Wednesday, 6 July 2011
පැත්තකට කෙළ හලමින් තක්කාලි සෝස් හැදුවෙමි
තක්කාලි සෝස් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියල කාලෙකට ඉස්සර ආරංචි වුණ වෙලේ ඉඳන් ගෙදර තක්කාලි සෝස් හදන්න මට හෙන.... පොඩි ආසාවක් ඇති වුණා. ඒත් එක එක එව්ව මෙව්ව නිසා ඕක හදාගන්න එක ටිකෙන් ටික කල් ගියා. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔය සුකුරුත්තන් කෑම හැදුවෙ තාත්ත. අම්ම නං ගොඩක් අනිත් අම්මල වගේම ටීවී එකේ හදන හැම කෑමක්ම බලාගෙන ලියාගත්තත් කවදත් එකම රෙසිපිය දාන්න කමයි කැමති. කොහොම හරි අන්තිමේ ඔය වැඩේ ඇඟේ ගහන්න උන්න අපේ තාත්තත් යන්න ගියා. ඒකෙන් වුණේ වැඩේ මටත් අමතක වුණ එක.
පහුගිය දවසක ඔපීසියෙ කෑම වෙලාවෙදි කාන්තාවො සෙට් එක කතා වුණා තක්කාලි වල ගණන් සෑහෙන්න අඩු වෙලා... කිලෝව රුපියල් 10-15ටත් තියෙනවා කියල. ඔතනදි තමයි අර හැංගිල තිබුණ තක්කාලි සෝස් හැදීමේ ආසාව ආයෙත් මතුවුණේ. එදාම ඕක අම්මට කියල බැලුව. බැලින්නම් එයත් ඒ වෙද්දි ඔය ලොයිඩ් මහත්තයගෙ වස සරණිය එහෙම බලල වැඩේ පොඩ්ඩක් අල්ලගෙනයි හිටියෙ. ඉතිං බල බලා ඉන්නෙ නැතිව අම්මට කිව්ව පොළට ගියාම තක්කාලි කිලෝවක් විතර ගේන්න කියලා...
මම තක්කාලි සෝස් හදන වීඩියෝ කීපයක් හොයල ඒව අම්මටත් පෙන්නුව. ඊට පස්සෙ ඔන්න පහුගිය දවසක අම්මයි මමයි දෙන්න එකතු වෙලා හදන්න පටන් ගත්ත තක්කාලි සෝස්.
තක්කාලි සෝස් හැදිල්ලෙ විශේෂත්වය තමයි ප්‍රධාන ක්‍රමය ඇරුණම සෝස් එක හදන්න ක්‍රම ගොඩක් තිබීම. ඒ එක්කම තමන්ගෙ කැමැත්ත අනුව ඒකට එකතු කරන්න පුළුවන් රසකාරක වල සීමාවකුත් නැහැ. ඒ වගේම තමන්ට කැමති විධියට තක්කාලි වලට අමතරව වෙනත් එලවලු වලින් පොඩ්ඩක් බැගින් එකතු කරගන්නත් පුළුවන්.
එහෙනම් අපි හදමු. මේක ගැන පෝස්ට් එකක් ලියන්න පුළුවන් නේද කියල මතක් වුණේ පස්සෙ නිසා පියවරෙන් පියවර දාන්න නම් පින්තූර නෑ. තියෙන ටිකත් මගෙ K770i එකෙන් දුර්වල ආලෝක තත්ත්වය උඩ ෆ්ලෑෂර් සහිතව සහ රහිතව ගත්තු එව නිසා කොලිටිය පිළිබඳ සමාව භජන්න.
අවශ්‍ය ද්‍රව්‍ය -
ඉදුණු තක්කාලි කිලෝවක් පමණ
සීනි ග්‍රෑම් 75ක්
ලුණු කුඩු මේස හැඳි 1ක් හෝ අවශ්‍ය ප්‍රමාණයට
හෝ මිරිස් කරලක් දෙකක් (මේවට නයි මිරිස් කියලත් කියනවා. වෙන නමක් තියෙනවද දන්නේ නෑ.. හෙන සැරයි සහ සුවඳයි. මේව අපි හිතල දැම්මේ සුවඳ වෙන්නත් එක්ක... කරල් දෙකක් ටිකක් වැඩියිත් වගේ.)
