Tuesday 9 September 2008

වැස්ස...

අද (2008-09-08) මම හිටියෙ ගනේගොඩ අයියලගෙ ගෙදර මුළු දවසෙම. දවසෙම වැස්සා විටින් විට. හෙන හයියෙන් වෙලාවකට. වෙලාවකට හෙමින්. ගනේගොඩ අයියලගෙ ගෙදර මිදුල පුරා තියෙන තණකොල පිරුණ පොලොව දිහා මම පැලැල්ල අස්සෙන් බලා‍ගෙන හිටියා පැදුරෙ ඇලවීගෙනම. වැස්සත් නැතත් ඒ තණකොල හැමදාම කොල පාටයි. ඒ තණ බිස්ස මගේ හිතේ කවි සිතුවිලි පූදවපු තැනක් අපේ සම්පත්ට රුවන්වැලි සෑය වගේ. වැස්සත් එක්ක හිතේ පිරුණ හරිම නිදහස් හැඟීම හරියට ආදරය වගේ හැඟීමක් දුන්නා. නිදිමතයි තනිකමයි එක්වරම පිරුණ නවමු බවයි එක්ක මම ලොකු නිදහස් හැඟීමක් ලැබුව. ඒ එක්කම මම මගේ අත්දැකීමක් මතක් කලා. මේ වෙලාවෙ ලිව්වෙ නැත්නම් ලියවෙන්නෙම් නෑ. මේක ලියල සෑහෙන කල්. වෙනසක් නොකරම දැම්මා.


නුඹ දැනට වැස්ස වගේ

එක් වැසි දිනෙක මා තෙමුණා
තෙත්බරිතව දියවන තෙක්ම

නුඹ උන්නා මට ලංව
තුරුලු ව නැතත් මා දෙස බලාන

වැස්ස ඇද හැලුනා සීරුවට ගීයක්ව
සිහින් සර මවා අවටින්

නුඹ මිමිනුවා නුඹේ සිත හිමි හිමින්
නුඹ නොවන සහ නුඹ වන

ගුගුරවා අහස් ගැබ මහා වූ කුණාටුව
දෙසවන් ද අගුලු ලා බියෙන් මා සලිත විට

නුඹත් කීවා විටෙක නුඹත් ඒ වගේ බව
ගුගුරවා හඬ මවා නැවත කිංකිණි සලන

එවිට එක් මොහොතක
මා කීවා නුඹ වැස්ස බව
නුඹ කීවා මා පො‍ළොව බව

ආයෙමත්
නුඹ ඇද හැලුනා මා තෙතබරි වුණා
අපි සිනා සුනා...

ජීවිතේ තවත්
සුන්දර මොහොතක් ගෙවුණා..

4 comments:

  1. මේ දවස් වල වැස්ස වැඩි උනාට ප්‍රශ්ණයක් නෑ ව‍ගේ හැමෝගෙම බ්ලොග් වල වැහි කෝඩයක සීතල පිරෙන සටහන් ලියවෙනවනේ

    මේ කවිය නම් ශෝක්...මම හරිම ආසයි :-)

    ReplyDelete
  2. වාව්..හරිම අගෙයි හරේ. උදේ මේ කවිය දැක්කත් නැවත වතාවක් කියවන්න කියල හිතාගෙන නිකන් හිටියා. දැන් මේ බොහෝ දවසකට පස්සෙ දිවා වරුවෙ පැය පහක විතර නින්දකින් ඇහැරුනු ගමන්මයි මම මේක බැලුවෙ. වැස්සක් වගේම සිහිලට දැනුනා කවිය.

    ReplyDelete
  3. අහා යමක් අමතක උනා. වැස්ස සදහටම පවතින්න කියල මම ප්‍රාර්ථනා කරනව. හැබැයි ඉදල හිටල හරි පොඩ්ඩක් අවුවටත් කැකෑරෙන්න ඕනෙ. එතකොටයි වැස්ස උනත් අලුත් විදිහකට දැනෙන්නෙ.

    ReplyDelete
  4. අද පෝස්ට් එකේ දාපු ඇඩ් එක ක්ලික් කරල මෙතනට ආවෙ. ක්ලික් එකකට ඩොලර් කීයක් ලැබෙනවද? :D

    කවිය නං එළ. කොටම කොට ජීවිතේ තවත් කෙටි මොහොතක්!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!