තැන් වලට යොමු කරන්න දරන වෑයම ගැන සතුටක් ආවා. ඒ නිසා ප්‍රසංගය මැද පුංචි එවුන්ගෙ බෙරිහන් දීම්, කෑ ගැසීම් එක්ක සුරතල් ප්‍රතිචාරත් ඉවසගන්න අපට පුළුවන් වුණා.

සාමාන්‍යයෙන් කාර්යාලයෙදි හැමදාම ජාතික ගීය අහල මට ඒක දැණෙන්නෙ නැති නිකංම නිකං සින්දුවක් විතරක් වෙලා තිබුණට තම්මැටිටම් බෙර සහ වයලීන වලින් සංගීතවත් වුණ ජාතික ගීය මට ජීවිතේ පළවෙනි වතාවට දැණුනමද කොහෙද. පස්සෙ දැනගත්තු විධියට ඒක මට විතරක් වුණ දෙයක් නෙවෙයි. ඒක ඇහුවමයි හිතුණෙ මෙච්චර දවසක් ජාතික ගීය කියල අහපු එකේ සංගීතය විසින් ඒකෙ වචන වල අර්ථ මරල නේද කියල. ඇත්තට හැමදාම අහපු ජාතික ගීය වෙනුවට ඔය වර්ෂන් එක හොයාගන්න පුළුවන් නම්... උත්සාහයක් දරමු.

මම කියන්නෙ ලංකාවෙ මුල් තියෙන හැමෝටම ත්‍රී දැණෙයි. විශේෂයෙන් අපේකම, දේශීයත්වය ගැන පම්පෝරිය විතරක් තියෙන ගොඩක් දෙනෙක්ට මේක තමන්ව පරීක්ෂා කරන්න හොඳ අවස්ථාවක් වෙයි. බ්‍රිට්නි, එකෝන් අහන ගමන් බටහිරට බණින හෙළයන්ට මේක හොඳ අවස්ථාවක් තමන් ඉන්න තැන ගැන බලන්න. තමන් පෙනී ඉන්න යන දේ තුල තමන් ඇත්තටම ඉන්නවද බලන්න. (එකෝන්, බ්‍රිට්නි මාත් අහනවා. එයාල මේ පෝස්ට් එකේ ආරාධිත රංගණයක ඉන්නේ)

ඉතිං ආයෙ තිබුණොත් ගිහින් බලන්න. එක එක්කෙනාගෙ කතා වලට අහු නොවී තමන් ගිහින් වින්දනය කරන්න. තියෙන දවසක් ආරංචි වුණොත් මටත් කියන්න. මොකද හොඳට ඉඩකඩ තියෙන වේදිකාවක ආයෙමත් ත්‍රී අපූර්වත්වය විඳගන්න ආසයි...


මටනම් බෑ අව්වෙ දිගට ක්‍රිකට් ගහන්න
මෙමට ඕන ක්‍රිකට් බෝඩ් එකට පනින්න
බෝඩ් එකට පනින්න
පැනල සේවෙ කරන්න
ක්‍රීඩකයින් තෝරන්න
වර්ල්ඩ් කප් එක ගන්න


4 comments:

  1. ගොඩක් වෙලාවට ලංකාවේ අපිට හමු වෙන්නේ අන්තවල රැඳී ඉන්න මිනිස්සු. එක කට්ටියක් බටහිර ගායකයෙක්ගේ නමක් කියනකොටත් යක්ෂාවේශ වෙනවා. තවත් කොටසක් මයිකල් ජැක්සන් විතරයි, ලංකාවේ ජන සංගීතය මෙලෝ රහක් නෑ කියලා කියන්නේ.
    කොහොම කළත් මේ කීප කොටසේම මූලික සාධකයක් තමයි, ගොඩක් වෙලාවට තමන්ගේ ප්‍රියතම සංගීතය කියලා එකක් තියාගෙන ඉන්නේ සෝබනේට, "බීට්" එක හොඳ හින්දා, පොෂ් කියලා පෙන්නන්න ඔය වගේ දසකුත් එකක් හේතු නිසා.
    මම හිතන්නේ ගීතයක් හෝ සංගීත නිර්මාණයක් රස විඳින්න ඕන ඒකේ මතවාදය තේරුම් ගනිමින්. උදාහරනයක් විදියට සුනිල් ශාන්තයන්ගේ ගීතයක ටෙක්ස්ට් එකක් තියෙනවා වගේම System of a Down ගීතයකත් මතවාදීමය ගුණයක් තියෙනවා. ඒක අල්ල නොගත්තොත් කෙනෙක්ට සුනිල් ශාන්ත බෝරින්ග් වෙයි, System of a Down කෑ ගැහිල්ලක් විතරක් වෙයි.
    ලයනල් රංවල කියන්නේ මම බොහොම අගය කරන ගුරුවරයෙක් වගේම දක්ෂ සංගීතඥයෙක්. මම හිතනවා රංවල බලකාය 'රංවල' ලකුණට සාර්ථකව නවීන ආකෘතියක් ලබාදීලා කියලා...

    ReplyDelete
  2. ලයනල් රංවලයන්ගේ සංගීත කලාවට මම ගොඩාක් ආසයි.. අපේ කමක් ඒ හැම නිර්මාණයකම අපිට විදින්න පුළුවන්..

    ReplyDelete
  3. මගේ ජීවිතේ මෙතුවක් කාලෙකට බලපු බෙස්ට්ම ප්‍රසාංගික වැඩසහටන සහන්ල ඩුබායි වල කරපු ගම අවුලඥ්ඥං ප්‍රසංගය . . .

    අකාලයේ මියෑදුනු පොඩි කාලේ ඉඳන් මවපු හීනය හෙවත් නැටුම් ගුරුරයෙක් වීමේ හීනයේ බිඳවැටීමේ වේදනාව අලුත් කලේ ඒ ප්‍රසංගය.

    ත්‍රී බලන්න බැරි වුනු එක ගැන මාර දුකයි . .

    ලංකාවේ ඉන්න කාලෙක බලන්න ලැබුනොත් . . .

    මේ ලිපිය අර කිව්ව හීනෙ හැබෑ නොවුනායින් පපුවේ ඇනිලා තිබ්බ උල්පිහිය ආයේ තව ටිකක් ඇතුලට තල්ලු කල වගේ දැනුනා මට . ..

    ReplyDelete
  4. පැතුම් - ඔයාගෙ විශ්ලේෂණය නියමයි. ගොඩක් විට මිනිස්සු ඔය කැමැත්තේ සාධකය නිසාම බොහොම දේවල් මගහැරගන්නවා නේ... ආයෙමත් ෂෝ එක තිබුණොත් ඒක බලන්න.

    දිනේෂ් - ඒක දැණෙන්න නම් බොරු සෝබන අපේකමට වඩා දෙයක් ඇ‍ඟේ තියෙන්න ඕන නේද?

    ඩුකා - මමත් ගම අවුලඤ්ඤං ප්‍රසංගය ටීවී එකේ බැලුවා සෑහෙන්න කාලෙකට කලින්. නියම ෂෝ එකක් තමයි.

    ඩුකෝ මාව මිනීමරුවෙක් කරන්න එපා ඕයි!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!