කෑලි මිරිස් මේස හැඳි 2-3ක් (සැරට ඕනනම් තව දාන්න පුළුවන්. මම හෝ මිරිස් දාපු නිසා කෑලි මිරිස් ඒ තරම් දැම්මෙ නෑ.)
කරපිංචා ටිකක්
කෝන් පිටි හැඳී කීපයක් (ඔය කෑම හදන උදවිය මේවට කියන්නෙ කෝන් ෆ්ලා කියල. මේව නැතත් අවුලක්නම් නැති වෙයි.)
සුදු ළූණු බිකි 5-6ක්
තව ඔය එනසල්, කරාබු නැටි, ගම්මිරිස්, කුරුඳු වගේ රසකාරක ඕන දෙයක් පොඩ්ඩ පොඩ්ඩ
ඔලිව් ඔයිල් නැති නිසා පොල්තෙල් මේස හැඳි කීපයක්
විශේෂ උපකරණ විධියට බ්ලෙන්ඩරයක් සහ ටිකක් ලොකු සිදුරු තියෙන පෙණේරයක් හොයාගන්න වෙනවා. තේ පෙරණ, පිටි හලන එව්ව නෙවෙයි... ඔය පොල්කිරි පෙරන්න ගන්න මිලිමීටරේ විතර සයිස් සිදුරු තියෙන එකක්.
සාදන ක්‍රමය
මුලින්ම තක්කාලි ටික තම්බන්න පුළුවන් තරම ප්‍රමාණයකට වතුර ටිකක් උණු වෙන්න තියන්න. ඒක රත් වෙන අතරෙ තක්කාලි ටික සෝදලා ඒවයෙ පැත්තකින් උඩ ඉඳන් පහලට පොත්ත විතරක් කැපෙන ගානට කැපුමක් දාන්න. වතුර ඩාන්ස් කරද්දි ඒකට තක්කාලි ටික දාල විනාඩි 6-7ක් විතර තම්බන්න.
ඊට පස්සෙ තක්කාලි ටික හැන්දකින් අරගෙන සීතල වතුරෙ දාල රස්නෙ යනකල් ටිකක් වෙලා තියෙන්න දෙන්න. එතකොට තක්කාලි වල පොත්ත නිකංම බුරුල් වෙලා යනව අර කැපුම නිසා. ඒ තක්කාලි එක එක අරගෙන පොත්ත ගලවලා අයින් කරන්න. ලොකු සිදුරු තියෙන පෙනේරය භාජනයක් උඩින් තියලා ඒකට තක්කාලි ටික දාල විනාඩියක් විතර තියන්න වතුර බේරෙන්න. (වතුර බේරුවෙ නැතත් කමක් නෑ... මොකද පස්සෙ වතුර එකතු කරන්න වෙන්නත් පුළුවන්. අපි මේ තියරියට හදන්න ගිය නිසයි වතුර බේරුවේ...)
වතුර බේරෙන අතරෙ අර මිරිස්, ළූනු වගේ ඒව පොඩියට කපල (ලොයිඩ් අංකල් කියන්නෙ චොප් කරනව කියල) තියාගන්න...
ටිකක් උස සාස්පානක් ලිපේ තියල ඒකට තෙල් ටික දාල කරපිංච එක්ක පොඩියට කපාගත්තු එව්ව සේරමත් දාල පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න. ලිපේ ගින්දර වැඩි නොකර මද ගින්නේ තමයි වැඩේ වෙන්න ඕන.
ඒකට වතුර බේරපු තක්කාලි ටික දාල කෑලි වෙන් වෙන විධියට හැඳිගාන්න. විනාඩි 10-15ක් එහෙම කරලා කුරුඳු, ගම්මිරිස්, කරදමුංගු, කරාබු නැටි වගේ හොයාගත්තු සේරම රසකාරක ඒකට දාන්න. ඒ එක්කම කෑලි මිරිස්, සීනි, අවශ්‍ය තරමට ලුණු එක්ක අනිත් නොදාපු සේරමත් දාගන්න. දාල ආයෙත් හැඳිගාන්න. ඒ අතරට කෝන් පිටි මේස හැඳි 2-3ක් ඒ තරලයට එකතු කරන්න. ඒකෙන් සෝස් එක ටිකක් උකු වෙනවා.
ඔය සේරම එකතු කලාට පස්සෙත් තව විනාඩි 20-30ක් විතර හැඳිගාමින් සෝස් එක හදන්න වෙනවා. රස බලල අඩුවැඩිය එකතු කරන එකත් ඒ අතරෙ කරන්න පුළුවන්. උකු වැඩියි වගේ දැණෙනවනම් වතුර පොඩ්ඩක් එකතු කරල ආයෙ හැඳි ගාන්න. ඊට පස්සෙ භාජනේ ලිපෙන් බාල ටිකක් නිවෙන්න තියන්න. බ්ලෙන්ඩර් එකට සේරම දාල විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගන්න. ඊටත් පස්සෙ ඒක ආයෙමත් අර ලොකු සිදුරු සහිත පෙනේරයට දාල තක්කාලි ඇටයි වෙනත් පොඩි නොවුණු හප ටිකයි පෙරල අයින් කරන්න.
දැන් සෝස් එක හරි. මම කලා වගේ ඇඟිල්ල ඔබල ටිකක් අරන් දිවේ ගාල බලන්න :P
අපි හදපු එකේ කඩේ තියෙන ඒවට වඩා ගතියක් තිබුණත් අර නයි මිරිස් කරල් දෙකක් දාපු නිසා ටිකක් විතර සැර වැඩි වුණා මුලදි. අදට දවස් 2ක් වෙනව හදල. දැන් නම් සැර අඩුයි. ගෙදර උන් කන විධියට තව දවස් කීපයක් තියෙයි :D
මේක ශීතකරණයක තියාගෙන සතියක් විතර කන්න පුළුවන් වෙයි. අපි කල් තියාගන්න රසායන ද්‍රව්‍ය නොදැම්ම නිසා ඊට වඩා තියාගන්න නම් බැරි වෙයි.
මේක හැදිල්ල ඉගෙනගන්න බලපු වීඩියෝවක විධියට හරියටම සෝස් එකේ පදම එන්න නම් ඒක පැය 1 1/2ක් ලිපේ තියන්න ඕනලු.
විනාකිරි සහ සෝඩියම් බෙන්සොඒට් එකතු කරල මේක බෝතල් කරල කල් තියාගන්න පුළුවන් විධියට හදාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් අපි දන්නෙ එකම එක තක්කාලි සෝස් එකක් වුණාට තක්කාලි සෝස් කිව්වම එකක් නෑ.... ඒක වෙනත් කෑමක් රස කරන්න පාවිච්චි කරන එකක් නිසා තමන්ට උවමනා දේවල් එකතු කරල සහ උයන වෙලාව වෙනස් කරල සෝස් එකේ රස සහ ස්වභාවය වෙනස් කරගන්න පුළුවන්. මම දැකපු එක වීඩියෝවකදි කෙනෙක් කැරට්, බෙල් පෙපර්, ගෝව වගේ ඒවත් දැම්මා... මොනව වුණත් ගොඩක්ම තියෙන්නෙ තක්කාලි නිසා බ්ලෙන්ඩ් වුණාට පස්සෙ කෝකත් තක්කාලි සෝස් තමයි.
මේක ගැන හොයද්දි මේ සෝස් හැදිල්ල ගැන සිංහලෙන්ම කියාදෙන වීඩියෝවක් හම්බ වුණා. ඒක මෙතනින් බලන්න. ඒ එක්කම ඒ සයිට් එකත් ගොවිතැන් ගැන උනන්දු අයට මරුවට හිතට අල්ලයි.
ඔයිට අමතරව එක එක විධි වලට තක්කාලි සෝස් හදන විධි දැනගන්න මෙතනින් පුළුවන්!
Subscribe to:
Post Comments (Atom)
උදේ කියෙවුව පලවෙනි සිංහල බ්ලොග් එක.. නියමයි.. මමත් ගෙදර ඔවුව හදන්න කැමතියි. අපේ නෝනත් TV එකෙන් පොත් ගැන ලියනවා හදන්නේ සම්ප්‍රදායික දේ තමයි මන් තමයි හදන්නොන මෙවුව.. මන් ඔහොම කිවුවම එය කියන්නේ කොහොමද හදන්නේ ඔයාල කන්නේ නැහැනේ. කොලෙස්ටරෝල් කියයි අරක කියයි මේක කියයි .. (හැබැයි ඊට වැඩිය කොලෙස්ටෙරෝල් තියෙන එවුව හදනවා අපිත් කනවා !!
ReplyDeleteඅර නයි මිරිස් වලට නම් මම බොහොම ආසයි..නයි මිරිස් පෙති කපල ලුණු දෙහි විනාකිරි ටිකක් දාල ගත්තම ..ශික්..කටට කෙල උනනවා.. මෙහෙ කොහෙද නයි මිරිස් ?
නියමයි නියමයි....
ReplyDeleteකුකරි පාඩම නං හොඳයි. ඒත් තක්කාලි ඔය වගේ ඇලුමිනියම් භාජනවල හදන්න හොඳ නෑ. ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මැටි භාජනයක හැදුවනං රසත් වැඩි. හදල බලන්න ආස හිතුන, හැබැයි මෙහෙ තක්කාලි සෝස් ඔය හැම රසකටම වගේ ලාබෙට ගන්න තියෙන එකේ මොකත මහන්සි වෙනවද කියල හිත හදාගත්ත..
ReplyDeleteඋඹ අලුත් ජොබ් එකක් පටන් ගත්තද ඒ පාර. ලිය සරණිය, රස සරණිය වගේ රූපවාහිනී වැඩ සටහන් වලින් ආරාධනා එයි මේ බ්ලොග් එක දැකල බලාගෙන.
ReplyDeletebajana tika nam jara patai
ReplyDeleteවෙලාවක හදල බලන්න ඕනෙ. ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.
ReplyDeleteඕං ඉතිං මටත් හදන්න හිතෙනවා :D
ReplyDeleteදැන් ඉතින් මටත් හදලා බලන්න හිතෙනවා... කියවද්දිත් කටට කෙල උනනවා...
ReplyDeleteපොදුවෙ කමෙන්ටුවක් දාන්න බෑ වගේ
ReplyDeleteසරත් අයියගෙ කතාවෙන් පේන්නෙ කාන්තාවො ඉකොනොමිකල් කෑම හැදුවට රහට කන්න නම් පිරිමියෙක් අතගහන්න ඕනෙ කියලනේ... නයි මිරිස් වලට මම කලින් ඒ තරම් මනාපයක් තිබුණෙ නැතත් ඒකෙ තියෙන අමුතු සැර ගතියයි සුවඳයි දැන් මට හොඳට අල්ලා ගිහින්...
ප්‍රසන්නටත් කෙල උනල වගේ නේ...
හරී - ඔයා කිව්ව කතාව අම්මත් මට කිව්වා. ඒ ගැන විචිකිච්චාවක් එක්කයි මේ භාජනේ හදන්න ගත්තෙ. මැටි භාජනේක හැදුවොත් හෙන වෙලා යයි කියල හිතලයි මම පඬිය වගේ ඇළුමිනියම් එකක හැදුවෙ. ඔන්න කවුරු හරි හදන්න ඉන්නවනම් වැඩි ආරස්සාව පිණිස මැටි හෝ ඇළුමිනියම් නොවෙන භාජනයක් තෝරගන්න.
අවුට් - හි හි... අර ඒ වගේ ප්‍රෝග්‍රෑම් කරන අක්කල හින්දා එහෙම ආරාධනා කලොත් නොගිහින් නම් ඉන්නෙ නෑ ;-)
ඇනෝ මාමෙ - හි හි... ගෙදර කෑම හදන භාජන නෙව. ඒ නිසා ඔහොම තමයි... අපිම කන නිසා අවුලක් නැති වෙයි.
පිණි බිඳු - හදල බලන්න. අප්සෙටි වුණත් තමන් හදපු නිසා කොහොම හරි කාගන්න බැරියැ...
පූසා & දිනේෂ් - හදනවනම් මම ගත්තු ප්‍රමාණ ගන්නෙ නැතිව ටික ටික අරන් හදල බලන්න... අප්සෙට් වුණත් දුක නෑ...
මේක හදල අප්සෙට් වුණොත් බනියගෙන් හොඳ රෙසිපියක් තියෙනව විසඳුමක් විධියට...
http://freeanushka.blogspot.com/2011/07/blog-post_06.html
මම දුව ගෙන ආවේ මෙයා මේ pasta වලට sauce එකක් හදලා කියලා. බලාගෙන ගියාම මේක අර ketch up වගේ එකක් නේද?
ReplyDeleteඔය තක්කාලි ලාභ නම් ඉතින් අර garlic හෙම ටිකක් වැඩිපුර දාලා හදා ගන්නකෝ tomato sauce එකක් නිකම් කටට රහට මැකරෝනි පාරක් එක්කම.
මේ ඒක නෙමෙයි අර බ්ලඩි මේරි හෙම ටෙස්ට් කරාවත්ද?
අපි දන්නෙ ඔක කෙචප් විතරනෙ ඉතිං... ගිය සතියෙ සෝස් නැතිවත් නියම මැකරෝනි එකක් හැදුව අම්මයි මමයි.
ReplyDeleteමෙහෙ ගොඩක් විට මැටි කනව වගේ මැකරෝනි කන්නෙ. මෙතන පොර ටෝක් දෙන්නෙ නැතිව ලියනවකො ඔය ගාලික් වැඩියෙන් දාල හදන මැකරෝනි සෝස් එක ගැන.
අප්පා තක්කාලි කීවොත් මට නිකං . මෙවුවා මෙවුවා වගේ !
ReplyDeleteමගේ පවුලේ ගොඩ දෙනෙකුට තකාලි ඇලජික් .යන්තම් හරි තක්කාලි කැවුනද අනික් පගුවදා ඇහැක් ඉදිමෙනවා ..
ඒක නිසා අනේ මම කන්නෑ බං .. කවුරු හරි ඇහුවොත් මෙගේ එවන්නම් .
හප්පා... උඹලට එහෙමත් එකක්ද. තක්කාලි ඇලජික් කට්ටිය ඉන්නව තමයි. මක් කරන්නද එහෙනම්...
ReplyDeleteම්...ම්... හරිම රසයි වගේ. ඒත් ඇලුමිනියම් භාජන තමයි ප්‍රශ්නේ.
ReplyDeleteමැණික්
හප්පා තක්කාලි පහුගිය ටිකේ අපි වැඩිපුරම භාවිතා කර වචනය.. අර දවස් 21දි කිරි හොද්දෙත් තක්කාලි, බෝංචි වලත් තක්කාලි තිබුනාද කොහෙද. එහේ තක්කාලි කිලෝව සුපියල් 2යි ඒකයි කියලා අපි අන්තිමට විහිලුත් කලා.
ReplyDeleteආ වැඩෙත් අමතක උනා තක්කාලි කිව්වම..... කට්ටියම සෝස් සෝස් කිව්ව නිසා මාත් ආවා බලන්න. හරී සරණියකුත් ආවද ඒපාර මාර සරණියට මදිවට....... හිහ්....
මේ..... ලොයිඩ් අංකල් ඔය තක්කාලි කපලා ඇට සහිත මැද ටික අහක් කොලා වගේ මතකයි.
ඊළඟට මැටි හට්ටි වල හදන්නැතිනම් හදලා ඉවර උන වහාම මැටි හට්ටියකට බාලා නිවෙන්න දෙන කරම සිල්පෙකුත් මං අහලා තියේ. ඒත් විස හරනයට කියලා තමා ඕන් මතක අයියණ්ඩි.
මම නම් ඉතින් තක්කාලි අමුවෙන් පලතුරක් ලෙස කන එකීනේ. ඒ නිසා සෝස් අනවස්යයි. :D
මඅණික් සහ හා දෙන්නටත් ස්තූතියි මේ පැත්තෙ ආවට... ඇළුමිනියම් භාජන ඇත්තටම යොදැගැනීම නරකයි.
ReplyDeleteතක්කාලි නිකංම කන එක මගෙත් ඉඳහිට තියෙන පුරුද්දක්... :D
අපි 9 වසරේ ඉද්දී විද්‍යාවට තක්කාලි සෝස් හැදුවා :))
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletehttp://burubabe.blogspot.it/2012/03/blog-post.html
ReplyDeleteMමං හැදුවා කරපිංචා එනසාල් කරාබු නැටි දැම්ම්ව් නෑ ඒත් ගානට ආවා
ReplyDeleteතැන්කුයි
ඈ... මේ බ්ලොග් එක තාම සර්ච්වලට අහුවෙනවා එහෙනං ;-)
Deleteඔව් බොල තාමත් අහුවෙන්වා. මේ 2017
Deleteඕක ක්ලැසිකල් ටොමාටෝ සෝස් එක වාගෙනේ...හැබැයි ඉතිං කඩවල්වල තියෙන එක වෙනස් ටිකක්
ReplyDelete